2020/12/12

244) දෙමාපියන්ට අතිවිශේෂයි

 මේ ලිපිය කියවන මා වගේම ඔබත් “දෙමාපිය” කියන කාණ්ඩයට අයත් අයෙක් වන්නට ලොකු ඉඩක් තිබෙනවා. එහෙම නම් මේ ඔබ-මා ගැන කතාවක් , කෙ‍සේ වෙතත් පෙර කී කාණ්ඩයට අයත් ‍නොවීම මේ ලිපිය කියවන්නට බාධාවක් නොවන බව නම් කිවයුතුමයි.

දරුවෙක්ගේ උපත එක්ක ඇති වන දෙමාපිය-දරු බැඳීම තුල හරිම සුන්දරයි හෝ තීරණාත්මකයි , වගේම දෙපාර්ශ‍වයේම අනාගතය තීරණය වන සැලසුමත් හැදෙන බව ටිකක් කල්පනා කළොත් ඔබට වැටහේවි. තව විදියකින් කීවොත් ඔබත් දරුවාත් අතර පවත්වා ගන්නා සම්බන්ධයේ වගකීම, බැඳීම, ස්වභාවය අනුව ස්ථිරවම දරුවාගේ අනාගතය තීරණය වන අතර , ඔබේ අනාගතයේ කායික , මානසික සහ සමාජයීය සෞඛ්‍යයටත් බලපානවා. අන්න ඒ නිසා ඔබ, ඔබේ දරුවා සමඟ පවත්වා ගත යුත්තේ කුමන දෙමාපිය-දරු සබඳතාවයක්ද කියන එක මේ ලිපිය තුල අපි කතා කරමු. ඊට පස්සේ බලමු ඒවායෙන් දෙපාර්ශවය කෙරෙහිම වඩාත් සාර්ථක ක්‍රමය විය හැක්කේ කුමක්දැයි.

වැඩි දුර කතා වලට යන්නට පෙර අපි බලමු මොනවද මේ දෙමාපිය-දරු සබඳතා ක්‍රම කියලා. මේක නිවැරදිම සිංහල වචනය නොවේ නම් මා නිවැරදි කරන්න. චිකිත්සීය ළමා මනෝ විද්‍යා විෂය තුල මේ ක්‍රම හඳුන්වන‍්නේ Parenting styles ලෙසට. මොනවද මේ ස්ටයිල් ටික.

·         කතා නොකර නීති දාන- Authoritarian parents – මේ ක්‍රමය තුල සිදුවන්නේ අම්ම තාත්තට දරුවට නීති දානව, වැරදි කළොත් දඬුවම් දෙනවා. ඒත් නීති ගැන දඬුවම ගැන දරුවට නිසි වැටහීමක් ලබා දෙන්නේ නැහැ. උදාහරණයක් විදියට මේ දරුවට මව කියන්නේ “දැන් මේ කෑම එක ඔක්කොම කනව, නැත්තං තාත්ගෙන් ගුටි කන්න වෙයි. අවසාන ප්‍රතිපලේ දරුව කෑම ටික කාළ නැත්නම් තාත්ත දරුවගේ කණෙන් හරි ඇදල “දඬුවමක්” දෙන එක. මේක හොඳඳ නරකද කතා කරන්නෙ නැතිව අපි යමු අනෙක් ක්‍රමයට.

·         කියල දීලා නීති දාන  Authoritative parents – “ඔයා මේ  කෑම ටික කන්න ඕන, ඔය කොළ, පළතුරු කන්නම ඕන මොකද දන්නවද මේ දවස් වල තියෙන ලෙඩේට ඔරොත්තු දෙන්න නම් ඇඟ හොඳට හයියට තියෙන්ට ඕන, ඔන්න කෑවෙ නැත්තං තාත්තගෙන් ඔයාට කියපු පනිෂ්මන්ට එක දේවි” කියන අම්මත්, දරුවාට ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමට අකමැත්තක් පෙන්වල පැණි රස කෑමක් විතරක් ඉන්නව නම් අන්න එතැනදි  මේ “කෑම වැරැද්ද කළොත් ලැබන දඬුවම” මොකක්ද කියල තේරුම් කරල තිබුණනම් ඒ දඬුවම දරුවට දුන්න තාත්තත් අයිත් වෙන්නේ මේ වර්ගයට. මෙතැනදි වැරැද්දට ලැබෙන දඬුවම සහ ඊට හේතුව  ගැන දරුව දැනුවත් වෙලා තිබීම වගේම වැරැද්ද කළොත් ලැබන දඩුවම ගැන යෝජනා දරුවගෙන්ම අරගෙන තිබෙන්නත් පුළුවන්.

·         බබාගේ නීතිය ගන්න - Permissive parents- මේ දෙමාපියන් නීති දාන්නේ නැති තරම් , නැත්නම් ඉතාම අඩුවෙන්, “දරුවට කැමති දෙයක්” කරගන්න ඉඩ දෙනවා කියන මතයේ ඉන්නයි කැමැත්ත. අර උදාහරණෙම ගත්‍තොත් “අම්මෙ බඩගිණිය” කියත්දි, “අන්න පුතා කැමති කෑම ජාති දෙකක්ම හදල තියෙනවා, පුතාට කැමති තරමක් කන්න” කියන අම්ම කෙනෙක් වගේම  , දරුවගේ වර්ධනයට ප්‍රමාණවත් තරමට කාළ නැහැ කියල දකිත්දි “ආ පුතා ක‍ාළ නැහැනේ”  කියල ප්‍රතිචාර දක්වල , ඒ ගැන දරුවට හේතුව පැහැදිලි කිරීමක් නොකර පියාත් අයත් වෙන්නේ මේ වර්ගයට. මෙතැනදි වැදගත් ලක්ෂණය දරුවාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වනවා.ඒත් දරුව කරන්නේ “තමන්ට ඕන දේ විතරයි” කියන සීමාවේ ඉන්නවා.

·         වගකීමක් නැති - Rejecting - Neglecting parents – “මට බඩගිණියි” කියන දරුවට , “ මං දන්නෑ ඔන්න ඔය තියෙන දෙයක් ඕන නම්  කනවා” කියල , දරුව‍ගේ “බඩගිණි” ඉල්ලීමට සාධාරණ ප්‍රතිචාරයක් නොදක්වා “තමන්” ගැන විතරක් හිතනව වගේ කටයුතු කරන දෙමාපියන් මේ වර්ගයට අයත්.

දැන් කතාවේ අවසාන කොටසට, ඔව් මං දන්නව දැන් ප්‍රශ්නේ මේ හතරෙන් මොන ක්‍රමයද වඩාත් සාර්ථක දෙමාපිය-දරු සබඳතාව කියලනේ?  මෙහෙමයි ඔබේ දරුවාගේ සාර්ථක අනාගතයක් අපේක්ෂා කරන ඔබ,  දරුවගේ වයස, චර්යාත්මක සාධක , සමාජ වටපිටාව සහ පවුලේ සැකැස්ම අනුව Rejecting - Neglecting parents ක්‍රමය හැර  අනෙක්  ක්‍රම අඩු වැඩි වශයෙන් , සමහර විට ක්‍රම කිහිපයක් මිශ්‍ර hybrid style එකක් භාවිත කරන්න වෙනවා . නමුත් මේ කිසිම තැනක දඬුවම කියන්නේ කායික ‍හෝ මානසිකව දරුණු පීඩාවක් ඇති කරමින් “දිගු කාළීන මානසික කැළලක්” ඇති කරන හිංසාවන් නොවන බව නම් කියන්නම ඕන.

