2011/09/17

58) පණ රැක දෙන ..දිව නටවන ..පෙත්ත.

අපේ අළුත් සගයා 
අද අපේ ඒකකයේ හැමෝටම හුඟක් සතුටු දවසක් , එකක් අපේ ඒකකය භාර හෙද නිලධාරිනියගේ උපන් දිනය , අනෙක් වැදගත්ම දේ අපේ ඒකකයට ලොකු අඩුවක් වෙලා තිබුණූ රූපවාහිනි යන්ත්‍රයක් පරිත්‍යාගයක් විදියට ලැබීම . අනෙක් හෙද නිලධාරින් පරිත්‍යාගය නීත්‍යානූකූල විමට අවශ්‍ය ලිපි ලේඛණ සකසත්දි මමත් ජයන්තත් බිත්තියේ සිදුරක් හදාගෙන අළුත් වයරින් එකක් කළ ා ,මොකද රූපවාහිනිය ලැබුණට ඒකට power supply දෙන්න ක්‍රමයක් නැහැ ,ඕව පොත් වල ලිය ලිය ආණ්ඩුවෙන් කරව ගන්න ගියොත් තව කාළයක් යනව. දන්නවනේ ඉතින් වැඩක් කර ගන්න ගියාම කොයි තරම් කොළ ලියාගෙන අනුමත කර කර යන්න ඕනද කියලා, කොහොම හරි පැය දෙක තුනකින් සියල්ල හරි , රුපවාහිනිය ක්‍රියාත්මකයි , වැඩේ කියන්නේ අපේ කට්ටියට (රෝගීන්ට) වැදගත්ම දෙයක් තමයි විකාශය වෙන්නේ , ක්‍රිකට් තරඟයක් , අපේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් තරුණ කොළු ගැටළු ..හැමෝටම හරි සතුටුයි , මොකද සමහරු රූපවාහිනිය නරඹන්නේ මාස නමකට විතර පස්සේ .දැන් අපේ ante room එක ,( රෝගීන්ගේ කාමර වලට පෙර තිබෙන විශේෂ කොටස)  හිනාවෙන් , කතාවෙන් පිරිළා.



පෙත්තක් දෙන්න ..
ඔය අතරේ තවත් කවුදෝ ටිකක් වයසක කෙනෙක් ඇවිත් පිරිස ඉන්න තැනම පුටුවක වාඩි උනා ,  දැකල හුරු නැහැ , මොකද අපේ රෝගින්ගේ පවුලේ අය නම් ඉතින් නෑදෑයෝ වගේ අඳුනනවනේ ...
“කවුද මේ ....මොකද මේ වෙලාවේ ..?“ සාමාන්‍යෙයන් රෝගීන් බලන්නට එන වෙලාව නොවන නිසා නිකමට වගේ ඇහැවුව.
“මහත්තය පපුව ....“ අමාරුවෙන් වගේ , පොඩි සැකයක් ආව angina patient කෙනෙක්ද  දන්නෑ ..
“ඔව් ...“
“දිව යට තියෙන පෙත්තක් “ ඔහුගේ දෑසේ තිබුණු බිය මුසු පෙනුමක් ...
“හරි දෙන්නම් , මහත්තයා මීට ඉස්සර අරගෙන තියනවද ඒ පෙති “ තවත් කතා කරවන්න නොසිතුනත් “අගක් මුගක් දන්නැතිව “ බෙහෙතක් දෙන්න බැහැනේ.
කලබලේට පසුම්බිය ඇදල කාඩ් එකකුයි , කොළ කැල්ලක් දුන්නට මට .... මොකක්දෝ විශ්‍රාම වැටුපකට අදාල I.D. එකකුයි , Diagnosis card එකක ෆොටෝ කොපියකුයි ,  I.H.D.+D.M එහි සටහන්ව තිබුණා , අවශ්‍ය අවස්ථාවක දිවයට G.T.N. පෙති තියා ගන්නත් උපදෙස් එහි අඩංගුයි .
ඉක්මණින්ම G.T.N. පෙත්තක්  ගෙනත් අපේ අමුත්තට දුන්නේ , ජිවිතය බේරා ගැනීමක් විය යුතු නිසා . ..
මේ අතරේ මේ ගැන හාංකවිසියක් නැතිව අපේ රෝගී මිතුරන් match එක  බලනවා ,

