2011/12/08

70) හඬන නටන උඩ යට යන.. මුහුණු දෙකේ මිනිසා ...

අපිට ඊයේ තමයි මුලින්ම හොඳ හිම වැස්සක් ලැබුණෙ , මේ මුල්ම වතාවනේ Winter එකකට මුහුණ දෙන , අපේ හිතේ නම් පොඩි තිගැස්මක් නැතුව නොවයි , (මොකද තවමත් රියදුරු බලපත්‍රය ගන්න බැරි වුනු නිසා , යන්න වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහන වලම තමයි , ආරංචි විදියට Winter එක ටිකක් තදට එනකොට පොදු ප්‍රවාහන සේවා ටිකක් අඩාල වෙනවලු . එහෙම වුනොත් ගේ ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ .) ඒත් අපේ පොඩ්ඩො දෙන්නට නම් සතුට පිරිල , ඉස්කෝලෙ යන්න සූදානම් වෙලා එළියට බැස්සමයි දැක්කේ පළාතම සුදු පාට වෙලා ...ඇත්තටම හරිම ලස්සනයි ..මේ ලස්සන ගැන මකුළු පැංචි   හරි ලස්සනට එයාගේ බ්ලොග් එකේ දැලක් වියල තිබෙන නිසා තවත් වින්ටර් එක ගැන ලියන්න ඕන නැහැනේ ...


උතුරා ගිය - සීතල+සතුට
හිම කැට අතරින්ම පැටවු දෙන්නව ඉස්කෝලෙට ගිහින් ඇරලවල ගෙදර ආව ගැහී ගැහි ...මොකද වෙනද විනාඩි පහෙන් යන ගමන අද විනාඩි දහයක් විතර ගියා , හිම අල්ලන්නයි , බෝල හදන්නයි , අඩි සළකුණු තියන්නයි , තව ඉතින් වැඩ ගොඩාක් කරන්න වුනා නේ අද ...

“අද ගෙදරට කතා කරමු..කොහොමද දන්නෑ අම්මගේ කකුලේ තුවාලේ තත්ත්වේ ...“ දවස් දෙක තුනකින් ලංකාවට කතා කළේ නැති උනාම පොඩි තනි කමක් නොදැනෙනවාම නොවෙයි ...
“එහෙනම් ගෙදරටත් කතා කරල .......තව කාටද කතා කරන්න ඕනේ ....“ ...මනෝජ ලොකු කල්පනාවක ..මොකද අපි ලංකාවට කතා කරන්න ඕන උනාම Skype තියෙන තැනට නම් ඒක ..අනෙත් තැන්වලට කතා කරන්නේ I.D.D. card පාවිච්චි කරල , ...
“අපි ඔයාලගේ වාට්ටුවට කතා කළේ නැහැනේ ...අද try කරල බලමුද ? ...“ ගිය සතියේ මම සේවය කළ ඒකකයට ඇමතුමක් ගන්න ගත් උත්සාහයන් ගණනාවක් අසාර්ථක වුනා ...
“අපෝ unit එකට call එකක් ගන්න ගියොත් exchange එකේම කාඩ් එක ඉවර වෙනවා ...අපි ලංකානි නංගිට කතා කරල unit එකේ අයට කතා කරමු ..., කොහොමත් ඥාතියානේ කතා කරන්න එපායැ ...“ ....මොකද පොඩි කාළේ ඉඳළම “ඥාති සමූහයාට“ වැඩිය මගේ වැඩි බැඳිමක් තිබුණේ “මිත්‍ර සමූහයා එක්ක“ නිසාද මන්ද , හුඟක් ඥාතීන්ට නම් මේ ගැන කිව්වේ මේ රටට ගොඩබැස්සටත් පස්සේ ....

“+947.............“ දුරකථනය නාද වෙනවා ...
“හලෝ .......“
“හලෝ ...කවුද මේ .....“ ලංකානි නංගිගේ ටිකක් සැකමුසු හඩක් , මොකද මේ අංකය නුහුරු නිසා වෙන්න ඇති..
“මම මහේෂ් ...කොහොමද තොරතුරු ..“
“හල් ...ලෝ ..මහේෂ් අයියනේ ....අපි ඔයා ගැන දැනුත් කතා කළා ...මැරෙන්නේ නෑ ඔළුවෙ පණ තියනකම් ...., මෙන්න නිශාන්තයියගෙන් call එකාක් ...“ ..මට හිතුන විදියට වාට්ටුව පිරෙන්න කෑගැහුව වගේ ...
“ඉතින් ඉතින් ..කොහොමද තොරතුරු ......“ ......මේ විදියට පටන් ගත්තු කතාව ටිකක් දුර ගියා ..
“අයියේ , රං අයිය නැති උනානේ , ගිය සතියේ ...හම්බන්තොට hospital එකේදි ....“.......? ?  ? ?
මට ඒ කිව් දේ හිතා ගන්න බැරි උනා , මොකද මම එන්න සති දෙකකට විතර ඉස්සර මට කතා කළ “රත්තරං“ ට මොකක්ද මේ උනේ ?..

