2021/04/28

මේ වතාවේ ගුලිත් එක්ක පරිස්සම වන්නට උපදෙස් ටිකක්

එදා බොර දියේ මාළු බෑවේ , දරුවන්ට කන්නට යමක් හොයාගන්නට දුක් විඳි පියෙක් වන්නට ඇත, නැත්නම් එදාවේල හොයා ගන්නට කුලියක් හොයා ගන්නට දුක් විඳින අහිංසකයෙක් වන්නට ඇත. නමුත්, අද දවසේ දී බොර දියේ මාළු බාන්නේ ඊට වඩා වෙනස් පිරිසකි. විටෙක, කපටි දේශපාලකයින්, විටෙක පුද්ගලික බස් අයිතිකරුවන්, මේ කොවිඩ් වසංගතය සමඟ අදිසි බල ඇති සුදුසුකමක් නැති වෙදුන්, ඉසිවරුන් ඖෂධ සමාගම්ද වේ. 


වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අදහසක් විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ හඳුනාගෙන, ඊට එරෙහි විය හැකි දැනට සාර්ථකත්වයක් පර්යේෂණාත්මකව තහවුරු කර ඇති එන්නත් කිහිපයක් තිබියදී, එක් අවස්ථාවක පැණි මතුවන්නේ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රස්ථාර වෙනස් කර, මහජනතාව "ගොනාට" අන්දවන කොම්බු නාලිකාවක ආශීර්වාදයෙනි. ඊටම සහය දෙමින් තවත් මාධ්‍ය, සුදුසුකම් නොලත් රාජකීය වෙදුන්, උගත් සහ නූගත් ඇමතිවරුන් එයටම කරගසන්නේ, තැනේ හැටිය ඇනේ ගසා එදා වේල සරි කරගැනීමේ න්‍යායෙනි. 

දැනට සාර්ථක තත්ත්වයේ ඇති එන්නත් මිලදී ගැනීමට වැය කළ යුතු මුදල්, "කුළුණු" වලට යට කරමින්, වංචාවලට එකතු කරමින් පැණි සොයා යමින්, පරික්ෂණ ප්‍රමාණය අඩු කර, කෝවිඩ් පාළනය කළ බව පුරවැසියාට අඟවමින්, සෞඛ්‍ය නීති ''බල්ල‍‍ට" දමමින් අවුරුදු උත්සව , ජනතාව ලක්ෂ ගණනින් රැස්වන ආගමික පූජා වලට අවස්ථාව දුන් තැන, පාළකයන් දැන් එයි නියම තත්ත්වයට මුහුණ දෙමින් සිටින බව පෙනේ. ඇත්තෙන්ම එහි ජීවිත අභීයෝගයට මුහුණ දෙන්නේ පාළකයන් නොව, "මීටරේ දුර තියාන" බස් එකේ එල්ලී යන, කෝච්චි පෙට්ටියේ එකා බැගින් සහ සාමාන්‍ය ජනතාවයි. ගිණිකන්දක් මත සිටින මේ අවස්ථාවේ පවා, මෙම අවදානම සඳහා රාජ්‍ය මට්ටමින් වගකීම සහ සූදානම ප්‍රමාණවත්ද යන්න, සෞඛ්‍ය ‍සේවය‍ේ තොරතුරු මාර්ග අනුව විමසීමට ලක් කළ යුතුව ඇත. 

