2014/03/03

157) මවක් වන්නට පෙරුම් පුරනා ඔබටමයි !



බලනවනං ෆිල්ම්!
 “තාත්තේ මේ .. Gravity තියෙනවා ලිස්ට් එකේ , මට නං ෂුවර් , ඒකට තමයි බෙස්ට් ෆිල්ම් එකට හම්බවෙන්නේ. “ ...
“නෑ නෑ ඒකට නෙවි Frozen ට තමා බෙස්ට් ෆිල්ම් එක !“
“ඒ වුනාට Gravity තමා හොඳම ! “
“එහෙනං ඇයි ඔයා අදත් Frozen බැලුවේ , ? “
දෙන්න එක්ක වාදේ , අද නිවාඩු දවස නිසා ටිකක් විවේක පාඩුවේ ඔස්කාර් සම්මාන උළෙල බලන්න හිතුවත් , ඒක ටිකක් අමාරුවෙයි වගේ මේ වාද විවාද එක්ක .


“ලොකූ , පොඩී ... දැන් වෙලාව හරි .. ගිහින් නිදා ගන්න . නැත්තං හෙට උදේ ඉස්කෝලේ යන්න නැගිටින්න බැරිවෙයි “ අම්මගෙන් වෙලාවටම අවවාදේ ලැබුණ . 
පොඩ්ඩක් අදි මදි කරල දෙන්න එක්ක ගියා ඇඳට , වාද විවාද නැතිව නිදහසේ නරඹන්නට ඉඩක් ලැබුණා සම්මාන උළෙලම .

දෙන්නම දිනලා , Gravity හොඳම අධ්‍යක්ෂණයත් එක්ක තවත් සම්මාන හතකට හිමිකම් කියත්දි අපේ පොඩි නඟාගේ ආදරය දිනපු Frozen  Best animated feature Best Original Songකියන සම්මාන හිමිකරගත්ත.දැන් ඉතින් උදේට ඒතරම්ම කරදරයක් වෙන එකක් නැහැ වගේ .

re-birth 
Gravity සිනමා සිත්තම ගැන ආයෙත් මතක් කරත්දි මතක් වුනේ දරු උපතට අදාල ගැටළුවක් ගැන සොඳුරු සුව අසපුවට ලියන්නට හිතාගෙන හිටි බව . එහෙම මතක් වුනේ Gravity චිත්‍රපටය තුල දරු උපත , සහ නැවත ඉපදීම කියන කාරණාත් සංකේතාත්මකව නිරූපනය කරන බව මතක් වුනු නිසා . (මේ සංකේතාත්මක නිරූපනයන් පිළිබඳ පැහැදිලි කිරීමක් එම Blueray තැටියේ අවසාන කොටසේ Special features තුල අඩංගුයි,ෆිල්ම් එක බැලුවට ඕව බලන එකක්යැ නේද ?  අනෙක Gravity  වගේ චිත්‍රපටයක නියම රසය විඳගන්න නම් 3D පහසුකමත් එක්කම බලන්න උත්සාහ කරන්න.)

එහෙම නම් කතාවට ඇතුළු වෙමු මෙන්න මෙහෙම.

ඔන්න එකෝමත් එක කාළෙක , බොහොම තැන්පත් වීනීත කෙල්ලෙක් හිටියා. එයාගෙ නම “ඕවම්“ . මෙයා කොයිතරම් හොඳ වුනත් එයාගෙ වයස හරිගියාම “මහගෙදරින්“  එළියට දැම්ම. 
හ්ම් දුකයි තමයි ... දැන් මේ ඕවම් තමන්ගේ “බඩුමුට්ටු“ ටිකත් අරගෙන පොඩි අතුරු පාර දිගේ එනවා .කවුරුවත් නෑ , හරිම පාළුයි , අනෙක  වැස්සත් වගේ ,  ඔන්න දැන් තමයි චිත්තරපටිය පටන් ගන්නෙ . ඔය වගේම වයස හරිගිය නාහෙට නාහන කොල්ලෝ රෑනක් දුවගෙන එනවා අනෙත් මහ පාර දිගේ . ඔන්න දැන් හිතා ගන්නකේ සීන් එක. ඔය කොල්ලෝ රෑන අතරේ ඉන්නව  හොඳ හැඩ වැඩ වගේම විසේකාර කොල්ලෙක් . අර කොළු රෑනම පරද්දල දුවගෙන එන මේ කොළුවගේ නම් “ස්පර්ම්“ . දැං තමයි චිත්තරපටියේ නියම මියිසික් දෙන්නෙ . මෙන්න කෙල්ල බිම බලාගෙන හිමීට  එනවා , අනෙක් පැත්තෙන් ස්පර්ම් වේගෙන දුවගෙන එනවා . ඔන්න ඇවිත් ........ඇවිත් ......“දඩෝං“ ..........හැප්පුනා නේද මූණට මුණ .....

