2012/02/01

82) බැරි බර දරනා ගැහැණිය රිදවනා “පල්ල ගිය බේසම “

 අද ටිකක් විවේක පාඩුවේ ඉන්න අවස්ථාවක් ලැබුණ . මොකද ඊයේ ඉදළ මටත් Seasonal flu වගේ ..හෙම්බිරිසාවයි , උණයි ..ඇඟ ඔක්කොම රිදෙනවා , දැන ගත්ත වෙලාවේ ඉඳන් මනෝජගෙන් ලැබුණු සාත්තු සත්කාර වලින් දැන් හුඟක් දුරට සනීපයි වගේ.  ඒත් ඇඟට සම්පුර්ණ සුවයක් තවම නැහැ . තව දවස් දෙක තුනක් යාවි . හොඳ වෙලාවට නිවාඩු දවස් දෙකකුත් එක්කම තියල ලෙඩ වුනේ .


“මහේෂ් , මං කඩේ පැත්තට ගිහින් බඩු ටිකක් අරන් එන්නම් , ඔයා ඉන්න ,  . කඩේ ගියා , මම දෙරණ ගුවන්
විදුලියේ “රෑ ඉර පාන “ අහගෙන හිටිය. ඇඟේ අමාරු අමතක වෙන තරමේ සුන්දර කතාබහක් ...බන්දුල නානායක්කාරවසම් මහත්තයගේ හඬ , පද වැල් ඇමිණුම වගේම , තෝරාගන්නා ගීතයනුත් හද බදන , සිත හදන සොඳුරුම වූවක්  , ඒ කතා බහත් එක්ක මමත් මගේ අතීතයට , මගේ ගමට ගියා වගේ දැනුන ..

රේඩියෝව හදවතට ලංකරන ...රැ ඉර පාන
බඩු මල්ලක් පුරවගෙන මනෝජ ආයෙත් ආවේ පැයකට විතර පස්සේ , මාළු , බණ්ඩක්කා , උම්බලකඩ සම්බල් , බෝංචි  මල්ල පුරවල ..අරගෙන ආ මල්ල බිමින් තියල , ඇය ඇවිත් වාඩි වුනා මා ළඟින් . “මහේෂ් , කඩේ “පූනිත්“  ලෙඩ වෙලා , කඩේ නිකං පාළුවෙලා වගේ ... මං දැක්ක විතරයි ඇවිත් අඩ අඬ කියනවා ..මට නං කිව්ව විදියට තේරුණේ Vaginal prolapse එකක් වගේ , bleeding තියෙනලු , ඒ අස්සේ උණත් හැදිල , ...කන්න බැහැලු , හරිම අමාරුවෙන් ඉන්නේ , ...මං කීව කෑම ටිකක් හදල දුවගේ අතේ එවන්නම් කියල ...ගෙදර ආවම අපි ටිකක් කතා කරල බලමු නේද “ , මේ අපේ අසල්වැසි දමිළ කාන්තාවක් ගැන තමයි කියන්නේ , ජාති බේදයක් නැතිව අපිත් එක්ක බොහොම හිතවන්ත බවින් ඉන්න මේ දමිළ කාන්තාවත් , ස්වාමිපුරුෂයාත් ඒ දරුවනුත් එක් වෙලා කරගෙන යන “දෙමළ කඩේන්“ තමයි අපේ රටේ , අපේ කටට හරියන කෑම , එළවළු ටිකක් හොයාගන්න තියෙන හොඳම තැන.

ලහි ලහියේ එළවලුවක් බතක් , මාළුත් උයල “ආශ්නි දුව“ අතේ කඩේට කෑම එකක් යවපු මනෝජ , එයාගේ සටහන් ටික කියවන්න ගත්ත , තව සති දෙකකින් test එක ..මමත් අහගෙන හිටපු වැසටහන නවත්වල , ලියන්න හිතාගත්ත.

මොකක්ද මේ කතාවට හේතුවුනු “Vaginal prolapse“ කියන්නේ ? .....Vagina කියන්නේ “යෝනි මාර්ගය“ , Prolapse කියන්නේ පහතට වැටීම ..එහෙම නම් අපි මේ කතා කරන්න හදන්නේ කාන්තාවන් බොහොමයක් ජීවිත කාළේ යම් අවස්ථාවක විඳිවන්නට හේතුවන “යෝනි මාර්ගය පහත්වීම “ කියන රෝග තත්ත්වය ගැන ..


