2012/02/22

84) ඇය රිදවන බඩ හිරවන ...ගැට ඇලීම....

අපි දෙන්නාගේ “ජීවිතය“ ...

වෙලාව ළඟයි නේද ? පොඩ්ඩී වෙලාව බලන්න ..නා ගන්න ගමන්ම කෑගැහුව ..මගේ මතකේ හැටියට දැන් හතට කාළක් විතර වෙන්න ඕන ..මොකද මං ගෙදර ආවේ හය හමාරටනේ ...“.තාත්තේ ....තව විනාඩි අටායි.. ....මං ඇඳ ගෙන ඉවරායි ...මෙන්න අම්මත් ආවෝ ....“ ..පොඩ්ඩි ගේ දෙදරවන්න වගේ කෑගහනවා ...“හරී මට ඇහුණා ..අම්මට කියල ලස්සනට කොණ්ඩේ පීරි ගන්න ..මට ටක් ගාල ඇඳගෙන එන්නම් .... ..අද පොඩ්ඩිට කළබලේ  .මොකද අක්කගේ Grade 4 concert එක බලන්න යන්න ..අක්ක නං හය හමාරටම අම්ම එක්ක ගියා ..එයාට එහේ වැඩළු ..ලොකූ ඉස්කෝලෙට දාල ආව මනෝජ මහන්සියෙන් වගේ පොඩීගේ කොණ්ඩේ පීරන්නේ ..



“මොකද නිකං අමාරුවෙන් හුස්ම ගන්නේ ..කෑව වැඩිද ....?....ජැකට්ටුව ඇඟළා ගන්න ගමන් නිකමට වගේ ඇහැව්වේ ..“නෑ ...අර ටික දවසක ඉඳළ තියෙන බඩේ කැක්කුම ...අද ටිකක් වැඩියි වගේ ...ක්‍රෑම්ප්ස් එනව වගේ රිදෙනවා සමහර වෙලාවට ...දැන් නං අඩුයි ..ඒ උනාට හයියෙන් හුස්ම ගන්නකොට ටිකක් අමාරුයි .... එදා ක්ලින්ක් එකේදි කීව වගේ adhesion ද දන්නෑ නේ ..?...“  මනෝජ මොන අමාරුව තිබුණත් කොහොම හරි පොඩ්ඩත් ලේස්ති කරගෙන එළියට පැන ගත්ත ..දැන් වෙලාව හයයි පනස් හතරයි ......

“යංකෝ තාත්තේ ඉක්මණට ...දැන් පටන් අරගෙනද දන්නෙත් නෑ ...අර .....අම්ම හිමිට එන්නේ ඇයි ...“ පොඩ්ඩිට තියෙන කළබලේට ....“අම්මගේ බංඩිය රිදෙනවලු ...ඉතින් දුවන්න බැහැනේ හිමීට යමු ..අපිට පුළුවන් පටන්ගන්නකොටම යන්න ...“ ....ඒ පාර පොඩ්ඩි අම්මගේ අතේ එල්ලුනා ...“ඔයාට ගොඩාක් රිදෙනවද ..එහෙනං හිමිං යං ..කෝමත් අක්කලගේ අයිටම් එක තියෙන්නේ දෙකට .අපිට හෙමින් ගියත් යන්න පුළුවන් ....“ පොඩ්ඩිට දුක හිතිල වගේ ..

Kindree පැන්චොයි , පැංචියොයි 
කොහොමින් කොහොම හරි අපි වෙලාවට තැනට ගියා ...කින්ඩ්රි පාසලේ හතර වන ශ්‍රේණීයේ දුවා දරුවන්ගේ ප්‍රසංගයක් ....හරිම සුන්දර අත්දැකීමක් ..එක එක පාට පැංචො පැංචියෝ ...කැනඩා ජාතික , ඉන්දියන් ජාතික , පාකිස්තානු , අප්‍රිකානු ......හැම ජාතියකම ..හැම පාටකම පොඩ්ඩන් ගොඩාක් ...හරිම ලස්සනයි ...ඔක්කොම එකම දැඟලිල්ලක ...විශේෂයෙන්ම මේ රටේ ප්‍රාථමික අධ්‍යාපනය ..දරුවට හරිම ප්‍රිය සහ සරළ විදියට තමයි දෙන්නේ ..ලොකු බරක් නැහැ ...හෝම වර්ක් නැති තරම් ...කටපාඩම් නැති තරම් ...සෙල්ලම් , ක්‍රියාකාරකම් , ක්ෂේත්‍ර චාරිකා නම් ඉහලින් ...(ඒ වුනාට පාසල් අධ්‍යාපනයේ වැඩි කාළයක් පරිගණකය ආශ්‍රිතවම ම රැඳෙන නිසාද මන්ද බොහොමයක් දරුවන්ගේ අකුරු සහ ගණිතමය හැකියාවන් නම් දුර්වලයි වගේ ..ඒකේ පොඩි වාසියකුත් අපේ රටේ පොඩ්ඩන්ට තියෙනවා ..මොකද අපේ අයට ඉතින් චක්කරේ වගේම හිතින් ගන්න හදන එකත් සුළු දෙයක්නේ ...) 

