2012/02/19

83) නටන පනින ඇඟ සොලවන අහිංසක මාරයා ...

එක්වීමේ සතුට සහ ශක්තිය 
අළුත් පෝස්ට් එකක් දාන්න ටිකක් පහු වුනාද මන්ද ? මට දැනුනේ ඒ වගේ , හේතු කිහිපයක් ම තිබුණ ..මොකද මේ දවස් ටිකේම ඔබ සැමගේ උදව් එක්ක “මධුෂාණී දුව“ වෙනුවෙන් , ඇගේ ජීවිතේ රැක දෙන්න යමක් කරන ගමන් නිසා ටිකක් අවිවේකී බවක් තිබුණා , මොකද ගෙදර ආ ගමන් ලැබී ඇති ලිපි වලට පිළිතුරු ලියල , ඇමතුම් වලට උත්තර දීල , සුජීව මහත්තයත් එක්ක දවසේ තත්ත්වය ගැන කතා බහ කරලා ඉවර වෙනකොට ලිපියක් ලියන්න තරම් වෙලාවක් ඉතිරි නොවෙන තරම් .


 (කෙහොම වුනත් ඔබ සැමගේ උදව්වෙන් ඇයට ජීවිතේ ගැන සුබදායී බලාපොරොත්තුවක් දෙන්නට හැකි වෙමින් තිබෙනවා , දැනට ලැබුණු තොරතුරු අනුව රුපියල් අනූ දාහක් විතර ලැබිලා තිබෙනවාලු , තවත් ලැබෙමින් තිබුනත් මේ දින දෙකේදි බැංකු සටහන් ගන්නට අපහසුතා තිබෙන බව සුජීව මහත්මය කීවා . ) මොකද ලිපියක් ලියන එකත් මට නම් භාවනාවක් වගේ ...බොහොම හිත එකළාසයෙන් කරන්න ඕන ..ඒ වගේමයි ලියල ඉවර වුනාට පස්සේ “පුදුම සතුටක් , සැහැල්ලුවක් හිතට දැනෙන්නේ“ ...හරි එහෙම නම් නිස්කාරණේ කාළෙ නාස්ති කරන්නේ මොකටද ..? අපි අද කතාව පටන් ගනිමු ...

මාතෘකාව දැක්ක ගමන් බය වුනා ද මන්ද ? ...හැබැයි මේ අපේ සිංහල බ්ලොග් වල ජනප්‍රිය “මාරයාගේ හෝරා“ ලියන ජේෂ්ඨතම බ්ලොග්කරුවෙක් වන “මාරයා“ මහතා ගැන නම් නොවෙයි ...මේ වෙන අහිංසක මාරයෙක් ...ඇත්තටම නොදැනුවත්කම නිසාම කැන්දා ගන්න මාරයෙක් කීවොත් තමා වඩාත් නිවැරදි ..අනෙක මේ කියන්න හදන ලෙඩේ ගැන සමහරු හිතාගෙන ඉන්නේ මහා භයානක දෙයක් විදියට , නැත්නම් කිසිම ගණනක් නැති විදියට ..අපි බලමු අවසානයේදී ඔබ කොහොම මේ තත්ත්වය තේරුම් ගනීවිද කියලා .?

ආදරණිය සොදුරු හඬ
දැන් ඉතින් මේක ලියන්න හේතු කාරණේත් ලියන්න එපායැ ..අද Buzz රේඩියෝ එකේ මනෝජ ඉල්ලපු ආසම සිංදුවක් ගියා ..ටී.එම්.ජයරත්න මහත්මයාගේ ‘රත්තරං නෙත් දෙකින්“ ...ඔය සිංදුවත් එක්ක අපි දෙන්න හුඟක් ඈත අතීතෙක කතාවකට ගියා ..කොච්චර දුර ගියාද කිව්වොත් එක්දහස් නවසිය අනූ අඅට නමය විතර කාළෙට ..ඒ අපි පුහුණුව ලබන කාළේ  ., බොහොම රසබර කාළයක් ...ඕව ඉතින් මෙතැන කියන්න පුළුවනෑ නේද? කොහොම හරි මේ කාළේ අපි ප්‍රායෝගික පුහුණව ලබන්නේ කරාපිටිය රෝහලේ .. ඔන්න දවසක් අපි බොහොම ආස කළ බාහිර රෝගී අංශයේ සායනික පුහුණුව Clinical training ලබමින් සිටියා .....අම්ම කෙනෙක් වයස අවුරුදු තුනක හතරක විතර පොඩි දරුවෙක් හරහට වඩා ගෙන දුවල ආව ..මහ හයියෙන් අඬාගෙන කළබලෙන් දුවගෙන ආ අම්ම කෙළින්ම දුව ගියේ රෝගීන් ඇතුලත් කරන කාමරේට ...ඒ තරම් ඇයට රෝහල හුරුයි වගේ ...අපිත් ඒ එක්කම ගියා ඇතුලට ...

“දොස්තර මහත්තයා ..අදත් මගේ කොල්ලට මී මැස්මෝරේට ආව මහත්තයෝ ...දෙපාරක් ගැහුනලු ..අපේ අම්ම දරුව උස්සගෙන ගෙට ගෙනාවේ නැත්නං අපි කවුරුවත් දන්නෑ මහත්තයෝ ..මං උඩහ දළු කඩ කඩා උන්නේ ...“ අම්ම කියවාගෙ යනවා ...දරුව රෝගීන් පරික්ෂා කරන ඇඳේ වෛද්‍යවරයා ඔහු පරික්ෂා කරනවා ..දරුවගේ කිසිම කළබලයක් ඇඬිල්ලක් නෑ ....අපි මේ අම්මගේ කතාව අහගෙන උන්නා ..

“මිස් ...මේ දරුව ඉක්මනට ගන්න ට්‍රොලියට .අනේ ඉක්මණට ...පොඩි මිස් ..emergency trolley දාන්න ..! .ඔයා I.T.U එකට කොල් එකක් දෙන්න bed එකක් ගන්න ...“ වෛද්‍යවරයා කෑහැහුව සද්දෙට අපිත් කළබල උනා ..දුවගේ තත්ත්වේ හොඳ නැහැ වගේ ...අපි ඉක්මණින් දරුව ට්‍රොලියේ තියාගෙන කෘතිම ශ්වසනය දෙන ගමන් කොහොම I.T.U. එකට (දැඩි සත්කාර ඒකකයට- ඒක තියෙන්නේ අපේ රෝහලේ පළමු මහලේ..) කොහොම ගියාද මතකයක් නැහැ ...දරුව ගත්ත I.T.U bed එකට ...උපකරණ සවිකළා .....ඒ වන විටත් ඇවිත් සිටි , එවක අපේ රෝහලේ හිටපු හොඳම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය දරුවව පරික්ෂා කළා ...අපි ශිෂ්‍යයන් නිසා හුඟ වෙලාවක් ඇතුලේ රැඳි නොසිට ආයෙත් O.P.D. ආවා ...

