2021/01/23

246) බර වැඩියි අනේ

දේහ බර වයසට අදාල උසට ගැලපෙන සීමාවට වඩා වැඩිවීම කරදර ගණනාවකට මග පාදනවා. විශේෂයෙන්ම මැදිවියේ ඉන්න අප වගේ අයට, අධීරුධිර පීඩනය , දියවැඩියාව, සන්ධි ආබාධ, මෙන්ම පිළිකා වැනි අවදානම් තත්ත්ව වලටත් “බර වැඩිවීම” හේතුවක්.

දැන් ඉතින් “බර වැඩිවීම” කියන්නේ මොකක්ද කියල හරියටම දැන ගන්න එපායැ.එහෙම නැතිව නිකං මහතයි වගේ පෙනුන පමණින්ම බර වැඩියි කියල කියන්න බෑ. මෙන්න මෙහෙමයි වැඩේ කර‍ගන්නේ. ඔබේ බර බලා ගන්න කිලෝග්‍රෑම් වලින්, උස බලා ගන්න සෙන්ටිමීටර් වලින්. දැන් උස වැඩිකරන්න උසෙන්ම,(උස වර්ග කරන්න) ඊළඟට බර බෙදන්න මේ උසේ වර්ගයෙන්. උත්තරේ  18-23 වගේ ගාණක් තියා ගන්න පුළුවන් නම් තමයි පරිස්සම්. 23න් ඉහළ උත්තරයක් නම් ආවේ ඔබේ බර වැඩියි, පෙර කී අවදානම් ඇති වන්න පුළුවන්. මේ උත්තරේ 27ට වැඩි නම් “ඉතාම අවදානම බර වැඩි වීමක” ඉන්නේ , ඉක්මණින්ම වෘත්තිය උපදේශයක් ලබා ගන්න ඕන බර අඩු කරගන්නට.

හිතන්න ඔබේ බර, වැඩියි කියල, අපි හිතමු 25ක විතර උත්තරයක් ආවේ කියල. එහෙම නම් දැන් සූදානම් වෙන්න ඕන බර අඩු කරගන්නට. හොඳම දේ පෝෂණවේදියෙක් හමුවෙලා කෑම බීම ගැන උපදෙසක් ගන්න එක, නමුත් අපටම සමහර සූදානම් වීම් වෙන්නට පුළුවන්. මේ කියන්න හදන්නේ අන්න ඒ වගේ අපට කරන්න පුළුවන්, සාර්ථක උත්සාහයන් කිහිපයක්,

  1. සීනි කපන්න.( අපට අමතර සීනි බිව්වෙ නෑ කියල කිසිම අහිතක් වෙන්නේ නෑ. ඒ වගේම අපේ බර වැඩිවීම් වලට වැඩි හේතුවක් අමතරව එකතු කරන සීනි. කරන්න පුළුවන් දේ , සීනි, හකුරු වගේ දේ එක්ක තේ බොන එක අඩු කරන්න, වාර ගාණ අඩු කරන්න. ‍එකවරකට බොන ප්‍රමාණය අඩු කරන්න. පුළුවන් නම් සම්පූර්ණයෙන්ම නවත්වල, නිකම් කිරි එකක් බොන්න රසට හුරු වෙන්න)
  2. පිටි හලන්න (බත් කන්දක් කියන්නේ දියවැඩියාව කැන්ද ගන්න මුල බව මතක් කරගන්න. බත් අඩු කෝප්පයක් එකහමාරක් වැඩිත් එක්ක ඇති. එළවලු පළා, මස් හෝ මාළු වලින් ඉතිරිය පුරවගන්න. රොටි, පිටි කෑම නවත්වන්න පුළුවන්ද බලන්න.
  3. වතුර බීල බත් කන්න. ( කෑමට පෙර පළතුරක් කන්න හැකිනම් එළවලු සැලඩ් එකක් කන්න,සීතල වතුර කෝප්ප දෙකක් බොන්න,ඊට පස්සේ ඉතිරි ඉඩට බත් එලවලු කන්න)
  4. ඇඹුල් කරගන්න ( එළවලු / සැලඩ් වගේ දේට විනාකිරි ටිකක් එකතු කරන්න)
  5. නොබලා කන්න. ( රූපවාහිනිය හෝ දුරකථය පරික්ෂා කරමින් කන්න එපා. කෑම කන ප්‍රමාණය ගැන අවධානයෙන් රස විඳිමින් කන්න)
  6. රාත්‍රී කෑම වේලට වඩා උදේ වේල වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙන ආහාරයක් ගන්න.
  7. විනාඩි විස්සක්වත් කන්න. (කළබලේට ගිලිනවාට වඩා, කෑම හොඳින් විකීමට, ඇඹරීමට කටෙහි රඳවා ගැනීමට කාළය ගන්න)
  8. කෑම නින්ද‍ට පෙර නොව . ( රෑ කෑම ගත් සැණින් නිදා නොගන්න, රාත්‍රී ආහාරයෙන් පසුව පැය කිහිපයකින් නින්දට යන්න. රාත්‍රි  7ට ආහාරය ගැනීමට හැකිනම් රාත්‍රී නමයට නින්ද‍ට යන්නට පුළුවන්)
  9. රාත්‍රි කෑමෙන් පසු (7.00ට) නැවත ආහාර නොගෙන නින්දට පෙර වතුර ‍කෝප්පයක් බොන්න.
  10. දවසකට විනාඩි 30-45ක් කිලෝමී‍ටර 3ක්වත් දුර වේගය අඩුු වැඩි කරමින් දුවන්න, වේගයෙන් ඇවිදින්න.(දැනට හෘද රෝග හෝ අධිරුධීර පීඩනය ඇත්නම් ලැබී ඇති සෞඛ්‍ය උපෙදස් මත හෝ  ඇවිදීම සහ අපහසුතා දැනෙන විට විවේක ගැනීම ආරක්ෂාකාරී වේ)
  11. සතියකට වරක් එකම වෙලාවකදී බර මැන සටහන් කරගන්න.

මේ පියවර ටික හරියට අනුගමනය කළොත් මාසයක කිලෝග්‍රෑම් දෙකක් සෞඛ්‍යානුකූල බර අඩු කරගැනීමක් කරන්නට පුළුවන්. ඒ විදියට තමන් නියමිත ආරක්ෂීත බර සීමාවට එන්නට පුළුවන් නම් පවතින සෞඛ්‍ය ගැටළුවලට සහනයක් වගේම , ඉදිරියේදී ඇති වීමේ අවදානම ඇති තත්ත්ව වලින් ගැලපෙන්නට හෝ පමා කරගන්නට ඔබට හැකිවේවි.

දැන් මේ තියෙන්නේ පහුගිය මාසය තුල මම පුද්ගලිකව මේ පියවර ඔස්සේ ලබා ගත් ප්‍රතිපල. ඒ කියන්නේ , හරියට උත්සාහ කළොත් තමන්ටම වාසිකයක් වන මේ දේ කරගන්න පුළුවන්. හැබැයි හිත හදා ගන්න බැරිවුනොත් හැමදාම කියන්න වෙන්නේ “අනේ බර අඩු කරගන්න බෑනේ “ කියලම විතරයි. එහෙම නම් උත්සාහ කරල බලන්න.


2 comments:

  1. කාලෝචිත ඉතා වටිනා ලිපියෙකි.මෙහි උස ගණනය කල යුතු වන්නේ මීටර වලින් ලෙස නිවැරදි විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ෙවනුෙවන් . Metric ක්‍රමයට ගණනය කිරීෙම්දී ෙයාදා ගන්ෙන් cm සහ kg

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)