2020/11/13

242) සිරි ලංකාවේ කෝවිඩ් "සෙල්ලම"



ලංකාවෙන් ඈතක ජීවත් වුනත්, උපන් රට නිසා ලංකාවේ සිදුවන දේ ගැන ඇහ , කණ යන එක සාමාන්‍ය දෙයක්. බොහෝ වෙලාවට ලංකාවේ දේශපාලනික කොමඩි වලට මුල් තැන දෙන නිසා , ප්‍රධාන මාධ්‍ය වල පණිවිඩ නොබැලුවත්, දැනට ලංකාවේ පවතින අවදානම් තත්ත්වය නිසා, වරින්වර "ප්‍රධාන යැයි කියන" මාධ්‍ය වලට ඇස යොමු කරනවා. 

පසුගිය මැතිවරණ වලට පෙර "ඉතා අහඹු" සහ අදිසි ආකාරයෙන් කෝවිඩ් නැති කර, ලෝකෙන්ම දෙක වුනා යැයි කෑගැසූ ( ඒ පිළිබඳ කිසිදු පිළිගත් වාර්තාවක් දකින්නට නොලැබුණි) ලංකාව අද වෙත්දී ඉතා අවදානම් තත්ත්වයකට යමින් ඇති බව අප , පහුගිය මාස හත පුරාවටම කෝවිඩ් තත්ත්වය සමඟ , කෝවිඩ් රෝගීන් සමඟ ගණුදෙනු කර ලැබූ සහ ලබන අත්දැකීම් ඔස්සේ දැනෙමින් පවතී. 

ඒ තත්ත්වය තහවුරු කරමින්,
-දවස ගණනේ "පොකුරු පිපෙත්දී",
-කරන පරික්ෂණ වලට අදාල "සැක මතුවෙත්දී" ,
-මිනිසුන් "කෝවිඩ් බිල්ලාට " බයේ සියදිවි නසා ගන්න තැනට පත්වෙත්දී,
-"කෝවිඩ් සුව වී" ගෙදර යන මිනිසුන් පාර දිගේ මැරී වැටෙත්දී,
-තවමත් "කෝවිඩ් නිසා මැරුනේ පුද්ගලයන් පහක් පමණක්" යැයි කියත්දී,
හිතට දැනෙන කණගාටුව සහ "සාම්ප්‍රදායික සිරි ලාංකීය දේශපාලනයේ රැවටීමේ චාටු කතා සම්ප්‍රදාය පිළිබද" අප්‍රසන්න හැඟීම මුසුව මෙම සටහන ලියමි.

‍‍කෝවිඩ් ගැන තවමත් අප දන්නේ නොදන්නා දේට වඩා අඩුවෙනි, එය පළමුව කිව යුතුමය. එම නිසා, "කෝවිඩ් ගැන සියල්ල" දන්නවා යැයි සිතා කටයුතු කිරීමම පළමු අනුවණ කම යැයි හිතනවා. ඒ නිසා, මේක සුළු ප්‍රශ්නයක් මට විසඳන්න පුළුවන් යැයි කියන්‍නට දැනුමක් සහ බුද්ධියක් ඇති ජගතෙක් තවම හඳුනාගෙන නැත. වැක්සීනයන් කිහිපයක් සාර්ථක වෙමින් ආවද? එය 100%ක සාර්ථක තත්ත්වයක් නැත, සමහර විට 80%-90%ක සාර්ථකත්වයකට ලංවුවත්, "දැන' අපට කෝවිඩ් විනාස කරන්න පුළුවන් යැයි" කළබල වීමට තරම් තවම කාළය නොවේ. 



එම නිසා, වැදගත්ම කටයුත්ත වන්නේ වයිරසය සහ එහි හැසිරීම ගැන යාවත්කාළීනව සිටීමයි, ඒ සඳහා රට තුල මෙන්ම, ජාත්‍යත්නරව දැබෙන දැනුමද ලබා ගනිමින් කෝවිඩ් පාලනය පිළීබඳ ප්‍රතිපත්ති සකසන බලධාරීන් දැනුවත් විය යුතුව ඇත. "අප‍ට අනුන්ගේ ඒවා ඕන නෑ, අපට අපේ ක්‍රමයක් ඇතැයි" පුරාජේරු ගසන්නට , පපුවේ අත්ගසා බැබුන් වඳුරන් මෙන් වීරයන් වන්නට නොව, මේ ලෝකය වසාගත් වසංගතයේදී "ලෝකය සමඟ එක්ව යමින් " කටයුතු කළ යුතු වේ.

