2011/09/19

59) එකක් උරල ටිකක් ඉඳල...පණ රැක ගන්න ...

අද තමයි ටිකක් නිදහසක් ලැබුණේ , පහුගිය දවස් ටිකේම ලොකූ දුව ගේ concert එකේ පුහුණූ විම් වලටයි , එක එක බඩු හොයන්නයි  දිව්ව එක තමයි වැඩේ . කොහොම හරි හැමෝගෙම මහන්සියේ සාර්ථක ප්‍රතිඵලයක් විදියට ගාල්ල සංඝමිත්තා බාලිකාවන් Leiderkranz 2011 ප්‍රසංගය අති සාර්ථක විදියට පැවැත්වූවා. පුංචි පන්ති වල පැටවුන්ගේ ඉඳලා ලොකු පන්ති වල ඉන්න දරුවන්ගේ දක්වා ගායන , රංගන , වාදන හැකියාවන් බොහොම උසස් මට්ටමින් එහිදි ඉදිරිපත් වුනා. අපේ දිනිති ලොකු අක්කත් ඒකේ වයලින් වාදන කිහිපයකට ඉදිරිපත් වුනා . හරිම සතුටුයි , 


රුහුණූ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය පිරී ඉතිරී යන තරම් සෙනඟක් , අපිත් වේලාසනම ගිහින් අසුන් එහෙම වෙන් කරගෙන  , මම ප්‍රසංගය පටන් ගන්න ඉස්සර වෙලා ටිකක් එහෙට මෙහෙට ඇවිද්දා, මොකද අපේ පරණ මිතුරු මිතුරියෝ , අපිට උගන්වපු ගුරුවරු (මොකද මගේ විදුහලේ හිටපු විදුහල්තිතුමිය තමයි අද මගේ දූලා දෙන්නගේ විදුහලේ විදුහල්පතිතුමිය , එතුමිය තවමත් එදා වගේමයි , හිනාව , කතාව කාලය වෙනස් වුනත් අපි වයසට ගියත් ඇය තවම වයසට ගිහින් නැහැ)  බොහොමයක් හමුවෙන හොඳ වෙලාවක් මේක. ඔය ඇවිදින් අතරේ ටිකක් අසාමාන්‍ය දේකට මගේ ඇහැ ගියා . 


අම්ම කෙනෙක් දුවෙක්ව බිත්තියට හේත්තු කරගෙන බොහොම කළබලෙන් inhalers puffs දෙනවා , දෙනවා නෙවෙයි නයා පිඹිනව වගේ එක දිගට puff දීගෙන යනවා..... දරුවට හතිය ඇති , මේ ටිකේ ටිකක් කළබල නිසා වැඩි වෙන්න ඇති. අම්ම ඊටත් වඩා කළබල වෙලා , දිගට හරහට puffs දෙනවා , පොඩ්ඩට හුස්ම ගන්නත් අමාරුයි වගේ . මේ සිදුවීමේ හරි වැරැද්ද කියල දෙන්න තරම් වෙලාවක් නොවෙයි මේක. මොකද දරුව “අම්මගෙන ගැලවිලා“ වගේ පැනල දුවලත් ඉවරයි dressing room පැත්තට , ෂුවර් එකටම ඊළඟ නැටුමට ඉන්න කෙළි පැටික්කියෙක් වෙන්න ඇති. 


ඒත් මට හිතුන මේ සිදුවීම ගැන ලියන්නට  . මොකද Asthma කියන තත්ත්වය හරිම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා , අනෙක ඒ සඳහා දෙන inhalers භාවිතයත් බොහොම සුළු දෙයක් තරමට පත් වෙලා. ඒත් ඒ ප්‍රතිකාරය නිසි විදයට භාවිත නොකළොත් , නරක පල විපාක ලැබෙන්නත් පුළුවන් නිසා මේ ගැන අද කතා කරමු. 


