2015/09/16

173) පෝර්න් , සෙක්ස් , ගල් සමඟින් මරණය සහ රමණයේ වින්දනය


මෙම මාගලක් වැනි දිග ලිපිය තුල කතා කරන්නට හදන කතාව සාරාංශයක් කළොත් මෙන්න මේ වගේ අනු මාතෘකා ටිකකට කඩන්න පුළුවන් ,
  • නූල්ඩ්ස් වීරයෝ 
  • පවුකාරයාට ගල් ගැසීමද ? 
  • පවුකාරයාට ගල් , අපරාධකාරයාට මල් 
  • මරණ දණ්ඩණය කෝකටත් තෛලයද ? 
  • අසාධ්‍ය නොවූ මාධ්‍යයක් 
  • ලිංගික කෘරත්වයට හේතු 
  • සෙක්ස් මැජික් 
  • පෝර්න් බිස්නස් එක 
  • ලිංගික සේවා නීතිගත කරනු ! 
  • ලිංගික ක්‍රීඩා භාන්ඩ ආනයනය කරනු!
                                                                    පරිස්සමින් කියවන්න . 
------------------------------------------------------------------------------



අද දවසේ ලංකාවේ ම්‍රද්‍රිතමාධ්‍ය , විද්‍යුත් මාධ්‍ය  , අන්තර්ජාල මාධ්‍ය ,මුහුණු පොතේ , සිංහල අකුරින් පිටු පුරවන “සමාජ මාධ්‍ය“ වලත්  “ප්‍රවෘත්ති ලෙස“ දකින්නට , අසන්නට ලැබෙන්නෙ ඇත්තටම “ප්‍රවෘත්ති“ දැයි සැකයක් ඇති වෙනවා. මට දැනෙන ආකාරයට නම් ඉන් බෙහොමයක් “කුණු රසයයන්“ විසුරුවමින්  “මාධ්‍යය“ කියන වචනය බලෙන් “ගණිකා සේවයේ“ යොදවනවා . පහුගිය වසර කිහිපය තුල මේ තත්වය ක්‍රමයෙන් වර්ධනය වන බව පෙනෙනවා . 

  • උදහරණයක් විදියට රිය අනතුරක් ගැන වාර්තා කරනවා නම්  අනතුරින් මිය ගිය අයගේ සිරුරු වල ,මස් වැදලි ටිකක් සහිත පිංතූරයක්වත් එක් කරන මොවුන් “ස්ත්‍රී දුෂණයක් “ වාර්තා කරන්නෙ “කෙළ හළන රස කෑමක්“ හද හැටි විස්තර කරන අයුරින් , ඊට අඩුවට දූෂණයට ලක්වූවන්ගේ පිංතූර , හැකි නම් නිරුවත් හෝ අඩුම තරමේ කකුළක් , පියයුරක් හෝ නිරාවරණය වුනු පිංතූරක් එකතු කරන්නේ “ඉල්ලුමට සැපයුම“ න්‍යායටදැයි විටෙක මට හිතෙනවා. මේ තත්ත්වය අතිශ්‍යයින්ම නින්දිත විදියට දකින්නට ලැබුණේ මේ දිනවල කාගෙත් කතාවට ලක්වුනු අර පුංචි කෙළි පොඩිත්තිගේ මරණයත් එක්ක. අදාල දූෂකයා එම අපරාධය රහසිගතව  කර ඇය මරා දැම්මත් , අපේ සමහර මාධ්‍ය දිනපතාම එම අපරාධය නැවත නැවතත් ප්‍රසිද්ධීයේ කරන තත්ත්වයක් පෙනෙන්නට ඇත්තෙ .

    නූල්ඩ්ස්  වීරයෝ 

    මේ අස්සේ , මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම , අපරාධකරුට ගල් ගසා මැරීම  , වගේ මාතෘකා අස්සේ විවිධ ක්ෂණික නූල්ඩ්ස් වැනි “වීරයන්“ මතුවන බවකතු පේනවා . ඔන්න ඔය සිදුවීම් “රැල්ල“ දිහා කිලෝමීටර දොලොස් දාහකට විතර එහා ඉඳගෙන බලාගෙන ඉන්න වෙලාවේ , යමක් ලියන්නට හිත කළබල කරන්නට පටන්ගත් නිසා පොඩි අච්චාරු ලිපියක් ලියන්නට.

