2020/12/12

244) දෙමාපියන්ට අතිවිශේෂයි

 මේ ලිපිය කියවන මා වගේම ඔබත් “දෙමාපිය” කියන කාණ්ඩයට අයත් අයෙක් වන්නට ලොකු ඉඩක් තිබෙනවා. එහෙම නම් මේ ඔබ-මා ගැන කතාවක් , කෙ‍සේ වෙතත් පෙර කී කාණ්ඩයට අයත් ‍නොවීම මේ ලිපිය කියවන්නට බාධාවක් නොවන බව නම් කිවයුතුමයි.

දරුවෙක්ගේ උපත එක්ක ඇති වන දෙමාපිය-දරු බැඳීම තුල හරිම සුන්දරයි හෝ තීරණාත්මකයි , වගේම දෙපාර්ශ‍වයේම අනාගතය තීරණය වන සැලසුමත් හැදෙන බව ටිකක් කල්පනා කළොත් ඔබට වැටහේවි. තව විදියකින් කීවොත් ඔබත් දරුවාත් අතර පවත්වා ගන්නා සම්බන්ධයේ වගකීම, බැඳීම, ස්වභාවය අනුව ස්ථිරවම දරුවාගේ අනාගතය තීරණය වන අතර , ඔබේ අනාගතයේ කායික , මානසික සහ සමාජයීය සෞඛ්‍යයටත් බලපානවා. අන්න ඒ නිසා ඔබ, ඔබේ දරුවා සමඟ පවත්වා ගත යුත්තේ කුමන දෙමාපිය-දරු සබඳතාවයක්ද කියන එක මේ ලිපිය තුල අපි කතා කරමු. ඊට පස්සේ බලමු ඒවායෙන් දෙපාර්ශවය කෙරෙහිම වඩාත් සාර්ථක ක්‍රමය විය හැක්කේ කුමක්දැයි.

වැඩි දුර කතා වලට යන්නට පෙර අපි බලමු මොනවද මේ දෙමාපිය-දරු සබඳතා ක්‍රම කියලා. මේක නිවැරදිම සිංහල වචනය නොවේ නම් මා නිවැරදි කරන්න. චිකිත්සීය ළමා මනෝ විද්‍යා විෂය තුල මේ ක්‍රම හඳුන්වන‍්නේ Parenting styles ලෙසට. මොනවද මේ ස්ටයිල් ටික.

·         කතා නොකර නීති දාන- Authoritarian parents – මේ ක්‍රමය තුල සිදුවන්නේ අම්ම තාත්තට දරුවට නීති දානව, වැරදි කළොත් දඬුවම් දෙනවා. ඒත් නීති ගැන දඬුවම ගැන දරුවට නිසි වැටහීමක් ලබා දෙන්නේ නැහැ. උදාහරණයක් විදියට මේ දරුවට මව කියන්නේ “දැන් මේ කෑම එක ඔක්කොම කනව, නැත්තං තාත්ගෙන් ගුටි කන්න වෙයි. අවසාන ප්‍රතිපලේ දරුව කෑම ටික කාළ නැත්නම් තාත්ත දරුවගේ කණෙන් හරි ඇදල “දඬුවමක්” දෙන එක. මේක හොඳඳ නරකද කතා කරන්නෙ නැතිව අපි යමු අනෙක් ක්‍රමයට.

·         කියල දීලා නීති දාන  Authoritative parents – “ඔයා මේ  කෑම ටික කන්න ඕන, ඔය කොළ, පළතුරු කන්නම ඕන මොකද දන්නවද මේ දවස් වල තියෙන ලෙඩේට ඔරොත්තු දෙන්න නම් ඇඟ හොඳට හයියට තියෙන්ට ඕන, ඔන්න කෑවෙ නැත්තං තාත්තගෙන් ඔයාට කියපු පනිෂ්මන්ට එක දේවි” කියන අම්මත්, දරුවාට ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමට අකමැත්තක් පෙන්වල පැණි රස කෑමක් විතරක් ඉන්නව නම් අන්න එතැනදි  මේ “කෑම වැරැද්ද කළොත් ලැබන දඬුවම” මොකක්ද කියල තේරුම් කරල තිබුණනම් ඒ දඬුවම දරුවට දුන්න තාත්තත් අයිත් වෙන්නේ මේ වර්ගයට. මෙතැනදි වැරැද්දට ලැබෙන දඬුවම සහ ඊට හේතුව  ගැන දරුව දැනුවත් වෙලා තිබීම වගේම වැරැද්ද කළොත් ලැබන දඩුවම ගැන යෝජනා දරුවගෙන්ම අරගෙන තිබෙන්නත් පුළුවන්.

