2016/10/06

205) නොවිසඳෙන , විෂ දෙන “සැප ගුලි“


වස්සානය ඇරඹුනා විතරයි 
ගිම්හානය නිමා වෙලා ටික දවසයි ගියේ , තවම ගස් කොළ පාට වෙනස් කරමින් වස්සානයේ අසිරි විඳින්නට ගත්තා විතරයි , කිසිවෙක් නොහිතූ මොහොතක මුළු පළාතම වසා ගෙන හිම වරුසාවක් වැටිලා , කොහොම වුනත් , මේ අනපේකෂීත වෙනස සමහර අයෙකුට සතුටක්, ඒ සතුටු වන අය අතරේ  අපේ ගෙදරත් දෙන්නක්ම ඉන්නවා. මේ විදියට අනපේකෂිත මොහොතක සිදුවන සමහර සිදුවීම් කෙනෙකුට සතුටක් ගෙනාවත් , කෙනෙක් ලොකු කනස්සල්ලකට පත් කරන්න පුළුවන්, හරියට මේ පළාත්වල ඉන්න ගොවියන් වගේ. මාස ගණනක් පෙරුම්පුරල මහන්සිවෙලා පලදාව නෙලාගන්න මොහොතක් තියල වැටුන මේ හිම කුණාටුව නිසා බොහෝ ගොවියන් ඉන්නේ කණගාටුවෙන්.


හිම කුණාටුවක් ඇවිදින් 
කෙසේ වෙතත් දැන් මේ කතා කරන්න යන්නේ කෘෂි කර්මාන්තය ගැන නොවෙයි . තවත් අනපේකෂීත අවාසනාවන්ත සිදුවීමක් සහ ඒ අවදානම මගහරවා ගන්න පුළුවන්ද කියන එක ගැන.

“ඔව් එයාත් එක්ක අපි ගියේ බර්ත් ඩේ පාර්ට් එකකට ,එතනදි මට බොන්න දුන්න බීම එකක් , මට ඊට පස්සෙ කිසිම දෙයක් මතක නැහැ ..........“ 

“රවටා ගෙන ගොස් .........රෝගීන්ට දෙන පෙති වර්ගයක් දී , සිහි නැතිකර ......“

“පාසල් අවට විෂ මත් පෙති විකිණෙනවා ......“

මේ ලියැවුනේ , පහුගිය මාස කිහිපය තුල අන්තර්ජාලයේ තිබෙන සිංහල පුවත් පත් කියවත්දි දකින්නට ලැබුණූ  ලංකාවේ සිදුවූ සිදුවීම් කිහිපයක් විස්තර කර තිබූ අයුරු.

අපි පුංචි කාළේ , නාහෙට ලේන්සුවක් අල්ලල , සිහි නැති කරල කුලදගෙන යන “බිල්ලන්“ හිටියට අද දවස වෙත්දි ඔය කටයුත්ත හුඟක් සරළ , පහසු වෙලා තිබෙනවා . අන්න ඒ නිසා , ඔබේ දුවා දරුවන් දැනුවත් කර තැබිය යුතු , තවත් එක් කරුණක් ගැන තමයි මේ ලියන්නට හදන්නේ . ඒ තමයි Date Rape Drugs නැත්නම් Party Drugs. 


එකතු කරන “රස“
ඔක්කොටම ඉස්සර වෙලා මේ Date Rape කියන්නේ මොකක්ද බලමු , සරළවම කිව්වොත් , කෙනෙක් දන්නා අයෙක් මඟින් ලිංගික දුෂණයකට ලක්වීම (මේ ගැන වැඩිදුර කියවන්නට අවශ්‍ය නම් 87 වන ලිපියට මෙතැනින් යන්න http://www.nursinglk.com/2012/03/87.html) . (ස්ත්‍රී හෝ පුරුෂ) . මෙන්න මේ හිතවන්තයන් ( යැයි සිතා සිටි) පුද්ගලයන් අතින් අතවරයට , දූෂණයට ලක්වීමේ සිදුවීම පසුබිම , බොහෝ වෙලාවට යම් කිසි රසායනික ද්‍රව්‍යයක් , තිබෙනවා. දුෂකයා  විසින් , අදාල රසායනිකය මොනයම් හෝ ක්‍රමයකින් අතවරයට ලක්වන්නාගේ දේහ ගත කරල , ඉන් පසු ඇතිවන මානසික විපර්යායන් තුල , තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්නවා. එය “දුෂණයක් , සොරකමක් , පීඩා කිරීමක් හෝ පසුකාළීන අරමුණක් වෙනුවෙන් අවශ්‍ය යමක් කරගන්නවා වෙන්නටත් පුළුවන් , නිරුවත් ඡායාරූප ලබා ගැනීම , විවිධ දේ සඳහා අත්සන් ලබා ගැනීම මේ අතරේ සමහරක්.  