    ඉස්සර වෙලාම අපි දැන් රට ඇතුලේ වෙන සිදුවීම් කතා බහ කරමු .

    රිය අනතුරක් උනොත් , අපි මෙහෙමෙ හිතමු , කෙනෙක් රියකට යට වෙලා ජීවිත අනතුරක් වෙනවා , අපේ හුඟ දෙනෙක්ගේ මුල්ම සොයා බැලීම අනතුරට පත්වුනු කෙනා ගැන සොයනවාට වඩා , අනතුර කළ හෝ අනතුරට හේතුවුනු රියදුරා ගැන . ඊළඟට කෙරෙන්නේ රියදුරා හරි සහායකට හරි අහුවුනෝතින් අතපය කඩල යනකම් පහරදීම . (ලොක්කෙක් නොවේ නම්) ඊළඟට බස් එකට නැත්නම් වාහනේට ගිනි තියාවි . 

    ඊළඟට ස්ත්‍රී දුෂණයකට ලක්වෙලා කෙනෙක්ගේ ජීවිතය නැති වෙනවා. පත්තරේ නැත්නම් මුහුණූපොතේ ඉන්න “රහස් පරික්ෂකයෝ“ මෙන්න මෙයා තමා මේ අපරාදෙ කලේ කියන මතය පතුරවනවා . ඊළඟට ... මහ පිරිසක් එකතු වෙලා ඒ ගෙදර ගිණි තියල , සමහර විට අදාල “ සැකකරු“ මරලත් දාන්න ඉඩ තියෙනවා . 

    පවුකාරයාට ගල් ගැසීමද ?

    මේ සිදුවීම් අපේ රටේ , ඉන්දියාවේ අහඹු දේවල් නොවෙයි , නමුත් රටක නීතිය තිබෙත්දි සිදුවන මෙවන් “නීතිය අතට  ගැනීම් “ නිසා සිදුවන්නේ ලාභයකට වඩා පාඩුවක් , උදහරණයක් අර බස් එක ගිණි තිබ්බම , බස් අයිතිකාරයට ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි ලැබේවි , අනතුරට අදාල “නීතිමය සාක්ෂී“ ලබා ගැනීමේ අවස්ථාව මග හැරේවි , දෙවැනි සිදුවීමෙදි ගමේ මිනිස්සු ටික එකතු වෙලා “සැකකාරයට“ ගහල මරල දැම්මොත් , ඒ මරණයට තවත් අයට වගකියන්න වේවි, ඒ වගේම අදාල පුද්ගලයා ඇත්තටම අපරාධකරු නම් ඔහු කළ වෙනත් අපරාධවල අගමුල සොයාගෙන , සිදුවූ තවත් අපරාධ වැලක් සොයා ගන්නට තිබු “මූලයක්“ , නීතියට නැතිව යාවි.

    දැන් මෙ කියවන කෙනෙක් කියාවි , ඔය කිව්වට “මිනිස්සුන්ට තරහ එනවනේ “ කියල , ඔව් , ඇත්ත මෙවන් අපරාධ දැක්කම , ඇහුවම ඒ පිළිබඳව සාධාරණ ආවේගශීලි බවක් ඇතිවෙනවා , නමුත් ඒ ආවේගය මඟින් නීතිය කරන්න යනවා නම් රටකට “සංවිධානිත නීති පද්ධතියක්“ කුමකටද ?  
    නමුත් දැන් මේ සාක්ෂීවලින් පෙන්වන්නෙ රටේ නීතිය පිළිබඳව රට වැසියන් තුල ඇති අවිශ්වාසය නම් ඊට විශ්වාසදායක පිළිතුරු ඉක්මණින් ලබා දීම රටේ නීති සම්පාදකයින්ගේ ප්‍රධාන වගකීමක් , නැතොත් තවත් වසර කිහිපයකදි අපේ රට ඉතා ප්‍රාථමික යැයි සැලකෙන (නමුත් ඉතා හොඳ නීති පද්ධති ඇති) ගෝත්‍රික රටාවකට හුරු වෙන්නට ඉඩක් නැත්දැයි සැකයක් ඇතිවෙනවා .