·         බබාගේ නීතිය ගන්න - Permissive parents- මේ දෙමාපියන් නීති දාන්නේ නැති තරම් , නැත්නම් ඉතාම අඩුවෙන්, “දරුවට කැමති දෙයක්” කරගන්න ඉඩ දෙනවා කියන මතයේ ඉන්නයි කැමැත්ත. අර උදාහරණෙම ගත්‍තොත් “අම්මෙ බඩගිණිය” කියත්දි, “අන්න පුතා කැමති කෑම ජාති දෙකක්ම හදල තියෙනවා, පුතාට කැමති තරමක් කන්න” කියන අම්ම කෙනෙක් වගේම  , දරුවගේ වර්ධනයට ප්‍රමාණවත් තරමට කාළ නැහැ කියල දකිත්දි “ආ පුතා ක‍ාළ නැහැනේ”  කියල ප්‍රතිචාර දක්වල , ඒ ගැන දරුවට හේතුව පැහැදිලි කිරීමක් නොකර පියාත් අයත් වෙන්නේ මේ වර්ගයට. මෙතැනදි වැදගත් ලක්ෂණය දරුවාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වනවා.ඒත් දරුව කරන්නේ “තමන්ට ඕන දේ විතරයි” කියන සීමාවේ ඉන්නවා.

·         වගකීමක් නැති - Rejecting - Neglecting parents – “මට බඩගිණියි” කියන දරුවට , “ මං දන්නෑ ඔන්න ඔය තියෙන දෙයක් ඕන නම්  කනවා” කියල , දරුව‍ගේ “බඩගිණි” ඉල්ලීමට සාධාරණ ප්‍රතිචාරයක් නොදක්වා “තමන්” ගැන විතරක් හිතනව වගේ කටයුතු කරන දෙමාපියන් මේ වර්ගයට අයත්.

දැන් කතාවේ අවසාන කොටසට, ඔව් මං දන්නව දැන් ප්‍රශ්නේ මේ හතරෙන් මොන ක්‍රමයද වඩාත් සාර්ථක දෙමාපිය-දරු සබඳතාව කියලනේ?  මෙහෙමයි ඔබේ දරුවාගේ සාර්ථක අනාගතයක් අපේක්ෂා කරන ඔබ,  දරුවගේ වයස, චර්යාත්මක සාධක , සමාජ වටපිටාව සහ පවුලේ සැකැස්ම අනුව Rejecting - Neglecting parents ක්‍රමය හැර  අනෙක්  ක්‍රම අඩු වැඩි වශයෙන් , සමහර විට ක්‍රම කිහිපයක් මිශ්‍ර hybrid style එකක් භාවිත කරන්න වෙනවා . නමුත් මේ කිසිම තැනක දඬුවම කියන්නේ කායික ‍හෝ මානසිකව දරුණු පීඩාවක් ඇති කරමින් “දිගු කාළීන මානසික කැළලක්” ඇති කරන හිංසාවන් නොවන බව නම් කියන්නම ඕන.