කෙසේ හෝ වේවා , මේ විදියට මනස විපරීත කරන දේ අතරේ අපි බහුලවම දන්නා දේ , මත්පැන් , බියර් , විස්කි , හෝ ගල් , පොල් වුවත් මේ හැම දේකම , මානසික ක්‍රියාකාරීත්වය වෙනස් කරන , තීරණ ගැනීමේ හැකියාව වෙනස්කරන බලපෑමක් තිබෙනවා. නමුත් අද දවසේ සිදුවන බොහොමයක් Date Rape හෝ ආශ්‍රිත අපරාධ වලට මීට වඩාවෙනත් මත් ද්‍රව්‍ය භාවිත කෙරෙනවා.  මත්පැන් සහ වෙනත් මත්දුව්‍ය පිළිබඳ සමාජය තුල යම් දැනුමක් ඇති නිසා , එවන් දේ ඔස්සෙ මෙවන් අපරාධ සිදුකිරීම තරමක අපහසුවෙන්න ඇති .  උදාහරණයක් මේ සාම්ප්‍රදායික මත්පැන් වලින් මත්කරල , කෙනෙක්ට අපරාධයක් කරන්න සෑහෙන කාළයක් වගේම අවදානමකුත් ගන්න ඕන. නමුත් , යාළුවෙක් දෙන , බිස්කට්  එකක් , නැත්නම් පැණි බීම  එකක් , නැත්නම් ටොෆියක් එහෙමත් නැත්නම් , පුංචි ලස්සන ටැටූ ස්ටිකර් එකකින් මේ අපරාධය ආරම්භ කරන්නට පුළුවන් බව දන්නවාද ? මේ නිසාමයි Party Drugs විදියට හඳුන්වන , මෙම මත්ද්‍රව්‍ය ගැන , එහි අවදානම ගැන සහ ඒවා ශරීරගත වීම වැලැක්වීමට කළ හැකි දේ ගැන දරුවන් , විශේෂයෙන්ම යොවුන් වියේ දරුවන් දැනුවත් කළ යුුතු වන්නේ.


මේ ලිපිය තුල මේ මත්දුව්‍ය මොනවාදැයි , නාමිකව සඳහන් කරන්නෙ නැහැ කිසිම විට , කෙසේ වෙතත් අදාල මත්දුව්‍ය බොහොමයක් මේ වන විට අපේ “සිරි ලංකාවේ “ විවිධ ප්‍රෙද්ශ වල ගැවසෙන බව නම් විශ්වාසයි. 

මොනවද මේ ගැන දැන ගත යුතු , 

  • සාම්ප්‍රදායික මත්පැන් , මත්ද්‍රව්‍ය වගේ , අමිහිරි , නැත්නම් ප්‍රබල රස වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා යාළුව දෙන බීම වීදුරුවට එක් කළා කියල කිසිම “ලොකු වෙනසක් “ දැනෙන එකක් නැහැ , යම් අවස්ථාවක දැනුනත් එය “ලුණූ රසක්“ විතරමයි .
  • පරණ විදියට බීම වීදුරුවට දාල බොන්න දෙන්නම ඕන නැහැ , බිස්කට් දෙකක් අතර ඇති පේස්ට් එකට එකතු කරල කිසිම  වෙනසක් නැතිව ලබා දෙන්නට පුළුවන්
  • අනෙක් විෂ මත් ද්‍රව්‍ය විදියට , දුම මඟින්න උරවන්නවත් , කටු ගහල ඇඟට ඇතුළු කරන්නනෙත් නැතිව , හමේ අලවන පුංචි ස්ටිකර් එකක් මඟින් , සුළු මොහොතකදි සිහිය නැති කරවන තරමේ මත්ද්‍රව්‍ය ඇතුළු කරවන්නට පුළුවන්
  • වැදගත්ම දේ , මේවා “මත්ද්‍රව්‍ය ලෙස“ නොව , පාඩම් මතක තබා ගැනීමට උපකාර වන ටොෆි , නින්ද යාම අඩු කරවා , විභගයට සූදානම් වෙන්න පහසුකරන , බිස්කට් හෝ ගුළි විදියට පාසල් දරුව ළඟට එන්න පුළුවන්. 
මේ අවදානමෙන් දරුවා රැකගන්න නම් , දැනුවත් කළයුත්තේ මොනවාද ? 
පිංතූරය ගත්තේ c-coda.org

