2011/09/30

62) ජීවිතේම කළබල කරන දහදිය මවන්නා....

ඊයේ අපි කතා කරන්නට පටන් ගත්තනේ Thyroid ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්ව ගැන . අද අපට කතා කරන්නට තිබෙන්නේ එහි දෙවන කතාව . පළමු කතාවට එක්නොවුනු කෙනෙක් නම් ඔබ මෙතැනින් ගිහින් මේ කතාවේ මුල් සටහන (61 වන ලිපිය) කියවලාම ආවොත් වඩාත් පහසුවේවි.



මේ හේතුව .....
එහෙම නම් අද අපි පටන් ගන්නේ Hyper Thyroidism හෙවත් තයිරෝයිඩ් අධික්‍රියාකාරීත්වයෙන් මතුවන රෝග තත්ත්වය ගැන කතා කරන්නටයි.අපි දැනටමත් දන්නවා Thyroid ග්‍රන්ථිය කියන්නේ මොකක්ද , එයින් නිකුත් කරන හෝමෝන මොනවාද සහ ඒවායින් කෙරෙන කාර්යයන් මොනවාද කියලා . දැන් මේ ග්‍රන්ථියේ ක්‍රියාකාරීබව Hyper උනාම මොකද වෙන්නේ ..අපි කිව්ව Thyroid hormone වැඩි පුර නිශ්පාදනය වෙමින් ලේ වලට එකතු වෙන්නට පටන් ගන්නවා. දැන් මේ වැඩි වූ හෝමෝන නිසා අපේ දේහ සෛල වල ක්‍රියාකාරීත්වය (පරිවෘත්තීය වේගය) අසාමාන්‍ය විදියට වැඩි වෙනවා , එහි ප්‍රථිපලය විදියට , අධිකව දහදිය දමන්නට   පටන් ගන්නවා . මේ තමයි හොඳම ලක්ෂණය ..අධිකව කිව්වේ සාමාන්‍යෙයන් දහදිය නොදමන අල්ල , යටි පතුල් වගේ තැන් වලින් පවා වතුර වගේ දහදිය ..පොතක් යමක් ලියනවා නම් ටික වෙලාවක් ගියාම පොත අතේ ඇලෙන තරම් දාඩිය දානවා.
අධික දහදිය 

අනෙක ඇඟ හැම තිස්සෙම රස්නෙයි වගේ ..මේ දවස් වල නම් මේ අයට හරිම අපහසුයි , මොකද ටිකක් රස්නේ දවස්නේ ..ඉන්නම බෑ ..දාඩිය වැක්කෙරෙනවා ..ඒ වගේම මේ රෝගයෙන් පෙළෙන අය අසාමාන්‍ය කළබල බවක් දක්වනවා .,පන්තියක ළමයෙක් නම් පාඩමක හිත ගියාගෙන ඉන්න බැහැ , හරිම දැඟලිල්ලක් ,  කතා කරන්න ගියත් හරිම වේගවත් , සමහර වෙලාවට කිව්වෙ මොකක්ද කියල අනිත් අයට තේරුම් ගන්න බැරි තරමි වේගෙන් කතාව ..

ඒ වුනාට පොඩි දේකින් උනත් හරියට තරහ යනවා .තරහ ගියාම තමයි ලස්සන ..දාඩිය දාගෙන වේව්ලනවා , මේ වේවලිල්ල හැද වෙලාවකම ටිකක් හරි දකින්න පුළුවන් ..හොඳට අත්දෙක දික් කළොත් එයාගේ ඇඟිලි වල සිදුවන වේවලීම හොඳින් බලා ගන්න පුළුවන් ...

වෙව්ලීම 
කන්න ගියත් ඉතින් Speed තමයි , ඒ කිව්වේ හරියට බඩගිනි වෙනවා , හොඳට කනවා ඒත් අනේ හැමදාම කෙට්ටු ඇඟක් තමයි තියෙන්නේ , මොකද කොච්චර කෑවත් , ඒ ආහාර ඉක්මණටම සෛල විසින් පුච්චල , දානවා මේ හෝමෝනය වැඩි නිසා . එතකොට රස්නෙයි , දාඩියයි වැඩි වෙනවා.

මේ තත්තවයේදී හෘදයේ ස්ඵන්දනය වේගවත් වෙනවා , කොච්චර වේගවත් වෙනවාද කිව්වොත් ඒ ගැස්ම එළියට දැනෙන තරම් වැඩි වෙන්නත් පුළුවන් . මේ තත්ත්වය හරිම අනතුරුදායක මට්ටමක් , මොකද මේ විදියට එළියට දැනෙන තරමට පපුව ගැහෙන්න පටන් ගත්තොත් සමහර විට හෘදයාබාධයකට ලං වෙන්න පුළුවන් . ගණන් නොගෙන හිටියොත් Thyroid storm කියන මාරාන්තික විය හැකි තත්ත්වයට යන්න පුළුවන්. ඒ එක්කම මානසික වශයෙන් රෝගී තත්ත්වයක ඇති වෙන්නත් මේ අවස්ථාව හේතු වෙනවා , ඒ නිසා මේවගේ සැකයක් තිබේ නම් නොසළකා හරින්න එපා , ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙසක් ලබා ගන්න.