අපි මේ රත්තරං  එහෙම නැත්නම් රං අයිය කියල කතා වෙන්නේ අපේ පවුලේ ඥාති සහෝදරයෙක් ගැන මට වඩා අවුරුදු තුන හතරක් වයස ඇති , උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් සමත් වෙලා ....දක්ෂ ගුරුවරයෙක් විදියට අසූ නමය අනූගණනන් වල හම්බන්තොට ප්‍රෙද්ශයේ , පෞද්ගලික උපකාර පන්ති පවත්වපු “ඇත්තටම දක්ෂතා පිරි තරුණයෙක් “ , නමුත්  අවුරුදු දහයකට විතර ඉස්සර ඔහු Bipolar Disorder වලින් පෙළෙන තත්ත්වයට පත්වුනා , ඒ එක්කම තවත් අවාසනාවන්ත සිද්ධි ගණනාවකට ඔහුට මුහුණ දෙන්නට වුනා , විරැකියාව , අසාර්ථක වූ විවාහය ඔහු “පිස්සෙක් “ බවට පත් කරන්නට හේතු වුනා වගේ මට දැනෙනවා ,

ඔහු එක් කළකට බොහොම ඉහළ චරිතයක් පෙන්නුම් කරත්දි , ඔහු ළඟින්ම ආශ්‍රය කරන්නේ රටේ ප්‍රභලයන් , මැති ඇමතිවරු බව තමයි අපිට කියන්නේ , කතාවට එක්වුනාම, කන් දෙකත් පිරිළ මේ කතා සිංදු අහල ගෙන ඉඳළ ...එහෙම ඉන්න “රං“ කාළෙකට කෙහේ ගියාද නෑ , සමහර දාට Call එකක් දාල කතා කරනවා “මහේෂ් මල්ලී ..මම දැන් .... එකේ වැඩ කරන්නේ , පඩිත් හොඳයි “ ...ඔය වෙලාවට බෙහෙත් ගන්න විදිය , පරිස්සම් වෙන විදිය කිව්වත් “ හරි මල්ලී , මම උඹට ඉස්සර වෙලානේ medical subject ඉගෙන ගත්තේ ...හරි මම පරිස්සමට ඉන්නම් ..හැබැයි අරගොල්ලට මං ගැන කියන්න එපා  “ , ඒ ඔහු තමන්ගේ පවුලේ අනෙක් සහෝදරයන් තිදෙනා ගැන තිබුණු හැඟිම් ... ,මෙහෙම ඉන්න “රං“  තවත් කාළෙකට ඉතාමත් අපිරිසිදු , කල්පනාව නැති කෙනෙක් විදියට රෝහලේ මානසික රෝග ඒකකයට පොලිසියෙන් හරි වෙන කවුරු හරි ඇතුළු කරනවා . ඇත්තටම “රත්තරං“  ට පවුලෙන් ලැබෙන්න ඕන රැකවරණය ලැබුණෙ නැහැ , ඒ අය ඒකට සාධාරණ හේතු කියාවි , ඒත් අවසානය අවුරුදු හතලිහක රටට වැඩක් ගත හැකි ජීවිතයක් නැතිවෙච්ච එක .....මොකද අපි දන්නව මේ තත්ත්වයෙන් පෙළෙමින් නිසි ප්‍රතිකාර ගනිමින් රාජකාරී වල යෙදෙන මීට වඩා වියපත් අය ගැන ....