විනාඩු දහයකින් විතර අපේ අමුත්තා ආව ...“ බොහොම පිං මහත්තය , දැන් නං හොඳයි වගේ ...“
“හොඳයි වඩා වෙන්නකෝ ...මොකද වුනේ ?“
“අද මේ කකුල පෙන්න ගන්න ක්ලින්ක් ආව , පෝලිම වැඩි නිසා මං ළමය එතන තියල ටිකක් එහෙට මෙහෙට ගියා , මහත්තයලගේ වාට්ටුව පැත්තෙන් බිත්තියක් කඩන සද්දයක් ලොකුවට ඇහුන නිසා ආවෙ බලන්න මොකද කියල ඒ ඒනකොට තමයි කැක්කුම ආවේ ....මට ඉතින් මේක පුරුදුයි .වෙනදටනම් පෙති සාක්කුවේ දාගෙනම තමයි යන්නේ ...අද ගෙනත් නැහැනේ .. ඒකයි ඇවිත් වාඩි වුනේ ...වෙනදනං වාඩි වෙලා ටිකක් හිටියම අඩු වෙනවා ..අද ටිකක් වෙනස් නිසා තමයි මට බය හිතුනේ ....“
“හ්ම් ...දැන් කොහොමද ,? කොහොම වුනත් තියෙන තත්ත්වේ හැටියට ඉක්මණට ලොකු දොස්තර මහත්තයට පෙන්නන එක හොඳයි වගේ , පුළුවන් නම් බදාදට ඇවිත් අපේ හෘද රෝග සායනේට පෙන්න ගන්න . මට නං හිතෙන්නේ පරක්කු කර කර ඉන්න එක ඒ තරං හොඳ නැහැ වගෙ ...“
“ඒක නං ඇත්ත මහත්තය , අද නං ටිකක් බය හිතුන ....පෙන්න ගන්නම ඕන තමයි ...“
------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ කතාව අදත් මට හොඳ ආරම්භයක් ගෙනාවා අළුත් ලිපියකට . ඇත්තටම මොනවද මේ දිව යට තියන පෙති ? ... අපේ අද කතාව අන්න ඒ  ගැන.

හැබැයි අද කතාව කියන්න  ඉස්සර වෙලා මගේ විසි එක් වන ලිපිය කියවල ආවොත් තමයි වඩා හොඳ , හඳුන්පත ගැන කියන ඒ ලිපියට මෙතන ක්ලික් කරලා යන්න පුළුවන් .

මොනවද මේ G.T.N. ?

පණ බේරන පෙත්ත
G.T.N. කියන්නේ Glycerin Trinitrate කියන නාමයන්  කෙටි හැදින්වීම . ඒ ඖෂධයේ ප්‍රධාන කාර්යය තමයි රැධිර වාහිනි , විශේෂයෙන්ම හෘද පේෂියට රුධිරය , ගෙන එන කිරීටක ධමනි පළල් කිරීම . මේ විදියට රුධිර වාහිනි බලෙන් පලල් කරන්න වෙන්නේ ඇයි ?. විවිධ හේතු නිසා හෘදයේ පේෂියට ලේ ගේන රුධිර වාහිනි පටුවෙන්න පුළුවන් (ඒ ගැන අපි 20 සහ 21 ලිපි වලදි කතා කරල තිබෙනවා) , ඔය විදියට ඒ නහර පටු වුනාම හෘදයේ පේෂියට කෑම බීම , ඔක්සිජන් අරගන ලේ වලට එන්න බැරි වෙනවා , ප්‍රතිඵලේ හෘද් පේෂියට කන්න බොන්න හුස්ම ගන්න විවියක් නැතිව අඬන එක ..ඒක  අපිට දැනෙන්නේ “පපුවෙ කැක්කුමක්“ විදියට ..දැන් අපි G.T.N. පෙති ගත්තම , ඒ නහර පළල් වෙනවා , දැන් ලේ ටිකක් පහසුවෙන් හෘද පේෂියට ගලාගෙන එනවා . එතකොට අර තිබුණු වේදනාව , අපහසුව අඩුවෙනවා . නමුත් මේක තාවකාළීක ප්‍රතිකාරයක් විතරයි . හැබැයි අර කැක්කුම එත්දි , පාර පළල් කරගන්නට (ලේ නහර ) පෙති නොතිබුණොත් මොකද වෙන්නේ ..අර හෘදයේ පේෂීය කන්න බොන්න හුස්ම ගන්න නැතිව මැරිල යන එක , අපි ඒ තත්ත්වය නම් කරන්නේ Myocardial infarction MI නමින් , ඉතා අනතුරුදායක තත්තවයක් , ඇයි ද දන්නවද ? හෘදයේ පටක මිය ගියොත් නැවත එය නිවැරදි කරන්නට බැහැ , ඉතින් මේ විය හැකි අනතුර වලක්වා ගන්නට දෙන දිව්‍ය ඖෂධයක් තමයි G.T.N.

spry එක 
සාමාන්‍යෙයන් හෘද රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නෙකුට මේ පෙති භාවිතය ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියල දෙනවා , ඒ නිසා බොහොමයක් රෝගීන් මේ ගැන ප්‍රමාණවත්ව දැනුවත් . කෙසේ වෙතත් අපි කතා කරමු මේ පෙති ගැනීම ගැන අපි දැන ගන්නට ඕන කරුණු කිහිපයක් .