ලෙඩේ හැටි තමයි ..
කාන්තාවකගේ ආර්තව චක්‍රය සම්පුර්ණයෙන් අවුල් වෙන්න , අවිධිමත් වෙන්න පුළුවන් , ඒ එක්කම විවාහක ඔබ මතක තියා ගන්න , මේ තත්ත්වයේදී ලිංගික එක් වීමක් සඳහා තිබෙන කැමැත්ත නැතිවෙනවා , ඒ මේ රෝග තත්ත්වයේ හැටි , නමුත් රෝග තත්ත්වය පාළනය කළා නම් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා ..

මේ එක් අවස්ථාවක් ..
දැන් මේ ලක්ෂණ කිහිපයක් තිබේ නම් වඩාත් සුදුසුයි ඔබේ පවුලේ වෛද්‍යවරයා මගින් නිසි පරික්ෂාවක් කර ගන්න එක . විශේෂයෙන්ම අධික දහදිය දැමීම , අසාමාන්‍ය වෙව්ලීම් ස්වභාවයක් , අධිකව කෙට්ටුවීමක් , හදවතේ ගැස්ම , වේගය වැඩි බවක් දැනෙනවානම් , සම , කෙස් තුනීවෙලා කැඩෙන තත්ත්වය වැඩි නම් සහ බෙල්ලේ අසාමාන්‍ය ඉදිමුමක් ඇත් නම්  (හැබැයි සමහර වෙලාවට මේ ඉදිමුම එළියට නොපෙනෙන්න පුළුවන් , මොකද ග්‍රන්ථිය ඇතුලට ලොකු විමක් උනොත් , ඒ තත්ත්වය හරිම භයානකයි , හේතුව මේ විදියට තයිරොයිඩ් ග්‍රන්ථිය එළියට නොපෙනෙන විදියට ඇතුලට ලොකු වුනොත්  යම් අවස්ථාවක ශ්වාස නාලය අවහිර කරන්නටත් එයට පුළුවන් නිසා, ඒ නිසා මේ එක්ක උගුර බැරැන්ඩි වෙලා වගේ දැනෙනවනම් , ගෙඩියක් නැතත් ඒ ගැන කියන්න)  නිකම් බලන් ඉන්න එපා , ප්‍රතිකාරයකට යොමු වෙන්න. නැත්නම් ජීවිතේ අනතුරේ ..

රෝග තත්ත්වය මුලික ලක්ෂණ වලින්ම හඳුනාගන්නට පුළුවන් වුනත් පෙර ලිපියේ සඳහන් පරික්ෂණ කරන්නට වේවි , එයින් තහවුරු වන අවස්ථාවේ ඔබට ඖෂධ මගින් තයිරෝයිඩ් හොමෝන නිශ්පාදනය බලෙන් අඩු කිරීම සඳහා Antithyroid ඝණයේ ඖෂධ දෙනවා , ඒ එක්කම පවත්නා අනෙක් රෝග ලක්ෂණ පාලනයටත් ඖෂධ දෙන්න පුළුවන්. මෙයින් අර කිව්ව Antithyroid ඖෂධ හරිම සාර්ථකයි , ඒත් එහි ටිකක් අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නටත් පුළුවන් , ඒ මෙම ඖෂධ මගින් අපේ ඇට මිදුළු අඩපණ කිරීමක් සිදු වුනොත් , එහෙම වුනොත් අපේ රුධිර සෛල නිශ්පාදනය අඩු වෙනව ..මේ තත්ත්වය මුලින්ම දැනෙන්නේ රෝගියාට , ඔහුට දැනේවි හැම තිස්සෙම උගුරෙ අමාරුවක් වගේ Sore throat එහෙම නැත්නම් උණ හැදෙන්න පුළුවන් . මේ වගේ තත්ත්වයක් ආවොත් ඉක්මණින්ම ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න , මේ පෙර කිවු  ඇට මිදුළු අඩපණ වීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන් . ප්‍රමාද නොකර වෛද්‍යවරයා දැනුවත් කළාම ඔහු ඖෂධ මාත්‍රාව වෙනස් කරමින් ඒ අහිතකර තත්ත්වයෙන් ඔබව මුදවා ගන්නට කටයුතු කරාවි . ඒ නිසා අනවශ්‍ය බයක් ඇති කරගන්නත් එපා ..