ට්‍රීං ................... චිත්තරපටියේ ඉන්ටර්වල් එක වැදුනේ හොඳම වෙලාවේ ...
ඔන්න ඔය විදියට හැප්පිලා , අළුත් සෛලය , තව තව බෙදිලා පොඩි සෛල “බෝලයක් “ බවට පත්වෙනවා . ඕන්න ඒ බෝලේ ..පෙරලිලා ...පෙරලිලා ඇවිත් , ගර්භාෂයේ ඇතුළු බිත්තියේ  ඉහළට වෙන්න බෙහොම සැපපහසුවට සූදානම කරපු තැනක තැන්පත් වෙනවා , මෙතනම ඉන්නවා මාස නමයක්ම කියල හිතාගෙන .

දැන් මේ අළුත පදිංචි වෙච්ච “එක්කෙනා“ ටික ටික ලොකු වෙනවා , ඊට  පස්සෙ මෙන්න “චූටිපැටියෙක්“ ! ....අපි එයාට සිංහලෙන් කියන්නේ “කළලය“ කියල . දැන් මේ කළලය කියන පැටියාට ඕන කරන කෑම බීම කොහෙන්ද ?  ඒකටත් ක්‍රමයක් තියෙනවා , ඒ තමයි බබාගේ “බුරියෙන්“ පටන් ගන්න පොඩි බටයක් (umbilical cord) පටන් අරගෙන “සොකට් එකකට හයිකරලා(placenta)“ අන්න ඒ සොකට් එක අම්මගේ ගර්භාශයට හයිකරන එක.  හුඟක් අයගේ මේ සොකට් එක ගර්භාෂ බිත්තියට හයි වෙන්නේ “ගර්භාෂයේ ඉහළ සීමාවකදි . හරි දැන් සොකට් එක බිත්තියට හයි කළා. දැන් හරිම ලේසියි , අම්මගේ ලේ වල තියෙන කෑම බීම , තව තව ඕන කරන දේවල් අර සොකට් එක හරහා ගර්භාෂයේ ඉඳන් පැටියට හයිවෙච්ච බටේට ඇතුළු වෙනවා . ඊට පස්සේ ඒ බටේ දිගේ පැටියට යනවා. පැටියගේ ඇඟ ඇතුලෙ එකතු වෙන “කුණූ“ , “අපිරිසිදු දේවල්“ ආයෙත් එළියට ගේන්නෙත් මේ බට ඇතුලේ තියෙන තව පොඩි බට ටිකක් හරහාමයි . දැන් මේ බට පද්ධතිය , අර සොකට් එක , හරියට අම්මගේ ගර්භාශයට හයිවෙලා තියෙනකං පැටියට කරදරයක් නෑ . අම්ම කන බොන දේවල් වලින් පැටියට ඕන කරන දේවල් හරි හරියට හම්බවෙන  නිසා පැටිය ටික ටික ලොකු වෙනවා කරදරයක් නැතිව . ඔය තමයි සාමාන්‍ය තත්ත්වය . 


සොකට් එක හයි වෙන තැන
නමුත් මව්වරුන් 200කින් එක් අයෙක් තුල මේ ප්ලෙන්ටා සොකට් එක ගර්භාෂ බිත්තියට හයිවෙන තැන ටිකක් විතර වෙනස් වෙන්න පුළුවන්. ඒ කීවේ අර මුලින්කී විදියට ගර්භාෂ බිත්තියේ ඉහළින් සවිනොවී , ගර්භාෂයේ පහලට වෙන්නට , සමහර විට ගර්භාෂයේ පහලම තැනට හයිවෙන්න පුළුවන් . මෙහෙම පල්ලෙහාට හයිවෙන සොකට් එක හොඳට තද වෙන්නෙ නෑ, බුරුල් , ගැලවෙන්න වගේ තියෙන්නෙ . මෙන්න මේ තත්ත්වයට පත්වුනාම දොස්තර මහත්තයා කියාවි “මේ අම්මගේ ප්ලෙස්ටා පිවියා වෙලා කියලා . ඔන්න එහෙම නම් දැන් තමයි අද කතා කරන ගැටළුවේ ඇත්තම නමට ආවේ Placenta previa . හුඟක් අම්මලා වගේ , අම්මලා වෙන්න ඉන්න අයත් , ඒ අම්මලාට ආදරේ කරන තාත්තලාත් ටිකක් කළබල කරවන මේ Placenta previa ගැන කා කරමු ..................................... තේ ටිකක් බීල එහෙම ...

