2021/02/10

248) රිදෙන සතුට ගැන




“අනේ මැඩම් මට මේ ලීව් එක දෙන්න, හස්බන්ඩ් එන්නේ මේ සතියේ,එයා මේ එන්නේ මාස හයකට පස්සේ, මේ පාර ගියාම කවද එන්න වේද දන්නෑලු මැඩම්”
“දැන් ළමයි දෙන්නෙක් ඉන්නවනේ, තව ළමයි මොකටද ඒ. අනෙක ළමයි හදන වයසක්ද මේ? හස්බන්ඩ්ට ඇවිල්ල යන්න කියන්න, තමුන් වැඩට එනව හොඳයි” මැඩම් යැයි කියූ කාන්තාව තර්ජනය කරත්දි අනෙක් නිලධාරීන් දෙදෙනා සමච්චලයට මහ හඬින් හිනාවුනා.
මේ සමච්චල් හිනා සහ තරවටු සහිත කතාබහකට පස්සේ කඳුළු පිරි දෙනෙතින් බැගෑපත් වුනු අදාල කාන්තාව වෙත පැය කිහිපයකට පස්සේ ඇය ඉල්ලූ නිවාඩුව ලබා දුන්නත් අදලා බලධාරීන් ලබා දුන් වේදනාව තවමත් අවුරුදු ගණනක් ගියත් තවම අමතක වෙලා නැහැ.
මේ සිදුවීමෙන් අවුරුදු විස්සකට පස්සේ අදාල නිවාඩු ඉල්ලූ නිලධාරිනිය රාජකාරියෙන් විශ්‍රාම ගොස් තිබුණත්, මෑතකදි ඇයත් සමඟ කතා කරන විට මේ සිදුවීම නැවත මතක් කරන්නට තරම් ඒ “වේදනාව ඇගේ හිතේ පැලපදියම් වී” තිබුණා. “වැඩක් නෑ මල්ලි කතා කරලා එයාල පරපීඩක මානසිකත්වයේ හිටපු අය.” ඇය අදටත් හිත හදා ගත්තේ එහෙම.



ඇත්ත පරපීඩකත්වය Sadism , එහෙම නැත්නම් පරපීඩක මානසිකත්වය sadistic mentality , එහෙමත් නැත්නම් පරපීඩක පෞරුෂය Sadistic Personality කියල කියන්නේ එක්තරා විදියක පොදු ලක්ෂණයක් තිබෙන අවස්ථා කිහිපයක්. එහිම තවත් අවස්ථාවක් තමයි පරපීඩක කාමුකත්වය Sexual sadism කියල කියන්නෙත්. දැන් අපි බලමු මොකක්ද මේ “පරපීඩක” ප්‍රශ්නේ කියලා.


කෙටියෙන්ම මෙහෙමයි මේ “පරපීඩක නැත්නම් Sadism/ Sadomasochism” කියල කියන්නේ අනෙක් අයෙක්ම රිදවල, ඒ රිදවීම නිසා අදාල පුද්ගලයා වේදනාවට පත්වෙනවා දැකල මානසික තෘප්තියක් ලැබීම. කෙටියෙන්ම කිව්වොත් කාට හරි රිද්දලා සතුටක් ලැබීම. මේක සමහර විට ශාරීරිකව අනික් කෙනාට රිද්දල, පහර දීලා තෘප්තියක් ලැබීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිත රිදෙන විදියට බැනල කෑගහල , ඒ බැණුම් අහන කෙනා වේදනාවට පත්වෙත්දි එයින් සතුටක් ලබනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් ක්‍රමයක් මගින් අනෙක් කෙනා මානසිකව රිදවල, දුකට පත් කරල, ඒ තමන්ගේ උත්සාහය මගින් අනෙකා දුකට පත්වුනු බව දැනීම “සතුටක්” කරගත්තා වෙන්නත් පුළුවන්.


