2011/09/09

55) කොන්දෙ හැංගී ලේ උරා බොන ..මාර පණිවිඩකාරයා .

නාන එක හරිම simple නේ ....
අද  පැටවු දෙන්නම උදේම ඉස්කොළෙට දාගෙන මමයි ,මනෝජයි දෙන්නම ආවා වාට්ටුවට ,මොකද අද අපි දෙන්නම උදේ Duty. වෙලාව හයයි පනහට විතර , ටිකක් වේලාසන වැඩියි වගේ , තවමත්  රාත්‍රී සේවා මුරයේ හිටි අපේ මිතුරු හෙද නිලධාරිනියන් දෙදෙනා රාජකාරියේ , .....

“ආ නිශාන්ත අයිය , අද කළින්ම ඇවිත් ...තාම වැඩ ටික ඉවර නැහැ අනේ ..අර පැටිය නාවන්න ඕනනේ , පොඩි යුද්දයක් වගේ තමයි ....“  
දොරෙන් ඔළුව විතරක් එළියට දාපු මගේ සොයුරියක් කියා ගෙන ගියා , “ආ අර I.M. abscess තියෙන කොළු පොඩ්ඩද ....කොහොමත් එයා නාන්න කිව්වොත් බෑම නේ , නේද ?“ අපේ ඒකකයෙ ඉන්න රෝගීන්ට හුඟ දවසකට විශේෂිත ඖෂධ මිශ්‍රිත නැහැවුමක් ලැබෙනවා . ඒක ප්‍රතිකාරයේ කොටසක් ,  එත් පොඩ්ඩන්ව උදේට නාවන එක නම් හරිම අමාරුයි , ඇත්තනේ සීතලත් එක්ක නාන්න පුළුවන්ද ?


..මටත් දැන්ම වැඩ බාර ගන්න බැහැනේ , තව ටිකක් වෙලා යාවි වැඩ කටයුතු ඉවර කරල report එහෙම ලියල ඉවර වෙනකොට ..මාත් පුටුවකට බර දීලා B.H.T ටික කියවන්න පටන් ගත්ත ,

මෙන්න රිපෝට් එක .මෙහි R කියන්නේ Resistant 
මුලින්ම කාළයක් තිස්සේ අපේ ඒකකයේ ඉන්න ‘පුබුදු“ ගේ ටිකට් එක ...වෛද්‍ය සටහන් ...........ලොකු වෙනසක් නැහැ ..තව  දුරටත් ප්‍රතිකාර continue කරන්න තියෙනවා ,
හෙද සටහන් වලත් ලොකු වෙනසක් නැහැ ..ටිකෙන් ටික මගේ ඇහැ යොමු වුනේ පරීක්ෂණ වාර්තා කොටසට ...අළුත් A.B.S.T රිපෝට් එකක් !, ඊයේ රෑ නිකුත් කළ එකක් Wound swab culture and A.B.S.T , අපේ ඒකකයේ හැටියට හුඟක් වටින වාර්තාවක් (මේ පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වන්නේ රෝගියෙක්ගෙන් ලබා ගත් ලේ හරි සැරව හරි සාම්පලයක ඉන්න බැක්ටීරියාවන් විද්‍යාගාරයේ වර්ධනය කරල , ඒ බැක්ටිරියාව කවුද කියන  එකයි , ඒ බැක්ටීරියාවට පහර දෙන්න පුළුවන් හොඳම Antibiotic මොනවද කියන එකයි AntiBiotic Sensitivity Test .) .

.“හපොයි ...“ මට මේ සටහන දැක්ක ගමන් මගේ ඇස් උඩ ගියා ...මට හිතා ගන්න බැරි උනා ..මෙන්න රිපෝට් එකේ , ඔක්කෝම High antibiotic වලට  Resistant , ඒ කියන්නේ මේ රෝගියාගේ තුවාලේ සැරව වල ඉන්න බැක්ටිරියාවන් සම්බන්ධයෙන් කළ මෙම පරීක්ෂණයෙන් හදුනාගෙන තියෙන්නේ දැනට තිබෙන සියළුම ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වලට මෙම බැක්ටීරියාවන් ප්‍රතිරෝධී බව , ඒ කියන්නේ දැනට අපේ රටේ තිබෙන ඉහළම Antibiotics වලට වත් මේ බැක්ටීරියාවන් මරන්නට බැහැ. ඒකේ අනතුර හිතාගන්න පුළුවන්ද ? දැන් ඉතින් අපේ ‘පුබුදු“ ට මොනවා කරන්නද ? මීට වඩා ප්‍රබල Antibiotics වර්ග අපේ රටේ ඇත්තෙත් නැහැ , විදේශියව තිබුණත් ඉතා සුළු වර්ග කිහිපයක් පමණයි , තිබුණත් එය අපේ රටට දරන්න බැරි තරම් පිරිවැයක් දරන්නට වේවි.