ආයෙත් බාහිර රෝගී අංශයට ආවට අපේ හිත කාමත් අර දරුව ගැන ..ලොකු මිස්ගෙන් අවසර අරගෙන I.T.U.එකට ගත්ත කෝල් එකක් ...ලැබුණ උත්තරේ තාමත් හිත ඇතුලේ රැව් දෙනව වගේ ..“ ආ ...ඔයාල නේද මේ පොඩ්ඩ අරගෙන ආවේ ..අනේ මල්ලි ..වැඩක් නෑ වගේ ...දරුවගේ brain death වගේ මැඩම් නම් කියන්නේ හොස්පිටල් ගේන කොටම වෙන්න ඕන දේවල් වෙලා වගේ කියලා .....ventilator දැම්ම ...වැඩක් වෙන එකක් නැහැ වගේ .....ඔතන දරුවගේ තාත්ත ඉන්නවනම් එන්න කියන්න ටිකක් තේරුම් කරල දෙන්න ඕන ..අම්මට නම් මුකුත්ම කියන්න අමාරුයි දැන් ..“ ..

 දවස් දෙකකට පස්සේ දරුව මිය ගිය පුවත දැනගන්නට ලැබුණා ...හේතුව ශ්වස පද්ධතියේ සෙම හිරවෙලා ..ඒ නිසා ඇති වූ brain death (මොළය මිය යාම) එක ...මේ දරුවා කාළයක් තිස්සේ අපස්මාරය නම් රෝග තත්ත්වයට ප්‍රතිකාර ගන්නා කෙනෙක් , බෙහෙතුත් අරගන්නවාලු ..කොහොම වුනත් මේ දවසේ දරුව “ගැස්ම“ හැදිල වැටිල ඉන්න කොට දරුවගේ ආත්තම්මා මේ කටෙන් සෙම දාන පොඩ්ඩව උඩට වඩාගෙන ඇවිත් තියෙන්නේ ..ඊට පස්සේ වඳුරඹ ඉඳළ කරාපිටියට ඇවිත් තියෙන්නේ ත්‍රිවීල් එකක ..ඒ එනකොටත් දරුව උඩට ඉඳළ ...සෙම ඇවිත් ඒව නැවත ශ්වසන මාර්ගයට ගිහින් හිර වෙලා ..මරණයට හේතුය මේ “සෙම හිර වීම“ ...මොනවා කරන්නද ..රෝහලට ගේන කොට වෛද්‍යතාක්ෂණයට කරන්න තරම් දෙයක් ඉතිරි වෙලා තිබිල නැහැ ..

කතාව දිග වැඩි උනාද මන්ද ? ...ඒත් මට හිතුන මේ වගේ අපි ගොඩක් නොහිතන “සුළු දෙයක්“ නිසා වෙන්න පුළුවන් මේ වගේ අවසානාවන්න තත්ත්වයක් වලක්වා ගන්න මේ රෝග තත්ත්වය ගැනත් , ඒ වගේ අවස්ථාවක කරන්න ඕන , වගේම නොකළ යුතු දේවල් ගැනත් කතා කරන එක හොඳයි කියල ..මොකද මේ අපේ බ්ලොග් කියවන අපේ මිතුරන් හැම දෙයක් ගැනම දැනුවත් වෙන එක හොඳයි , එතකොට මේ තරුණ ජවය ලෝකෙට බොහොම ප්‍රයෝජනවත් වෙනවා ...ආයෙත් දවසක මෙවන් අවාසනාවන්ත සිදුවීමක් වෙන එක වලක්වා ගන්නට පුළුවන් නම් කොයි තරම් සතුටක්ද ?..

අද කතාවේ මාතෘකාව “අපස්මාරය“ ව්‍යවහාරයේ තියෙන්නේ “මීමැස්මෝරේ “ කියල ,වලිප්පුවත් මේකටම කියන නමක්නේ ....අපි දැන් මේ ලෙඩේ ගැන ටිකක් විස්තරාත්මකව කතා කරන්නයි හදන්නේ .....ඒ නිසා මුලින්ම අපේ පන්තිය දාමු ....අපේ ඇඟේ සිද්ධ වෙන  හැමදේම වගේ පාලනය කරන ප්‍රධාන පාළක මධ්‍යස්ථානයක් තියෙනවා ..ඒ මොළය (Brain) ..ඒකෙම අනුබද්ධ දෙපාර්තමේන්තුව වගේ “සුෂුම්නාව සහ ස්නායු (Spina and nerves )“ මේ දෙන්නගේ උදව්වෙන් තමා අපිට “දැනෙන“ , කරන හැම දේම වගේ පිළිවෙලකට සිදු වෙන්නේ ..ඇවිදින කන බොන , කතා කරන ....මේ හැම දෙයක්ම හරියට නිවැරදිව කරගන්න මේ දෙන්නගේ ක්‍රියාකාරීත්වය හරිම වැදගත් ,මෙතැනදි මොළය ඇතුලේ සිදුවන electrochemical impulses නැත්නම් විද්‍යුත් රසායනික පණිවිඩ හුමාරුව හොදින් ක්‍රියාත්මක වීම හරිම වැදගත් .