දැන් ඉතින් මම මේ වෙලාවේ “හතිය“ නැත්නම් asthma එහෙමත් නැත්නම් Wheezing ගැන ලොකු කතාවකට යන්නේ නැහැ , මොකද මට අවශ්‍ය අර මුලින් කී උපකරණය නිසි ලෙස භාවිත කරන විදිය ගැන කතා කරන එක . ඒත් මොකක්ද මේ හතිය කියන එක පොඩ්ඩක් අපි හොයල බලමු .


ඇදුමෙදි වෙන දේ 
Asthma හෙවත් හතිය කියන්නේ යම් පාරිසරික සාධකයක්(extrinsic factor )  නිසා හෝ දේහයේ වෙනත් කායික හෝ මානසික වෙනසක් (intrinsic factor) එක්ක ඇති වෙන්නට පුළුවන් ශ්වසන නාලය පටුවීමේ තත්ත්වයක්. මින් බහුලවම දකින්නට පුළුවන් මුලින් කී extrinsic  factor හෙවත් allergies නිසා ඇති වන හතිය , මේ මොන විදියට හැදුනත් එහිදී ශ්වාස නාලයේ ඇතුලත පේෂි ස්ථරය තද වීමක් , ඉදිමීමක් එක්ක එහි වාතය ගෙන යන මැද සිදුරේ ප්‍රමාණය අඩුවෙනවා. පටු වෙනවා , ඒ එක්කම එම නාසල ආශ්‍රිතව තියෙන ග්‍රන්ථී ක්‍රියාකාරීත්වය නිසා තවත් දියරන් එන නිසා තව දුරටත් ශ්වාස නාලය අවහිර වන තත්ත්වයක් වෙනවා. මෙන්න මේ වෙලාවට තමයි හුස්ම ගනිත්දි “රෑං රෑං හඬ “ එන්නේ , ඔය අවස්ථාව තමයි wheezing කියල කියන්නේ. මේක සරල දෙයක් කියල නොසලකා හරින්න එපා , නිසි ප්‍රතිකාර අවශ්‍ය වෙලාවට නොලැබුණොත් “මරණය“  වුනත් ලඟා වෙන්නට පුළුවන් අනතුරක්. ඒ නිසා මේ හතියට නිසි ප්‍රතිකාර ගැනිම අත්‍යවශ්‍යයි.


හති ඇති කරවන්නෝ 
මේ ප්‍රතිකාරයේදී ශ්වාස නාලයේ පේෂි ලිහිල් කරල , අර පටු වීම අඩු කරන්නත් , අසාත්මිකතාවයක් ඇත්නම් ඊට අදාලවත් , සෙම වගේ ස්‍රාවීන් තිබේ නම් පහසුවෙන් ඉවත් වන්නටත් සහ අදාල වන වෙනත් සාධක වෙනුවෙනුත් ඖෂධ නියම කරනවා. ඒ අතරේ bronchodialators ශ්වාස නාල පළල් කරන ඖෂධ සහ Steroids කාණ්ඩයේ ඖෂධ ඉදිරියෙන් ඉන්නවා. මේ බෙහෙත් බොන්නට හෝ උරන්නට ගන්න පුළුවන් , එයින් ඖෂධ ඉරීමේ ක්‍රමය Inhalation වඩාත් ඵලදායී බව හදුනාගෙන තිබෙන නිසා අද Asthma වලට inhalers දෙන එක සාමාන්‍ය දෙයක් වන තරමට පත් වෙලා. (බොන එකට වඩා උරන එක හොඳයි කියන්නේ මේකයි , දැන් අපි හතියට පෙති බිව්වම වෙන්නේ , ඒක බඩට ගිහින් ,දියවෙලා බඩ වැල් වලින් උරාගෙන , අක්මාව හරහා ගිහින් බෙහෙත වැඩි ප්‍රමාණයක් නැති කරගෙන පෙනහළු වල අවශ්‍ය තැනට එන්නේ ඉතාමත් සුළු ඖෂධ ප්‍රමාණයයි , අනෙක ගත වන කාළය වැඩියි , ඒත් දැන් inhalers නිසා බොහොම පහසුවෙන් , අවශ්‍ය ඖෂධ මාත්‍රාව ඉක්මණින් පෙනහළු වල beta receptors වැනි තැන් වල සෘජු වම දෙන්න පුළුවන් . මේ ක්‍රම දෙකේදී භාවිත වන බෙහෙතෙ ප්‍රමාණයේ වෙනස බැළුවොත් , උදාහරණයක් විදියට බොන පෙත්තකින් මිලි ග්‍රෑම් 4ක් දෙන්නට ඕන ඖෂධයම , inhalers විදියට ගනිත්දි අවශය වෙන්නේ එයින් එයින් දහයෙන් පංගුවක් විතර 400mcg) , ..