එහෙම නම් “රත්තරං“ ගැන කතාව මෙතැනින් නවත්වල , ඔහුව මේ අවාසනාවන්ත තත්ත්වයට ගෙන ආ Bipolar Disorders කියන තත්ත්වය ගැන කතා කරන්න හිතුව,

Bi - polar කියන්නේ ද්වි-ධ්‍රැව කියන එකනේ , ඉතින් මොකක්ද මේ ධ්‍රැව දෙක ...ඒ තමයි අපේ මානසික තත්ත්වයේ අන්ත දෙක , සතුට , දුක ...ඒ කිව්වේ අපි සාමාන්‍ය යහපත් මානසික තත්ත්වයක කියන්නේ “දුක සහ සතුට“ සමබරව හෝ ආසන්නව එහා මෙහා වන තත්ත්වයක් ...ඒත් මේ රෝග තත්ත්වයේදි සිදුවන්නේ ඒ දුක සහ සතුට කියන අවස්ථා දෙක වරින් වර ඒවායේ උපරිමයන් වලට ...ධ්‍රැව වලටම යන එක .,එක කාළයකට සිතින් දුක උපරිමව විඳින මේ අය , සතුට උපරිම සිතින් විදිනව ..මේ තත්ත්ව දෙක රටාවකට වගේ පැති මාරුවෙමින් වරින් වර ඇති වෙමින් පුද්ගලයාගේ සාමානය ජීවන රටාව වෙනස් වන තරමට පත්වීම තමයි මෙම රෝග තත්ත්වය විදියට හඳුනගන්නේ ...හැබැයි මේක රෝග තත්ත්වයක් විදියට පත්වෙන්න ඉස්සර , එහි පුර්ව , මූලික තත්ත්වයන් හඳුනාගන්නට පුළුවන් , ඒ අවස්ථාවේ නිසි ලෙස හදුනාගෙන නිසි , ප්‍රතිකාරයන්ට යොමු කළා නම් , පාරිසරික වෙනස්විම් කළානම් මේ අය “ පිස්සෙක්“ වෙන එක පාළනය කරගන්න පුළුවන් ...

ඉතිං මේ එය එක් කාළෙකට උපරිම සතුටින් , ඒක අසාමාන්‍ය , අනෙක් අයට තේරෙන අහේතුක සීමාව ඉක්මවා ගිය සතුටක් , පාලනය කරගත නොහැකි තරම් සතුටක් , හැම තිස්සේම සිංදු කියනවා , නටනවා , බොහොම වේගෙන කියවා ගෙන යන ටිකක් ‘ලොකු කතා“ , පුරසාරම් වැහි වැහලා,සමහර වෙලාවට කියන දේවල් එකකට එකක් සම්බන්ධයක් නැහැ ,එයාලගේ නම් කට කණේ , ..අපේ නම්  කණ පිරෙන කම් ඔහේ අහගෙන ඉන්න පුළුවන් , මොකද පොඩ්ඩක් අපි වෙනස් වුනොත් , එයා කියන දේකට වැරදියි කිව්වොත් අසාමාන්‍ය විදියට තරහ යනවා , අඩි හප්පල , බඩු පොළොවෙ ගහන්න තරම් තද ආවේගයක් ඇතිවෙනවා (ඉතින් අපි ඒ දවස් වල රත්තරංගේ කතා ඔහේ අහගෙන හිටිය , මොකද පොඩ්ඩක් එහා මෙහා වුනොත් ඉවරයි )  , මෙයාලා කියන විදියට ඕන දෙයක් එයාට කරන්න පුළුවන් , හැම තිස්සෙම රජා වගේ තමයි කතාව (Grandiose delusion)  ,  කොයිතරම් කළබලකාරී විදියට දවස ගෙවනවද කිව්වොත් නින්දක් නෑ , නින්ද යාම අඩුයි ...ඔය තත්ත්වය අපි කියනවා (Mania) මේනියා තත්ත්වය කියලා ,මේකේ උග්‍ර අවස්ථා වලදි එයාලට දෙවියෝ කතා කරනවා ඇහෙනවා  , අමෙරිකාවේ ජනාධිපතිතුමා කොල් කරල රෑ කෑමකට ආරාධනා කළ බව ඇහෙනවා , මේ ඔක්කොම බොහොම උජාරැවෙන් අපිත් එක්ක කියනවා , වැදගත් දෙයක් කියන්න තියෙනවා මේ තත්ත්වයේ ඉන්න පිරිමි පුද්ගලයින් ලිංගිකව අතිශ්‍ය ආවේගකාරීයී , මේ පුද්ගලයා පිරිමියෙක් නම් ඔහුගෙන් ස්ත්‍රී දුෂණයක් නැත්නම් දරුවෙක් අපයෝජනය විමක් වීමේ ලොකු හැකියාවක් නැතිවා නොවෙයි ,