මෙන්න A.B.S.T එකක් වන හැටි 
ලොකු ප්‍රශ්නයක් වන මේ තත්තවය අපි නම් කරන්නේ Multi Drug Resistance නමින් ,(මේකෙ භයානකකම මෙහෙම කියන්නම් , අපිට උණ හෙම්බිරිස්සාවක් වගේ පොඩි ලෙඩක් හැදුනත් , ඒ ලෙඩේ හොඳ කරන්න බෙහෙතක් නැතිව මැරිල යන්න වෙන දවස ළඟයි මේ තත්ත්වය තවත් ඉදිරියට ගියොත් )

“ඒක නෙවි නිශාන්ත අයියේ , පුබුදු Cefoperozone වලටත් Resistant වෙලානේ .! “ පුබුදුගේ රිපෝට් එක ගැන කල්පනා කරමින් හිටි මාව තිගැස්සුනා ..“ හ්ම් ඒක තමයි මාත් මේ බැළුවේ , අද අපි කතා කරල බලමු Doctor එක්ක , කොහොම වුනත් අපි මෙයාගේ වැඩ කරත්දි වෙනදට වැඩිය ටිකක් පරිස්සමෙන් වැඩ කළොත් හොඳයි වගේ Gloves ,Apron අනිවාර්යයි  , මොකද අපිට මේ බැක්ටීරියා එක ආවොත් ඉතින් , ඉවරයි වගේ ...“

“ඒක නෙවි , අයියා ...අද උදේ ඉන්නවනේ , මම Short leave එකක් ගත්තට කමක් නැද්ද ? කොන්ද කකියනවා හරිම අමාරුයි ...කමක් නෑනේ .....“ රාත්‍රී සේවය නිමා කළ අපේ සොයුරු හෙදියක් විමසුව ..
කෙටි සහනය ..
“හරි ..කමක් නැහැ , අපි වැඩ ටික Cover-up කරන්නම් , ලොකු මිස්ට කියල Short leave එකක් දාගන්න ... , ගියාට කමක් නැහැ පොඩ්ඩක් හොයල බලන්න M.M.ද දන්නෑ ......“.....
“මොන M.M. ?  , “
“Multiple myeloma ද දන්නැහැ නේ ....“
“අනේ යන්න අයිය..මොකෝ අපි එච්චර නාකිද ...? “ පොඩි තරහක් පෙන්න ගෙන ඇය ඔවුන්ගේ විවේක කාමරයට ගියා ...අපි දවසේ වැඩ පටන් ගත්ත ...

උදේ නමය විතර වෙත්දි අපේ වෛද්‍ය නිලධාරිවරිය ඒකකයට ආව ..ලොකු සාකච්ඡාවක් ඇතිවුනා පුබුදුගේ තත්ත්වේ ගැන , අපේ ක්ෂූද්‍රජීවි විශේෂඥ වෛද්‍යනිලධාරිතුමියත් දුරකතනයෙන් එක්වුනා  කතාවට...අවසානයේ දැනට භාවිත කෙරෙන අති ප්‍රබල ප්‍රතිජීවක වර්ගය තව දුරටත් Continue කරමු කියන තීරණයට ආවා ..........අපි බලමු මොකක් වේවිද කියල ?  මොකද දැන් හරියටම කියන්න අමාරුයි මේ බෙහෙත් මගින් ලෙඩේ හොඳ වේවි කියල , නමුත් .....ටිකක් අනියමාර්තයක් සහිත තීරණයක් එක්ක වැඩ කටයුතු කර ගෙන ගියා,

හවස ගෙදර ඇවිත් ලියන්න යමක් කල්පනා කරත්දි , අද හොඳ මාතෘකා දෙකක් ලැබුණත් Multi Drug Resistance කියන තත්ත්වය ගැන  මීට පෙර ලියල තිබෙන නිසා ආයෙත් ඒ ගැන නොලියන්නට හිතුව (මේ අනතුර ගැන ලියූ ලිපි දෙක  මෙතැනින් කියවන්න - පළමු ලිපිය , දෙවැන්න  ) , ඒ නිසා අනෙක් මාතෘකාව වන M.M. ගැන ලියන එක හොඳයි කියල හිතෙනව , මොකද පිළිකා අතරේ මෙයත් ඉහළ මට්ටමක ඉන්න එක් කෙනෙක් නිසා .අනෙක අද මේ M.M.  වැඩි වන තත්ත්වයක් හඳුනාගෙන තිබෙන නිසාත් .

