2020/08/05

240) හැට පැන්නම Sex ඕනද?


කෝවිඩ් අපට අළුත්ම ලෝකයක් ගෙනත් දුන්නා. වෙනදට වඩා අත්සෝදන, අනෙකාගෙ පරිස්සම ගැන හිතල තමන් පරිස්සම් වෙන, වැඩි වෙලාවක් ගෙදර ඉන්න අළුත්ම ජීවන රටාවක්. මේකටම එකතුවුනු Working from home සමහර වෘත්තීන් හෝ රැකියාවන් වලට ගැටළුවක් වුනත් අපට නම් ලොකු පහසුවක් වුනා.වෙනද සේවාලාභීන් 8ක් 10ක් එක්ක මුහුණට මුහුණ සේවා ලබා දුන් අප අද, අද එක දිනකට සේවාලාභීන් 20කට විතර පහසුකම් සහ සේවා සපයනවා ගෙදර ඉඳගෙනම. Telemed, Zoom වගේම දුරකථනයත් මෙතැනදි අපේ ප්‍රධාන උපාංග කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ ක්‍රමේ එකම අවාසිය කෑම තමා. මොකද වෙනද සායනයට ගියා නම් වෙලාවට කෑවා බිව්වා එච්චරයි. දැන් එහෙමද? ගේ ඇතුලෙමනේ, ඉතින් හාමිනේ හදන පැණි රස කෑම වල තත්ත්වය පරික්ෂා කරන්නමයි හිත කියන්නෙ. මොනව කරන්නද වැඩ කරන අතරෙම ඒ පරික්ෂාවන් කරල උදව්වක් කරන්න එපායැ. ඔය උදව් පදව් කරන අතරේ ඊයෙත් මගේ රාජකාරි කටයුතු පටන් ගත්තා.

අගහරුවාදා කියන්නේ අපේ Group therapy session එක තිබෙන දවස. ඒ කියන්නේ ටිකක් විතර අවිවේකීයි. ‍විවිධ මානසික මට්ටම් සහ රෝගී තත්ත්ව වල ඉන්න දහයක විතර කණ්ඩායමක්, තාක්ෂණීක ක්‍රම ඔස්සේ එකම තැනකට ගේන එක වගේම, ඔවුන්ගේ ප්‍රතිකාර සීමාව තුල කරදරයක් නොවී පවත්වා ගන්න එකත් අභියෝගයක්. මොකද වෙනද වගේ ඔවුන් අප ළග ඉන්නව නම් හරිම පහසුයි ඒ පාළනය කරන්න. නමුත් දැන් එයාලා තමන්‍ගෙ ගෙදර සිට,අන්තර්ජාලය වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකතු වෙත්දි සමහර ගැටළු වලට මුහුණ දෙන්නම වෙනවා.

වෙලාවට දහයයි, ආරම්භ කළා අපේ වැඩසටහන. එක් අයෙක් හැර සියල්ලොම සූදානමින් ඇවිත් එකතු වුනා.

“මොකද අද ටොම් පරික්කු?” හැමෝගෙම පුද්ගලික තොරතුරු වෙනත් අයට හඳුනාගන්න බැරි විදියට සඟවන ගමන්( ඒක සෞඛ්‍ය සේවය තුල නීතියක්) මට කියවුනා.

“ඇත්ත නේ? වෙනද අප‍ට ඉස්සර වෙලා තෝමස් මෙතැන” බ්‍රයන්ද කොහෙද උත්තර දෙනව ඇහුන.

ටොම්, නැත්නම් තෝමස් කියන්නේ අපේ ‍සේවාදායකයන් අතර ඉන්න හරිම අහිංසක,ජේෂ්ඨ මහත්මයෙක්. ඩිමෙන්ෂියා රෝගයේ මුල් අවධියේ පෙළෙන වයස අවුරදු හැත්තෑවක් විතර වෙන ඔහු, වියපත් ප්‍රජාව වෙනුවෙන්ම තිබෙන නිවාස සංකීර්ණයක ස්වාධීනව ජීවත් වෙනවා. තනිව වැඩපල කරගන්න තවමත් පුළුවන්.

ටොම්ගේ පමාව ගැන හිතමින් අවශ්‍යය සූදානම් විම වෙන අතරේ, මගේ පරිගණකය මත පෙන්වනවා ඔහු අප සමඟ එකතු වීම සඳහා සූදානමින් ඉන්න බව. දැන් ඔක්කොම හරි, ඉක්මණට ඔහුව ඇතුළු කරගන්න ඕන.

