2021/01/31

247) ඇරුනු වැහුනු සිත් ඇත්තෝ


හැම තැනම යාළුවෝ, මිත්‍රයෝ හිතවතුන්. පාසලද , රැකියාවද , මග තොටේද එහෙම නැත්නම් ෆේස්බුක් එකේ හරි වට්ස්ඇප්/සිග්නල් ගෲප් එකක වෙන්නත් පුළුවන්. මේ කොතැන වුනත් අපට විවිධ ආකාරයේ මිතුරන් හමුවෙනවා. මේ විවිධ ආකාරය කිව්වම පැති ගණනාවක් දකින්න පුළුවන්. නමුත් මම අද මේ ලිපිය තුල කතා කරන්න උත්සාහ කරන්නේ සමාජය තුල ඔවුන් සම්බන්ධ වන විදිය අනුව ආකාර දෙකක් හඳුනගන්න පුළුවන්. ඒ සමහරු දැන ගන්න කැමතියි, තමන්ගේ මතය වගේම අනෙක් මතයත් ගරු කරනවා. ඒ අතරේ සමහර “තමන්ගේ එකම තමයි” හරි වෙන අය වැරදියි වගේ මතයක ඉන්නවා. අද කතා කරන්න හදන්නේ මෙන්න මේ වෙනස ඇති කරන විවෘත , හෝ සංවෘත මානසිකත්වය ගැන එහෙම නැත්නම් තේරෙන බාසාවෙන්ම කිව්වොත් open-mindedness ද closed-mindedness ද කියන එක.

දැන් මේක දැන ගත්තම තියෙන වාසි මොනවද? එකක්, තමන් මොන විදියට මානසිකත්වයක ඉන්නේ කියල වටහා ගන්න පුළුවන් නම් , තමන්ගේ අඩුපාඩුවක් ඇත්නම් හදා ගන්නත්, තමන්ගේ හිතුවිලි රටාව තුල යහපත් මට්ටමක ඉන්නවා නම් එය වැඩි දියුණු කරගන්නත් මේ ඔස්සේ ඔබට අපට පුළුවන්. ඒවගේම ඔබත් එක්ක කතා බහ කරන, සාකච්ඡා කරන මිතුරා , නැත්නම් රැකියාවේ සාමාජිකයා මොන ආකාරයට හිතන කෙනෙක් කියන දේ ගැන අදහසක් ඇත්නම් මතුවන ගැටළු අඩු කරගන්නත් හැකියාවක් ලැබේවි.
හරි දැන් බලමු මේ open/close කතාවේ ඔබ , මම කොතැනද කියලා.
 
මුලින්ම බලමු අප සංවෘතව හිතන අයෙක් closed-mindedness, ඔහු හෝ ඇය සමාජය තුල හැසිරෙන ආකාරය. මේ අය තමන් පිළිගන්නා අදහස,මතය , පිළිගැනීම අභියෝගයකට ලක්වෙනවාට කැමති නැහැ. එය වැරදි හෝ එහි වෙනත් පැත්තක් ඇති බව පිළිගන්න කැමති නැහැ. තමන්ගේ පිළිගැනීමේ “වැරැද්දක්” තිබෙන බව අනෙක් අය කිව්වොත් අමනාප වෙනවා, සමහර විට ආවේගශීලී වෙනවා. තමන්ගේ අදහස “වැරදි” යැයි අනෙක් කෙනා කියන්න හේතුව හොයන්නවත් ‍මේ අය උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසාම නිතරම උත්සාහ කරන්නේ “තමන් නිවැරදි”යි කියන මතය ඇති කරන්න. ඒ නිසාම තමන්ගේ මතය අභියෝගයට ලක්වන ප්‍රශ්න අහන්නට අවස්ථාවක් දෙන්නට මේ අය අකමැතියි. මොකද තමන්ම තමයි නිවැරදි කියල හිතන්නේ.
ඒ වගේමයි මේ අය අනෙක් අයට කතා කරන්න නොදී , තමන්ගේ අදහසට බලෙන් ඇතුළු කරන්න උත්සාහ කරනවා. මේ හේතුවෙන්ම වැසුනු මානසිකත්වයක් ඇති පුද්ගලයාට අළුතින් යමක් දැන ගන්නට ඇති අවස්ථාව සීමාවෙනවා.
 