මුලින්ම බලමු කොහොමද තමන්ට මේ තත්ත්වය පවතිනවද කියල දැනගන්නේ කියලා ?  ගර්භනී කාන්තාවකගේ ගර්භනීත්වයේ මුල් පැය කිහිපය තුල රතු පැහැ මිශ්‍ර වෙච්ච යම් දියරමය ස්වභාවයේ බිඳු කිහිපයක් යෝනි මාර්ගයෙන් පිටතට එන්නට පුළුවන් වුනත් ඊට පස්සේ යෝනි මාර්ගයෙන් ලේ පහවීමක් සිදුනොවන බව ඔබ දන්නවා . ඉතාම කළාතුරකින් බිඳු කිහිපය රුධීර වහනක් වෙන්නට ඉඩ ඇති වුනත් , ඒ අවස්ථාව ගැන වුනත් ටිකක් අවධානයෙන් ඉන්න එක , නැවත නැවත වනවා නම් ඉක්මණින් තමන්ගේ වෛද්‍යවරයා හමුවන එක වැදගත් බව අද වෙන කොට අපේ සමාජයේ ඉන්න හැම කාන්තාවක්ම දන්නව. 

නමුත් මේ ප්ලෙසෙන්ටා් පිවියා තත්ත්වයේදි මුලින්ම හඳුනගන්න පුළුවන් වෙන්නෙ ගර්භනීතවය හඳුනගෙන සති කිහිපයක් තුලදි යෝනි මාර්ගයෙන් වරින්වර රැධිරය පිටවන්නට පටන් ගන්නවා . වේදනාවක නැතිවම පිරිසිදු රතු පාටටම ලේ බිඳු කිහිපයක් , ඇවිත් , ඉබේම නවතිනවා ,ආයෙත් දවසක් දෙකක් යත්දි මෙන්න ආයෙත් බ්ලීඩිං . මේ විදියට වරින් වර රැධීරය පිටවීම් වෙනවා නම් ටිකක් හොයල බලන්නට වෙනවා . විශේෂයෙන්ම ගර්භයට මාස තුනක් නැත්නම් ඊට ඊට වඩා වැඩි අවස්ථාවක දි එක් වතාවක වුනත් සැක සහිත රැධිර පිටවීමක් හඳුනගත්තොත් පමා නොවී ඔබේ වෛද්‍යවරයා හමුවන එක හරිම වැදගත් . ඒ සමහර විට ඔබ Placenta previa තතත්වයේදැයි හඳුනාගැනීම වැදගත් නිසා . 

එහෙම වෙන්නේ ඇයි ? 

මේකට උත්තරේ මෙන්න මේකමයි කියල ටක්කෙටම කියන්න පුළුවන් කමක් නැතත් , මේන්න මේව නිසා වෙන්න පුළුවන් කියල කියන්නට සාධක කිහිපයක් හඳුනාගනෙ තිබෙනව . ඒ තමයි මීට පෙර ගර්භාෂය ආශ්‍රිතව සැත්කම් කර තිබීම , මීට පෙරත් මෙම තත්ත්යටම මුහුණ දී තිබීම , මීට පෙර දරුවන් හතර පස්දෙනෙක් බිහිකරලා තිබේනම් ඒකත් අවදානමක් , ඒ වගේම වයස . වයස අවුරදු 35ට හෝ වැඩි නම් අවදානම ටිකක් වැඩිවෙන්න පුළුවන් . ඒ වගේම තමන් නැතත් මහත්තය දුම්බොනවා නම් අන්න ඒකත් මේ අවදානම නෝනට දෙන්න හේතු සාධකයක් බව මහත්තයල මතක තබා ගැනීම හරිම වැදගත් .ඔය කිසිම හේතුවක් නැතිව උපතින්ම ගර්භාෂයේ ඇති යම් වෙනස්කමක් නිසා මෙය සිදුවන්නටත් ඉඩක් තිබෙනව .