“කොහොමද ටොම්, හරි රස්නෙයි නේද? හැබැයි හරිම ලස්සනයි දවස” කණ්ඩා‍යම වෙත ඔහුව පිළිගත්තා, වෙනද ගිරව වගේ කතාව පටන් ගන්න ටොම් අද ටිකක් වෙලා ගත්තා.

“ඔව් මයික්, දවස නම් ලස්නයි ඒත්...මට පුළුවන්ද ඔයත් එක්ක ටිකක් වෙනම කතා කරන්න.” ඔහුගේ‍ මුහුණේ හැඟීම් වල නම් ලොකු වෙනසක්‍

“අපොයි පුළුවන්, අපට‍ තව වෙලාව තියෙනවා අප වැඩස‍ටහන පටන් ගන්න, මම එන්නම් ටොම් එක්ක breakout room එකට” උත්තර දුන්නා. Breakout room කියන්නේ මේ තාක්ෂණය තුල කණ්ඩායමෙන් වෙන වෙලා තනිව හමුවෙන්න ඇති පහසුකමක්.

දැන් මමත්, තෝමස් මහත්තයත් විතරයි බ්‍රේකවුට් රූම් එක ඇතුලේ.
“මගේ හිතට හරි නෑ මයික්, සැන්‍ඩ්‍රාට යන්න වුනා ‍LTC එකට. සිකුරාදා තමයි එයාල රූම් එක රෙඩි කළේ. එයාට යන්න වුනා සෙනසුරාදා. ගියේ නැත්නම් තව කාළයක් බලාගෙන ඉන්න වෙනවලු. එයා ගිය එක හොඳයි, ඒත් දැන් මට කවුරුවත් නෑ මයික්. දුව නම් ඇවිත් බලල යන්න එනවා, ග්‍රොසරි කරනවා. ඒත් සැන්‍ඩ්‍රා නැතිව මට හිතට අමාරුයි.” ටොම් දිග සුසුමක් හෙලුව, තවත් මොනවදෝ කියන්න තියෙන නිසා ඔහුගේ හිත නිදහස් කරගන්න මම නිහඬව හිටියා. සැන්ඩ්‍රා කියන්නේ ටොම් ගේ බිරිඳගේ මරණයෙන් පස්සේ ඔහුගේ තනියට හිටිය හිතවතිය. ටොම් කියන විදියට ඔහුගේ පෙම්වතිය. ඇයගේ විවාහයෙන් දික්කසාද වෙලා දැනට වසර කිහිපයක් තිස්සේ ටොම්‍‍ගේ පෙම්වතිය වුනු ඇයට, පසුගිය මාස කිහිපය තුල ඇතිවුනු ස්නායු ආබාධයක් නිසා ගිලීමේ අපහසුතාවක් ඇතිවීම නිසා අපේ සෞඛ්‍ය කණ්ඩායම තීරණ්ය කරනවා ඇයට පැය විසි හතර පුරාම සෞඛ්‍ය පහසුකම් ලැබෙන විශේෂීත ආයතනයක Long Term Care (LTC) නිවසක් ලබා දෙන්න. කෙ‍හොම වුනත් පවතින සීමාවන් එක්ක, දෙදෙනාටම එකම නිවසකට යන්න වුනේ නැහැ. ටොම්ගේ තත්ත්වය ඒ තරම් දරුණූ නැති නිසා ඔහුට සිදුවෙලා තමන්ගේ නිව‍සේ රැඳිලා ඉන්න. මේ තත්ත්වය වියපත්වීමේදී බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්.

දිග නැවතීමකට පස්සේ ...

“මයික්,බැරිද මටත් ඒ LTC එකටම යන්න. දැන් මට මේ අපාර්ට්මන්ට් එකේ තනියම ඉන්න බෑ. කවද හරි යන්න එපායැ. මමත් යන්නම් ඒකටම, එත‍කොට මට ආයෙත් මගේ පෙම්වතී එක්ක ඉන්න පුළුවන්.” ටෙ‍ාම් කලේ ඉල්ලීමක්ද, අවනඩුවක් දි කියල හිතාගන්න එක ටිකක් අමාරු වුනා.
“ටොම්, මේකනේ තත්ත්වේ. සැන්ඩ්‍රාගේ තත්ත්වෙත් එක්ක LTC එක ලැබුණත්, ඔයාට ඒ විදියේ හදිසි අවදානමක් නැති නිසානේ මෙහෙම තීරණයක් ගන්න ඇත්තේ‍. අපට බැරිද හැමදාම ගිහින් එයාව විසිට් කරල බලල එන්න. මම ඒකට ඇරේන්ජ්මන්ට් එකක් හදල දෙන්නම්, ලන්ච් එකත් සූදානම් කරලා දෙන්නම්. එතකොට ඔයාලට උයන්න, ඕනත් නෑ. සැන්ඩ්‍රා එක්ක ඉන්නත් පුළුවන්.” මම, මගේ සීමාව තුල කළ හැකි දේ පැහැදිලි කළා.