මේ පිළිබඳ පර්යේෂණ කළ ළමා ම‍නෝවිද්‍යා සහ සමාජ විද්‍යා පර්යේෂකයන‍්ගේ හඳුනාගැනීම් අනුව , ඔබ ලබ‍ා දෙන තීරණ , නීති රීති පිළිබඳ වැටහීමක් ඇති වයසේ සිට පෙර කී ක්‍රම තුනෙන් ( Rejecting - Neglecting parents හැර) Authoritative parenting style එකට වැඩි ප්‍රතිශතයක් ලබා දුන් පවුල් වල දරුවන් තුල යහපත් මනෝ-සමාජයීය පරිණත වීමක්, තම අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සහ සාර්ථක අනාගතයකට ජීවිතය යොමු කරගැනීමක් හඳුනාගෙන තිබෙනවා. ලිපිය ලියන මම සහ මගේ බිරිඳත් ප්‍රායෝගිකව භාවිත කරමින් එහි සාර්ථක ප්‍රතිපල දකිමින් සහ අත්විඳිමින් සිටිනි නිසා අදාල හඳුනාගැනීම මා ද පිළිගන්නා බව කියමින් ලිපිය නිමා කරන්නේ  , ඔබට,ඔබේ දරුවා, පවුලට  ගැලපෙන ක්‍රමය ගැන තව ටිකක් හිතන්නට ආරාධනා කරමින්.

 

 

2020/12/11

243) මොලේ පාර හදාගන්න

අපේ මොලේ පුංචි ගමක් වගේ, අපි පුංචි කාළේ ගම ඇතුලේ දුව පනින කොළු ගැටයෙක් ‍වගේ , ගමේ තියෙන ඕන පාරක් දිගේ දුවන්න නටන්න, කාගෙ හරි වත්තක් මැදින් දුවල හරි ගෙදර එන්න පසුබට වෙන්නේ නෑ නේ. මහපාරද , අතුරු පාරද හොර පාරද ඔය එකක්වත් නැති කාගේ හරි පාළු වත්තක්ද වෙනසක් නෑ. හැබැයි අප ටිකක් ලොකු වෙන කොට, අර අනුන්ගේ වතු මැදින් පැනල දුවන එක නවතිනවා. දැන් ටිකක් අතුරු පාරක ‍හරි මහපාරෙන් හරි තමයි ගෙදර එන්නේ. තවත් ටිකක් වැඩිමල් වුනාට පස්සේ වෙන හොර පාරවල් වලින් යන එක නවත්තල ප්‍රධාන පාර දිගේ ගෙදර එන්න බලනවා.




මේ සිදුවීමම අපේ මොළය ඇතුලෙත් සිදුවෙනවා. අපි පුංචි කාළේ , මොළයේ තියෙන ස්නායු සෛල අතරේ ස්නායු මාර්ග අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඕන තැනකින් යන්න පුළුවන්. ඒත් අපි ටිකෙන් ටික ලොකු වෙත්දි මේ තියෙන ස්නායු පාරවල් සමහර ඒවා වැහිල යනවා. තවත් ලොකු වෙත්දි තවත් විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ අපේ ජීවිතය ඉදිරියට යත්දි අර ස්නායු පාරවල් ගාණ අඩු වෙලා , තෝරා ගත්ත ස්නායු මාවත් සංඛ්‍යාවක් තුල අ‍පේ කටයුතු කරගන්න පුරුදු වෙනවා. ඒ නිසා තමයි අපට පුංචි කාළේ තිබුණූ සමහර දක්ෂතා දිගටම හුරුවුනේ නැත්නම් අමතක වෙලා බැරි වෙලා යන්නේ. ඒ අර වැඩට ගන්නේ නැති පාරවල් වැහෙනවා වගේ . ඒ වගේමයි අපි හොඳින් පුහුණ වන ක්‍රියාකාරකමකට අදාල හැකියාව හුඟක් දියුණූ වෙන්නේ.

මේ තත්ත්වයේම අනිත් පැත්ත කිව්වොත් , අපට පුළුවන් සමහර දක්ෂතා පසුකාළීනව පුහුණූ වෙන්න , ඒ අළුත් දක්ෂතාවයක් පුහුණු වෙත්දි වෙන්නේ ඊට අදාල අළුත් ස්නායු මාර්ගයක් පිළිසකර වෙලා “පාරක්” හැදෙන එක. මේ තත්ත්වයට අපි කියන Neuroplasticity කියලා.