දැන් මෙහෙම කියත්දි ඔබට හිතෙන්න පුළුවන් , එදා ඔෆිස් එකේදි මගේ යාළුවත් එක්ක පොඩි කතාවක් වුනා , එයා ඒකෙන් දුක් වුනානේ , ඒ කියන්නේ මමත් sadistic ද කියල. කළබල වෙන්න එපා. පාසලේදී කාර්යාලයේදි යාළුවො එක්ක කතා බහ කරත්දි නොදැනුවත්ව අපි කියන දේකට කෙනෙක් කණගාටුවට පත්වුනොත් , නැත්නම් බස් එකේ යත්දි තෙරපීමකට ලක්වෙලා කවුරු හරි අපහසුතාවයට පත්වුනොත් ඒ සිදුවීම නිසා, ඔබ sadistic කෙනෙක් කියල කියන්න බැහැ.


පරිපීඩක මානසිකත්වය ඇති අය වැඩකටයුතු කරන්නේ ඊට ටිකක් වෙනස් විදියකට.
-ඒ අය අනෙකාව හිතාමතාම රිදවනවා
-රිදවීමෙන් අනික් කෙනාට “වේදනාවක් ලැබුණූ බව” දැනුනම එයින් සතුටක් ලබනවා.
-තමන් කළ “රිදවීම” වරදක් විදියට හිතන්න කැමති නෑ
-වැදගත්ම දේ, රිදවීම නිසා අනෙකා වේදනාවට පත්වුනා කියල කිසිම දුකක් මේ අයට නෑ.


දැන් මෙහෙම අය අපේ සමාජයේ ඉන්නවද? ඔව්, හුඟක් ඉන්නවා. පාසලේ , නැත්නම් කාර්යාලයේ , නැත්නම් මගතොටේ , බස් එකේ මේ ඕනම තැනක පරපීඩක මානසිකත්වය තියෙන අය ඉන්න පුළුවන්. එයින් තවත් බොහෝ අය පීඩාවට පත්වන්නට පුළුවන්. ඒ පීඩාව “පරපීඩකයන්” සතුටක් කරගනිමින් මේ වෙලාවෙත් ඉන්නවා.


Theodore Millon කියන මනෝ විද්‍යාඥයා මෙම පරපීඩකයන් වර්ග කරනවා. ඒ අදාල පුද්ගලයන්ගේ චර්යාවන් සහ අනෙක් කෙනා පීඩාවට පත්කරන ස්වභාවය අනුව.


දුර්වල පරපීඩකයෝ/Spineless sadism

මේ අය පරපීඩකයෝ වුනත්, හරිම බියගුළු, සමාජය ඉදිරියට එන්න අකමැති හැංගුණු චරිත. එළියට පෙන්නුවත් “මම හරිම නිර්භීත කෙනෙක්” කියන සමාජයට හරිම බයයි, තමන්ගේ වැරැද්දක් කවුරු හරි කියයිද කියල බයේ ඉන්නේ. ඒ නිසාම හුඟක් වෙලාවට වැඩිය සමාජය එක්ක, පිරිස එක්ක එකතු වෙන්න වැඩි කැමැත්තක් නෑ. ටිකක් හැංගිලා ඉඳගෙන තමයි මේ කරන “පර-පීඩක” කටයුත්ත කරල සතුටක් ලබන්නෙත්. හොඳම උදාහරණයක් ඔය බස් වල විවිධ ලිංගික ස්ඵර්ශ කිරීම් කරල, පීඩාවන් කරන “මං කළේ නෑ වගේ ඉඳළ” සතුටු වෙන අය. එහෙම නැත්නම් තමන් දන්න මිතුරෙක්ට නරක විදියේ විහිලුවක් කරල , එයින් යාළුව කණගාටුවට පත්කරල සතුටු වෙන්නෙත් මේ අය. බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය නැත්නම් ජංගම දුරකථන , අන්තර්ජාලය ඔස්සේ තව කෙනෙක් මේ විදියට පීඩා කරල සතුටු වෙන්න මෙයාල හරිම කැමතියි. මොකද කෙළින් මූණ බලාගෙන සමාජය ඉස්සරහ “පීඩාව” කරන්න හරිම බයක් මේ අයට තියෙන්නේ. සමහර පූජක පක්ෂ‍යේ අය අතරත් මේ තත්තවයේ හැංගුණූ , අහිංසක වගේ පරපීඩකයෝ ඉන්නවා.