ප්‍රමාණවත් දැඩි සත්කාර ඇඳන් ඇති බව කියන්නට කොම්බුවාහිනියට එන "විශේෂඥයන්" මේ අවස්ථාවේ ඇති ප්‍රබේධ පැතිරීමේ වේගය ගැන සහ ඇතිවන සංකූලයන් ගැන, විශේෂයෙන්ම වෙනදාට වඩා තරුණ පිරිස වෙත මතුවන අවදානම ගැන විමසිලිමත්දැයි විශ්වාස කළ නොහැකි තරම් යැයි සිතෙන්නේ ඔවුන් ඉදිරිපත් කරන අදහස් වලිනි. වෙනදාට සාමාන්‍ය රෝහල් පරිසරයේදී පවා ඔක්සිජන් අවශතාව "අමාරු වෙන්" ගැට ගසා දෙන ඔක්සිජන් සැපයුම් ආයතන, තවත් මාස හයකට ප්‍රමාණවත් ඔක්සිජන් ඇතැයි කියමින් ප්‍රකාශ නිකුත් කරන්නේ මහජනතාව "කුලප්පු වීම" වැලැක්වීමට වුවත්, ඒ කියන ධාරිතාව පවත්වාගන්නේ ලංකාවේ කුමන ප්‍රදේශයේදැයි සෞඛ්‍ය අංශයේ සේවය කරන වෘත්තිකයන් පවා නොදනී. එමෙන්ම, මාස හය ගණනය කළේ දවසට රෝගීන් විස්සක තිහකට ඔක්සිජන් දීම මත නම් දහස් ගණනකට ඔක්සිජන් දීමට මේ කියන පරිමාව ඇත්දැයි දැන ගැනීමට, ප්‍රස්ථාර විකෘති කර මහජනතාව රවටන කොම්බු වාහිනියේ නිවේදක මහතාටම කියා ගණන් සාදාගත යුතු වේ. 

මේ බොර දිය අවස්ථාවේ තවත් "සෙල්ලම්" මතු වෙමින් පවතින බව දැනේ.ඒ කෝවිඩ් සඳහා ප්‍රතිකාර යැයි කියමින් එදා වේල ‍හොයා ගන්නා අහිංසක මිනිසුන්ගෙන් රුපියල් දහස් ගණනක් කඩා ගන්නට උත්සාහ කරන කෝවිඩ් ඖෂධ වෙ‍ළෙන්දන්‍ ය. විවිධ වෛද්‍යවරු නාමයෙන් පෙනී සිටිමින් කරන මේ ජාවාරමට අමතව, රටේ සෞඛ්‍ය සේවයේ පුද්ගලයින්ද සම්බන්ධ කරගනිමින්, මහා පරිමාණ ව්‍යාපාරික වශයෙන් මේ "කෝවිඩ් බෙහෙත්" , ප්‍රතිකාරාත්මක ආහාරයක් ලෙස පෙන්වමින් විකුණනු හඳුනාගන්නට හැක. රටේ පිළිගත් ව්‍යාපාර ආයතන හරහා බෙදා හැරිමට කටයුතු කරන මේ ප්‍රතිකාරය ගැන "බටහිර වෛද්‍යවරුන්" කළ පර්යේෂණ ලෙස ප්‍රචාරණය කළත්, ‍ඒ පර්යේෂණ පිළිබඳ ලෝකය පිළිගත් කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් අද, අප්‍රෙල් 27වනදා දක්වා සොයා ගැනීමට නොහැකිවිය. එමෙන්ම, ආහාර පෝෂණය සහ එහි සෞඛ්‍යමය බලපෑම් ගැන පර්ය්ෂණ සිදු කරන, ආයතන ප්‍රකාශ කරන පරිදි කෝවිඩ් සඳහා ප්‍රතිකාරමය හැකියාවක් සහිත කිසිදු ආහාරයක් හෝ ආහාර අතිරේකයක් මේ දක්වා සොයා ගෙන නැත. (There is no single food, supplement or natural health product that will prevent, treat or cure COVID-19. Selling unauthorized health products or making false or misleading claims to prevent, treat or cure COVID-19 is illegal in Canada.)https://www.dietitians.ca මෙම ව්‍යාජ ඖෂධීය ආහාර පෙත්ත විකුණන, වෙළඳ ආයතන කියන පරිදි කෝවිඩ් සුව කිරීමට හෝ වැලැක්වීම මේ "මැජික් ගුලි" වලට නොහැක, අවම වශයෙන් මේ වනතුරු පර්යේෂණාත්මකව හඳුනාගෙන නොමැත. වැදගත් වන්නේ ලංකාවේ අප ගන්නා සාමානය ආහාර වේල නිසි පරිදි ලබා ගැනීමත්, එබඳු ආහාර ගැනීමට අපහසු රෝගී හෝ සෞඛ්‍ය ගැටළු සහිත අය වෙත, "වෛද්‍ය උපදෙස් අනුව" ගැලපෙන පෝෂණය අඩංගු පාන වර්ග සහ අතිරේක විටමින් උපදෙස් පරිදි ලබා දීමත්ය. ඒ හැර හොඳ කන්න බොන්නට පුළුවන්, දවසේ වැඩ කරන සාමාන්‍ය ජනතාවට රුපියල් තුන් දහස් හාරදහස් ගණන් ගෙවමින් උදේ හවා ගුලි ගිලීමේ කිසිදු වැදගත්කමක් නොමැත. ඒ මුදලින් ගෙදර හැමෝටම හොඳට කන්න බොන්න එළවලු පළතුරු මස් බිත්තර ටිකක් අරන් එන්න. ඇසට වඩා මනැස පාවිච්චියට දැන්වත් සූදානම් වන්න. කෝවිඩ් බොරදිය තුල මාළු බාන්නන් තව තවත් මතු විය හැක. 