මේ පෙති ඇඟට ඇතුළු වෙලා ටික වෙලාවකින්(G.T.N. වල විශේෂත්වය තමයි එය හරිම ඉක්මණින් ක්‍රියාකාරී තත්ත්වයට පැමිණීම)  Nitric oxide කියන රසායනිකය නිශ්පාදනය වෙනවා. ඒ රසායනිකය මගින් අපේ ලේ නහර පළල් කරන හැකියාවක් තිබෙනවා.ඒ විදියට ලේ නහර පළල් කළාම මොකක්ද අපට ලැබෙන වාසිය , එකක් නොවෙයි අපිට ප්‍රධාන වාසි දෙකක් තිබෙනවා.

 ඒ , හෘදයෙන් පිට ලේ නහර පළල් වීම නිසා හෘදයේ එක් රැස් වන ලේ ප්‍රමාණය අඩු වීම . හරියට අපේ පාරවල් හොඳට පළලට , බාධක නැතිව තියෙනවා නම් හොඳ ප්‍රවාහන සේවාවක් තියෙනවා නම් central bus stand එකේ රැස්වෙන ප්‍රමාණය අඩු වෙනව වගේ . එත කොට බස් ස්ටෑන්ඩ් එකේ නඩත්තුව පරිපාලනය පහසු වෙනව වගේ දැන් හෘදයේ පරිපාලනයත් පහසුවෙනවා. මේක හරිම වැදගත් රෝගී වූ හදවතකට.

දෙවැන්න මේ ඖෂධය නිසා ප්‍රධාන ලේ නහර පලල් වෙන නිසා දේහයේ වැදගත්ම ඉන්ද්‍රියයන්ට( හෘදය , මොළය , වැනි ) ලේ සැපයීම හොඳ මට්ටමක තියා ගන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන් අපි මෙතැනදි හෘදය ගැන කතා කළොත් එය හරිම වැදගත් , මොකද අපි දැන් දන්නවා මේ වෙනකොටත් මේ රෝගියාගේ හෘදයේ ලේ නහර (කිරීටක ධමණි-coronary arteries ) අවහිර වෙලා , ඒ නිසා නේ හදවත් පේෂීයට ලේ ඒම අඩු වෙලා , වේදනාවෙන් කෙඳිරි ගාන්නේ.  ඉතින් මේ ඖෂධය මගින් ඒ කොරොනරි ආර්ටරි (කිරීටක ධමිනි) පළල් කරමින් හදවත් පේෂීයට හොඳ ලේ සැපයුමක් ඇති කරනවා.

ලස්සන හදවත .coronary බට දෙක
ඉතින් මේ තරම් වටින ජීවිතය රැක දෙන G.T.N. පෙත්ත ගැන තව දැන ගත යුතුම කරුණූ කිහිපයක් තිබෙනවා. ඒ තමයි අපි මේ කතා කරමින් ඉන්න පෙත්ත නම් අනිවාර්යයෙන්ම දිව යටම තැබිය යුතුයි , එහෙම තියන්න හේතුවක් තියෙනවා , අපේ දිව යට පුංචි පුංචි රුධිර වාහිනී රාහියක් තියෙනවා , හොඳ රුධිර සැපයුමක් තියෙන නිසා දිව යට තියා ගත්තම හරිම ඉක්මණින් මේ බෙහෙත ලේ වලට එක් වෙනවා , මේ වෙලාවේ වැදගත්ම දේ තමයි ඉක්මණින් ඖෂධය ලේ වලට එක් කිරීම , ඒ නිසයි එය දිව යටම තැබිය යුතු , වැරදිලාවත් මේක පෙවුන කියල කරදරයක් වෙන්නේ නැහැ , ඒත් මේ වෙලාවේ අපිට අවශ්‍ය “පණ බේරා ගැනීමේ ඉක්මණ් ක්‍රියාකාරීත්වය “ සිදු වෙන එකක් නැහැ. පෙත්තට අමතරව දැන් දිව යටට spay කරන්න  පුළුවන් විදියේ පොඩි spay can තියනවා , එයත් දිව යටටම ස්ප්‍රේ කිරීමෙන් තමයි හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.

