2021/03/29

කැනඩාවේ ලුසී එක්ක ලංකාවේ පුසී

මුලින්ම කියන්න ඕන, කළකට පස්සේ අද මේ ලියන ලිපියට ප්‍රධාන කරුණු දෙකක් අන්තර්ගතයි, ඒ ලංකාව සහ වන සතකෙු. මේ කරුණූ දෙකටම අදාලව සටහනක් ලියන්නට වගකිමක් මට තිබෙන්නේ, එකක්, මම ශ්‍රී ලංකාවේ උපන් අයෙක්, අද වෙත්දි නීත්‍යානූකූලව ලංකාවේ පුරවැසියෙක් නොවුනත්, උපන් "බිමට" ආදරයක් තවම හිතේ තිබෙනවා. දෙවැන්න, කැනඩාවේ වන සත්ව සංරක්ෂණය පිළිබඳව පුහුණවක් සහ අත්දැකීමක් ඇති කැනඩාවේ ප්‍රජාව වන සතුන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන වැඩසටහනක ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ වගකීම් සහ වගවිම් දෙක මත ලංකාව තුල වේගයෙන් පැතිරෙන මේ ප්‍රවෘත්තියකට මම දක්වන අදහස පුළුවන් තරම් මධ්‍යස්ථ එකක් කරන්නට මම උපරිම උත්සාහ කරනවා. (මධ්‍යස්ථයි කිව්වට සමහර විට මධ්‍යස්ථ වීමම වැරැද්දක් කියල හිතෙනවා, අපි කියවමුකෝ)


හරි , දැන් කතාවට, මේ දවස් වල මෙන්න මේ වගේ පෝස්ට් එකක් ලංකාව පුරා සමාජ මාධ්‍ය වගේම "පිංවන්ත බව ප්‍රසිද්ධ කරන්න කැමති" පුද්ගලයින් විසින් පතුරවනවා. ඒ තමයි "කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ " නමින් පැතිරෙන ප්‍රවෘත්තිය. මේ උපුටා ගන්‍නේ එම පෝස්ට් එක.උපුටා ගැනීම ආරම්භය.
"කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ #ලුසී
දැඩි දේශගුණික තත්වයන් හමුවේද (හිම) දුක් විදින ලංකාවේ #Lucy .ලූසි 1975 ලංකාවේ උපන් ඇතින්නක්. වයස අවුරුදු 1දී ඇයව යම් පුද්ගලයෙක් මිළදී ගෙන 1977 Skank නමින් ඇයව EVZ නම් කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ සත්ව උද්‍යානයකට විකුණා ඇත. එවිට ඇයට වයස අවුරුදු 2යි. එතැන් පටන් ඇයගේ නම Lucy ලෙස වෙනස්කර ඇත.
ඉන් පසු එඩ්මන්ටන් සත්තු වත්තෙ කුඩා කුටියක සිරව සිට ඇති බව ඔබට දැකගත හැකිය. මෙලෙස අවුරුදු 44ක් ඇය එඩ්මන්ටන් සත්තු වත්තේ ඉතා තද සීතලේ දුක් විදිමින් ජීවත් වෙනවා.
Lucy ගේ දුකට සංවේදී වූ, සත්ව ක්‍රියාකාරින් වසර කීපයක සිට ඇයව මේ සිර කුටියෙන් නිදහස් කර ඇයට සුදුසු පරිසරයකට, අභයභූමියකට යවන්න ලොකු සටනක යෙදෙනවා.
2020 වසරේ පකිස්ථානේ හිටපු ලංකාවේ කාවන්ට නිදහස ලබා අලි අභයභූමියකට යන්න ලැබුනා වගේ 2021 වසරේ ලූසිටත් නිදහස ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
ලුසීව නැවත ලංකා රජය භාරයට පත්කර අභය භූමියකට මුදා හැරීම සදහා ඔබේ හඩ අවශ්‍ය මොහොතකි.. ලුසීට හඩක් වන්න..
2021/03/16 3:15 pm කොල්ලුපිටිය වාලුකාරමයේ සිට කැනේඩියානු තානාපති කාර්‍යාලය දක්වා නිහඩ පා ගමනට ඔබත් එක්වන්න.."

උපුටා ගැනීම නිමාව.