මේ පිළිබඳ පර්යේෂණ කළ ළමා ම‍නෝවිද්‍යා සහ සමාජ විද්‍යා පර්යේෂකයන‍්ගේ හඳුනාගැනීම් අනුව , ඔබ ලබ‍ා දෙන තීරණ , නීති රීති පිළිබඳ වැටහීමක් ඇති වයසේ සිට පෙර කී ක්‍රම තුනෙන් ( Rejecting - Neglecting parents හැර) Authoritative parenting style එකට වැඩි ප්‍රතිශතයක් ලබා දුන් පවුල් වල දරුවන් තුල යහපත් මනෝ-සමාජයීය පරිණත වීමක්, තම අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සහ සාර්ථක අනාගතයකට ජීවිතය යොමු කරගැනීමක් හඳුනාගෙන තිබෙනවා. ලිපිය ලියන මම සහ මගේ බිරිඳත් ප්‍රායෝගිකව භාවිත කරමින් එහි සාර්ථක ප්‍රතිපල දකිමින් සහ අත්විඳිමින් සිටිනි නිසා අදාල හඳුනාගැනීම මා ද පිළිගන්නා බව කියමින් ලිපිය නිමා කරන්නේ  , ඔබට,ඔබේ දරුවා, පවුලට  ගැලපෙන ක්‍රමය ගැන තව ටිකක් හිතන්නට ආරාධනා කරමින්.

 

 

2020/12/11

243) මොලේ පාර හදාගන්න

අපේ මොලේ පුංචි ගමක් වගේ, අපි පුංචි කාළේ ගම ඇතුලේ දුව පනින කොළු ගැටයෙක් ‍වගේ , ගමේ තියෙන ඕන පාරක් දිගේ දුවන්න නටන්න, කාගෙ හරි වත්තක් මැදින් දුවල හරි ගෙදර එන්න පසුබට වෙන්නේ නෑ නේ. මහපාරද , අතුරු පාරද හොර පාරද ඔය එකක්වත් නැති කාගේ හරි පාළු වත්තක්ද වෙනසක් නෑ. හැබැයි අප ටිකක් ලොකු වෙන කොට, අර අනුන්ගේ වතු මැදින් පැනල දුවන එක නවතිනවා. දැන් ටිකක් අතුරු පාරක ‍හරි මහපාරෙන් හරි තමයි ගෙදර එන්නේ. තවත් ටිකක් වැඩිමල් වුනාට පස්සේ වෙන හොර පාරවල් වලින් යන එක නවත්තල ප්‍රධාන පාර දිගේ ගෙදර එන්න බලනවා.




මේ සිදුවීමම අපේ මොළය ඇතුලෙත් සිදුවෙනවා. අපි පුංචි කාළේ , මොළයේ තියෙන ස්නායු සෛල අතරේ ස්නායු මාර්ග අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඕන තැනකින් යන්න පුළුවන්. ඒත් අපි ටිකෙන් ටික ලොකු වෙත්දි මේ තියෙන ස්නායු පාරවල් සමහර ඒවා වැහිල යනවා. තවත් ලොකු වෙත්දි තවත් විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ අපේ ජීවිතය ඉදිරියට යත්දි අර ස්නායු පාරවල් ගාණ අඩු වෙලා , තෝරා ගත්ත ස්නායු මාවත් සංඛ්‍යාවක් තුල අ‍පේ කටයුතු කරගන්න පුරුදු වෙනවා. ඒ නිසා තමයි අපට පුංචි කාළේ තිබුණූ සමහර දක්ෂතා දිගටම හුරුවුනේ නැත්නම් අමතක වෙලා බැරි වෙලා යන්නේ. ඒ අර වැඩට ගන්නේ නැති පාරවල් වැහෙනවා වගේ . ඒ වගේමයි අපි හොඳින් පුහුණ වන ක්‍රියාකාරකමකට අදාල හැකියාව හුඟක් දියුණූ වෙන්නේ.

මේ තත්ත්වයේම අනිත් පැත්ත කිව්වොත් , අපට පුළුවන් සමහර දක්ෂතා පසුකාළීනව පුහුණූ වෙන්න , ඒ අළුත් දක්ෂතාවයක් පුහුණු වෙත්දි වෙන්නේ ඊට අදාල අළුත් ස්නායු මාර්ගයක් පිළිසකර වෙලා “පාරක්” හැදෙන එක. මේ තත්ත්වයට අපි කියන Neuroplasticity කියලා.

අපි වයස් ගත වෙත්දි , එකම රටාවකට හුරු වෙත්දි අර පුංචි කාළේ තිබුණූ ස්නායු පාරවල් ගණන අඩුවෙනවා කිව්වනේ . වියපත් වීමත් එක්ක සිදුවන මොළයේ සෛල වෙනස්වීම නිසා තව දුරටත් මේ පාරවල් අඩුවීම වෙන්න පුළුවන්. අන්න එතැනදි තමයි අපට අමතක වීම , ඇතුළු සමහර චර්යාමය ගැටළු මතුවන්නට පටන් ගන්නේ , සහ ඊට තවත් හේතු එකතු වෙමින් තමයි ඩිමෙන්ෂියා වගේ රෝග ඇති වීම සිදුවන්නේත්.

කොහොම වුනත් , අපි කිව්වනේ ඕන නම් අපට පුළුවන් කියල මේ වැහුනු ස්නායු මාර්ග ආයෙ හදා ගන්න. එහෙම නැත්නම් අළුත් ස්නායු පාර වල් හදාගන්න. අන්න ඒ හැකියාව පිළිබඳව තේරුම් ගත්තොත් වියපත් වීමත් එක්ක ඇති විය හැකි ‍මොළය ආශ්‍රිත ගැටළු ගණනාවකට යම් විසඳුමක් ලබා ගන්න පුළුවන් බව හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ .මොළයේ දැනට ස්ථාවර වෙලා තිබෙන ස්නායු පාර වල් වලට අමතරව තවත් අළුත් පාරවල් හදා ගන්න එක. ඒ සඳහා ඔබේ රැකියාව අතරේ ඔබ ඉගෙන ගන්න අළුත් භාෂාවක් , නැත්නම් අළුත් විනෝදාංශයක් ඒ සඳහා උපකාර වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අද ඩිමෙන්ෂියා රෝගීනට ප්‍රතිකාර වශයෙන් අළුත් කුසලතා , අත්දැකීම් පුරුදු කරවීම සාර්ථක බව හඳුනාගෙන තිබෙන්නේ. ඒ සඳහා වෙනම විශේෂීත චිකිත්සීය ක්‍රම තිබෙනවා.

නමුත් ඔබට අපට තවම එබඳු විශේෂීත “චිකිත්සීය උපකාර” අවශ්‍ය වන්නේ නැහැ. වැදගත් දේ දවසේ රාජකාරි අතරේ රාජකාරීමය විෂය කරුණූ ඔස්සේ සංවර්ධනය වන ස්නායු මාර්ග , පීඩනය, අවිවේකය, ආවේගය , වේදනාව වගේ අත්දැකීම් දෙන ස්නායු මාර්ග වලට අමතරව තවත් ස්නායු මාවත් සංවර්ධනය කරගන්න. ඒ සඳහා විනෝදාංශ, ක්‍රීඩා , ව්‍යායාම , සමාජ බැඳීම්, වගේම පරණ මතකයන් ද වැදගත් තැනක් ගන්නවා.



අනෙක් ඒවා පැත්තක තියා පරණ මතකයන් ගැන කතා කළොත්, ස්නායුවේදී විශේෂඥයින් හඳුනාගන්නවා, ඔබට පුළුවන් නම් අතීත මතකයකට ඇතුළු වෙලා ඒ මොහොත එදා විඳි ආකාරයෙන්ම විඳින්නට පුළුවන් නම් , ඒ ඔස්සේ ස්නායු අක්‍රිය වෙලා තිබුණූ ස්නායු සෛල සක්‍රිය කරන්නට පුළුවන් බව. මෙහි ආසන්නම සාර්ථක පර්යේෂය කළේ 2015 දි University College London (UCL) මගින්.ඔවුන් හඳුනාගන්නවා මේ ආකාරයට පැරණි මතකයන් තුල රැඳී සිටින විට සක්‍රිය වන ස්නායු සෛල ඔස්සේ ඇති වන අළුත් බැඳීම් නිසා , මොළය තුල ගබඩා වී අක්‍රියවී තිබූ මතකයන් අතර සබඳතා ඇති කරමින් සක්‍රිය ස්නායු මාවත් ජාලයක් හදන බවත් ඒ ස්නායු සක්‍රිය වීම , වියපත් වීම ඔස්සේ ඇතිවිය හැකි ස්නායු ආබාධ වලට සාර්ථක පිළිතුරක් බවත්.