ඊළඟ වැදගත් දේ ,මේ බෙහෙත හෘදයාබාධයක් සහිත ඔබ සමග නිතරම එක්ව යන්නට ඕන  ,ඒ කිව්වේ ඔයා කොහේ ගියත් කුමක් කළත් මේ පෙති ටික ළඟ තියාගන්නම ඕන. දැන් ප්‍රශ්නේ කොහොමද තියා ගන්නේ කියන එක . මොකද මේ බෙහෙ. පරිසරයේ රස්නෙට , තෙතමනයට හරිම සංවේදීයි , ඒ කියන්නේ ඒ තත්තව වැඩි වීමත් එක්ක බෙහෙතෙ ක්‍රියාකාරීත්ව අඩුවෙන්න පුළුවන්  ඒ නිසා මේ බෙහෙත් පෙති අනිවාර්යයෙන්ම අඳුරු , පොඩි , පියන හොඳින් වැසිය හැකි (air seal)  වීදුරු බෝතළයක තියාගන්න එක තමයි වඩාත් සුදුසු. මේ සඳහා ඖෂධය නිශ්පාදනාගාරයෙන්ම එන බෝතලයම හෝ වෙළඳපොළෙන් ලබා ගත් medicine box කියන දේ භාවිත කරන්නත් පුළුවන්. ඒ නිසා ඔය පෙත්ත නිකං උඩ සාක්කුවෙ දාගෙන ගිහින් දිව යට තියාගත්තට නිසි වැඩක් නොවෙන්න  පුළුවන්.

දිව යටින්ම තියා ගන්න 
අනෙක මේ බෝතලයේ තියෙන පෙති  බෝතලේ ෆ්‍රිජ් එකේ තියන්න එපා , ඒත් අඳුරු , වියළි තැනක තියන්න . අනෙක් වැදගත් දේ සති  අටක්වන විට බෝතලේ ඉතිරි වෙලා තියෙන පෙති ටික විසි කරලා අලුතින් G.T.N.පෙති ටිකක් ගෙනත් දාගන්න , මොකද මේ බෝතලය වීවෘත කළාට පස්සේ සති අටකින් එහි අඩංගු ඖෂධ වල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.  මේකට ලාබ පාඩු බල බල ඉන්න එපා , සමහර විට නාස්ති කළා වගේ හිතෙන්න පුළුවන් , ඒත් වැඩකට නැති පෙති දිව යට තියාගත්තට ජීවිතේ රැකෙන්නේ නැහැනේ. අපි කතා කළG.T.N. spray එකත් තද උණුසුමට ලක් නොවෙන්න වගබලාගන්න ,  ඒවගේම ඒක ගෙනා ගමන් expiry date සහ puff නැත්නම් spay වාර කීයක් ගන්න පුළුවන්ද කියන එක කියවල බලල , ඒ ගැන අවධානයෙන් ඉන්න.

ඔබ ප්‍රතිකාර මත ඉන්න කෙනෙක් නම් ඔබේ රෝග විනිශ්චය කාඩ් පත පෙන්වීම මගින් හෝ බොහෝ අවස්ථාවල එසේ නොමැතිව වුවත් ෆාමසියකින් මේ ජීවිතාරක්ෂක ඖෂධය මිලට ගන්න පුළුවන්.

හොඳයි දැන් අපි කතා කරමු මේ බෙහෙත ගන්න ඕන විදිය , ඔබ යම් හෘද රෝගයෙන් පෙළෙන හෝ විය හැකි මට්ට‍මේ කියල වෛද්‍යවරයා හදුන්වල “අවශ්‍ය අවස්ථාවක G.T.N. .ගන්න කියල (S.O.S) නිර්දේශ කරල තිබෙනව නම් , ඔබට යම් මහන්සි විමක් එක්ක , නැත්නම් තද පපුවේ කැක්කුමක් ආවොත් , මුලින්ම ඔබ කරන වෙහෙස වන වැඩේ නවත්වන්න , දැන් පුටුවකින් හරි , බිමින් හරි වාඩි වෙන්න .ඊට පස්සේ තමයි ඉක්මණින් මේ පෙත්තක් දිය යට තියාගන්නට ඕන , දැන් විනාඩි 2-3 විතර යත්දි පපුවේ කැක්කුම අඩුවෙනවා , කළබල නැතිව ඉන්න. මොකද මේ වෙලාවේ කළබල වුනොත් වේදනාව  සහ අනතුර තවත් වැඩි වෙන්න පුළුවන්. විනාඩි  පහක් ගත වෙලත් වේදනාව අඩු නැත්නම් ආයෙත් තව පෙත්ත්ක් දිව යටින් තියාගන්න , ඉබේම දියවෙලා යන්න හරින්න . තවත් විනාඩි පහකදිත් වේදනාව අඩු නැත්නම් නැවතත් පෙත්තක් හෝ spray එකක් දිව යටට ගන්න . මේ විදියට පෙති හතරක් දක්වා ගියාට කමක් නැහැ. බොහෝ දුරට පළමු දෙවැනි පෙත්තෙදි වේදනාව අඩුවෙනවා . එහෙම වුනොත් ඔබට ටිකක් විවේක අරගෙන සාමාන්‍ය කටයුත්තේ යෙදෙන්න පුළුවන් , ඒත් ටිකක් සැලකිල්ලෙන් ඉන්න ඕන, ඒත් මේ පෙත්තට කිසිම ප්‍රතිචරායක් නැතිව වේදනවා පවතිනවා නම් , වේදනාව වැඩි වෙනවා නම් බලන් ඉන්න එපා , කළබල නොකර කාගේ හරි උදව්වෙන් ළඟම තියෙන රෝහලකට යන්න , විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාර පහසුකම් තිබෙන රෝහලක් නම් තමයි වඩාත් හොඳ. මේ වෙලාවේ පයින් ගමන් නම් ඒ තරම් සුබ නොවෙන්න පුළුවන්.