එහි සාරාංශයක් ගත්තොත් ලුසී නම් ඇතින්නක් ලංකාවෙන් කැනඩාවට විකුණා , අද ඇය කැනඩාවේ සත්තු වත්තක සීතලේ දුක්විඳින බවත් ඇය "බේරා ගැනීමට" එක්වන ලෙසත්ය. මේ පෝස්ට් ඉතා අනකම්පාවෙන් බෙදා ගෙන ඇති ෆේස්බුක් "පිංවතුන්" ඒ සඳහා යොමු කර තිබු සමහර කොමෙන්ට් තුල එළියෙන් පිං වුනා‍ට හිත කොයිතරම් "පවුකාර" දැයි මධ්‍යස්ථව සිතන්නෙකුට දැනෙනවා.


දැන් එහි සත්‍ය කතාව , ලුසී ලංකාවෙන් කැනඩාවට එන්නේ 1977දි , ඒ වෙත්දි අවුරුදු දෙකක "අනාථ අලි පැටික්කියෙක්" වෙන ලුසී, එතැන් සිට කැනඩාවේ එඩ්මන්ටන් නගරයෙන් සත්තු වත්තක ඇය වෙනුවෙන් වෙනම සැකසූ කුටියක , සහ එළිමහන් බිමකට එනවා. එතැන් සිට ඇය කැනඩාවේ වන සත්ව සංරක්ෂණ නිළධාරීන්, වනජීව විද්‍යාඥයින් , වන සත්ව චර්යාවේදීන් ගේ අධීක්ෂණය ය‍ටතේ සත්තු වත්ත තුල තවත් එක් "කැනඩාවේ නැති සතෙක්" ලෙස ප්‍රදර්ශණය වෙනවා. (මෙතැනදි මගේ පුද්ගලික අදහසක් කියන්නම ඕන, කුමන රටක වුවත්, සතෙක් කුඩූ කර ප්‍රදර්ශණය කිරීමට මම එකඟ නැහැ. එය ලංකාව ද කැනඩාවද අදාල නොවන මගේ පුද්ගලික අදහසක්. )ඒ සඳහා ඇයට ඇගේ දේහ බර , වයසට ගැලපෙන ලෙස සත්වවිද්‍යාඥයින් නිගමනය කරන කාමර ප්‍රමාණය, දවසේ ආහාර ප්‍රමාණය , දවසට ලැබිය යුතු ව්‍යායාම ප්‍රමාණය වැනි හැම ‍දේම නිවැරදිව සොයා බලමින් රැක බලා ගන්නවා. කිසිදු අවස්ථාවක ලංකාවේ වගේ අපිරිසිදු කාමර වල සතුන් කො‍ටු කරගෙන, දම්වැල් වලින් බැඳ පාද වලින් ලේගලන තත්ත්ව ඇති වන්නට ඉඩ සලසමින් , ප්‍රදර්ශණයේ තබා නැහැ.


එයට හේතුව නම් මේ රටවල හැම කටයුත්තකටම යම් "පිළිගත් ක්‍රම වේදයක් ඇති "අතර, එය දේශපාලනික බලපෑම් වලින් තොර අදාල විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ නිගමන උපදෙස් මත ක්‍රියාත්මක වන නිසා. අදාල උපදෙස් ක්‍රියාත්මක නොවීමකදී වගකියන නිලධාරිනට අදාල වගකීමෙන් මිදීමට ලැබෙන්න් නැහැ. එවැනි අවස්ථාවක අදාල වගකියන නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරත්දි "ගමේ චණ්ඩින්" එම ක්‍රියාත්මක වීම වලට බලපැම් කරන්නේ නැහැ.


