ලැබුණූ විවේකයේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම වෙනුවෙන් හිතන්නට ඕන, නමුත් සමහර වෙලාවට අපට හිතන්නට නොදැනෙන මාතෘකාවක් ගැන කෙටියෙන් සාකච්ඡා කරන්නට හිතුවා. ඒ Burnout ගැන. සිංහල පරිවර්තනය නම් එන්නේ "දැවීම" කියලා. ඔව් එක්තරා විදියක දැවීමක්. මේ කියන්නට හදන පියවර ඔස්සේ ඔබ කායිකව, මානසිකව එක්තරා දැවීමකට , බිඳීමක පත් වෙනවා. එය සමහර අවස්ථා වල Burnout Syndrom කියන නමින් හඳුන්වන්නට තරම් සංකීරණ, ගැටළු මිශ්‍රණයක්. ඇයි දැන් මේක ගැනම අද කතා කරන්නේ? එකක් වෘත්තිය වශයෙන් මම මැදිහත් වන සේවා ලබා දීම් වලින් සියයට හැටක් හැත්තෑවක් විතර මේ Burnout තත්ත්වය නිසා සිදුවන ගැටළු වෙනුවෙන්. ඉතින් මේ මාතෘකාව එක දවසක් තුල වාර ගණනක් කතා කරන, මතක් කරන දෙයක්. ඉතින් ඒක අර ගලේ කෙටුව වගේ ඔළුවේ රැදිලා තියෙන නිසා මේ වෙලාවේ "වෙනම මහන්සියක් වෙලා ලියන්න ඕන නැහැ". දෙක, මේ ගැටළුව ලංකාව තුල ඒතරම්ම සාකච්ඡාවට භාජනය වෙනවාදැයි සැකයක් මගේ අත්දැකීම් තුල තිබෙනවා. ලංකාව තුල සෞඛ්‍යය සේවය තුලවත්, අනෙක් වෘත්තික සාමාජිකයා burnout තත්ත්වට පත්වේද කියල හොයල බලන්නවත් දැනුවත් කරන්නවත් කටයුතු කරනවා නම් එය සතුටක්.
අප්පුහාමිගේ කතා වස්තුව ආරම්භය
හරි අපි මේක අප්පුහාමිගේ කතාවෙන් තේරුම් ගන්න බලමු. කවුද මේ අප්පුහාමි...?
අප්පුහාමි කියන්නේ හොඳට ඉගෙනකියා ගත්තු , ගමේ පොඩි රස්සාවක් කරගෙන හවස් වරුවේ යාළුවොත් එක්ක සෙල්ලං කරන, කරදඩු උස් වෙච්ච කොළු ගැටයෙක්. ගමේ හැමවැඩටම එකතු වෙන, මරණෙට මඟුලට නැතිවම බැරි තරුණයෙක්.
මේ තරුණයගේ තියෙන ජවය,උගත්කම සහ ගම වෙනුවෙන් කරන කැපවීම දැකමට, ගමේ මැම්බර් මහත්තයා, අප්පුහාමිට කොළඹ ලොකු කන්තෝරුවට පියුුං රස්සාවක් අරන් දෙනවා.කොල්ලට හරි සතුටුයි, ඒ වගේම දුකයි යාළුවො, ගම හීං එතනවා දාල යන්ට. ඒත් ලොක්කෙක් වෙන්න නම් කොළොම්පුරේට යන්ටම ඕන කියලා මැම්බර් මහත්තය කීව දේ දෝංකාර දෙනව වගේ ඇහෙත්දි අප්පුහාමි හිත හදා ගත්තා.
හීතල පින්න එක්ක මූදු හුළඟ සැරට තිබුණ දවසක ට්‍රන්ක පෙට්ටියට සරංකඩමාළු දෙක තුනකුයි, මැම්බර් මහත්තය දුන්නු සරං කෝට් බෑයකුයි අහුරගත්ත අප්පුහාමි රුහුණූකුමාරියෙන් කොළොම්පුරේට එන්න කියල අහංගම ස්ටේසොමෙන් ටිකට් කෑල්ලක් ගත්තා. ජැන්ඩිපහට ඇඳල හිටිය අප්පුහාමි දැකපු ස්ටේසන් මාස්ටර් "බෑරක් යන්ට වගේ" ඇහුවත්, අප්පුහාමි කීවේ නෑ කොහෙද යන්නේ කියල පුංචි හිනාවක් දැම්ම. "කට ඉස්සර කොරගන්න නරකයි මේ වගේ ගමනකදි" අප්පොච්චි කීපු දේ මතක් වුනා.