පරිස්සම් වෙන්නම ඕන වයස 
මොකක්ද මේ M.M. ? .....වෛද්‍ය විද්‍යාත්මකව Multiple Myeloma කියන නමින් හදුන්වන , රුධිරය ආශ්‍රිත දෙවන ප්‍රධාන පිළිකාව තමයි මේ . දන්නවද මේ පිළිකාවේ මූලිකම ලක්ෂණය කලක් පවතින කොන්දේ කැක්කුම ....ටිකක් පරිස්සම් වෙන්න , ඒ නිසා මේ ටික හොඳට කියවල දැන ගන්න , මොකද මේ රෝග තතත්ව ගැන දැනුවත් වීම , ජීවිත අනතුරු වලක්වා ගන්න හොඳ උපක්‍රමයක් , අනෙක බොහොමයක් පිළිකා මුල් අවස්ථාවේ හදුනගත්තොත් සුව කරන්න හෝ හොඳින් පාළනය කරන්නට පුළුවන් . අවාසනාවට අපේ රටේ පිළිකා රෝගීන් රෝහලට එනකොට ඒක ඔඩුදුවල Metastasis ඉවරයි , හේතුව ලෙඩේ මුල් අවස්ථාවේ හදුනගන්න තරම් දැනුමක් , අඩුම තරමේ මෙහෙම ලෙඩක්ද කියල සැකයක් හරි ඇති කරගෙන වෛද්‍යවරයෙක් හමුවෙන්න තරම් වත් දැනුමක් නොතිබීම . මට හොඳට මතකයි මේ M.M. රෝගීන් එක්ක කතා කළාම ඔවුන් කියන්නේ “ ඔව් කොන්දේ කැක්කුම කාළයක් තිබුණ , කෙට්ටුත් උණා , උණත් තිබුණ ...ඉතිං අපි හිතනවද මෙහෙම කරුම ලෙඩක් හැදේවි කියල ...“ , ඔන්න උත්තරය , මේකෙ හරි වැරැද්ද හොයනවාට වඩා දැන්වත් මේ රෝග ගැන දැනුවත් වෙන එක හොඳයි නේද ? (සමහර විට මේ බ්ලොග් සටහන වෙනත් බ්ලොග් වගේ සුන්දර , රසවත් නොවෙන්නට පුළුවන් , ඒත් තිත්ත කසාය වගේ හරි මේ දැනුම මොළයට දාගත්තොත් අපි හැමෝටම යහපතක් වේවි කියලයි මගේ හිත කියන්නේ)

හරි දැන් අපි අපේ කතාවට එමු , කොහොම උනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි එයාගේ උපන්ගේ ඉදළම විස්තර හොයන්න වෙනවා , M.M.ගේ උපන් ගේ තමයි අපේ අස්ථි , නැත්නම් ඇට Bones , අපිට මේ අස්ථි වල වැදගත් කම නිකම්ම හැඩේ තියාගන්න විතරක් නෙවි , මේ අස්ථි මගින් තමයි අපිට අවශ්‍ය ලේ , ඇත්තම කිව්වොත් ලේ වල තියෙන රුධීර සෛල (Blood cells) බොහොමයක් හදල දෙන්නේ , අනෙක අපේ ඇඟට අතවශ්‍ය කැල්සියම් කියල මූල ද්‍රව්‍යය ගබඩා කරල , ඕන වෙලාවට ගන්න පුළුවන් විදියට පරිස්සම් කරල තියාගන්නෙත් මේ ඇට ඇතුළේ .