දැන් කළබල වෙන්න එපා , අපේ හිතට ලොකු සතුටක් දැනෙන සිදුවීමක් උනාමත් අපි ටිකක් උජාරැවෙන් සතුටෙන් ලොකු කතා වල ඉන්නවා , ඒත් ඒක සාමාන්‍යයි , හැබැයි මේ ඉහළ කී ලක්ෂණ තුන හතරක් , එක දිගට සති තුනකට වඩා තියෙන බවක් හැගෙනවනම් වඩාත් හොඳයි වෛද උපදෙසක් ගන්න එක , හුඟක් වෙලාවට මේ තත්ත්වයේ ඉන්න කෙනෙක් තේරුම් අරගෙන ප්‍රතිකාර සඳහා යොමු වන අවස්ථා අඩුයි , මොකද එයාලා පිළිගන්නේ නැහැ , තමන් අසාමාන්‍යයි කියල , අනෙක පිළිගන්වන්නත් අමාරුයි , ඔබේ ඥාතියා , මිතුරා මේවගේ තත්ත්වයක කියල ඔබට දැනෙනවනම් හොඳම දේ තමයි උපක්‍රමශීලීව ඔහු වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම , නැත්නම් ඒ පවුලේ අය මේ සැක සහිත තත්ත්වය ගැන දැනුවත් කිරීම මගින් රෝහලකට , සායනයකට යොමු කරවා ගැනීම , මොකද මේ තත්ත්වය හොඳින් පාලනය කරන්නට පුළුවන් මානසික තත්ත්වයක්.මෙහෙම විශේෂයෙන් කියන්න හේතුව මේ Bipolar disorder තත්ත්වයට දරුවන් සහ තරුණයන් ගොදුරුවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවන බව පර්යේෂණ මඟින් අද සොයාගෙන තියෙනවා , ඒ නිසා ටිකක් අවධානයෙන් ඉන්නවා නම් ඔබටත් , රටටත් යහපතක් ,

මෙච්චර වෙලා අපි කතා කළේ මේ රෝගයේ එක් පැත්තක් ගැනනේ , දැන් අනෙක් පැත්ත Depression  , අර කී විදියට , සුපිරි චරිතයක ඉන්න මේ පුද්ගලයා , තව ටික කලක් ගියාම ඉන් සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයට පත්වෙනවා , හැම තිස්සේම කඳුළු පුරවගෙන , කිසිකෙනෙක් එක්ක කතා නැතිව , අඬ අඬා හරි සුළු දේකින් අඬන්න සූදානම් වෙලා හරි තමයි ඉන්නේ , මුහුණෙ කිසි සතුටක් නැහැ , එපා වෙලා , බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා , වෙනද යාළුවෝ පිරිවරාගෙන “කයිය ගහපු“ කෙනා අද තනිවෙලා කිසිකෙනෙක් එක්ක කතා කරන්නට රිසි නැහැ , ගෙදර නම් ඉන්නේ හැම තිස්සෙම ඇඟ පත අමාරු , ලෙඩ ගැන කියා කියා හඬාවි , වෙනද හැඩකාරය වගේ හිටිකෙනා දැන් නාන්න මුහුණ සෝදගන්නවත් කැමැත්තක් නැහැ , හරිම අපිරිසිදුයි , හුඟ වෙලාවකට කියන්න හදන දෙයක් “මට එපා වෙලා ..මට මැරෙන්න හිතිල “ ..ඔන්න ඔය වගේ , ....මේ කියන ලක්ෂණ එක්ක මේ වාක්‍යයම හරි මේ අදහස හරි කියන කෙනෙක් ඔබට දකින්න ලැබුණොත් , අනේ උදව් කරන්න , ඒ ගැන නොසලකා යන ඉදිරි මොහොතෙදි ඔහු , ඇය ජීවිතය නැති කරන්නට ඉඩක් තියෙනවා , මොකද මේ Depression stage එකේදි Suicide කරගන්නට ලොකු හැඟිමක් දැනෙනවා , හැම දේකදිම “ තමන් වැරදිකාරයා “ වගේ තමයි Guilty feeling හිතෙන්නේ , ඉතින් එයා වරදින් සමාව ගන්න හදන්නේ ජීවිතය නැතිකරගෙන , මේ අය කෑම බීම ගැන නින්ද ගැන තැකීමක් නැහැ , පාසල් යාම , නැත්නම් රැකියාවට යාම නවතිනවා , එක එක ප්‍රශ්න කියමින් හැමදේකින්ම මඟහරින , තනිවෙලා ඉන්න හදන බවක් දැනේවි ,

