අද සමාජය තුල පුද්ගලයෙක්ගේ මානසික සෞඛ්‍යය කෙරේ, සෘජු නමුත් නොදැනෙන දැඩිම බලපැමක් කිරීමට සමාජ මාධ්‍යයන් සහ ප්‍රධාන මාධ්‍ය හේතු වෙනවා. එම නිසා, තම මානසික සෞඛ්‍යයට යහපත්, මධ්‍යය භාවිතයකට හුුරු වීම "තම ජීවිතය" වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයක් වේවි.
නිකමට හිතල බලන්න, ඔබ දේශපාලන ගැටළුවක් ගැන හොයන්න ගත්තොත් එතැනින් එහාට වෝල් එක පිරෙන්නේ සමාන ප්‍රශ්න වලින්, ඔබ ලේ වැගිරෙන, පහර දීමක් ගැන නැරඹුවොත්, එතැන් සිට ලේ වැගිරෙන, සටහන් යුද්ධ විනාශ ගැන ඔබේ ඇහ ඉදිරියේ තබාවි. මුදල් වෙනුවෙන් පවත්වා ගන්නා සියළු මාධ්‍ය කරන්නේ "ඉල්ලුමට සැපයුමක්" එය , සාම්ප්‍රදායික පැරණී මාධ්‍ය වලදී තවත් මිනිසෙක් අතින් හෝ නව මාධ්‍ය තුලදී, ස්වයංක්‍රීය ඇල්ගොරිද්මයකට පදනම්ව ආවත් සිදු වන්නේ එකම දෙයයි. ඒ , එම 'රතු" ලප අපේ හිත් වලට රැඳවීමක්.
මේ දෙදහස් විසි දෙක වුනත්, අපේ මනස ඇතුලේ තවමත් "ගල් යුගයේ" මානසිකත්වය යම් තරමකට රැදෙනවා. ඒ නිසා, විනාශයන්, අපරාධ, කැඩීම් බිඳීම් වල තොරතුරු හිත ඇතුලේ රැඳවෙන අවස්ථාව වැඩියි. මොකද, වන සතුන් , වෙනත් අවදානම් තුල,"ගල් යුගයේ" හිටි මූල් මිනිසා තම ආරක්ෂාව වෙනුවෙන්, "විය හැකි සහ සිදුවුනු" විනාශයන් මතක තබා ගත යුතු වුනා.
මේ ඔස්සේ, අපේ හිත "කෑදරකමින්" ඉල්ලන මෙවන් ප්‍රවෘත්ති වෙත යොමු වීම , අද දවසේ "නවීන ලෝකය" තුල ජීවත් වන අපේ මානසික සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ. ඒ , "ගල් යුගයට" වඩා,බරක් අපේ හිත් වල පැවතීම නිසාමයි.
මේ තුල , අද දවසේ මාධ්‍යයයන්, සමාජ මාධ්‍යයන් භාවිත නොකර යුතුයි කියන "අන්තවාදී ගල්" මතයක් ඔබ අතරේ තබන්නට නොවෙයි මගේ උත්සාහය. අද දවසේ මේ මාධ්‍ය/සමාජ මාධ්‍යය පවත්වා ගැනීම අවශ්‍යතාවයක්. ඒ වගේම, විශේෂයෙන්ම සමාජ මාධ්‍යය තුලින් යහපත් බොහෝ දේ කරන්නට පුළුවන්. නමුත්, එකිනෙකා හමුව පවත්වා ගන්නා "මානව සම්බන්ධතා" වලින් ලැබෙන මානසික සෞඛ්‍යමය වටිනාකම්, මෙවැනි මාධ්‍ය ඔස්සේ සිදුවන සම්බන්ධතා ඔස්සේ නොලැබෙන බව හඳුනාගෙන තිබෙනවා. එමනිසා, කුමන මාධ්‍ය භාවිත කළත්, "මිනිස් හමුවීම්, සහ පරිසරය සමඟ බැඳීම" පවත්වා ගැනීම ඔබේ මානසික සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් බව මතක් කරන්නටම අවශ්‍යයි.
මේ හේතු නිසාවෙන්, ප්‍රධාන මාධ්‍යය වගේම Facebook/Twitter/TikTok/Instagram වැනි ප්‍රධාන සාමාජ මාධ්‍ය වගේම, තවත් විශේෂිත සමාජ මාධ්‍යයන් ද "දැනුවත්ව" භාවිත කිරීම වැදගත්. විශේයෙන්ම එය, "සමාජ මාධ්‍යයක්" බව , එහි මූලික තාක්ෂණික කරුණූ සහ තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට පවත්වා ගත යුතු සීමා දැන එය භාවිත කිරීමයි, "ඵලදායි" භාවිතයක් වෙන්නේ. එහෙම නැත්නම් අර "වඳුරට දැළි පිහිය හම්බුනා වගේ" වීම සාර්ථක දෙයක් නොවෙයි.