මේ තත්ත්වය යටතේ ඔහු හෝ ඇය යම් මතයක් පිළිබඳව දකින්නේ එක් දිසාවක් පමණයි, එක් අදහසක් පමණයි. මොකද අනෙක් මතය හිතන්න වත් ඒ අය පෙළඹෙන්නේ නැහැ. දැන් යම් හේතුවක් නිසා ඒ අදහසේ වැරැද්දක් වුනා කියමු. ඒ වැරැද්ද “තමන්ගේ නොව” අනෙක් ‍අයගේ වැරැද්දක් විදියට පෙන්වල හිත හදා ගන්න මේ ක්ලොස් මයින්ඩඩ් මිතුරන් උත්සාහ කරනවා.
 
එතකොට විවෘතව හිතන අයෙක් ගේ හැසිරීම මොනවගේද කියලා දැන් බලමු. open-mindedness අය තමන් පිළිගන්නා මතය , විශ්වාසය හෝ පිළිගැනීම පිළිබඳ පිරිසට ඉදිරිපත් කරන්නේම මොනවද ඔබේ අදහස් වැනි තැනක සිට. ඒ කියන්නේ මේ අය තමන්ගේ මතයට එකඟ නොවීම් වීමේදී අමනාප හෝ ආවේගශීලී වනවාට වඩා, ඒ එකඟ නොවීමට හේතුව කුමක්විය හැකිදැයි හොයාන්නට පෙළඹෙනවා. අනෙකාගේ අදහසත් සළකා බලන්නට අවස්ථාවක් දෙනවා.
 
ඒ නිසාම තමන්ගේ මතය පිළිබඳව ප්‍රශ්න අහන්නට අවස්ථාවක් ලබා දෙන්නේ තම මතයේ වැරැද්දක් ඇත්නම් එය නිවැරදි කරගැනීමේ අරමුණින්. ඒ නිසාම මේ අය කතා බහකදි උත්සාහ කරනවා අනෙකාගෙන් යමක් අරගන්න, ඉගෙන ගන්න. තමන්ගේ අදහස හරිද වැරදිද කියල හිතල බලන්න. මේ උත්සාහය නිසා විවෘත මානසිකත්වය ඇති පුද්ගලයා හැම විටම අළුතින් ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙනවා. දැනුවත් වෙනවා. එයින් සතුටු වෙනවා. ප්‍රතිපලය වන්නේ යම් තීරණයක් , අදහස් පිළිබඳ විවිධ පැති වලින් හිතන්නට , වටහා ගන්නටත් ඒ ඔස්සේ නිවැරදි දෙය හඳුනාගන්නට සහ විශේෂයෙන්ම පිළිගන්නටත් හැකියාව ලබනවා. යම් හේතුවකින් තීරණයේ හෝ අදහසේ වැරැද්දක් ඇතිවුනොත් ඒ වැරදීමට හේතුව හොයා ගන්නට පෙළඹෙනවා. අනෙක් අ‍යගේ අදහස් ලබා ගන්නවා.

ඔබ , මම කොතැනද?

දැන් මේ ටික කියාගෙන යත්දිම ඔබ කුමන කාණ්ඩයට අයත්ද කියන එකත් ඔබේ මිතුරා කිනම් විදියට හිතන කෙනෙක්ද කියන එකත් ගැන යම් අ‍වබෝධයක් ඇති වෙන්න ඇති. දැන් මේ දෙනෙක් වඩාත් වාසිදායක , සාර්ථක තත්ත්වය වෙන්නේ කුමක්ද කියල ඇහැව්වොත් එහි වැඩි වාසිය තිබෙන්නේ Open minded කියන තත්ත්වයට. ඒ අය දැනුවත් බවින් , අත්දැකීම් වලින් බහුල වෙනවා ,තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක තීරණ ගන්නට පෙළඹෙනවා. පොදුවේ ගත්තම හැම අතකින්ම සාර්ථකත්වයක් ලැබීමට අවස්ථාවක් ලබනවා. එය පාසල, රැකියාව හෝ විවාහය පවුල තුල වුනත් වෙන්න පුළුවන්.
 
වෙනස් වෙන්න පුළුවන්ද?