“අනේ නෑ මයික්, ඒත් මට කවුරුවත් නෑනේ, අපි දෙන්න හරි ආදරෙන් හිිටයේ, එයා නැතිව මට මෙතන නිදාගන්න බෑ.සැන්ඩ්‍රා එයා පොඩි කෙල්ල ව‍ගේ හුරතලේ.මට එයාව දකින්නෙ නැතිව ඉන්න අමාරුයි, මයික්ට හිතාගන්න පුළුවන් නේ මගේ හැඟිම. මට තනියි, ඒ විතරක්ම නෙවි”

“ඔව් ටොම් මට දැනෙනව ඔයාගේ හැඟීම්, ඒත් සමහර නීති රීති එක්ක සීමාවන් තියෙනවා නේ. හරි, ඔයා දැන් සැන්ඩ්‍රා එක්ක එකට ඉන්න අරගෙන අවුරුදු..?”

කතාව අවසන් කරන්නත් ඉස්සර ටොම් පැන්න,

“මේ මාසෙට අවුරුදු දෙකක් වෙනවා,” 

මේ කතාව තවත් ටිකක් දුරගියා,සාකච්ඡා වුනු සමහර දේ කපා හැරියා. අවසානයේ compassionate grounds කියන නීති රාමුව ඇතුලේ කළ හැකි උත්සාහයක් දරන්න පොරොන්දු වෙලා අපි දෙන්නත් ගියා අපේ කණ්ඩායම් වැඩසටහනට.

මට මේ කතාබහ අවසන් වෙලා ගෙදර ආවම කල්පනා වුනේ මේ මිනිස්සු ආදරය,ලිංගිකත්වය ගැන කොයිතරම් විවෘතද කියල. විශේෂයෙන්ම ආදර සබඳතා ගැන තිබෙන්නේ කොයිතරම් විවෘත අදහස්ද?

අපේ රටවල දරුවෙක් අවුරුදු විස්සක් විසිපහක් වෙනකම්,ආදරය,ලිංගික හැඟීම් වගේ දේවල් බලෙන් තද කරගෙන මැජික් කරගෙන ඉන්න උනන්දු කරවන පරිසරය වගේම, වියපත් වුනා‍ට පස්සේ “ආදරය,ලිංගික හැඟීම්” කියන දේ තහනම් වචනය කරල, “ඊළඟ යන තැනකට” බලෙන් සූදානම් කරවන පරිසරයක් නොවැ තිබෙන්නේ. තව විදියකින් කිව්වොත් හැට පැන්නට පස්සේ කවුරු හරි තාත්ත කෙනෙක් හරි අම්ම කෙනෙක් හරි කතා කළොත් “ආදරය,ලිංගික අවශ්‍යතා” ගැන මොන පවුකාර වැඩක් , නැත්නං මහ වල්කමක් විදියට හිතන අය කොයිතරම්ද?

ඒත්, වියපත් අයට “ආදරය සහ බැඳුනු ලිංගික අවශ්‍යතා” තිබේද? එහෙම නැත්නම් හැටපැන්න අයට ලිංගික එක්වීමේ කැමැත්තක් තිබෙනවාද? ඒක හරිද? සමහර විට අපේ සමාජය තුල සාකච්ඡා නොවන මේ මාතෘකාව ගැන මගේ විෂය සීමාව තුල කතාවක් තමයි අද මේ කරන්න හදන්නේ.
හැට පැන්නම සෙක්ස් ඕනද?

