2018/02/09

218) ඇණයක් වෙලා හරි- හරියට ඇන ගන්න (රෝගියාගේ අයිතිවාසිකම්)

“අපි ඩොක්ටර් xxxxxx චැනල් කරමු , එයා තමයි දැනට ඉන්න හොඳම කෙනා මේ පැත්තේ, ටිකක් සැරයි
තමයි“
“අපෝ අර xxxxxx ද, අනේ මට බයයි මං අහල තියෙනව ඒ සර් හරියට බනිනවා කියල, “
-----------
“මේ ඔය පහලොව ඇඳේ ලෙඩා එන්න , ලොකු මහත්තයට බලන්න ඕන“
-----------
“කෝ මේ දියවැඩියා ලෙඩ්ඩු , එන්න  මේ දියවැඩියා කෑම ගන්න“ 
-----------
“අනේ නෝනා මට අමාරුයි එකපාරට අමාරුයි , පොඩ්ඩක් ඉන්න මම හිමීට අනිත් ඇඳට මාරු වෙන්නම්“
මේ අපට ඔහෙලව නලව නලව ඉන්න බෑ , කෝ ඉක්මණට එහා ඇඳට යන්න, අපට තව වැඩ තියෙනවා“
-----------
“හෙට උදේ ඔපරේෂන් එකක් තියෙනවා , මෙතන අස්සන් කරන්න,ඉක්මණට!“
-----------

2018/02/04

217) තරු ඇස් මිලින කළ තිත

“කොහොමද අයියා මැච් එක? මට නම් මුකුත්ම අහන්න වුනේ නැහැ , අද ක්ලිනික් එකේ පනහක් විතර හිටිය“
උදේ ඉඳන් මාව ආරක්ෂා කළ මුව වැස්ම ගලවල දාල අත් සෝදන අතරෙ මගේ වෘත්තීය මිතුරත් එක්ක පොඩි කතා බහකට එකතු වුනා. “නියමයි මල්ලී , සනා දෙනවා නියමෙට , තව ඕවර්ස් තුනයි“ කතාව  අතරේම මගේ මිත්‍රය තවත් පිළිකානාශක ඖෂධ වර්ගයක් සේලයින් වලට එකතු කරනවා , වාට්ටුවේ ඉන්න රෝගියෙක් වෙනුවෙන්. “කාටද අයිය ඔය කීමෝ එක මේ බත් කන වෙලාවේ“ මේ වෙලාව සාමාන්‍යෙයන් පිළිකානාශක ඖෂධ ආරම්භ නොකරන වෙලාවක් නිසාම මගේ හිතට ආ පැනය යොමු කළා.
“ආ මේක මල්ලි ,අර තරු බබාට , සර් අදම පටන් ගන්න කියල, පොඩ්ඩගේ රිපෝර්ට්ස් හොඳයිළු , මේ ඩෝස් එක දීල හවස ගෙදර යවතෑකි කිව්ව , ලොකු දෙයක් නේද මල්ලී “ මැච් එක පැත්තක දාල හිත පතුලෙන්ම ආ සතුටින් මගේ සහෝදර හෙද නිළධාරිවරයා කීව.
දවස ගෙවුනා,
මැච් එකත් ලංකාව දිනුවා. (මේ ළඟදි වෙච්ච දෙයක් නෙවි මේ කතාව, දෙදහස් තුනවගේ කාළෙක සිදුවීමක් මේ)