මේ පවතින අවදානම් තත්ත්වය තුල ඔබ කළ යුත්තේ කුමක්ද? 

එන්නත ලබා ගන්න 

ඔබට ‍රජය විසින් ලබා දෙන කෝවිඩ් එන්නත ලබා ගැනීමට අවස්ථාවක් වේනම් , එය ලබා ගන්න.හැම එන්නතක් තුලම යම් අතුරු ආබාධ ඇති වීමේ අවදානමක් ඇතත්, මේ අවස්ථාවේ ඇති යම් හෝ ආරක්ෂාවක් ලැබෙන ක්‍රමය වන්නේ මෙම එන්නත් භාවිත කිරීමයි. කෙසේ වෙතත්, එන්නත ගන්න‍ට පෙර, වේදනානාශක පෙති ගණන් ගිලදමා නොයන්නේ නම් එහි වාසිය වැඩිවිය හැක. එන්නතට පසුව දවසේ වැඩ කටයුතු කරගත නොහැකි තරමට අපහසුතාව, උණ ඇති වේනම් වේදනානාශකයක් ගැනීම ගැටළුවක් නොවන බව හඳුනාගෙන තිබෙනවා‍. 

සැලකිල්ලෙන් ගෙදර ඉන්න

 ඔබ අත්‍යව්‍යය සේවාවක රැකියාව නොකරයි නම්, නිවසේ රැඳෙන්න. නිවසෙන් ඉවතට පිටත්වන්නට අවශ්‍ය විටෙක සියල්ල සැලසුම් කරගෙන , නිවසෙන් පිට රැඳෙන කාළය ,අවම කරගන්න. - පොදු ප්‍රවාහන සේවා, තදබදය ඇති ජනාකීර්ණ ස්ථාන හැකි තරම් මග හරින්න. - නිවසින් පිටතදී , හැකි තරම් වෙනත් පුද්ගලයන් සමඟ අඩි6ක (අඩුම ගණනේ අඩු තුනක්) වත් දුරක් තබා ගන්න. - පඩිපෙල් වල අත් ඇඳි, දොරවල්, වාහන වල මතුපිටවල් , කාර්යාල වල මේස වැනිදේ අත ගෑම සීමා කරගන්න. හැකි හැම අවස්ථාවකම අත් සෝදා පිරිසිදු කරගන්න. - ආගමික ඇදහීම් නිවස තුල සිට කරන්න. - නිවසින් පිටතට ගොස් නිවසට ඇතුලුවූ වහාම, දෑත් නිවැරදිව සෝදා ගන්න. හැකිනම් , නා පිරිසිදු වන්න. - නිවසෙන් බාහිර සිට ගෙනා දේ ඇත්නම්, ප්ලාස්ටික් කවරයක් සහිත දෙයක් නම් බාහිර ආවරණය හොඳින් පිරිසිදු කරගන්න. එබඳු සියළු සේ ස්පර්ශ කිරීමෙන් , එකළස් කිරීමෙන් පසු දෑත් සබන් සහ ගලා යන ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න - කඩ කෑම නොව, නිවසේ සැකසූ ආහාර ගැනීමට උත්සාහ කරන්න - කඩයකදි බඩු මිලදී ගැනීමේදී සැලසුමක් ඇතිව යන්න (අවශ්‍ය දේ පිළිබඳව) විකිණීමට ඇති එළවලු , උපකරණ අතගෑම සීමා කරන්න. - බඩු ගෙන ඒම සඳහා එකවරක් භාවිත කර ඉවත් කළ හැකි හෝ සෝදා පිරිසිදු කළ හැකි බෑගයක් යොදා ගන්න. ( * කාඩ්බෝඩ් කවර / පෙට්ටි ඇති සියල්ලේ කවර / පෙට්ටි ඉවත්කර කසල බඳුනට දමා , අවශ්‍ය ආහාරය හෝ උපකරණය පමණක් නිවසේ ඇති පිරිසිදු කරගත් භාජන තුල අසුරන්න * ප්ලාස්ටික් ආවරණයකින් වසා ඇති ආහාර/ පැකට් වල ආවරණය ඉවත් කර පිරිසිදු බඳුනක තැන්පත් කරගන්න එසේ කළ නොහැකි විට ආවරණය විෂබීජනාශක දියරයකින් හෝ සබන් සහ වතුර බිඳු කිහිපයක් යොදා පිරිසිදු කරගන්න. * විවෘත එළවලු පළතුරු ගලා යන ජලයෙන් හොඳින් සෝදාගන්න. (ඒ සදහා සබන් හෝ වෙනත් රසායනික භාවිතය අවදානම් ඇති කරයි) - ඔබ රැකියාවට ගොස් නිවසට පැමිණියේ නම් ඔබේ අත්බෑගය , දුරකතනය, යතුරු විෂබීජනාශක දියරයකින් පිරිසිදු කරගන්න. - හැකියාවක් ඇත්නම් නා පිරිසිදු වී , පසුව පවුලේ අය සමඟ එකතු වන්න. - බාහිර පුද්ගලයන්ට ඥාතීන්ට නිවසට පැමිණීමට ආරාධනා කිරීම් සීමා කරගන්න. 