හරි එහෙම වුනා කියමු ඊළඟට ?

ඔව් එහෙම වුනා නම් , ඔය බ්ලීඩි කතා කිසිම දෙයක් නැතත් , ගර්භනීතවයට මාස තුනක් විතර වුනාම කරන ස්කෑනින් පරික්ෂණයෙදි වෛද‍්‍යවරයා හඳුනගන්නවා ගර්භාෂය තුල පවතින තත්ත්වය (හැබැයි බ්ලිඩිං වුනා නම් ස්කෑනින් එක ඊට ඉස්සර වෙල කරන්න පුළුවන්)  , ඒ කියන්නේ Placenta previa තත්ත්වයක් ඇත්? තිබෙනම් එහි මට්ටම කොයි වගේද කියල ( මෙහි ප්‍රධාන අවස්ථා කිහිපයක් තිබෙනවා ) . මේ හඳුනාගැනීමත් එක්ක වෛද‍‍්‍යවරයා විසින් පවතින තත්ත්වය , විය හැකි අවදානම් තත්ත්ව , ඒවා මගහරවා ගන්නට කළ යුතු දේ පිළිබඳව ඔබ දැනුවත් කරාවි , 

අවදානම් ! ..මොනවද අවදානම් !

ඔව් මේ තත්වයේදි කරදර දෙකක් මුලිකව සිදුවෙනවා , එක (අර සොකට් හරියට හයිවෙලා නැති නිසා) පැටියට අම්මගෙන් ලැබෙන පේෂණය , ඔක්සිජන් නිසි ආකාරයෙන් නොලැබීම හරි  ප්‍රමාණවත් නොවීම හරි සිදුවෙන්නට ඉඩක් තිබෙනවා . ඒ ප්‍රතිපලය දරු පැටියගේ වර්ධනය ටිකක් විතර අඩුවෙන්න පුළුවන් . ඒ එක්කම වරින් වර සිදුවන ලේ පිට වීම් නිසා අම්ම වගේම පැටියටත් නිරක්තිය වගේ ලේ හිඟ අවස්ථාවකට පත්වෙන්නට අවදානමක් තිබෙනවා. ඒ විතරක් නෙවි , වරින් වර මේ සොකට් එක බුරුල් වෙලා සිදුවන තුවාල නිසා , ඒවා පැසවීම නිසා තව කරදර වලට පත්වෙන්නටත් බැරි නැහැ . නරකම අවස්ථා මේ සියළු තත්තව වල එකතුවක් වගේම , අම්මගෙත් පැටියගෙත් ලේ හිඟ වීම උග්‍රවුනොත් ජීවිත පිළීබඳ අවදානමක් වුනත් ඇතිවෙන්න පුළුවන් . ..ඕන්න කළබල වුනා ...පොඩ්ඩක් ඉන්න , මේ ලොකුම අවදානම් අවස්ථා වලට පත්වෙන්නට ඇති ඉඩ අද දවසේ හුඟක් අඩුයි . ඒ මේ තත්ත්වයන් පිළිබඳ හඳුනාගන්නට ප්‍රතිකාර කරන්නට සමත් වෛද‍්‍යපහසුකම් අපේ රටේ අද තිබෙන නිසා , අනෙක් බොහෝ රටවලත් මේ පහසුකම් අද සාමාන්‍ය දෙයක්. ඒ නිසා කළ යුතු දේ මේ අවදානම ගැන හරියට දැන ගැනීම සහ එවන් අවදානම්ක් ඇත්නම් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම. 

පරිස්සම තමා වැදගත් ! 

