හැම ජීවියෙක්ටම පොදු ජීව ලක්ෂණයක් අප ඉගෙන ගත්තා හයේ හතේ පන්ති වලදි , ඔබට මතකද මන්දා? (අපට ඉගැන්නුවේ අරුණලතා ගුරුතුමිය, ඔබට මතකද ඔබේ ගුරුවරයා කවුද කියල?) ඒ , සංවේදීතාව එහෙම නැත්නම් උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව. එය ජීවියා සංකීර්ණ වන්නට, එහෙම නැත්නම් ජීවියාගේ ස්නායු පද්ධියේ සංකීර්ණත්වය වැඩි වෙත්දි, වේදනාවට/හානිකර බවට සංවේදීකම (nociception) සිට, " සවිඥානක වේදනාව" conscious pain නමින් වෙන්කර හදුන්වන සංකීර්ණ අවස්ථාව දක්වා එනවා. දැන් ඉතින් මිනිස්සු, අපි බොහාම සංකීර්ණ ස්නායු පද්ධිතයක් හිමි අයනේ. (සමහර වෙලාවට ඕක හරියට පාවිච්චි නොකළත් 😉) ඒ නිසා, මිනිස්සු වන අපට ඔය සවිඥානක වේදනාව තවත් කොටස් කරල , චිත්තවේගීය වේදනාව එහෙම නැත්නම් කායික වේදනාව වගේ එක එක හැඩයෙන් තේරුම් ගන්නටත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, එහෙම හදුනාගත්ත වේදනා වර්ග ටික, මොළයේ හෝටල් කාමර (මොළ හෝටලේ) වල දාල පරිස්සං කරල තියා ගන්නත් හැකියාවක් අපට තියෙනවා.
මෙහෙම පරිස්සං කරල තියා ගන්න එක, අනෙක් සංකීර්ණ ජීවීන්ට වගේම අනාගතයේ විය හැකි අවදානම් වලින් ආරක්ෂා වෙන්න වැදගත් වුනත්, අපට දැනෙන වේදනාව, මොළයේ කාමරය ඇතුලේ තනියම ඉන්නේ නැති එක නොවැ ප්‍රශ්නේ. ඒ කිව්වේ, එයා , මොළයේ කාමරේට රිංගන්නේ, "වේදනාව+සිදුවීම" කියන විදියට ජෝඩු දාල. ඔය විදියට ජෝඩු දාල යත්දි "සිදුවීම" කියන දේ හරියට කියවනවා. එයාට මතකයි ඒ රිදුනු සිදුවීම, ඒ වෙලාවේ ඇඟට දැනුනු දේ, ඒ වෙලාව, ඒ වෙලාවේ අවට පරිසරය කොයිවගේද ..ඔය වගේ අදාල වේදනාව මුලින්ම මුණගැහුණූ වෙලාවේ සිදුවුනු හැමදේම "සිදුවීම"ට මතකයි.
දැන් වැඩේ තියෙන්නේ, කාමරේ ඇතුලට යන "වේදනාව සහ සිදුවීම" කියන ජෝඩුව කාමරේට වෙලා "නිකං ඉන්නේ නැතිකම. නිකං ඉන්නව කිව්වේ, ආයේ දඟලන්නේ නැතිව කාමරේට වෙලා සැපට නිදාගන්නේ නෑ. විශේෂයෙන්ම අර "සිදුවිම" කියන කෙනා. එයා කාමරේ හිටියට හැම තිස්සේම ඇහ ගහගෙන , කන තියාගෙන ඉන්නේ වටේ සිදුවෙන දේවල් ගැන. ( නෑ නෑ කාමරේ හංගපු කැමරා ඇති කියල නොවෙයි 😉)
හිතන්නකො, ඔය ඉන්න අතරේ "සිදුවීම"ට ඇහෙනවා, එයාගේ මතකයේ තියෙන වේදනාම මුලින්ම හමුවුනු දවසේ වුනු දේට සමාන හෝ ඊට ආසන්න යමක් අවට සිදුවෙන්න යනවා වගේ. ඔන්න දැන් මොළ කාමරේ ඉන්න සිදුවීම කළබල වෙනවා, "මේ මේ, මට ඇහෙනවා ඔයා මට මුලින්ම හමුවුනු දවසේ වුනා වගේම දෙයක්" නැගිටින්න, නැගිටින්න " කියල කෑගහන්න පටන් ගන්නවා. මේ කරච්චලේ ඇහෙන මොළ කාමරේ අනෙක් කාමර වල ඉන්න අයයි, නිදාගෙන හිටි සෙක්‍යුරිටි මහත්තයයි, ෆෝන් එක උඩ අත තියාගෙන නිදාගෙන හිටි රිසෙප්ෂනිස්ට් නෝනලයි ඔක්කෝම කළබල වෙනවා. දැන් මුළු මොළ හෝටලේම එකම කළබලයක්. ඔන්න ඔය අවස්ථාවට තමයි අප කියන්නේ trauma response එකක් කියලා.
අපේ ජීවිත ඇතුලේ අපට දැනුනු, හැඟුණූ වේදනාවන්, එයාගේ ආදරණීය "සිදුවිම" එක්ක අපේ මොළයේ හෝටල් කාමර වල දැනටත් ඉන්නවා. සමහර සැපට නිදි ඒත් අර කිව්ව "සිදුවීම" කියන කෙනා නිදි වගේ අපට වටා සිදුවන දේ අහගෙන , එක රෙද්ද අස්සෙන් එක ඇහැක් හරි දාගෙන වටේ වෙන දේවල් ගැන බලාගෙන ඉන්නවා. ඔන්න ඔය වගේ අපේ මොළ හෝටලේ කාමර වල ඉන්න trauma ගැන කතා කරන්න, ඒ "සිදුවීම" වලට කතා කරන්න අවස්ථාවක් දෙන්න "සිත් සුව අරණ" ඇතුලේ මේ මාසයම ප්‍රමුඛත්වයක් දෙනවා. එන්න කතා කරන්න. ඔබේ මොළ හෝටලේත් කාමර වල ඉන්න, "වේදනාව+සිදුවීම" ජෝඩු වලට කතා කරන්න උනන්දු කරන්න.
එහෙම කතා කරත්දි සමහර විට , සමහර trauma ජෝඩු ආයේ ඉතින් මේ කාමරේ ඉඳල වැඩක් නෑ කියල යන්න යාවි, ඒ අය හරිම ලේසියි . හැබැයි සමහර trauma ජෝඩු ඉන්නවා ඇදලවත් එළියට දාගන්න බැරි. අන්න ඒ වෙලාවට ඊට උදව් ගන්න ඕන චිකිත්සක සේවයක (Psychologist / Psychotherapist හෝ Mental health counsellor) උදව් අරගෙන ඔය කරදරකාර , එළියට දාගන්න අපහසු "වේදනා+සිදුවීම" කියන trauma ජෝඩු ටික එළියට දාගන්න බලන්න. එහෙම වුනොත්, අනාගතයේ ඔබට සුවයක් දැනේවි.
No comments:
Post a Comment
(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)