කෲර පරපීඩකයෝ/ Tyrannical sadism

මේ කණ්ඩායමට අයත් පරපීඩකයෝ හරිම “කෲරයි” , අමානුෂිකයි. ඒ අයත් “තමන්ගේ වැරද්දක්” පෙන්වා දුන්නොත් හොඳටම කෝප වෙනවා. ඒ නිසාම ටිකක් සමාජ විරෝධී විදියට තමයි කටයුතු කරන්නේ. මොකද අනෙක් සාමාන්‍ය සමාජය එක්ක එකට ගැටිලා ඉන්න අමාරුයි. හැම දේම , හැම කෙනාම සැකයි, තමන්ගේ දේ විතරමයි විශ්වාස කරන්නේ. ආයතනයක බලධාරී මට්ටමේ නම් ඉන්නේ “බලය” වෙන කාටවත් බෙදිල යනව‍ට කිසිම කැමැත්තක් නෑ. ඔක්කොම බදාගෙන “ලොකුකම” තියාගෙන ඉන්න බලනවා. ඒ “හදා ගත් ලොකුකමින්” අනෙකාට ‍වේදනාවක් දීල, පීඩාවක් කරල එයින් තමයි මෙයා සතුට ලබන්නේ. ඔය කාර්යාල වල වල කාමර වලට කොටු වෙලා ඉන්න මූණෙ හිනාවක් නැති ලොක්කෝ අතරේ මේවගේ අය ඉන්න ඉඩ හුඟක් වැඩියි. මේ අයගේ තවත් ලක්ෂණයක් තමයි හැම තිස්සේම ඉන්නේ ලොකු කණස්සල්ලකින්. ඒ වගේම ලිංගික ජීවිතයෙදි, නැත්නම් ලිංගික සතුට ලබා ගැනීමේදී තම අනෙක් පාර්ශවයට කෲර ලෙස පීඩා කරල එයින් ලිංගික ආශ්වාදයක් ලබා ගන්න Sexual Sadism Disorder තිබෙන අයත් මේ තැන ඉන්න පුළුවන්.


බලයන පරපීඩකයා/ Enforcing sadism


මේ අය සමාජය ඉදිරියේ බොහොම “පිළිවෙලට වැඩ කරන” , අකුරට වැඩේ ‍කරන්න ඕන වගේ හිතන , ඒ ඔස්සේම අනෙකාව පීඩනයට පත් කරලා, වේදනාවට පත්කරලා සතුටු වන අය. මේ “පෙන්නන, අතිශ්‍ය පිළිවෙල බව, අකුරට වැඩ” තත්ත්වය ඔස්සේම විවිධ දඬුවම් වලින් , අනවශ්‍ය පීඩාවන් ඇති කරන “පාලනය” කිරීම් වලින් අනෙකාව රිදවල මෙයාල තම “සතුට” ලබා ගන්නවා. හුඟක් වෙලාවට මේ “සතුට ලබා ගැනීම” වෙනුවෙන් තමන්ගේ සීමාවෙන් පිට ගිහින් “පීඩාවට” පත් කිරීම් කරන අවස්ථා බහුලයි. හොඳ උදාහරණ විදියට සමහර නීති ක්‍රියාත්මක කරන අංශ වල ඉන්න “ලොක්කන්” දකින්න පුළුවන් මේ පරිපීඩක චර්යාවන් දක්වන බව.