    පවුකාරයාට ගල් , අපරාධකාරයාට මල් 

    අපි මෙහෙම බලමු , මේ දවස් වල කාගෙත් කතා බහට ලක්වෙන “දියණියගේ“ මරණයට වගකිව යුතු යැයි කියල “සැකකරු “ අහුවුනොත් , ගල් ගසා මරන්නට , ඔහුගේ ගෙවල් ගිණීලන්නට පොරකරන අපේ මිනිස්සු , සියගණනක් ස්ත්‍රීන් දුෂණය කරල , ඒ වෙනුවෙන් උත්සව පවත්වපු “සැකකාරයන්“ට මල් මාලා දානවා. ඇත්ත මේ සිදුවීම හුඟක් සංවේදීයි , නමුත් අපෙ රටේ නීතිය නිසි අයුරින් , වේගවත්ව ක්‍රියාත්මක වෙනවා නම් මේ සියළු අපරාධකරුවන්ට “නීතියානුකූල දඬුවම්“ ලැබිය යුතුයි නේද? නමුත් සමහර අපරාධ , නිතියට අනුව ඔප්පු කරන්නට කළක් ගතවෙනවා , හේතුව ඊට අදාල විවිධාකාර වූ සාක්ෂී ගොන්නක් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටින දක්ෂ නීතිඥයින් ගේ තර්ක විතර්ක බිඳින්නට හැකියාකවත් තිබීම වගේ සාධක . මේ  අවිශ්වාසයන් , බිඳිම් සහ කවුරුත් රහසේ පිළිගන්නා , දන්නා සිදුවීම් අනුව , අපරාධකරුවන් නිදැල්ලේ සිටිත්දී අහිංසකයන් නීතියේ රැහැනට බිළීවුනු අවස්ථා නැතිව නොවෙයි , කවුරුන් කෙසේ කීවත් අද “නීතියේ දෙවඟනගේ තරාදිය “ කාසියෙන් අසමතුලිත කරන්නට හැකියාවක් ඇතිවුන් අපේ රටේ ඉන්න වග කවුරුත් දන්නා රහසක් . “xxxxx ලෝයර් මහත්තයා අල්ලල කතා කරන්න , ඔය ඔක්කෝම සැරෙන්ඩර්  , මොක කළත් සතියෙන් මිනිහ එළීයේ “  කළකට පෙර ගාලු කොටු පවුරෙන් වටවුනු තැනෙක වුනු කතාබහක් ඇහුනේ මට විතරක්ම නොවෙයි .

    මරණ දණ්ඩණය කෝකටත් තෛලයද ?



    මෙන්න මේ තත්ත්ව මත “ගල් ගසා මැරීම“ හෝ එල්ලා මැරීම  ක්‍රියාත්මක කළත් , අදාල දණ්ඩණයට ලක්වන්නා ඇත්තටම වැරදි කරු නොවේ නම් , අපෙ රටටත් වඩා ඉතා දියුණු අධීකරණ විද්‍යාත්මක සාධක සහිත දියුණූ රටවල පවා ඉතා සුක්ෂම අයුරින් ප්‍රධාන අපරාධකරුවන් නීතියේ රැහැණීන් ගැලවී ගිය අවස්ථා කියවන්නට ලැබෙනවා. ඇත්තටම අපේ රටේ නීතිය අද පවත්නා ආකාරයට සංශෝධනය විය යුතුමයි , දඩුවම් වල ස්වභාවය , දඩමුදල් වගේම නව තාක්ෂණය සමඟින් අළුත් නීති රීති සම්පාදනය වීමකුත් විය යුතුමයි .