අපි වයස් ගත වෙත්දි , එකම රටාවකට හුරු වෙත්දි අර පුංචි කාළේ තිබුණූ ස්නායු පාරවල් ගණන අඩුවෙනවා කිව්වනේ . වියපත් වීමත් එක්ක සිදුවන මොළයේ සෛල වෙනස්වීම නිසා තව දුරටත් මේ පාරවල් අඩුවීම වෙන්න පුළුවන්. අන්න එතැනදි තමයි අපට අමතක වීම , ඇතුළු සමහර චර්යාමය ගැටළු මතුවන්නට පටන් ගන්නේ , සහ ඊට තවත් හේතු එකතු වෙමින් තමයි ඩිමෙන්ෂියා වගේ රෝග ඇති වීම සිදුවන්නේත්.

කොහොම වුනත් , අපි කිව්වනේ ඕන නම් අපට පුළුවන් කියල මේ වැහුනු ස්නායු මාර්ග ආයෙ හදා ගන්න. එහෙම නැත්නම් අළුත් ස්නායු පාර වල් හදාගන්න. අන්න ඒ හැකියාව පිළිබඳව තේරුම් ගත්තොත් වියපත් වීමත් එක්ක ඇති විය හැකි ‍මොළය ආශ්‍රිත ගැටළු ගණනාවකට යම් විසඳුමක් ලබා ගන්න පුළුවන් බව හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ .මොළයේ දැනට ස්ථාවර වෙලා තිබෙන ස්නායු පාර වල් වලට අමතරව තවත් අළුත් පාරවල් හදා ගන්න එක. ඒ සඳහා ඔබේ රැකියාව අතරේ ඔබ ඉගෙන ගන්න අළුත් භාෂාවක් , නැත්නම් අළුත් විනෝදාංශයක් ඒ සඳහා උපකාර වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අද ඩිමෙන්ෂියා රෝගීනට ප්‍රතිකාර වශයෙන් අළුත් කුසලතා , අත්දැකීම් පුරුදු කරවීම සාර්ථක බව හඳුනාගෙන තිබෙන්නේ. ඒ සඳහා වෙනම විශේෂීත චිකිත්සීය ක්‍රම තිබෙනවා.

නමුත් ඔබට අපට තවම එබඳු විශේෂීත “චිකිත්සීය උපකාර” අවශ්‍ය වන්නේ නැහැ. වැදගත් දේ දවසේ රාජකාරි අතරේ රාජකාරීමය විෂය කරුණූ ඔස්සේ සංවර්ධනය වන ස්නායු මාර්ග , පීඩනය, අවිවේකය, ආවේගය , වේදනාව වගේ අත්දැකීම් දෙන ස්නායු මාර්ග වලට අමතරව තවත් ස්නායු මාවත් සංවර්ධනය කරගන්න. ඒ සඳහා විනෝදාංශ, ක්‍රීඩා , ව්‍යායාම , සමාජ බැඳීම්, වගේම පරණ මතකයන් ද වැදගත් තැනක් ගන්නවා.



අනෙක් ඒවා පැත්තක තියා පරණ මතකයන් ගැන කතා කළොත්, ස්නායුවේදී විශේෂඥයින් හඳුනාගන්නවා, ඔබට පුළුවන් නම් අතීත මතකයකට ඇතුළු වෙලා ඒ මොහොත එදා විඳි ආකාරයෙන්ම විඳින්නට පුළුවන් නම් , ඒ ඔස්සේ ස්නායු අක්‍රිය වෙලා තිබුණූ ස්නායු සෛල සක්‍රිය කරන්නට පුළුවන් බව. මෙහි ආසන්නම සාර්ථක පර්යේෂය කළේ 2015 දි University College London (UCL) මගින්.ඔවුන් හඳුනාගන්නවා මේ ආකාරයට පැරණි මතකයන් තුල රැඳී සිටින විට සක්‍රිය වන ස්නායු සෛල ඔස්සේ ඇති වන අළුත් බැඳීම් නිසා , මොළය තුල ගබඩා වී අක්‍රියවී තිබූ මතකයන් අතර සබඳතා ඇති කරමින් සක්‍රිය ස්නායු මාවත් ජාලයක් හදන බවත් ඒ ස්නායු සක්‍රිය වීම , වියපත් වීම ඔස්සේ ඇතිවිය හැකි ස්නායු ආබාධ වලට සාර්ථක පිළිතුරක් බවත්.