දැන් අපි බලමු මේ inhaler වර්ග කිහිපයක් ගැන , ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙන inhalers වර්ග දෙකක් තියනවා , ඒ spray කළාම වාෂ්පයක් , දුමක් වගේ බෙහෙත පිටවන M.D.I.( metered doses inhalers) සහ ඇතුලට කරලක් දාල උරන්න ගන්න  D.P.I.(Dry powered inhalers) ඒකටම Breath activated Inhalers කියලත් කියනවා , මොකද ඒ උපකරණය ක්‍රියාත්මක වෙන්න නම් උරන්නම ඕන. 


උපකරණය මේ වගේ උනාට එහි භාවිත කරන ඖෂධ වර්ග වෙනස් වෙන්න පුළුවන් , එත් හුඟක්ම පොදු ඖෂධ කාණ්ඩ දෙක තමයි controllers සහ Relievers කියන්නේ. 


මින් controllers කියන්නේ රෝග තත්ත්වය ඇති විම පාලනය සඳහා ලබා දෙන Steroid කාණ්ඩයේ ඖෂධ (බොහොම වෙලාවට sone ,ate වගේ නමකින් තමයි මේ ඖෂධයේ නම් අවසන් වෙන්නේ , ආයෙත් කියනවා හැම ඖෂධයක්ම නොවෙයි) , ඒ නිසා මේ බෙහෙත උරපු ගමන් හතිය අඩුවෙයි කියල හිතන්න එපා , හුඟක් වෙලාවට දුඹුරු පාටට හුරු වර්ණ තීරුවක් එක්ක එන මේ ඖෂධය මාස කිහිපයක් එක් දිගට නිවැරදිව පාවිච්චි කරන්නට ඕන එයින් නිසි ප්‍රතිපල ලබන්නට නම් , ඒ වගේම ඔය කාණ්ඩයේ බෙහෙත් හිතුමතේට එකපාරට නවත්වන්න යන්න එපා brake ගහනව වගේ , එහෙම වුනොත් තවත් කරදර ඇති වෙන්න පුළුවන්. අනෙක මේ කාණ්ඩයේ inhaler එක ඉරුවට පස්සේ අනිවාර්යයෙන්ම හොඳට කට හොඳල දාන්න ඕන , නැත්නම් දිවේ දිලීර ආසාදන fungal infections -Oral thrush  ඇති වෙන්න ඉඩ වැඩියි. 