    මෙම තත්ත්වයන් පසුපස තිබියදී මරණ දණ්ඩණය ක්‍රියාත්මක කළ පමණින්ම මෙවන් අපරාධ අඩුවේයැයි සිතීම ගැටළුවක්  . මෙයින් මා කියන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම කළ යුතු හෝ නොයුතු යැයි නොවූවත් , අදාල නීති රාමුව නවීකරණයකට සහ වඩාත් සාධාරණ වටපිටාවකට ගෙන ආයුතුය යන මතය නම් මා දරනවා.විශේෂයෙන්ම ස්ත්‍රී දුෂණයකට අදාල නිතිය ඉදිරියට යන කාත්තාවකට , මහ පිරිසක් ඉදිරියේ නැවත නැවත අදාල අපරාධය රඟ දක්වා පෙන්වමින් , මානසික විඳවීමකට ලක්කරවමින් කරන “නීතියට “ වඩා , ඇයගේ පුද්ගලිකත්ය සහ මානසික සමාජයීය ත්තත්වය තවත් බිඳනොහෙලන “පොලිසියක් සහ “ “නඩු අසන“ ක්‍රමයක් ඇති විය යුතුමයි . 

    ඊළඟ කාරණේ මාධ්‍ය , මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තමන්ගෙ පාඨකයා හෝ ශ්‍රාවකයා වෙත ලබා දෙන පණිවිඩයේ , ප්‍රවෘත්තිමය වටිනාකම සහ එහි නිතියානුකූල , සමාජයීය සහ මාධ්‍ය ආචාරධර්මානූකූල “තත්ත්වය“ පිළිබඳ අගැයීමක් කර එය ජනතාව වෙත මුදා හරිනවා නම් ඉතා අගනා බවයි මගේ හැඟීම , නමුත් අද මුදා හැරෙන පුවත් අඩුම තරමේ තවත් අයෙක් කියවා හෝ සකසා පළකරනවාදැයි සැකයක් . මක්නිසාද හුදෙක් ලිපිය ලියන්නාගේ ආවේගයන් , ආශාවන් සහ මතයන් පමණක් අමු අමුවේ පිටකරන ලිපි රටේ ප්‍රධාන මාධ්‍යයන් තුල දැන් නිතර පලවෙනබවක් දැනෙනවා. අන්තර්ජාලය දිශාවට හැරුනොත් එ් තත්ත්වය අසාධ්‍යයි , ප්‍රධාන මාධ්‍ය වල අන්තර්ජාල සංස්කරණයන් , සහ එයට අදාල මුහුණුපොත් පිටු පළකරන සමහර ලිපි , පිංතූර සහ මාතෘකාවන් හරියට “ලිඳ ළඟ සංගමයක“ කතාවටත් වඩා පහත් බව දකින්නට පුළුවන්. එමෙන්ම ,ඒ අස්සේ මුහුණූපොතේ විවිධාකාර නමින් “පිටු“ අටවා ගන්නා පුද්ගලයින් විවිධ අසත්‍ය , මිත්‍යාවන් සහ සාමාන්‍ය බුද්ධීයක් ඇත්තෙක් පළ නොකරන අදහස් බෙදා හරිත්දි , ඒවාට ලයික් දමමින් බෙදා හදා ගනිමින් , ඒවා සත්‍යයැයි පිළිගන්නට පෙළඹෙන පිරිස් සිටිනවා.  දේශපාලනික , සෞඛ්‍යයට අදාල , නීතිමය කරුණූ ආදිය පවා විචාරය කරමින් “තම අදහස් “ බෙදා හරින මෙවන් අන්තර්ජාලීය මාධ්‍යයන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ මැදිහත් වීම රටේ තාක්ෂණවේදීන් සහ අදාල ආයතන මැදහත්  විය යුතු වෙනවා . “මාධ්‍ය නිදහස් විය යුතු වුවත් , එයට යම් ආචාර ධර්ම පද්ධතියක්“ පැවතිය යුතුමය සම්මත සමාජයක් තුල. විශේෂයෙන්ම ස්ත්‍රී දුෂණයක් වැනි අවස්ථාවක එම අපරාධය කළ ආකාරය කෙළ හළමින් විස්තර කරන්නෙ ඇත්තෙන්ම සමාජය යහමඟට ගැනීමේ අරමුණෙන්ද නැත්නම් තමන් සහ මිනිසුන් තුල ඇති “ලිංගික කුතුහලය“ පිළිබඳ ප්‍රාථමික ආශාව ඔස්සේ තව මාධ්‍යය ජනප්‍රිය කරගැනීමට දැයි මට සිතේ . ඊටම අදාලව ස්ත්‍රි දුෂණයට ලක්වූ ඇය (මිය නොගියා නම්) පිළිබඳ නම් ගම් පාසල් , රැකියා කරන ස්ථාන පවා සඳහන් කරමින් අපරාධයකට ලක්වූ ඇයට සමාජය තුල තවත් නොමැකෙන “කැළලක්“ ඇති කරමින් තම සිත් සංතර්පණය කරන්නවුන් බොහොමයි. එලෙසින්ම , යම් අපරාධයක නියම අපරාධකරු හඳුනාගන්නා තෙක් “ සැකකරුවන්“ වූ අය , අපරාධකරුවන් ලෙස හඟවමින් සමාජය තුල කැළඹීමක් ඇති කරන්නටත් ඔවුන් අද සමත් .නමුත් , නිතියට අනුව නම් මෙවන් අවස්ථාවක ඡායාරූපයක් මාධ්‍යයක පළකිරීමට , තම “නම් , ගම් “ පළ කිරීමට අදාල පුද්ගලයන් ගෙන් හෝ නිත්‍යානූකූල වගකීම ඇත්තෙකුගෙන් අවසරය ගත යුතු වනවා. මක් නිසාද එම නිරවරණය වූ දේහය , නම අදාල පුද්ගලයාගේ හිමිකමක් වන බැවිනි.