(ඔන්න ආයෙත් කියනවා , ඔය වයසට එන පොඩි පොඩි පළහිලව් උනහම , ටික දවසකට මේ වගේ “දුක් බර හැඟිම් වලින් හිත පිරෙන්න “ පුළුවන් , බයවෙන්න එපා , ඔබට පුළුවන් ඉක්මණින් එයින ගොඩ එන්න , එන්න ජීවිතේට , මුහුණදෙන්න , ඔය දුක් වලේම ගිලි ගිලී “දුක් රසයේම “ දිගු කළක් ඉන්න එක ඒ තරම් හොඳ නැහැ. මම කියන්නේ නැහැ එහෙම වූ පමනින් මෙහෙම ලෙඩක් හැදෙනවා කියලා , ඒත් ඒ නිසා ප්‍රමාද වෙන්නේ ඔබේ ජීවිතය , අඳුරු වෙන්නේ ඔබේ ජීවිතය ,  )

ඔන්න ඔය තමයි මේ රෝග තත්ත්වයේ ප්‍රධාන අවස්ථා දෙක , විශේෂත්වය තමයි මේ තත්ත්ව දෙක වරින් වර මාරුවෙන් මාරුවට ඇති වෙන එක ,

දරුවන්ටත් මේ තත්ත්වය මතුවෙන්නට පුළුවන් ....
ඇත්තටම මේ අසාමාන්‍යතාවය ඇති වන්නේ කොහොමද ? තවමත් බටහිර විද්‍යාත්මක පර්යේෂණ වලින් මේ සඳහා හේතුව මේකයි කියන්න  නිශ්චිතම සාධකයක් හඳුනාගෙන නැහැ , ඒත්  යම් සාධකයක හෝ කිහිපයක් බලපෑම මත මොලයේ විද්‍යුත් රසායනික ක්‍රියාවේ සිදුවන යම් වෙනසක් බවනම් තහවුරු කරගෙන තිබෙනවා. හැබැයි , මේ තත්ත්වයට ආරය , නැත්නම් ජානමය සම්බන්ධයක් තියෙන බව පර්ය්ෂණ සහ වෛද්‍ය සංඛ්‍යානය Medical statistics අනුව හඳුනාගෙන තියෙනවා , ඒනිසා පවුලේ කෙනෙක්ට මේ තත්ත්ව තිබෙන බව ඔබ දන්නවා නම් , ටිකක් අවධානයෙන් ඉන්න , තමන්ගේ සිතුවිලි රටාවන් වෙනස් වන බවක් හැඟුනොත් යමෙක් ඒ බව ඔබට ආදරෙන් පෙන්වා දුන්නොත් වෛද්‍ය උපදෙසකට යොමු වෙන්න , මොකද නැවන  නැවතත් කියන්නේ මේ තත්ත්වය හොඳින් පාළනය කරගෙන කිසිම වෙනසක් නැතිව සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් , ඔබ දන්නවද මේ තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ඉහළ පුද්ගලයනුත් සාමානය ජීවිතයක් ගත කරන බව .  හැබැයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය , දැඩි මානසික පීඩනයන්ට පත්වීම , වගේ සාධක නිසා මේ අසාමාන්‍යතාවය ඉක්මණින් මතුවෙන්න නම් පුළුවන් ,

මේ තත්ත්ව හෝ සැක සහිත තත්ත්වයක් නිසා ඔබ මේ පුද්ගලයා රෝහලට නැත්නම් ද්‍යෛවරකේ ළඟට රැගෙන ගියොත් , ඔහු සාමාන්‍ය කතාබහකදි , සාකච්ඡාවකදි හඳුනගනිවි මේ කෙනොට තිබෙන තත්ත්වය කුමක්ද කියන එක , මෙතැනදි රෝගියාගේ අතීත තොරතුරු , පවුලේ තත්ත්වය , චර්යාත්මක වෙනස්වීම් වගේ දේවල් ගැන දන්න කෙනෙක් ළඟ හිටියොත් වඩා පහසුයි ,මේ කතා බහේදී ඔබට නම් මේ අසාමාන්‍ය තත්ත්වය ඇත්තේ , කියන්න ඔබට දැනෙන , සිතෙන , හැඟෙන හැම දේම කියන්න , විශේෂයෙන්ම මානසික රෝග සායනයක කෙරෙන කතා බව අතිශ්‍ය පෞද්ගලිකයි , ඔබේ මනෝ උපදේශකවරයාට , වෛද්‍යවරයාට, හෙදියට පවසන දෑ කිසිවක් ඉන් ඉවතට නොගෙන යන්නට ඔවුන් වෘත්තීය ආචාර ධර්ම අනුව  Ethical බැඳිල ඉන්නවා , ඒනිසා කියන්න , දැනෙන සියලු දේ , මොකද මේ වගේ තත්ත්වයකදි රැධිර පරික්ෂණ , එක්රේ වගේ දේවල් වලට වඩා “වචන සහ හැඟීම් , චර්යාවන් “ වැදගත් ..