Table 2
පර්යේෂණයේ සටහනක් 
මේ විදියට G.T.N. පෙති හෝ Spay ගත්ත කෙනෙක් කියන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා , ඉන් මූලිකම දේ තද ඔළුවෙ කැක්කුමක් එනවා , (මටත් ඒ මතකයනම් හොඳටම තිබෙනවා , ඒ මීට මාස 10කට විතර ඉස්සර මගේ හෘද පේෂියේ ඇතිවුනු Carditis තත්ත්වය උග්‍රෙවලා හෘද රෝග දැඩි සත්කාර එකකයේ ඉඳිත්දි ,මගේ තත්ත්වය ටිකක් නරක අතර හැරුනු අවස්ථාවක දිව යටට දුන්නු G.T.N spay එකෙන් ආපු ඔළුවේ කැක්කුම තමයි ඒ .)  මේකට හේතු ගණනාවක් තිබෙනවා ඒත් ඉන් මුලිකම හේතුව තමයි G.T.N. වලින් මොළයේ ලේ නහර වලට සහ එහි ලේ සැපයුමට කරන වෙනස. හැබැයි මේ කැක්කුම තාවකාළිකයි . හැබැයි ඔබ දැනටමත් ඉරුවාරදය නැත්නම් මිග්‍රේන් Migraine තත්ත්වයෙන් විද වන්නෙක් නම් ඔබට ටිකක් තද විදියට ඔළුවෙ කැක්කුම එන්න පුළුවන් , ඒත් ටික වෙලාවකින් මේ කැක්කුම අඩු නොවුනොත් සරළ වේදනානාශකයකින් එය අඩු කරගන්න පුළුවන්.  ඔබ දන්නවද මේ ළඟදි කළ පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා මේ විදියට ඔළුවේ කැක්කුම තදින් ඇති වෙන අයගේ කිරීටක ධමනි වල ආබාධිත තත්ත්වය අඩුයි කියල . ඒ කියන්නේ ඔබට මේ ඖෂධයත් එක්ක තද ඔළුවෙ කැක්කුමක් ආවනම් 73% විතර අවස්ථාවක් තිබෙනවා ඔබේ කිරීටක ධමනි තවමත් හොඳ හෝ යම් හොඳ මට්ටමක (C.A.D-Coronary Heart Disease නැති/අඩු) තියෙනවා කියල හිත හදාගන්න.හැබැයි ඉතින් දැන් බෙහෙත් නොබී ඉන්න කීවෙ නැහැනේ.ඔබේ රෝග තත්ත්වය ගැන හොඳම තක්සේරුව දෙන්නේ මේ පර්යේෂණ නොවෙයි , ඔබ පරීක්ෂා කරන ඔබේ වෛද්‍යවරයා , ඒ නිසා අනිවාර්යයෙන්ම හෘද රෝග  හෝ ආශ්‍රිත තත්ත්ව වලදී තමන්ගේ වෛද්‍යවරයා දෙන උපදෙස් ගැන “අතිශ්‍ය සැලකිලිමත්“ වන්නට ඕන.මොකද සුළු අතපසුවීමක් නිසා ජීවිතය බිඳ වැටෙන්නත් පුළුවන් නිසා.

තවත් වෙන්නට පුළුවන් ගැටළුවක් තමයි Dizziness ඒ කියන්නේ , නිකම් කරකැවිල්ලක් වගේ ගතියක් දැනෙන්න පුළුවන් . ඒ ගැන බය වෙන්න එපා ,ඕකටත් හේතුව අර මොළයට වන ලේ සැපයුමේ සිදුවන වෙනස්කම් ,සමහරුන්ට ඇස් වල පෙනීමේ වෙනසකුත් වෙන්න පුළුවන් . ඒ නිසා හොඳට මතක තියා ගන්න G.T.N. ගත්තට පස්සේ වාහන drive කරන්න යන්න එපා පැය කිහිපයක් යනතුරු. ඔබ මේ වනකොට මත්පැන් පාවිච්චි කරල නම් මේ තත්ත්තවය මගහැරෙන්න වැඩි වෙලාවක් යාවි , ඒ ගැන සැලකිල්ලක් ගන්න ඕන.

