2011/09/08

54) මහ රෑ එන ...මර බිය දෙන ..අහිංසක භීෂකයා

Daffodil මලක් දෙන දවස නේ...
අදට දින තුනකට පෙර දිනය අපේ ජීවිතයේ සුවිශේෂි දිනයක් . ඒ අපේ විවාහයේ දහවන සංවත්සරය තිබුණේ එදිනට , තව විදියකින් කිව්වොත් අපේ Tin anniversary එක . එදා අපි හැමෝම ගෙදර , ගෙදර තිබුණු පුංචි පහේ උත්සවයට මනෝජගේ අතින්ම හදපු කේක් එක්ක තේ පැන් සංග්‍රහයක් දීලා ආපු “සුවිශේෂි අමුත්තෝ එක්ක " ටිකක් කතා බහ කර කර හිටිය . මොකද අමුත්තෝ දෙන්නත් අමුත්තොම නෙවි , අපේ ලොකු දුවයි , පොඩ්ඩියි , ඔය කතා බහ අතරේ  මිට අවුරුදු දොළහක විතර ඉස්සර ඉඳළ අතීතයක් ටිකෙන් ටික හාරා අවුස්සමින් හිටිය. අපි ඉගෙන ගත්තු හැටි , මුලින්ම appointment අර‍ගෙන කොළඹ දෙපැත්තක රැකියාව කරපු හැටි , ඒ දවස් වල ඉඳන් ගෙදරට ඕන කරන අඩුම කුඩුම එක්රැස් කළ හැටි ,ආපු කරදර ඒව විසඳගත්ත හැටි ඔය වගේ  විවාහයට එනකං අපි දෙන්න ආයෙත් කතා කළා.


ඒ පුර්ව කතාවෙන් පස්සේ ලොක්කි උපදින්න හිටි කාළෙ ඉඳළ ආයෙ කතාව .ඒ දවස් වල් ලොකු සමහර දවස් වලට හිටපු ගමන් හොඳට දඟල දඟළ ඉඳළා fetal movements නැතිව වගේ යනවා  , ඉතිං දුවනවා මහමෝදර ඉස්පිරිතාලෙට , ඔය වගේ දෙතුන් වාරයක්ම අපි බය කළානේ එයා. දැන් ඒව කියන කොට නම් හිනාව ..

ලොකු දුවට අවුරුදු දෙකහමාරෙදි විතර වෙච්ච දෙයක් මතක් කරල තවමත් හැමෝටම හිනාව.මොකක්ද දන්නවද ඒ? . .......ඒ දවස් වල එයාට නින්ද යනකං Nursery rhymes තියෙන  C.D. එකක් දාගෙන තමයි අපි ඇඳට යන්නේ , මොකද එතකොට ඒ සිංදු බල බල ඉඳළා එයා නිදා ගන්නවා , නැත්නං ඉතින් රෑ දෙගොඩ යාමේ වෙනකම් “එයාගේ සංදර්ශන“ බලන්න එපායැ. ඔන්න එදත් ඔය විදියටම අපි හැමෝම ඇඳට ගියා , කොහොම කොහොම හරි සිංදු අහගෙනම අපි හැමෝටම නින්ද ගිහින්.
“අම්මා....ඈ ..ඈ.....“ ලොකූගේ හඬ ...අපි දෙන්නටම ඇහැරුණා ...අඬනවා නෙවි මරළතෝනි දෙනවා ..
“පුතේ ...පුතේ ....“ කිසි කතාවක් නැතිව මෙන්න අඬනවා , ඇත්තම කිව්වොත් ඒ ඇඬිල්ල හිතාගන්න බැහැ , මොකද පොඩිවුන් අඬන හැටි දැකළා තියෙනවානේ අපි , ඒත් යකෙක් දැකළ වගේ ඇස් අරින්නෙත් නැහැ ,  දාඩිය දාගෙන ,හරිම වේගෙන් හුස්ම ගනිමින් , මරළතෝනියක් ...පපුව ගැහෙනව රබානක් වගේ ,“හරි යන්නනෙම නෑ වගේ මම ගියා ළඟට ...මෙන්න බොලේ මා දිහා බැලුව ,ඇස් ලොකු කරල මගේ දිහා බලාගෙන  ,මෙන්න ආයෙත් ගිරිය යටින්  තවත් ළතෝනි දෙන්න පටන් ගත්ත , වෙනද නං අඬත්දි මම කොහොම හරි නළව ගන්නවා , අද ...හොඳටම බය වෙලා ..ඔය ඔක්කොම කළේ කාමරේ ලයිට් එළියක් නැතිව , මොකද ඒ වෙන කොට අර බලමින් හිටිය සී ඩී එක ඉවර වෙලා , ඒත් රෑපවාහිනියෙන් අර නිල්පාට එළිය හොඳට වැටිල තිබුණ , අනෙක ළතෝනියේ හැටියට ලයිට් එකවත් දාගන්න හිතාගන්න බැරි උනා .