ඔය අස්ථික වටේට තද කොටසක් තිබුණත් ඇතුලට වෙන්න බොහොම මෘදු ප්‍රෙද්ශයක් තියෙන්නේ , අපි ඒකට කියන්නේ ඇට මිදුළු කියලා Bone marrow , ඔන්න ඔය ඇට මිදුළු වල තමයි අපි මුලින් කී Blood cells හැදෙන්නේ .ඔබ දන්නව රතු රුධිරාණූ Red Blood cells  , සුදු රුධිරාණූ White blood cells සහ පට්ටිකා Platelet නමින් ප්‍රධාන කොටස් තුනක් අපේ රුධිරයේ හදුනගන්න පුළුවන් , ඒ වායෙන් වෙන වැඩ කිව්වොත් “රතු“ තමයි අපේ ඇඟ ඇතුලේ ඔක්සිජන් ගෙනියන්න උදව් වෙන්නේ , අපේ ඇඟ හොඳට ප්‍රණවත්ව තියා ගන්න මෙයා හුඟක් වැදගත්
 , “සුදූ“ ගැන දන්නවනේ , එයා හරි සැරයි , එයාගේ මූලිකව කටයුත්ත තමයි අපේ ඇඟට ඇතුළු වන විෂබීම හරි නරක දේවල් හරි මරල විනාශ කරල අපිව ආරක්ෂා කර ගන්න එක , “චුටි පට්ටිකා“ නිසා තමයි අපේ ඇඟේ ලේ හෙල්ලුනාම , ටික වෙලාවකින් ලේ ගලන එක නරත වෙන්නේ ,

මෙන්න myeloma සෛල 
ඔන්න ඔය කට්ටිය අතරින් මේ M.M. ගේ බලපැමට මුලින්ම යටත් වෙන්නේ අපේ ආරක්ෂාවට ඉන්න කාණ්ඩයේ Plasma cell කියන අය , මේ අය තමයි අපේ ඇඟට නරක දෙයක් ආවොත් Antigen කියන උණ්ඩ වලින් වෙඩි තියල , අර නරක කෙනා මරළ , අපිව බේර ගන්නේ .
Multiple Myeloma හැදුනම මොකද වෙන්නේ , දැන් වෙන්නේ අර අපිට උදව් කළ Plasma cells වෙනස් වෙලා (පිස්සු හැදෙනවා වගේ තමයි )  ඒවා පිළිකාමය Myeloma cells බවට පත් වෙනවා. දැන් වෙන දේ හිතා ගන්න පුළුවන්ද ?

මුලින්ම වෙන්නේ අපිට උදව් කළහොඳ  Plasma cells දැන් නැති නිසා අපේ ආරක්ෂාව අඩු වෙන එක , ප්‍රතිපලය අපිට වෙන වෙන ලෙඩ රෝග , උණ වගේ තත්ත්ව ඇති වෙන්න පටන් ගන්න එක , අනෙක අර පිස්සු පිළිකාමය Myeloma cells දැන් ඉතිං පිස්සු නටන්න පටන් ගන්නවා ,  ඒ කියන්නේ එයාල කිසිම පිළිවෙලක් , රටාවක් නැතිව වේගෙන් පැටවු දාන්න පටන් ගන්නවා , දාන පැටවුනුත් Myeloma cells (ඉතිං පිස්සු වැඩි වෙනවානේ ) , අනෙක මේ විකෘති වෙච්ච පිළිකාමය Myeloma cells කිසි වැඩකට නැති Antigen උණ්ඩ සීඝ්‍රව හදන්න පටන් ගන්නවා , හැබැයි මේවායින් අපේ ඇඟට කිසිම පලයක් නැහැ.

දැන් ඉතිං මේ ඔක්කොම පිස්සු නටන්නේ කොහේ ඉඳගෙනද ? ....මතකද මේ ඕකකොම ඉන්නේ Bone marrow කියන අස්ථිය ඇතුලේ පොඩි ඉඩක . මේ වගේ තැනක Myeloma සෛල පිළිකාමය පිස්සුව නටන්නට පටන් ගත්තාම වෙන්නේ , එතන හිටපු  හොඳ සෛල වලට කන්න බොන්න තියෙන දේවල් පවා මේ විකෘති සෛල විසින් උදුර ගන්න එක ,අනෙක මෙයාල කිසිම පිළීවෙලක් නැතිව පැටවු දාන නිසා , පිළිකා සෛල වැඩි වෙමින් පිරෙන්න පටන් ගන්නව අර අස්ථි කුහරය ඇතුළෙ , ප්‍රථිපලේ අපිට උදව් කරන Red Blood cells ,පට්ටිකා වගේ අයට කන්න බොන්න , ඉන්න හිටින්න නැතිව යනවා . ඔන්න ලෙඩාගේ හොඳ රතු රුධිරාණු , පට්ටිකා ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා ,