මේ හේතුව නිසා 1977 කැනඩාවට එන ලුසී අද වෙත්දි අවුරුදු 44ක් (වයස අවුරුදු 46) වන තුරු ස්වභාවික හේතු මත ඇති වන රෝග තත්ත්ව (වියපත්වීම) හැරෙන්නට වෙන කරදරයක් නැතිව "ජීවත් වෙනවා" .මේ පෝස්ට් එකේ කියන පරිදි හිමේ "දුක් විඳින්නට " අවස්ථාවක් ඇයට ලැබෙන්නේ නැහැ. නමුත් කැනඩාවට හිම වැටෙන නිසා, එම හිම වැටෙන කාළයටත් දවසට අවශ්‍ය ව්‍යායාම සඳහා ඇයට , ඇගේ "මිදුල" වෙත ‍ගොස් ක්‍රියාකාරකම් වල යෙදෙන්නට , පිරිසිදු වාතය ලබා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. අනෙක, වයස අවුරුදු දෙකේදී කැනඩාවට එන ලුසීට සීතලට හුරු වෙන්න ලොකු කාළයක් යන්නේ නැහැ. මේ පෝසට් වල කියන පරිදි "සීතලේ දුක් විඳිනවා නම" ලුසී එළොව යන්නේ මීට අවුරුදු හතලිහකට ඉස්සර, හේතුව සමහර කාළ වලට එඩමන්ටන් ප්‍ර‍දේශයේ උශ්නත්වය සෙල්සියල් -45-50 දක්වා අඩුවෙනවා. ලංකාවේ විදියට කිව්වොත් Deep freezer එකක උශ්නත්වය වගේ දෙගුණයක් පහළට. ඒ පරිසරයෙන් එළියේ නියමිත කාළයට වඩා හිටියොත් ලුසි නොවෙයි පුසීටවත් ජීවිතය රැක ගන්න බැහැ.


මේ විදියට කැනඩාවේ පරිසර තත්ත්ව විඳිමින්, ඇගේ දේහ උස බරට අනුකූල උශ්නත්වයක් සහිත ඇයට ප්‍රමාණවත් කාමරයක ජීවිතය ගෙවමින් කාළය ගත කරන ලුසීට, වියපත් වීමත් එක්ක ගැටළු දෙකක් මතු වෙනවා. එකක් හන්දිපත් රුදාව, තව විදියකින් කිව්වොත් ආත්‍රයිටිස්. විශේෂයෙන්ම මෙවැනි කූඩු කර සිටින සතුන්ට, සහ අලි ඇතුන් වැනි අධික බර සතුනට මේ තත්ත්වය වියපත් වීමත් එක්ක ඇති වෙනවා. දෙවැනි ගැටළුව, ඇයගේ නාස් කුහර තුල සිදුවන ප‍ටුවීමක්, එය "සීතල නිසා" සිදුවන්නක් නොවන, දේහයේ සිදුවන යම් වෙනස්වීම් එක්ක මතුවන්නක්. මෙම නාස් කුහරයේ ඇති පටු වීමත් එක්ක ඇයට යම් විදියක ශ්වසන අපහසුතාවක් ඇති වෙනවා. කෙසේ වෙතත්, ඇයගේ මේ අපහසුතාව වෙනුවෙන් , වෙනම විශේෂඥ පශු වෛද්‍යවරයෙක් කටයුතු කරනවා. මීට අමතරව පාදයේ නියපොතු ආශ්‍රිතව ඇති වන තුවාල පිළිබඳවද නිසි ප්‍රතිකාර කර තිබෙනවා.( එම තුවාල ඇති වන්නේ ලංකාවේ මෙන් දම්වැල් වලින් ගැට ගසා තැබීමක් නිසා නොව, වයස්ගත වීම සමඟ ඇති වන සම බිඳී යාමේ වෙනස්කම් නිසාවෙනි) මේ සියල්ල තුල වසරකට වරක් සහ ඇගේ සෞඛ්‍යයේ යම් වෙනසක් දකින හැම අවස්ථාවකදීම, පූර්ණ වෛද්‍ය පරික්ෂණයක් සඳහා විශේෂඥ පශු වෛද්‍යවරු සහ තාක්ෂණ ශිල්පීන් පිරිසක් සූදානමින් ඉන්නවා. මේ ලුසීට පමණක් නොවේ, සත්තු වත්තේ සිටින අනෙක් සතුන්ටද අදාල වුවත් ඔවුන්ට "ලුසී" විශේෂත අයෙක් වන්නේ අවුරදු 44ක වැනි කාළයක් "ලිඛිත සෞඛ්‍ය ඉතිහාසයක්" සහිත කැනඩාව් නොමැති සතෙක් වීම. ඒ නිසා ඇයට විශේෂ සොයා බැලීමක් ලැබෙනවා කිව්වොත් වැරද්දක් නැහැ.


දැන් අදාල ලිපියේ දක්වා ඇති කරුණූ වලට කෙටි පිළිතුරු .


