සිංහල බ්ලොග් පරිශ්‍රය අදටත් වඩා සක්‍රියව තිබූ, ඒ සිංහල බ්ලොග් අවකාශය තුල විවිධ අළුත් අත්හදා බැලීම්, නිර්මාණ සිදුවුනු , මගේ විශ්වාසයේ හැටියට "සිංහල බ්ලොග් වංශකතාවේ" උච්ඡතම කාළ පරිච්ඡේදයක් වුනු 2011 වගේ කාළයක, "සොඳුරු සුව අසපුව" නමින් මේ බ්ලොග් අඩවිය, පිටු පෙරලත්දි, මගේ පොඩි කෙල්ලන් දෙන්නා "පුංචි හිතට දැනෙන දේ" නමින් තවත් සිංහල බ්ලොග් පිටුවක් පෙරලන්නට පටන් ගත්තා.
මේ "පුංචි හිතට දැනෙන දේ" තුල තම නිර්මාණ, අත්දැකීම් ඔවුන්ගේම ශෛලියකින් බෙදා ගනිත්දි, "සිංහල බ්ලොග් පරිශ්‍රය" තුල සිටි ,ඔවුනට අය්යලා, අක්කලා, නැන්දලා , මාමලා වගේම සමහර විට සීයලා , ආච්චිලා ලෙස නම් කරන්නට හැකිවූ, බොහොම සුන්දර ඥාතීන් පිරිසක්, ඔවුන් දිරිමත් කරමින්, තව දුරටත් ලිවීමට, ඔවුන්ගේ අදහස් පිරිසක් ඉදිරියේ තබමින්, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මෙන්ම, පෞරුෂය වර්ධනය කරගන්නටද උදව් වුනා. අද මේ ලිපිය ලියවෙන්නේ, අන්න ඒ විදියට එදා, ඒ කෙලි පොඩ්ඩන් දෙන්නාට වචනයකින්, කොමෙන්ටුවකින් දිරි ගැන්වූ, උදව් කළ එහෙම නැත්නම් ඔවුනගේ බ්ලොග් සටහන්, ලිපි බෙදා ගනිමින් උදව් වූ අන්න ඒ සහෘදයන් වෙත ස්තුතියක් පුදකරන්නට. ඒ සුවිශේෂී හේතුවක් නිසාවෙන්.
ඒ තමයි,
"පුංචි හිතට දැනෙන දේ" තුල ඔබත් සමඟ , පුංචි සිංහල බ්ලොග්කාරියන් ලෙස එක්වූ, දිනිති, මිතිලි ගෙන් දිනිති , කැනඩාවේ විශ්ව විද්‍යාලයකින්, ලබා ගත හැකි ඉහළම පදක්කම් කිහිපයක්ද සහිතව තම පළමු උපාධිය , ස්නායු විද්‍යාව පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් ලෙස සම්පුර්ණ කරමින්, ස්නායු විශේෂඥ වෛද්‍යවරියක බවට පත්වීම සඳහා කැනඩාවේ තවත් සුන්දර පළාතක තිබෙන වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වන්නේ, ඒ වෙත්දි ලොව පුරා සෞඛ්‍යය ආයතන ගණනාවක, වෛද්‍ය පර්යේෂණ ආයතන කිහිපයක භාවිතයට ගන්නා, වෛද්‍ය පර්යේෂණ වාර්තා (ඩිමෙන්ෂියාව පිළිබඳව) කිහිපයක මුල් කතුවරියද ලෙස.
මේ පසුගිය සති අන්තයේ පැවති ඇයගේ උපාධි ප්රධානෝත්සවයේ කෙටි වීඩියෝවක්.
අද මේ සටහන ලියවෙන්නේ, ඇගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට අවශ්‍යම වූ ඉදිරිපත් කිරීමේ හැකියාව, ලේඛණ හැකියාව , අදහස් පැහැදිලිව පිරිසක් ඉදිරියේ තැබීම හැකියාව වර්ධණය කරගන්නට, එහෙම නැත්නම් එම හැකියාව ගැන ඇයට විශ්වාසයක් ඇති කරගන්නට, එදා "සිංහල බ්ලොග් පරිශ්‍රය" තුල සිට උදව් වුනු ,දිරිමත් කළ ඔබ හැමට ස්තුතියක් ලෙසයි.
එහෙම නම්, සිංහල බ්ලොග් පරිශ්‍රයෙන්, පිරිසක් ඉදිරියේ තව නිර්මාණශීලීත්වය ප්‍රදර්ශණය කරමින්, ලැබෙන අදහස් ප්‍රතිචාර ඔස්සේ දිරිමත් වෙමින්, වෙනස් වෙමින් ඇරඹූ එම ගමන, ලෝකයේ වෙනත් රටක වුවත්, ශ්‍රි ලාංකික සම්භවයක් ඇති කෙල්ලක ලෙස ජයග්‍රාහී පියවරකින්, තවත් ජයග්‍රාහී කරගන්නා පියවරකට පා තබනවා. ඒ සතුට ඔබටත් දැනුනා නම්, ඔබත් ඔවුන් වෙනුවෙන් එදා අදහස් දැක්වූ, දිරි ගැන්වූ බ්ලොග් මිතුරෙක් නම්, නැවතත් , ඔබට ස්තුතියි!!
(දිනිති, මිතිලි යුගලයේ , මිතිලි මේ වන විට එම විශ්ව විද්‍යාලයේම සෞඛ්‍යය විද්‍යා උපාධි පාඨමාලාවක තෙවන වසර ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබමින්, ළමා, ස්වයං ප්‍රතිශක්තික රෝග පිළිබඳව, ගෝලීය පර්යේෂණයක කොටස්කාරියක් ලෙස රැකියාව කරමින් අක්කාගේ පියවර ඔස්සේම ඉදිරියට එමින් ඉන්නවා. )
එහෙම නම්...
අද මේ ස්තුතිය ඇතුළු පුංචි කතාව මෙතැනින් නිමයි. ඉස්සර නම් නැවත ලිපියකින් හසුවෙමු කිව්වත්, අද දවසේ බ්ලොග් ලියවිල්ල ඒ තරම්ම නොවන නිසා, ඉඩක් ලැබුණොත් නැවත හමුවෙමු කියමින් නිමා කරනවා. (ඇත්තටම ආසයි , ආයෙත් එදා වගේ හැමෝම සිංහල බ්ලොග් පරිශ්‍රය තුල සක්‍රිය එකතු වෙනවා දකින්නට)
ඔබ සැමට ජය, සුව, සතුට වේවා!
- මම මහේෂ්
දියණියට සුබ පැතුම්!
ReplyDeleteස්තුතියි
Deleteදෙදෙනාටම සුබ පතනව! ජය වේවා ✌
ReplyDeleteස්තුතියි ඔබට.
Deleteසුබපැතුම් සහෝදරියනි! එකල කුඩාම බ්ලොග්කාරියක ලෙස වැසිදැරිය ලෙස ලියූ මට සමවයස් බ්ලොග්කරුවන් හමු වූ තැනක් ඔවුන්ගේ බ්ලොගය! වඩා යහපත් ලෝකයක් උදෙසා වැඩ කරන්නට ශක්තිය ලැබේවා!
ReplyDeleteස්තුතියි ඔබටත්.
Deleteදරුවන්ගේ ජයග්‍රහණ වලට සුබ පතනවා .....
ReplyDeleteස්තුතියි.
Delete