පැයක් විතර තිබුණු වැඩසටහන නිමාවෙලා , ලොකුගේ යාළු මිත්තරයොත් එයාලගේ දෙමාපිය පවුල් වල අයත් හමුවෙලා කතා බහ කරල ගෙදර ආවේ රෑ නමයට විතර ....(අද නිකං ඔරලෝසුව වගේ ..වෙලාවම කියනවද මන්ද ...මේ ගමන්ම බ්ලොග් එකේ ඉහල තියෙන වෙලාව අඩුවෙල ඔරලෝසුව බලන්න ...ඒ මධුෂාණී දියණිය වෙනුවෙන් “මිනිස්කමේ උපකාරයක් “ කරන්නට ඔබට ඉතිරිව ඇති කාළයයි පෙන්වන්නේ ..අනේ ඔබේ සුබ පැතුම් , සුව පැතුම් ඇයට හරිම ධෛර්යයක් ..දැන් ඇය සතුටින් බලාපොරොත්තුවෙන් ඉන්නවා ...ඒත් ඇගේ ප්‍රතිකාර වෙනුවෙන් වැය වන බරපැනට යම්තරමකින් හරි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ලොකු පිණක් ..අවුරුදු 21ක තරුණ දරුවෙක් ඇය ..ජීවිතය පිළිබඳ අපේක්ෂාවන් නැතිව ගොස් සිටි අවස්ථාවක ..ඔබ සැමගේ උදව්වෙන් ආයෙත් ජීවිතයේ සතුට ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටිනවා ...මේ ගැන තවත් විස්තර මෙතැන ක්ලික් කරලා බලන්න පුළුවන් ..

එහෙමනම් කතාවෙන් කතාව අපේ මාතෘකාව අමතක වෙන්න පුළුවන් නේ ..ඒ නිසා ඉක්මණින් අද මාතෘකාවට එමු ..ඒ තමයි Adhesion කියන තත්ත්වය ..මොකක්ද මේ ඇඩීෂීයන්ස් ...ඉංග්‍රීසි ශබ්දකෝෂය අරන් බැලුවොත් ..පාප්පය ..මැළියම ..ඇලීම ..සංශක්තිය .........අනේ මන්ද මේ තත්ත්වයට නම් මේ පද ගැල  පෙන්නේ නැහැ වගේ ..ඒ නිසා ඇඩීෂන්ස් කියලම කතා කරමු , ඒක ලේසියි මට හිතෙන විදියට ..

අද ජීව විද්‍යා පන්තිය දැන් ...අපි පුංචි පන්ති වල ඉඳළම දන්නවා අපේ උදර කුහරය ඇතුලේ ආමාශය , බඩවැල් , ඒ එක්කම අක්මාව .පිත්තාශය ..ඔය වගේ අවයව ,ඉන්ද්‍රිය ගණනාවක් බොහොම පරිස්සම , සීරුවට තැනපත් වෙලා තියෙන බව . මේ කොටස් වෙන වෙනම අරන් දිග ඇරියොත් හුඟක් දිඟයි ..ඒත් මේ පුංචි බඩගෙඩිය ඇතුලේ මේ හැම දෙයක්ම පිළිවෙලකට නැමිලා , හැකිළීලා ..බොහොම සීරුවට තිබෙනවා .. ඒ නිසා මේ අවයම ඉන්ද්‍රිය බොහොමයක් තවත් එකක් එක්ක ගෑවෙමින් , විටෙක තරමක් තද වෙමින් තිබෙන්නේ ..ඒ වුනාට එයින් අපට කිසිම අමාරුවක් කරදරයක් නැත්තේ , මේ හැම දේහ කොටසකම එළියෙන් බොහොම තුනී , ඒ වගේම ලිස්සන සුළු තුනී පටලයක් තිබෙන නිසා ...හරියට හොඳට ඔයිල් දාපු එන්ජිමක් වගේ ..වැඩිය සද්ද බද්ද ඇතිල්ලිලි නැතිව වැඩ ...ඒ නිසා අපි ඇවිද්දට , හැරුනට , වේගෙන් දිව්වට ලොකු කරදරයක් වෙන තරමේ අපහසුතාවයක් ඇති වෙන්නේ නැති තරම් ...