ඉතින් ඔබ හඳුනාගත්තා නම් තමන් closed-mindedness ලෙසින් හිතන කෙනෙක් කියලා, ඔබට පුළුවන්ද open minded තත්ත්වයට පත්වෙන්න. ඔව්, ඔබට පුළුවන් , ඒ සඳහා කරන්න ඕන දේ ඔබේ හිතුවිලි රටාව හඳුනාගෙන , හැකිතරම් ඔබ එකඟනොවන මාතෘකා සාකච්ඡා සමඟ එකතු වෙමින් අනෙක් අයගේ මත පිළිබඳව හිතා බලමින් , ඔබේ හිතට එන අදහස් open minded අයෙක් ගේ හිතුවිලි හැසිරෙන ආකාරයට පත්කරගන්නට උත්සාහ කරන එක. මෙය පුහුණවක්, කාළයක් යාවි, ඒ අතරේ තමන්‍ ගේ සිදුවන සංවර්ධනය වගේම තවමත් තමන් තුල නිතැනින් මතුවන closed-mindedness සංකල්ප ගැන ඔබටම තේරුම් ගන්න වේවි. මේ උත්සාහ ටික කළක් කළොත් ඔබටත් පුළුවන් open-minded විදියට ලෝකය දකින්න. එතැනදි දැනුම වගේම පුළුල් සමාජ අත්දැකීම් ලබා තිබීමත් ඒ කටයුත්තට පහසුකරගන්නට උදව් වෙනවා.
 
එසේනම් දැන් ඔබේ අවස්ථාව, ඊට ඉඩ සලසා දී අදට මේ කතාව නිමා කරනවා.

තවත් කියවන්න
 
Lear, J. (1999). Open Minded. Amsterdam University Press.
Authentic Happiness. (2021). University of Pennsylvania. https://www.authentichappiness.sas.upenn.edu/.../open...

2021/01/23

246) බර වැඩියි අනේ

දේහ බර වයසට අදාල උසට ගැලපෙන සීමාවට වඩා වැඩිවීම කරදර ගණනාවකට මග පාදනවා. විශේෂයෙන්ම මැදිවියේ ඉන්න අප වගේ අයට, අධීරුධිර පීඩනය , දියවැඩියාව, සන්ධි ආබාධ, මෙන්ම පිළිකා වැනි අවදානම් තත්ත්ව වලටත් “බර වැඩිවීම” හේතුවක්.

දැන් ඉතින් “බර වැඩිවීම” කියන්නේ මොකක්ද කියල හරියටම දැන ගන්න එපායැ.එහෙම නැතිව නිකං මහතයි වගේ පෙනුන පමණින්ම බර වැඩියි කියල කියන්න බෑ. මෙන්න මෙහෙමයි වැඩේ කර‍ගන්නේ. ඔබේ බර බලා ගන්න කිලෝග්‍රෑම් වලින්, උස බලා ගන්න සෙන්ටිමීටර් වලින්. දැන් උස වැඩිකරන්න උසෙන්ම,(උස වර්ග කරන්න) ඊළඟට බර බෙදන්න මේ උසේ වර්ගයෙන්. උත්තරේ  18-23 වගේ ගාණක් තියා ගන්න පුළුවන් නම් තමයි පරිස්සම්. 23න් ඉහළ උත්තරයක් නම් ආවේ ඔබේ බර වැඩියි, පෙර කී අවදානම් ඇති වන්න පුළුවන්. මේ උත්තරේ 27ට වැඩි නම් “ඉතාම අවදානම බර වැඩි වීමක” ඉන්නේ , ඉක්මණින්ම වෘත්තිය උපදේශයක් ලබා ගන්න ඕන බර අඩු කරගන්නට.

හිතන්න ඔබේ බර, වැඩියි කියල, අපි හිතමු 25ක විතර උත්තරයක් ආවේ කියල. එහෙම නම් දැන් සූදානම් වෙන්න ඕන බර අඩු කරගන්නට. හොඳම දේ පෝෂණවේදියෙක් හමුවෙලා කෑම බීම ගැන උපදෙසක් ගන්න එක, නමුත් අපටම සමහර සූදානම් වීම් වෙන්නට පුළුවන්. මේ කියන්න හදන්නේ අන්න ඒ වගේ අපට කරන්න පුළුවන්, සාර්ථක උත්සාහයන් කිහිපයක්,