පාට දෙකේ යාළුවෝ..
අනෙක් කාණ්ඩය relievers  ඒ කියන්නේ හතිය හැදිල හුස්ම ගන්න පිට කරන්න අමාරුවෙන් ඉන්න කොට ඉක්මණින් ශ්වාස නාල පලල් කරල හුස්ම ගන්න පහසුකම් සලස්වා දෙන ඖෂධ කාණ්ඩය bronchodialators  , හුඟ දෙනෙක් දන්න පොදු ඖෂධයක් තමයි Salbutamol . බොහෝ වෙලාවට මෙම ඖෂධ නිල් පාට වර්ණ තීරුවක් සහිතව දක්වනවා. මේක මුලින් කී ඖෂධය වගේ මාස ගණනන් අවුරුදු ගණන් එක් දිගට ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ, විශේෂිත තත්ත්ව මත වෛද්‍යවරයා තීරණය කරන් අවස්ථාවක හැර . ඒ වගේම මේ කාණ්ඩයේ ඖෂධ වැඩි වාර ගණනක් , අනවශ්‍ය තරමට භාවිත කිරීම නිසා හතිය පාලනය කරන්න බැරි උග්‍ර අවස්ථාවටත් පත් වෙන්න පුළුවන් බව මේ පිළිබඳ පර්යේෂණ කළ බ්‍රිතාන්‍යෙයේ Leicester විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බ්‍රැඩින් මේ වසර ආරම්භයේදිම ප්‍රකාශ කළා.මේ අනතුර ගැන එතුමාගෙ වචනයෙන්ම කිව්වොත් “"Sufferers should still use their inhalers when needed but there is evidence they can make symptoms worse if used too often. ඔබ දැනටමත් මේ Relievers කාණ්ඩයේ inhalers හැමදාමත් පුරුද්දකට වගේ ගන්න කෙනෙක් නම් ටිකක් අවදානයෙන් ඉන්න , හැකිනම් එය තවදුරටත් ගත යුතු දැයි ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න . ඒ එක්කම මේ කියන බෙහෙත ඇඟට අල්ලන , ක්‍රියාකාරීවන තත්ත්වයේ අඩුවක් , නැත්නම් බෙහෙත ගත්ත කියල හුස්ම ගැනීමේ පහසුවක් එන්නේ නැත්නම් ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමුවී ඒ පිළිබඳව කියන්න , ඔහු ඔබට එම කාණ්ඩයේ වෙනත් ඖෂධයක් ලබා දේවි , නැතහොත් තාවකාළිකව ඔය ඖෂධය නවත්වාවි.


“ මේ බෙහෙත් කාණ්ඩ දෙකම ගන්න කෙනෙක් නම් මුලින්ම උරන්න ඕන මොන බෙහෙතද ? ..ඔව් ඒ අවස්ථාවේ මුලින්ම උරන්නට ඕන reliever කාණ්ඩයේ bronchodialtor ඖෂධය ,ඊට පස්සෙයි අර දුඹුරු පාට වර්ණ තිරුව තියෙන Steroid controller එක ගන්නට ඕන. එහෙම වුනොත් තමයි ශ්වාසනාලය පළල් වෙලා , දෙවැනි වැදගත්ම බෙහෙත පෙනහළුවේ පහළ පටක කොටස් කරා පහසුවෙන් යන්නේ.


හොඳයි දැන් අපි කතා කරමු මේ inhalers හරියට භාවිත කරන්නේ කොහොමද කියලා ? ඇත්තටම එය තමයි අද මගේ මාතෘකාව ...මුලින්ම කතා කරමු ,Dry Powder Inhaler D.P.I. .ගැන , මේ D.P.I. ක්‍රම දෙකක තිබෙනවා , එකක් අපි බහුලවම භාවිත කරන ක්‍රමය ,  ඒ තමයි උරන්න ඕන බෙහෙත කරල් විදියට මේ උපකරණය ඇතුලට දාල , ඒ බෙහෙත් කරල් කැඩෙන වෙලාවේ Inhaler එක හරහා වේගයෙන් හුස්මක් ඇදීමත් මගින් බෙහෙත් පෙනහළුවේ ගැඹුරටම දෙන ක්‍රමය , අනිත් උපකරණයේදි කරල් ඔබ ඔබ ඉන්න ඕන නැහැ , අවශ්‍ය බෙහෙත powder එකක් විදියට එහි ගබඩා කර තිබෙනවා , අපිට කරන්නට තියෙන්නේ හොඳ ගැඹූරු හුස්මක් මගින් ඒ බෙහෙත පෙනහළු ඇතුලට දාගන්න එක විතරයි . කොහොම වුනත් මේ D.P.I. උපකරණය හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියල දැන් බලමු. 