කොළඹ ආපු අප්පුහාමි ලොකු කන්තොරුවේ වැඩ පටන් ගත්තා. ගමේ වගේ නෙවි, හරි රස්නෙයි, දුමයි. ඒ වුනාට කන්තෝරුකාමරේ හරි පුසුඹයි. ලස්සන නෝනල මහත්තුරු සුවඳ ගාගෙන එහෙ මෙහෙ යත්දි අප්පුහාමිට හිමීට ලංවෙලා සුවඳ බලන්න නොහිතුනා නොවෙයි.
"මේ අප්පුහාමි හරිම දක්ෂයනේ, ආපු දවසේ ඉඳලා හරි හරියට මහන්සි වෙනවා" කන්තෝරු කාමරේ ඉස්සරහට තනි කළුවර මේසේ ඉන්න ලොකු මහත්තය හැමදාම කියනවා. අප්පුහාමිත්, ලියුං අරන් එහේ මෙහේ යනවා, තේ හදනවා, කැඩිච්චි මේස පුටු හදනවා, හිටපු ගමන් කච්චචේරියෙට ගිහින් කරදහි කොළ අරං එනවා. පස්ස කැඩිච්ච කඩියා වගේ වැඩ. රස්සාව නම් කන්තෝරු කාමරේ ඇතුලේ ලියුං එහාමෙහා අරං යන එක වුනාම, රස්සාව ඇඟට අරගෙන කරන අප්පුහාමි, තවත් වැඩත් බදාගෙන කරනවා. 'ඇස්වහක් කටහවහක් නෑ, කොල්ලට ඕන වැඩක් කොරන්න පුළුවන්" කන්තෝරු කාමරේ ලොකු නෝනල කසුකුසු ගානව ඇහෙන අප්පුහාමි තවත් වැඩ එකතු කරගෙන වැඩ කරනවා.
කොයිතරම් වැඩද කිව්වොත් තේකක් බොන්න, බොඩිංකාමරේ අත්තම්ම උයන බැඳල දෙන බත් ගෙඩියවත් කටට දාගන්න වෙලාවක් නෑ.පැය අටට, දහයක් විතර වැඩ කරල දුම් බැදිච්ච කෝච්චි පෙට්ටියේ නැගල බෝඩිංකාමරේට යන්දි රෑට කන්නත් බෑ වගේ , ඒ තරං මහන්සියි.ඒ විතර ද ගෙදර ගියත්, "හෙට අර පුටු කෑලි ටික ගබඩ කාමරේට දාල, මෙන්න මෙහෙම ලස්සනට හදන්න ඕන, ආ අර ලොකු මහත්තයගේ කාමරේ උඩ මකුණූ දැල් තිබුණ නේද, හෙට උදේම ගියාම අස්කරල දෙන්න ඕන, ලොකු මහත්තය සතුටු වේවි" බූරු ඇද උඩ , උඩ බලාගෙන මෝඩ උළු රටා දිහා බලාගෙන අප්පුහාමි කල්පනා කළා.
කාළය මෙහෙම යනවා, අප්පුහාමිට කව්රුත් ආදරෙයි, අප්පුහාමිත් කඩිය වගේ වැඩ. කෑමක් බීමක් මතක් වෙන්නේම නෑ. ගමේ යන්න හිතෙන්නෙත් නෑ, ඒ තරං කන්තෝරුවට බැඳිලා.
ආ කියන්න අමතක වුනානේ, අප්පුහාමි එතනට එන්න ඉස්සර හිටපු පියුං උන්නැහේ, නම නම් පිංහාමි. "හැබැයි කිසිම පිංපාටක් නෑ" අප්පුහාමිට හිතෙනවා. "කිසි වැඩක් කරන්නේ නෑ ඔහේ කොළ ටික එහෙ මෙහෙ අරං යනවා විතරයි" දැන් අප්පුහාමි කන්තෝරුවේ අස්සක් මුල්ලක් නෑර දන්නවා. කොයි වෙලෙත් වැඩම කරන මේ කොලුවට කන්තෝරුවේ නෝනල හරිම ආදරෙයි. මොකද නෝනලගෙ ගෙදරටම ගිහින් කෑම එක වුනත් ගෙනත් දෙන්න මේ කොළුව පහුබට වෙන්නේ නෑ. ඒ තරං කැපවීමක්.