පස්සේ කොහොම හරි ලයිට් දාල ..බෝනික්කෝ දීලා , සිංදු කියලා පැයකට විතර පස්සේ තමයි පරක් කරගත්තේ . දැන් ආයෙත් පොඩ්ඩ නිදි , කාමරේ පොඩි ලයිට් එකත් දාල , මෙන්න ඒපාර මනෝජ හිනාවක් පටන් අරගෙන .මහ හයියෙන් හිනාවක් ..දැන් මට හිතා ගන්න බැහැ වගේ , නිකං බෝවෙන ලෙඩක් වගේ .මත් ඉක්මණට නැගිටල බැලුව ..,
‘නෑ නෑ මං මේ හිතුවේ ...පොඩ්ඩ නං හිනයක් දැකළ වෙන්න ඇති බය උනේ ..ඒඋනාට අර ටීවී එකේ එළිය ඔයාගේ ඇඟට වැටිළ තියෙන හැටි දැක්කම මාත් බය උනා , (මොකද මං “ටිකක්“ කළුයිනේ , මහ රෑ කළුවරට , මගේ ඇඟ මතට නිල් පාට දිස්නයක් එක්ක එළිය වැටුනම භයානක පෙනුමක් එනව වගේ තමයි ) , මං හිතන්නේ පොඩ්ඩි ආයේ අඬන්න ඇත්තේ හීනෙන් දැකපු බූතයා මෙතන ඉන්නවෝ කියලද දන්නෑ ....“ , අපි දෙන්නටම හිනා , ඔය සිද්ධිය දවස් ගානක් කිය කිය හිනා වුනා,  අපේ දහ වැනි සංවත්සරේ දවසෙත් ඔය කතාව ඇදුනා , ලොක්කිට නම් මතක නැහැ මොකද උනේ කියලා , ඒත් ඔය වගේ ලස්සන කතා ගොඩක් නිදහසේ කතා කරමින් ඒ දවස ගත කරලා හවස් යාමේ බටගන්විල බෝධීය ළඟට ගිහින් බුදුන් වැඳළ , ගියා “හික්කඩු සීයලගේ ගෙදර“ , මොකද මීට අවුරුදු දොළහකට විතර ඉස්සර අපි දෙන්නගේ එක්වීම ගැන “කතා කරන්න තියා හිතන්නවත් නොදෙන “ බව කී , නමුත් අද අපේ පවුලේ ආදරණීයම හිතවතුන් වෙලා ඉන්න , මනෝජගේ අම්මයි තාත්තවයි බලල එන්න .