diskhaler (034.jpg)
මුලින්ම පුටුවක හොඳට කොන්ද කෙළින් තියෙන විදියට වාඩි වෙන්න , හිට ගෙන වුනත් කමක් නැහැ , දැන් inhaler එකේ කැප් එක ගලවල , අවශ්‍ය කරන බෙහෙත් කරල දාගන්න , (අර බෙහෙත් ගබඩා කරල තියෙන disk වගේ ඒවට මේ පියවර ඕන නැහැ) , දැන් පිට කරන්න පුළුවන් අපරිම ගැඹුරු ප්‍රශ්වාසයක් කරල , උපකරණයේ කට තියන්න ඕන කෑල්ලට mouth peace  එකට ඔබේ කට තබන්න  , නිකං කට තියාගෙන හරි යන්නේ නැහැ , තොල් වලින් හොඳට මවුත් පීස් එකට තද වෙන විදියට තියා ගන්න , දැන් අර බෙහෙත් කරල කඩන / හෝ ඖෂධය නිකුත් කරන බොත්තම තද කරන්න   ඒ සමඟම හැකි තරම් වේගවත්ව ගැඹුරු හුස්මන් උපකාරණය හරහා උරාගන්න , සමහර වෙලාවට විසිල් ගහනව වගේ හඬක් නැගේවි , දැන් උපකරණයෙන් කට ඉවත් කරල තොල් හොඳින් තදට වහගෙන ගත් හුස්ම තත්ත්පර දහයක් හරි ඔබට අපහසුවක් නැති ඊට වැඩි කාළයක් හරි හුස්ම තද කරගෙන ඉන්න , (මේ වෙලාවේ තමයි වැදගත්ම දේවල් වෙන්නේ , මේ හුස්ම තද කරගෙන සිටීමත් එක්ක ශ්වාස නාලය ඇතුලේ ඇති වන පීඩනය මගින් අපේ බෙහෙත ඉක්මණින් සහ නිවැරදිව පෙනහළුවේ අවශ්‍ය සෛල , පටක කරා යනවා.) හෙමින් ,  ඊට පස්සේ  අඩු වේගයකින් හුස්ම පිට කරන්න. වෛද්‍ය නියමය මත ඔබට තවත් වාරයක් ගත යුතු නම් මිනිත්තුවක් විතර ඔහොම ඉන්න , මිනිත්තුවකට පස්සේ මුලින් කී විදියට දෙවන වාරය ලබා ගන්න . අවශ්‍ය puff ගණන ගත්තට ප්සසේ ආයෙත් mouth peace එකේ cap එක වහල අරන් තියන්න , වඩාත් වැදගත් පිරිසිදු වියළි තැනක තියන්න. මේ සියල්ල අවසානයේ හොඳින් කට සොදා පිරිසිදු කරගැනීමටත් අමතක කරන්න එපා .