    ලිංගික කෘරත්වයට හේතු 

    ඊළඟ කොටස , ස්ත්‍රී දුෂණ , අපරාධ අද මෙන්ම එදා සිදුවුවත් , අද සිදුවන අපරාධ වල කෘරත්වය , විශේෂයෙන්ම ස්ත්‍රී දුෂණවල කෘරත්වම ඉතා අධම ලෙස වර්ධනය වෙමින් පවතිනවා . මේ ලිංගික කෘරත්වය මුලික වූ අපරාධ වලට ප්‍රධානම හේතු ලෙස , 

    • මත් ද්‍රව්‍ය 
    • අඩු දැනුම ,
    • ලිංගික කුතුහලය පිළිබඳව අඩු වයසින් ඇති කරවන විකෘති “ෆැන්ටසි“න්
    • ලිංගික අධ්‍යාපනයේ හිඟකම 
    • සමාජ සහ ආර්ථික මට්ටමේ බිඳ වැටීම් ප්‍රධානව හේතුවෙනවා . 
    මේවාට අමතරව , විවාපත් වීමේ වයස ක්‍රමයෙන් ඉහළයාම , මානසික බිඳ වැටීම් , සහ දේශපාලනික හෝ ආර්ථීකමය බලය අනිසි ලෙස භාවිත කිරීම නිසාත් මෙම අපරාධ රැල්ලක්  මතුවන්නට හේතු වෙනවා . 

    සෙක්ස් මැජික් 

     මේ තත්ත්වය යටතේ ලිංගිකත්වය සහ ප්‍රජනනය පිළිබඳව “අතගාන දැනුමක් “ නොව සම්පුර්ණ දැනුමක් ලබා දෙමින් “සෙක්ස් මැජික්“ එකක් නොව තවත් එක් ජීව ක්‍රියාවක් බව වටහා ගන්නට උපකාර කිරීම රටේ අධ්‍යාපන බලධාරින්ගේ වගකීමක් , ඒ වගේම තමන්ගේ දුව පුතාට අදාල දැනුම යම් තරමිකින් හෝ ලබා දීමත් , විශේයෙන්ම මෙවන් අපරාධකරුවන්ගෙන් ආරක්ෂා වෙමින් තම ආරක්ෂාව ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමත් හැම දෙමාපියෙක්ගෙම වගකීම.  ඒ වගේම , තව සිසුන්ට දැනුම ලබා දීමත් , ඔවුනගේ පසුබිම සහ ඔවුන් ලබා දෙන අදහස් හෝ සංඥාවන් අනුව තම සිසුවා , සිසුවිය යම් අවාසනාවන්ත තත්ත්වයකට පත්වී මේ අවදානම්ක ඇතිනම් ඊට නිසි අයුරින් කටයුතු කිරීම පාසලේ ගුරුභවතුන්ගේ වගකීමක් . නමුත් මෙම වගකීම් දෙකම අද නිසි ලෙස ඉටු වනවා දැයි ඔබම සිතා බලන්න.