  • මුලින්ම , මේ පෙරකී කරුණූ සියල්ල ගැනම 
  • දන්නා  මත්පැන් හෝ මත්ද්‍රව්‍ය යැයි සැකකළ හැකි දේ භාවිත කිරීමෙන් වැළකෙන්නට උපදෙස් දෙන්න ,( ඉන් විය හැකිදේ පිළිඳව අද දවසට ගැලපෙන ලෙස කියා දෙන්න)
  • මිතුරන් සමඟ විනෝද වන්නට යනවා නම් , කණ්ඩායමෙන් වෙන් නොවී , අයෙක් සමඟ තනි නොවී කණ්ඩායම සමඟ රැඳීමේ වැදගත් කම පහදා දෙන්න ,
  • යම් සැක සහිත යමක් කෑමට . බීමක් (රසයේ , පෙනුමේ වෙනසක් ඇති)  , විශේෂයෙන්ම ඔබට පමණක් සුවිශේෂිව  දෙනවා නම් එය උපක්‍රමශීලිව ප්‍රතික්ෂෙප කරන්නෙ කෙසේ දැයි කියා දෙන්න.
  • යම් පානයක් ගන්නේ නම් , ඔබය එය විවෘත කරන්න , හොඳින් ආලෝකය ඇති තැනකදි එය පානය ආරම්භ කරන්න
  • වෙළඳපෙලන් ගත්  බීම බෝතලය  හෝ ආපනශාලවෙන් ගත් බීම වීදුරුව ඔබ පානය කරන්නේ නම් , කිසි  විටෙක එය “තනි නොකරන්න“ , එලෙස තනිකෙරෙන මොහොතක් , අපරාධකරුවෙක්ම උපකාර විය හැකි බව වටහා දෙන්න.
  • හැඩරුව වැඩි කිරිමට යැයි කියමින් යම් ස්ටිකරයක් හෝ ටැටූමය ස්ටිකර් වැනි දෑ තමන්ගේ සමේ අළවන්නට යොමු වේ නම් එයට එකඟ නොවන්නට මග පෙන්වන්න.
  • මේ කිසිදු මත්ද්‍රව්‍යයක් මිතුරන් අතරට එන්නේ , මත්ද්‍රව්‍යයක නමකින් නොවන බව කියා දෙන්න  , එය “කිට් කැට් , පවුඩර් , සුපර් ස්ටිකර් , ෆන් ටී “ වැනි විවිධ අනුවර්ත , සැක කළ නොහැකි නම් වලින් එන බව වටහා දෙන්න.
  • තම මිතුරු කණ්ඩායම මෙවන් දේ භාවිත කරන බව දැන ගන්නට ලැබුනේ නම් ,හෝ තමා ගත් පානයෙන් , කෑමෙන් පසුව , මත්වූ ස්වභාවයක් දැනේනම්  මිත්‍රශීලීව , සහ ආරක්ෂිතව ඉන් ඉවත්ව නිවසවෙත හෝ ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්නට , දෙමාපියන්ට ඇමතුමක් දෙන්නට , දැනුවත් කරන්න.
  • මේ මත්ද්‍රව්‍ය මගින් තමාගේ තීරණ ගැනීමේ හැකියාව අඩුවන බව , වෙන අයෙකුගේ ගොදුරක් වීමේ හැකියාව , සහ විශේෂයෙන්ම එවන් අපරාධයකට පසුව , සිදුවූ සිදු වීම පවා අමතකව අපරාධයට එරෙහි වීමට ඇති හැකියාව පවා නැතිව , පසුතැවිලිවන්නට හෝ විෂවීම නිසා මරණයට පත්වීමට පවා ඉඩ ඇති බව වටහා දෙන්න.
  • මේ සිදුවීම් ඔස්සේ තමාට යම් අපරාධයක් , හානියක් සිදුවූවේ නම් එහිදී ක්‍රියාත්මක විය යුතු නිවැරදි ආකාරය තේරුම් කර දෙන්න.

මේ කියවන අපේ දෙමාපියන් අතරින් කෙනෙක් මෙහෙම කියාවි , 
“අපේ ළමයි ඕව කරන්නෙ නැහැ “
“අපේ කොල්ල අහිංසකය“
“මේ ගම් වල ඕන වෙන්නෙ නැහැ“ 
“ඔය කියන තරම් දේවල් වෙනවද“ 

තවත් දේ කියන්න නම් පුළුවන් , ඒත් අද දවසේ සිදුවන දේ  ගැන විමසිල්ලෙන් ඉන්න එක වටිනවා නේද ?