මේ සියල්ල අවසානයේ Bipolar Disorder ලෙස හඳුනාගත්තොත් මුලින්ම ඔබට ඖෂධ ප්‍රතිකාර ලබා දෙනවා (ඊට අමතරව තවත් ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තිබෙනවා ), මේ බොහොමයක් ඖෂධ ගනිත්දි දවසේ වැඩි වෙලාවක් නිදිබව ගතියක් දැනේවි , බය වෙන්න එපා , හොඳට වතුර බොන්න , පහසුවෙන් දිගු වෙලාවක් නිදා ගන්න , ආහාර වේල ගැන සැළකිල්ලෙන් ගන්න , සමහර විට රස දැනෙන එකක් නැහැ ,ඒත් ඔබේ සිරුරට ශක්තිය ඕන නිසාවත් කන්න  , ..ව්‍යායාම කරනවා නම් වඩාත් හොඳයි , අවදියෙන් සිටින වෙලාවට හැකි තරම් ඔබේ සාමාන්‍ය කටයුතු වල යෙදෙන්න , හැබැයි වඩාත් හොඳයි රිය පැදවීම , යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම වගේ දේවල් නොකරනවා නම් , වෙන දෙයක් නිසා නොවෙයි , තවමත් පවතින නිදි බර ගතිය නිසා ...  ඒ වගේම ලිතියම් කාබනේට් අඩංගු ඖෂධයක් ලබා දෙනවා නම් නියමිත දින ගණනකට වතාවක් Serum lithium පරික්ෂණ කරවා ගැනිමත් හරිම වැදගත් මොකද ඒ ඖෂධය නිසි පරිදි පාලනයක් , පසු අගැයුමක් සහිතව නොගත්තොත් අවාසනාවන්ත ප්‍රතිපල ලැබෙන්නත් පුළුවන් .

මේ තත්ත්වයෙන් පෙළෙන කෙනාගේ පවුලේ අයට ලොකු වගකීමක් තියෙනවා , ඒ මොහු සමාජයට බරක් නැති සාමාන්‍ය පුද්ගලයෙක් කරන්නට නම් , ඖෂධ නිසි පිරිදි ලබා දීම , සායන සඳහා නිසි කළට එක්කරගෙන යන එක , ඔහුගේ /ඇයගේ සිතට ලොකු පීඩනයන් නොදී හැකි තරම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට උදව් කිරීම ඔබේ යුතුකමක් ,( මේ ගැන මගේ ලිපියක් ඇති මෙතැනින් ගිහින් එයත් කියවන්න ) විශේෂයෙන්ම මේ රෝගියා පිළිබඳ නිරන්නර අවධානයෙන් ඔබත් , ඔබේ සෞඛ්‍ය කණ්ඩායමත් ඉන්නවා , ඒක අතශ්‍යවශ්‍යයි ,

ඉතින් අද කතාව ආරම්භය සුන්දර  සීතල කතාවක් වුනත් එය නිමා වුනේ දුක් මුසු සිදුවීමක් ගැන කියලා , කතාවේ මැද ටිකක් බර , රස , නීරස දෙකම මුසු වුනා මට හිතෙන විදියට , කතාවේ අවසානය කොහොම වුනාද ?...ජීවිතේ හැටිත් ඔය වගේමයි , වෙනස් වීම් ...වෙනස්වීම් වලට හුරු වීම් ,.... බුදු බණේ කියන විදියට අට ලෝ දහම ගැන හරියට දැන හඳුනගෙන ජීවත් වෙන්නට පුළුවන් නම් කොයි තරම් සැහැල්ලුද ?......අවසානයේ මේ දුක් මුසු ඉරණමට පත්වුනු මගේ මිත්‍රය “රං අයියට “ .. නිවන් සුව පතන අතරේ කරන පිණක් අනුමෝදන් කරනවා හැරෙන්නට කරන්නට මට යමක් නැති තරම් අද ...

“මහේෂ් මල්ලී ....මං දැං වැඩ .....කමියුනිකේෂන් එකේ ....පඩිත් හොඳයි , මම මෙහේ ඉන්නව කියල අපේ අයට නං කියන්න එපා ...දන්නවනේ උඹ වගේ නෙවි උන් මාත් එක්ක ඉරිසියයි .....මං ගමේ ආපු දවසක ඇවිත් යන්න එන්නං ...උඹලෑ අම්මගේ අවුරුද්දේ දානෙ ළඟයිනේ ...“
 ......මට තාමත් රත්තරංගේ හඬ ඇහෙනවා වගේ ....