"අප්පුහාමී"
"ලොකු මහත්තයා"
"මේ ලියුං ටික නොතාරිස්ට දාන්න කියල කිව්වට තාම කෙරිලා නෑනේ. ඉක්මණට මේ ටික ගිහින් දෙන්න" ලොකු මහත්තයා ටිකක් නොරිස්සුම් ස්වරෙයන් කීව. "අනේ මහත්තයා, මට මේ වැඩ එක්ක ඒක අමතක වුනා, මං මේං ගෙනියනවා" අප්පුහාමි ලියුං ටික අතට ගත්තත්, ලොකු මහත්තයානේ නොරිස්සුම් කතාව ඇල්ලුවේ නෑ. "කොහොද මම මේ ඔක්කොම කරනවා, අර පිංහාමි පිං බතා වගේ ලැගල ඉන්නවානේ." අප්පුහාමි තමන්ටම කියා ගත්තා. පිංහාමි විතරක් නෙවි, තව ඉන්නව පිංහාමිලා හරියට වැඩ නොකරන "කියන්න ඕන ලොකු මහත්තයට වෙලාවක, ඇයි මම විතරක් නැහෙන්නේ" එදා රෑවෙලා ගෙදර යන ගන් කොච්චි පෙට්ටියේ මුල්ලක වාඩි වෙලා හිටි අප්පුහාමිට හිතුනා.
මාසයක් ගත වුනා, කන්තෝරු කාමරේ සරප් නෝන, කොල කෑල්ලකට අස්සං අරන් අප්පුහාමිට පඩි දුන්නා. කාමරේ මුල්ලක මේසය තියාගෙන , සල්ලි කොළ ටිකයි, කාසි ටිකයි දෙතුන් වතාවක් ගණං කර අප්පුහාමි හවස් වරුවේ බෝඩිමට ගියේ දාහක් හීන මවාගෙන. හැබැයි ඒ ගමේ යන්න එහෙම නොවෙයි. "හෙට සෙනසුරාදනේ, යන්නෝන ටවුම පැත්තේ, ලොකු මහත්තයගේ මෙසෙට තියන්න ලස්සන පොඩි මල් පෝච්චියක් ගන්නෝන." කන්තෝරු කාමරේට ඕන කරන අඩුමකුඩුම බෑග් මල්ලක දාගත්ත අප්පුහාමි කොළුව, ආයේ බස්සෙකක එල්ලුනේ ගමේ යන්න එහෙම නෙවි." ගමේ යන්න බැරියැ පස්සේ, කොයිතරම් වැඩ මට මෙහේ කරන්න තියෙනවද" , එල්ලා යන ගමන් කොළුව හිතුවා.
කාළෙ ගියා, දැන් අප්පුහාමි කන්තෝරුවේ ලොක්ක වගේ, වැඩ වැඩ වැඩ. හැබැයි වෙනද වගේ නෙවි ටිකක් තරහ යනවා. පිං හාමිට පවා කෑගහනවා ඇහුන ළඟදි දවසක. "මහන්සියට වෙන්ටැති" කන්තෝරුවේ නෝනල හිතුවා.
දවසෙම මහන්සි වෙලා බෝඩිමට එන අප්පුහාමිටත් හරි මහන්සියි, වෙනදට වඩා මහන්සියි. කෑම එක උඩිනං පල්ලෙං කාල දාන කොළුව, කන්තෝරුවේ සියදෝරිස් ලියන මහත්තය ගෙනත් දුන්නු ගෝඩා දාපු යාපනේ සුරුට්ටුව උරල සුදු පාට බෝල දුං ගුලි වහලට යැව්ව. ඒ දුං ගුලි අස්සෙත් අප්පුහාමි දකින්නේ කන්තෝරු කාමරේමයි.
තුන් මාසයක් ගියා, තාමත් ගමේ නොගිය අප්පුහාමි පුංචි ලියුං කරදහි කෑල්ලක් විතරක් තැපැලට දැම්මා. "අම්මා, මට වැඩ වැඩියි. අඩුවුනාම එන්නං, අම්මටයි අප්පොච්චිටයි තෙරුවන් සරණයි" එච්චරයි ලියුම. අප්පුහාමිට ලියුමවත් දිගට ලියන්න හිතුනේ නෑ, ලියන්න දේවල් බෝමයි..ඒත්.. එකවෙලාවකට මේ සේරම එපා වෙනවා..වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ, අනෙක හොඳකුත් නෑනේ කොච්චර කළත්, මමම නැහෙනවා. මොකක්ද මේ ජීවිතේ? " යාපනේ දුංකොළ වලින් එන සැර සුදුපාට දුං ගුලියක් කිසිම හැඩයක් නැතිව අහසට මුදාහරින ගමන් අප්පුහාමි හිතුවා.