...මේක හරියට පාර්ලිමේන්තුව වගේ අපේ අත පය , බඩ , අක්මාව , කන ..මේ වගේ දේවල් හරියට වෙන වෙන අමාත්‍යංශ වගේ ...(අනේ මන්ද දේශපාලනේට ගියොත් පාඩම වෙනස් වේද මන්ද ...? බලමු ..) දැන් පාර්ලිමේන්තුව හරියට වැඩ කරනවා නම් , ඒකේ ගන්න තීරණ ඊළඟට දෙනවා අමාත්‍යංශ වලට ..ඒ කිව්වේ මොළයේ ඇති වන “පණිවිඩය“ ඊළඟට ඊට අදාල අවයවයට යනවා වගේ ...මේ ක්‍රියාවලිය හරියට වෙනකං රටටත් හොඳයි ඇඟටත් හොඳයි ...හැබැයි පාර්ලිමේන්තුව , ඒකේ ඉන්න අය “පිස්සු නැටුවොත්“ ...කිසිම වගකීමක් නැති සැලසුමක් නැති තිරණ අරගෙන ඒවා අමාත්‍යංශ වලට යැව්වොත් ...? ...මොකද වෙන්නේ ..එක එක අමාත්‍යංශ කිසිම සම්බන්ධයක් නැතිව ඕන ඕන විදියට නටනවා ...(.අපිට ඉතින් අත්දැකීම නැතුවයැ පාරවල් වලම නේද ? ...මහාමාර්ග අමාත්‍යංශෙන් ලස්සනට පාර හදාගෙන තාර දාල කාපට් කරගෙන ගියදාට පස්සේ දවසේ වාරි මර්ග අමාත්‍යංශෙන් ඇවිත් පාර කඩාගෙන කාණූ කපාගෙන යන්නේ ..ඔය විදියට හරි සම්බන්ධ වීමක් නැති නිසා වෙන්න ඇති ) ,

මේ ලෙඩේ දිත් වෙන්නේ ප්‍රධාන මධ්‍යස්ථානය වන මොළය “අකීකරු වීමක් “ ...ඇත්තම කතාව විස්තරාත්මකව කිව්වොත් මොළය ඇතුලේ ගමන් කරන , බිහිවන විදුලිමය පණිවිඩ වල අක්‍රමවත් වීමක් ...ඉතින් මේවිදියට මොළය ඇතුලේ අක්‍රමවත් විදුලිමය පණිවිඩ ඇති වුනොත් , ඒවා අදාල අත පය වගේ අවයව වලට ගිහින් ඒවායේ ක්‍රියාවත් අක්‍රමවත් කරනවා, අපේ පාලනයකින් තොරව ගැහෙන්න , නවතින්න පටන් ගන්නවා  ..ඔන්න ඔය විදියට මොළයේ සිදුවන අක්‍රමවත් විද්‍යුත් සංඥා නිසා තමයි මේ අපස්මාරය තියන තත්ත්වය ඇති වන්නේ ..

ඇත්තම කිව්වොත් මේවිදියට සිදුවන අක්‍රමවත් සංඥා නිසා සිදුවන්නේ ඒ අවස්ථාවට අපි බලපොරොත්තු නොවන සිදුවීමක් .ඒ සමහර විට ගැස්මක් , වැටීමක් , සිහි නැතිවීමක් , ... අපි මේ වගේ සිදුවන ගැස්මක් එක්ක සෙම පිට කරමින් වැටීමක් නම් කරන්නේ seizure නැත්නම් convulsion කියලා සමහරු කියන්නේ ෆිට් එක හැදිල කියලනේ ...මේ වගේ දෙයක් එකවතාවක් හැදුන ගමන් ඔහු හෝ ඇය අපස්මාර රෝගියෙක් ලෙසින් හදුන්වන්නේ නැහැ ..හැබැයි මේ විදියේ සිදුවීම් සෙම පිට කරමින් සිදුවන වැටීම ,  ඒ එක්කම කෙටි කාළීනව සිදුවන සිහිය නැතිවීම් ..දිගින් දිගටම සිදුවෙනවා නම් ..අන්න ඒ අවස්ථාවේ තමයි වෛද්‍යවරයා මේ තත්ත්වය අපස්මාරය හෙවත් Epilepsy කියල නම් කරන්නේ ..

හොඳම උදාහරණය ..පුංචි දරුවන්ට තදින් උණ ගැනුනම , සහ උණ හොඳින් පාලනය කර නොගත්තොත් මේ වගේම ගැස්මක් , වලිප්පුවක් හැදෙන්න පුළුවන් , අපි මේ තත්ත්වය නම් කරනනේ “උණ වලිප්පුව“ නැත්නම් febrile convulsion කියලා ...මේක හැදුන ගමන් හුඟක් අම්මලා බය වෙනවා තමන්ගේ දරුවට අපස්මාරය හැදිල කියලා ..බොහොමයක අවස්ථාවල මේ තත්ත්වය නැවත ඇති නොවෙන තරම් හොඳින් උණ පාලනය කරගත්තොත් ...හොඳින් මතක තියා ගන්න ඕන දෙයක් මේ වලිප්පුව , නැත්නම් මීමැස්මොරය වගේ තත්ත්වය වරින් වර , දිගින් දිගටම හැදෙනවානම් , ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයට යොමු වෙන්නම ඕන , මොකද මේ “අපස්මාරය “ තත්ත්වය  වෙන්න පුළුවන් නිසා ...

අපි දැන් බලමු මේ අපස්මාරය තත්ත්වය ඇති වෙන්න පුළුවන් හේතු කාරණා මොනවාදැයි ..? ..ප්‍රධාන හේතුවක් තමයි උපතින්ම මොළයේ ඇතිවන යම් යම් විකෘතිතා , (ජානමය වශයෙන් පවා ගමන් කිරීමේ හැකියාවක් තිබෙන කෙටියෙන් කිව්වොත් පරම්පරාවෙන් යන්න ඉඩක් තියෙන) , සමහර විට මොළයේ ලේ ගමනාගමනය වෙනස්කම් , පටක වල වෙනස්කම් වගේ දේවල් උපදින්නටම පෙර වෙන්න පුළුවන්  ...සමහර විට දරු උපතේදී මොළයට වන අනතුරු නිසාත් , විශේෂයෙන්ම වෙනස් පිහිටීම් නිසා අඬු භාවිත කරමින් දරුවා ප්‍රසූත කරන අවස්ථාවල (නමුත් දැන් මේ අවදානම ඉතා අඩුයි , හේතුව දැන් තිබෙන තාක්ෂණික පහසුකම් නිසා දරුවා බිහි වෙන්න කළකට පෙර පිහිටීම වගේම අනතුරුදායක විය හැකි තත්ත්ව ගැනත් පෙර සූදානම් වීමේ හැකියාවක් තිබෙන නිසා) , මීට අමතරව මොළය ඇතුලේ ඇතිවන ගෙඩියක් (පිළිකාමය හෝ නොවන ගෙඩියක්) ..වෙනත් ආකාරයකින් මොළයට වන හානියක් නිසාත් මේ දේ සිද්ධවන්න පුළුවන් ...මීට අමතරව වකුගඩු , අක්මාව වගේ ඉන්ද්‍රියයන්ගේ ආබාධ නිසාත් මේ ගැස්ම ඇති කරවන්න පුළුවන් ..ඒ වගේම වියපත් වීමත් එක්ක මොළයේ සිදුවන සෛල මියයාමත් එක්කත් , ලේ සැපයුම වෙනස්වීමත් ,මොළයේ ඇතිවන ආසාදන එක්කත් මේක වෙන්න පුළුවන් ..