මුලින්ම අපි මේ ආශ්‍රිත අවයව පටක ආදිය සාමාන්‍යෙයන් තියෙන ආකාරය හදුන ගනිමු , එතකොට මේ අසාමාන්‍යතාවය තේරුම් ගන්න ලේසියි.  අපි දැනටමත් දන්න විදියට මේ ගැටළුවට හේතු සාධක වන්නේ “යටි බඩ ප්‍රෙද්ශයේ “ තිබෙන අවයව සහ ආශ්‍රිත පටක වල සිදුවන වෙනස් විමක් , ටිකක් හිතල බලමු  අපි හිටගෙන ඉන්න ජිවීන් පිරිසක් විදියට අපේ ඇඟේ වැඩි බරක් දරන්නෙ පහළ ප්‍රෙද්ශය , විශේෂයෙන්ම උකුල සාදන Pelvic bones සහ පාදයේ ඉහළ අස්ථි තමයි වැඩිම බරක් දරන්නේ , කොන්ද පැත්තෙන් ගත්තත් එහි පහළම ඇට තමයි වැඩියෙන්ම තෙරපෙන්නේ ...

බේසම - Pelvic cavity 
කොතැනත් ඔහොමයි නේ , පහලම ඉන්න එකා තමා තෙරපෙන්නේ ...ඉතින් මේ තෙරපීම , පීඩනය පහළ ඉන්න කෙනා දරා ගන්නේ කොහොමද ? ...සමහර විට එයාටම ශක්තියක් ඇති ඒ පීඩනය දරා ගන්න , නැත්නම් එයා තව කාගේ හරි උදව් ඇතිව මේ බර දරා ගෙන ඉන්නවත් ඇති ...හැබැයි යම් විදියකින් මෙයාගේ “බර දරා ගැනීමේ හැකියාව “ , මේ පීඩනයන් විඳ දරා ගැනීමේ සීමාව පැන්නොත් මොකද වෙන්නේ ..? අපි හිතමු අර උදව්වට හිටි අයත් දුර්වල වුනා කියලා ..අහන්නත් දෙයක්ද ? තෙරපීම දරා ගන්න බැරිම මෙයා තැලිල මැරෙනවා ..එහෙම නැත්නම් පනින්න තැනක් ඇත්නම් මේ පීඩනෙන් බේරෙන්න ,කොහෙට හරි පනිනවා ...

බේසමේ පල්ල Pelvic floor '

මේ කාන්තාවගේත් ඔන්න ඔය කතාවම තමයි මෙතැනදි වෙන්නේ , මේ ගර්භාෂය , මුත්‍රාශය වගේම කුඩා බඩවැල්වල පහත කොටස් , ගුද මාර්ගය වගේ අවයව ඔක්කොම තියෙන්නේ මේ යට බඩ ප්‍රෙද්ශයේ   , සීමිත වපසරියක තිබීමත් , වටෙන්ම අස්ථිමය බිත්තියකින් Pelvic cavity වට වෙලා (හරියට බේසමක් ඇතුලෙ  වගේ) තිබීමත් නිසා ඉහළ අවයව වලින් එන පීඩනය මේ ප්‍රෙද්ශයට හුඟක් දැනෙනවා , විශේෂයෙන්ම මේ කිව්ව අවයව බොහොමයක බර දරාගෙන ඉන්න pelvic floor  පේෂී වලට (බේසමේ පල්ල)වගේම තවත් උපකාරක පේෂී , සම්බන්ධක පටක ගණනාවකින් තමයි මේ පීඩනය දරාගෙන ඉන්නේ , එතෙක් කරදරයක් නැහැ ,

පල්ල ගිය මේසම - Vaginal prolapse 
හැබැයි යම් හේතුවක් නිසා කී විදියට පීඩනය දරා ගන්නට බැරි වුනාම , අර කී උපකාරක පටක පවා දුර්වල වුනාම මොකද වෙන්නේ ? ..මේ උකුළු ප්‍රෙද්ශයේ “තෙරපිලා තියෙන“ ගර්භාෂය , නැත්නම් මුත්‍රාමාර්ගය ..සමහර විට බඩවැලේ කොටස් එළියට එන්න පටන් ගන්නව , එන්නේ කොහෙන්ද  හරියට බේසමේ “පල්ල ගියා “ වගේ , Pelvic floor එකේ පහලම තියෙන සිදුරෙන් , ඒ කිව්වේ යෝනි සිදුර Vagina තුලින් ...ඔන්න ඔය අවස්ථාව තමයි Vaginal prolapse කියන්නේ ,