‍‍මේ වසංගතය තුල "වීරයෙක්" බිහිවීම නොව, "වීරයන්' බිහිවීමට නම්, වයිසරය පිළීබඳ , වසංගත රෝග පිළිබඳ විශේෂඥ දැනුමැති පුද්ගලයින්ගේ ප්‍රධානත්වයෙන් , ඔවුන්ගේ නාකයත්වයෙන් රට තුල සැලසුම් තැනීම සහ ක්‍රියාත්මක වීම විය යුතුමය. එසේ නොමැතිව, වසංගතවේදය පිළීබඳ කිසිදු දැනුමක් නැති හුදෙක් "මාධ්‍ය ඉදිරියේ හිස් වීරයන්" තැනීම තුල පුරවැසියන් අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වීම වැලැක්විය නොහැක . අද ලංකාවේ මාධ්‍ය දෙස බලත්දී, මෙම ලෝක වසංගත තත්ත්වය හමුවේ ,ඒ පිළිබඳ වැඩිම දැනුවත් කිරීම් කරන්නේ , වසංගතවේදය තබා, වෛද්‍ය විද්‍යාවේ මුලකුරුවත් නොදන්නා "වීරයන්"ය. විටෙක , එය ලංකාවේ කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචියක් නැති වෙද හොරෙකි, තවත් විටක, ආගමක නාමයෙන් ජීවත් වන ආගම් වෙළෙන්දෙකි, නැත්නම් නීතිය හා සාමය ගැන අධ්‍යාපනය ලත්, පොලිස් නිලධාරියෙක්, විටෙක, යුද්ධයේ කැපකිරීම කළ හමුදා නිලධාරියෙකි, නැත්නම් මේ කිසිවක් නැති , අඩුම තරමේ "සාමාන්‍ය බුද්ධීය නොමැති " හොරකම සහ රැවටීම සඳහා පමණක් ආචාර්ය උපාධී ඇති දේශපාලන පල්හොරෙකි.

මේ අවස්ථාවේ මහජනතාව ඉදිරියට ආයුත්තේ, රටේ වසංගතවේදය පිළීබඳ උගත්, විශේෂඥ දැනුම ඇති විශේෂඥ වෛද්‍ය සහ සෞඛ්‍ය වෘත්තිකයන්ය. ලෝකය සමඟ එක්ව දැනුම ලබා ගනිමින්, රටට ගැලපෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීම කළ යුත්තේ ඔවුන්ය, අරින වහන කතා තීරණය කළ යුත්තේ, ඔවුන්ය. වැදගත්ම පුරවැසියන් ඉදිරියට පැමිණ , පුරවැසියන් දැනගත යුතු දේ ගැන දැනුවත් කළ යුත්තේ ඔවුන්ය. දේශපාලන බලධාරින් අදාල ප්‍රතිපත්ති මත රට මෙහෙය වීම මිස, "මම ලොක්කා" සම්ප්‍රදාය තුල ඔක්කොම මට ඕන හැටියට විය යුතු යැයි තීරණය නොවිය යුතුමයි. සරළ උදාහරණයක් ලෙස, මේ ලිපිය ලියන අද දවසේ අපේ පළාත තුල කෝවිඩ් තත්ත්වයට අදාල යම් වෙනස්වීම් කිහිපයක් පිළිබඳ ඉගි පළවෙමින් පවතී, අද උදේ පළාතේ ප්‍රධාන ඇමතිගෙන මාධ්‍යකරුවෙක් , විය හැකි වෙනස්වීම ගැන කළ විමසීමකදී කියා සිටියේ, "අපේ ප්‍රධාන වෛද්‍ය කණ්ඩායම සමඟ ඒ පිළිබඳ කතා කරගෙන යනවා, ඒ පිළිබඳ ප්‍රධාන වෛද්‍යතුමිය ඔබට අද සවස දැනුම් දේවි" යන්න පමණයි. නමුත් ලංකාව ගැන ලැබෙන තොරතුරු අනුව, වැඩි වගකීමක් සහ පුරවැසියා කෝවිඩ් අවදානමෙන් ආරක්ෂා කරගැනීමේ වැඩි වගකීමක් දැරිය යුතු කණ්ඩායම් වලට ලැබිය යුතු පහසුකම් තබා නිසි සම්බන්ධීකරණය වත් සිදුනොවෙන තත්ත්වයක් ඇති බවයි. ඒසේ "නියම වීරයා මරා" , බොරු වීරයන් මතුවීම තුල කෝවිඩ් වැඩි ඇසට නොපෙනෙන හතුරෙකු සමඟ සටන පහසුනොවිය හැක. 