දෑත පරිස්සම් කරගන්න 

අවශ්‍ය සියළුම අවස්ථා වලදි ,දෑත් සබන් සෝදා ගලා යන ජලයෙන් පිරිසිදු කරගන්න. (විශේෂයෙන්ම,පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයෙන්,වෙළදසැල් වල ගැවසීමෙන් රෝහල් තුල රැඳීසිටීමෙන් පසු) - පොදු ස්ථාන වල ඇති පොදුවේ ස්පර්ශ කරන, පුවරු, මතුපිටවල්, දොර අගුළු ඇල්ලීමෙන් වලකින්න. අවශ්‍යම අවස්ථාවලදී, වැලමිට හෝ අත්ලේ පිට පැත්ත යොදා ගන්න, හැකි ඉක්මණින් පිරිසිදු කරගන්න. - ජලය නොමැති අවස්ථා වලදී භාවිත කිරීම සඳහා Alcohol based hand sanitizer එකක් හැම විටම සූදානම්ව ළඟ ලබා ගන්න - ඇස් , මුහුණ අතගෑම් හැකි තරම් සීමා කරන්න. - සුබ පැතීම් සඳහා අතට අතදීම්, වැළඳ ගැනීම් සීමා කරන්න. - රෝග ලක්ෂණ නොපෙන්වන අයෙක් තුල පවා වයිරසය ඇති බව , පැතිරවිය හැකි බව දැනුවත් වන්න. - සැක සහිත අවදානම් සහිත යමක් ස්පර්ෂ කලේනම් , දෑත් නිසි ලෙස පිරිසිදු කරගන්න. 

කෙළ බිඳිති ආවරණය කරන්න

කිවිසීමේදී දෑත භාවිත නොකර ටිෂු එකක් හෝ නැත්නම් වැලමිට ඇතුලත හෝ ඇඳුම භාවිත කර බිදිති විසිරීම පාලනය කරගන්න. - නැවත භාවිත කරන ලේන්සුවකට වඩා වරක් භාවිත කර ඉවත් කරන facial tissue වඩාත් සුදුසුයි මේ අවස්ථාවේ. - භාවිත කළ ටිෂු කසල බඳුනකට බැහැරලන්න, එසේ කළ නොහැකි අවස්ථා වලදි පොලිතීන් බෑගයක් තුලට දමා හොඳින් කට ගසා තබා, කසළ බඳුනක් ඇති අවස්ථාවකදී බැහැර ලන්න. කිසිවිටෙක මහමග, වාහන තුල , කාර්යාලවල මේස මත නොතබන්න. - තැන තැන කෙළ ගසන්නට හෝ සොටු සූරා දමන්නට එපා. - කිවිසීමකට , නාසය පිරිසිදු කිරීමකට පසු දෑත සබන් / ගලා යන ජලය හෝ 70%-80 Alcohol based Hand sanitizer භාවිත කර පිරිසිදු කරගන්න. 