1) "සත්තු වත්තෙ කුඩා කුටියක සිරව" - මෙය නිවැරදි නොවන අතර, ඇයට ඇගේ දේහ උස බර අනුව සත්ව විද්‍යාඥයින් සහ සත්වචර්යාවේදීන් නිර්දේශ කරන ප්‍රමාණයේ , ගැලපෙන පරිසර උශ්නත්වය සහිත කාමරයක් ඇත. (කාමර ගත කිරීම පිළීබදව මම එකඟනැතත්, සාමාන්‍ය සත්තු වත්තක මෙන්ම ඇයට ගැලපෙන නිවසක් ඇයට තිබෙනවා)

2) "ඉතා තද සීතලේ දුක් විදිමින්" - කැනඩාවේ මෙම ප්‍රදේශය තද සීතලට ලක්වන නගරයක්, එතැනදි සත්තු වත්තේ එළිමහන ඒ සීතලෙන් ආරක්ෂා කරන්නට ‍ක්‍රමයක් නැහැ. එතැනදි හිම වැටෙන කාළයට වුවද ඇගේ දේහ ප්‍රමාණයට දරා ගත හැකි තත්ත්වය තුල , නියමිත කාළයක් ඇයට බාහිර පරිසිරයේ ගත කරන්නට වෙනවා. ඒ ඇගේ දවසේ ව්‍යායාම සහ බාහිර වාතය ලබා ගැනීම වෙනුවෙන්. එතැනදි කැනඩාව තුල ජීවත් වන අයෙක්ට එය ''දුක්විඳිමක්" වෙන්නේ නැහැ. ඒ අදාල පරිසරය තුල ජීවත් විය යුතු ආකාරය. ඒ වගේම ඒ විදියට දුක් වින්දානම් අවුරුදු 44කට වඩා ලුසී ජීවත් වෙන්නේ නැහැ. අනෙක කැනඩාවට එන සතෙක් හෝ මිනිසෙක් වුනත් වසර කීපයක් යත්දි මේ පරිසර තත්ත්ව වලට හුරු වෙන්නේ නිතැතින්ම.


දැන් අපි බලමු මේ සතාට "නිදහස" ලබා දීම ගැන කතා කරන්නේ මොන රටේ අයද කියල.

1) ලංකාවේ අද, ලෝකයේ වැඩිම අලි මරණ "වාර්තා වන" රට. 2020 දෙසැම්බරයේ ලංකාව විසින්ම නිකුත් කරන වාර්තාවක සඳහන් වෙන විදියට " Sri Lanka has recorded the highest annual elephant deaths and second-highest human deaths in the world due to the human-elephant conflict" .


2) අලින්ගේ ගම්මාන විනාස කරල , අලින්ගේ ගමන් මාර්ග වලට බාධා කරල ‍හෝටල් හදන , ඒවාට උපකාර කරද දේශපාලුවන්, සහ වගකියන්නන් ඉන්න, ඊටම බැලමෙහෙවර කරන වහලුන් වැඩි පිරිසක් ඉන්න රටකින්. "හක්ක පටස්" වලින් , වෙඩි උණ්ඩවලින් අලින්ට සළකට රටකින්.


3) අටව ගත්ත පැල්කොටේ ආරක්ෂා කරගන්න, එළියට ගිය සැමියා අලි පහරදීමකින් මිය යාද බ‍යේ ඉන්න බිරින්දෑවරුන්ට දහ දහස් ගණනක් ඉන්න රටක්.


4) අලි-මිනිස් ගැටුම් පාලනය ඉන්නා නිලධාරින් වැඩි පිරිසක් " කරත් නොකරත් පඩි ලැබෙන ආණ්ඩුවේ රස්සාව නිසා" අවශ්‍ය අවදානම් අවස්ථාවන් වලදී උපකාර නොවන රටක අය.


5) කැලෑ කැපීම , වන සතුන් විනාශය තම පක්ෂයේ/ජන වර්ගයේ නොව වෙන ජන වර්ගයක එකෙක් කළොත් පමණක් ප්‍රො‍ෆයිල් වෙනස් කරගෙන "ජාතික වීරත්වය" මවා ගන්න ෆේස්බුක්කාර පිංවතුන් ඉන්න රටක අය.