    පෝර්න් බිස්නස් එක 


    “ලිංගික ෆැන්ටසිය“ ඇති කිරීමේ මූලික වගකීම අන්තර්ජාල සහ ජංගම දුරකථන ඔස්සෙ මතුවන “Porn වීඩියෝ“ කර්මාන්තය භාර ගත යුතුමයි . ලිංගිකත්වය සහ කුතුහලය සාමාන්‍ය දෙයක් වුවත් Porn
      වීඩියෝ ඔස්සේ ඔබ්බන ෆැන්ටසිය , ඉක්මණින් සහ කෙසේ හෝ ලබා ගැනීමේ “කළබලකාරී“ බවම මෙම අපරාධවල “මුලක්“ වන බව මගේ හැඟීම . එයට පිළියම අදාල වීඩියෝ ලබා ගැනීම අවහිර කිරීමක් ලෙස සිතුවොත් එය වැරදියි , කළ යුතු වන්නෙ එම ෆැන්ටසීන් , “ෆැන්ටසීන්“ මිස යථාර්ථය නොවන බව තරුණ සහ දරු පරපුර වෙත හඳුන්වා දීමයි . එමෙන්ම පෝර්න් වීඩියෝ වෙලඳපල යනු , තවත් ලොව අංක එකේ බිස්නස් එකක් මිස වෙනකක් නොවන බව වටහා දීමත්.

    ලිංගික සේවා නීතිගත කරනු ! 

    මේ ඔස්සෙම ලිංගික ක්‍රීඩා භාණ්ඩ සහ නීතිගත කළ ලිංගික/ ගණිකා සේවාව පිළිබඳවද සිතා බැලීමට මෙය කාළය යැයි සිතේ . මක් නිසාද , ඉහත කී ෆැන්ටසියෙන් මත්ව  තම හැඟීම් සංවරව පාළනය කරගන්නට නොහැක්ක වුනට කීයක් හෝ ගෙවා කාටවත් වද හිංසාවක් නැතිව “තම අවශ්‍යතාව“ ඉටු කරගැනීමට අවස්ථාවක් ලබා දීම අපරාධයක් ලෙස මම නොදකිමි. අද හොර රහසේ සිදුවන ගණිකා ව්‍යාපාරය මෙන්ම නම් වෙනස් කර සිදු කරන “ලිංගික සේවා සැපයීම“ වලට රජය මැදිහත් වී නිසි නිතිමය රාමුවක් සකසා , අදාල සේවා සපයන්නන් නිසි වෛද්‍ය පරික්ෂණ සහ නීතිමය බැඳිම් ලබා දී එයත් තවත් සේවා සැපයීමක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් මේ සිදුවන කෘර අපරාධ රැල්ලට යම් බලපෑමක් වනු ඇතැයි මගේ විශ්වාසයයි.  දැන් අපේ රටේ සිටින ආගම කරේ තබා ගත්තවුන් කළබල වේවි, කළබල වෙන්න එපා මීට අවුරුදු දහස් ගණනකට ඉස්සරත් හොඳ සංස්කෘතින් තිබුණූ රට වල “රට පිළීගත් ගණිකාවන්“ සිටි බව කියැවෙනවා . ඒ වගේම මෙහෙම ප්‍රසිද්ධියෙ කතා නොකලත් අදත් ඔබේ ගමේ නිතියට විරුද්ධව තමන්ගේ “ඇඟ විකුණල“ ජීවත් වන අය ඇත්තෙම නැත්දැයි බලන්න. නමුත් එයට නිතිමය රාමුවක් සහ බැඳීම් මාලාවක් ලබා දෙනවා නම් ඉතා ආරක්ෂිතව “තමන්ගේ පාලනය කර නොගත හැකි ලිංගික ෆැන්ටසීන්“ යථාර්ථය නොවන බව තේරුම් ගන්නට අවස්ථාවක් ලබා දෙන්නට පුළුවන්.

    ලිංගික ක්‍රීඩා භාන්ඩ ආනයනය කරනු!

