මා ගැන

“සිංහල බ්ලොග් කළාව යනු digital spaceහි ශ්‍රී ලාංකික ඔබ මා වෙනුවෙන්ම වෙන්වූ සුන්දරතම බිම් කඩකි" යි , මම සිතමි .විටක එතුල සුන්දර සිනවන් දෝරෙ ගලා යත්දි , තවත් විටෙක සහෘදයා පිළිබඳ සංවේදී බවෙන් පිරීගිය හෘදයාංගම මිත්‍රත්වයේ සුවඳින් පිරී යන්නේය එලෙසින්ම ආදරයේ සුන්දර හැඟීම් වලින් සාරවත්ව සුන්දර පැතුම් දළුලා වැඩෙන්නේ සුන්දර බිම් කඩ තවත් සොඳුරු කරමිනි . මේ සොඳුරු බිමේ ....පන්සලක , පල්ලියක හෝ කෝවිලකදී ලැබෙන , දැනෙන සිත් සුවයම විඳිය හැකි අධ්‍යාත්මික ගරු බිම් බොහෝය ,  කැටපෝලයේ පටන් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ද කුස්සියේ ලුණු පොල්කට්ටේ සිට ඔබේ උකුලේ සුවයෙන් රැදී සිටින Laptop එක දක්වා ඇති  තාක්ෂණයය  පිළිබද ඔබේත් මගේත් දැනුම් පිපාස සන්සිඳුවන දැනුම් දැනුම් උල්පත්  බොහෝය ...  ඉතින් මේ සරු බිමින් නිසි පලදාවන් නෙලා ගැනීමේ වගකීම ඔබ මා සතුය..

මේ කවුද ? ....මොනවද කරන්නේ ? ..

මම නමින් “මහේෂ්“ , නමුත් රාජකාරි කාළයේ මා හැඳින්වූයේ “නිශාන්ත“ නමින්  කෙසේ වෙතත් ,   ආදර බිරිඳකගේ ආදරයේ වගකීමද , දුවණියන් දෙදෙනෙක්ගේ පිය සෙනෙහසේ වගකීමද  ලද මම, ගාල්ල රජයේ හෙද පුහුණු විදුහලෙන් වසර තුනක  හෙද ඩිප්ලොමාව ඉන් පසු පිළිකා පිළිබඳ විශේෂ පුහුණුවක්ද සහිතව  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද නිලධාරීවරයෙක් ලෙස රාගම සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය වසර දහයකට වැඩි කාළයක්  රාජකාරීමය වශයෙන් , ශල්‍යාගාර , පිළිකා ඒකක, ස්නායු ශල්‍ය ඒකක, හෘද දැඩිසත්කාර සහ ඒකළන ප්‍රතිකාර වැනි විශේෂ එකක් තුල කටයුතු කළ අතර , ඉන් අමතරව , ජාතික ආධූනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවන , ගාල්ල සමුපකාර හෙද විදුහලේ වැඩසටහන් සම්බන්ධිකාරකවරයා ලෙසත් , දේශකයෙකු සහ පුහුණු උපදේශකයෙකු ලෙසත් සේවය කළෙමි. 

අද , සිරි ලංකාවෙන් ඈත , සීතල කැනඩාවේ රාජ්‍ය සෞඛ්‍යය සේවයේ "විශ්‍රාන්ති  චිකිත්සකවරයෙක් සහ අදාල ප්‍රතිකාර අංශයේ  ප්‍රධානී“  ලෙස  ටිකක් අව්වේකීව   කටයුතු කළත්  , ඉඩ ලද විවේකය ,  මගේ සිසු දරුවන්ගේ  සේම මගේ සේවා ලබන්නන් ද කාළයක් තිස්සේ ..වරින්වර කළ ඉල්ලිමක සුන්දර පෙළඹවීම් නිසා මා ඇරඹූ “සොඳුරු සුව අසපුව“  තුල  රැඳී සිටින්නට උත්සාහ කරමි. 



සොඳුරු අතීතය 

Commodore 64
ඒ ඉඩ ලද විවේකය පවා පවා රැඳෙන්නේ ,  අහංගම ධර්මාරාම කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ගත් මට එක් දහස් නමසිය අසුපහේ සිට  ,අනු තුන දක්වා  ද්විතීක අධ්‍යාපනය දුන් පසු  කතළුව මධ්‍ය මහා විද්‍යාලයේදී මගේ ආදර පීරිස් සර්ගේ සහ ආනන්ද සර්ගේ පෙළඹවීමෙන් Commodore 64 පරිගණකයෙන් පරිස්සමින් අරගෙන ආ cassette  එකෙන් හෝ  five and quarter diskette එකෙන්  පිවිස මෙතෙක් core i7 දක්වා හසුරවමින් අත්විඳි digital අවකාශයේ සුන්දර ඉසව්වේමය ....