ඒ නිසා ලුසී කැනඩා‍වේ ජීවත් වුනොත්, ඇගේ වයසට අනුව , ස්වභාවික රෝ්ග තත්ත්වයන් මත ජීවිතයට සමු දෙන තුල "හුරු පුරුදු " පරිසරයට තුල "පරිස්සමට" ඉඳීවි. එහෙම නැතිව මේ කිසිම හොයා බැලීමක් නැතිව, ෆෙස්බුක් එකේ යන හැම දේම බෙදා ගෙන "ජාතික වීරයක්" , අධ්‍යාත්මික නායකයින් වෙන්න දඟළන රෑකඩ කියන ආකාරයට ලුසී "නිදහස්'' කර ලංකාවට එවුවොත්, ඇගේ මරණය ඉක්මණ්වීම විශ්වාසයි. ඒ ලංකාවේ වාතයේ සංයුතිය, පිරිසිදු බව ( ඇයට දැනට ජීවත් වන ප්‍රදේශයේ වායු දූෂණයට වඩා ලංකාවේ වායු දූෂණ මට්මටම ඉතා ඉහළයිhttps://waqi.info.), ඝනත්වය අනුව අ‍ැගේ පවතින ශ්වසනාබාධය වැඩිවීමේ අවස්ථාව ඉහළයි. එතැනදි "ඒ වෙනුවෙන්ම කැපවී ප්‍රතිකාර" ලබා දිය හැකි පහසුකම් ලංකාව තුල සීමිතයි. ඒ තත්ත්වය අවදානමක්.


එහෙම නැත්නම් වසර හතලිස් හතරකට වැඩි කාළයක් සත්ව උද්‍යානයකට හුරු වූ චර්යාවක් ඇති සතෙක් , එකවර මේ කියන ආකාරයට "අලි අභයභූමියකට" මුදා හැරීම තුල ඇයට ඇතිවන මානසික පීඩනයන්, චර්යාවන් වෙනස් වීම තුල ඇගේ සම්ස්ථ සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානම ඉහළයි. එය හරියට කැනඩාවේ ජීවත් වූ පුරවැසියෙක් , ලංකාවේ පදිංචි කළා වගේ වැඩක් වේවි. එතැනදි මිනිසුන්ට හුරු වීමට හැකියාව තිබුණත්, මෙවන් සතෙක්ට එම පාරිසරික වෙනස්වීම දරා ගැනීමට අපහසුවීම පොදුවේ දකින්නට පුළුවන් දෙයක්. එවැනි තැනකදි එකම රට තුල වෙනත් නගරයකට සතෙක් මාරු කර යැව්වත් clinical animal behaviourist (සත්ව චර්යාවේදීන්) සහ animal psychologists(සත්ව මනෝවිද්‍යාඥයින්) ‍ගේ නිබද අධීක්ෂණයට ලක්වෙනවා. නමුත් ලංකාව තුල මේ සඳහා ඇති පහසුකම් ප්‍රමාණවත් වේදැයි සැක සහිතයි.


මේ තත්ත්වය තුල සිදුවිය යුත්තේ "ලූසීට" ඉන්න ආකාරයෙන් ඉන්න දී , ලුසී වෙනුවෙන් "පිංවන්ත කුලප්පුවක්" හදා ගත් අය ,

1) ලංකාවේ අලින්ට සිදුවන හිරි හැර වලට විරුද්ධ වීමයි.

2) පන්සල් වල ගරුනාම රැක ගැනීමට ලොකු පන්සල් වල , ගරුතර ලොකු නායකයින්ගේ වතු වල දැම්වැල්වලින් බැඳ තුවාල වීම, ප්‍රමාණවත් ආහාර පාන තැනිව "ඇත්තටම දුක් විඳින" අලි ඇතුන් ගැන සොයා බැලීමයි.

3) බඩගින්නට කටේ දාගන්න දිවුල් ගෙඩිය "හක්ක පටස්" එකක් බවට පත්ව කට පුපුරා මිය යන අලින් වෙනුවෙන් කතා කළ යුතුය.

4) අලි මංකඩවල් හරස් කර හෝටල් තනන පුද්ගලයන්ට විරුද්ධ වියු යුතුයි


5) පොදුවේ ලංකාවේ පරිසරය විනාශ කරන මිනිසුන් සහ දේශපාලන තිරිසනුන්ට විරුද්ධ විය යුතුයි.


අවසානයේ මේ ‍අලි පෝස්ට් එක තුල ලංකාවේ පොදු සමාජයේ හැසිරීම පිළිබිඹු වන බව මගේ හැඟීමයි.