අවදානම් තැන් මග හරින්න.

සෙනග වැඩිපුර ගැවසෙන , තදබදය ඇති ස්ථාන හැකි තරම් මගහරින්න. - ඔබේ සෞඛ්‍යමය අවශ්‍යතාවයක් නොවේනම්, නම් රෝහල් වෙත , සායන චැනල් සෙන්ටර් වෙත යොමු නොවන්න.(උදා, රෝගීන් බැලීමට වැනි කටයුතු සඳහා) - දුම්රියට හෝ පොදු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් රැඳී සිටියදී හෝ වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් රැඳී සිටීම් වලදී , සෙනග අඩු තැනක් තෝරා ගන්න. අනෙකාගෙන් අඩුම තරමේ මීටරයකවත් දුරින් රැඳී ඉන්න. - පෙර කී රැඳී සිටීම් වලදි, තම දෑත් සහ මුහුණ ස්පර්ශ නොකිරීමට උත්සාහ කරන්න. - පහසුකම් ඇත්නම් මෙම ස්ථාන වලදී දෑත් සබන් සහ ගලා යන ජලයෙන් සෝදා වියලා ගන්න( හෝ Alcohol based Hand sanitizer ‍‍මගින් පිරිසිදු කරගන්න) 

ලෙඩ වුනා නම් ගෙදර ඉන්න

රෝග ලක්ෂණ දැනගන්න කැස්ස,රස සුවඳ දැනීම වෙනස්වීම, උණ , උගුරේ වේදනව, සෙම්ප්‍රතිශ්‍යා වේ ලක්ෂණ, ශ්වසන අපහසුව මුලික ලක්ෂණ විය හැක.ඊට අමතරව, ඇඟපත වේදනවා, සන්ධි වේදනාව කළාතුරකින් වමනය සහ පාචනය වැනි ලක්ෂණද එක් විය හැක - සෙම්ප්‍රතිශ්‍යාව ලක්ෂණ මතුවූ සැනින් කළබල නොවන්න.අවධානයෙන් ඉන්න - නමුත් ඔබ පෙර කී අවදානම් කණ්ඩායමේ හෝ අදාල ආසාදනය පැතිරෙන ප්‍රෙද්ශයක , පසුගිය සති දෙක තුල සංචාරය කළානම් හෝ අදාල රෝගයට පත්වූ අයෙක් සමඟ ළඟ ඇසුරක් පැවතුනා නම් රෝග ලක්ෂණ වන වෙනස්වීම පිළිබඳව වැඩි අවධානයකින් ඉන්න. - නිවසට වී දිනක් දෙකක් විවේක ගන්න, රෝග ලක්ෂණ පිළිබඳ සැළකිලිමත්වන්න. - දියර වර්ග වැඩිපුර ගැනීම, පෝෂණිය ආහාර ගැනීම හරිව වැදගත්. (තද උණූ ජලය පානයේ අවශ්‍යතාවයක් නැතිමුත් උතුරවා නිවාගත් ජලය හෝ පිරිසිදු පානීය ජලය පානය වැදගත් වේ) - මේ කාළය තුල ඔබේ හිතුමනාපෙට ප්‍රතිජීවක ඖෂධ නොගන්න. - ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පවුලේ අනෙක් අයගෙන් හැකි තරමට වෙන්ව මේ කාළසිමාව ගත කරන්න.(පිඟන් කෝප්ප, තුවා, ඇඳුම්, වැනි දේ වෙන්ව තබා ගන්න, මේ අවස්ථාවේ නිවස තුලදී වුවද මුව වැස්මක් පැළඳීම පවුලේ අනෙක් අයට ආරක්ෂාවක් වේවි) - රෝග ලක්ෂණ වැඩිවන බව දැනෙනවා නම් හෝ ශ්වසන අපහසුතාවයක ලක්ෂණ මතුවේ නම් (දින ගණන ගැන නොසිතා) මුව වැස්මක් පැළද, රෝහලට යන්න. - ඔබට කොරෝනා වයිරසය ඇතුළු වී ඇතැයි රෝහලේදී හඳුනාගත්ත ද වයිරසය ශරීරගත වූ සියල්ලන් ජීවිත අවදානමකට ලක් නොවනබව තේරුම් ගන්න, සෞඛ්‍ය උපදෙස් අනුව අදාල කාළ සීමා රෝහල තුල ගත කරන්න. - සැක සහිත ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සමඟ ඉතා ළඟ කතා බහ ( මීටර දෙකකට වඩා ලඟින්) සිප ගැනීම්, නොකරන්න. 