adhesion 
ඒත් adhesion කියන ටිකක් ඝණ පටක වලින් මේ අවයව ටිකක් තදට ගැට ගැහුනොත් මොකද වෙන්නේ ..? එහෙම වුනොත් වෙනද බොහොම සැහැල්ලුවෙන් , මෘදුව , නිදහසේ චලනය වුනු , ස්පර්ශ වුනු  අවයව , ඉන්ද්‍රියයන් නිදහසේ වැඩ කරගන්න බැරුව යනවා ..හරියට එන්ජිමේ රේසරේක බෙයාරිං ගියා වගේ ..(කොහේ හිටියත් පණවගේ හිටපු රෝද දෙකේ මිත්‍රයාව අමතක කරන්න පුළුවනෑ , උදාහරණ එන්නෙත් එකෙන්ම නේ ) ..ඒතකොට උදරකුහරය ඇතුලේ තියෙන බඩවැල් , අමාශය වගේ මෘදුව චලනය වන කොටස් හිරවෙන තත්ත්වයක් ඇති වෙනවා ..අර ඇඩීෂන්ස් හුඟක් තදින් ගැට වගේ හැදුනොත් බඩවැල් හිර කරන්නත් bowel obstructions පුළුවන් . දැන් වෙනද වගේ උදරය ඇතුලෙ නිදහස් බවක් නැහැ ,මුල්ම අවස්ථාවේ කියන්න තරම් ලොකු ලක්ෂණ නැති තරම් , හැබැයි වැඩේ ටිකක් දරුණූ අතට යත්දි බඩේ ..හිර වුනු ..තද වුනු ගතියක් තමයි තියෙන්නේ .. මේ විදියට බඩවැල් අවහිර වීමත් එක්ක ....දැන් එක එක අමාරු එන්න පටන් ගන්නවා ...

මොනවද මේ අමාරු ...තද බඩේ කැක්කුං වරින් වර එන්න බටන් ගන්නවා , බත් කාපු ගමන් වැඩේ ටිකක් උග්‍රයි ..ටිකක් වේගෙන් ඇවිද්දත් බඩේ කැක්කුම ...අනෙක මේ කැක්කුම වෙනද වගේ නෙවි ..හරියට බඩ ඇතුලෙන් අල්ලල මිරිකනවා වගේ , තීව්‍ර , බොහොම තද කැක්කුමක් එකපාරටම  වගේ මතුවෙන්නේ ..සමහර වෙලාවට ඒ එක්ක දාඩියදාල කලන්තේ වගේ එන්නත් පුළුවන් , එච්චර අමාරුයි ..හුඟක් වෙලාවට බඩ පුරවා දාල වගේ ..නොකෑවත් බඩ පිරිච්ච ගතියක් දැනෙන්නේ ..ඒ එක්කම වරින් වර උගුරට එන ගතියක් තියෙනවා ..ඒ එක්කම “
මේ එක්ක මළබද්ධය වගේ තත්ත්වයක් එන්නත් පුළුවන් .. හොදට මතක තියා ගන්න මේ ලක්ෂණ ඔක්කොම වගේ මේ වෙලාවෙ තිබෙනවා නම් , මේ එක්කම උණකුත් ඔලුවෙ කැක්කමක් , වමණයත් දිගටම තිබේ නම් ඉක්මණින් ඔබේ ළඟම රෝහලට යන එකතමා හොඳ . තවත් පරක්කු කරන්න එපා  මොකද මේ ඇඩීෂන්ස් වලින් බඩවැල් ගැඩගැහිලි bowel obstruction තත්ත්වයක් ආවොත් ඒක ටිකක් දරුණු අවස්ථාවක් වෙන්න පුළුවන් ..බය වෙන්න නෙවි කිව්වේ ..දරුණූ කිව්වේ සමහර විට ශල්‍යකර්මයක් වුනත් කරන්න වෙන්න පුළුවන් ..