සමාජ මාධ්‍ය තුල ඉතා ශ්‍රද්ධාවන්ත "පිංවතුන්" ලෙස පෙන්වන වැඩි පිරිසක්ගේ හදවතේ මානුෂීය ධර්මයවත් නැත. ආගමේ පොතේ ධර්ම පාඨ බෙදා ගන්නා , මධ්‍ය ඔස්සේ ගඬගා කියන සුදු රෙදි හැදි දේශපාලකයන්ගේ "නියම පාට" ඊඨ වඩා වෙනස්ය. කෙසේ වෙතත්, ‍මේ "ශ්‍රද්ධාවට" අන්ධවන භක්තිමතුන් සහ වහලුන් වැඩි පිරිසක් මේ අමුතු දූ‍පතේ ජීවත් වන බව ඈතින් සිට බලන්නෙකුට දැනේ.


අනෙක, ෆේස්බුක් මෙන්ම රටේ ප්‍රධාන මාධ්‍ය යැයි කියා ගන්නා ආයතන තුල ලියැවෙන කතාවෙන "‍ඕන දෙයක්" කිසිම ‍සොයා බැලීමකින් තොරව බෙදා ගන්නේ "සෙක්ස්" ගැන අන්තර්ජාලය පීරා ලෝකයේ අංක එකවූ ජාතියක පුද්ගලයන්ය. පසුගිය දශකය තුල ලංකාව, ලෝකය තුල ලංකාව ගැන කතා බහට ලක්වුනු "වඳ කොත්තු, වඳපෙති" සිට "කොරෝනා ගැන පැණි මත මෙන්ම ලුසී දක්වාද ඒ හැකියාව ලෝකයට බෙදා හරිමින් සිටී. ලංකාවේ බහුතරයක්, අඩුම තරමේ "සොයා බලා, විමසා " කටයුතු කළා නම් අද මෙවන් "වඳපීදුනු" ජාතියක් බවට පත්වෙන්නේ නැත.


අද වෙත්දී ලංකාව‍ දේශපාලනිකව, ආර්ථිකවමය මෙන්ම සමාජයීවයද "වඳ පීදී" හමාරය. සල්ලි මිටි පිටින් අච්චු ගසමින් "ස්වයංවින්දයනයක්" ලබන කතා ඇසුවද , චීනෙන් හිඟමණක් නොලැබුනොත් සැප්තැම්බරය වෙත්දි ලංකාව "ලෝක අමාරුවක" වැටෙන බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි. මේ කිසිවක් නොදැනුනාසේ වහල් බවින් අන්ධවී සිටින "පුරවැසියන්" මෙන්ම "කරන්නට දෙයක්" නොමැති නමුත් "කටක් අරින්නට නොහැකි" පුරවැසියන්ද ඇත. දැන් ඉතින් කටක් ඇරියන් , වෙන අරින්න දෙයක් ඉතිරිවී නැත්තේ , චීනය සහ ඉන්දියාව ලංකාවේ අරින්න තිබෙන හැම තැනට ඇර හමාර නිසාය.


මේ තත්ත්වය තුල ඔබෙන් එක ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි. එනම්, ඔබේ දරුවන්ට ලෝකය දකින්න ඉඩ දෙන්න, ලෝකය යනු ලංකාව කියන දූපත නොවන බව වටහා ගන්නට දෙන්න. ඒ සඳහා ‍ඉන්දියාවේ කොරියාවේ ටෙලි පමණක් නොව , ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වැඩසටහන් ගැන කියවන්නට , විමසන්නට දෙන්න. වේදිකාව වල , කොම්බු මාධ්‍ය වල කෑගසන "නූගත් , කපටි" දේශපාලකයන්ගේ නිල් රතු කොළ වචන වලට අන්ධ නොවී, ඔබේ දරුවාට විවෘත ලෙස හිතන්නට ඉඩ දෙන්න. ‍මේ උත්සාහය හැර, බහුතරය මෙන් "අන්ධ වහල්බවින්" තවත් දශක කිහිපයක් ගිය තැන "ශ්‍රී ලාංකික" කියන වචනය පොතට පමණක් සීමා වීම‍ට ඉඩ ඇත.