සමහර අවස්ථා වල පැය කිහිපයක් ගියත් ඇඟේ පතේ අමාරු ගතියක් දැනෙන්න පුළුවන් . දිවේ  , කට ඇතුලේ පුපුරු ගහන ගතියක් දැනෙන්න පුළුවන් .ඒකත් සාමාන්‍ය දෙයක් . දන්නවද සමහර “G.T.N. වලට පුරුදුකාරයෝ“ බෙහෙතෙ හොඳ නරක ,කල් පහුවෙලාද ,නරක් වෙලාද කියල හොයන්නත් මේ “දැවිල්ල“ යොදා ගන්නවළු , ඒත් ඒ වැඩේට නම් මේ ක්‍රමය ඒ තරම් සාර්ථක නැහැ, ඒකියන්නේ පෙත්ත පරණද  ,අළුත්ද කියල දැනගන්න මේ “දැවිල්ලෙන් “ හොයාගන්න බැහැ හොඳද?.

ඔළුවත් කකියනවා , 
මේ එක්කම අපේ හෘද රෝගින්ට කියන්නට ඕන වැදගත්ම දෙයක් තියෙනවා ,  ඒ තමයි ඔබ කොහේ ගියත් ඔබත් එක්ක Diagnosis card එකේ ෆොටෝ කොපියකුයි  , G.T.N. පෙති ටිකකුයි අරගෙන යන්න මතක තියා ගන්න.

ඒ අතින් බැළුවම අද අපේ ඒකකය අහම්බෙන් කඩා වැදුනු මේ මහත්මය දැනුවත් , එකම වැරැද්ද “වෙනදට ගෙනියන G.T.N. අද විතරක් අමතක වෙච්ච එක “ , ඒත් වාසනාවට අපේ ඒකකයට ඇතුලට කඩා වැදුනේ  ,නැත්නම් ඒ අමතක වීම “සදා අමතක වීමක් “ වෙන්න තිබුණා.

ඕං කතාව අහවරයි , හැමදාමත් වගේ රබර් වගේ ඇදුනද මන්ද ? ඒත් කියන්න තියෙන ඔක්කොම නොකිව්වොත් නිකං හිතට මදි වගේ , අනෙක අපේ ජීවිතේ ආරක්ෂාව ගැන කතා කරත්දි අවශ්‍ය දේ වැදගත් දේ හංග ගෙන කියන්න හොඳ නැහැනේ .

අපේ සටන මෙන්න මේ සුන්දර මාරයා එක්ක 
අන්තිමට පුංචි මතක් කිරීමක් කරනවා , අපේ “දුප්පත් Isolation care unit “ එක human resources අතින් නම් යම් තරමක යහපත් මට්ටමක ඉන්නවා , ඒත් Physical resource අතින් නම් අපි දුප්පත් , ඇත්තටම පැය විසි හතර පුරා “මාරාන්තික බැක්ටීරියාවක් “ එක්ක , සටන් කරමින් සේවය කරන හෙද නිලධාරින්ට කෑම ටිකක් කන්න , පොඩ්ඩක් විවේකයක් ගන්න වත් කාමරයක් , පහසුකමක් නැහැ , දන්නවද මේ තරම් අනතුරු දායක විෂබීජයක් සහිත රෝගීන්ගේ විෂබීජ සහිත කිළිටි රෙදි සෝදන්නෙත් අර ටීවී එක හයි කළ ante room එකේම තියාගෙන . මාස ගණනාවක් හිර වෙලා ඉන්න රෝගීනට සිංදුවක් , පිරිත් ටිකක් අහන්නට cassette player එකක් වත් නැහැ , ඒනිසා  හැකියාවක් ඇති ඇති අයෙක් යම් ආයතනයක් , නැත්නම් සමිතියක් තිබෙනවානම් , ඔබ කැමතිනම් යම් පරිත්‍යාගයක් කරන්නට අපේ රෝහලේ අධ්‍යක්ෂක, නැත්නම් ප්‍රධාන හෙද පාලිකාව අමතන්න 091 2232 276 තමයි අංකය , මේ ගැන තවත් විස්තර ඕන නම් ඒ වෙන්වෙනු පිළිතුරු දෙන්නත් මම සූදානම් ඕනෑම වෙලාවක.ළඟපාතක ඉන්නවනම් එන්න , ඇවිත් යන්න අපේ ඒකකය බලන්න , ඇත්තටම අපේ රටේ රාජ්‍ය සෞඛ්‍ය සේවය ගැන අපවාද නගන්නන්ට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් පුංචි ඒකකයක් තමයි මේ.මොකද අපි මොන අපහසුතාවයේ හිටියත් රෝගියා වෙනුවෙන් කරන්නට පුළුවන් උපරිම සේවයක් ලබා දෙන්නට අපේ සමස්ථ කාර්ය මණ්ඩලයම කැප වෙලා ඉන්න නිසා , ඒ නිසාම අපේ රෝගීන්ම කියන විදියට “මේක ගෙවන වාට්ටුවකට වඩා හොඳයි ,“ ,