එසේ නම් , හෙට දවසේ තවත් හිම කුණාටුවක් අපේක්ෂාවෙන් , ඔබෙන් සමුගන්නවා , ඉඩක් ලද විටෙක ආයෙත් යමක් එක් කරන්නම් , මේ එකතු කරන අකුරු ටිකෙන් යමෙක් සුළු හෝ ප්‍රයෝජනයක් ගනී නම් සතුට එයයි.

හමුවෙමු නැවතත් , ! 

20 comments:

  1. ඉතා වැදගත් කාලීන අනතුරු ඇඟවීමක්. අපි ජීවත්වන්නේ කොපමණ භයානක දුෂ්ඨ ලෝකයකදයන්න මෙයින් පැහැදිලි වෙනවා. මේ ලිපිය පුවත්පත් වලට යොමු කරනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහත්මයා , සතුටක් ඔබේ අදහස් දැක්වීම.

      Delete
  2. අර අන්තිමට කියපු ටිකනම් බොහෝ දෙමාපියන් දැඩිව කරන වරදක්..තමන්ගෙ දරුවව ඕනාවට වඩා විශ්වාස කරනවා...
    වටිනා ලිපියක්..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඇත්ත , ඒ නිසාම තමන්ගේ දරුවට ‘‘මුලින්ම වරදින තැන“ හදා ගන්න දෙමාපියන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නැති තරම් , අවාසනාවන්ත සිදුවීමකින් පස්සෙ පසුතැවීමට පෙර දැනුවත්වීම වටිනවා .
      ස්තුතියි මිතුර !

      Delete
  3. ඉතාම වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අගයුමට

      Delete
  4. ගොඩක් නරක ලමයි ගෙවල් වලදි ‍‍හොද ලමයි..ගෙදරදි එයාල හැසිරෙන්නේ ඉතාම හොද අය විදියට.නමුත් යාලුවො අතරදි එයාලගේ නියම ගති ගුන පේන්නම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට මේ තත්ත්වය තමයි දකින්න ලැබෙන්නේ , දැනුවත්ව සිටීම කාටත් වටිනවානේ.
      ස්තුතියි මිතුර

      Delete
  5. Date Rape කරලියට ආවේ ටයිසන් නිසා

    ReplyDelete
  6. Replies
    1. ඔබට ස්තුතියි මිතුර

      Delete
  7. දැන් ගොඩ දෙනෙක් ගම්වලින් කොළඹ පැතිවලට රස්සාවලට එන නිසා ගම්වලත් මේ තත්වය නැ‍තිවෙතැයි සිතන්න බෑ. ඒ නිසා පරෙස්සමෙන් සිටීම කෝකටත් හොඳයි. ඉතා වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න , ඔබ දක්වන අදහස නිවැරදියි , ඒ නිසාම දැනුවත්ව සිටීම නම් වටී.

      Delete
  8. දවසින් දවස අපි ඉන්න සමාජය හරිම භයානක තැනක් වෙනවා.. මෙහෙම වෙද්දි දරුවෙක් කොහොමද නිදහසේ හැදෙන්නේ..වැදගත් කරුණු ටිකක් මහේෂ්..කොයි තරන් දැනුවත් කලත් මේ රැවටීම කරන්නන් හරි සුක්ෂමයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාව හරි , “රැවටීම කරන්නන් හරි සුක්ෂමයි“ , ඒත් අපේ පැත්තෙන් දැනුවත් කිරීමවත් කළ යුතුයිනේ .
      ස්තුතියි ඔබට

      Delete
  9. නොදන්නා යමක් දැනගතිමි. අකුරු කළාට බෙහෙවින් තුති. ගොඩක් දෙමාපියන්ට වැදගත් වේවි. දරුවන්ගේ අවධානය යොමුවේවා. තව ලියන්න ශක්තිය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේට බොහාමත් පිං , අදහස් දැක්වූවාට

      Delete
  10. මේ ලිපි වගේ ඒවා පත්‍රිකා වගේ හදල පාසැල් අසල බෙදන්න තියනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එවන් ක්‍රමයකින්වත් දරුවන් / දෙමාපියන් දැනුවත් කරන්නට පුළුවන් නම් ලොකු දෙයක් ,
      ස්තුතියි මිතුර

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)