මේ පරණ මතකයන් අවදි කිරීම නැත්නම් වීම සිදුවන ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා. මුල්ම එක Free recall ඒ කියන්නේ වැඩි කරදරයක් නැතිව කිව්ව ගමන් මතක් වෙන දේවල්, පිළිවෙලවල්. දන්නවනේ අපටත් තියෙනවනේ ඒ වගේ මතක . අනෙක Cued recall මෙතැනදි වෙන්නේ කවුරු හරි පොඩ්ඩක් මතක් කළාම ..ආ... දැන් මතකයි මටත් කියල කියවෙන මතක්කිරීම .අන්තිම එක Serial recall ,ඒක මේ ව‍ගේ , අපි පරණ කතාවක එක තැනක් මතක් කළාට පස්සේ ඊට සම්බන්ධ අනෙක් හැම සම්බන්ධතාවයක්ම , කතාවක්ම මතක්වීගෙන එන්නේ , අන්න ඒ තමයි සීරියල් රීකෝල් එක. මේ මොන ක්‍රමයෙන් හරි “මතක් කිරීම” තුල නිදා ගන්න ‍ස්නායු සෛල අවදි කරන්නට පුළුවන්. එයයි වාසිය.

දැන් මේ “මතක් කිරීම” කරත්දි වැදගත් වෙන කරුණූ කිහිපයක් තිබෙනවා. ඒ ,

“මතකය විඳින්න”- ඔබ මතක් කරන සිදුවීමට ඇතුළු වෙන්න. ඒ කියන්නේ ඔබ මතක් කරන සිදුවීමේ ඔබ ලත් අත්දැකීම හිතින් විඳින්න, එතැනදි වෙන්නේ අදාල අත්දැකීම රෙකෝඩ් කරගෙන හැංගිලා ඉන්න මොළයේ සෛල ආයේ සක්‍රිය වෙලා , පරණ දැනුනු දේ එළියට දෙන එක. ඒ සක්‍රිය වීමයි විය යුත්තේ. උදහරණයක් ඔබ මීට අවුරුදු විස්සක ඉස්සර වෙලා යාළුවොත් එක්ක කැළේ පැනල අමු අඹ කඩාගෙන ලුණු ගාගෙන කෑව මතකයට නම් යන්න ඕන , ඔබ ඒ අත්දැකීම තුලටම යන්න, ඔබට දැනෙන්න ඕන , ඔබට හැගෙන්නට ඕන ඔබ එදා විඳි රස , දැනුනු බය , හැම දෙයක්ම . මුලින්ම බැරිවුනත් මේක හුරු වීමත් ,ඒ සදහා අවශ්‍ය කරන මානසික විවේකයයි ඇත්නම් පුළුවන්.

“පාර තෝර ගන්න” - පරණ මතකයන් එළියට ගනිත්දි උත්සාහ කරන්න ඔබට රිදවන අත්දැකීම් වලට වඩා ඔබට සතුට ගෙනා අත්දැකීම වල මතකයන් හාරා අවුස්සා ඒ මතක සතුට විඳින්න. ඒ ඔස්සේ ඔබේ මතකය තුල සතුටු මතකයන් වලට අදාල ස්නායු මාර්ග සැකසීම වෙන්නේ. ඒ නිසා පරිස්සමෙන්, ඔබ පරණ වේදනාවල් හැම තිස්සේම මතක් කරන්න ගත්තොත් සිදුවෙන්නේ අර වේදනාත්මක මතකයන්ට අදාල ස්නායු මාවත් ටිකෙන් ටික වර්ධනය වෙලා ඔබට අනවශ්‍ය කරදර ඇති කරමින් ,ඒ දුකේම ජීවත් වන්නට හිත පොළඹවන එක. ඒ නිසා වැඩිපුර උත්සාහ කරන්න ඔබේ සතුටු මතකයන්ට අදාල ස්නායු මාවත් පුළුල් කරගන්නට.

“පාර වල් අමුණන්න” - ඒ කිව්වේ ඔබේ යම් අත්දැකීමක් මතක් කරත්දි ඊට සම්බන්ධ අනෙක් සිදුවීම , තිබුණ පරිසරය , එදා දැනුනු හැඟීම් මතක් කරගන්න බලන්න, ඒ කියෙන්නේ එක මතකයක් ඔස්සේ තවත් ඊට ඈදුනු මතකයන් වෙත යන්න.

මතකය අදට ගන්න”- එදා ඔබ විඳි අත්දැකීම් , මතකය අද‍ මේ මොහොතේ විඳින්නට උත්සාහ කරන්න. උදාහරණයක් ඔබ පුංචි කාළේ අයිස් ක්‍රීම් වෑන් එකෙන් අරන් මුලින් අයිස් ක්‍රීම් එකක් කාපු දවස නම් මතක් කරන්නේ , අදත් ඒ රස අයිස්ක්‍රීම් එකක් රසවිඳින්න පුළුවන්ද බලන්න. පාසලේ හොඳම චිත්‍රය ඇඳළ සතුටක් ලබපු ඔබ අද චිත්‍රයක් අඳින අතරේ ඒ මතකය එළියට ගන්න උත්සාහ කරන්න.

“මතකය ඇද ගන්න” - ඒ කියන්නේ මතකයන් මතක් කර ගැනීමේදී එක කාළයකට විතරක් හිර වෙන්න එපා, ඔබේ පෙර පාසලේ මතකයන්, පාසලේ සිදුවීම්, පළමු පෙම, විවාහය වූ දිනය ඔන්න ඔය වගේ පුළුල් පරාසයක මතකයන් ගැන රස විඳින්න උත්සාහ කරන්න.

වැදගත්ම දේ මේ මතක ඇවිස්සීම වෙනුවෙන් කිසිම වියදමක් යන්නේ නෑ, රෝගී තත්තවයකට ප්‍රතිකාර ගන්නෙක් නොවේ නම් විශේෂඥ උපදෙස් අවශ්‍ය වන්නේත් නැහැ. එතැනදි වැදගත්ම දේ, යම් අයෙක් අතීතයේ සිදුවූ අවාසනාවන්ත හෝ භයංකර අත්දැකීමක් නිසා PTSD හෝ Clinical depression තත්ත්වයට පත්වෙලා නම් ඉන්නේ එතැනදි ටිකක් සීමා තබා ගන්නට වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ තත්ත්වය උග්‍ර කරවන මතකයන් උපදේශකයෙක්ගේ ප්‍රතිකාරාත්මක උපදෙස් වලින් තොරව නිරන්තරයෙන් මතක් කිරීම තුල ගැටළු ඇති වන්නට පුළුවන්. ඒ සීමිත අවස්ථාව හැර, අනෙක් ඕනම කෙනෙක්ට තමන්ගේ අතීත මිහිරි අත්දැකීම ස්මර්ණය කරගෙන , මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි දියුණූ කරගෙන , ඉදිරියේදී ඇති විය හැකි ගැටළු වලින් ආරක්ෂාවන්නට හැකියාවක් ලැබේවි. අද දවසේ ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා ලබා දෙන Reminiscence therapy ප්‍රතිකාරය තුල සිදුවන්නේත් මේ “මතක් කිරීමේ” සහ ඒ මතකයන් නැවත දැනීමේ ක්‍රියාවලියක්.

අවසානයේ, මේ ලිපිය කියෙව්ව නම් , දැන් කියවපු ටික මතක් කරන්න පුළුවන් ද බලන්න , ඉස්සර වෙලාම . 