ඔය විදියට වැජයිනල් ප්‍රොලැප්ස් එකක් වුනාම එළියට එන්නේ මොනවාද ? ...සාමාන්‍යෙයන් ගර්භාෂය , එහෙම නැත්නම් ගර්භාෂයේ කොටසක් එළියට නෙරා එන්න පුළුවන් Prolapsed uterus . ඒ විතරක් නොවෙයි , සමහර අවස්ථා වල ගුද මාර්ගයේ කොටස් නෙරා එන්නත් (Rectocele)  අවස්ථාවක් තිබෙනවා , සමහර විට මුත්‍රාශයේ කොටස් මේ විදියට යෝනි මාර්ගය ඔස්සේ තෙරපිලා එන්න පුළුවන් (Cystocele) ...මේ මොන මොන කොටස් එළියට ආවත් , මේ හැම අවස්ථාවක්ම හරිම අප්‍රසන්න , වේදනාකාරී තත්ත්වයක්  සමහර විට ජීවිතේ පවා එපා කරවන තත්ත්වයක් ...

තාත්තට නං ෂෝක් ...
ඉතින් දැන් අපි බලමු මේ තත්ත්වය ඇතිවෙන්න හේතු මොනවාදැයි ? ... ප්‍රධානතම හේතුවක් විදියට දකින්නේ සාමාන්‍ය දරු උපත් කිහිපයක් කර තිබීම(සාමාන්‍ය දරු උපත් කීවේ යෝනී මාර්ගය ඔස්සේ කෙරෙන vaginal delivery ) ,  ඒ කිව්වේ සාමාන්‍ය දරු උපතක් නොකළ කාන්තාවකට සාපේකෂව දරු උපතක් කළ කාන්තාවකට මේ අවදානම වැඩියි , ඒ එක්කම දරු උපත් සංඛ්‍යාව වැඩි වන විටම ඒ හැම සාමාන්‍ය උපතක් එක්කම අර අවදානම 10% කින් විතර ඉහළ යනවා .

ඒ වගේම ආර්තවහරණය සිදුවු කාන්තාවනුත් තම අවදානම වැඩි කරගන්නවා , හේතුව තමයි අපි මේ කතා කළ බොහොමයක් පේෂි පටක වල ශක්තිමත් බව රඳවගන්න ඊස්ට්‍රජන් හෝමෝනය වැදගත් , ඒත් ආර්තවහරණයත් එක්ක මේ හෝමෝන මට්ටම අඩුවෙන නිසා අර කී උදව්වට ඉන්න පේෂි , පටක වල ශක්තිමත් බවත් අඩුවෙනවා .එය හේතුවක් මේ prolapse තත්ත්වයට.

අනෙක් හේතුව තරබාරුව ..ඒ ගැන ඉතින් කියන්න ඕනයැ නේද ? අපේ සමහර කාන්තාවන් දිහා බැලුවම මේ බර කොහොම දරාගෙන ඉන්නවද කියල හිතෙන තරම් . අධික තරබාරුව තියෙන අයට පෙර කී සාධක නැතිව වුනත් මේ තත්ත්වය එන්න පුළුවන් ..

මීට අමතරව ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම හෝ ඒ ආශ්‍රිත ශල්‍යකර්ම කළ කාන්තාවන්ටත් කාළයක් තිස්සේ මළබද්ධය වැනි තැටමීම් කරන ආබාධ තියෙන අයටත් ..රැකියාව විදියට අධික බර ඔසවන හෝ දිගා කාළීනව හිටගෙනම සිටින රැකියාවල ඉන්නා කාන්තාවන්ටත් යම් අවදානමක් තිබෙනවා , කොහොම වුනත් මේ අවදානම වියපත්වීම එක්ක වැඩිවන බව (විශේෂයෙන්ම වයස අවුරුදු 45න් ප්සසේ) නම් කියන්නම ඕන..

විඳවන්නේ නැතිව හදාගන්න..
දැන් අපි කතා කරමු මේ තත්ත්වය ආවට පස්සේ දැනෙන ලක්ෂණ මොනවාදැයි ,...ප්‍රධානම ලක්ෂණේ විදියට කියන්නේ “යටි බඩ හරියේ දැනෙන කැක්කුමක් ..ඒ එක්කම ගෙඩියක් වගේ , නැත්නම් පිරිල තද වෙච්ච බවක් දැනෙනවා කියාවි , , ඊට අමතරව යෝනි මාර්ගය එළියට ඇවිත් තියෙන බවත් පේන්න පුළුවන් , මේ එක්කම තද කොන්දේ කැක්කුමක් , වැසිකිළි යන කොට මේ කැක්කුම ඉවසගන්න බැරි තරම් , වැසිකිළීයේ පැය ගානක් රැඳිල ඉන්නවා , මොකද මුත්‍රා කරගන්න එක , මළ පහ කර ගන්න එක අපිට ඕන විදියට වෙන්නේ නෑ වගේ ...සමහර විට අපිට නොදනිම යනව නැත්නම් යන්න ඕන වෙලාවට පිට කරගන්න බැහැ ...මේ කාන්තාව ලිංගිකව එක්වන වයස් සීමාවක නම් ඉන්නේ  , ඒ තමයි ජීවිතේ වේදනාකාරීම අත්දැකීම ...ඒ එක්කම එක්වීමෙන් පස්සේ රුධිරය පිටවීමක් වෙන්නත් ඉඩ තිබෙනවා ..