දැනටමත් ඔබ දන්නවා අපස්මාරයේ ලක්ෂණ , හැබැයි ඔබ දන්නවද? ඔබේ දරුවගේ සටහන් පොත , නැත්නම් ඔබේ සටහන් පොත බැලුවමත් අපස්මාරයේ සමහර ලක්ෂණ කියන්න පුළුවන් ...බලන්න ලියපු සටහනක් ..බොහොම ලස්සනට පිළිවෙලට ලියාගෙන යන සටහනේ එකවර කිසිදු ගැලපීමක් නැති අකුරු ලිය වෙලාද බලන්න ..නැත්නම් වාක්‍යෙය් ගැලපීමක් ඡේදයේ සම්බන්ධයක් නැත්ද කියල ...නැත්නම් අකුරු නැතිවෙලා ගිහින්ද බලන්න ..ඔන්න ඔය වගේ සිදුවීම් මේ ලෙඩේදි වෙන්න පුළුවන් , හැබැයි කිසිම ගැස්මක් සෙම දැමිල්ලක් නෑ ...මේ ගැන ඇහුවම “ඒ වෙලාවේ මොකක් උනාද කියල දන්නෙත් නැහැ (හැබැයි මතක තියා ගන්න , දවස් ආහාරයට පස්සේ කම්මැලි දේශනයක් අහගෙන ඉඳල සටහන බලද්දි සිද්ධවන නැති වීම් ගැන කළබල වෙන්න එපා ..ඒ ඉතින් අපිට නින්ද ගිහින් වෙන්න ඕන ...අපි ගාවත් එහෙම අකුරු නැතිවුන පොත් තියෙනවා )

සමහර විට ඇහේ , නැත්නම් තොල් වල අපිට පාලනය කරගන්න බැරි ගැස්මක් ඇති වෙන්න පුළුවන් ...එහෙම නැත්නම් කිසිම තේරුමක් නැතිව , පාලනයක් නැතිව අතේ ඇඟිළ එක දිගට අතුල්ලනවා වෙන්න පුළුවන් , (Automatism ) , නැත්නම් හිටපු ගමන් බෙල්ල ගස්සනවා වෙන්නත් පුළුවන් ..සමහරු කටේ කිසි දෙයක් නැතිවත් මෙන්න මොනවාදෝ කනවා ..ඒ වගේම කට තොල් වැඩ කරනවා ..හැබැයි මේ ගැන ඇහැවුවම එහෙම දෙයක් උනාද කියල දන්නෙත් නැහැ ...ඔන්න ඔය වගේ අපි නොහිතන ලක්ෂණ ගණනාවක් තියෙනවා ..ඔය විතරක් නොවෙයි , සමහරුන්ට දැනෙනවා ඇඟ දිගේ කූඹී යනවා වගේ ...නැත්නම් ඇස් ඉස්සරහා සත්තු ඉන්නවා වගෙ ..සමහර විට මේ කිසිම දෙයක් නොවි , හේතුවක් නැතිව ඇස් ලොකු වෙලා , දාඩියදාගෙන බලාගත්ත අතේ බලාගෙන ඉන්නත් පුළුවන් ..ඊට පස්සේ වමනේ ගතියක් තියෙනව කියල හරි නැත්නම් මුකුත් නොකිය වමනේ දාන්න හරි පුළුවන් ..වැදගත්ම දේ මේ වගේ එක සිදුවීමක් උන පමණින් බය වෙන්න එපා ...හැබැයි වරින් වර මේ තත්ත්වය ඇති වෙනවා නම් මේ අපස්මාරයේ එක්තරා අවස්ථාවක් වෙන්න පුළුවන් ..Focal epilepsy කියල නම් කරන මේ තත්ත්වයේ ලක්ෂණ විවිධාකාරයි ..හැබැයි එක වැදගත් දෙයක් , ඒ බොහොමයක් ලක්ෂණ නැවත නැවත ඇතිවනවා repeatable ,  ඒවගේම අවශ්‍යතාවයක් නිසා ඇති වන දේවල නොවේ Involuntary ...සමහර විට මේ ලක්ෂණ එක්ක කල්පනාව නැති වීමක් වෙන්නත්(Complex focal epilepsy)  , නොවෙන්නත් පුළුවන් (Simple focal epilepsy)  ...

සමහර විට මේ වෙනස්කම ඔබට හදුනගන්න බැරි තරම් කෙටි කාළ සීමාවක වෙන්නත් පුළුවන් , ඒ කිව්වේ තත්තපර කිහිපයක් ඇතුලත ...ඔය  අවස්ථාව හඳුනගන්න කොච්චර අමාරුද කිව්වොත් absence epilepsy කියල නම් කරන තරමටම එය කෙටි කාළයක් තුල සිදු වෙන්නේ ...සමහර විට ඔබටත් එක් වතාවක හරි මෙන්න මෙහෙම දෙයක් වෙලා තිබේද බලන්න ..එකපාරටම බොහොම වේගෙන් ඇහිපිය ගස්සන්නට පටන් ගන්නවා , ඇත්තම කිව්වොත් අපිට ඕනවට නොවෙයි , ඉබේම ගැහෙන්න පටන් ගන්නවා ..ටික වෙලාවකින් නැතිවෙනවා ..ඔන්න ඔය වගේ කෙටි කාළීනව සිදුවන (විශේෂයෙන්ම තත්ත්පර 15කට අඩු කාළයකදී ) තත්ත්වය තමයි මේ absence epilepsy කියල නම් කරන්නේ..