2020/11/13

242) සිරි ලංකාවේ කෝවිඩ් "සෙල්ලම"



ලංකාවෙන් ඈතක ජීවත් වුනත්, උපන් රට නිසා ලංකාවේ සිදුවන දේ ගැන ඇහ , කණ යන එක සාමාන්‍ය දෙයක්. බොහෝ වෙලාවට ලංකාවේ දේශපාලනික කොමඩි වලට මුල් තැන දෙන නිසා , ප්‍රධාන මාධ්‍ය වල පණිවිඩ නොබැලුවත්, දැනට ලංකාවේ පවතින අවදානම් තත්ත්වය නිසා, වරින්වර "ප්‍රධාන යැයි කියන" මාධ්‍ය වලට ඇස යොමු කරනවා. 

පසුගිය මැතිවරණ වලට පෙර "ඉතා අහඹු" සහ අදිසි ආකාරයෙන් කෝවිඩ් නැති කර, ලෝකෙන්ම දෙක වුනා යැයි කෑගැසූ ( ඒ පිළිබඳ කිසිදු පිළිගත් වාර්තාවක් දකින්නට නොලැබුණි) ලංකාව අද වෙත්දී ඉතා අවදානම් තත්ත්වයකට යමින් ඇති බව අප , පහුගිය මාස හත පුරාවටම කෝවිඩ් තත්ත්වය සමඟ , කෝවිඩ් රෝගීන් සමඟ ගණුදෙනු කර ලැබූ සහ ලබන අත්දැකීම් ඔස්සේ දැනෙමින් පවතී. 

ඒ තත්ත්වය තහවුරු කරමින්,
-දවස ගණනේ "පොකුරු පිපෙත්දී",
-කරන පරික්ෂණ වලට අදාල "සැක මතුවෙත්දී" ,
-මිනිසුන් "කෝවිඩ් බිල්ලාට " බයේ සියදිවි නසා ගන්න තැනට පත්වෙත්දී,
-"කෝවිඩ් සුව වී" ගෙදර යන මිනිසුන් පාර දිගේ මැරී වැටෙත්දී,
-තවමත් "කෝවිඩ් නිසා මැරුනේ පුද්ගලයන් පහක් පමණක්" යැයි කියත්දී,
හිතට දැනෙන කණගාටුව සහ "සාම්ප්‍රදායික සිරි ලාංකීය දේශපාලනයේ රැවටීමේ චාටු කතා සම්ප්‍රදාය පිළිබද" අප්‍රසන්න හැඟීම මුසුව මෙම සටහන ලියමි.

‍‍කෝවිඩ් ගැන තවමත් අප දන්නේ නොදන්නා දේට වඩා අඩුවෙනි, එය පළමුව කිව යුතුමය. එම නිසා, "කෝවිඩ් ගැන සියල්ල" දන්නවා යැයි සිතා කටයුතු කිරීමම පළමු අනුවණ කම යැයි හිතනවා. ඒ නිසා, මේක සුළු ප්‍රශ්නයක් මට විසඳන්න පුළුවන් යැයි කියන්‍නට දැනුමක් සහ බුද්ධියක් ඇති ජගතෙක් තවම හඳුනාගෙන නැත. වැක්සීනයන් කිහිපයක් සාර්ථක වෙමින් ආවද? එය 100%ක සාර්ථක තත්ත්වයක් නැත, සමහර විට 80%-90%ක සාර්ථකත්වයකට ලංවුවත්, "දැන' අපට කෝවිඩ් විනාස කරන්න පුළුවන් යැයි" කළබල වීමට තරම් තවම කාළය නොවේ. 


2020/10/23

241) කෝවිඩ්ට බය වෙන්න ඕනමද?

ලංකාවේ ආයෙත් කෝවිඩ් ගැන කතාව පටන් අරගෙන, දවස ගානේ තැන් තැනි “පොකුරු පිපෙත්දි” සමාජගත වුනාද නැත්ද කියන එක ගැන තර්ක කරමින් ඉන්න මේ වෙලාවේ , මීට මාස පහ හයකට පෙර ලියූ ලිපියක් යම් යාවත්කාළීන කිරීමක් සහිතව නැවතත් මේ පළකරන්නේ කවුරු හරි යමක් ගනීවි කියන අරමුණින්. 

කෝවිඩ් 19 කියන්නේ ශ්වසන බිඳිති සහ ස්පර්ෂය මගින් බෝවන රෝග අතර පැතිරීමේ සීග්‍රතාවය (dissemination of an infection) ඉහළින් තිබෙන වයිසරයක්. වයිසරසයේ ප්‍රමාණය, ධාරක පරිසරයෙන් පිට පැවතීමේ කාළය සහ හැකියාව, දේහගත වන ආකාරය සහ දේහය/සෛලය තුල තම වර්ධනය සහ ප්‍රතිගුණනය කිරීමේ වේගය සහ හැකියාව අනුව ඒ හඳුනාගැනීම කරන්නේ. ඒ කියන්නෙ කෝවිඩ් 19 බොහොම ඉක්මණින් පැතිරීමේ යාමක් සිදුවෙනවා. ඒ සඳහා හේතුවන ප්‍රධාන සාධක විදියට , Asymptomatic stage ඒ කියන්නේ වයිරසය දේහගත වී , දින 2-11ක් පමණ වන තුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා “වයිරස පතුරවන්නෙක්“ ලෙස අදාල පුද්ගලයාට තිබෙන නොදැනුවත් හැකියාව , වගේම සමහර ආසාදියන්ට කෝවිඩ් ලක්ෂණ ලෙස සැලකිය හැකි කිසිදු රෝග ලක්ෂණයක් සම්පුර්ණ කාළය තුලම නොපෙන්වා සමාජය තුල පැවතීමේ හැකියාවත් හේතුවෙනවා. මේ අය සෞඛ්‍ය ප්‍රජාව තුල හඳුන්වනේ “supershedder,” ලා විදියට. 


2020/08/05

240) හැට පැන්නම Sex ඕනද?


කෝවිඩ් අපට අළුත්ම ලෝකයක් ගෙනත් දුන්නා. වෙනදට වඩා අත්සෝදන, අනෙකාගෙ පරිස්සම ගැන හිතල තමන් පරිස්සම් වෙන, වැඩි වෙලාවක් ගෙදර ඉන්න අළුත්ම ජීවන රටාවක්. මේකටම එකතුවුනු Working from home සමහර වෘත්තීන් හෝ රැකියාවන් වලට ගැටළුවක් වුනත් අපට නම් ලොකු පහසුවක් වුනා.වෙනද සේවාලාභීන් 8ක් 10ක් එක්ක මුහුණට මුහුණ සේවා ලබා දුන් අප අද, අද එක දිනකට සේවාලාභීන් 20කට විතර පහසුකම් සහ සේවා සපයනවා ගෙදර ඉඳගෙනම. Telemed, Zoom වගේම දුරකථනයත් මෙතැනදි අපේ ප්‍රධාන උපාංග කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ ක්‍රමේ එකම අවාසිය කෑම තමා. මොකද වෙනද සායනයට ගියා නම් වෙලාවට කෑවා බිව්වා එච්චරයි. දැන් එහෙමද? ගේ ඇතුලෙමනේ, ඉතින් හාමිනේ හදන පැණි රස කෑම වල තත්ත්වය පරික්ෂා කරන්නමයි හිත කියන්නෙ. මොනව කරන්නද වැඩ කරන අතරෙම ඒ පරික්ෂාවන් කරල උදව්වක් කරන්න එපායැ. ඔය උදව් පදව් කරන අතරේ ඊයෙත් මගේ රාජකාරි කටයුතු පටන් ගත්තා.

අගහරුවාදා කියන්නේ අපේ Group therapy session එක තිබෙන දවස. ඒ කියන්නේ ටිකක් විතර අවිවේකීයි. ‍විවිධ මානසික මට්ටම් සහ රෝගී තත්ත්ව වල ඉන්න දහයක විතර කණ්ඩායමක්, තාක්ෂණීක ක්‍රම ඔස්සේ එකම තැනකට ගේන එක වගේම, ඔවුන්ගේ ප්‍රතිකාර සීමාව තුල කරදරයක් නොවී පවත්වා ගන්න එකත් අභියෝගයක්. මොකද වෙනද වගේ ඔවුන් අප ළග ඉන්නව නම් හරිම පහසුයි ඒ පාළනය කරන්න. නමුත් දැන් එයාලා තමන්‍ගෙ ගෙදර සිට,අන්තර්ජාලය වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකතු වෙත්දි සමහර ගැටළු වලට මුහුණ දෙන්නම වෙනවා.