ඔව්, ලිංගික හැඟීම් කියන දේ , ලිංගික අවශ්‍යතාව පුද්ගලයෙක්ගේ ජීව ක්‍රියාවල තවත් එක් අවශ්‍යතාවයක්. සංස්කෘතික ආගමික වගේ සංකල්ප වලින් එළියට එන එක නැවැත්වුවත්, එම අවශ්‍යතාව ඔහුට හෝ ඇයට තිබෙනවා. කුඩා වයසෙ සිට වියපත් වීමේදි, වයසත් එක්ක මේ අවශ්‍යතවය ඉහළ ගිහින් එක්තරා සීමාවකදි යම් අඩුවීමේ සීමාවකට ආවත්, මේ අවශ්‍යතාව සම්පුර්ණයෙන්ම නැතිව යන්නේ නැහැ. වියපත් වීමත් එක්ක ඇතිවන, සෞඛ්‍ය ගැටළු ලිංගික එක්වීමකට යම් සීමා ඇති කළත් ඒ හැඟීම්වලට බාධාවක් නැහැ. හඳුනාගත් සංඛ්‍යා දත්ත එක්ක බැලුවම, වයස 75-85ත් අතරේ වැඩිහිටියන්ගෙන් 25%කට වඩා ලිංගිකව සක්‍රියයි. ඒ වයස අවුරුදු 65-74 වෙත්දි අදාල අගය 50%කට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ දරුවන් එක්ක කතා නොකළත්, මේ වයස් වල ඉන්න වැඩිහිටියන්ට ලිංගිකව එක්වීම අවශ්‍යතාව තිබෙනවා. එය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක්. නමුත් පෙර කී පරිදි වියපත් වීමත් එක්ක ඇතිවන ශාරීරික වෙනස්වීම් එක්ක ඇතිවන විවිධ අපහසුතා මග හරින්නට ඇති ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීමට මේ වැඩිහිටියන් දැනුවත් වීම වැදගත්. උදාහරණයක් ආර්තවාහරණයෙන් පස්සේ කාන්තාවගේ යෝනි මාර්ගයේ ඇතිවන වියළි ස්වභාවය පාළනයට තිබෙන ඊස්ට්‍රජන් ආලේපන වර්ග වගේම පිරිමි කෙනෙකුට ඇති විය හැකි ශිෂ්ණය සෘජුවීමේ අපහසුතා සඳහා වන ප්‍රතිකාර ගන්නට පුළුවන්.

කෙසේ වුවත්, වියපත් වීමේ ඇති වන හෘදයාබාධ තත්ත්ව වලදි නම් මේ ලිංගික කටයුතුවලට පෙර වෛද්‍ය උපදෙස් ගන්නට යොමු වීම හරිම වැදගත්. ඒකෙන් කියන්නේ හෘදයාබාධ වලට පස්සේ ලිංගික කටයුතු එපා කියන එකම නොවෙයි. වෛද්‍ය උපදෙස් මත යම් සීමාවන් සහ වෙනස්කිරීම වලට එන්න වේවි. මෙතැනදි වැදගත්ම දේ ලිංගික කාර්යය කියන්නේ, ලිංගික සංසර්ගයම විතරක නොවෙයි.

දැන් අපි ටිකක් බලමු වියපත් අය අතරේ සිදුවන ලිංගික කාර්යයන් වලින් ලැබෙන වාසි මොනවද කියල?

ලිංගික කාර්යයන් එක්ක රැධීරයේ ඉහළ යන ඩොපැමින් සහ ඔක්සිටොසීන් මගින් අදාල පුද්ගලයන්ගේ ස්නායු පද්ධතිය තුලට වන බලපෑම නිසාවෙන් සතුට,බලාපොරොත්තුව සහ කැමැත්ත වගේ ධනාත්මක හැඟීම් වැඩි කරගන්න උදව්වෙනවා. එය වියපත් වීමත් එක්ක මතුවිය හැකි මානසික රෝග වලින් ඔවුන් බේරා ගන්න උදව්වෙන බව හඳුනාගෙන තිබෙනවා.
අදාල කටයුත්තෙදි ඉහළ යන ටෙස්ටොස්ටෙරොන් මගින් වියපත් වීම සමඟ පුරුෂයන්ගේ ඇතිවිය හැකි පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිත රෝග පමා කරගැනීමටත්, හෘදයාබාධ අවදානමේ අඩුවක් කරගැනීමටත් හැකි බව පර්යේෂණ මගින් හදුනාගන්නවා.
මේ ‍භෞතික වාසි වලට අමතරව මානසික වශයෙන් ප්‍රීතිමත් ජීවන රටාවක් පවැතීම, තම විවාහක පාර්ශව සමඟ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ ප්‍රවණතාව, වගේම ජීවිතය පිළිබඳව ධනාත්මකව ඉදිරියට මුහුණදීමේ හැකියාවක් දියුණූ වන බව තහවුරු කරගෙන තිබෙනව.