මේ පරණ මතකයන් අවදි කිරීම නැත්නම් වීම සිදුවන ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා. මුල්ම එක Free recall ඒ කියන්නේ වැඩි කරදරයක් නැතිව කිව්ව ගමන් මතක් වෙන දේවල්, පිළිවෙලවල්. දන්නවනේ අපටත් තියෙනවනේ ඒ වගේ මතක . අනෙක Cued recall මෙතැනදි වෙන්නේ කවුරු හරි පොඩ්ඩක් මතක් කළාම ..ආ... දැන් මතකයි මටත් කියල කියවෙන මතක්කිරීම .අන්තිම එක Serial recall ,ඒක මේ ව‍ගේ , අපි පරණ කතාවක එක තැනක් මතක් කළාට පස්සේ ඊට සම්බන්ධ අනෙක් හැම සම්බන්ධතාවයක්ම , කතාවක්ම මතක්වීගෙන එන්නේ , අන්න ඒ තමයි සීරියල් රීකෝල් එක. මේ මොන ක්‍රමයෙන් හරි “මතක් කිරීම” තුල නිදා ගන්න ‍ස්නායු සෛල අවදි කරන්නට පුළුවන්. එයයි වාසිය.

දැන් මේ “මතක් කිරීම” කරත්දි වැදගත් වෙන කරුණූ කිහිපයක් තිබෙනවා. ඒ ,

“මතකය විඳින්න”- ඔබ මතක් කරන සිදුවීමට ඇතුළු වෙන්න. ඒ කියන්නේ ඔබ මතක් කරන සිදුවීමේ ඔබ ලත් අත්දැකීම හිතින් විඳින්න, එතැනදි වෙන්නේ අදාල අත්දැකීම රෙකෝඩ් කරගෙන හැංගිලා ඉන්න මොළයේ සෛල ආයේ සක්‍රිය වෙලා , පරණ දැනුනු දේ එළියට දෙන එක. ඒ සක්‍රිය වීමයි විය යුත්තේ. උදහරණයක් ඔබ මීට අවුරුදු විස්සක ඉස්සර වෙලා යාළුවොත් එක්ක කැළේ පැනල අමු අඹ කඩාගෙන ලුණු ගාගෙන කෑව මතකයට නම් යන්න ඕන , ඔබ ඒ අත්දැකීම තුලටම යන්න, ඔබට දැනෙන්න ඕන , ඔබට හැගෙන්නට ඕන ඔබ එදා විඳි රස , දැනුනු බය , හැම දෙයක්ම . මුලින්ම බැරිවුනත් මේක හුරු වීමත් ,ඒ සදහා අවශ්‍ය කරන මානසික විවේකයයි ඇත්නම් පුළුවන්.

“පාර තෝර ගන්න” - පරණ මතකයන් එළියට ගනිත්දි උත්සාහ කරන්න ඔබට රිදවන අත්දැකීම් වලට වඩා ඔබට සතුට ගෙනා අත්දැකීම වල මතකයන් හාරා අවුස්සා ඒ මතක සතුට විඳින්න. ඒ ඔස්සේ ඔබේ මතකය තුල සතුටු මතකයන් වලට අදාල ස්නායු මාර්ග සැකසීම වෙන්නේ. ඒ නිසා පරිස්සමෙන්, ඔබ පරණ වේදනාවල් හැම තිස්සේම මතක් කරන්න ගත්තොත් සිදුවෙන්නේ අර වේදනාත්මක මතකයන්ට අදාල ස්නායු මාවත් ටිකෙන් ටික වර්ධනය වෙලා ඔබට අනවශ්‍ය කරදර ඇති කරමින් ,ඒ දුකේම ජීවත් වන්නට හිත පොළඹවන එක. ඒ නිසා වැඩිපුර උත්සාහ කරන්න ඔබේ සතුටු මතකයන්ට අදාල ස්නායු මාවත් පුළුල් කරගන්නට.