වෙලාවට දහයයි, ආරම්භ කළා අපේ වැඩසටහන. එක් අයෙක් හැර සියල්ලොම සූදානමින් ඇවිත් එකතු වුනා.

“මොකද අද ටොම් පරික්කු?” හැමෝගෙම පුද්ගලික තොරතුරු වෙනත් අයට හඳුනාගන්න බැරි විදියට සඟවන ගමන්( ඒක සෞඛ්‍ය සේවය තුල නීතියක්) මට කියවුනා.

“ඇත්ත නේ? වෙනද අප‍ට ඉස්සර වෙලා තෝමස් මෙතැන” බ්‍රයන්ද කොහෙද උත්තර දෙනව ඇහුන.

ටොම්, නැත්නම් තෝමස් කියන්නේ අපේ ‍සේවාදායකයන් අතර ඉන්න හරිම අහිංසක,ජේෂ්ඨ මහත්මයෙක්. ඩිමෙන්ෂියා රෝගයේ මුල් අවධියේ පෙළෙන වයස අවුරදු හැත්තෑවක් විතර වෙන ඔහු, වියපත් ප්‍රජාව වෙනුවෙන්ම තිබෙන නිවාස සංකීර්ණයක ස්වාධීනව ජීවත් වෙනවා. තනිව වැඩපල කරගන්න තවමත් පුළුවන්.

ටොම්ගේ පමාව ගැන හිතමින් අවශ්‍යය සූදානම් විම වෙන අතරේ, මගේ පරිගණකය මත පෙන්වනවා ඔහු අප සමඟ එකතු වීම සඳහා සූදානමින් ඉන්න බව. දැන් ඔක්කොම හරි, ඉක්මණට ඔහුව ඇතුළු කරගන්න ඕන.

“කොහොමද ටොම්, හරි රස්නෙයි නේද? හැබැයි හරිම ලස්සනයි දවස” කණ්ඩා‍යම වෙත ඔහුව පිළිගත්තා, වෙනද ගිරව වගේ කතාව පටන් ගන්න ටොම් අද ටිකක් වෙලා ගත්තා.

“ඔව් මයික්, දවස නම් ලස්නයි ඒත්...මට පුළුවන්ද ඔයත් එක්ක ටිකක් වෙනම කතා කරන්න.” ඔහුගේ‍ මුහුණේ හැඟීම් වල නම් ලොකු වෙනසක්‍

“අපොයි පුළුවන්, අපට‍ තව වෙලාව තියෙනවා අප වැඩස‍ටහන පටන් ගන්න, මම එන්නම් ටොම් එක්ක breakout room එකට” උත්තර දුන්නා. Breakout room කියන්නේ මේ තාක්ෂණය තුල කණ්ඩායමෙන් වෙන වෙලා තනිව හමුවෙන්න ඇති පහසුකමක්.

දැන් මමත්, තෝමස් මහත්තයත් විතරයි බ්‍රේකවුට් රූම් එක ඇතුලේ.
“මගේ හිතට හරි නෑ මයික්, සැන්‍ඩ්‍රාට යන්න වුනා ‍LTC එකට. සිකුරාදා තමයි එයාල රූම් එක රෙඩි කළේ. එයාට යන්න වුනා සෙනසුරාදා. ගියේ නැත්නම් තව කාළයක් බලාගෙන ඉන්න වෙනවලු. එයා ගිය එක හොඳයි, ඒත් දැන් මට කවුරුවත් නෑ මයික්. දුව නම් ඇවිත් බලල යන්න එනවා, ග්‍රොසරි කරනවා. ඒත් සැන්‍ඩ්‍රා නැතිව මට හිතට අමාරුයි.” ටොම් දිග සුසුමක් හෙලුව, තවත් මොනවදෝ කියන්න තියෙන නිසා ඔහුගේ හිත නිදහස් කරගන්න මම නිහඬව හිටියා. සැන්ඩ්‍රා කියන්නේ ටොම් ගේ බිරිඳගේ මරණයෙන් පස්සේ ඔහුගේ තනියට හිටිය හිතවතිය. ටොම් කියන විදියට ඔහුගේ පෙම්වතිය. ඇයගේ විවාහයෙන් දික්කසාද වෙලා දැනට වසර කිහිපයක් තිස්සේ ටොම්‍‍ගේ පෙම්වතිය වුනු ඇයට, පසුගිය මාස කිහිපය තුල ඇතිවුනු ස්නායු ආබාධයක් නිසා ගිලීමේ අපහසුතාවක් ඇතිවීම නිසා අපේ සෞඛ්‍ය කණ්ඩායම තීරණ්ය කරනවා ඇයට පැය විසි හතර පුරාම සෞඛ්‍ය පහසුකම් ලැබෙන විශේෂීත ආයතනයක Long Term Care (LTC) නිවසක් ලබා දෙන්න. කෙ‍හොම වුනත් පවතින සීමාවන් එක්ක, දෙදෙනාටම එකම නිවසකට යන්න වුනේ නැහැ. ටොම්ගේ තත්ත්වය ඒ තරම් දරුණූ නැති නිසා ඔහුට සිදුවෙලා තමන්ගේ නිව‍සේ රැඳිලා ඉන්න. මේ තත්ත්වය වියපත්වීමේදී බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්.

දිග නැවතීමකට පස්සේ ...

“මයික්,බැරිද මටත් ඒ LTC එකටම යන්න. දැන් මට මේ අපාර්ට්මන්ට් එකේ තනියම ඉන්න බෑ. කවද හරි යන්න එපායැ. මමත් යන්නම් ඒකටම, එත‍කොට මට ආයෙත් මගේ පෙම්වතී එක්ක ඉන්න පුළුවන්.” ටෙ‍ාම් කලේ ඉල්ලීමක්ද, අවනඩුවක් දි කියල හිතාගන්න එක ටිකක් අමාරු වුනා.
“ටොම්, මේකනේ තත්ත්වේ. සැන්ඩ්‍රාගේ තත්ත්වෙත් එක්ක LTC එක ලැබුණත්, ඔයාට ඒ විදියේ හදිසි අවදානමක් නැති නිසානේ මෙහෙම තීරණයක් ගන්න ඇත්තේ‍. අපට බැරිද හැමදාම ගිහින් එයාව විසිට් කරල බලල එන්න. මම ඒකට ඇරේන්ජ්මන්ට් එකක් හදල දෙන්නම්, ලන්ච් එකත් සූදානම් කරලා දෙන්නම්. එතකොට ඔයාලට උයන්න, ඕනත් නෑ. සැන්ඩ්‍රා එක්ක ඉන්නත් පුළුවන්.” මම, මගේ සීමාව තුල කළ හැකි දේ පැහැදිලි කළා.

“අනේ නෑ මයික්, ඒත් මට කවුරුවත් නෑනේ, අපි දෙන්න හරි ආදරෙන් හිිටයේ, එයා නැතිව මට මෙතන නිදාගන්න බෑ.සැන්ඩ්‍රා එයා පොඩි කෙල්ල ව‍ගේ හුරතලේ.මට එයාව දකින්නෙ නැතිව ඉන්න අමාරුයි, මයික්ට හිතාගන්න පුළුවන් නේ මගේ හැඟිම. මට තනියි, ඒ විතරක්ම නෙවි”

“ඔව් ටොම් මට දැනෙනව ඔයාගේ හැඟීම්, ඒත් සමහර නීති රීති එක්ක සීමාවන් තියෙනවා නේ. හරි, ඔයා දැන් සැන්ඩ්‍රා එක්ක එකට ඉන්න අරගෙන අවුරුදු..?”