ඔන්න ඔහොමයි Daffodil මලක් දෙන්න ඕන  Tin anniversary එක  හිනාවෙන් කතාවෙන් නිමා කළේ .ඔය කතාව ගැන කියත්දි මට හිතුන පුංචි එවුන් මහ රෑ බය කරන එක්තරා ගැටළුවක් ගැන කතා කරන්න , මොකද සමහර දෙමව්පියන් මේ තත්ත්වය , භූත දෝෂ , නැත්නං යකෙක්ගේ බැල්ම වැටිලා කියල මහා ලොකු දේවල් කරමින් පුංචි එකාට තවත් කරදර කරන අවස්ථා අපි දැකළ තියෙනවා , නමුත් මේ සාමාන්‍ය නින්දේ ගැටළුව වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන්නේ Night terrors කියල , මේක සාමාන්‍ය sleeping disorder එකක් , එහෙම නම් අපි අද කතා කරමු ඒ “අහිංසක භීෂකයා“ ගැන .

මේ කතා කරන්න හදන්නේ හීනෙන් බය වීම කියන තත්ත්වය ගැනද ? නැහැ , මේ වෙනස් තත්ත්වයක්
නයිට් ටෙරා ආවෝ.....
. හීනෙන් බය වීම nightmare සහ අපි මේ කතා කරන night terrors අතර වෙනස් කම් කිහිපයක් තියෙනවා , ඒ නිසා මේ , අවස්ථා දෙකක් විදියටයි හදුන්වන්නේ . මොනවද මේ වෙනස්කම් කියල අපි ටිකක් හොයල බැලුවොත් මෙන්න මෙහෙම කියන්නට පුළුවන් . night mare නැත්නම් හීනෙන් බය වීමෙදි “බය වෙන්නේ “ දරුවා විතරයි, නමුත් night terror අවස්ථාවෙදි වැඩියෙන්ම බයවෙන්නේ දෙමාපියන් , අපි , මොකද මේ වෙලාවේ දරුවා ඉතාමත් අසාමන්‍ය විදියට කෑගහනව , දුවන්න හදනවා , ඒත් තවමත් ඇස් පියාගෙන , නින්දෙන්ම මේ ඔක්කොම කළබල කරනවා , ඒ විතරද කොයි තරම් කතා කරත් හුරතල් කළත් ළඟට ගත්තත් මේ ඉන්නේ අම්ම , තාත්ත කියල හදුනගන්නේ නැහැ , තවත් මරළතෝනි දෙන්න පටන් ගන්නවා විතරයි හොඳට මතක තියා ගන්න , මේ වෙලාවට දරුවව බලෙන් අවදි කරන්න , කතා කරන්න , යන්න එපා , මොකද දරුවට අවට පරිසරයේ ඉන්න අය හරියට හදුනගන්න බැහැ (ආලෝකය තිබුණත් ) , අනික මේ විදියට බලෙන් ඇස් අරවල , අවදි කරලා “දොයි කරන්න “ යාම , දරුවට තවත් stress එක් වන බව හොයාගෙන තිබෙනවා. ටිකක් කළබල නොකර ඉන්න , දරුවට අනතුරක් නොවෙන විදියට ආරක්ෂා කරගන්න , ටික වෙලාවකින් (සමහර විට විනාඩි 30කින් විතර) මේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙලා දරුව නිදා ගන්න යාවි , (ඔන්න දැං ඉතිං දරුව ඇහැරවගෙන ප්‍රශ්න අහන්න යන්න එපා, දරුවට නිදා ගන්න දෙන්න night terror තත්ත්වයේදි , බය වෙන්න හේතු වුනු දේ දරුවට මතක නැහැ , ඒක සාමාන්‍යයි)

රස හීනයක් වගේ 
දැන් ඉතිං හීනෙන් බය වීම ගැන කිව්වොත් කොහොමද ? නින්දෙන් අහැරිලා අඬන්න පටන් ගන්නවා , අම්ම හරි තාත්ත හරි ළඟට ගත්තම , නැළවිළි ගීයක් කීවම ඔක්කොම හරි පැටියට නින්ද යනවා , පස්සේ දවසක ඇහැවුවොත් ඇයි නින්දෙන් බයවුනේ , මොකක්ද දැක්ක හීනේ කියල , පැටිය ලස්සනට හීනේ විස්තර කරාවි ,සමහර විට “මගේ පස්සෙන් බූලා එළවගෙන ආවනේ අම්මේ“  කියල කියාවි .