එම නිසා, සමාජ මාධ්‍යය (සහ ප්‍රධාන මාධ්‍යය) ඔබේ මානසික සෞඛ්‍යයට හිතකර වන ලෙස, එහෙමත් නැත්නම් අහිතකර වීම අවම වන ලෙස භාවිත කරන්නේ කොහොමද කියල කතා කරමු දැන්.
- ඔබේ අවශ්‍යතා ප්‍රමුඛතාගත කරගන්න. - ඒ කිව්වේ , මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ අපේක්ෂා කරන අරමුණු ඇති නේ, විනෝදය වෙන්න පුළුවන්, සමහර විට රටේ තොටේ සිදුවන දේ දැන ගැනීම, නැත්නම් දේශපාලන ප්‍රවණතා, සමහර විට සිංදු අහන්න, විනෝද කතාවක් බලන්න, එහෙමත් නැත්නම් තමන්ට වැදගත් වන යමක් දැන ගන්නට වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ අපේ අවශ්‍යතා පිළිවෙලක් කරගත්තාම, අපට පහසුයි මොන වගේ මාධ්‍යය සමඟද සම්බන්ධතා පවත්වා ගත යුතු වෙන්නේ කියල සැලසුමක් හදාගන්නට.
- වගකීම සහ වගවිමක් දරන තැන් හඳුනාගන්න - දැන් ඔබේ අවශ්‍යතාවයන්ට අනුව, තොරතුරු ලබා ගැනීමට ඔබ සම්බන්ධ වන , follow කරන, සමාජ මාධ්‍ය පිටු, සමූහ, පුද්ගලයන් හෝ වෙබ් අඩවි ඇත්නම් ඒවාට ඒකවීමට පෙර, එහි අන්තර්ගතය හඳුනාගන්නට උත්සාහ කරන්න. මීට පෙර පළකර ඇති තොරතුරු කොයිතරම් දුරට පිළිගත හැකි මට්ටමේදැයි විමසීමක් කරන්න. ඒ තුල දේශපාලනික, ආගමික, වෙනත් "අන්තගාමී" රටාවක් නොදකින්නේදැයි විමසන්න. සියයට සියයක සමබරතාවයක් කිසිවකින් අපේක්ෂා කළ නොහැකි වුවත් යම් සාධාරණ මට්ටමක් ඇත්දැයි බලන්න. ඒ තුල පළ කර ඇති තොරතුරු "රැල්ලට " යාමට කරන පළ කිරීම් දැයි සොයා බලන එකත් වැදගත්. විශේෂයෙන්ම විවිධ ව්‍යාජ මත සමාජ ගත වීමට මෙම "රැලි" පැතිරීම හේතුවක්. මෙතෙක් පළ කර ඇති ලිපි තුලින්, මුදල් වෙනුවෙන්, විව්ස් වෙනුවෙන් ව්‍යාජ, හිත් ඇදගන්නා මාතෘකා යොදමින් "පොළඹවා ගැනීමක්" කරන මාධ්‍ය පිළිබඳ සැලකිළිමත්වන්න.
- ලෝකය සමඟ එක්ව දකින්න- ඔබ තෝරා ගන්නා මාධ්‍ය පිටු අතරට, ජාත්‍යන්තර ආයතන, ජාත්‍යන්තර මාධ්‍ය, යම් විෂය ක්ෂේත්‍රයකට අදාලව නම් එම විෂයේ ලෝකය පිළිගන්නා ආයතන වල පිටු සමඟද එක්වන්න. ඒ ඔස්සේ, අපට ලැබෙන තොරතුරු කොයිතරම් නිවැරදිද, අදට ගැලපේද කියන එක තෝරා බේරා ගන්නට උදව් වේවි.
- ඇබ්බැහියක් නොකර ගන්න- සමාජ මාධ්‍ය (හෝ ප්‍රධාන මාධ්‍යය) භාවිතය "ඇබ්බැහියක්" බවට පත් කරගැනීමෙන් වලකින්න. ඔබට එම "තොරතුරු රස" නැතිව ජීවත්වන්නට පුළුවන් බව දැනෙන්නට දෙන්න. ඒ වෙනුවෙන් තෝරා ගත් කාළ සීමාවක් පමණක් යොදන්න. ඔබේ මානසික නිදහසට බාධාවක් වන බවක සංඥා දැනේ නම් , අදාල මාධ්‍ය වලින් ඉවත් වී "විවේකයක්" ගන්නට හැකි "පෞරුෂයක්" ගොඩනගා ගන්න. FOMO එනම්, Fear of missing out තත්ත්වයෙන් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල මතුවන පණිවිඩ, තොරතුරු කියවීම "ඇබ්බැහිවීමක්" ඇති නොකරගන්න.