ගර්භාෂය ආශ්‍රිතව adhesion 
ඇත්තටම මේ අපි කතා කළේ Adhesion  වල එක්තරා අවස්ථාවක් ගැන විතරයි , ඒ කිව්වේ උදරකුහරය තුල , බඩවැල් ආශ්‍රිතව ඇතිවන ඇඩීෂන්ස් ගැන විතරයි , මේ ගැන වැඩි පුරම කතා කළේ , අපේ කතාව එතැනින් පටන් ගැනීමත් බහුලවම දකින්න ලැබෙන අවස්ථාවත් මෙය නිසා , නමුත් මේ ඇඩීෂන්ස් බඩවැල් ආශ්‍රිතව විතරක් නොවෙයි ඇති වන්නේ ..සන්ධි ආශ්‍රිතව ,ඇස් ,  ගර්භාෂය සහ එම නාල ආශ්‍රිතව හෘදය සහ පෙනහළු ආශ්‍රිතව ..ඔය වගේ මෘදුව , තෙතමනය සහිතව මෘදු චලනය වීම් සහිත ඕනම තැනකදි මේ ඇඩීෂන්ස් නිසා කරදර වෙන්න පුළුවන් .උදාහරණයක් සන්දි ආශ්‍රිතව ආවොත් එම සන්ධි වල කල් පවත්නා වේදනාවක් , නිසි ලෙස චලනය කරන්න බැරි කමක් වගේ මතුවෙන්න පුළුවන් , ඇස් වල නම් අපි දවසක් කතා කළ Glaucoma වගේ එන්නත් පුළුවන් ..ගර්භාෂ්‍ය ආශ්‍රිතව ආවොත් ටිකක් කරදරයි  ,සමහර විට එම තත්ත්වය දරු පිළිසිඳ ගැනීමක් ඇති නොකරවන්න තරම් දරුණු වෙන්නත් පුළුවන් , මොකද මේ ඇඩීෂන්ස් වලට පුළුවන් ඒ නාල වටේ ගිහින් ලණූවකින් ගැට ගැහුව වගේ හිර කරන්නත් ..එතකොට ඒ පද්ධතියේම වැඩ කටයුතු අඩාල වෙන බව කියන්න දෙයක්ද නේද ? ඒ නිසා  infertility මඳ සරුභාවය වගේම ගර්භාෂයෙන් පිටත සිදුවන දරු පිළිසිඳ ගැනීම් ectopic pregnancy වගේ අනතුරුදායක තත්ත්වත් මේ නිසා වෙන්න පුළුවන් ..

රුමැටික උණට නිසි අවස්ථාවේ ප්‍රතිකාර නොගත්තොත් පස්සේ හෘදය ආශ්‍රිතවත් , ක්ෂයරෝගය නිසි ලෙස ප්‍රතිකාර නොගත්තොත් පෙනහළු ආශිතවත් මේ වගේ පටල අතර රළු , ගැට , බැඳිම් ඇති වෙන්න පුළුවන් ..එහෙම වුනොත් ඒ ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා ..සමහර විට එය ජීවිතයට ලොකු හානියක් කරන බලපෑමක් වෙන්නත් බැරිකමක් නැහැ.

අවදානමක්ද?
අමාරුකම් කතා කරාට තාම කිව්වේ නැහැනේ මොකද මෙහෙම වෙන්නේ කියලා ...මේකයි අපි  මුලින් කීවනේ මේ අවයව , ඉන්ද්‍රිය ආවරණය කරගෙන සාමාන්‍යෙයන් තියෙන්නේ ලිස්සන සුළු , මෘදු පටලයක් කියලා , මොන යම් හේතුවක් නිසා හරි මේ තුනී පටලය වරින්වර තුවාල වෙනව නම් , ප්‍රදාහයට පත්වෙනවා නම් , නැත්නම් ශල්‍යකර්මයක්  , නැත්නම් අනතුරක් නිසා හරි තුවාල වෙලා ඉරිල යනව නම් ..මෙන්න මේක අවදානමක් ..ඒ කිව්වේ ශල්‍යකර්මයක් මගින් උදරය ආශ්‍රිත අවයව කැපෙනවා නම් , ඒ නැතත් ඒ අවයව අත ගෑවෙනවා නම් , අවදානමක් තිබෙනවා මේ තත්ත්වයට . ඒ වගේම ඒ අභ්‍යන්තර අවයව වල ආසාදන තත්ත්වයක් ඇතිවෙලා ඒව ඉදිමිලා , තුවාල වෙනවා නම් , උදාහරණයක් විදියට appendicitis වගේ අවස්ථාවක් ..අපි දවසක් කතා කළානේ “සැප ඇඳක් ගැන“ ..එන්න ඒ පද්ධතියේ ඇති වන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයත් මීට අවදානම් සාධකයක් .. ඒ වගේම පිළිකා ආශ්‍රිත ලබා දෙන විකිරණ ප්‍රතිකාරයේ අතුරු පලයක් විදියටත් (විශේෂයෙන්ම උදර අවයව වල පිළිකා සඳහා ලබා දෙන ) මේ තත්ත්වය එන්නට පුළුවන් .