මේ තත්ත්වයන් ඇත්නම් නිස්කාරණේ විඳවන්න එපා , ඔබේ වෛද්‍යවරයා හමුවෙලා මේ ගැන පවසන්න , මුලික සරළ පරික්ෂණ කිහිපයකින් සහ ඔබ සමඟ කෙරෙන කතා බහකින් පසුව , ඔබේ ප්‍රතිකාරයන් සඳහා යොමු වේවි , ප්‍රතිකාර විදියට ඔබේ බර අඩු කර ගැනීම , ආහාර රටව නිවැරදි කිරීම , පවතින අපහසුතා අඩු කිරීමට ඔහු කටයුතු කරන අතරේ , තත්ත්වය ශල්‍යකර්මයකට යායුතු තත්ත්වයේ නම් ඔබ රෝහලක් වෙත යොමු කරනු ඇති , එහිදි ශල්‍යකර්මයක් මඟින් එම ප්‍රෙද්ශය ශක්තිමත් කිරීමට කෘතිම පටකයක් (surgical mesh) රැඳවීම , විකෘති වී ඇති කොටස් නිවැරදි කිරිමක් කරාවි , මෙය “මහා ලොකු ඔපරේෂණ් “ එකක් නොවෙයි කියන්න පුළුවන් , ඕනම රජයේ රෝහලක ඉක්මණින් කරවා ගන්නට පුළුවන් , දවස් දෙක තුනක් විතර පොඩි වේදනාවක් තියේවි , ඒත් ඊට පස්සේ නිදහසේ ඉන්න පුළුවන් නේ ..ඒ නිසා විඳවන්නේ නැතිව නිසි ප්‍රතිකාරයට යොමුවෙන්න , ජීවිතේ සතුට විඳින්න ..

අම්මල දූලගේ පන්තිය ...
කාළය ගෙවෙන හැටි , මේක ලියන්න වස්තු බීජය ලැබුණේ දවල් එකොළහට දැන් රෑ දහයයි , අම්මල දූල පන්තියක් කරනවා ..මම මේක දැන් post කළාට පස්සේ යන්න ඕන “පුනීත“ ගෙ ගෙදර ...මේ වෙලාවෙ වෙනකොට ඔක්කොමල ඇවිත් ඇති ..අපේ දෙන්න නම් එක පයින් ..මොකද එහේ අක්කල දෙන්නයි , අයියයි එක්ක සෙල්ලමට යන්න ...


එහෙනම් අදට සමුගන්නවා , ආයෙත් දවසක් එන්නම් ,








12 comments:

  1. ඔබ්ගේ මේ ලිපියෙන් කියවන රෝග තත්වයනම් මට අළුත්ම ඒකක් .
    …විස්තර බැලුවම බයත් හිතුනා . මෙහෙමත් දේවල් තියනවද කියලා .
    …හරිම වේදනාකාරී වෙන්නැති . කාන්තාවක් වශයෙන් කොතරම් පරිස්සම් වෙන්න ඕනද අපේ ශරීරය ගැන නේද ?

    …බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම වලට ..

    ReplyDelete
  2. මාත් අහල නං තියනව ඔයගැන. වයස යනකොට තමයි බොහෝවිට රෝගය හටගන්නෙ නේද?

    ReplyDelete
  3. මේ රෝග තත්වය ඇතිවීම වලක්වා ගන්න පුළුවන් විදි තියනවාද?

    ReplyDelete
  4. මම මෙච්චර ලොකුවට නැතැත් මේ ගැන අහල තිබුනා ගර්භාශය පහත්වීම කියලා, හොද අවබෝධයක් ආවෙ අද තමා.....

    ReplyDelete
  5. me rogi thathwaya tharabaru ayata athiwena percentage eka wadi neda?...,jayawewa..