අර අමුත්තා ගියා විතරයි ,අපේ ජයන්ත ඇවිත් රහසින් අහනව “නිශෘන්ත මහත්තය , අර මනුස්සය බිත්තියක් කඩනව බලන්න ආව කිව්වනේද ? කව්ද ඒ , අපිට ලෙඩක වැටේද දන්නෑ ....“ ටිකක් බය වෙලා වගේ මොකද අපි කළේ පොතේ හැටියට අපිට අයිති රාජකාරියක් නොවෙයිනේ ,
“ඔව් ඔව් කිව්ව තමයි ඒ ගැනත් , .ලෙඩක් වැටෙන්නත් පූළුවන් මට හිතෙන විදියට ...කොයිකටත් බිත්ති කඩනව නම් මීට පස්සේ සද්ද නැතිව තමයි කඩන්න වෙන්නේ ජයන්තයෝ ....“ , ජයන්ත හිනා වුනාට , ඒක වෙනද වගේම සැහැල්ලු හිනාවක් නෙවි කියල මට හිතුන ....


පොඩි advertisement එකකුත් දැම්ම , ඒත් ඒකත් අපේ සමාජයේ එක් අවශ්‍යතාවයක් වෙනුවෙන්. ආයෙත් දවසක මේ වගේ ඇදෙන කතාවක් අරගෙන එන්නම් .

17 comments:

  1. දැනුවත් කලාට ස්තුතියි...

    ReplyDelete
  2. අපේ අප්පච්චිත් නැතිවුනේ හාර්ට් ඇටෑක් එකකින්.මේ විස්තර ඒ කාලේ මම් දැනන් හිටියේ නෑ.

    ReplyDelete
  3. අගනා ලිපියක්‌.
    මගෙත් මමා කෙනෙක්‌ ඔබ කියන ඖශදය බාවිතා කරනවා ඔහු බයි පාස්‌ සෙත් කම කරන්න නියම වූ අයෙක්‌. වාසනවට හ ඔහුගේ උනන් දුවෙන් කැමෙන් බීමෙන් පලනය කලා දැන් සෙත් කම කරන්න අවශ්‍ය නෙතිලු.
    මගේ පන්ඩිතකමට හොරෙන් දවසක්‌ ඔය පෙත්තක්‌ කටේ දාගන්න කියා විතරයි ලෙබුන හොද ප්‍රහාරයක්‌ පිට හරා ඒ නැන්දාගෙන්
    එහි යම් අනතුරක්‌ තියෙනවද? නිරොගී අයෙක්‌ G.T.N ඖශදය බාවිතා කලොත්?
    ස්‌තුතී....

    ReplyDelete
  4. -Chanaka,
    ස්තුතියි ඔබට අදහස් දැක්වූවාට .

    -නදී ,
    එම සිදුවීම ගැන මගේ කණගාටුව ,මේ දැනුම අපේ සමාජයේ තවත් “තාත්ත“ කෙනෙක් මරණයෙන් තාවකාළිකව හරි බේර ගන්නට උපයෝගී කරගනීවි කියල සිතනවා ...අදහස් දැක්වූවාට ස්තුතියි

    - මුදී ,
    ලොකු අනතුරක් නැහැ , මේ කී ලක්ෂණ ඇති වෙන්න පුළුවන් ,
    ස්තුතියි

    ReplyDelete
  5. මගේ පියා මීට වසර 18 කට පෙර ඔබේ ලිපියේ සදහන් වූ රෝගයෙන් කලක් පෙළෙමින් සිට මිය ගියා එකල ඔහු භාවිතා කලේ T NT නමින් හැදින්වූ බෙහෙත් පෙත්තක් එයත් මෙයමද?