12 comments:

  1. කපීකේකිDecember 9, 2011 at 12:01 AM

    මගෙ යාලුවෙක් හිට්යා එයාට ඩිප්‍රෙශන් තිබ්බා.ඒත් එයා කොහොම හරි උපාධිය සම්පූර්ණ කරා ක්ලාස් එකකුත් එක්ක.ඒත් මම් අහල තියෙන්නෙ ඩිප්‍රෙශන් රෝගීන්ට හිතේ එකග කම අඩුයි කියල.එයා දැන් සතුටින් ඉන්නව ඒ නිසා මටත් සතුටුයි.එයා මගෙ හොදම යාලුවෙක්.

    ReplyDelete
  2. හප්පච්චියෙ ඔය වගෙ ඩයල් එකක් මම දන්න තැනක ඉන්නවා සිරා Programmer. තනිකරම තියෙන්නෙ ඔය කියලා තියන ලෙඩේ. ජනාධිපතිතුමා එයත් එක්ක රෑ කෑම ගන්න සයිස් එකෙ කතාව. හැබැයි ළගින් යන්න බෑ මේ දවස් වලනම් මට හෙම්ම්බිරිස්සාව නිසා ටිකක් ලගින් ඉන්න පුලුවන්.
    …මම ඔය මනුස්සයට ලෙඩක් තියනවා කියුවොත්, එයාව කෙසේ වෙතත් මාවනම් ඉස්පිරිතාලයකට ගෙනියන්න වෙයි.

    ReplyDelete
  3. මේවැනි රෝගයක් මගේ යෙහෙලියකටත් තිබුනා .
    …මාත් උපකාර කලා ඇයව ප‍්රථිකාර සඳහා යොමු කරන්න . දැන්නම් ඇය විවාහ වෙලා මව් පදවියත් ලබල ඉන්නෙ . හොඳ රැකියාවකුත් කරනවා . නිසි වෙලාව්ට ප්‍රථිකාර කල නිසා සුව උනා .
    …හොඳ ලිපියක් ..

    ReplyDelete
  4. ඔව් පවුලේ අයට වගේම මුළු සමාජයටම ලොකු වගකීමක් තියෙනවා මේ වගේ අය ගැන.. හමදාම වගේ අදත් වටිනා ලිපියක්. රං ට නිවන් සුව ලැබේවා සහ මතු උපදින ආත්ම වලදීත් මේ වගේ අවාසනාවන්ත තත්වයකට ගොදුරු නොවේවා කියල අපිත් පතන්නම් !

    ReplyDelete
  5. ම් හොඳ ලිපියක්. මමත් කාලයක් මේ දේවල් ගැන හෙණ උනන්දුවෙං හෙව්ව! :)

    ReplyDelete
  6. මේ තත්වය තියන කෙනෙක්ට සියදිවිහානි කරගැනීමේ අදහසක් ඇති උනොත් හරිම අමාරුයි නේද ඒ සිතුවිල්ල පාලනය කරගන්න එයාට වගේම එයාට උදවු කරන අයටත් ???

    ReplyDelete
  7. සමහර බෙහෙත්වලටත් මේ වගේ හැඟීම් දැනෙන්න පුළුවන් නේද?

    ReplyDelete
  8. -කපීකේකි,
    ඔව් නිසි අවස්ථාවේ හඳුනාගෙන සුදුසු ප්‍රතිකාරයකට සහ පසුවිපරමකට ලක්වෙනවා නම් , සහ පවුලේ සහ සමාජයේ ආදරය රැකවරණය සහ ඒ පුද්ගලයාට වැදගත් බවක් ලැබෙන්නට සලස්වනවා නම් සමහර වවිට මොවුන්ට අපිට වඩා ඉහළට යන්න පුළුවන් තරම් හැකියාවන් තියෙනවා
    ස්තුතියි ඔබට ..