දැන් කතා කරමු M.D.I.නැත්නම් press කරලා උරන inhaler ගැන. මෙහිදිත් පෙනහළු හොඳට දිග හැරෙන්න පහසු විදියට කොන්ද කෙළින් හිටින්න වාඩි වෙන එක හරි හොඳට කෙළින් හිට ගෙන ඉන්න එක හරි ප්‍රයෝජනවත් ,දැන් inhaler එකේ පියන ගලවල හොඳට දෙපැත්තට වාර කිහිපයක් හොදින් හොළවන්න,  ඒ අතරේ වාර කිහිපයක් හොඳින් ගැඹූරට හුස්ම ගැනිමත් පිට කිරීමත් කරන්න. . දැන් mouth peace එකට ඔබේ මුව තියල , ගැඹුරු හුස්මක් ගන්න , ඒ අතරෙ , බෙහෙත නිකුත් විමට අවශ්‍ය කොටස press කරන්න (මේ අළුත්ම ඉන්හේලරයකින් බෙහෙත ගන්න මුල්ම වාරය නම් හෝ සති දෙකකට විතර පස්සේ පාවිච්චි කරන්න පටන් ගන්නවා නම් මුල්ම puff එක නිකං වාතයට මුදා හරින්න Checking  puff ), දැන් අදාල ඖෂධය ඔබේ ආශ්වාසත් එක්කම බෙහෙතේ බිඳිති පෙනහළු තුලට ගමන් කරනවා , දැන් ඉන්හේලරය ඉවත් කරල කට හොඳින් වහගෙන තත්ත්පර දහයක් විතර හුස්ම හිර කරගෙන ඉන්න , හේතුව මුලින් කීවනේ ..ඊට පස්සේ බොහොම හෙමින් ප්‍රශ්වාසය කරන්න , හුස්ම පිට කරන්න . දැන් ඔබට තවත් වාරයක් puff ගන්න ඕන නම් අඩුම තරමේ තත්ත්පර 30ක වත් ඉන්න , ඊට පස්සේ ඉන්හේලරය නැවත සොලවලා , දෙවැනි puff එක ගන්න . එක දිගට විවේකයක් නැතිව puff පහක් ගත්තට එහි ප්‍රයෝජනය හරියට puff එකකින් ලැබෙන තරම් අඩුයි. මේ විදියට වෛද්‍ය උපදෙස් අනුව වාර හතක් විතර වෙන කම් යන්න පුළුවන් , හැබැයි වාර ගණන වයස , තත්ත්වය බෙහෙතෙ මාත්‍රාව එක්ක වෙනස් වන නිසා වාර කීයක් ගත යුතුද කියන එක ඔබේ ප්‍රතිකාරය තීරණය කරන අවස්ථාවෙම වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න එක හොඳයි.


අමාරුම රාජකාරියක්
පොඩ්ඩෙකුට (අවුරුදු හයට අඩු වගේ) මේ inhaler එක දෙනව නම් (M.D.I) ඔය මවුත් පීස් එකට කටතියලා උරන එක හරියට කෙරෙන්නේ නැති නිසා Spacer කියන උපකරණය භාවිත කරන්න  පුළුවන් , දැන් M.D.I.එකේ මවුත් පීස් එක (කට තියන කොටස ) Spacer උපකරණයට හයි කරලා එහි කෙළවර දරුවාට දෙන්න (සමහර අවස්ථා වල කෙළවරේ mask එකක් තිබෙන්න පුළුවන්  එහෙම නම් එය හොදින් දරුවාගේ නාසය සහ කට ආවාරණය වන විදියට රඳවන්න) , පොඩ්ඩට කියන්න ඒ Spacer බැලුන් එකට හුළං පිඹ පිඹ හුස්ම ගන්න කියලා , මේ කටයුත්ත කෙරෙන කොට පොඩි හඬක් නැගෙන්නත් පුළුවන් , මේ විදියට හොදට කට Spacer එකට තද කරගෙන පිඹින , හුස්ම ගන්න සෙල්ලම කරන අතරේ ඉන්හේලර් එකේ press කළ යුතු  කොටස තද කරන්න , දැන් බෙහෙතේ බිඳිති ඇවිත් spacer එක පිරේවි . ඒ ඖෂධය දරුවාට ඇතුළු වන තුරු (වාර හතරක් පහක් හුස්ම ගන්න තුරු) දෙවැනි වාරයට බෙහෙත් ඇතුළු කරන්න (puff ) එපා තත්ත්පර 10 විතර ඉන්න ,  ඒ අතරේ දරුවා Spacer එක හරහා ආශ්වාස , ප්‍රාශ්වාස ක්‍රියාව කරගෙන යාවි , ඊට පස්සේ දෙවැනි puff එක දෙන්න . 


තවත් හරිම වැදගත් දෙයක් M.D.I.වර්ගයේ ඉන්හේලරයක් ගත්ත තමන් දිනය එහි ලියන්න , puff කියක් ගන්නට පුළුවන් දැයි කියවල බලන්න. පොඩි දරුවෙක් ඉන්න තැනක නම් එකක් තව අළුත් ඉන්හේලරයක් අමතරව තියා ගත්තත් කමක් නැහැ , නැත්නම් puff ගණන අවසන් වෙන්නට කිට්ටුවෙන කොට අළුත් ඉන්හේලරයක් ගන්න , නැත්නම් වෙන්නේ හතිය හැදිලා puffs දෙන්න බලන කොට ඇතුලේ බෙහෙත් නැහැ , ඒක අනතුරක් නේද ?