Explosive sadism/පිපිරෙන පරපීඩකයා

මෙයාල නමේ හැ‍ටිය‍ටම “පිපිරි පිපිරි” ඉන්න අය. හරිම ඉක්මණට තරහ යනවා, හැබැයි හිතේ බයත් තියෙනවා. මෙයාලගේ මූඩ්ස් වෙනස් වෙන්නේ බලං ඉඳිත්දි, කිසිම හිතේ ස්ථාවර බවක් නෑ. හිතේ තදකරගෙන ඉන්න හැම දේම ඉතාම දරුණු විදියට එළියට දාන්න මේ අයට පුළුවන්. හුඟක් වෙලාවට අතින් පයින් පහර දීමට පවා පෙළඹෙන්නට ඉඩ තිබෙනවා. ඒ පහරදීම් වලට ලක්වුනු කෙනා දුක්වෙන හැටි බලල, වේදනාව දැකල මේ අයට සතුටු වෙන්න පුළුවන්. කිසිම වෙලාවට “තමන්‍ වැරදියි” කියල පිළිගන්න කැමැති නෑ. ඔය හමුදාවේ ,පොලීසියේ රාජකාරි කළ අය නම් සමහර වෙලාවට මේවගේ ලොක්කන් එක්ක වැඩ කටයුතු කරල ඇති. ඒ විතරක් නොවෙයි සමහර වෙලාවට ඔබ ඉන්න කාර්යාල වලත් මෙහෙම පිපිරෙන අය ඉන්න පුළුවන්.


ඉතින් අප සමාජයේ දකින හුඟක් පරපීඩකයෝ මේ කාණ්ඩ හතරේ එකකට අයිති ඇති. ඉන් පිටත ඉන්න පුළුවන් අවස්ථාත් තිබෙනවා , ඒතවත් මානසික රෝග වල එකතුවක් විදියට. කොහොම වුනත්, මේ පරපීඩකත්වය නැත්නම් Sadistic Personality එක “ලෙඩක්” විදියට ඉස්සර නම් කළත් දැන් එය “ලෙඩක්” ලෙස නාමකරණය කෙරෙන්නේ නැහැ.( Sexual Sadism Disorder කියන තත්ත්වය නම් රෝගයක් ලෙස හඳුන්වා දෙනවා) නමුත් , මෙම තත්ත්වයෙන් ඉන්න කෙනෙකුට ප්‍රතිකාර ලෙස , උපදේශණය සහ තවත් ඖෂධීය ප්‍රතිකාර කළ යුතු අවස්ථා තිබෙනවා. මේ ලිපිය තුල ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ.


නමුත් මම කතා කරන්න උත්සාහ කරනවා ඔබ මේ කාණ්ඩයට කොපමණ සම්බන්ධකමක් තිබේදැයි හඳුන්වා දෙන්නට. හේතුව සමහර වෙලාවට මේ තත්ත්වය කොයිතරම් දරුනුවට තමන්ට ඇත්දැයි හිතන්නට , තීරණය කරන්නට මොවුන් පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම මෙම පීඩකයන් නිසා සමාජයේ , ඔබේ අපේ පවුලේ නැත්නම් බස් රථයේ පාසලේ තවත් අයෙක් පීඩාවට පත්වෙනවා වෙන්නත් පුළුවන්. මේ සරළ ප්‍රශ්න දහය ඔස්සේ යම් අදහසක් ලබා ගන්නට පුළුවන්, නමුත් කිසිම විටෙක මෙය “රෝග විනිශ්චයක්” ලෙස භාවිත කෙරෙන්නේ නැහැ. ඔබට කරන්න තිබෙන්නේ සරළ ප්‍රශ්න දහයකට (Short Sadistic Impulse Scale) හිතට අවංකව උත්තර දෙන එක විතරයි.