ඒ නිසා, "කාලෝ අයං තේ" කාළය එළැඹ ඇත. ඒ "කැනඩාවේ ලුසී" මුදා ගෙන මරා දැමීමට නොව, ඔබේ මනස වසාගෙන ඇති දේශපාලනික, ආගමික ජනවාර්ගික තිරපට බිඳ විවෘත මනසික ලෝකය දකින්නට.එය ආරම්භ කරන්නට, ඔ‍බ ෆේස්බුක් එකේ දකින දේ "ඇත්තක් දැයි සොයා බලන්නට උත්සාහ කරන්නේ නම්, එයැම වාසනාවක පෙරනිමිත්තකි.


(මේ ලුසීට ආදරය පෙන්වීමට හේතුව කැනඩාව , ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාවට විරුද්ධව ඡන්දය දීම නම් , ඒ ගැන කිව යුත්තේ, UNHRC ඡන්දය තුල ලංකාව පරදින්නේ ( අර ලංකාවේ කපටි දේශපාලකයන් කියන විදියට "දිනන්නේ") , සරම උස්සන ගමේ චන්ඩිකම් ජාත්‍යන්තරය තුලට පෙන්වූ නිසාවෙන් යැයි මට සිතේ. දේශපාලනය තුල පමණක් නොව ආයතනයක් පාළනය කිරීමේදී පවා වැදගත් "උපක්‍රමශිලී නම්‍යශීලීත්වය" Strategic flexibility ගැන අබැටක දැනුමක් නැති මෙවන් දේශපාලක, පරිපාලක නිලධාරින් පිරිසක් සමඟ ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරත්දී මීට වඩා "පැරදීම" නොවේ නම් ඒ චීනය සමඟ පමණි. එයද තවත් "ණය තොන්ඩුවක්" දීමට මිස අපට ආදරයට නොවන බව දන්නෝ දනිති)


මේ සමඟ ඇති වීඩියෝව ලුසීගේ 2019 වෛද්‍ය පරික්ෂණය පිළිබඳ වාර්තාවයි.


ලුසී නාන හැටි බලන්න මෙන්න වීඩියෝව https://www.youtube.com/watch?v=4s8jITBQPZk


මම මහේෂ් ,
කැනඩාවේ කැල්ගරි ප්‍රාන්තයේ සිට
( ලුසී‍ට පැය දෙකක දුරින් සිට)


තව දුරටත් කියවීමට.( මේ ලිපියේ ඇති තොරතුරු වල නිවැරදි බව තහවුරු කිරීමට)


https://edmonton.ctvnews.ca/edmonton-zoo-responds-to-jane-goodall-plea-to-end-elephant-lucy-s-plight-1.5256704


https://economictimes.indiatimes.com/news/international/world-news/sri-lanka-faces-worst-decline-as-debt-crisis-looms/articleshow/79744383.cms?from=mdr


https://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/OISL.aspx


ලංක‍ාවේ අලි පරිස්සම් කරගන්නට ලොක්කන් දරන වෙහෙස මේ අළුත්ම වීඩියෝවලින් බලාගත හැකි
https://www.facebook.com/hherath1/videos/4444868335542077

https://www.facebook.com/A5News.lk/videos/805431080386961

8 comments:

  1. එකඟයි! ඉතා අනර්ඝ ලිපියක්!!

    ReplyDelete
  2. මේක නම් මරු. ලැජ්ජයි අපේ අයගෙ ආකල්ප ගැන.

    ඔය හා සමාන තව දෙයක් තමයි මෙහෙට එන සමහරු මෙහේ ගෙවල් වල හදන බල්ලන්, බළලුන්ට මෙහේ මිනිස්සු ආදරය කරන විදිහ ගැන කතාකරන විදිහ- 'ආ මෙහෙ ඉන්නෙ බල්ලො නෙවෙයි, බලු මහත්තුරු නෝනලා' කියලා. ඔව් ඒ සතුන්ගෙ සමහර අයිතිවාසිකම් නැති කරලා තමයි. නමුත් අඩුම තරමේ ඔවුන් පන්සල් ගානෙ අතරින්නෙ නැතුව, පාරෙ වාහන වල හැප්පිලා මැරෙනකම් බලන් ඉන්නෙනැතුව, යම් ගෞරවයක් ඇතුව ජීවිතය පුරාම බලා ගන්නව.

    'සරම උස්සන ගමේ චන්ඩිකම් ජාත්‍යන්තරය තුලට පෙන්වූ නිසාවෙන්'. Isn't that exactly what our people admire. Diplomacy? strategy? ඒවා හරි නරක වචනනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)