    මේ එක්කම ලිංගික ක්‍රීඩා භාන්ඩ පිළිබඳව කිව යුතුමයි , පහුගිය දිනෙක පුවත් පතක දකින්නට ලැබුණූ විදියට අපේ රටේ ගුවන් තොටේදී එවන් “සාපරාධී භාණ්ඩ“ සොයාගෙන නීතිය හමුවට පමුණුවා තිබුණා , නමුත් එම භාන්ඪ පරිහරණය මත් ද්‍රව්‍ය පරිහරණයට වඩා ආරක්ෂාකාරීයී. ( නමුත් අපේ රටට ම්ත ද්‍රව්‍ය නම් එන්නෙ කන්ටේනර් පුරවලනේ )  . මක් නිසාද බොහෝ පිළිගත් ලිංගික උපකරණ Sex toys නිශ්පාදකයාගේ උපදෙස් අනුව භාවිත කරනවා නම් කිසිදු ආපදාවක් නැති තරම් , එමෙන්ම තවත් කිසිවකුට හානියක් නොකර තම අවශ්‍යතා ඉටු කරගන්නටත් ඉන් ඉඩ සැලසෙනවා. Adult shops ලෙසින් හැදින්වෙන මෙවන් කඩයකින් තමන්ගේ අවශ්‍යතාවයට අදාල උපකරණය මිලට ගන්න එක අද හුඟක් රටවල සාමාන්‍ය දෙයක්. නමුත් අපේ රටට තවමත් එය මැජික්. 

    අවසානයේ මෙවන් කෘර ලිංගික අපරාධ අඩු කරවන්නට නම් කළ යුත්තෙ “ ලිංගික කුතුහලය“ පිළිබඳව තිබෙන “ මැජික් “ සංකල්පය බිඳ එහි ඇති නිවැරදි තත්ත්වය හඳුනාගන්නට සාධාරණ අවස්ථාවක් ලබා දීමයි. 

    මුලින් සඳහන් කළ ලෙසම , මෙය සම්පුර්ණ ලිපියක් නොවේ , මෙය සැලඩ් එකකි, වාක්‍ය ගැලපීම් , ව්‍යාකරණ මෙන්ම ලිපියේ ගලායාමේ රටාවද අසංවිධාන්තමකය  , අයෙකුට මෙය රසවත් වන්නටත් , තවෙකෙකුට නීරස වන්නටත් පුළුවන . නමුත් සිදුවන සිද්ධි දාමය වෙත නෙත යොමා සිටිත්දී , සහ එම ගැටළු දෙස විවෘතව (මට දැනෙන ලෙස) බලත්දි මට හැගෙන අදහස් ගොන්නක් විනා වෙනකක් නොවේ .










    දැන් අහයි මාතෘකාව ( පෙර යෙදූ මාතෘකාව -අච්චාරුවක් සමඟින් “Land of Rape and Honey“ හරිම දරුණූයි නේද කියල , කළබලවෙන්න එපා , Land of Rape and Honey කියන්නේ කැනඩාවේ එක්තරා ගමක (Tisdale තිබෙන උද්යෝග පාඨයක් (Slogan ) එහි අදහස එම ගමේ ස්ත්‍රි දුෂණ වැඩියි කියන එක නොවෙයි (සංඛ්‍යා ලේඛණ අනුව ස්ත්‍රි දුෂණ මට්ටමින් කැනඩාව  ඉන්නෙ අමෙරිකාව , ලංකාව වගේ රටවලට වඩා හුඟක් පහළින්)  , එහි රේප් සීඩ් කියන පළතුර සහ පැණි නිශ්පාදනය බහුලව සහ ප්‍රධානව සිදුවනබව පමණයි .

    කෙටියෙන් කිව්වොත් 

    සාරාංශය , මෙවන් අපරාධ අඩු කරන්නට කතා කළ මෙම කරුණූ යම් තරමක හෝ දායකවනු ඇතැයි මම සිතමි.