“පාර වල් අමුණන්න” - ඒ කිව්වේ ඔබේ යම් අත්දැකීමක් මතක් කරත්දි ඊට සම්බන්ධ අනෙක් සිදුවීම , තිබුණ පරිසරය , එදා දැනුනු හැඟීම් මතක් කරගන්න බලන්න, ඒ කියෙන්නේ එක මතකයක් ඔස්සේ තවත් ඊට ඈදුනු මතකයන් වෙත යන්න.

මතකය අදට ගන්න”- එදා ඔබ විඳි අත්දැකීම් , මතකය අද‍ මේ මොහොතේ විඳින්නට උත්සාහ කරන්න. උදාහරණයක් ඔබ පුංචි කාළේ අයිස් ක්‍රීම් වෑන් එකෙන් අරන් මුලින් අයිස් ක්‍රීම් එකක් කාපු දවස නම් මතක් කරන්නේ , අදත් ඒ රස අයිස්ක්‍රීම් එකක් රසවිඳින්න පුළුවන්ද බලන්න. පාසලේ හොඳම චිත්‍රය ඇඳළ සතුටක් ලබපු ඔබ අද චිත්‍රයක් අඳින අතරේ ඒ මතකය එළියට ගන්න උත්සාහ කරන්න.

“මතකය ඇද ගන්න” - ඒ කියන්නේ මතකයන් මතක් කර ගැනීමේදී එක කාළයකට විතරක් හිර වෙන්න එපා, ඔබේ පෙර පාසලේ මතකයන්, පාසලේ සිදුවීම්, පළමු පෙම, විවාහය වූ දිනය ඔන්න ඔය වගේ පුළුල් පරාසයක මතකයන් ගැන රස විඳින්න උත්සාහ කරන්න.

වැදගත්ම දේ මේ මතක ඇවිස්සීම වෙනුවෙන් කිසිම වියදමක් යන්නේ නෑ, රෝගී තත්තවයකට ප්‍රතිකාර ගන්නෙක් නොවේ නම් විශේෂඥ උපදෙස් අවශ්‍ය වන්නේත් නැහැ. එතැනදි වැදගත්ම දේ, යම් අයෙක් අතීතයේ සිදුවූ අවාසනාවන්ත හෝ භයංකර අත්දැකීමක් නිසා PTSD හෝ Clinical depression තත්ත්වයට පත්වෙලා නම් ඉන්නේ එතැනදි ටිකක් සීමා තබා ගන්නට වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ තත්ත්වය උග්‍ර කරවන මතකයන් උපදේශකයෙක්ගේ ප්‍රතිකාරාත්මක උපදෙස් වලින් තොරව නිරන්තරයෙන් මතක් කිරීම තුල ගැටළු ඇති වන්නට පුළුවන්. ඒ සීමිත අවස්ථාව හැර, අනෙක් ඕනම කෙනෙක්ට තමන්ගේ අතීත මිහිරි අත්දැකීම ස්මර්ණය කරගෙන , මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි දියුණූ කරගෙන , ඉදිරියේදී ඇති විය හැකි ගැටළු වලින් ආරක්ෂාවන්නට හැකියාවක් ලැබේවි. අද දවසේ ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා ලබා දෙන Reminiscence therapy ප්‍රතිකාරය තුල සිදුවන්නේත් මේ “මතක් කිරීමේ” සහ ඒ මතකයන් නැවත දැනීමේ ක්‍රියාවලියක්.

අවසානයේ, මේ ලිපිය කියෙව්ව නම් , දැන් කියවපු ටික මතක් කරන්න පුළුවන් ද බලන්න , ඉස්සර වෙලාම .