ඒ වගේම මේ උපකරණයක් මිලට ගත්තාම එහි නිශ්පාදකයා ලබා දී තිබෙන කරුණු ගැන අවධානය යොමු කරන්න , විශේෂයෙන්ම උපකරණය භාවිත කරන් විදිය , පිරිසිදු කරගන්න විදිය වගේ කරුණු බොහොම  පැහැදිලිව එහි අඩංගුයි. 


 අදත් මේ අකුරු ටික ඇමිණුවේ රාත්‍රී සේවා මුරයේ ලැබුණු විවේක සීමාවෙදි , සමහර විට සමහර විට අකුරු වල අඩු පාඩු තියේද දන්නෑ ...වෙනද වගේ නොවේ අද  ටිකක් මහන්සියි , මට වැඩිය ඇස් දෙකට නිදි මත වෙලා වගේ ...ඒත් තව පැය හතරක් කොහොම හරි ඉන්න ඕනනේ , ඒ නිසා අදට මේ කතාව මෙතැනින් නවත්වනවා , ටිකක් boring ද දන්නෑ , ඒත් මේ ගැන හරියට දැන ගැනිම වැදගත් .








මෙන්න උපදෙස් අඩංගු වීඩියෝවක් බලන්නකෝ 


මෙන්න පොඩ්ඩෙක්ට Spacer එක භාවිත කරන විදිය  බලන්න 

10 comments:

  1. මේ ලිපිය මට ගොඩාක් වැදගත්. මාත් කීප අවස්ථාවක P.D.I. ඉන්හේලර් එකෙ පාවිච්චි කරල තියනව.සමහර අවස්ථාවල කැස්ස හැදුනම සුව වෙන්න කල් ගියොත් මට ඉන්හේලර් එක තමයි දෙන්නෙ.. ගොඩාක් ස්තුතියි . නොදන්නා කරුණු දැනගත්තා.....

    ReplyDelete
  2. මගේ මුල් කොමෙන්ටුවේ D.P.I ලෙස වෙනස් විය යුතුයි.
    තවත් කරුණක් තියනවා දැනගැනීමට. මගේ ඉන්හේලර් එක දැන් අරගෙන අවු.3 ක් පමණ වෙනවා. එය නැවතත් භාවිතාවට සුදුසුද?

    ReplyDelete
  3. -ගිම්හානි ,
    ඔව් මගේ සටහනෙත් එක් තැනක D.P.I.යන්න අකුරු මාරුවී සටහන්ව තිබුණා.දිය හැකි පිළිතුර මෙයයි ,සාමාන්‍යෙයන් D.P.I. controller වර්ගයේ inhalers මාස කිහිපයක් දිගු කාළීනව භාවිත කරන්නට වෙනවා. ඒ වගේම සමහර විට වරින් වර නැවතත් එම ඖෂධ ලබා දෙන්නත් පුළුවන්. ඒත් Steroid දිගු කාළීනව භාවිත කිරීමෙන් යම් නරක අතුරු පල ඇති වන්නටත් අවදානමක් තිබෙන නිසා වඩාත් සුදුසු , වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍යතාවයක් තිබේ නම් නැවත ගන්න එක. ප්‍රශ්නයේ මට පොඩි ගැටළුවක් තිබෙනවා ඒ , //මගේ ඉන්හේලර් එක දැන් අරගෙන අවු.3 ක් පමණ වෙනවා// යන්නෙන් අදහස් කළේ කුමක්දැයි යන්න සහ භාවිත කරන ඖෂධ මොනවාදැයි සටහන්ව නොතිබීම.
    ස්තුතියි .