කතාව අවසන් කරන්නත් ඉස්සර ටොම් පැන්න,

“මේ මාසෙට අවුරුදු දෙකක් වෙනවා,” 

මේ කතාව තවත් ටිකක් දුරගියා,සාකච්ඡා වුනු සමහර දේ කපා හැරියා. අවසානයේ compassionate grounds කියන නීති රාමුව ඇතුලේ කළ හැකි උත්සාහයක් දරන්න පොරොන්දු වෙලා අපි දෙන්නත් ගියා අපේ කණ්ඩායම් වැඩසටහනට.

මට මේ කතාබහ අවසන් වෙලා ගෙදර ආවම කල්පනා වුනේ මේ මිනිස්සු ආදරය,ලිංගිකත්වය ගැන කොයිතරම් විවෘතද කියල. විශේෂයෙන්ම ආදර සබඳතා ගැන තිබෙන්නේ කොයිතරම් විවෘත අදහස්ද?

අපේ රටවල දරුවෙක් අවුරුදු විස්සක් විසිපහක් වෙනකම්,ආදරය,ලිංගික හැඟීම් වගේ දේවල් බලෙන් තද කරගෙන මැජික් කරගෙන ඉන්න උනන්දු කරවන පරිසරය වගේම, වියපත් වුනා‍ට පස්සේ “ආදරය,ලිංගික හැඟීම්” කියන දේ තහනම් වචනය කරල, “ඊළඟ යන තැනකට” බලෙන් සූදානම් කරවන පරිසරයක් නොවැ තිබෙන්නේ. තව විදියකින් කිව්වොත් හැට පැන්නට පස්සේ කවුරු හරි තාත්ත කෙනෙක් හරි අම්ම කෙනෙක් හරි කතා කළොත් “ආදරය,ලිංගික අවශ්‍යතා” ගැන මොන පවුකාර වැඩක් , නැත්නං මහ වල්කමක් විදියට හිතන අය කොයිතරම්ද?

ඒත්, වියපත් අයට “ආදරය සහ බැඳුනු ලිංගික අවශ්‍යතා” තිබේද? එහෙම නැත්නම් හැටපැන්න අයට ලිංගික එක්වීමේ කැමැත්තක් තිබෙනවාද? ඒක හරිද? සමහර විට අපේ සමාජය තුල සාකච්ඡා නොවන මේ මාතෘකාව ගැන මගේ විෂය සීමාව තුල කතාවක් තමයි අද මේ කරන්න හදන්නේ.
හැට පැන්නම සෙක්ස් ඕනද?

ඔව්, ලිංගික හැඟීම් කියන දේ , ලිංගික අවශ්‍යතාව පුද්ගලයෙක්ගේ ජීව ක්‍රියාවල තවත් එක් අවශ්‍යතාවයක්. සංස්කෘතික ආගමික වගේ සංකල්ප වලින් එළියට එන එක නැවැත්වුවත්, එම අවශ්‍යතාව ඔහුට හෝ ඇයට තිබෙනවා. කුඩා වයසෙ සිට වියපත් වීමේදි, වයසත් එක්ක මේ අවශ්‍යතවය ඉහළ ගිහින් එක්තරා සීමාවකදි යම් අඩුවීමේ සීමාවකට ආවත්, මේ අවශ්‍යතාව සම්පුර්ණයෙන්ම නැතිව යන්නේ නැහැ. වියපත් වීමත් එක්ක ඇතිවන, සෞඛ්‍ය ගැටළු ලිංගික එක්වීමකට යම් සීමා ඇති කළත් ඒ හැඟීම්වලට බාධාවක් නැහැ. හඳුනාගත් සංඛ්‍යා දත්ත එක්ක බැලුවම, වයස 75-85ත් අතරේ වැඩිහිටියන්ගෙන් 25%කට වඩා ලිංගිකව සක්‍රියයි. ඒ වයස අවුරුදු 65-74 වෙත්දි අදාල අගය 50%කට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ දරුවන් එක්ක කතා නොකළත්, මේ වයස් වල ඉන්න වැඩිහිටියන්ට ලිංගිකව එක්වීම අවශ්‍යතාව තිබෙනවා. එය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක්. නමුත් පෙර කී පරිදි වියපත් වීමත් එක්ක ඇතිවන ශාරීරික වෙනස්වීම් එක්ක ඇතිවන විවිධ අපහසුතා මග හරින්නට ඇති ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීමට මේ වැඩිහිටියන් දැනුවත් වීම වැදගත්. උදාහරණයක් ආර්තවාහරණයෙන් පස්සේ කාන්තාවගේ යෝනි මාර්ගයේ ඇතිවන වියළි ස්වභාවය පාළනයට තිබෙන ඊස්ට්‍රජන් ආලේපන වර්ග වගේම පිරිමි කෙනෙකුට ඇති විය හැකි ශිෂ්ණය සෘජුවීමේ අපහසුතා සඳහා වන ප්‍රතිකාර ගන්නට පුළුවන්.

කෙසේ වුවත්, වියපත් වීමේ ඇති වන හෘදයාබාධ තත්ත්ව වලදි නම් මේ ලිංගික කටයුතුවලට පෙර වෛද්‍ය උපදෙස් ගන්නට යොමු වීම හරිම වැදගත්. ඒකෙන් කියන්නේ හෘදයාබාධ වලට පස්සේ ලිංගික කටයුතු එපා කියන එකම නොවෙයි. වෛද්‍ය උපදෙස් මත යම් සීමාවන් සහ වෙනස්කිරීම වලට එන්න වේවි. මෙතැනදි වැදගත්ම දේ ලිංගික කාර්යය කියන්නේ, ලිංගික සංසර්ගයම විතරක නොවෙයි.

දැන් අපි ටිකක් බලමු වියපත් අය අතරේ සිදුවන ලිංගික කාර්යයන් වලින් ලැබෙන වාසි මොනවද කියල?

ලිංගික කාර්යයන් එක්ක රැධීරයේ ඉහළ යන ඩොපැමින් සහ ඔක්සිටොසීන් මගින් අදාල පුද්ගලයන්ගේ ස්නායු පද්ධතිය තුලට වන බලපෑම නිසාවෙන් සතුට,බලාපොරොත්තුව සහ කැමැත්ත වගේ ධනාත්මක හැඟීම් වැඩි කරගන්න උදව්වෙනවා. එය වියපත් වීමත් එක්ක මතුවිය හැකි මානසික රෝග වලින් ඔවුන් බේරා ගන්න උදව්වෙන බව හඳුනාගෙන තිබෙනවා.
අදාල කටයුත්තෙදි ඉහළ යන ටෙස්ටොස්ටෙරොන් මගින් වියපත් වීම සමඟ පුරුෂයන්ගේ ඇතිවිය හැකි පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිත රෝග පමා කරගැනීමටත්, හෘදයාබාධ අවදානමේ අඩුවක් කරගැනීමටත් හැකි බව පර්යේෂණ මගින් හදුනාගන්නවා.
මේ ‍භෞතික වාසි වලට අමතරව මානසික වශයෙන් ප්‍රීතිමත් ජීවන රටාවක් පවැතීම, තම විවාහක පාර්ශව සමඟ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ ප්‍රවණතාව, වගේම ජීවිතය පිළිබඳව ධනාත්මකව ඉදිරියට මුහුණදීමේ හැකියාවක් දියුණූ වන බව තහවුරු කරගෙන තිබෙනව.