මෙතැනදි විශේෂයෙන්ම විවේකය වැදගත් , පවතින තත්ත්වය අනුව විවේකය මොන වගේ මට්ටමක විය යුතුද කියන එක වෛද්‍යවරයා පවසන්න ඕන. හේතුව මුලින් කීව වගේ රෝග තත්ත්වයේ මට්ටම අනුව එය වෙනස් විය යුතු නිසා . නමුත් සරළව කීවොත් විවේකය වැදගත් . හුඟක් වෙලාවට දිවීම , බර එසවීම වගේ කටයුතු වලින් වලකින එක වැදගත් වේවි . නමුත් ඇඳ විවේකයම ගන්න ඕන අවස්ථාවක නම් එය හරිම වැදගත් . ඒ වගේම මේ තත්ත්වය යටත් ලිංගිකව එක්වීම් කළ හැකිද ? නුසුදුද කියන එක වෛද‍්‍යවරයා පවසාවි , හේතුව මේ තත්ත්වය ගර්භාෂයේ පහලටම ඇවිත් යොන් මාර්ග විවරය වසාගෙන යන ආකාරයේ සැකසිලා නම් , ඒ අවස්ථාවේ කිසිදු දෙයක් යෝනි මාර්ගයට ඇතුළු නොකළ යුතුයි . ඒ තරම්ම දරුණු නොවනුත්   මේ අවදානම පවතී නම් ගර්භයට සති 28කින් පස්සේ ලිංගිකව (යෝනි-ශිෂ්ණමය) එක්වීමක් නොකරන එක සුබයි .

අනෙක් කටයුතු , කෑම බීම සාමාන්‍ය විදියට කරගෙන පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න ඇයට උදව් වෙන්න , දරු පැටියට ආදරෙන් කතා කරන්න , අතගාන්න , පවුලේ ඇතුලේ ආදරය සෙනෙහස රැක ගන්න , කළබල වෙන්න එපා බෝම්බයක් බඩ බැඳගෙන කියල . හැබැයි දැනුවත්ව ඉන්න. යම් සැක සහිත අවස්ථාවක මඟනොහැර , වැඩි මහන්සියක් , කළබලයක් නොවන විදියකින් ඔබේ වෛද‍්‍යවරයා වෙත නැත්නම් රෝහලේ ගර්භනී සායනය වෙත යොමු වෙන්න.

එහෙම නම් ................... මට හිතෙන විදියට , මේ ගැටළුව ගැන දැන ගන්නට ඕන කරුණු මේ කතාව ඇතුළු තිබුණා . තවත් ඔබට අදාලවම දැන ගන්නට නම් වඩා සුදුසු ඔබේ ගර්භනීත්වයත් එක්ක කටයුතු කරන , ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා . ඒ නිසා සැක සංකා නැතිව ඔහුගෙන් ඒ පිළිබඳ විමසා දැන ගෙන පරිස්සමින් ඉන්න . හරියට පරිස්සමින් හිටියෝත් ලොකු කරදරයක් නැතිව දරු පැටියගේ මුහුණ බලන්න පුළුවන් , හැබැයි සාමාන්‍ය දරු උපතක් විදියට වඩා , සිසේරියන් සැත්කමකින් ලබා ගන්න බෝල ගෙඩියක් වගෙ ලස්සන කෙළි පැටියෙක් , හරි කොළු පැටියෙක් හරි .

එහෙම නම් ගිහින් එන්නම් ප්‍රශ්න ඇතොත් එවන්න , දන්න දෙයක් කියන්නම් , ඒ වගේම මේ ලිපි එක්ක එකතු වෙන වෛද්‍ය සේවයේ නියුතු මිතුරු මිතුරියනුත් ඉන්න නිසා ඔවුන්ගේ අදහසුත් , උපදෙසුත් එක් වුනොත් ,  ‘‘සොඳුරු සුව අසපුවට“ වඩා මේ කියවන ඔබට වටී .

සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !

මෙන්න අර අපේ කතාවේ මුලින් වාද කරපු අයගේ වීඩියෝ එකක් ! 


දෙන්නගේ සෙල්ලං ඔක්කොම බලතෑකි මෙතනින් . දෙන්නගේ බ්ලොග් එකට යන්නේ නම්  http://dinithimithili.blogspot.ca/ ලිපිනයෙන් 
(මුදල් නොගෙවා කළ වෙළඳ දැන්වීමකි :) ) 

තව ගීත අහන්න කැමැති නම් මේ බ්ලොග් අඩවියේ ඉහළ දකුණූපස , රසවිඳින්න වගේම හිතන්නත් හේතු කාරණා ගෙන දෙන වීඩියෝ කිහිපයක් ඇති විවේක පාඩුවේ බලන්න 