    ReplyDelete
  6. -Anonymous ,
    ඔබේ පියා වෙනුවෙන් මගෙත් සොව පළ කරමි.
    ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ඔව් , G.T.N. , T.N.T නමිනුත් හැදින්වුනා ..
    ස්තුතියි ඔබට

    ReplyDelete
  7. ඇත්තටම වටින ලිපියක් .... මේ හාට් ඇටෑක් කියන එක පරම් පරාවට යන්න පුලුවන් ද ?
    වරක් මං මගේ මිත්‍රයකුගෙ අවමංගල්‍යයකට සහභාගී වූ අවස්තාවක මා අසල අසුන් ගෙන සිටි පුද්ගලයකු එකවරම වෙව්ලමින බිම වැටුනා . පසුව ඒ අසල සිටි වෛද්‍ය වරයකු ඔහුව රෝහල් ගත කලා , රෝහලට අරන් යන විට ඔහු මිය ගිහින් නමුත් ඔහුගේ උඩ සාක්කුවෙ ඔය G.T.N පෙති තියාගෙන ඉදලා තියනවා නමුත් ඒ අවස්ථාවේ අපි කවුරුවත් ඒක දැක්කෙ නෑ........... ඒ පෙති ඔහුට දෙන්න අවස්ථාවක් නැති උනා හේතුව එම අවස්ථාවේ ඔහු බුලත් සපමින් සිටීමයි . උඩ සාක්කුවෙ තිබුන බේත් බුලත් විටට වැහිලා , ඇතිවූ වේදනාවට ඔහු කමින් සිටි බුලත් විට හිර උනා මරණය සිදුවන්න ඇත්තෙ ඒ නිසා..........

    ReplyDelete
  8. හොදින් මේ ගැන දැනුවත් වුනා. ස්තූතියි ඔබට...

    ReplyDelete
  9. මේ පෙත්ත ගැන අහලා තිබුනට හරියටම කරුණු දැනගත්තෙ අද තමයි.. අනිත් කරුණ පෙත්ත දිව යටම තියන්නේ කුමක් නිසාද කියල තේරුමක් තිබුනෙ නෑ...ඔබගේ මේ දැනුවත් කිරීම හරි වටිනවා.. පරේ තොටේ යනකොට හෝ හදිසි ලෙඩෙකුට පිහිට වෙන්නත් අපි දැනුවත් වෙලා ඉන්න එපයි නේද?

    ReplyDelete
  10. -sameera ,
    හරිම අවාසනාවන්ත සිදු විමක් , නමුත් අපිට එයිනුත් යමක් උගත හැකියි නේද ? බොහොම ස්තුතියි සමීර ..

    -දිනේශ් දීපාල් ,
    ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට , ඔබේ සටහනෙනුත් අපි නොදන්නා බොහෝ දේ ඉගෙන ගන්නවා...

    -Gimhani ,
    ඇත්තෙන්ම ඔව් ගිම්හානි , හැමදාමත් දිරිමත් අදහසක් ලියන ඔබතුමියටත් මගේ ස්තුතියි ,

    ReplyDelete
  11. මට මෙච්චර දවසක් තිබ්බ ප්‍රශ්නයක් තමයි මොකද්ද ඔය දිව යට තියන පෙත්ත කියල.

    ReplyDelete
  12. -ඕනයා,
    බොහොම ස්තුතියි පැමිණ අදහස් දැක්වූවාට.

    ReplyDelete
  13. -සමීර,
    //මේ හාට් ඇටෑක් කියන එක පරම් පරාවට යන්න පුලුවන් ද ?// මේ ප්‍රශ්නය මගේ අතින් අතෑරිලා ...
    මෙහෙමයි , හාර්ට් ඇටෑක් කොහොම වෙතත් හෘදයාබාධ සහ ඒ ඇති කිරීමේ සාධක නම් පරම්පරාවෙන් යන්න ඉඩ තිබෙනවා.
    සමාවන්න පළමු අවස්ථාවේ සිදුවු මග හැරීමට ..ස්තුතියි ඔබට ..

    ReplyDelete
  14. ලොකු දැනුවත් විමක් වුනා.
    මේ මෙහෙයට..ස්තූතියි..අයියා

    ReplyDelete
  15. - නිල් අහස - ,
    ස්තුතියි ඔබට අදහස් දැක්වීම පිළිබඳව...

    ReplyDelete
  16. ගොඩාක් වටින දැනුවත් කිරිමක් .. ගොඩාක් පින් අය්යේ..

    ප.ලි : අය්යේ ටෙම්පේලේට් එක වෙනස් කලාද??? මිට කලින් එහෙම වෙලා නැ.. බ්ලොග් එකම එකපාර බලන්න අමාරුයිනේ.. පළල වැඩියි

    ReplyDelete
  17. -දේවා ගේ අඩවිය,
    බොහොම ස්තුතියි මල්ලී , පොඩි වෙනසක් කරලා තිබුණා , දැන් හරිද බලන්න ...
    ස්තුතියි ඒ ගැන කීවාට

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)