2021/04/09

දිය වෙන අමුතු ඇටේ

මේ වෙත්දි අමුතු මුතු ඇටේ,

මොළයෙන් රට කරවිය යුතු දේශපාලකයින් වෙනුවට ඇඟෙන් රට කරවන"පහේ පන්තියේ නාකි කොල්ලන්" විසින් , අරාබියේ දුක විඳින, ලේහලන ගැහැණුන්ගේ මුදලින්, "සැපට සැප විඳිමින්" නමට රට පාලනය කරමින් සිටී,

සාමුහික ක්‍රියාදාමයක් ලෙස කරවිය යුතු රට, "ඔක්කොම මමයි කොරේ" කියමින් "කටින බතල හිටවන", ප්‍රතිකාරක ගත යුතු මට්ටමේ, ස්වරූපරාග පෞරුෂයෙන්(Narcissistic personality disorder) පිරුණු ලොක්කන් මධ්‍ය ඉදිරියේ සියල්ල පාලනය කරමින් සිටී,

තම බලයෙන් හිස උදුම්මාගත්, දේශපාලනික බලය උරා ගත් ආයතනික ලොක්කෝ, පුරවැසියාට වන හානිය ගැන නොතකමින්, තම "රජ පුරපුර පිනවීමේ" කාර්යයේ යෙදෙමින් සිටී,

සමාජය පිළිගන්නා ලෙස "පවුලක් පාලනය" කරන්නට අත්දැකීම් නැති පූජකයන් රටක් පාලනය කරන හැටි, ජාත්‍යන්තරය සමග ගැටෙන හැටි ලොක්කන්ට උගන්වමින් සිටී,

සාක්ෂරතාව ඉහළ යැයි කියා ගන්නා පුරවැසියන්, ජනවාර්ගිකත්වයේ "ලේ රස" බෙදන ටියුෂන්කාරයන්ගෙන් "විද්‍යාව සහ දේශපාලනය" උගනිමින් සිටී. ආර්ථික විද්‍යාඥයින් හාල් කිලෝ දෙකන් සති දෙකක් කන හැටි "බතයි හොද්දයි" කෑම කරගත් රට වැසියන්ට කියාදෙමින් සිටී,

මේ සියල්ල අතරේ බහුතර පුරවැසියන් ලෝකයේ වැඩිම වස විස සහිත කෑම වේල බුදිමින්, රජාගේ හෝ කවටයාගේ කතා රසවිඳිමින්, ස්වයංවින්දනයේ යෙදෙමින් සිටී,
 
දේශපාලනිකව වඳ පීදුනු, අනාගතයක් තුල, රජ පවුලේ ඊළඟ කෙනා හෝ කවටයාගේ පවුලේ පුරුකක් මිස, සාර්ථක , පරිණත දේශපාලඥයෙක් බිහිවීම සිහිනයක් පමණක් වෙමින් පවතී.එයට මූලිකම හේතුව, සාර්ථක සහ පරිනත දේශපාලඥයයෙක් බිහිවීමට අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට පරිසරයක් රට තුල නොමැති වීම සහ "පවුල් පරම්පරාව හැර දෙවන පරම්පරාවක්" බිහිවීමට ඉන්නා ලොක්කන් අවස්ථාව ලබා නොදීමම මෙන්ම, රටේ අනාගතය ගැන නොව "රජ පුරපුර පිනවීමේ" වන්දිභට්ටකම කරමින් ප්‍රශස්ති ගායනය කරමින් "වින්දනයක්" ලබන පුරවැසියක් වැඩිවීමද ඊට හේතුවකි.
 
දේශපාලනිකව තාර්කික අදහස් දැක්වන පක්ෂ තිබුණද, එම 'සත්‍යය" පුරවැසියාගේ හදවතට "විශ්වාසවන්තව" දැනෙන්නට දෙන්නට අනෙක් පක්ෂයන්ට තවම හැකියාවක් නැත.ඒ මත තුල ප්‍රායෝගිත්වය පිළිගන්නට 3%කට වඩා පිරිසක් එකතු වීම , "ලෝකයම, ලංකාව තුල" යැයි සිතන පුරවැසියන් බහුතරයක් තුල, තවම සැක සහිතය.
මේ අස්සේ තවත් "දියසෙන් කුමාරයෙක්" මතුවනකම්, පරණ පොතේ පිට පෙරළමින් ගල්කණු සපමින් කාළය කමින් ජීවත්වේ.