තරු (මරු)  පේන කැක්කුම 
ඔය අතරේ Myeloma සෛල කියන පිළිකාමය පිස්සු සෛලය ඔය විදියට නටන කොට ඔය ආසන්නයේ ඉන්න Osteoclast කියන සෛල විශේෂයත් එයා එක්ක නටන්න පටන් ගන්නවා , එයා නටන කොට වෙන්නේ මොකක්ද දන්නවද ? අපේ අස්ථි වල තියෙන කැල්සියම් දියවෙවි ලේ වලට එකතු වෙන එක ...එතකොට අස්ථියේ තිබුණ හයිය , ඝණකම නැතිව යන්වා , ඉක්මණට බිදෙන්න බලනවා , එක්තරා විදියකින් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයක්ම ඇති වෙනවා. (ඔස්ටියෝපොරෝසිස් ගැන දැන ගන්න මෙතැනට එන්න) , ඔන්න ඔය වෙලාවේ තමයි තද කොන්දෙ කැක්කුමක් එන්නේ  ,මොකද අර දෙන්නගේ නැටිල්ල නිසා අස්ථීයේ ඝණ බව අඩු වෙනව කිව්වනේ , දැන් ඒ අස්ථීයට ලොකු බරක් දරන්න බැහැ , නිකං ස්පොන්ජ් එකක් වගේ හැකිලෙනවා   , අස්ථිය ඒ විදියට හැකිලිලා , ඒ ආසන්නයෙන් යන ස්නායු මතට තද වෙනකොට තමයි අර තද කොන්දේ කැක්කුම එන්නේ , ඊට අමතරව අනෙක් අස්ථිවලත් (අත පය , උකුළ) තද කැක්කුම් එන්න පුළුවන් , නමුත් හුඟ වෙලාවට මුලින් ම කැක්කුම මතු වෙන්නේ කොන්දේ , හේතුව අපේ ඇඟේ ලොකු බරක් දරන තැනක් තමයි කොඳු ඇට.

නිකං අච්චාරුවක් වගේ ලිව්වට අපි දැන් ටිකක් විස්තරාත්මකව හදුනගනිමු මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා , ප්‍රධානම දේ කොන්දේ කැක්කුම Backaches , හේතුව ආයෙත් කියන්න ඕන නැහැනේ , අනෙක් එක ඇඟට හරිම වෙහෙකර බවක් දැනෙනවා , හරිම මහන්සියි වගේ , සමහර විට හුස්ම ගනිත්දි හතිය වගේ දැනෙන්නත් පුළුවන් , මෙහෙම වෙන්නේ අපේ හොඳ රතු රුධිරාණූ අඩු වෙලා යන නිසා , අපි නිරක්තිය නැත්නම් Anemia කියන්නේ මේ වගේ අවස්ථාවක මේ එක්කම එන ඇගේ පතේ රුදාව , පන නැහැ වගේ දැනෙන්න තව හේතුවක් තියෙනවා , ඒ තමයි ලේ වල කැල්සියම් වැඩි වීම , මේකට හේතුව නම් අර Osteoclast සෛල වල නැටිල්ල.මේ නිසාම අපේ රෝගියාට කෑම අප්පිරිය වෙනවා , වැඩි පුර මුත්‍රා කරන්න යන්න පටන් ගන්නවා , නිකං වමනෙට යන්න වගෙත් එනවා , සමහර අවස්ථා වල වමනේ දාන්නත් වෙනවා. මේ තත්ත්වේ ටික දවසක් තියෙන කොට මොකද වෙන්නේ “බලාගෙන ඉදිත්දි කෙට්ටු වෙනවා , බර අඩු වෙනවා , මේක වැදගත් ලක්ෂණයක් . මේ එක්කම හැමදාම ඇඟට නිකං උණ වගේ තියෙන්න පුළුවන් , නැත්නම් උණ , කැස්ස , උගුරේ අමාරු වගේ තතත්ව දිගින් දිගටම ඇති වෙන්න පුළුවන් . හේතුව කියන්න පුළුවන්ද ?...ඔව් අර නරක අය වැඩි වෙත්දි හොඳ සුදු රුධිරාණූ කියන ආරක්ෂකයින් අඩු වෙන නිසා තමයි ඒ.