  1. සීනි කපන්න.( අපට අමතර සීනි බිව්වෙ නෑ කියල කිසිම අහිතක් වෙන්නේ නෑ. ඒ වගේම අපේ බර වැඩිවීම් වලට වැඩි හේතුවක් අමතරව එකතු කරන සීනි. කරන්න පුළුවන් දේ , සීනි, හකුරු වගේ දේ එක්ක තේ බොන එක අඩු කරන්න, වාර ගාණ අඩු කරන්න. ‍එකවරකට බොන ප්‍රමාණය අඩු කරන්න. පුළුවන් නම් සම්පූර්ණයෙන්ම නවත්වල, නිකම් කිරි එකක් බොන්න රසට හුරු වෙන්න)
  2. පිටි හලන්න (බත් කන්දක් කියන්නේ දියවැඩියාව කැන්ද ගන්න මුල බව මතක් කරගන්න. බත් අඩු කෝප්පයක් එකහමාරක් වැඩිත් එක්ක ඇති. එළවලු පළා, මස් හෝ මාළු වලින් ඉතිරිය පුරවගන්න. රොටි, පිටි කෑම නවත්වන්න පුළුවන්ද බලන්න.
  3. වතුර බීල බත් කන්න. ( කෑමට පෙර පළතුරක් කන්න හැකිනම් එළවලු සැලඩ් එකක් කන්න,සීතල වතුර කෝප්ප දෙකක් බොන්න,ඊට පස්සේ ඉතිරි ඉඩට බත් එලවලු කන්න)
  4. ඇඹුල් කරගන්න ( එළවලු / සැලඩ් වගේ දේට විනාකිරි ටිකක් එකතු කරන්න)
  5. නොබලා කන්න. ( රූපවාහිනිය හෝ දුරකථය පරික්ෂා කරමින් කන්න එපා. කෑම කන ප්‍රමාණය ගැන අවධානයෙන් රස විඳිමින් කන්න)
  6. රාත්‍රී කෑම වේලට වඩා උදේ වේල වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙන ආහාරයක් ගන්න.
  7. විනාඩි විස්සක්වත් කන්න. (කළබලේට ගිලිනවාට වඩා, කෑම හොඳින් විකීමට, ඇඹරීමට කටෙහි රඳවා ගැනීමට කාළය ගන්න)
  8. කෑම නින්ද‍ට පෙර නොව . ( රෑ කෑම ගත් සැණින් නිදා නොගන්න, රාත්‍රී ආහාරයෙන් පසුව පැය කිහිපයකින් නින්දට යන්න. රාත්‍රි  7ට ආහාරය ගැනීමට හැකිනම් රාත්‍රී නමයට නින්ද‍ට යන්නට පුළුවන්)
  9. රාත්‍රි කෑමෙන් පසු (7.00ට) නැවත ආහාර නොගෙන නින්දට පෙර වතුර ‍කෝප්පයක් බොන්න.
  10. දවසකට විනාඩි 30-45ක් කිලෝමී‍ටර 3ක්වත් දුර වේගය අඩුු වැඩි කරමින් දුවන්න, වේගයෙන් ඇවිදින්න.(දැනට හෘද රෝග හෝ අධිරුධීර පීඩනය ඇත්නම් ලැබී ඇති සෞඛ්‍ය උපෙදස් මත හෝ  ඇවිදීම සහ අපහසුතා දැනෙන විට විවේක ගැනීම ආරක්ෂාකාරී වේ)
  11. සතියකට වරක් එකම වෙලාවකදී බර මැන සටහන් කරගන්න.

මේ පියවර ටික හරියට අනුගමනය කළොත් මාසයක කිලෝග්‍රෑම් දෙකක් සෞඛ්‍යානුකූල බර අඩු කරගැනීමක් කරන්නට පුළුවන්. ඒ විදියට තමන් නියමිත ආරක්ෂීත බර සීමාවට එන්නට පුළුවන් නම් පවතින සෞඛ්‍ය ගැටළුවලට සහනයක් වගේම , ඉදිරියේදී ඇති වීමේ අවදානම ඇති තත්ත්ව වලින් ගැලපෙන්නට හෝ පමා කරගන්නට ඔබට හැකිවේවි.

දැන් මේ තියෙන්නේ පහුගිය මාසය තුල මම පුද්ගලිකව මේ පියවර ඔස්සේ ලබා ගත් ප්‍රතිපල. ඒ කියන්නේ , හරියට උත්සාහ කළොත් තමන්ටම වාසිකයක් වන මේ දේ කරගන්න පුළුවන්. හැබැයි හිත හදා ගන්න බැරිවුනොත් හැමදාම කියන්න වෙන්නේ “අනේ බර අඩු කරගන්න බෑනේ “ කියලම විතරයි. එහෙම නම් උත්සාහ කරල බලන්න.