හොඳට කන්න බොන්න 

- පෝෂණීය ආහාර වේලක් ගන්න, පිරිසිදු ජලය/දියර වර්ග වයසට ගැලපෙන ප්‍රමාණයට පානය කරන්න. - මත්පැන් පානය මගින් මෙම වයිරසය විනාශ නොවන බව දැනුවත් වන්න. - මස්, කිරි බිත්තර වැනි සත්ව ආහාර හොදින් පිස පරිභෝජනය කරන්න. (හොදින් පිසගත් මස් මාංශ අනුභවයෙන් ප්‍රෝටීන් මිස වයිරසය නොලැබේ ,කෙසේ වෙතත් සත්ව ආහාර මිලදී ගැනීම සඳහා වගකීමක් ඇති වෙළඳ සැලක් වෙත යන්න) - ආහාර සැකසීමේදී , නොපිසින ආහාර ( ගොටු කොළ වැනි) සමඟ නොපිසූ මස් මාංශ මිශ්‍රවීම වලක්වා ගන්න‍ - ප්‍රතිකාරයක් නොවුනත් විටමින් සී සහිත ස්වභාවික පළතුරු භාවිතය වාසිදායක විය හැකි බව දැනුවත් වන්න. 

නිවැරදිව දෑත් පිරිසිදු කරගන්න

 - ගලා යන ජලයෙන් , ඇඟිලි/ඇඟිලි අතර/මැණික්කටුව ප්‍රෙද්ශය/අල්ල/පිටි අල්ල, හොඳින් තෙමා ගන්න - දැන් සබන් යොදා පෙර ප්‍රදේශ තත්තපර 20-30ක්වත් හොඳින් අතුල්ලන්න , දැන් ගලා යන ජලයෙන් හොඳින් සෝදා හරින්න. - අත් වියලීම සඳහා පිරිසිදු රෙදි කඩක් හෝ ටිෂු එකක් යොදා ගන්න, - ගලායන ජලය සහ සබන් නොමැති අවස්ථාවකදි Alcohol based hand sanitizer බිඳු කිහිපයක් අතට ගෙන පෙර කී ප්‍රෙද්ශ තුල හොඳින් ආලේප කරගන්න, වියලෙන්නට දෙන්න. තෙතමාත්තු කිරීම හෝ සේදීම කළ යුතු නොවේ. - අත කිළිටි යැයි හැඟෙන හැම විටකෙම සහ , කිවිසීම , නාසය පිරිසිදු කිරීම, සතුන් ස්පර්ශ කිරීමෙන් පසු, කෑම පිළීයෙල කිරීමට පෙර , කෑමට පෙර , වැසිකිලි භාවිතයට පසු, රෝගී අයෙක්ට සත්කාර කළ පසු සහ අතට අතදීම හෝ අවදානම් යමක් ස්පර්ශ කිරීමට පසු දෑත පිරිසිදු කරගන්න