- මිතුරු ගොමු සැලසුම් කරගන්න- බොහෝ සමාජ මාධ්‍ය වල තොරතුරු බෙදී යාමේදි මිතුරු කණ්ඩායම් හෝ සම කණ්ඩායම් සැකසීමක් සිදුවන නිසා , එතැනදී ඔබේ මානසික සෞඛ්‍යයේ යහපත වෙනුවෙන් "තෝරා ගැනීමක්" කරන්නට පසුබට නොවන්න. මක්නිසාද, අයෙකුගේ මානසික සෞඛ්‍යය කෙරේ එම පුද්ගලයාගේ වටපිටාව, සම්බන්ධ වන මිනිස් සම්බන්ධතා ඉහළ බලපෑමක් කරන නිසා. "හොඳම" කියන වචනය නොව මධ්‍යස්ථ, විවෘත, පරිණත මට්ටම තුල මිශ්‍ර කණ්ඩායමක්වත් තෝරා ගන්න. අවම වශයෙන් "අන්තවාදී" මානසිකත්වයෙන් පෙළෙන , සෘණෘත්මක පිරිස අඩුවෙන් තෝරා ගන්නට කටයුතු කරන්න.
- "සංස්කෘතික මිනිසෙක්" ලෙස රැදෙන්න- තෝරා ගත් මාධ්‍ය තුල ඔබ, හැකිතරමින් ,අද ලෝකයට ගැලපෙන "මිනිස්කම" ඇති සාමාජිකයෙක් ලෙස හැසිරෙන්න. මක්නිසාද, ඔබ යම් හේතුවක් නිසා "වෛරය" වැපිරීමක් කරත්දි, ඔබේ මනස තුල ඇතිවන තුවාල , අනාගතයේ ඔබේ ජීවිතයට කැලැල් එකතු කරන නිසාවෙනි.
- "කාළය කන්නට නොව" - මෙම මාධ්‍ය, සමාජ මාධ්‍යය තුල "කාළ-කන්නෙක්" බවට පත් නොවි, හිත සතුට, විවේකය ලබන අතරේ ඔබට වටිනා යමක් එකතු කරගන්නට උත්සාහ කරන්න. එය දැනුමක්, මිත්‍රත්වයක්, සතුටක් විය හැක.
- දැන මැන බෙදා ගන්න- මෙවන් මාධ්‍ය තුල තොරතුරු පැතිරීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ බෙදා ගැනීම් ඔස්සේ නිසා, තමන් බෙදා ගන්නා තොරතුර ඔබට වැදගත්ද? සමාජයට වැදගත්ද, එමෙන්ම එහි නිරවද්‍යතාවය කෙසේදැයි තහවුරු කර පමණක් බෙදා ගන්න. රැල්ලට බෙදෙන "ව්‍යාජ සහ සනාථ නොකළ" තොරතුරු බෙදා ගැනීමේ විපාකයන් අද බොහෝ රටවල් විඳිමින් සිටින බව පෙනේ. ලංකාවේද එවැනි "රැළි" ගියා මතකය. ඔබ යමක් බෙදා ගන්නේ නම්, සමාජයට "හානිකර නොවන" දෙයක් එක් කිරීම යුතුකමක් සේ සලකන්න.
- ඔබ, ඔබම වන්න- සමාජ මාධ්‍ය තුල තවත් මිතුරකු , සාමාජිකයෙක් පළ කරන පුද්ගලික තොරතුරක්, පිංතූරයක්, සිදුවීමක් , තමන්ගේ ජීවිතය සමඟ සසඳමින් "වෙනත් අයෙක් වෙන්නට" උත්සාහ කිරීම හෝ , වෙනත් අයෙක් නිසා ඔබේ හිත රිදවා ගැනීම "ඔබේ මානසික සෞඛ්‍යයට අහිතකර වන බව හඳුනාගන්න. සමාජ මාධ්‍ය තුලදීද "ඔබ, ඔබම" වීම තුල නිදහස රැදෙනු ඇත.
- පීඩාවෙන් මිදෙන්න - මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය තුල තමන්ගේ මානසික සෞඛ්‍යයට පීඩා ඇති කරන දේ ඇත්නම් එයින් ඉවත්වන්නට හෝ ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න. එය, තමන්ට පීඩනයක් ඇති කරන "නාමික මිතුරෙක්" හෝ , පීඩාකාරී , ව්‍යාජ තොරතුරු බෙදන පිටුවක් අවහිර කිරීමක් , තමන්ගේ මිතුරු ගොමුවෙන් ඉවත් කිරීමක් වෙන්නට පුළුවන්.. අද දවසේ සමාජ මාධ්‍යය පැවතිය යුතු වුනත්, ඔබ කැමති නම් එහි රැදීම වැදගත් වුනත්, එම මාධ්‍ය/සමාජ මාධ්‍ය පරිසරය ඔබේ මානසික සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස පවත්වා ගන්නටත්, අහිතකර කරන සාධක ඉවත් කර, ඔබේ මනසට වාසිදායක පරිසරයක් පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම තිබීමත් ඔබට වාසියක් වේවි.
No comments:
Post a Comment
(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)