2021/01/01

245) කොට බෙල්ලයි ගෙරවිල්ලයි හරි අවදානම්

ලැබූ නව වසර වාසනාවන්ත කරගන්නට ඔබ සැමට හැකිවේවා කියල අද ලිපිය පටන් ගන්න ඉස්සර වෙලාම ප්‍රාර්ථනා කරනවා. අද පළමු වෙනිදනේ , ඊයේ


දෙසැම්බර් 31 කියන්නේ ඉතින් පාටිම තමා නේද? වැඩ කරන තැන පාටි, යාළුවන්ගේ පාටි .. පාටි පාටි පාටි … 

කෙහෙන් කොහොම හරි ඔය පාටි වලට ඉඳළා ගෙදර ඇවිත් නිදා‍ගනිත්ම , ළඟ ඉන්න කෙනාගේ කණ පැලෙන්න ගොරවන කෙනෙක් නම් මේ කෙටි විස්තරය ඔබට වැදගත් වේවි.

ඔබ, නින්දේදී අධීක හඬක් දෙමින් ගොරවනවා නම්, නින්දෙන් ඇහැරෙත්දි උගුර හොඳටම වේලිලා, රිදෙන බවක් දැනෙනවා නම්, නින්දෙදි හුස්ම හිර වෙලා , එහෙම නැත්නම් හේතුවක් නැතිව කැස්සක් වගේ ඇතිවෙමින් වරින් වර නින්දෙන් ඇහැරෙන බවක් දැනෙනවා නම් , නැත්නම් ඔබත් එක්ක සයනයේ ඉන්න කෙනා කියනවා නම්, නින්දෙන් අවදිවෙලා දවසේ වැඩ කරත්දි හැමදාම වගේ කියන්න බැරි , හේතුවක් නොදන්න ඇ‍ගේපතේ අමාරු, ඔළුවේ කැක්කුම් ,නිදිබර බවක් කෙටියෙන්ම කිව්වොත් දවස කිසි ෆීට් එකක් නෑ වගේ දැනෙනවා නම් , ටිකක් හොයල බලන්න ඔබත් Sleep Apnea තත්ත්වයෙන් පෙළෙනවා දැයි.

මේ අවදානම හුඟක් වැඩියි තරබාරු, වයස 40ට වැඩි , බෙල්ල ටිකක් වැඩිපුර මහත පිරිමි අයට. එහෙම කිව්වට ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්, හඳුනාගැනීම ප්‍රමාද වෙන , නැත්නම් නොසලකා හරින තත්ත්වයක් මේක.

නොසලකා හැරීම හෝ හඳුනානොගැනීම තුල වෙන්න පුළුවන් අවදානම් විදියට අධිරුධිර පීඩනය , දියවැඩියාව, විශාදය වගේ මානසික රෝග, ඒ විතරක් නොවෙයි, හෘදයාබාධ වගේම අංශබාගය ‍වගේ අවදානමුත් තිබෙනවා. ඒ නිසා අර මුලින් කී ලක්ෂණ හෝ සැක කළ හැකි ලක්ෂණ තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න.

කෙහොම වුනත්, ඔබ තරබාරු නම් වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය වෘත්තිකයෙන් ඔබේ උස-බර මැනල හඳුනාගැනීමකින්, නැත්නම් BMI අනුව ඔබ “තරබාරු” යි හඳුනාගෙන ඇත්නම් බර අඩු කරගැනීමට තටයුතු කිරීමත්, නිදාගන්නා ස්ථාපිය වෙනස් කරමින් උත්සාහ කිරීමත් කරන්නට පුළුවන්. ඊට අමතරව නින්දට පෙර මත්පැන් හෝ දුම්වැටි ගන්නට පුරුදු වෙලා ඉන්නවා නම් එම වේලාවන් වෙනස් කර උත්සාහ කරන්නත් පුළුවන්. මේ උත්සාහයන් අතරේ, ඔබේ සෞඛ්‍ය වෘත්තිකයාගෙන් ලැබන උපදෙස් අනුගමනය කර මේ ගෙරවිල්ලෙන් බේරිලා මතුවිය හැකි කරදර වලින් බේරෙන්න බලන්න.