මෙන්න Recovery position එක ..
ඊළඟට අපි හුඟක් අය දන්න ලක්ෂණ ටික කතා කරමු ..මොනවද ඒ ..මෙතනදි වෙන්නේ එකපාරට “දතකට පූට්ටු වෙලා “ තද වෙලා , ගහක් කඩාගෙන වැටුන වගේ වැටිල සෙම දාමින් ගැහෙන්න පටන් ගන්න එක ...මෙහෙම සෙම දාගෙන ගැහෙන මේ පුද්ගලයා පැත්තට හරවලා , අර එන සෙම ටික හොඳින් එළියට ගලා ගෙන යන්න ඉඩ දීල වෙන උපකරණ හරි බාහිර දේවල වලින් හරි අනතුරක් නොවන විදියට රැක ගත්තොත් ටික වෙලාවකින් නැගිටල මෙහෙම දෙයක් වුනාද නැති ගානට යාවි යන්න ...හොඳට මතක තියා ගත යුතු දෙයක් මේ විදියට පේෂි තද වෙලා කට , දත් , තද වුනු වෙලාවට ඒ අස්සේ හැඳි ගහන්න යන්න එපා , ඒක බලෙන් අනතුරක් ඇති කිරීමක් , නැත්නම් තද වෙච්ච අත් බලෙන් දිග හරින්න ගිහින් අත්වල පේෂී , පටක ඉරන්න එපා .,කටට වතුර දාන්න එපා , මොකද දැන් ගිලෙන්නේ නෑ ..ඒ වතුර ශ්වසන මාර්ගයට ගිහින් මේ මනුස්සය මැරෙන්න පුළුවන් .....කරන්න තියෙන වැදගත්මදේ , පැත්තට හරවලා අර ගලා ගෙන එන සෙම එළියට යන්න ඉඩ දෙන්න (අපි මේ ස්ථාපිතය නම් කරන්නේ Recovery position කියලා ), ගැස්මත් එක්ක වෙන උපකරණ ඇඟට වැටිලා වෙන්න තියෙන අනතුරු හරි ගැස්මත් එක්ක මේ පුද්ගලයා අනතුරුදායක තැනකට වැටෙන්න ඉඩ ඇත්නම් (වතුරට , නැත්නම් ගින්දරට , හෝ කරකැවෙන උපකරණ සහිත යන්ත්‍රයක් ළඟට වැනි ) ඉන් වල්කවා ගන්න එක විතරයි ..ටික  වෙලාවක් ගියාම මේ පේෂී ගැස්ම නවතිනවා , සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා ,

හැබැයි විනාඩි පහකට වඩා මේ ගැස්ම තිබේනම් , නැත්නම් ගැස්මෙන් පස්සේ හුස්ම ගැනීම නිසි ලෙස සිදු නොවෙනවා , දෙවැනි වරටත් අපස්මාරය තත්ත්වය විනාඩි කිහිපයක් තුල නැවත ඇතිවුනා නම්  , රෝගියා දියවැඩියාවෙන් පෙළෙන්නෙක් හෝ ගර්භණී කාන්තාවක් නම්  වඩාත් සුදුසුයි ඉක්මණින් ඔහු රෝහලකට රැගෙන යන එක ( ශ්වසනය නැවතිලා නම් පමණක් කෘතිම ශ්වනය දෙන්න )   ..හැබැයි ආයෙත් කියනවා ඒ රැගෙන යත්දිත් මේ පුද්ගලයා පැත්තට හරවගෙන යන්න (සෙම ඉවතට වැක්කෙරෙන විදියට)  , නැත්නම් වෙන්නේ අපේ කතාවේ මුලින් කී දරුවට වුනු දේ ..ඒ කිව්වේ ඒළියට එන සෙම නැවත ශ්වසන මාර්ගයට ගිහින් හුස්ම ගන්න බැරුව මැරෙන එක..

මේ විදියට ලොකු අපස්මාරය හැදෙන්න ඉස්සර වෙලා පොඩි පොඩි සංඥා දෙනවා , ඒ කිව්වේ මේ පුද්ගලයාට අමුතු සුවඳක් දැනෙන්න පුළුවන් , නැත්නම් අමුතු රසයක් , නැත්නම් අකුණූ ගහනවා වගේ පේන්න .ඔන්න ඔය වගේ පුර්ව සංඥාවක් දීල තමයි අර ගැහෙන තත්ත්වයට එන්නෙ , මේ පුර්ව ලක්ෂණ අපි නම් කරන්නේ Aura කියලා ...මේක එක්කෙනාගෙන් කෙනාටත් අවස්ථාවන් අනුවත් වෙනස් වෙන්න පුළුවන් ...

මේ මහා ගැස්මෙන් පස්සේ අවදි වන කෙනාට තද නිදි මතක් , නැත්නම් ඔළුවෙ කැක්කුමක් දැනෙන්න පුළුවන් ...සමහර විට පැය නැගිටල , ඔයාලත් එක්ක කතා කරලා ඇඳට ගිහින් පැය ගාණක් මැරිල වගේ නිදා ගන්නත් පුළුවන් , සමහර විට අතක් පණ නැති වගේ , නැත්නම් ඇවිද ගන්න අමාරුයි වගේ තතත්වයක් කියන්නත් පුළුවන් , හරියටම අංශභාගේ වගේම (මේ ලක්ෂණය ආවොත් කළබල නොවි , වෛද්‍ය උපදෙසක් ගන්න යොමු කරන එක හොඳයි , මොකද මේ අපස්මාරයේම ඇති වන Todd's paralysis කියන තත්ත්වය  වෙන්නත් පුළුවන් , නැත්නම් මොළයට වුනු අනතුරක් වෙන්නත් පුළුවන් නිසා )

කොන්ඩ කටු ...??? නැහැ මේ E.E.G. probes 
මේ වගේ ලක්ෂණ කිහිපවරක් ඇති වීම නිසා එහෙම නැත්නම් පෙර කී හේතු නිසා රෝහල් ගත වුනා නම් වෛද්‍යවරයා රෝගියාව සාමාන්‍ය දේහ පරික්ෂාවකට ලක් කරාවි , ඊළඟට පවතින වෙනත් රෝග තත්ත්ව ගැන අගැයුමක් කරනවා , ඒ සඳහා ලේ වල සීනි , යූරියා වගේ තවත් සාමාන්‍ය රුධීර පරික්ෂණ කිහිපයක් කරන්නට ඉඩ තිබෙනවා ..මොළයේ අනතුරක් යැයි සැකනම් ඉක්මණින්ම C.T.scan සඳහා යොමු කරාවි , ඒ වගේම මේ ලක්ෂණ තිබේ නම් මොළයේ විද්‍යූත් ක්‍රියාකාරිත්වය සටහනකට ගන්න E.E.G (Electro encephaloGraph) පරික්ෂණය කරනවා , මේකේ නම දිග වුනාට බය  වෙන්න එපා , මෙතැනදි කරන්නේ හොඳින් වියලුනු ඔබේ හිසේ පුංචි ස්ටිකර් වැනි probes කිහිපයක් රඳවමින් හරියට E.C.G. එකක් ගන්නවා වගේම හැබැයි ඊට වඩා ලොකු කොළ ගණනාවකට ප්‍රස්ථාරයක් වගේ සටහනක් ගන්න එක ..මේ සටහන අනුව පවතින අවස්මාර තත්ත්වය , එහි ස්වභාවය ගැන හඳුනාගන්නට වෛද්‍යවරයාට පුළුවන් .