නින්දේ සහ සැප නින්දේ වෙනස (ඇස - කය සහ මොළය)
night terror සහ nightmare අතර තවත් වෙනස් කමක් තියෙනවා ඒක හඳුනගන්න අපිට නින්ද ගැන විද්‍යාත්මකව සොයා බලන්න වෙනවා. අපේ නින්ද ගැන බැලුවොත් එහි මූලික අවස්ථා දෙකක් තිබෙනවා ,ඒ Non-Rapid Eye Movement stage N-REM සහ Rapid Eye Movement stage -REM නමින් , නින්දට ගිහින් මුලින්ම එන්නේ මේ N-REM එහි තව මට්ටම් හතරක් හදුනගන් පුළුවන්  , නිදාගන්නේ නැතිව මේ ටික දැන ගන්න බලමුද ? මොකද මේ අපේ නින්ද ගැනනේ කතා කරන්නේ .

නිදා ගන්න හැටි 
NREM- stage I කියන්නේ  අපි නින්දට ගිය ගමන් වගේ අවස්ථාව , දැන් අපේ ඇඟ, මොළය නින්දට සූදානම් වන අවස්ථාව , අපි කියන්නේ නින්ද ගියා නොගියා වගේ හිටිය කියල , ඔන්න ඔය මට්ටමේදි තමයි ඒ.Stage 2 වලදි අපට සැහැල්ලුවට නින්දක් ගිහින් , හැබැයි සුලු උත්තේජනයකින් , හඩකින් , තට්ටුවකින් ඇහැ අරවන්න පුළුවන් . තුන වන මට්ටමේ සහ හතර වන මට්ටමේ NREM නින්දෙදි හොඳටම නින්ද ගිහින් , ලේසියෙන් ඇහැ අරවන්න බැහැ.අපි මේ කියන night terrors ඇති වෙන්නේ මෙන්න මේ stage එකේදි , හරිම අමාරුයි ඇහැ අරවන්න , අවදි කරන්න , අවදි උනත් වට පිටාව ගැන කිසිම කල්පනාවක් අවදානයක් නැහැ , නිකං කරකවල අතඇරල වගේ groggy , සමහර විට ටිකක් තරහ යන්නත් පුළුවන් මේ අවස්ථාවේ අවදි කළොත් ,  මේ වෙන කොට නින්දට ගිහින් පැය 2ක් විතර ගිහින් මේ NREM අවස්ථාවෙන් පස්සේ තමයි REM නින්ද ඇති වන්නේ මේකට සමහර අවස්ථාවල stage 5 කියලත් විස්තර වෙනවා , අපි දකින හුඟක් හීන nightmare දකින්නේ (දවල් හීන නෙවි) මෙන්න මේ තත්ත්වයේදි .