ලියන්නට තවත් දේ ඇතත් ලිපිය මෙසේ නිමා කරමි, කෝවිඩ් නිසා මැරුනේ පස්දෙනෙක් නම් ඇයි මේ තරමට කළබල වන්නේ? ඇයි මේ මෝඩ ඇන්දවීම් උගත් පුරවැසියන් ඉදිරියේ කරන්නේ? සිදුවන්නේ "වීරයෙක් ලෙස" සිටින්නට ගෞරව ලබන්නට හැකියාව ඇති පුද්ගලයන් "බූරුවන්" ලෙස සමාජය ඉදිරියේ නිරුවත් වීම පමණි.
‍කෝවිඩ් වයිසරයේ බලපෑම නිසා සිදුවන හානි කිහිපයකි, 

1) ජීවත් වුවත්, ජීව ඉන්ද්‍රියයන් වලට හානිවීම සහ හඳුනානොගත් අනාගත රෝග තත්ත්ව සහ සෞඛ්‍ය ආපදා,
2) තිබෙන කාළීන රෝග තත්ත්ව උත්සන්න වීම මත මරණය
3) පෙර හඳුනාගත් හේතුවක් නොමැතිව කෝවිඩ් වයිසරයේ සෘජු බලපෑම මත සිදුවන මරණය,
4) කිසිදු හානියක් නොවීම හෝ හානියක් හඳුනාගත හැකි නොවීම.

මෙයින් බහුලවම සිදුවන්නේ ජීවත් වුවත්, ජීව ඉන්ද්‍රියයන් වලට හානිවීම යන තත්ත්වයයි, ඒ තුල වයිරසය පෙනහළු, වකුගඩු අක්මාව, මොළය , ලේ නහර වැඩි ජීවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ජීව ඉන්‍ද්‍රිය සහ පටක වලට හානි කරයි. මෙම හානිය තුල පුද්ගලයාට ක්ෂණික ලක්ෂණ මතුවී රෝගී වීම හෝ නොවීම සිදුවුනත්, එහි සංකූල අනාගතයට බලපාන හෙයින් , ඉදිරියේදී විවිධ රෝග තත්ත්ව හෝ සංකූල මතුවීමේ ප්‍රවණතාවයක් තිබේ. මේ නිසාම පුද්ලයෙක්ට වයිරසය දේහගතවී දැඩිඅවදානමකට පත්නොවූවත්, ඔහුගේ හෝ ඇයගේ “අපේක්ෂීත ආයු කාළය” අවුරුදු දහයකින් අඩු වීමක් සිදුවන බව පර්යේෂණ ඔස්සේ හඳුනාගෙන ඇත. 

ඊළඟ පොදු අවස්ථාව වන්නේ කාළීන රෝග තත්ත්ව වලින් පෙළෙන පුද්ගලයන්ට මෙම වයිරසයේ බලපෑම නිසා අදාල රෝග තත්ත්ව උත්සන්න වීම හේතුවෙන් මරණය හෝ , ජීවිත අවදානමට පත්වීමයි. ලොව පුරාම බහුලව මේ තත්ත්වය යටතේ මරණ සිදුවන්නේ මේ කාණ්ඩය තුලයි. විශේෂයෙන්ම මැදිවිය හෝ වියපත් පුද්ගලයන්‍ කෝවිඩ් වලට අවදානම වැඩි වන්නේ වියපත් වීම සමඟ ඇති වන වෙනත් කාළීන රෝග තත්ත්වයන් කෝවිඩ් ප්‍රහාරය නිසා උත්සන්නවීමයි. ලංකාවේ සිදුවී මරණ වලින් වැඩි ප්‍රමාණයක් ද මේ වර්ගයට අයත් වෙන බව හඳුනාගත හැකිවේවි. 

ඊළඟ අවස්ථාව නම් වෙනත් කාළීන රෝග තත්ත්ව නොමැතිවුවත්, කෝවිඩ් වයිරසය දේහ ගතවී, එයින් සිදුවන විවිධ බලපෑම් නිසා ඉන්ද්‍රිය/අවයව විනාශ වී සිදුවන මරණයයි, මේ ය‍ට‍තේ පොදු සාධකයක් ලෙස කෝවිඩ් නිසා ඇතිවන පෙනහළු ආසාදන, නියුමෝනියාව සහ ඒ ඔස්සේ සිදුවන අවයව දුර්වලවීම හෝ ලේ විෂවීම නිසා සිදුවන මරණයයි. ලංකාවේ ඊයේ පෙරේදා කී මරණ පහ මීට අයත් විය යුතුයැයි සිතමි. ඇත්තෙන්ම මෙම තත්ත්වය ඔස්සේ සිදුවන කෝවිඩ් මරණ සංඛ්‍යාව ලොව පුරා කිනම් රටක බැලුවද අඩු අගයකි. 