    -ලොකු ඡෝන්,
    මේ සමහර විට මෙබඳු තත්ත්වයක මුලික අවස්ථාවක් වෙන්න පුළුවන් , border line ...මේ වෙනස හඳුනගත්තනම් කළ යුතුදේ පළමු වගකීම පවුලේ අය ගන්නම ඕන , එහෙම නැත්නම් අනාගතයේ යම් අවාසනාවන්ත යමක් වෙන්නත් ඉඩ නැතිවා නොවේ ,
    ස්තුතියි ඔබටත් ,

    -Gimhani ,
    සතුටුදායක තොරතුරක් ..කළයුතු දේ මේ තමයි ..
    ස්තුතියි

    -Weni,
    ඇත්තටම වෙනි , අපේ රටේ ලොකු අඩුපාඩුවක් තමයි “ලෙඩ ගැන හංවඩු ගැසීම“ Stigmation , ඒකියන්නේ නිකමට හරි මානෝ වෛද්‍ය සායනයකට ගිහින් ඊළඟ දවසේ වැඩට ගියාම හැමෝම එයා දිහා බලන්නේ “පිස්සෙක් “ විදියට ...මේ වරද නිසා තමයි පාළිත තත්තවයේ තියෙන මානසික රෝගීත් තත්ත්ව පවා නැවත නැවත උග්‍ර තත්ත්වයට පත්වෙන්නේ , ඇත්තටම මේ කතාවේ ප්‍රධාන චරිතය වන “රං“ ..වාර කිහිපයක් ඉතා යහපත් මට්ටමට පත්වුනත් , ගමට ගියාම තිබුණු සැලකිල්ල , හිතවත්කම් නැතිවුනා , ඔහු ආයෙත් මානසිකව බිඳි වැටෙන්නට මූලික හේතුවක් වුනේ එය ..
    ස්තුතියි ඔබටත්

    -තනි අලියා ,
    ඔව් හොයන්න ඕන , ඉගෙන ගන්න ඕන විෂයක් , අපි අපේ හිත සතුටින් තියාගන්න ඉගෙන ගන්න හොඳ විෂයක් මේ .
    ස්තුතියි ,

    -ඕනයා
    තරමක් දුරටත ඇත්ත , ඒත් එහෙම ඒ උපරිම තත්ත්වයට පත්වෙන්න ඉස්සර වෙලා “පොඩි පොඩි Signal දානවා“ අර කියල තියෙනවා වගේ , එතැනදි අපි හදුනගත්තොත් පුළුවන් වේවි ජීවිතයක් නැතිවීමක් වලක්වාගන්න ...
    ස්තුතියි

    -රූ....,
    ඔව් ඖෂධ කාණ්ඩ ගණනාවකින් මේ තත්ත්වය තාවකාළිකව ඇති කරන් න පුළුවන් , ඒත් එය රෝග තත්ත්වයක් තරමට ඉහළට යන්නේ නැහැ
    ස්තුතියි ඔබටත් ඔබේ පැමිණීම සතුටක් ,

    ReplyDelete
  9. 'බයිපෝලාර් ඩිසෝඩර්' ගැන අහල තිබුනට අද තමා විස්තර දැන ගත්තෙ, තෑන්ක් යූ.

    ReplyDelete
  10. -Observer,
    ස්තුතියි , ඔබතුමා ෙග් පැමිණීමම සතුටක් ...

    ReplyDelete
  11. ඔන්න අද තමයි මම් කාලයක ඉල්ලපු ඉල්ලීමක් සම්පූර්ණ කලේ. අපේ යාලුවෙක්ටත් ඔය කියන ලෙඩේ හැදුනා. ඊට පස්සෙ මාසයක් විතර ඉස්පිරිතාලේ නවත්තලා ඉදලා යැව්වා.

    ඒ උනාට ඔය ලෙඩේ නිට්ටාවට සුව කරන්න බෑලු. ඒකා ලෙඩේ හොද වෙලා සෑහෙන කාලයක් යනකම් බේත් බීවා.

    දැන් උනත් මොකක් හරි ස්ට්‍රෙස් එකක් ඇති වෙන දෙයක් උනොත් ආයෙම ඒ ලෙඩේ හැදෙනවා. පවු

    ReplyDelete
  12. -මධුරංග ,
    ඔව් මල්ලී , මට මතක විදියට මාස තුනකට විතර ඉස්සර මල්ලී මේ රෝග තත්ත්වය ගැන අහල තිබුණා ....ඒත් කතාවක් හැදෙන්නත් එපායැ ලියන්න නේද ? ...ඔව් සමහර ලෙස 100%ක්ම සුව කරන්න බැරි උනත් පාලනය කරන්නට පුළුවන් , ඒ තත්ත්වයේදි බොහෝ දුරට සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවන්න පුළුවන් ඒත් ලෙඩේ උලුප්පන හේතු සාධක මතු නොවෙන තාක් ඔහු සාමාන්‍යයි , ....දියවැඩියාව උනත් 100% හොඳ කරන්න බැරි , ඒත් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ..
    පිළිතුරු දෙන්නට පමා වුනා සමාවෙන්න ...
    ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)