දැන් ප්‍රතිකාරය , මෙහෙමෙයි , අපස්මාරය තතත්වයට හේතු වුනේ වෙනත් රෝගයක් නම් , ඒ කිව්වේ දියවැඩියාව , වකුගඩු රෝගයක් වැනි තත්ත්වයක් නම් මුලින්ම ඒ තත්ත්වය නිවැරිදි කරන්නට ප්‍රතිකාර කෙරෙනවා , බොහෝ විට අර මුල් රෝග තත්ත්වය පාළනයත් එක්ක නැවත අපස්මාරය ඇත නොවන තත්ත්වයටම “සුව කරගන්න “ පුළුවන් වේවි .නමුත් එවන් හදුනාගත් හේතුවක් නැතිව මොළයේ ඇති ආබාධිත තත්ත්වයක් නිසා මෙය ඇති වනවා නම් ඔබට දිගු කාළීනය ඖෂධ ගන්නට වේවි , එහිදි Anti convulsant වර්ගයේ වගේම තවත් ඖෂධ කිහිපයක් දෙන්නට පුළුවන් ..ඒ එක්කම ඔබට රෝග තත්ත්වය පිළිබඳ සහ සායන පිළිබඳ සටහන් කළ කාඩ් පතක් ලැබේවි ..හොඳින් මතක තියා ගන්න “මේ කාඩ් එක පරිස්සම් කරගන්න“ , ඔබ යන එන හැම තැනකදිම ඔබේ පසුම්බියේ මෙහි පිටපතක් තියා ගන්න එක වටිනවා , ඒ වගේම නිසි කළට වෙලාවට සායනයට යන්න අමතක කරන්න එපා , මොකද මේ ඖෂධ මාත්‍රාව වරින් වර වෙනස් කරන්නට වෙනවා ..ඒ එක්කම ඒ ඖෂධ වලින් යම් අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන් නිසාත් නිසි කළට වෛද්‍ය අධීක්ෂණය අවශ්‍යමයි , ඒ නිසා “බෙහෙත් ගන්න නිසා , වලිප්පුව හැදුනේ නෑ“ කියල සායනයට නොගිහින් ඉන්න , නැත්නම් බෙහෙත් නවත්වන්න යන්න එපා ...විවාහක කාන්තාවක් නම් , ඔබ මේ ප්‍රතිකාරය අතරතුර දරුවෙක් පතනවා නම් මුලින්ම ඔබේ වෛද්‍යවරයා සමඟ මේ ගැන සාකච්ඡා කරන්නම ඕන , නැත්නම් ඉදිරියේ තවත් අවදානම් එක් කරගත්තා වෙන්න පුළුවන් ..

මේ එක්කම ඔබේ සාමාන්‍ය ජීවන චර්යාවත් ටිකක් වෙනස් කරගන්න වෙනවා ...ඒ කියන්නේ ..ඖෂධ ගන්නා කාලයේදි ඔබේ නින්ද ගැන සැළකිල්ලෙන් ඉන්න , දවසට අඩුම ගණනේ පැය අටක්වත් “හොඳට නිදාගන්න“ ...නිදි වරන්න නම් එපා , ඒක ටිකක් අවදානම් , වෙනත් ලෙඩක් හැදුනොත් , උණ , වෙනත් ආසාදන ..වගේ තත්ත්වයක් හැදුනොත් වෙන අය වගේ පමා කර කර ඉන්න එපා , ඔබේ කාඩ් පතත් අරගෙනම ගිහින් වෛද්‍යවරයා හමුවෙන්න ...ඖෂධ ගන්න ...මානසික ආතතිය  අඩු වන ජීවන රටාවකට හුරු වෙන්න පුළුවන් නම් හොඳයි (නමුත් මෙය ඔබ ප්‍රායෝගිකව තේරුම් ගන්න ) , ඔබේ රෝග තත්ත්වය නිසි ලෙස පාලනය කර නැත්නම් රිය පැදවීම , යාන්ත්‍රික උපකරණ එක්ක කටයුතු කිරිම , වෙනත් අයෙක්ගේ අධික්ෂණයක් නැතිව පිහිනීම , කිමිදීම වගේ දේවල් වලින් වැලකීම සුදුසුයි , මත් පැන් බොනවා නම් තමන් අවදානමට ලක් කරගන්නා බව දැනගන්න  . ඒ වගේම ඔබේ අපස්මාරය මතු කරවන සාධක තිබේ නම් ඉන් ඉවත් වෙන්න බලන්න (ඒ කිව්වේ සමහර අපස්මාර රෝගීනට  තද එළිය , Flash , තද හඬ , රූපවාහිනියේ ඉතා කෘර දර්ශන වැනි දේ නිසා අපස්මාර තත්ත්වය නැවත මතුවෙන්න පුළුවන් ) පොඩ්ඩන් එහෙම ගස් නගින්න ආසයි නේ ඒත් මේ තත්ත්වය නිසි ලෙස පාලනය වෙලා නැත්නම් ඊට වඩා වෙනස් ක්‍රීඩාවකට යොමු කරන්න ,

විශේෂයෙන්ම කියන්න ඕන මෙවන් තත්ත්වයක ඉන්න දරුවා , අනවශ්‍ය පීඩනයට ලක්වන විදියේ “පරිස්සම් “ කරන්න යන්න එපා , හැම විටම ඔබේ ඇස් මායිමේ තියා ගන්න බලන්න , ඔබේ අධීක්ෂණය යටතේ නැත්නම් දරුවාගේ රෝග තත්ත්වය ගැන දන්න ගුරුවරයෙක්ගේ ඇස් බැල්ම යටතේ දරුවාට සාමාන්‍ය ක්‍රියාකාරකම් වල යෙදෙමින් “දරුවාගේ ලෝකයේ සුන්දරත්වය විඳින්න දෙන්න “

නිවැරදි අවස්ථාවේ නිවැරදි ප්‍රථිකාරයට යොමු වුනොත් මේ රෝග තත්ත්වය සුව වන තරමටම “පාලනය කරගන්න පුළුවන් “  , ඒ වගේම ඖෂධ ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන අවස්ථා වල මොළයේ කරන සියුම් ශල්‍යකර්ම කිහිපයක් මගින් මේ තත්ත්වය පාළනයට හැකියාවක් අද වෛද්‍ය විද්‍යාවට තිබෙනවා ,  මේ හැම තැනදිම වැදගත්ම දේ රෝගය ගැන නිසි දැනුමක් සහිතව ජීවිතය ගත කිරීම ...