ඒ මොහොතද තවකෙක් දැනුවත් කිරීමේ මගේ විනෝදාංශය කරන්නට තැත් දරමි ,එතැනදි , මේ “දැනුම බෙදා දීමෙන් ලැබෙන්නා වූ රසය“ ගැන මට මුලින්ම කියා දුන් ඒ සඳහා මගේ දහම් පාසල වූ අහංගම ශ්‍රී මහින්ද දහම් පාසලේ දරුවන් වෙත අකුරු කරවන්නට මට අවස්ථාව දුන් , නායකත්ව හැකියාවන් සොඳුරු ලෙසින් “අපටත් නොදැනෙන ලෙස“ අප සිත් තුලට  රිංගවූ  අහංගම මහාවිහාරයේ අපේ ගරු ලොකු හාමුදුරුවෝ , පූජ්‍ය රැකව අස්සජි හිමියන් නැවත් නැවතත් සිහිවේ .



සටහන ගැන ..


මෙම බ්ලොග් සටහන කිසිදු වාණිජමය අරමුණකින් තොර වන අතර හුදෙක් දැනුම බෙදා ගැනීම මූලික අරමුණු කොට ඇත්තේය.එමෙන්ම කිසිදු අවස්ථාවක මෙහි සමාජි විරෝධී හෝ අසභ්‍ය යැයි සමාජය පිළිගන්නා කිසිදු කරුණක් හෝ සේයාරුවක් වත් පළ නොකෙරෙන අතර ඕනෑම අවස්ථාවක කුඩා දරුවකුට වුවද රසවිඳය හැකි සහ දැනුම තබා ගත හැකි අයුරින් සටහන් තනන්නට නිබඳ උත්සාහ ගන්නේ , මගේ සටහනේ පළමු රස විඳින්නා මගේ බිරිදත් , මගේ දියණිවරුන් දෙදෙනාත් වන නිසාම පමණක් නොවේ , එය සමාජීය යුතුකමක් සේ මා සළකන හෙයිනි.එමෙන්ම යම් තාක්ෂණික ගැටළු වල බලපෑම හැරෙන්නට මගේ “සුන්දර සිංහල භාෂාව “දන්නා පමණ නිවැරදිව හසුරවන්නටත් , නිසි තැන්හි ඉංග්‍රිසි පද භාවිත කරන්නටත් මම නිබඳ වෙහෙසෙමි .

තවද මෙම සියළු සටහන් හෙවත් සාකච්ඡා ලෙසින් නම් කරමින් පවතින්නේ , තව තවත් දැනුම ලබා ගැනිමේ මගේ නොනිමෙන සා පිපාසාව නිසාවෙනි , තවදුරටත් කියතොත් මෙම සාකච්ඡා සියල්ල ඔබට විවෘතය , ඔබේ අදහස් මා ඉල්ලා සිටින්නේ පෙර කී ආත්මාර්ථය නිසාවෙන් මිස වෙනකක් නිසා නොවේ .

ලියන්නට දේ ..

 මේ සියළු ලිපි  සාකච්ඡා එදිනෙදා සිදුවන සිදුවීම් මත ගොඩනැගුනද එහි සිද්ධාන්ත කරුණ සූරා ගනු  පිණිස  , වසර දහහතරක මගේ පෞද්ගලික  වෘත්තීය  අත්දැකීම් මෙන්ම අන්තර්ජාලයේ ebook වල පටන්  Davidson's Principles & Practice of Medicineවැනි පොත පත මෙන්ම http://www.who.int ,  http://www.mayoclinic.com ,  http://www.webmd.com    ,http://www.cdc.gov/ වැනි ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍යයට අදාල යාවත්කාළීන දත්ත සහ පර්යේෂණ වාර්තා අඩංගු වෙබ් අඩවි වල අළුත් තොරතුරුද  අනෙක් දැනුමැත්තන්ගේද අදහස් උපදෙස් මෙන්ම ඔබේ අදහස් ලබා ගනිමි . කේසේ වෙතත් , මෙම ලිපි ලියැවෙන්නේ අදාල රෝග තත්ත්වය හෝ , ගැටළුවට අදාලව අද , වර්තමානයේ පිළිගත් සහ පර්යේෂණාත්මකව පැහැදිලි කළ කරුණූ අනුසාරයෙන් වන අතර , ඉදිරි දිනකදි , නව වෛද්‍ය සොයාගැනීම සමඟ මෙහි සටහන්ව ඇති සමහර කරුණු නොගැලපෙන්නට ඉඩත් තිබීමට ඉඩ ඇති නිසාවෙන්  හැකි හැම විටම , නව තොරතුරු සාවත්කාළීන කරන්නට උත්සාහ කරමි.