මොනවද මේ පිළිකාව ඇති වෙන්න පුළුවන් හේතු ? කියල මගෙන් ඇහුව්වත් , මේ ලෙඩේ ගැන පර්යේෂණ කරන විද්‍යාඥයින්ගෙන් ඇහුව්වත් උත්තරේ “හරියටම දන්නේ නැහැ “ කියන එක ,  ඒත් වියපත් වීමත් එක්ක මේ රෝගය ඇති වීමේ අවදානම වැඩියි , දැනට හදුනාගනෙ තිබෙන විදියට රෝගීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් අවරුදු 45ත් 70ත් අතරේ , එයිනුත් වැඩිම පිරිස පිරිමි අය .ඒ වගේම ජානමය වශයෙන් ගමන් කිරීමේ අවදානමකුත් නැතුවා නොවේ , කොහොම වුනත් මෙන්න මේ ක්ෂේත්‍ර වල , නැත්නම් පරිසර වල ඉන්න ඔබ ටිකක් සැළකිලිමත් වුනොත් හොඳයි , ඒ තමයි කෘෂි රසායන හෝ තීන්ත කර්මාන්ත වැනි නිතර රසායනික ද්‍රව්‍ය සමඟ ගැටෙන්න වෙන අය තමන්ගේ ආරක්ෂාව ගැන වෙනදට වඩා හිතන එක හොඳවේවි , අදාල ආරක්ෂක උපක්‍රම ගැනීම හරිම වැදගත් , ඒ එක්කම පෙට්ට්‍රෝලියම් ආශ්‍රිත රැකියා කරන්නනුත් නිසි ආරක්ෂක උපක්‍රම භාවිත නොකළොත් අවදානමේ . ඒ වගේම Asbestos කෙදිති නිසාත් මේ රෝගය ඇති වෙන්න පුළුවන් බව කියවෙනවා.

Blood tests කරාවි 
මේ තතත්ව එක්ක මුලින් කී රෝග ලක්ෂණ තිබේ නම් , සැකයක් ඇත්නම් හොඳම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගන්න එක. ඔබව තව දුරටත් පරික්ෂණ සඳහා යොමු කළ යුතු නම් ඔහු , ඔබව රජයේ රෝහලකට යොමු කරාවි , එහිදි ඔබේ රුධිරය පිළිබඳ සාමාන්‍ය පරීක්ෂා වගේම Serum electrophoresis කියන විශේෂිත රුධිර පරික්ෂණයත් කරාවි , ඊට අමතරව ඔබේ මුත්‍රා පරික්ෂණ කිහිපයක් , X ray වගේම Bone marrow biopsy කියන ඔබේ ඇට මිදුළු ස්වල්පයක් ඉවතට ගන්නා පරික්ෂණයත් කරන්න පුළුවන් , මේ බොහොමයක් පරීක්ෂන අද රජයේ රෝහලකින් කර ගන්න පුළුවන් බව කියන්නම ඕන , පෞද්ගලික ආයතන වලින් කරන්න ගියොත්  මේ පරික්ෂණ වලට ඉතා විශාල මුදලක් වැය කරන්න වේවි . මේ විදියට පරික්ෂණ සිදු කරල , යම් යම් සාධක තහවුරු වුනොත් අදාල රෝග තත්ත්වය  Multple Myeloma කියල නම් කරන්න පුළුවන් .

ඒ විදියට රෝග තත්ත්වය හදුනා ගත්තොත් ඉදිරි ප්‍රතිකාර බොහොමයක් පිළිකා රෝහලකදි සිදු කරන්න වෙනවා , මොකද මේ වෙලාවේ ප්‍රතිකාර කරන්නේ පිලිකා නාශක ඖෂධ මූලික කරගෙන ,ඊට අමතරව විකිරණ ප්‍රතිකාරයත් ලබා දෙනවා Radiation therapy (මේ පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ගැන තවත් තොරතුරු  මෙතැනින් ගිහින් දැන ගන්න පුළුවන්)  ඒ එක්කම රෝගියාට වරින්වර ලේ ලබා දීම් කරන්නටත් සිදු වෙනවා ,  එච්චර ද , මේ තත්ත්වයේදි  රෝගියා වෙනත් බෝවන රෝග වලින් හුඟාක් පරිස්සම් කර ගන්න ඕන . (මේක තමයි අමාරුම වැඩේ අපේ රටේ නම් )  , මෙම ප්‍රතිකාර වලට අමතරව Stem cell Transplant කියන විශේෂීත ප්‍රතිකාරයට යොමු කරන්නත් පුළුවන් , මෙහිදි කරන්නේ , පිළිකානාශක ඖෂධ Chemotherapy agents විශේෂිත මාත්‍රාවන් doses ලබා දෙමින් , රෝගියාගේ ඇට මිදුළු තුල ඇති හොඳ සෛලයි නරක පිළිකාමය සෛලයි ඔක්කොම මරළ විනාශ කරල දාල , අළුතින් ඔබේ ඥාතියෙක්ගෙන් ගත් හෝ ඔබෙන්ම ඉවත් කර පිරිසිදු කර ගත් හොඳ සෛල නැවත ඇට මිදුළු තුලට ඇතුළු කිරීමක් .හැබැයි මේ ප්‍රතිකාරයෙන් පස්සේ රෝගියාට විශේෂිත විෂබීජ රහිත ආරක්ෂක පරිසරයක මාස කිහිපයක් ඉන්නට වෙනවා. ඉන් පස්සේ අර අළුතින් ඇතුළු කළ හොඳ සෛල සාමාන්‍ය විදියට වැඩ පටන් ගත්තොත් තමයි ප්‍රථිපලේ සාර්ථක වෙන්නේ