කරදර අඩු endoscopic surgery 
මේක වලක්වා ගන්න පුළුවන් ද කියල ඇහැවුවොත් කියන්න තියෙන්නේ , පුළුවන් කමක් නැත්තෙම නැහැ , ඒ කිව්වේ අර මුලින් කීව වගේ ආසාදන හැදෙන එක වලක්වා ගන්න පුළුවන් නම් , තුවාල , ප්‍රදාහ හැදෙන එක වලක්වා ගන්න පුළුවන් නම් මෙය වලක්වා ගන්නට පුළුවන් ..ඒත් ශල්‍යකර්ම , විශේෂයෙන්ම උදරය සම්පුර්ණව විවෘත කරමින් කරන ශල්‍යකර්ම වලට පසු මේ තත්ත්වය ඇතිවීම වලක්වා ගන්න ටිකක් අමාරුයි , ඒකෙන් කියන්නේ නැහැ හැමෝටම මහ දරුණූ විදියට මේක හැදෙනවා කියලා ..සමහරුන්ට ඒතරම් අපහසුතා මතු නොවන්න පුළුවන් ...ඒත් පොඩි අවදානමක් තිබෙනවා ..ඒත් දැන් කරන endoscopic surgery වලදි ලොකු කැපුම් නොකෙරෙන වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියයන් අත ගැවිමත් අඩුවෙන නිසා අවදානම යම් තරමක අඩුවෙන බව කියැවෙනවා ...

මේ තත්ත්වයට රෝහල් ගත වුනොත් හොඳට මතක ඇතිව ඔබේ පෙර ප්‍රතිකාර පිළිබඳ කාඩ්පත් ගෙනියන්න ..හැම අවස්ථාවෙම වැදගත් වගේම ඒ කාඩ්පත් මෙහිදී හුඟක් වැදගත් ...ඒහිදි වෛද්‍යවරයා මේ තත්ත්වය ගැන මුලික හඳුනාගැනීමකින් පස්සේ , එක්රේ , වගේම endoscopic පරික්ෂණ කිහිපයක් කරල බලන්නත් ඉඩ තිබෙනවා ...තත්ත්වය තහවුරු කර ගතතොත් අවස්ථාවේ හැටියට ඉක්මණ් ශල්‍යකර්මයක් හෝ (උදාහරණයක් බඩවැල් අවහිරවීමක් වගේ නම් ) හරි , එසේ නෙවේ නම් ගැටළුවට අනුව ප්‍රතිකාර කිරීමක් කරන්නත් පුළුවන් ...ඒ කිව්වේ වේදනානාශක ලබා දීමක් , ව්‍යායාම පිළිබඳ උපදෙස් ලබා දීමක් වගේ ...නැත්නම් තවත් විවෘත ශල්‍යකර්මයක් හෝ endoscopic surgery ක්‍රමයෙන් එම පටක ඉරා , නිදහස් කිරීමක්  කරන්නත් පුළුවන් ..ඒත් මේ කරදරේ ආයෙත් එන්නට පොඩි හරි අවාදනමක් තිබෙන බව දැන ගෙන ඉන්න එක හොදයි ...