    ReplyDelete
  6. -Gimhani ,
    ස්තුතියි ගිම්හානි ,

    -රාජ්,
    ඔව් වයස් ගතවිමත් එක්ක අවදානම් වැඩි වෙනවා , ස්තුතියි

    -රූ.... ,
    වලක්වා ගැනීමට කළ හැක්කේ වෙනස් කළ හැකි අවදානම් සාධක අඩු කරගැනීම (උදා.බර වැනි සාධක) . ඊට අමතරව එම ප්‍රෙද්ශය ඔස්සේ කෙරෙන ශල්‍යකර්ම වලට පසු ලබා දෙන ව්‍යායාම උපදෙස් නිවැරදිව කර ගැනීමත් තමයි මූලික . නමුත් අවදානම් කණ්ඩායම වලට එම ප්‍රෙද්ශයට කළ හැකි ව්‍යායාම තිබෙනවා , එය වයස , බර , වැනි සාධක මත වෙනස් වෙනවා , ස්තුතියි

    -Shaggy ,
    ස්තුතියි ඔබට , 

    -king Ramsis ,
    ඔව් තරබාරුව ප්‍රධාන අනතුරුදායක සාධකයක් .
    ස්තුතියි

    ReplyDelete
  7. හොඳ ලිපියක්. මෙම රෝගී තත්වය හා පිරිමි අයට ඇතිවන හර්නියා තත්වය අතර යම් සමාන කමක් පවතිනවාද. හර්නියා තත්වය යනු මෙවැනිම වේදනාකාරී තත්වයක් බව මා අසා තිබෙනවා. එහිදීත් බඩවැලේ තෙරපීමක් නිසා බඩවැල පහත්වීමක්ද සිදුවන්නේ. හැකිනම් පමණක් පහදන්න.
    ස්තූතියි මෙවැනි දේ මගින් අපි දැනුවත් කරනවාට. මෙය කාන්තාවන්ට පමණක් නොව පිරිමි අයට වුවද අවබෝධ කරගැනීමෙ වරදක් නෑ.

    ReplyDelete
  8. -priyantha,
    ඔව් එක් අතකින් මේ අවස්ථා දෙකේ සමාන කමකුත් තිබෙනවා , හේතුව දෙකටම පීඩනය සහ පේෂි/පටක වල ශක්තිමත් බව අඩු විම කියන සාධක දෙක තිබෙන නිසා .
    ඔව් බහුලව සිදු වන්නේ බඩවැලේ අවසාන කොටස් ,Rectum ප්‍රෙද්ශය තෙරපී “මල්ලක්“ ආකාරයෙන් යෝනි මාර්ගය තුලටත් , ඒ හරහා යම් ප්‍රමාණයක් පහලටත් ඒම ...
    ඇත්තෙන්ම , රෝග තත්ත්වයක් පිළිබඳ අවබෝධය ලබා ගැනීමට ස්ත්‍රී පුර්ෂ බේදයක් නැහැ , එය අපි හැමෝටම වටිනවා , ඒ වගේම ඒ දැන ගැනීම “හරිම රසවත් “ මුසුවක් අපේ දැනුමටත් ....ස්තුතියි ඔබට

    ReplyDelete
  9. ගර්භාෂය පහත්වීම කියල කියන්නේ මේකටයි එහෙනම්.. වයසට යනකොට කොයි දේත් පාත්වෙනවා නේද ?

    ReplyDelete
  10. -සරත් ලංකාප්‍රිය .
    හ්ම් ..ඒකනම් ඇත්ත ..බොහොම පිං ආවාට , අදහසක් දැක්වූවාට ..

    ReplyDelete
  11. සර් මගේ දෙනෙතට කදුලුත් එනවා. මෙතුවක් කල් සොදුරැ අසපුව ඇතුලට මාව ගත්තේ නැහැ. මම අද FB එකෙන් සර් ට මේ ගැන කියලා COMMENT එකක් දැම්මා ටික වේලාවකින් මම දන්නෙත් නැතුව මම සොදුරැ අසපුවේ ඒත් ආවෙ කොහොමද දන්නැහැ කොහොම උනත් මට ගොඩක් සතුටුයි

    ReplyDelete
  12. -nadeesha,
    දුව පහුගිය කාළෙ දැක්කෙ නැති නිසා ඒත් මම බැලුව මොකද කියලා ...මේ බ්ලොග් එකට ඇතුලු වෙන්න බැරි කමක් තිබෙන බවක් මම දන්නේ අද ..සමහර විට අන්තරාජ වේගයේ යම් අඩුවක් නිසා වන්නට පුළුවන් . කොහොම වුනත් සතුටුයි , මගේ දරුවන් ආයෙත් මේ විදියට මාත් එක්ක එකතුවුනු එක ගැන . බොහොම ස්තුතියි දුව

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)