ඒ කියන්නේ මේ වියපත් කාළයේ සිදුවන ලිංගික කාර්යයන් මගින් ලැබෙන්නේ වැඩි වාසියක්. මෙතැනදි නැවත මතක් කළ යුතු වැදගත්ම දේ ලිංගික කාර්ය කියන්නේ සංසර්ගයම ‍පමණක් නොවන බව. හුරතල් වීම, ශරීරයන් ස්පර්ශ කිරීම, තම ලිංගික හැඟීම් වාචිකව තමන්ගේ අනෙක් පාර්ශවය වෙත සතුටක් ගෙන එන ලෙස යොමු කිරීම වගේ සියල්ල මීට ඇතුලත්.
මේ නිසා, මේ ලිපිය කියවන ඔබෙන් කරන්න තිබෙන ඉල්ලීම වන්නේ, සමහර විට ඔබේ මව, පියා නැත්නම් සීයා ආච්චි ටිකක් ලිංගික්වයට බර විහිළුවක් එකිනෙකා අතර හුවමාරු කරගත්තොත්, නැත්නම් තාත්ත කෙනෙක් ලිංගිකත්වය උත්දීපනය වන වීඩි‍‍යෝවක්, පිංතූරක් දැක්ක පමණින, මේ මිනිස්සු මහ “වල් කුපාඩි නරක පවුකාර” වගේ වචන වලින් වහන්න එපා. ඒ සාමාන්‍ය මානුෂික හැඟීමක්. වෙනත් අයෙක්‍ට මානසික හෝ කායික හානියක් නැත්නම් අදාල වියපත් යුවලට ඒ හැඟීම, රසය විඳින්නට දෙන්න. එය ජීවිතයේ ඇත්ත බව පිළීගන්න.

වියපත්වීම කියන්නේ මේ ලිංගික හැඟීම් බලෙන් හිර කරලා (හරියට පුංචි කාළෙ ව‍ගේ) ඊළඟට යන තැනකට “පින් පුරවන හිස් බාල්දි ගාණට” දාන්න එපා. කරන පිනක්, යනවා නම් යන තැනකට වැඩක් කරගන්න ඕන වියපත් වුනාම නොවේ, දැනුම් තේරුම් ඇති දවසේ සිට කළ යුත්තේ ඒ පින, ඒ කිව්වෙ යහපත් දේ. වියපත් වීමත් එක්ක ඇතිවන වෙනස්කම් එක්ක සමාජය නැත්නම් දරුවන්ගේ බලපෑම් එක්ක “බලෙන් හිත හිර” කරගෙන ඉන්නවාට වඩා, තම ජීව හැඟීම් විඳින එකයි වැදගත්‍.

අන්න ඒ ගැනයි මට මේ ලිපිය ඇතුලෙ කතා කරන්න වුනේ‍.මගේ මේ වෘත්තීය කාළ සීමාව ඇතුල‍ෙ යම ලිංගික ජීවිතයේ වෙනස්කම් සහ ඕනෑ එපාකම් ගැන කතා කළ වියපත් ‍සේවාදයකයන් අතර ඉහළම වයසක හිටියේ අවුරුදු අසූවක තාත්ත කෙනෙක් සහ ඔහුගේ බිරිඳ පහළම වයසෙ පුද්ගලයා වුනේ අවුරුදු පනහක පුද්ගලයෙක්. ඔහුගේ අවශ්‍යතාව වුනේ, තම ‍සෞඛ්‍ය ආයතනය තුල නිවසේදී පෝර්න් වීඩියෝ බැලීම තුල ඔහුට නීතිමය ගැටළුක් ඇතිවේද කියන එක. මේ අතරේ සියගණනක් අම්මලා තාත්තල තමන්ගේ “ජීව අවශ්‍යතාව” ගැන අපත් එක්ක කතා කරලා තිබෙනවා. ඒ අතරේ වැඩි පිරිසක් මේ රටවල අය වුනත් ඉන්දියානු සංස්කෘතිය තුල වියපත් වුනු මවු පියවරුත් තම ගැටළු විවෘතව කතා කරන්න පෙළඹීලා තිබුණා. 

නිමාවට පෙර සතුටුදායක ආරංචියක් බෙදා ගන්නත් පුළුවන් වුනා. ඒ අර අපේ කතාවේ ටොම්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මා යොමු කළ ඉල්ලීම සළකා බලන්නටත්, ඉදිරි සති ‍දෙක තුල අවශ්‍ය අගැයීම කරල අදාල සෞඛ්‍ය ආයතනයේම ඒකකයක් ඔහු වෙනුවෙන් ලබා දෙන්නට ඇති ‍හැකියාව සොයා බලන්නටත් බලධාරින් කැමැත්ත පළකරලා ඊමේලයක් එවා තිබුණා. හෙට දවසේ මේ “සතුටුදායක බලාපොරොත්තුව” ට‍ොම්ට දෙන අපේක්ෂාවෙන් අදට සමුගන්නවා.

සුබ දවසක් ඔබට!

(කතාව ඇත්ත වුවත්, සේවාදායකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ව්‍යාජ නම් භාවිත කර ඇත) 

2020/03/25

ඔබ එන්න, ඔබ ඇවිත් යන්න එන්න...

මේ දිනවල ඇති අවිවේකී පරිසරය තුල “සොඳුරු සුව අසපුව“ යාවත්කාළීන සිදුකරන්නට ලැබෙන්නේ නැති තරම්. කෙසේ වෙතත්, පවතින තත්ත්වය පිළිබඳ ලිපි මගේ පෞද්ගලික ෆේස්බුක් පිටුව තුල පළ කරනවා. කැමති නම් ඇවිත් යමක් අරගන්න.

මෙන්න ලිංක් එක ඇවිත්යන්න එන්න.
https://www.facebook.com/mmaheshnishantha
මේ අවදානම පහව ගිය විගස සොඳුරු සුව අසපුව නැවත යාවත්කාළීන වේවි.

ඔබට සුව සතුට පතමි.
මම මහේෂ්

2020/02/29

239) මාස්ක්, රැවුල සහ කොරෝනා



COVID -19 වයිරසයේ සීග්‍ර පැතිරීමත් එක්ක බොහෝ මාස්ක් පළඳින්න පෙළඹිලා තිබෙනවා. මේ පළඳින මාස්ක් වලින් බලාපොරොත්තුවන ආරක්ෂාව නොලැබුණත්, රෝගී හෝ රෝගයේ ලක්ෂණ පෙන්වන අයෙක් මාස්ක් එකක් පැළඳීම වැදගත්. මෙි වීඩියෝව මාස්ක පළඳින ඔබට වැදගත් වේවි



කොරෝනගෙන් ගැලවෙන්නට හරි මග 


දෑත පරිස්සම් කරගන්න

1 අවශ් සියළුම අවස්ථා වලදි ,දෑත් සබන් සෝදා ගලා යන ජලයෙන් පිරිසිදු කරගන්න. විශේෂයෙන්ම,පොදු ප්රවාහන සේවාවන් භාවිතයෙන්,වෙළදසැල් වල ගැවසීමෙන් රෝහල් තුල රැඳීසිටීමෙන් පසු

2 අත් සේදීමෙන් පසු වියලීම සඳහා Hot air hand dryer භාවිත නොකරන්න

3 Alcohol based hand sanitizer එකක් හැම විටම සූදානම්ව ළඟ ලබා ගන්න

4 ඇස් , මුහුණ අතගෑම් හැකි තරම් සීමා කරන්න.

5 සුබ පැතීම් සඳහා අතට අතදීම්, වැළඳ ගැනීම් සීමා කරන්න.

6 රෝග ලක්ෂණ නොපෙන්වන අයෙක් තුල පවා වයිරසය ඇති බව , පැතිරවිය හැකි බව දැනුවත් වන්න.

7 සැක සහිත අවදානම් සහිත යමක් ස්පර්ෂ කලේනම් , දෑත් නිසි ලෙස පිරිසිදු කරගන්න.



කෙළ බිඳිති ආවරණය කරන්න

1 කිවිසීමේදී දෑත භාවිත නොකර ටිෂු එකක් හෝ නැත්නම් වැලමිට ඇතුලත භාවිත කර බිදිති විසිරීම පාලනය කරගන්න.

2 නැවත භාවිත කරන ලේන්සුවකට වඩා වරක් භාවිත කර ඉවත් කරන facial tissue වඩාත් සුදුසුයි මේ අවස්ථාවේ.