 දැනුම යාවත්කාළීනව තබා ගන්න

 - මෙම වයිරසය ඉක්මණින් වෙනස්වන නිසා සහ ඒ ඔස්සේ සිදුවන පර්යේෂණ මත උපදෙස් , ප්‍රතිකාර වෙනස් විය හැකි නිසාසෞඛ්‍ය ආයතන සිදු කරන පර්යේෂණ පිළිබඳ දැනුවත් වන්න, දැනුම යාවත්කාළීනව පවත්වා ගන්න. - රජය විසින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. - සමාජ ජාලා වල පැතිරෙන තොරතුරු මෙන්ම ප්‍රධාන මාධ්‍යවල තොරතුරුද එකවර විශ්වාස කිරීම /බෙදා ගැනීම නොකරන්න. වැරදි තොරතුරු බෙදා ඇති විටෙක, වරද පෙන්වා දෙන්න - පහත බැදුම් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගන්නා “නිවැරදි“ නවතම දැනුම ලබා ගන්න. https://www.cdc.gov සිංහලෙන් දැනගන්න https://www.facebook.com/hpbsrilanka - ලබා ගත් නිවැරදි දැනුම බෙදා ගන්න 

දැන ගෙන මාස්ක් එකක් පළදින්න

 - නිවසින් පිටතට යානම්, අවදානම් ස්ථානයක රැකියාව කරයි නම්,අවදානම් ස්ථානයක රැඳේනම්, ලක්ෂණ ඇත්නම්, ලක්ෂණ ඇති රෝගියෙකුට සාත්තු කරයි නම් මාස්ක් එක්ක පළඳින්න. - පැළඳිමට පෙර සහ ඉවත් කිරීමෙන් පසූ දෑත නිවැරදිව පිරිසිදු කරගන්න. මුහුණ සහ මාස්ක් එක අතර හිදැස් පැවතීම අවම කරගන්න. ( හැකිනම් Seal check test එක කර බලන්න) - මාස්ක් එකේ පිහිටීම නැවත සැකසිය යුතු අවස්ථාවකදි පළමුව දෑත පිරිසිදු කරගන්න. - එකම මාස්ක් එක දිගටම වැඩි කාළයක් හෝ නැවත භාවිත කරන්නට එපා. ( නිශ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න) - නිවැරදි ක්‍රමයට පැළඳියේ නම් සාමාන්‍ය රෙදි මාස්ක් එකකට වඩා, සර්ජිකල් මාස්ක් මගිනුත්, ඊට වඩා N95 වැනි මාස්ක් ආරක්ෂාවක් ලැබීමට ඉඩ ලැබිය හැක.(නමුත් අනෙක් අය ආරක්ෂා කිරීම සඳහා කිසියම් ආකාරය ආවරණයක් මාස්ක් එකක් පැළඳීම මේ අවස්ථාවේ යුතුකමකි.) - N95 වැනි මාස්ක් පළඳීනම් සෞඛ්‍ය සේවයේ නියුතු අය Fit Test සහ Seal check test මගින් එහි ආරක්ෂාව තහවුරු කරගන්න. - රැවුල වවා ඇති අයෙක් නම්, ලැබිය යුතු ආරක්ෂාවම නොලැබිය හැකි අවස්ථා ඇති බව හඳුනාගන්න. - මාස්ක් මඟින් 100%ක ආරක්ෂාවක් නොලැබෙන බව දැන අනෙක් ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්න මේ තුන් වන රැල්ල, සහ ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රබේධ වල අවදානම සහ රෝගීනට ඇති වන සංකූලතා , මරණීය අවදානම ක්‍රමයෙන් වැඩි වන බව පසුගිය වසර තුල සහ මේ වසර තුල මේ දක්වා කළ හඳුනාගැනීම් තුලින් තහවුරු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අනෙක් සියළුම අවස්ථා වලට වඩා තරුණ පිරිස වෙත මේ වයිරසය මේ අවස්ථාවේ පහර දෙන බවත්, සංකූලතා ඉහළ බවත් හඳුනාගන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ ව්‍යාජ තෙරතුරු වලට නොරැවටී, දැනුවත්ව ඔබත් රැකෙමින් , අනෙක‍ාටත් රැකෙන්නට උදව් කරන්න. එය ඔබේ වගකීමයි, යුතුකමයි. 

දැනුමට තවත් කියවන්න https://www.aafp.org/journals/afp/content/covid-briefs.html https://bestpractice.bmj.com/info/us/coronavirus_covid-19

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)