පිංතූර ටික ගත්තේ www.merckmanuals.com වෙතින්

15 comments:

  1. මේ රෝගී තත්වය ගැන අසා තිබුනට විස්තරාත්මකව දැන ගත්තෙ අද තමයි . දුම්බීමත් මෙයට එක හේතුවක් කියන කරුණ ගැන පැහදිලි කිරීමක් කල හැහිනම් හරි අගෙයි .
    …දිනිති මිතිලිගෙ දක්ෂකම් අපි බලපු බවත් කියන්න . ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , ඔව් මේ තත්ත්වයට ද්විතික දුම්පානය හේතුවක් විය හැකි බව පර්යේෂකයන් පවසනවා. ඔය දුම නිසා කොයිතරම් නම් හානියක කරගන්නවාද ? කරනවද ? කියන එක තේරුම් ගන්නවා නම් අපේ රටේ දැනට ඉන්න දුම්බොන සුළු පිරිසෙනුත් වැඩි පිරිසක් එය නවත්වාවි.
      ඔව් දෙන්නට සතුටු හිතේවි ගිම්හානි නැන්දත් බැලුව කීවම , නැවතත් ස්තුතියි ගිම්හානි !

      Delete
  2. මෙතරම් වටිනා උපදෙස් නොමිලේම නොදන්න අයට ලබාදෙන එක මොන තරම් උතුම් දෙයක්ද,ඔබේ මේ බ්ලොගය මිල කල නොහැකි තරම් වටිනවා. ජයෙන් ජයම වේවා ඔබට !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අගය කිරීම වෙනුවෙන් වගේම මේ සටහන වෙත පැමිණීම වෙනුවෙනුත් . එන්න දැනුවත් වෙන්න.

      Delete
  3. බොහොම ස්තුති මේ වටිනා තොරතුරු වලට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන , ඔබට. හැමදාමත් වගේ එනවාට , ඇවිත් සටහනක් තබනවාට .

      Delete
  4. මාත් මේ ගැන යන්තමින් දැනගෙන හිටියට හොඳ හැටි විස්තරයක් දැනගත්තෙ මෙතැනින්... බොහොම ස්තුතියි... ගැබිණි මාතාවන්ට බොහොම වැදගත් වේවි...
    දුවලා දෙන්නගෙ බ්ලොග් එකටත් ගියා... කියවලා බලන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මියුරු , ඔව් මේ තත්ත්වය ගැන හරි පැහැදිලි දැනුමක් තිබීම තමයි ආරක්ෂාව සඳහා අවශ්‍ය මුලිකම පියවර .
      ස්තුතියි ඒ දෙන්නටත් හරිම සතුටුයි ,

      Delete
  5. ඉතාමත් වටිනා විස්තරයක්....මතු දවසක වුවමනා වේවිනේ...දුවලාගේ අඩවියටත් ගිහින් බලන්නම්...

    ReplyDelete
  6. ස්තුතියි මලේ , ඇත්තටම මේ දේවල් දැනගෙන ඉන්න එක අනාගතේට හුඟක් වටිනවා . මොකද තමන්ගේ බිරිඳගේ ළඟම ආරක්ෂකයා වෙන්නේ “මහත්තයා“නොවැ.

    බොහොම ස්තුතියි , ඒ දෙන්නාත් දැන් ටිකක් ලියන එක අඩු කරලා , දැන් වැඩ වැඩියි , මොකද නැටිල්ලයි සින්දු කියවිල්ලයි , සැරින් සැරේ පොඩි දෙයක් හරි ලියනවා විතරයි .

    ReplyDelete
  7. අගනා විස්තරය මේ වගේ සිදුවීම් ගැන අහල තිබුනට මීට කිලන් කවුරුත් කියල නෑ ඇයි එහෙම වෙන්නෙ කියල. ඉතිං කියන්නේ "බ්ලීඩ්" වෙනව කියල විතරයි. කාටත් පොදුවේ මෙවන් උපදෙස් වටිනවා.

    පොඩ්ඩො දෙන්නගේ ගැයුම් ලස්සනයි කියන්න. ඉද හිටල සිංහල එකක් දෙකක් කියවල මේ විදයටම දාන්න. පැටවු දෙන්නට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට මුලින්ම. ඔව් මේ වගේ පුංචි දේවල පිළිබඳ නොදැනුවත් වීමක් ඇති ලොකු අවාසනාවකට මුල පුරන්නට .