අන්තිමට අනතුරේ ස්වභාවය කියන්නම් , නිසි කළට හඳුනගෙන ප්‍රතිකාර නොගත්තොත් , අපි මුලින් කී තත්තවයන් උග්‍ර අතට හැරේවි , අස්ථි බිඳිමි වගේම අංශභාගය , වකුගඩු අප්‍රාණික වීම් වගේ තත්ත්වත් ඇති වේවි. කෙටියෙන්ම කිව්වොත් අවාසනාවන්න නිමාවක කතාවක් වෙන්නත් පුළුවන් එය .

මේ කතා බහ අකුරු කරත්දි මගේ හිත මීට වසර හයකට විතර ඉස්සර කාළෙකට දිව යනවා . මගේ වෘත්තීය ජීවිතේ වඩාත්ම සතුටින් සේවය කළ පිළිකා ඒකකයේදි මෙවන් M.M. රෝගීන් කීදෙනෙක් හමු වුනාද , මිතුරු වුනාද ? ඒත් අද ඔවුන් .........................................????????????????


*** මෙම සොඳුරු සුව අසපුව මගින් මා බලාපොරොත්තු වන්නේ අපි වටා පවතින සෞඛ්‍යමය අනතුරු හෝ රෝග තත්ත්ව ගැන යම් දැනුමක් ඔබ වෙත ලබා දීමයි. එමෙන්ම මෙබදු මාතෘකාවන් වෛද්‍ය විද්‍යාත්මක දැනුම හිඟ සාමාන්‍ය ප්‍රජාව තුලට ගෙන යාමේදි විවිධ ප්‍රායෝගික ගැටළු , විශේෂයෙන් භාෂාත්මක , ව්‍යවහාරික පද හිඟකම වැනි ගැටළු මතුවේ , ඒ ගැටළු මග හරිමින් යම් තරමක හෝ දැනුමක් දෙන්නට තනන මගේ උත්සාහය කෙතරම් සාර්ථක දැයි හඳුනාගත හැක්කේ ඔබේ ප්‍රතිචාරයන්ගෙනි . ඒ බැවින් මෙම ලිපි පිළිබඳව ඔබේ අදහස් දැන ගන්නට කැමැත්තෙමි , විශේෂයෙන් තව දුරටත් නිවැරදි , වෙනස් විය යුතු රටාවන් හෝ ශෛලීන්වේ යැයි ඔබ හදුනාගන්නේ නම් ඒ පිළිබඳව මා දැනුවත් කරනු ඇතැයි අපේක්ෂා කරමි .

13 comments:

  1. Excellent post . Have to read again. Will comment later

    ReplyDelete
  2. සුපුරුදු පරිදි හොඳ ලිපියක්. ඔබගේ ලිවීමේ රටාවේ කිසි අඩුවක් නෑ. සරළයි . පැහැදිලියි...වෛද්‍යවරයෙකුටවත් මෙතරම් හොදින් පැහැදිලි කල හැකිදැයි සැකයි...

    ReplyDelete
  3. -Bindi ,
    Thank you Bindi , I highly appreciate your comment.

    -Gimhani,
    ස්තුතියි ගිම්හානි , හැමදාමත් ඔබ ලබා දෙන දිරි ගන්වන සුළු අදහස් හරිම වටිනවා ,මේ බ්ලොග් සටහන පමණක් නොවේ මේ සිංහල බ්ලොග් අවකාශය පුරා යමින් ඔබ කරන මෙහෙය මහත් වටී.

    ReplyDelete
  4. අද ලිපියත් උවමනාවෙන් කියෙව්වා.
    හැකි පමන හිතේ ධාරනය කර ගත්තා.
    ස්තුතියි...මේ මහගු මෙහෙවරට.

    ReplyDelete
  5. MM ekak thiyana kenekuge kodu ata pele asthiyak dekak poddak ehe mehe welaa susumnaawata yam therapeemak karanna puluwanada?

    ehema karana roga thathwayak thiyanawaa neda?

    deka athara samaaana kama mokakda?