8. I enjoy seeing people hurt.-
7. I would enjoy hurting someone physically, sexually, or emotionally
2. Hurting people would be exciting
5. I have hurt people for my own enjoyment.
1. People would enjoy hurting others if they gave it a go
9. I have fantasies which involve hurting people
3. I have hurt people because I could.
4. I wouldn’t intentionally hurt anyone
6. I have humiliated others to keep them in line.
10. Sometimes I get so angry I want to hurt people.


දැන් මේ ප්‍රශ්නාවලියේ ඉලක්කම් මාරු වෙලා තිබෙන එක ගැන කළබල වෙන්න එපා. වැදගත් ඔබ ලබා දෙන පිළිතුරයි.දැන් Yes කියන පිළිතුර( හෝ ඊට සමානව අටවන ප්‍රශ්නයට No ) හැම එකකටම ලකුණූ එක ගානේ එකතු කරල බලන්න මුළු ලකුණු කීයක් ලැබුණද කියල. ලකුණූ 5ක් හෝ ඊට වැඩිනම්, ඔබ තුලත් මේ පරපීඩක මානසිකත්වයේ ලක්ෂණ අවධානය යොමු කළ යුතු මට්ටමක තිබෙනවා. මේ ගැන තවත් සරළ පරික්ෂණයක් තිබෙනවා. ඒ සඳහා මේ ලිංක් එකෙන් යන්න පුළුවන්(https://www.idrlabs.com/6-minute-sadism/test.php) මේ කුමන ආකාරයකින් හරි ඔබ තුල අදාල අවදානම් ලක්ෂණ තිබේ කියල හඳුනාගන්නවා නම් පළමුව ඔබටම පුළුවන් උත්සාහ කරන්න, මෙම තත්ත්වය, නැත්නම් මේ හැඟීම අවම කරගන්න. ඒ ඔස්සේ සමාජය තුල කාටවත් හිතාමතා පීඩා නොකරන තත්ත්වයකට පත්වන්නට. කෙසේ වෙතත් මේ තත්ත්වයේ එක්තරා අවස්ථාවකදි තමන්ටම මෙම හැගීම මතුවීම් පාළනය කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න එතැනදි නිසි සෞඛ්‍ය වෘත්තිකයෙක්ගේ උදව් ගන්න එක ඔබටත් සමාජයටත් උපකාරයක් වේවි.


මෙම පරපීඩකත්වය ඇති වීමට ස්ථිරම හේතු නොවුනත්, හඳුනාගත් ප්‍රධාන සාධක ලෙස, අදාල පුද්ගලයන්ගේ බිඳවැටුනු පෞරුෂය , කුඩා කාළයේ සිදුවූ ලිංගික හෝ ගෘහස්ථ හිංසනයන්, වගේම දුප්පත් කම සහ සමාජය තුල අසාධාරණයට ලක්වීමක් පසු කාළීනව කෙනෙක් “පරපීඩකයෙක්” කරන්න පුළුවන් කියල සඳහන් වෙනවා.


මේ පරපීඩකයින් ඕනම සමාජයක අපට හමුවෙන්න පුළුවන්, නමුත් විවිධ ආර්ථික සමාජයීය සංස්කෘතික පීඩාවන්ට, බන්ධනයන්ට ලක්වන සමාජයක තවෙකෙක් රිදවලා සතුට ලැබීමේ කැමැත්ත වැඩිපුර දකින්නට ලැබෙනවා. එය සමහර විට අපට මග තොටේදි අත්දකින්න පුළුවන් ඇත්තක්.