ස්තුතියි ඔබ සැමට ..


තවදුරටත් ඔබව සමඟින් එක්වෙමින් මගේ ජීවිතයේ වටිනාම සම්පත් ඔබ ඉදිරියේ ගෙන දක්වන්නේද , ඔබ මා අතර මේ හෘදයාංගම මිත්‍රත්වය තවත් සවි කරනු අටියෙන්ම පමණකි.මෙය කිසිසේත් නිසරු කයිවාරුවක් පමණක් නොවනු ඇතැයි මා සිතන්නේ මෙය මා කළ යුතු යුතුකමක්සේ හැඟෙන හෙයිනි. මක් නිසාද වෛද්‍ය විද්‍යාත්මක බ්ලොග් සටහනක් කරන්නට අවශ්‍ය අධ්‍යාපනික සහ වෘත්තීය පසුබිම මා හට පවතින බව ඔබ හඳුනාගැනීම , මෙවන් ලිපි වලදි වැදගත් වන නිසාවෙනි.


 හදා දුන් තේ එකට කුඹි වසන තුරු මට එය අමතක වුනු කළ , තව තේ එකක් හදා දෙමින් මේ සියළු ලිපිවල පළමු රසවිඳින්නා වෙමින් සහ විවේචකයා වෙමින්ද මා අසල රැදෙන මගේ ආදර බිරිදටත් , මගේ සිතට නිබඳ මාතෘකා උපයා දෙමින් , ඔවුන් සමඟ සෙල්ලම් කරන්නට  ඇති වෙලාව පරිගණකය ඉදිරියේ මා කරනා "භාවනාවට" උපකාර කරන මගේ “ලොකූ දුව“ - දිනිතිටත් ----“චූටි දියණිය,“    මිතිලිටත් මගේ ස්තුතිය පිදිය යුතුම වේ ....



ඉල්ලීමක් ! 


 මෙහි කරුණු වෙනත් සත්කාර්යයක් සඳහා යොදා ගන්නේ නම් එහිදී මෙම බ්ලොග් සටහන ගැන සඳහන් කරන ලෙස ඔබගෙන් කාරුණිකව  ඉල්ලන්නේ , එමගින් තවදුරටත් මෙම සටහන ප්‍රජාව අතරට ගෙන යා හැකි බැවින් වන අතර එයද සමාජ යුතුකමක් සේ දකිමි.

 එසේම මෙය සාරවත් යැයි ඔබට හැඟේ නම් පමණක් ඔබේ තවත් මිතුරු , මිතුරියන් වෙත මේ පිළිබඳ දැන්වත් කරනු ඇතැයි මම සිතමි  , ඔබේ එම ගෞරවනීය දායකත්වය මෙම සත්කාර්යය සාර්ථක කරගැනිමට උපස්ථම්භක්ම වනු ඇත.


සමුගනිමි , එන්න දැනුවත්වෙන්න ...

--------------මෙතෙක් ආ ගමන් මගේ මතක සටහන් ----------------------


“ජීවිතේ යහමග මෙයයි“ අපට දෙසූ  පින්වත් මාගාල්ලේ ධම්මික හිමියන් සහ අපේ ලොකු හාමුදුරුවෝ රැකව අස්සජි හිමිපානන් .(පිංතූරය Kapila Teatours උපකාරයෙන්) 

ගම ..අහංගම 


මගේ අනාගතය හැඩගැස්වූ කතලුව මධ්‍ය මහා විද්‍යාලය

ආනන්ද සර් සහ පීරිස් සර් - මගේ ආදරණීය “ගුරු පියවරු“



පාසල් කාළේ දවසම ගත කළ ..කතළුව කොග්ගල ඔය ගාව වෙරළ තීරය 

--------------------------------------------------------------------------------------------------


අද සිටිනා තැනට මග පෑදු තැන ...ගාලු හෙද විදුහල


සෞඛ්‍ය සේවයට පා තැබූ මුල්ම තැන 


වෘත්තීය ජීවිතයේ වඩාත්ම සතුටක් ලැබූ ඒකකය ‍, පිළිකා ඒකකය කරාපිටිය  රෝහල 

දෙවැන්න , හෘද දැඩිසත්කාර ඒකකය , කරාපිටිය ශික්ෂණ රෝහල 

මගේ අවසන් සොඳුරු බිම්කඩ - ඒකලන ප්‍රතිකාර ඒකකය
ඡායාරූප - අන්තර්ජාලයෙන්
--------------------------------------------------------------------------------------------------
මගේම නොවුනු ඒත් “මගේම වුනු “ ... අනෙක් දරුවන් පිරිස 




සොඳුරුතම කඩඉමක අවසන හමුවු දරු කැළ - නිමාවන තෙක් රැඳෙන්නට නොවූ