තවත් ටික දවසක් ගියා, "දැන් අප්පුහාමි ඉස්සර වගේ නෙවි, බලාගත්ත අත බලාගෙන ඉන්නවා, වැඩත් වරද්දනවා, දවසක් මං අමරෙට ලියපු ලියුමං මේක ලොකුමහත්තයට ගිහින් දීලනේ වැරදිලා, තව ඩිංගිත්තෙන් ගිණිවිජ්ජුම්බරයයි." අප්පුහාමිගේ බංකුව කිට්ටුවම ඉන්න සිරියාවතී නෝන, එයා මේසේ නෝනට කුසුකුසුගාල කියනව අප්පුහාමිට නොඇහුනා නොවේ. ඒත් ඒක වගකටවත් ගත්තේ අප්පුහාමි නෙවි. මොකද, ඕවට කතා කරන්න තරං පණක් නෑ, ඇඟ රිදෙනවා, ඔළුව කකියනවා, ඒ අස්සේ අර ලියුං මේ ලියුං අරන් යන්නෝන, අනෙකමේ කළුවර කාමරේ වගේ කන්තෝරුව අස්සේ ඉඳල ඇති වෙලා මට" කාටවත් නොඇහෙන්න අප්පුහාමි එයාටම කියාගත්ත.
අප්පුහාමිගේ කතා වස්තුවේ අවසානය
හරි දැන් දන්නවනේ කවුද මේ අප්පුහාමි කියලා. දැන් අපි බලමු මොකක්ද මේ අප්පුහාමිට වුනේ කියලා. ම්... නෑ, මෙහෙම කරමු, මම කියන්නම් Burnout එහෙම නැත්නම් මානසිකව, කායිකව "දැවීමකට" ලක්වීමේ පියවර, එහෙම නැත්නම් අවස්ථා ටික. ඒ ටික අරගෙන අර අප්පුහාමි ගේ කතාවට දාල , ඔබ කොතැනද කියල බලන්න.
එහෙම නම් මෙන්න පිළිගන්න...
The Twelve Stages Of Burnout.
1) Exessive drive/ambition. - වැඩට ඇති කැමැත්ත වැඩිත් එක්ක පෙන්වීම
2) Pushing yourself to work harder and harder. - වැඩ වැඩ වැඩ වලටම හිත යොමුවීම
3) Neglecting your own needs. - තමන්ගේ අවශතා පවා අමතක කිරීමට පෙළඹීම
4) Displacement of Conflicts - අතපහසුවීම් ,ගැටීම, වැරදීම් අනුන් නිසා, වැඩ වැඩිකම නිසා සිදුවන බව සිතීම.
5) No Leisure time - තමන්ගේ නිදහස්, සතුට විනෝදාංශ වෙනුවෙන් කාළයක් නොමැතිවීම
6) Denial- මිතුරන්ගෙන්, සමාජයෙන් වෙන්වීම, හිතට එන බව රස්සාවේ වැඩ වැඩිකම නිසාම වන නිසා යැයි පිළිගැනීම
7) Withdrawal - මේ වැඩ වැඩිකම නිසා වෙලාව නැතිනිසා, තනිවෙන්නට උත්සාහ කිරීම, ඇබ්බැහි වලට ලක්වීම
8 ) Behavioural changes - වෙනත් අය හඳුනාගන්නා චර්යාම වෙනස්කම් ඇති වීම
9) Depersonalization - තමන් කිසිම වටිනාකමක් නැති, කළකිරීමක් ඇතිවීම
10) Inner Emptiness - තමාගේ අනාගතය ගැන අවිනිශ්චිතබව, බිඳ වැටීම හිස් බවක් දැනීම
11) Depression - ජීවිතය ගැන කළකිරීමක්, එපා වීමක්,වෙහෙසකර පාළුවක් , අරමුණක් නැති බවක් දැනීම
12) Burnout Syndrome - හේතුවක් කියාගන්නට බැරි ඇඟපතේ අමාරු, ඔළුවේ කැක්කුම්, දවසේ කටයුතු කරගන්න බැරි තරම් නිදිමත, කෑම බීම ගැන කැමැත්තක් නැතිවීම සන්ධිවල වේදනාව, වැනි විවිධාකාර ලක්ෂණ මිශ්‍රණයක් මතුවීම. මේ අවස්ථාවට එන තුරු නොසිටිය යුතු අතර යම් හේතුවක් නිසා මෙම අවස්ථාවේ නම් ඉක්මණ් වෛද්‍ය ප්‍රතිකාර, සහායක උපකාර ලබා ගත යුතු වේ.
--අකුරු කළ මම මහේෂ්
No comments:
Post a Comment
(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)