මේ තත්ත්වය අනුව වගකියන ආයතන කළ යුත්තේ මැරුණූ පුද්ගලයන්ගේ කාළීන රෝග ලයිස්තුව සමඟ ලිපි නිකුත් කිරීමට වඩා , යම් ප්‍රදේශයක් තුල හඳුනාගන්නා කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව දිනපතා මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින්, වයිරසයේ පැතිරයාමේ ස්වභාවය සහ අළුත් දැනුවත් විය යුතු කරුණූ ගැන සෞඛ්‍ය වෘත්තිකන් විසින් ප්‍රජාව දැනුවත් කිරීමත්, ලබා දී ඇති උපදෙස් තරාය් පිළීපැද ආරක්ෂා වීෆම් වැදගත් කම “දිනපතා අවධාරණය “ කිරීමත් , කෝවිඩ් ආසාදියත් සංඛ්‍යාව අවම කරගැනීමට කටයුතු යෙදීම හැර මාධ්‍ය සන්දර්ශණ පැවැත්වීම, තම‍ දේශපාලන අරමුණු වෙනුවෙන් වාසි එකතු කිරීම වැනි පටු දේ නොවේ. 

එබඳු දැනුවත් කිරීමේදී, රෝගය , වයිරසය ගැන වගේම එය අසා සිටින පුරවැසියන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය පහසුකම් සපයා දීම අත්‍යවශ්වේ. මෙවැනි වසංගත තත්ත්වයක් තුල , දිනපතා මරණ , ආසාදියත්, වේදනාව,වැනි දේ නිතරන්තරයෙන් ඇසෙත්දි, දැනෙත්දී, සාමාන්‍ය පුද්ගලයන් තුල පමණක් නොව වයිසරයේ හැසිරීමට පිළීබද අවබෝධය ඇති වෘත්තිකයන්ගේද මානසික තත්ත්වය බිඳ වැටෙන්නට අවස්ථාවේ. එම නිසා, එබඳු තත්ත්වයකදි උපකාර ගත හැකි ආයතන ගැනද පෙර දැනුවත් කිරීම වලදී ප්‍රජාව දැනුවත් කිරීම වැදගත් වේ. නොඑසේ නම් කෝවිඩ් නිසා මැරෙන ප්‍රමාණයට වඩා , "කෝවිඩ් මානසික පීඩනයන්" නිසා , පවතින මානසික ගැටළු උග්‍රවීම හෝ වෙනත් හේතු මත ඇති වන නොවිය යුතු "මියායම්" ඉහළ යන්නට පුළුවන.

රට වැසියා කළ යුත්තේ, රජයේ වගකියන සෞඛ්‍ය බළධාරින්‍ ලබා දෙන උපදෙස් සහ දැනුවත් කිරීම් ඔස්සේ යමින් තමන් ආරක්ෂා වන අතරේ අනෙකාද ආරක්ෂා කරගන්නට කටයුතු කිරීම මිස, පාරේ මැරුණු අහිංසකයින් ගැන අ‍‍දෝනා තැබීම හෝ කරන හැම දේටම විරුද්ධ වෙමින් මේ පක්ෂෙට බෑ අර පක්ෂෙට පුළුවන් මත වාද වලට මරා ගැනීම නොවිය යුතුයැයි මම සිතමි. 

පරිස්සම් වෙන්න, පරිස්සම් කරන්න!!

4 comments:

  1. Can any one say any better! මේකෙන් කොටසක්වත් යවන්න බැරිද අර ලන්කාවෙ අර ප්‍රධාන ධාරාවෙ මාධ්යද මොනවද කියන ඒවට. දේශපාලකයන්ටවත්, ඔවුන්ගෙ හෙන්චය්යන්ටවත් නෙවෙයි, සාමාන්ය මිනිස්සුන්ට කියවල දැනුවත් වෙන්න.

    'ලෝකෙන්ම දෙක වුනා යැයි කෑගැසූ', 'පපුවේ අත්ගසා බැබුන් වඳුරන් මෙන් වීරයන් වන්නට','"වීරයෙක් ලෙස" සිටින්නට ගෞරව ලබන්නට හැකියාව ඇති පුද්ගලයන් "බූරුවන්" ලෙස සමාජය ඉදිරියේ නිරුවත් වීම', 'හොරකම සහ රැවටීම සඳහා පමණක් ආචාර්ය උපාධී ඇති':
    තවත් මොනවද, ඔය තියෙන්නෙ complete picture එක.

    ReplyDelete
  2. දැන් තියෙන්නේ තනිකරම මිලිටරි කරණය වූ පාලනයක්... දක්ෂයන් අයින් කර තමන්ගේ වන්දිබට්ටයන් දමාගෙන යන ගමනක්, හොදම උදාහරණය සවුකයසේවා අද්යක්ෂක තනතුරු මාරුව....

    ReplyDelete
  3. කාලීන ලිපියක්

    ReplyDelete
  4. කාලීන ලිපියක්

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)