      ස්තුතියි පොඩ්ඩන් දෙන්න වෙනුවෙන්, අනිවාර්යයෙන්ම සිංහල බාසාව රඳවගන්න සෑහෙන උත්සාහයක් දෙනවා , ඒත් මේ පැත්තට එත්දි එයාලගේ වයස හුඟක් අඩු නිසාද මන්ද , ටිකක් හොරයි ඒ වැඩේට .

      Delete
  8. obathumata godak pin me wisthara walata,obata mathaka athinam mama thamai oben me pilibada wisthara ahuwe giya sathiyedi, plecenta previa thathwaya thiyana gebini mawak lesa mata oben thawath deyak dena genimata awashyai,,,enam bed rest kala wita mema plecenta eka newathath pera paridima garbhashayata sawi wenawada?..mage lankawe yaluwekuth masa 3 di me thathwayata path unalu. eya rest karala 5 weni mase scan eken kiwwalu den eya yatha thathwayata path una kiyala. ehema wenna puluwanda?....a wagema mata bleed wena eka eka dawasenma nathara unath samahara welawata wi 10k withara hitagena hitiyoth brown colour wage liqvid ekak enawa.hugak nemei.bindu dekak withara..ekath hemawelema nemei. ekata hethuwa mokadda?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබතුමියගේ පැනයත් එක්ක තමා මේ මාතෘකාව ගැන ලියන්නට එදා හිතා ගත්තේ.
      මෙතැනදි සිදුවෙන්නේ විවේක ගන්නා කාළසීමාවෙදි , අර ප්ලෙසන්ටා එක ගර්භාෂයට සවි වීම ශක්තිමත් වීමක් තමයි ප්‍රධානව , මොකද ඔය රැධීරවරහයන්ට , දුඹුරු පැහැය මිශ්‍ර දියර බිඳ වලට හේතුව , ප්ලසෙන්ටාව නිසි තැන නැති නිසා පවතින දුර්වල බැඳීම .
      නමුත් විවේක ගැනීම තුලින් එම බැඳීම ශක්තිමත් වීමක් වගේම , වරින් වර සුළු වශයෙන් හරි සිදුවන රැධීරවහනයන් වැලකීම කියන කරුණූ දෙක සිදුවෙනවා ඒ හැර නැවත මෙම සවිවිම , සාමාන්‍ය අවස්ථාවේ මෙන් ගර්භාෂයේ ඉහළට ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. මෙතැන “යථා තත්ත්වයට පත්වුනා“ කියල පවසන්න ඇත්තෙ , ‘‘තිබුණූ අවදානම් අවස්ථාවෙන් මඟහැරුනු බව “ වෙන්න ඕන.
      කෙසේ වෙතත් ඔබේ තත්ත්වයත් එක්ක “ඇඳ විවේකය “ හුඟක් වැදගත් බව ඔබේ වෛද්‍යවරයා පවසන්නට ඇතැයි හිතනවා . ඒ වගේම අනෙක් උපදෙසුත් නිවැරදිව පිළිපදින්න . එයයි දැන් කළ යුතුම .
      එසේනම් විවේකය , පෝෂණය , හිත සතුට , ආදරය රඳවගෙන මේ සංක්‍රාන්ති සමය ගත කරන්න , සියළු දෙව්රැකවරණින් නිරෝගී දරු පැටියෙක්ගේ උණුසුම ලබන්නට හැකිවේවා යි පතන්නට “සොඳුරු සුව අසපුව“ කියවන හැමෝම සහෘද සෙනෙහසින් එක්වන බව විස්වාසයි .

      Delete
  9. මම ගොඩක් අසවෙන් ඔබතුමගෙ ලෙපි කියවනව. ඔබතුමට ගොඩක් පින්. නොඩන්න ඩෙවල් ගොඩක් ඩෙන ගතත.
    මගෙ ගතුලුවත් මෙතනටම ලියන්න හිතුව. මම 7months තිසෙ බබෙක් බලපොරොතුවෙන් ඉන්නව. මගෙ වයස 33i. GP කෙනෙක් බලල කිවී මගෙ Blood report and sperm test ok කියල. මම විඩෙස් රටක ඉන්නෙ. ඩන් අපි හමු වෙන්න ඔනෙ gynecology කෙනෙක් da.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)