යාළුවො තුන් දෙනා...
සමහර විට ශල්‍යකර්මයක් මගින් ග්‍රන්ථියේ කොටසක් හෝ සම්පුර්ණ ග්‍රන්ථියම ඉවත් කරන්නටත් ඉඩ තිබෙනවා , ඒ විදියට කළොත් ඔබට මීට පෙර ලිපියේ කිව් විදියට තයිරෝකසින් පෙත්ත දිගටම ගන්න  වේවි . හැබැයි කිව් ගමන් මේ ශල්‍යකර්මය නොකරන්නට ඉඩ තිබෙනවා , මොකද ග්‍රන්ථිය හුඟක් විශාල වෙලා නම් , ඖෂධ හෝ විකිරණශලී අයඩින් වැනි දේ ලබා දෙමින් විශාල වූ ග්‍රන්ථිය නැවතත් සාමාන්‍ය මට්ටමට කුඩා කරගෙන තමයි ශල්‍යකර්මය කරන්නේ . ඒ නිසා ප්‍රතිකාර සඳහා ඔබේ කැපවීම හරිම වැදගත් මේ තත්ත්වයේදි.

ආයෙත් අවසානයට කියන්නේ මේ තත්ත්වයට නිසා ප්‍රතිකර නොගත්තොත් ජීවිතේ අනතුරේ ....

එහෙම නම් .....සමහර විට කෙටිම ලිපිය මෙය වෙන්න ඇති , කෙසේ වෙතත් අදට කතාව අවසන් කරන්නට පුළුවන් . මේ ලිපි දෙකම (61 සහ 62) එකට සම්බන්ධ ලිපි දෙකක් . වඩාත් සුදුසු මේ දෙකම කියවන්නට පුළුවන් නම් .

අදට සමුගන්නම් , හෙට අනිද්දා ලියන්න බැරි වෙන්න පුළුවන් , හේතුව “දේවා (දේවාගේ අඩවියේ) “ වගේ අපිත් හෙට නුවර පැත්තෙ යන්න හිතන් ඉන්න නිසා ...දවස් කිහිපයකට පස්සේ ආයෙත් හමුවෙමු ලෙඩක් දාන්න බලාගෙනම ...

11 comments:

  1. මට අර පින්තූරේ දැක්කම දේශපාලකයෙක් මතක් උනා. වෙනදා වගේම වටින කියන ලිපියක්. ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා. ගොඩක් ස්තුතියි

    ඒ වගේම නිශාන්ත මහත්තයාලට සුබ ගමන් !!!!

    ReplyDelete
  2. -මධුරංග ,
    ස්තුතියි ඔබට හැමදාමත් ඇවිත් සුහද කතාබහක යෙදෙනවාටත් ...

    ReplyDelete
  3. බොහොම ස්තුතියි. නොදන්න කරුණු ගොඩාක් දැනගත්තා...

    ReplyDelete
  4. -Gimhani,
    ස්තුතියි ඔබට..

    ReplyDelete
  5. පලවෙනි කොටසනං කියවන්න බැරි උනා . . . . වැඩ අප්පා අම්බානකට

    ReplyDelete
  6. -ඕනයා,
    වැඩ ඉවර වෙලා නිවීසැනහිල්ලේ කියවන්නකෝ ..ඒත් එහෙම වෙලාවක් ලැබෙනවද මන්ද නේද මල්ලී ...? ස්තුතියි ඇවිත කතා කළාට...

    ReplyDelete
  7. එතකොට ඔය අතේ පයේ දහඩිය දමන එක රත්තා කියල කියන්නෙත් ඔකටමද? නැතිනම් එය වෙනත් රොගී තත්වයක්‌ද?
    බල්න් කියම සමණලය ලෙසි පහසු කටයුත්තක්‌ නෙවි කරන්නේ...
    ස්‌තූතී..........

    ReplyDelete
  8. මහත්මයා ඔබට ස්තුතියි.ඔබට. ඔබේ දරුවන්ගේ බ්ලොග් අඩවිය පැත්තෙත් ගියා.

    ReplyDelete
  9. -Anonymous ,
    ස්තුතියි ඔබටත් ..

    ReplyDelete
  10. -මුදී ,
    මම ඇත්තටම “රත්තා“ කියන තත්ත්වය ගැන දන්නේ නැහැ , ටිකක් හොයල ඒ ගැන කතා කරන්නම් ..ස්තුතියි මුදී ..

    ReplyDelete
  11. පොඩි නිවැරදි කීරිම්ක්‌ "රත්තා" රත්තයා කියල
    සමාවෙන්න

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)