ඒ කියන්නේ මේ වියපත් කාළයේ සිදුවන ලිංගික කාර්යයන් මගින් ලැබෙන්නේ වැඩි වාසියක්. මෙතැනදි නැවත මතක් කළ යුතු වැදගත්ම දේ ලිංගික කාර්ය කියන්නේ සංසර්ගයම ‍පමණක් නොවන බව. හුරතල් වීම, ශරීරයන් ස්පර්ශ කිරීම, තම ලිංගික හැඟීම් වාචිකව තමන්ගේ අනෙක් පාර්ශවය වෙත සතුටක් ගෙන එන ලෙස යොමු කිරීම වගේ සියල්ල මීට ඇතුලත්.
මේ නිසා, මේ ලිපිය කියවන ඔබෙන් කරන්න තිබෙන ඉල්ලීම වන්නේ, සමහර විට ඔබේ මව, පියා නැත්නම් සීයා ආච්චි ටිකක් ලිංගික්වයට බර විහිළුවක් එකිනෙකා අතර හුවමාරු කරගත්තොත්, නැත්නම් තාත්ත කෙනෙක් ලිංගිකත්වය උත්දීපනය වන වීඩි‍‍යෝවක්, පිංතූරක් දැක්ක පමණින, මේ මිනිස්සු මහ “වල් කුපාඩි නරක පවුකාර” වගේ වචන වලින් වහන්න එපා. ඒ සාමාන්‍ය මානුෂික හැඟීමක්. වෙනත් අයෙක්‍ට මානසික හෝ කායික හානියක් නැත්නම් අදාල වියපත් යුවලට ඒ හැඟීම, රසය විඳින්නට දෙන්න. එය ජීවිතයේ ඇත්ත බව පිළීගන්න.

වියපත්වීම කියන්නේ මේ ලිංගික හැඟීම් බලෙන් හිර කරලා (හරියට පුංචි කාළෙ ව‍ගේ) ඊළඟට යන තැනකට “පින් පුරවන හිස් බාල්දි ගාණට” දාන්න එපා. කරන පිනක්, යනවා නම් යන තැනකට වැඩක් කරගන්න ඕන වියපත් වුනාම නොවේ, දැනුම් තේරුම් ඇති දවසේ සිට කළ යුත්තේ ඒ පින, ඒ කිව්වෙ යහපත් දේ. වියපත් වීමත් එක්ක ඇතිවන වෙනස්කම් එක්ක සමාජය නැත්නම් දරුවන්ගේ බලපෑම් එක්ක “බලෙන් හිත හිර” කරගෙන ඉන්නවාට වඩා, තම ජීව හැඟීම් විඳින එකයි වැදගත්‍.

අන්න ඒ ගැනයි මට මේ ලිපිය ඇතුලෙ කතා කරන්න වුනේ‍.මගේ මේ වෘත්තීය කාළ සීමාව ඇතුල‍ෙ යම ලිංගික ජීවිතයේ වෙනස්කම් සහ ඕනෑ එපාකම් ගැන කතා කළ වියපත් ‍සේවාදයකයන් අතර ඉහළම වයසක හිටියේ අවුරුදු අසූවක තාත්ත කෙනෙක් සහ ඔහුගේ බිරිඳ පහළම වයසෙ පුද්ගලයා වුනේ අවුරුදු පනහක පුද්ගලයෙක්. ඔහුගේ අවශ්‍යතාව වුනේ, තම ‍සෞඛ්‍ය ආයතනය තුල නිවසේදී පෝර්න් වීඩියෝ බැලීම තුල ඔහුට නීතිමය ගැටළුක් ඇතිවේද කියන එක. මේ අතරේ සියගණනක් අම්මලා තාත්තල තමන්ගේ “ජීව අවශ්‍යතාව” ගැන අපත් එක්ක කතා කරලා තිබෙනවා. ඒ අතරේ වැඩි පිරිසක් මේ රටවල අය වුනත් ඉන්දියානු සංස්කෘතිය තුල වියපත් වුනු මවු පියවරුත් තම ගැටළු විවෘතව කතා කරන්න පෙළඹීලා තිබුණා. 

නිමාවට පෙර සතුටුදායක ආරංචියක් බෙදා ගන්නත් පුළුවන් වුනා. ඒ අර අපේ කතාවේ ටොම්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මා යොමු කළ ඉල්ලීම සළකා බලන්නටත්, ඉදිරි සති ‍දෙක තුල අවශ්‍ය අගැයීම කරල අදාල සෞඛ්‍ය ආයතනයේම ඒකකයක් ඔහු වෙනුවෙන් ලබා දෙන්නට ඇති ‍හැකියාව සොයා බලන්නටත් බලධාරින් කැමැත්ත පළකරලා ඊමේලයක් එවා තිබුණා. හෙට දවසේ මේ “සතුටුදායක බලාපොරොත්තුව” ට‍ොම්ට දෙන අපේක්ෂාවෙන් අදට සමුගන්නවා.

සුබ දවසක් ඔබට!

(කතාව ඇත්ත වුවත්, සේවාදායකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ව්‍යාජ නම් භාවිත කර ඇත)