සැප නින්දක් ...
හරි ඔන්න ඉති අපි අපේ නින්ද ගැනත් , අර දෙන්නගේ night terror සහ nightmare ගේ වෙනස් කම් ගැනත් දැන ගත්තනේ , අපි ආයෙත් අපේ ප්‍රධාන මාතෘකාවට ගියොත් , මොන වයසේ දරුවන්ටද මේ තත්ත්වය ඇත වෙන්න පුළුවන් , ? වයස අවුරුදු 3 ත් 12ත් අතර ගැහැනු , පිරිමි ඕනම දරුවෙක්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ,කොහොම වුනත් යෞවන වියට ඒමත් එක්ක මේ ගැටළුව ඉබේම විසඳෙනවා, ඒත් මේ තත්ත්වය දිගින් දිගටම තිබේනම් , ඒ වගේම මේ තත්ත්වයට පසුදා දරුවගේ චර්යාවේ , හැසිරීමේ යම් තිබේනම් , දැනුවත් දරුවෙක් නම් වෙනදට වඩා අසාමාන්‍ය හිසේ කැක්කුමක් තිබෙන බව කියනව නම් වඩාත් සුදුසුයි ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීම , එහිදි දරුවාට යම් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් තිබේනම් ඒ සඳහා යොමු කරාවි , එහෙම කියන්නට හේතුව ශ්වසන පද්ධතියේ ඇති වන විවිධ රෝග (හුස්ම ගැනීමට බාධා ඇති කරන තත්ත්ව) වගේම මොළයේ ඇතුළේ ලේ නහර වල විවිධ වෙනස් කම් , නැත්නම් අපි ඉරුවාරදය migraine කියන තත්ත්වයේ මූලික අවස්ථාවෙදිත් මේ වගේ night terrors දිගින් දිගටම  ඇති වෙන්න පුළුවන් , ඒ විතරක් නොවෙයි වෙනත් රෝග තත්තවයකට දෙන ඖෂධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් . පුංචි පැටවු ගැන කියත්දි වැදගත් දෙයක් මොකද සෙල්ලම් කරත්දි වැටුනට ඔළුව වැදුනට නොකියන බබාලා ඕන තරම්නේ , ඔය විදියට ඔළුවට යම් අනතුරක් , මොළය යම් අනතුරක් වුන අවස්ථාවකත් මේ විදියට night terrors ඇති වෙන්න පුළුවන් , බය වෙන්න එපා එතකොට වැඩි වාර ගණනක් මේ තත්ත්වය ඇති වෙනවා , අනෙක ඔබේ පවුලේ වෛද්‍යවරය හමුවුනාම මේ හැම රෝගයකටම සුදුසු ප්‍රතිකාර තිබෙන නිසා ඊට යොමු කරාවි.

කොහොම වුනත් මෙන්න මේ තත්ත්ව වලදි Night terrors ඇති වීමේ අවදානමක් තිබෙනවා ,  ඒ තමයි දරුවට උණ තිබෙන අවස්ථාවක  එහෙම නැත්නම් පුරුදු නැති තැනක නිදා ගන්න ගියොත් , සද්ද බද්ද හුඟක් වැඩි තැනක නිදා ගන්න වුනොත් අනෙක පැටියගේ හිතේ ටිකක් කරදර වැඩි දවස් වුනොත් (මොනවද පැටියට කරදර කියල හිතාවි , මෙන්න මේ වගේ අවස්ථා , ගෙදරට තවත් පැටියෙක් නංගියෙක් හරි මල්ලියෙක් හරි එන්න ඉන්න බව , අම්මගේ බංඩියේ මල්ලියෙක් ඉන්න බව දැන ගත්තම අපේ ලොකු පැටවුන්ට ටිකක් stress , අපේ ලොක්කිටත් වෙලා තිබුණේ මේ වැඩේ ) ඔන්න ඔය තත්ත්ව වලදි මේ භයානක සිද්ධිය වෙන්න පුළුවන්. අනෙක සමහර ඖෂධ නිසාත් (බිව්වම නිදි මත වෙන බෙහෙත් ) මේත වෙන්න පුළුවන්.