    ReplyDelete
  6. - නිල් අහස - ,
    ස්තුතියි ඔබට...

    -All in one,
    සාමාන්‍යෙයන් Vertebral(කොදු ඇට) “දෙකක් එහා මෙහි වෙලා “ සුෂුම්නාව spinal code compression එකක් වෙන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා.උපතින්ම කොඳු ඇට පෙළෙහි වන අස්භාවික පිහිටීම් , හදිසි අනතුරු , වගේ හේතු ඒ අතර ප්‍රමුඛයි.

    එමෙන්ම ඔස්ටියෝපොරෝසිස් වගේ අවස්ථා වලදි කොඳු ඇට වල තිබෙන ශක්තිමත් බව bone density අඩු වෙලා ,සුෂුම්නාව තෙරපෙන්නත් පුළුවන්. Multiple myeloma කියන පිළිකා තත්තවයේදිත් වෙන්නේ අර ඔස්ටියෝපොරෝසිස් වල විදියට සුෂුම්නාව තෙරපීම සහ සමහර විට කොඳ ඇට බිඳිමක් මඟින් එම තෙරපීම ඇති කිරීමක්. මේ අනුම කියන්න තියෙන්නේ සුෂුම්නාව තෙරපිමක් ඇති කරන්න පුළුවන් අවස්ථා අතරේ M.M. කියන්නේ තවත් එක අවස්ථාවක් පමණක් බව , නමුත් මේ අවස්ථාව අතිශ්‍ය අවාසනාවන්ත විය හැකියි නිසි කළ හඳුනාගෙන නිසි ප්‍රතිකාරයට යොමු නොවුනොත්. ස්තුතියි .

    ReplyDelete
  7. හිතේ ලැගුම් අරගත්තු දුක් පසුතැවිලි අමතක වෙනවා සර් අපේ අසපුවට ආවම. ගොඩාක් පින් ඔබට

    ReplyDelete
  8. -nadeesha,
    දුවේ අපේ ජිවිතයට දුක් , පසුතැවීම් , වේදනාවන් ලැබෙන්න ඕන , ඒ වගේම ඒවා ලැබෙන තරමට අපි දිරිමත් වන්නට ඕන , නැවත ඒ ගැටළුවටම පසුනොතැවෙන්නට නිතර උත්සාහ ගන්නට ඕන , මතක තියා ගන්න අනාගතේ දවසක ජීවිතේ දිනන්නට මේ අත්දැකීම් අදව්වක් වේවි .
    ස්තුතියි දුව , ඔබේ කණ්ඩායමේ , මගේ අනෙක් පැටවුනුත් ආදරෙන් මතක කළ බව කියන්න...

    ReplyDelete
  9. අම්මෝ මෙහෙම කිව්වම මට මතක් උනේ මේ දවස්වල මගෙත් කොන්දේ අමාරුවක් තියෙනවා. ඒ හන්දා මම් කරන්නේ පැදුරක් එලන් බිම නිදාගන්නෙක. ඒත් උදේට නැගිටින්න තමා අමාරු.

    ReplyDelete
  10. -මධුරංග ,
    ඒ නම් මම හිතන්නේ මේ දවස් වල පාඩම් කරන්න මහන්සි වෙන නිසා වෙන්න ඇති , නිකංම පැදුර එළාගෙන බිම නිදා ගන්නේ නැතිව , බෙඩ් ෂීට් දෙකක් විතර දෙකට විතර නවල සෙන්ටිමීටර් එකක දෙකක් විතර උසක් එන විදියට , ඒ මත නිදා ගන්න ....එතකොට ඔය උදේට එන වේදනාව අඩුවේවි..

    ReplyDelete
  11. භයානක ලෙඩක් ගැන කාටත් දැනගන්න සරලව පැහැදිලි කරලා....
    බොහොම වැදගත් ලිපියක්...

    ජය වේවා....:)

    ReplyDelete
  12. -සුදු මැණිකේ(මැණික්),
    ස්තුතියි සුදු මැණිකේ , දැන ගත්ත දේවල් මිතුරන්ටත් කියා දෙන්න ...

    ReplyDelete
  13. Dear Mr. Mahesh, I saw this article of yours when I was doing a web search for plasma elecrophoresis test. I have been having lichen amyloidosis for years and unable to overcome this painful situation as no cure for this disease. I have been doing many tests to see how it has effected my body. Yet no progress. I was recently advised by doctor to do the above test after my two legs were occasionally found lifeless when resting. I read your article and it was very useful. Thank you very much. Best regards,

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)