2021/03/29

කැනඩාවේ ලුසී එක්ක ලංකාවේ පුසී

මුලින්ම කියන්න ඕන, කළකට පස්සේ අද මේ ලියන ලිපියට ප්‍රධාන කරුණු දෙකක් අන්තර්ගතයි, ඒ ලංකාව සහ වන සතකෙු. මේ කරුණූ දෙකටම අදාලව සටහනක් ලියන්නට වගකිමක් මට තිබෙන්නේ, එකක්, මම ශ්‍රී ලංකාවේ උපන් අයෙක්, අද වෙත්දි නීත්‍යානූකූලව ලංකාවේ පුරවැසියෙක් නොවුනත්, උපන් "බිමට" ආදරයක් තවම හිතේ තිබෙනවා. දෙවැන්න, කැනඩාවේ වන සත්ව සංරක්ෂණය පිළිබඳව පුහුණවක් සහ අත්දැකීමක් ඇති කැනඩාවේ ප්‍රජාව වන සතුන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන වැඩසටහනක ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ වගකීම් සහ වගවිම් දෙක මත ලංකාව තුල වේගයෙන් පැතිරෙන මේ ප්‍රවෘත්තියකට මම දක්වන අදහස පුළුවන් තරම් මධ්‍යස්ථ එකක් කරන්නට මම උපරිම උත්සාහ කරනවා. (මධ්‍යස්ථයි කිව්වට සමහර විට මධ්‍යස්ථ වීමම වැරැද්දක් කියල හිතෙනවා, අපි කියවමුකෝ)


හරි , දැන් කතාවට, මේ දවස් වල මෙන්න මේ වගේ පෝස්ට් එකක් ලංකාව පුරා සමාජ මාධ්‍ය වගේම "පිංවන්ත බව ප්‍රසිද්ධ කරන්න කැමති" පුද්ගලයින් විසින් පතුරවනවා. ඒ තමයි "කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ " නමින් පැතිරෙන ප්‍රවෘත්තිය. මේ උපුටා ගන්‍නේ එම පෝස්ට් එක.උපුටා ගැනීම ආරම්භය.
"කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ #ලුසී
දැඩි දේශගුණික තත්වයන් හමුවේද (හිම) දුක් විදින ලංකාවේ #Lucy .ලූසි 1975 ලංකාවේ උපන් ඇතින්නක්. වයස අවුරුදු 1දී ඇයව යම් පුද්ගලයෙක් මිළදී ගෙන 1977 Skank නමින් ඇයව EVZ නම් කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ සත්ව උද්‍යානයකට විකුණා ඇත. එවිට ඇයට වයස අවුරුදු 2යි. එතැන් පටන් ඇයගේ නම Lucy ලෙස වෙනස්කර ඇත.
ඉන් පසු එඩ්මන්ටන් සත්තු වත්තෙ කුඩා කුටියක සිරව සිට ඇති බව ඔබට දැකගත හැකිය. මෙලෙස අවුරුදු 44ක් ඇය එඩ්මන්ටන් සත්තු වත්තේ ඉතා තද සීතලේ දුක් විදිමින් ජීවත් වෙනවා.
Lucy ගේ දුකට සංවේදී වූ, සත්ව ක්‍රියාකාරින් වසර කීපයක සිට ඇයව මේ සිර කුටියෙන් නිදහස් කර ඇයට සුදුසු පරිසරයකට, අභයභූමියකට යවන්න ලොකු සටනක යෙදෙනවා.
2020 වසරේ පකිස්ථානේ හිටපු ලංකාවේ කාවන්ට නිදහස ලබා අලි අභයභූමියකට යන්න ලැබුනා වගේ 2021 වසරේ ලූසිටත් නිදහස ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
ලුසීව නැවත ලංකා රජය භාරයට පත්කර අභය භූමියකට මුදා හැරීම සදහා ඔබේ හඩ අවශ්‍ය මොහොතකි.. ලුසීට හඩක් වන්න..
2021/03/16 3:15 pm කොල්ලුපිටිය වාලුකාරමයේ සිට කැනේඩියානු තානාපති කාර්‍යාලය දක්වා නිහඩ පා ගමනට ඔබත් එක්වන්න.."

උපුටා ගැනීම නිමාව.