දැන් ඉතින් ඔබ අහවි අර අපේ කතාවේ මුලින් කී දරුවට මොකද වුනේ කියලා ...ඒ දරුව නම් මිය ගිහින් තියෙන්නේ නොදැනුවත් කරේ වරදින්  ඒ කිව්වේ වලිප්පුව හැදුන දරුවා උඩු අතට හරවාගෙන උකුලේ තියාගෙන එත්දි , එළීයට ගලා ආ සෙම නැවතත් ශ්වසන මාර්ගයට ගිහින් හිර  වීම තමයි මරණයට හේතුව ...කෙසේ වෙතත් නිසි ලෙස පාලනය කරගෙන නොගියොත් යම් අවස්ථාවක සුඩෙප් වෙලා මිය යන්නට අවස්ථාවක් නැතිවා නොවේ , මේ සුඩේප් කිව්වේ Sudden Unexplained Death In Epilepsy කියන අවස්ථාව ...මේක බොහොම සීමිත තත්ත්වයක් , අඩු අවස්ථාවක් ..එහෙම අනතුරකට පත්වීමේ අවදානමක් එන්නෙත් නිසි ප්‍රතිකාර නොගත්තොත් විතරයි ....අනේ මන්ද අන්තිමටම බය කරාද කියලා ...ඒත් ඉතින් ඇත්තම කියන්න එපායැ ...ඔන්න ආයෙත් කියනවා මෙහෙම , හරියට බෙහෙත් ටික ගන්න ,සායනයට යන්න , මේ කරදර කිසිවක් නැතිව සාමන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් ...

එහෙම නම් අද මේ දිග හෑල්ල නිමා කරනවා ...සමාවෙන්න ඕන දිග වැඩි වුනා නම් , මොකද Epilepsy  කියන්නේ පුහුණු කාළෙ ඉඳළම මගේ ප්‍රියතම මාතෘකාවක් , ඒ තියා මගේ පළමු care study ය වුනෙත් මේකමයි ..ලියන්න නම් තව කරුණු ගොඩයි ..ඕව ඔක්කොම කියෙව්වොත් ........අපිටත් ගැස්ම හැදෙයි නේද ?....ඒ නිසා නවතින්නම් ..සුව සතුට පිරි දිනයක් ...

අවසානයේ ආයෙත් මධුෂාණි දියණිය වෙත ඔබේ කාරුණික අවධානනය යොමු කරනවා ..ඇය දැන් වෙනස් ..දැන් ඇය ජීවිතය ගැන අපේකෂාවෙන් ..සතුටින බලාපොරොත්තු වේ දෑස් දල්වා ඔබ දිහා බලාන ඉන්නවා ...ඇය ඉල්ලන්නේ ඔබේ මසුරන් දහසක් නොවේ , ජීවිතේ බේර ගන්න ඕන කරන රුපියල් දෙලක්ෂ විසි දාහකක මුදල හදාගන්න ඕන කරන සුළු උපකාරයක් විතරයි ...ඔබ දන්නවද ? .ඔබත් නොදැනම දැනටමත් රුපියල් අනූදාහකට වඩා ඔබ ඇයට පරිත්‍යාග කරල තියනවා ..ඇයගේ පවුලේ අයත් යම් මුදලක් හොයාගෙන ඇති ...ඒ කියන්නේ දැන් ඇය ටිකෙන් ටික ආයෙත් ජීවිතය ගැන බලාපොරොත්තු පුරවා ගන්නවා ...මෙය ...සතුටක් ! ..මම දන්නවා එය ඔබ සැමට නිරාමිස සතුටක් ...මේ සත්කාර්යයේදි බ්ලොග් අවකාශයේ ඉන්න බොහෝ දෙනෙක් මට උපකාර වුනා මේ පණිවිඩය ඔබ අතර දෙන්න , ඒ සොඳුරු මිනිසුන් ගැන , ඉදිරි දිනයකදි කතා කරන්නට සිතා ඉන්නවා ..ඒ අපේ අරමුණ ඉටු වන පෙබරවාරි 28 දාට පසු , ඒ කියන්නේ ඇය ප්‍රතිකාරයට යොමු කරාට පස්සේ ..

එහෙම නම් ආයෙත් කිව්වා හැමෝටම ..ආයු බෝ ...ආවඩා ......

යන ගමන් බලන්න මෙන්න විඩියෝ කිහිපයක් ...මේක ටිකක් හිතට සංවේගයක් ඇති වන දර්ශනයක් නිසා  එවන් දර්ශන බලන්න අමාරුනම් නොබැලුවත් කමක් නැහැ .පුංචි දරුවෙක්ට අපස්මාරය ඇති වන අවස්ථාවක් 

මෙන්න බලන්න Absence epilepsy 

අහල බලන්න මේ සිංදුවත් ...ඇයි අපි ජීවත් වන්නේ ...?

13 comments:

  1. ගොඩක් වටින් ලිපියක් ස්තුතියි ඔබට..

    ReplyDelete
  2. නොදත් කරුණු බොහෝ දැනගත්තා අද ලිපියෙනුත්. මග තොටේදී හෝ මෙහෙම රෝගියෙක් මුන ගැහුනොත් ප්‍රථමාධාර දෙන්න හරි දැන ගන ඉන්න එක හොඳයිනෙ. බොහෝ වෙලාවට නොදැනුවත් කම නිසා කරන්නෙ මේ රෝගයෙන් සිහි නැති උන රෝගයාගේ කටේ හැන්දක් ඔබන එකනේ. ඒක මොනතරම් අවදානම් වැඩක්ද කියල හිතුනා.

    මධුශානි නැගනියට ඉක්මන් සුවය පතනවා. ඔබටත් බොහොම පින් ඇය වෙනුවෙන් කල සියලුම දේට.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි...කාර්ය බහුලත්වය නිසා...හැමදාම කමෙන්ට් එකක් දාන්න බැරි උනාට ... අනිවා බලනවා අද අපේ දොස්තර මහත්තයා මොනවද ලියල තියෙන්නෙ කියල. :) දිගටම කරගෙන යන්න වෛද්‍ය තුමනි මේක සමාජ සත්කාරයක්. ඔබට පිං.