පුතාට මතක නෑ මොකද උනේ කියලා
ඔන්න මං ආයෙත් Night terror ගේ ලක්ෂණ ටික කියන්නං  මොකද තාම නිකං හීනයක් බලනවා වගේ කියවගෙන ගියාද දන්නෑනේ , මෙන්න මෙහෙමයි දරුවා තද නින්දේ ඉඳළා හදිසියේම මහ හඬින් කෑ ගහගෙන නැගිටිනවා , අපි කියන්නේ ගිරිය යටින් කෑගහනවා කියලා අන්න ඒ වගේ .ඇඳේ නැගිට්ටත් තාම ඇස් පියාගෙන මේ කෑගැහිල්ල , අතට අහුවෙන දෙයක් තිබුණොත් ඈතට විසි කරාවි එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනාට තදින් පහර දේවි , අල්ලන්නත් අමාරු තරමට දඟළනවා , මේ වෙලාවට අවදි කරන්න යන්න එපා , දරුවා වැටිල අනතුරක් වෙන එකෙන් වලක්වන්න උත්සාහ ගන්න) , සමහර විට ටිකක් ලොකු දරුවෙක් නම් ඇඳෙන් පැනල ගේ ඇතුලේ දුවන්නත් පුළුවන් , ඒත් ඇහැ ඇරිලා නැහැ , පොඩ්ඩෙක් නං කිසිම ක්‍රමයකින් මේ ඇඬිල්ල , දැඟලිල්ල නවත්ව ගන්න “පරක් කරගන්න “ බැහැ , නොනවත්වාම ඇඬිල්ල . ටිකක් හොඳට බැළුවොත් පේනවා හුස්ම ගන්නේ හරිම වේගෙන් බලන්න ඉන්නත බයයි වගේ ,(ඇත්තටම අර ආවේෂ වෙලා කියන්නේ අන්න ඒ වගේ තමයි) , දන්න කෙනෙක් නම් නාඩි අල්ලල බැලුවොත් තේරේවි පපුව ගැහෙන වේගය අතිශය වේගවත් වෙලා බව , සමහර විට ඇස් ඇරියත් ඇස් ලොකු කරල නිකං බලාගෙන මේ කලබලේ කරන්න පුළුවන් , මේ ඉන්නේ අම්ම , තාත්ත කියල අදුනගන්නේ නැහැ මේ වෙලාවට. අනෙක විනාඩි කිහිපයකින් , පැය භාගයකින් විතර මේ තත්තවය මග හැරුනට පස්සේ නිදා ගත්තත් , පස්සෙන්දා එයාට මේ කිසිම දෙයක් මතක නැහැ , මුකුත් උනේ නෑ වගේ තුරුල්ලට ඇවිත් ඔබේ උණූහුමේ දැවටේවි .වෙනසක් පෙන්වන්න එපා , ඊයේ සිදුවුන දේ යක්ෂ දිෂ්ටියක්  නිසා වුනා නොවෙයි , ඒ මේ වයසේ දරුවන්ට වන සාමාන්‍ය සිදුවීමක් .

කොහොමින් කොහොම හරි අපි හික්කඩුව පැත්තෙත් ඉඳළ , රෑ කෑමටත් හොඳ පොළොස් ටිකකත් රස බලලා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා , නාල කියල ඇවිත් ඇඳට වැටුන විතරයි මතක ඇහැරෙන කොට උදේ පාන්දර එළියත් වැටිලා .. Night terrorලා ඇවිත් ගියාද දන්නෙත් නැහැ.

යන ගමන් මෙන්න මේ වීඩියෝ එකත් බලා ගෙන යන්නකෝ , ඇත්තටම Night terror අවස්ථාවක්

18 comments:

  1. සුබ පැතුම් මහේෂ්ටයි මනෝජටයි ජිවිත කාලෙම සතුටින් සෙනෙහසින් ඉන්න ලැබෙන්න කියල පතනවා . මේ සැප්තැම්බර් හරි සුබ මාසයක් වගේ .

    ReplyDelete
  2. අපේ බබත් මෙහෙම රෑට ඇහැරලා කෑගහනව.ගෙදර ඔක්කොම ඒ වෙලාවට ඇහැරෙනව,අහල පහල අයත් අහනව මොකද කියල.හරිම අමුතුයි තමා අඩද්දි යටිගිරියෙන් කෑගහනව, හරියට බෙල්ල මිරිකන්න එනව වගේ.උගුර බැරැන්ඩි වෙනකම්ම කෑගනව,කොච්චර කරත් නලව ගන්න බෑ.ටික වෙලාවකින් හරි.අපිත් හිතුවේ හීන දකිනව ඇති කියල.මම් මේක එයාගෙ අම්මටයි අත්තම්මටයි පෙන්නනව.