    1. රටේ නීතිය පිළිබඳ  ජනතාව තුල මතුව තිබෙන සැක සංකාවන් මැකී යන සහ පිළිගත හැකි සාධරණ තීන්දු තීරණ ලැබෙන , අපරාධකරුට තමන්ගේ ගැලවීමට මෙන්ම අපරාධයට ලක්වූවාටද  ලංව තමන්ට සිදුවූ අසාධාරණය පැවසිය හැකි වටපිටාවක් සැකසීම
    2. සියළු මාධ්‍ය පිළිබඳව නිසි අගැයීමක් සහපිළිගත හැකි  ආචාරධර්ම පද්ධතියක හඳුන්වා දීම සහ එය අනුගමනය නොකරන්නවුන්ට අදාලව නිතිය ක්‍රියාත්මක කිරීම
    3. ජනතාව වෙත , “ලිංගික ෆැන්ටසිය“ පිළිබඳ නිසා වැටහීමක් සහ ලිංගිකත්වය ප්‍රජනනය පිළිබඳ  නිසි දැනුමක් ලබා දීම 
    4. දරුවන් සහ යොවුන් පිරිස වෙත නිසි ලිංගික දැනුම සහ මෙවන් අපරාධ වලින් ආරක්ෂාවීම පිළිබඳ දැනුමක් ලබා දීම,
    5. පාළනය කළ නොහැකි “ලිංගික තෘප්තිය“ හෝ “ෆැන්ටසිය“ පිළිබඳ විඳින්නට (හෝ විඳවන්නට) අනීතියට නොව නීතියට අනුකූල අවස්ථාවක් ලබා දීම 
    6. පොදුවේ “ලිං මැඩි මානසිකත්වයෙන් “ මිදී විවෘතව සිතන්නට , තම හැඟීම් ගලපා ගන්නට අවශ්‍ය කායික , මානසික සහ අධ්‍යාත්මික පෙළඹවීම ලබා දීම 
    දැන් මේ ලිපිය කියවූ ඔබ නිකමට හරි පහත තිබෙන ලිපි කියවා , ඔබ ඔබේ දරුවා දැනුවත් කර තිබේ දැයි බලන්න , නැත්නම් එම වගකීම අදම ඉටු කරන්න , මක් නිසාද මේ කෘරත්වයෙ ඊළඟ ගොදුර කවුරුන්දැයි කාට කිව හැකිද ? 



සම්පූර්ණ ලිපියට මෙතැනින් යන්න

http://www.nursinglk.com/2015/09/173-land-of-rape-and-honey.html

8 comments:

  1. ගොඩක් සමබර ලිපියක්, මේ ටිකේම කියෝලා දැකලා හරිම මහන්සි.. මෙහෙ නම් කිසිම අපරාදයක් හෝ සාමාන්‍ය පුවතක් හෝ tv එකේ පෙන්නද්දී ඒ අදාළ පුද්ගලයන්ගේ මුහුණ අපැහැදිලි කරනවා, ඒක අනිවාර්යයි,, ඒ වගේම කටහඩ වෙනස් කරනවා,, මේ විදියට මුළු ලෝකයක් ඉස්සරහා අපහසුතාවට පත්වෙන්නේ නැහැ මිනීමරුවෙක් උනත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබේ අදහසක් හුඟක් වටිනවා

      Delete
  2. ඔයාගෙ බ්ලොග් එක මිස් වෙලා මට කාලෙකින් අද තමා දැක්කේ,,මග .අරුනු පෝස්ට් කියවලා ආවේ එක දිගට,,,,
    අපේ මිනිස්සු ඉදන්ම හදන්න වෙනවා අයියේ,,ඒක ගොඩක් අමාරු වැඩක්,,මිනිස්සු උනත් වෙනස් වෙන්න කැමති නෑ,,කොටදෙනියාවේ වගේ කේස් එකක් උනු ගමන් සෝඩා බෝතලේ වගේ කෑ ගහලා මරන දඩුවම ගේමු කියනවා,,ඒක තමා කියන එකම පිලියම,,ඒ උනාට ඒක නෙමේ නේ විය යුත්තේ,,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , නැවතත් පැමිණීම පිළිබඳව , විය යුතු නිවැරදි දේ තේරුම් ගන්නට ටිකක් කළබල නැතිව කල්පනා කරන්නට වෙනවා ,

      Delete
  3. සරලවම කියන්න පුළුවං Maxza...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , හැබැයි ඔබේ ලිපියත් හුඟක් රසවත්.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)