    ReplyDelete
  4. අපස්මාරය ගැන ගොඩක් දේ දැනගත්තා..absence epilepsy කියන තත්වයත් අවදානම්ද?
    මධුෂානි සතුටෙන් ඉන්න බව අහන්න ලැබීමත් සතුටක්..

    ReplyDelete
  5. අනේ ඇත්තටම අපිත් සරිරේ ගැන තියෙන උනන්දුව තමයි . මේ පැත්තේ එන්නත් බැරි වුනා කාලෙකින්. එක්කහු වෙලා තියෙන ලිපි ටික සේරම කියවන්න ඕන . මේක නම් හරිම වැදගත් ලිපියක් . ස්තුතියි මහේෂ්

    ReplyDelete
  6. මගෙ ගෙදරට උඩහ ගෙදරක වයස අවුරුද්දක්වත් නැති බබෙකුට රෑක ඔය ලෙඩේ හැදිල. බබාගෙ තාත්ත ලංකාවෙ නෑ . . අම්ම කරල තියෙන්නෙ අල්ලපු කාමරේ හිටපු එයාගෙ අම්මට (බබාගෙ ආච්චි)වත් කතා නොකර අඬන එක. අන්තිමේ සෙම හිරවෙලා බබා නැතිඋනා.

    ReplyDelete
  7. මෙ පින් බලෙන් ආවඩා ආයු බෝ වේවා ඔබතුමාටත්

    ReplyDelete
  8. -පුංචි කුමාරිහාමි ,
    ස්තුතියි ඔබතුමියට පැමිණිම වෙනුවෙන් හා අදහස් දැක්විම වෙනුවෙන් ..

    -Gimhani,
    ඇත්තටම මේ ලෙඩේ නිසා වැඩිය ලෙඩේ ගැන නොදන්නකම නිසා සිදුවන අනතුරු තමා වැඩිම ..
    ඔව් ඊයේ එයාගේ යාළුවෝ ඔක්කොම මධුෂාණී බලන්න ගිහින් තිබුණා ..අද තමයි අලුත් විස්තරේ ලැබෙන්නේ ..සතුටින් බලාපොරොත්තුවෙන් ඉන්නා බව සුජීව මහත්මය මාත් එක්ක කීවා ..බොහොම පිං මේ හැම දේටම ..

    -දොඩන් ,
    ඇත්තටම කමෙන්ට් දැම්මත් නොදැම්මත් ඔබ මේ කියවනවා නම් එය මට සතුටක් , ඔය යමක් ගන්නවා නම් මට සතුටක් , වෙන්නට තිබෙන සෞඛ්‍ය අනතුරක් කල් තියා දැගන්නවා නම් , නිසි ප්‍රතිකාරයකට යොමු වෙන්න පෙළඹෙනවා නම් එය හරිම සතුටක් ..නිරෝගී සුව සැමට පතන අතරේම කියන්නට ඕන මම වෛද්‍යවරයෙක් නොවන බව ..මම හෙද නිලධාරියෙක් පමණයි .. පැමිණිම මෙන්න ඔබේ අදහස් දැක්වීමත් මගේ සිතට සතුට ගෙනාවා ..ස්තුතියි .

    -රූ.... ,
    ඔව් රූ.... , මේ තත්ත්වයේදි ක්ෂණකව අනතුරක් නැතත් එය නිසි ලෙස හඳුනාගෙන ඉදිරි පරික්ෂණ වලට යොමු වීම වැදගත් ..මොකද මේ ලොකු අනතුරක පෙර ලක්ෂණයක්දැයි තහවුරු කරගන්නට ..ස්තුතියි රූ....

    -Bindi ,
    හරිම සතුටුයි ඔබේ පැමිණිම ගැන ...ඔව් ලැබෙන වෙලාවත් එක්ක ඇවිත් කියවන්න , අපේ ජීවිත කාර්ය බහුල වීමත් එක්කම අපිට වන දෙයක් තමයි අපේ ජීවිත ගැන හිතන්න වෙලාවක් නො එන එක ..ඒක අපි හැමෝටම පොදුයිද මන්දා ? ...කෙසේ වෙතත් සතුටුයි Bindi .. ස්තුතියි

    -ඕනයා,
    ඇත්තටම මල්ලී ඕක තමයි තත්ත්වේ , මේ ගැන අපේ මිනිස්සු දැනුවත් කරනවා නම් ..ලොකු දෙයක් නෙවි , මේ විදියට සෙම එන වෙලාවට පැත්තට හරිවල තියන්න කියන එක හරි ...ජීවිත කීයක් බේර ගන්න පුළුවන් වේවිද ...ගොඩාක් ස්තුතියි අවාසනාවන්ත වුවත් ඇත්ත කතාවක් එක් කළාට ..

    ReplyDelete
  9. -තිස්ස දොඩන්ගොඩ ,
    බොහොම පිං ඔබතුමාටත් .සතුටකි ඔබේ පැමිණීමම ..

    ReplyDelete
  10. ගොඩක් වටිනවා. අපේ පැත්තේ දෙමල තරුණයෙක් ඉන්නවා අපස්මාරය සැදෙන. වරක් ඔහු තේරු උත්සවයකදී ඇදවැටී කිසිවෙකු නොදැන ජෙනරේටරයක් යටට තල්ලුවීම නිසා පාදය දරුණු පිළිස්සීමට ලක්වූවා. රිකවරි පොසිශන් එක දැනගත් එක ගොඩක් වටිනවා. හදිසි අවස්ථාවක ප්‍රයෝඩනවත් වෙන්න පුළුවන් කෙනෙක් කරදරයක නම් ගලවා ගන්න. හොඳ ලිපියක් පැහැදිලිව විස්තර කරලා.

    ReplyDelete
  11. -priyantha,
    ස්තුතියි ඔබට ...ඔව් මේ recovery position එක ගැන දැන ගැනීම මේවගේ තත්ත්ව වලදි වන ජීවිත අනතුරු වලක්වා ගන්නට වැදගත් ..බොහොම ස්තුතියි ..ඔබේ පැමිණීම සතුටකි මට ..

    ReplyDelete
  12. godak dewal danagaththa..Thanks a lot

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)