සිදුවන අවාසනාවන්ත තත්ත්වය තුල ඊට (පවතින පක්ෂය පමණක් නොවේ, පසුගිය දශක කිහිපය පුරා) එදිරිව, නිවැරදි මාවතකට රට , දේශය ගෙනයන්නට කිසිවකු කටයුතු කරන්නේ නැත. සියල්ලන් තම පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන්ගේ අපරාධ සඟවා ගනිමින්, තම සුඛවිහරණය සඳහා පමණක් රට කරවන බව "ඇස් හැර බලන්නන්ට" පෙනේ. එය නොපෙනේ නම් , එය නොදැනේ නම් ඔබද , රටේ විනාශයට හේතුවන "වහලෙකි". මෙය පසුගිය දශක කිහිපය තුල බලයේ සිටි සියළු පක්ෂවලට අදාලවය. ඒ ඔස්සේ කොළ, නිල් රතු “රජවරුන් වන්දනා කරන” වහලුන් පිරිවරා, "බැටළු සම ඔතා ගත් නරින්" කරවන දේශයකට අනාගතයක් නැත.
මේ යන ආකාරයන් සිදුවිය හැකි තත්ත්වයන් කිහිපයකි, 

  • ඉදිරි වසර කිහිපය තුල රටවැසියන්ට තම ජීවන වියදම දරා ගත නොහැකිව, අපරාධ, සියදිවි නසාගැනීම් සහ මානසික ගැටළු වැඩිවීම,තරුණ සහනය සමඟ රටේ සමස්ථ තත්ත්වය (Quality of life) තවත් පිරිහීමට ලක්වීම,
  • පවතින ආර්ථික ගැටළුවට "ගත හැකි" ක්‍රියාමාර්ග ලෙස දේශපාලකයන් දකින, ර‍ට විකිණීමේ ක්‍රියාවලිය තුල ප්‍රතිපක්ෂ සහ සමාජ ක්‍රියාකාරිකයන් මගින් ක්‍රියාත්මකවන පෙරළි, තර්ජන ගර්ජන වැඩිවීම තුල රටේ ආර්ථිකය තවත් බිඳ වැටීම,
  • රට තුල මතුවන විරෝධතාවන්ට "ගත හැකි ක්‍රියාමාර්ග" ලෙස "දුර නොදකින දේශපාලකයින් ගන්නා "උපක්‍රම" තුල ලෝකය තුල ලංකාව තවත් මානව හිමිකම් කඩකරන රටක් බව තහවුරු වීම,
  • මේ සියල්ල ඔස්සේ, චීනය හැර වෙනත් ණය ලබා ගත හැකි ජාත්‍යන්තර බැංකු , මුල්‍ය ආයතන ණය ලබා දීම සීමා කිරීම සහ ණය සඳහා අය කෙරෙන පොළී අනුපාත ඉහළ නැංවීම සිදුවීම.(චීනය "ණයට" දෙන්නේ, ලංකාවට ඇති නොකැළැල් ආදරයට බව ලොවම දනී)
  • රට තුල ව්‍යවසායකයින් මෙන්ම විදේශීය ව්‍යවසායකින් රට තුල ව්‍යාපාර පවත්වා ගැනීමට නැඹූරු නොවීම හෝ සංවර්ධනය නොකිරීම තුල රටේ විරැකියාව ඉහළයාම,
  • රටේ ආර්ථිකය පවත්වා ගැනීමට කරන කෙටි කාළීන සැලසුම් වල ප්‍රතිපල ලෙස සිදුවන ජාත්‍යන්තර වෙළඳපල සමඟ කටයුතු කිරීමේ හැකියාව ගිලිහීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල "සෙල්ලම් කිරීම" පාලනය කිරීමට ආනයන තවත් සීමා කිරීම තුල , විවෘත ආර්ථික සංස්කෘතියකට හුරු වී සිටි පුරවැසියන්ට තමන් අපේක්ෂා කරන, පහසුකම්, අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම,
මේ තත්ත්වය තුල,

 
ඔබට නොහැකි නම් ඔබේ දරුවාටවත්, අවම වශයෙන්, වෙනත් රටක රැකියාවක් කිරීමටවත් යොමු වීමට මග පෙන්වා දෙන්න. හැකියාවක් ඇත්නම් ඔබේ දරුවාට වෙනත් "සාපේක්ෂව හොඳ ජීවන තත්ත්වයක් ලබා ගත හැකි" රටක පුරවැසිබව ලබා දෙන්න.
 
ඔබට වාර්ගිකත්වයේ වල රස පොවමින්, "වීරයන් වන" මේ නායකයන්ගේ දරුවන් වැඩිපිරිසක් ඒ අවස්ථාව ලබා, ඔබ රවටමින් සිටින නිසා, අන්ධයන් නොවී, ඔබට කළ හැකි දේ ඔබේ දරුවා වෙනුවෙන් කරන්න. ඒ අතරින් දරුවාට ලෝකය විවෘත කරදීම, ලෝකයේ ඇති අවස්ථා පෙන්වා දීම ඔබ කළ කළ යුතුම යුතුකමයි.
උපන් බිමට ගරු කරන්න, නමුදු "උපන් බිම වූ පමණින්", මේ විනාශවන, අගාධයට යන දූපත, තුල ජීවත්ව, "විඳවමින් මියයා යුතු" නැත.

(මේ ලියන මම,විදෙස් රටක පුරවැසිබව හිමි, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට බැඳීමක් නැති අයෙක් වන අතර, "උපන් බිමට" සිදුවන දේ ගැන දුරින් සිටියදී දකින පැහැදිලි බව සහිතව සටහන් කළෙමි. "වල,වලක්දැයි, විලක්දැයි" වටහා ගැනීමට ඉන් ඉහලට පැමිණ බැලිය යුතුමය, එසේ නොවන කළ වලද, විලද දැනෙන්නේ එකසේමය )

https://www.facebook.com/SnowMonastery

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)