ඕං එහෙනං තව එකක් ඉවරයි ...ඇත්ත කියන්න එපායැ , ඔය මුලින් කී සංසිද්දිය උනේ ඊයේ රෑ ...හැබැයි මේ පෝස්ට් එක අන්තර්ජාලයේ සටහන් වෙන්නේ අද රෑ ....වැරදුනා හෙටට එළිවෙන යාමේ ..මොකද දැන් කැනඩාවේ වෙලාව 1.09pm , ලංකාවේ වෙලාවනම් 11.40 am ...ඔයාලට බඩගිණියි ..මටනං නිදි මතයි ..එහෙමනම් අදට සමුගන්නම් ....දැන් වෙලාව බලන්නකෝ ...ඒ කිව්වේ මේ බ්ලොග් එකේ ඉහළ තියෙන “මධුෂාණී වෙනුවෙන් ඔබේ මිනිස්කමේ උපකාරය කරන්නට“ වෙලාවක් තිබේද කියල බලන්න ....


10 comments:

  1. ප්‍රශ්නයක් අහන්න ඉඩ නොතියම ලියලා . බොහොම ස්තූතියි දැනුවත් කලාට .

    …ඉතින් මනෝජා අක්ක ප්‍රථිකාර සඳහා යොමු උනේ නැද්ද ?

    …මධූශානි සොයුරිය වෙනුවෙන් සුළු ආධාරයක් කලා .ඔබට බොහොම පිං ඇයව සුවපත් කරන්නට ඔබ ගන්න මහත් උත්සාහයට .

    ReplyDelete
  2. ඔය තත්වය පේශී ආශ්‍රිතව ඇත්වෙන්නත් පුලුවන්ද ???

    ReplyDelete
  3. -Gimhani,
    ඒත් කොහොම හරි ප්‍රශ්නයක් අහල තියෙනවනේ ...! ඔව් මනෝජා ගේ ස්කෑනින් පරික්ෂණය සඳහා දින ලබා ගන්නේ අද ..ඊට පස්සේ තමා මෙහේ ක්ලින්ක් එකට යන්න ඕන ...ස්තුතියි ඔබට ..

    ඔව් ඔබ සැමගේ හැම ආධාරයක්ම ඇගේ ජීවිතය පැත්තෙන් බැලුවොත් “කිසිම එකක් සුලු නැහැ“ ...මොකද ඔබ සැමගේ උදව්වෙන් මේ වෙන විට රැපියල් ලක්ෂයට එහා ගිය මුදලක් රැස් වී තිබෙන බව දැනගන්නට ලැබුණා ..

    ස්තුතියි ඔබේ පැමිණිම සහ අදහස් දැක්වීම වෙනුවෙන් ..

    -amila chathuranga ,
    Thanx you .

    -ඕනයා ,
    ඔව් මල්ලී ..නමුත් මෙහි ගැටළුව ඇති වන්නේ චලනය වන ස්ථාන වල මේ ගැට හැදුනාමයි ...ස්තුතියි
    මධුෂාණී වෙනුවෙන් ඔබ කළ පරිත්‍යාගයන් සහ සහයෝගයන් පිළිබඳවත් මගේ ගෞරවය ...ස්තුතියි මල්ලි ..

    ReplyDelete
  4. ඔන්න එහෙනම් අපිත් ඇඩීෂන්ස් ගැන දැනගත්තා..ස්තුතියි..

    ReplyDelete
  5. හැමදාම වගේ මෙතනට ආවොත් අපි ගොඩක් දේවල් ඉගෙන ගෙන තමයි යන්නෙ.. මධුශානිවෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් සුළු උපකාරයක් කලා..

    ReplyDelete
  6. -රූ.... ,
    සතුටුයි රෑ ....

    -Weni,
    ඔව් මමත් ඔබගේ බ්ලොග් එකෙනුත් හරිම රසවත්ව යමක් ජීවිතේට ගන්නවා ...බොහොම ස්තුතියි

    ReplyDelete
  7. ගොඩාක් දේවල් දැනගත්තා. බොහොම ස්තුති ඩොක්ටර්

    ReplyDelete
  8. -වර්ණා ,
    පැමිණියාට බොහොම ස්තුතිය ...ඒත් මම Doctor නොවෙයි ...

    ReplyDelete
  9. කෑම කාපු ගමන් බෙල්ට් එක බුරුල් කරන්න එපා කියලා මම ඊ මේල් එකක දැක්කා. ඒකෙත් මේකට සම්බන්දයක් තියෙනවද? එතකොට තද ඇඳුම් ඇන්දමත් බඩවැල් අවහිරවෙලා මල බද්ධය ඇතිවෙන්න පුලුවන් කතාවකුත් අහ්ලා තියෙන බව මතකයි.

    henryblogwalker the Dude

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)