    බොහොම ස්තූතියි අය්ය ලිපියට.

    ReplyDelete
  3. හැපී ඇනිවසරි!!!

    ජීවිතේ සතුටින් ගෙවෙන්න කියල පතනව.

    ReplyDelete
  4. ලස්සන ආදර කතාවක් හිතේ මැව්නා ලිපිය කියෙව්වම.
    ගොඩාක් සතුටුයි..ඔබවැනි සැමියෙක් ලබන්න ඔබගේ ආදර බිරිද පිං කරල තියනවා. ඒ වෙන මොනවත් නිසා නෙමේ ඔබ ජීවිතේ හරියාකාරයෙන් තේරුම් ගත් කෙනෙක් නිසා, ඒවගේම සුබ පතනව ඉත සිතින්ම ඔබ දෙපලටත් සුරතල් දරු දෙන්නටත්
    ඉසුරුමත් අනාගතයකට....
    ලිපියත් කියෙව්වා. ස්තුතියි...

    ReplyDelete
  5. -Bindi ,
    ස්තුතියි බින්දි , මම හිතන්නේ ඔබතුමියටත් මේ මාසේ සුවිශේෂියි නේද? නෙළුම් විලට ආ වෙලාවේ තමයි දැනගත්තේ.

    -නදී ,
    ස්තුතියි , ඒ වගේම බොහොම පිං දැනුම බෙදා දෙනවාට..

    -Gimhani ,
    ස්තුතියි ඔබතුමියටත් ,

    ReplyDelete
  6. දිවියේ ඉතිරි දිගු ගමනට මගේ සුබ පෙතුම් :)

    ReplyDelete
  7. ඔන්න තවත් දෙයක් ඉගෙන ගත්තා. මන් දැන හිටියේ නැහැනේ නින්දට මෙහම කොටස් කිරීමක් ඇතැයි කියලා.
    ඔබ දෙදෙනාට බොහො දිග කාලයක් සැපෙන් සුවෙන් ආදරෙන් ඉන්න ලැබේවා. අපිත් සැප්තැම්බර මාසේ එකතුවෙච්ච දෙන්නෙක් තමයි..

    ReplyDelete
  8. විවාහයේ 10 වන සංවත්සරයට සහ සියලු දෙනාටම මගෙත් උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  9. -මුදී,
    බොහොම ස්තුතියි ඔබට මුදී ,

    -සරත් ලංකාප්‍රිය,
    සතුටුයි තවත් සැප්තැම්බර් යුවලක් හදුනගන්නට ලැබුනාට , ස්තුතියි ඔබටත්

    -Weni ,
    ස්තුතියි වෙනි ,

    ReplyDelete
  10. බටහිර රටවල දරුවන් ඉතා කුඩා අවදියේ සිටම රාත්‍රියට නිදි කරවන්නේ වෙනම කාමරයක තනිවම බව මා අසා ඇත.හොලිවුඩ් සිනමා පට වලද ඒ බව දැක්වේ.මෙය දරුවන් සම්බන්දයෙන් කෙසේ බලපානවාදැයි පහදා දෙන මෙන් ඉල්ලමි.මෙය දරුවන්ගේ අනාගතය සම්බන්දව කෙලෙස බලපෑමක් කරයිද?