    ReplyDelete
  4. මීට අවු.තුනකට පෙර තමයි මම ඉන්හේලර් එක පාවිච්චි කලේ . බෙහෙත් ගැනනම් දැන් මට මතක නෑ.දිගු කාලීන කැස්සක් ඊට පසු හැදුනේ නැ...

    ReplyDelete
  5. -ගිම්හානි,
    එසේ නම් ඔබතුමියට කිසිදු ගැටළුවක් ඇති නොවේවි , ඒත් නැවත ඒ තත්ත්වය මතු වුනොත් වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍යතාවයක් තිබේ නම් පමණක් නැවත ගන්න.
    ස්තුතියි ඔබට ...

    ReplyDelete
  6. කෝ මම් උරන සයික්ලෝහේලර් ගැන නෑනේ. ඒකට මම් නම් ගන්නේ බෙක්ලේට්. ඇදුම ගතියට එන්න ගත්තම ඇස්තලීන් එකක් ගන්නවා. ඒත් ඇස්තලීන් හැමදාම ගන්නෙපා කිව්වා.

    ReplyDelete
  7. -මධුරංග ,
    මල්ලි , ඔයා භාවිත කරන සයක්ලෝහේලර් අයිති වෙන්නේ මෙතන කියපු controller ගනයට , ඒ bleclamethazone කියන steroid එක තියෙන නිසා , ඇස්තලීන් කියන්නේ රreliever ගනයේ බෙහෙතක් ,
    ඉතින් බොහොම ස්තුතියි පැමිණ අදහස් දැක්වූවාට

    ReplyDelete
  8. ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා මෙවන් ලිපියකින් අපිව දැනුවත්කිරීම ගැන..මොකද මමත් කියන වර්ගය දැනටත් පාවිච්චි කරන කෙනෙක්.දිගු කාලයක්ක් ඉංග්‍රීසි බෙහෙත් වර්ග බිවුවා අනිතිමට සිංහල බෙහෙත් පවා කලා,ඊට පස්සෙ නැවතුනේ ඉන්හලෙර් එක ළඟ ඒකෙන්නම් මට ගොඩක් සුව වුනා,මාස 4ක් පමණ එක දිඟට පාවිච්චි කලා,(දුබුරු පාට කරල්)දැන් මම එක දිගට පාවිච්චි කරන්නෙ නෑ ඒත් හතිය වගේ ආවම ඒ වගෙ වෙලාවට විතරක් පාවිච්චි කරනවා,,ඔබතුමාගෙන් මට දැන ගන්න ඕනෙ එහෙම කඩින් කඩ පාවිච්චි කලාට වරදක් නැද්ද...?සම්පූර්ණ සුව වෙන්න තවත් කාලයක් මම එක දිගට මෙය පාවිච්චිකල යුතුද...?

    ReplyDelete
  9. -Shani ,
    මෙතැනදී ඔබ දුඹුරු පාට කරල් ලෙස හදුන්වනේ Controller ගණයේ ඖෂධයක් ..එය හතිය හැදුනාම පමණක් අරගෙන ප්‍රමාණවත් නැහැ , නිසි ප්‍රතිපලයක් ගන්න නම් මාස 3ක් විතර අඛණ්ඩව ගත යුතු වෙනවා . එය වරින් වර ගැනීම (අපිළිවෙලට) තරමක හානි කර විහ හැකියි , ඒ කිව්වේ ඊළඟ අවස්ථාවේ මෙයට වඩා ප්‍රභල ඖෂධයකට යාමට සිදුවෙන්න පුළුවන් , ඒ නිසා වඩාත් සුදුසු ඊළඟ අවස්ථාවේ හතිය සඳහා වෛද්‍යවරයා හමුවූ විට ලබා දෙන ඖෂධ ලබා දෙන උපසේ පරිදි , විශේෂයෙන් controllers නියමිත කාළයටම අඛණ්ඩව ගැනීම , එවිට හතිය වරින් වර ඇති වීමේ අවදානම අඩුවෙනවා. ස්තුතිය

    ReplyDelete
  10. බොහෝම ස්තූති ඔබට උපදෙස් දුන්නට....

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)