3 කිවිසීමකට , නාසය පිරිසිදු කිරීමකට පසු දෑත සබන් / ගලා යන ජලය හෝ 70%-80 Alcohol based Hand sanitizer භාවිත කර පිරිසිදු කරගන්න.



ලෙඩ වුනා නම් ගෙදර ඉන්න

1 රෝග ලක්ෂණ දැනගන්න කැස්ස, උණ , උගුරේ වේදනව, සෙම්ප්රතිශ්යා වේ ලක්ෂණ, ශ්වසන අපහසුව මුලික ලක්ෂණ විය හැක

2 සෙම්ප්රතිශ්යාව ලක්ෂණ මතුවූ සැනින් කළබල නොවන්න.නමුත් අදාල ආසාදනය පැතිරෙන ප්රෙද්ශයක , පසුගිය සති දෙක තුල සංචාරය කළානම් හෝ අදාල රෝගයට පත්වූ අයෙක් සමඟ ළඟ ඇසුරක් පැවතුනාද අඩි හයකට හෝ අඩු දුරක නම් රෝග ලක්ෂණ වන වෙනස්වීම පිළිබඳව වැඩි අවධානයකින් ඉන්න.

3 නිවසට වී දිනක් දෙකක් විවේක ගන්න, රෝග ලක්ෂණ පිළිබඳ සැළකිලිමත්වන්න.

4 දියර වර්ග වැඩිපුර ගැනීම, පෝෂණිය ආහාර ගැනීම හරිව වැදගත්.තද උණූ ජලය පානයේ අවශ්යතාවයක් නැතිමුත් උතුරවා නිවාගත් ජලය හෝ පිරිසිදු පානීය ජලය පානය වැදගත් වේ

5 මේ කාළය තුල ඔබේ හිතුමනාපෙට ප්රතිජීවක ඖෂධ නොගන්න.

6 ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පවුලේ අනෙක් අයගෙන් හැකි තරමට වෙන්ව මේ කාළසිමාව ගත කරන්න. මේ අවස්ථාවේ නිවස තුලදී වුවද මුව වැස්මක් පැළඳීම පවුලේ අනෙක් අයට යම් ආරක්ෂාවක් වේවි

7 රෝග ලක්ෂණ වැඩිවන බව දැනෙනවා නම් හෝ ශ්වසන අපහසුතාවයක ලක්ෂණ මතුවේ නම් දින ගණන ගැන නොසිතා මුව වැස්මක් පැළද, රෝහලට යන්න.

8 ඔබට කොරෝනා වයිරසය ඇතුළු වී ඇතැයි රෝහලේදී හඳුනාගත්ත වයිරසය ශරීරගත වූ සියල්ලන් ජීවිත අවදානමකට ලක් නොවනබව තේරුම් ගන්න, සෞඛ් උපදෙස් අනුව අදාල කාළ සීමා රෝහල තුල ගත කරන්න.

9 සැක සහිත ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සමඟ ඉතා ළඟ කතා බහ , සිප ගැනීම්, නොකරන්න.

හොඳට කන්න බොන්න

1 පෝෂණීය ආහාර වේලක් ගන්න, පිරිසිදු ජලය/දියර වර්ග වයසට ගැලපෙන ප්රමාණයට පානය කරන්න.

2 මත්පැන් පානය මගින් මෙම වයිරසය විනාශ නොවන බව දැනුවත් වන්න.

3 මස්, කිරි බිත්තර වැනි සත්ව ආහාර හොදින් පිස පරිභෝජනය කරන්න. හොදින් පිසගත් මස් මාංශ අනුභවයෙන් ප්රෝටීන් මිස වයිරසය නොලැබේ ,

4 සත්ව ආහාර මිලදී ගැනීම සඳහා වගකීමක් ඇති වෙළඳ සැලක් වෙත යන්න

5 ආහාර සැකසීමේදී , නොපිසින ආහාර ගොටු කොළ වැනි සමඟ නොපිසූ මස් මාංශ මිශ්රවීම වලක්වා ගන්න

6 විටමින් සී සහිත ස්වභාවික පළතුරු භාවිතය වාසිදායක විය හැකි බව දැනුවත් වන්න.



නිවැරදිව දෑත් පිරිසිදු කරගන්න

1 ගලා යන ජලයෙන් , ඇඟිලි/ඇඟිලි අතර/මැණික්කටුව ප්රෙද්ශය/අල්ල/පිටි අල්ල, හොඳින් තෙමා ගන්න

2 දැන් සබන් යොදා පෙර ප්රදේශ තත්තපර 20-30ක්වත් හොඳින් අතුල්ලන්න , දැන් ගලා යන ජලයෙන් හොඳින් සෝදා හරින්න.

3 අත් වියලීම සඳහා පිරිසිදු රෙදි කඩක් හෝ ටිෂු එකක් යොදා ගන්න, කිසිදු විටෙක සවිකර ඇති Hot air hand dryer භාවිත නොකරන්න

4 ගලායන ජලය සහ සබන් නොමැති අවස්ථාවකදි Alcohol based hand sanitizer බිඳු කිහිපයක් අතට ගෙන පෙර කී ප්රෙද්ශ තුල හොඳින් ආලේප කරගන්න, වියලෙන්නට දෙන්න. තෙතමාත්තු කිරීම හෝ සේදීම කළ යුතු නොවේ. 5 අත කිළිටි යැයි හැඟෙන හැම විටකෙම සහ , කිවිසීම , නාසය පිරිසිදු කිරීම, සතුන් ස්පර්ශ කිරීමෙන් පසු, කෑම පිළීයෙල කිරීමට පෙර , කෑමට පෙර , වැසිකිලි භාවිතයට පසු, රෝගී අයෙක්ට සත්කාර කළ පසු සහ අතට අතදීම හෝ අවදානම් යමක් ස්පර්ශ කිරීමට පසු දෑත පිරිසිදු කරගන්න


දැනුම යාවත්කාළීනව තබා ගන්න

1 රජය විසින් ලබා දෙන සෞඛ් උපදෙස් පිළිපදින්න.

2 පහත බැදුම් ඔස්සේ ජාත්යන්තර මට්ටමෙන් පිළිගන්නානිවැරදිනවතම දැනුම ලබා ගන්න. www.who.int www.cdc.gov

3 ලබා ගත් නිවැරදි දැනුම බෙදා ගන්න



දැන ගෙන මාස්ක් එකක් පළදින්න

1 ජනාකීර්ණ,අවදානම් යැයි ඔබ සැක කරන ස්ථානයකදි හෝ ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පළදින්න.පැළදීමට පෙර දෑත , සබන් සහ ගලා යන ජලයෙන් හෝ විෂබීජනාශකයක් යොදා පිරිසිදු කරගන්න.

2 හැම විටම වර්ණවත් ලේයරය Fluid repellent layer ඉවතට සහ සුදු පැහැ පැත්ත මුහුණට ස්පර්ශ වන සේ පළදින්න.

3 නාසය ඉහළ කෙළවර සිට නිකටේ පතුල දක්වා මාස්ක් එකෙන් ආවරණය විය යුතුමයි

4කිනම් මාස්ක් එකක් පැළදුවද එමගින් කට , නාසය , නිකට අතර හිදැස් අවම වන සේ හොඳින් ආවරණයවන අයුරින් පළදින්න

5 එකම මාස්ක් එක නැවත භාවිත කරන්නට එපා. නැවත පිරිසිදු කර භාවිත කළ හැකි ෆිල්ටරයක් සහිත මාස්ක් එකක් නම් නිශ්පාදකයාගේ උපදෙස් අනුව එය පිරිසිදු කරන්න

6 ඔබ රැවුලු වවා ඇති අයෙක් නම් මාස්ක් එක සහ ඔබේ මුහුණ අතර ඇති හිදැස් මගින් වයිරසය පහසුවෙන් දේහගත විය හැකි බව දැන ගන්න

7 මාස්ක් එක මගින් 100% ආරක්ෂාවක් නොලැබෙන බව දැන අනෙක් ආරක්ෂණ උපක්රමද අනුගමනය කරන්න