    ReplyDelete
  11. -Anonymous,
    මෙම තත්ත්වය සඳහා නම් එම කරුණ අදාල නොවන්නේ දරුවා , දෙමාපියන් අසළ නිදා ගත්තත් , වෙනම නිදා ගත්තත් මෙම night terrors ඇති වන නිසාත් එය ඇති වන්නේ REM අවස්ථාවේ නිසාත්ය.
    නමුත් ඔබ කියන කරුණ බටහිරි රටවල බහුලව සිදුවේ ,එයට ඔවුන්ගේ සංස්කෘතික පසුබිම හේතු වනු ඇතැයි මම සිතමි. එහි ස්වාධිනත්වය ගොඩ නැංවීම කෙරෙහි යම් වැදගත් බවක් ඇතැයි සිතන අතරේ ඒ සඳහා අඩුම තරමේ වයස අවුරුදු 10-12ක් වත් විය යුතු යැයි සිතමි.
    කෙසේ වෙතත් අපේ සමාජ -සංස්කෘතික සහ මව්-දරු බැඳීම් මත අඩුම තරමේ වයස අවුරුදු 10-12 ක් වන තුරුවත් පැටවුන් දෙමාපියන් සමඟක පවුලේ හැම එකට නිදා ගන්නට පහසුකම් ඇත්නම් වටී යැයි මම සිතමි. එය හුදෙක් නිදා ගැනීමක්ම නොවේ , ආදරය , පවුලේ බැඳිම , සතුට එක් කිරීමක් ලෙස මම දකිමි.
    පුද්ගලිකව මම නම් වඩාත් රිසි මගේ පැටවුන් දෙන්නා මගේ ළඟ ඉන්නා විටයි , මේ සියල්ල මගේ පුද්ගලික අදහස් වන අතර මේ පිළිබද විධිමත් පර්යේෂණයක් පිළිබඳ පර්යේෂණ වාර්තාවක් අධ්‍යයනය කරන්නට තවමත් මට වාසනාවක් නොලැබිණී.
    ස්තුතියි.

    ReplyDelete
  12. සුභ පැතුම්....අපිත් සැප්තැම්බර් වල තමයි

    ReplyDelete
  13. -එදිරි,
    අහා...තවත් සැපතැම්බර් යුවලක් , ...ස්තුතියි එදිරි ....

    ReplyDelete
  14. අනේ සර් මගේ අදහස් දැන් අන්තර්ඡාලය අයින් කරනවා අනේ ඔබට සුබ පතන්න පුලුවන් වේවා කියල මම පතනවා ගුරැ පියාණනි ඔබටත් ගුරැ මෑනියනී ඔබටත් මම ආදරයෙන් සුබ පතනවා ඔබ දෙපලටත් නංගිලා දෙන්නටත් සුබ අනාගතයක්

    ReplyDelete
  15. -nadeesha ,
    //මගේ අදහස් දැන් අන්තර්ඡාලය අයින් කරනවා// මට මේ අදහස තේරුම් ගන්න අමාරුයි දුව , මම හිතන්නේ ඔබ දිනක කී තාක්ෂණික ගැටළුව වෙන්න ඕන , කොහොම වුනත් ඔබ මේ ලිපි කියවාවි කියන විශ්වාසයක් තිබෙනවා , ඔබේ මිතුරු මිතුරියන්ද සමග .
    ස්තුතියි දුව , 2010 කණ්ඩායමටම සුභ පතනවා මේ දවස් වල End unit tests නේද ?

    ReplyDelete
  16. අපේ මල්ලිත් මට ඔය නින්ද ගැන කියලා දීලා තිබ්බා. ඒවා මම් බ්ලොග් සටහනකත් ලිව්වා.
    මෙන්න මේ තියෙන්නේ ඒ සටහන
    http://madurangacreations.blogspot.com/2011/05/blog-post_24.html

    ඔන්න එහෙනම් අම්මයි දුවයි දෙන්නම අප්පච්චිව දැකලා බය උනා එහෙනම්. හික්ස් :)

    ReplyDelete
  17. -මධුරංග ,
    ඔබේ ලිපියත් දැන් කියෙවුවා , ....

    ඒක නේන්නම් හොඳටම බය වුනා එදා නං ... :-)

    ReplyDelete
  18. mage puthata maasa 4i. eyata semata me dinawala doctor amoxilin nirdesha karala tinawa. eyat hamadama hawasa 4-5 th athara andanawa hungak.. sanasa gan ba.. me oba ku rogi tathwayamada...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)