‍දැන් මේ පීඩාවට පත්වන අපේ සමාජයේ ඉන්න හුඟක් අය , තමන් පීඩාවට පත් වුනත්, කරුමය, ලබා උපන් හැටි, දුප්පත්කම, ගෑණු ගතිය , එහෙම නැත්නම් රස්සාව බේර ගන්න , හිතවත්කම පවත්වා ගැනීම නැත්නම් විවාහය පවත්වා ගැනීමේ හේතු පෙන්වමින් "විඳ දරා ගැනීමට" උත්සාහ කරනවා. නමුත් මේ උත්සාහය තුල පීඩාවට ලක්වන්නා දිගින් දිගටම මානසික පීඩනයකට ලක්වනවා නම් එය අවදානමක්. 


ඒ අවදානම හඳුනාගැනීමයි වැදගත්ම. තමන්ට අදාල පුද්ගලයා නිසා සිදුවන පීඩාවෙන් සිදුවන මානසික පීඩනය හඳුනාගෙන, අදාල පීඩකයාගෙන් ඈත්වීම හෝ නැත්නම් සෘජුව පීඩකයා වෙත ප්‍රතිචාර දැක්වීම කළ හැකි අවස්ථාවක නම් ගැලපෙන ප්‍රතිචාරයක් දැක්වීම තුල මෙවන් පරපීඩකයන් ඉතා අපහසුතාවයට පත්වෙනවා.

 කෙසේ වෙතත්, ආයතනික මට්ටමින් සිදුවන මෙබඳු තත්ත්වයකදි ඉහළ අදාල නීති රීති අනුව ඉහළ බලධාරින් දැනුවත් කර අවශ්‍ය උපකාර ලබා ගැනීම කරන්නට පුළුවන් අවස්ථා ඇති. දරුවෙක් මේ තත්ත්වයට පත් වෙනවා නම් , බොහෝ්විට දෙමාපියන් හෝ ගුරුවරුන්ට මේ ගැන දැනුවත් කර උදව් ලබා ගැනීම වඩා ආරක්ෂාකාරී වෙනවා. 

මේ සියල්ලම කළත්, ඒවා සාර්ථක වුවත් නැතත්, පීඩාවට පත් වූ පුද්ගලයාට , අදාල "වේදනාව" මානසිකව හෝ කායිකව බලපෑමක් කරන්නේ නම් පමා නොකර, නිසි සෞඛ්‍ය වෘත්තික සේවාවක සහය ලබා ගැනීම වැදගත්. මෙතැනදි වඩාත් බහුලම අවස්ථාව මානසික පීඩනය , ඒ සඳහා වෘත්තීක උපදේශකයෙක්, වෘත්තිය චිකිත්සකවරයෙක් හෝ එසේ නොවේ නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා මගින් හෝ යම් නිවැරදි සහනයක් ලබා ගැනීම ඔබේ අනාගතයට ඇති විය හැකි බාධා අඩු කරාවි.


එහෙම නම් ටිකක් සංකීර්ණ මාතෘකාවක් , පුළුවන් තරමට සරළව ලියන්නයි උත්සාහ කළේ, මේ ගැන තව දුරටත් දැන ගන්න කැමති නම් ඉතාමත් විස්තරාත්මක පොතක් තිබෙනවා Stekel, W. (2010). Sadism and Masochism. එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ Mental Health America වැනි වෙබ් අඩවියකින් තොරතුරු ලබා ගන්නත් පුළුවන්.
එහෙම නම් අද ලිපිය නිමාව, තවත් දවසකදි වෙනත් ලිපියකින් හමුවෙමු.

 
References
Stekel, W. (2010). Sadism and Masochism: The Psychopathology of Sexual Cruelty (Solar Asylum) (Reprint ed.). Solar Books.
O'Meara, A., Davies, J., & Hammond, S. (2011). Short Sadistic Impulse Scale [Database record]. Retrieved from PsycTESTS. doi: http://dx.doi.org/10.1037/t05157-000
A STILL FROM THE MOVIE ADAPTATION OF FIFTY SHADES OF GREY. (2019). [Image]. Retrieved from http://trinitynews.ie/wp-content/uploads/2019/04/untitled.png