2016/10/15

206) හැම මාසෙම අතගාන්ට කොල්ලන්ගේ කඩල ඇටේ

ස්වයං පියයුරු පරික්ෂාව කුමක්දැයි ඇහුවොත් , බොහෝ දෙනෙක් ඊට පිළීතුරු දේවි. මට මේ ප්‍රශ්නයෙන් අද ලිපිය පටන් ගන්නට හිතුනේ , මුහුණූපොතේ තිබෙන , සෞඛ්‍ය ගැටළු වලට වලට පිළීතුරු දෙන එක්තරා පිටුවක “ස්වයං පියයුරු පරික්ෂාව“ පිළිබඳ ඇසූ පැනයක් සහ ඊට ලබා දී තිබූ පිළිතුරු  ගැන මතකයට නැගුණූ නිසාවෙන්.කොන්දේ කැක්කුමේ සිට පවුල් උපදේශනය මෙන්ම , නිදි පෙත්තේ සිට , පොස්ටිනෝ පෙත්ත දක්වා ප්‍රශ්න සහ පිළිතුරු(වැරදි තොරතුරු)  තිබුණූ මේ පිටුව තුලින් ඇති වන  අවදානම පිළිබඳව මා කතා නොකරත් , එහි අවදානමක් ඇති බව කිව යුතුමය.
හරි තැනට නොගියොත් ජීවිතේ  “වරදී“

( පිළිතුරු ලබා දී තිබූ පුද්ගලයන්ගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම කෙතරම් පහළක වුවත්  , ඒ පිළිතුරු ඉහළින් පිළිගත් සෑහෙන පිරිසක් සිටි බව පෙනුණී , ඒ ඔස්සේ ජීවිත කෙතරම් ගණනක් අවදානමට ලක්වීණ දැයි , ලක්වේදැයි නොදනිමි.

තමන්ට ඇති වන සෞඛ්‍යමය ගැටළු වලට පිිළිතුරු ලබා ගත හැකි සහ යුතු පිළිගත ක්‍රම තිබියදි , එම  ප්‍රශ්නය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක මතට යොමු කිරීමෙන් ලැබෙන පිළිතුරු “ඉහ මුදුණින්“ පිළිගැනීම , විටෙක ජීවිතය මරණීය අවදානමකට ගෙනයනවා වන්නට පුළුවනි. එවන් අවස්ථාවක , රජයේ  ප්‍රධාන සෞඛ්‍ය සභාවක පිළීගැනීම සහ ලියාපදිංචිය ඇති වෘත්තීය නිළධාරියෙක්  ලබා දෙන පිළීතුරක් හැර අනෙක් මාකටින් දොස්තරලා දෙන අදහස් පිළීපැදීම “විටෙක මාරාන්තික“ වීමට ඉඩ අැති බව නොකියාම බැරිය , (නමුත් අද අපේ රට මාකට් දොස්තරලා , ටීවී මනෝ වෛද්‍යවරු  , සියළු ලෙඩ සුව කරන ඉසි වරු පමණක් නොව , අළි ඔළුවක් ඇදි ගණ දෙය්යන් පවා විකුණන මැජික් කාරයන්ගේ දූපත් වී අැති බව නම් පෙනේ) එසේ ඔබට අන්තර්ජාලයේම පිළිතුරු අවශ්‍ය වේ නම් ජාත්‍යන්තරව වෛද්‍ය කෂේත්‍රය තුල පිළීගැනීමක් ඇති , http://www.who.int , http://www.mayoclinic.com , http://www.webmd.com ,http://www.cdc.gov/ https://www.nlm.nih.gov  ඒ සඳහා යොදා ගන්නේ නම් අගනේය.අද දවසේ ගූගල් පරිවර්තකය ඇති නිසා ඉංගිරිසියෙන් ඇති මෙම පිටු කියවීමට ඇති බාධාව තරමක් අඩු කරගත හැකි බව හැඟේ.


කියන්න ගිය කතාවෙන් ටිකක් ඈතට ගියා , නමුත් එය වටී යැයි සිතමි.අද කියන්නට ගියේ අද බොහා් දෙනෙක් කාන්තාවකගේ “ස්වයං පියයුරු පරික්ෂාව“ ගැන දන්නවා. (නොදනී නම් මෙතැනින් ගිහින් ඒ ගැන කියවන්න 15වන ලිපිය) නමුත් ඊටම සමානව , මාසයකට වරක් මහත්වරුන් කරගත යුතු “ස්වයං පරික්ෂාවක්“ ගැන ඔබ දැනුවත්ද ? ඔව් එහෙම  එකක් ඇත , ඒ මාසික වෘෂණ කෝෂ පරික්ෂාවයි . ( පියයුරු පරික්ෂාව පිළිබඳ විශේෂඥ උපදෙස් දෙන සමහර මහත්වරු මේ ගැන දන්නවා දැයි සැකය) .

පාසල් වයසේ දරුවෙක්ගේ පටන්  , තරුණයෙක්ගේ දක්වා ජීවිතය ඉතා කෙටි කළක් තුල මරණය දක්වා , වේදනාගෙන දෙමින් කැඳවා ගෙන යන “වෘෂණ  පිළිකාවක “ අවදානම මුලින්ම හඳුනාගත හැකි සරළ , ලාභදායී මෙන්ම සෑහෙන ප්‍රතිපලදායී ස්වයං පරික්ෂාවකි මෙය.

පරික්ෂාව ගැන කතා කරන්නට පෙර , වෘෂණ පිළිකාව සහ එහි අවදානම්  තතත්ව ගැන කෙටියෙන් කතා කර සිටීම , පරික්ෂණය පිළිබඳව උනන්දු කරවන්නට හේතු වේයැයි සිතන නිසා මීළඟ පරිච්ඡේදය තුල ඒ ගැන කෙටියෙන් කතා කරමු.

මේ ගැන ලියන්නට පෙර , වෘෂණ  පිළිකාව සහ එහි යථා ස්වභාවය පිළිබඳව අප ඇස් ඉදිරිපිට , ප්‍රාෙයා්ගිකව පෙන්වා දී , තම උවටැනේ සිටි මවට මෙන්ම , සේවයේ සිටි අප ඇස් වලටද කඳුළු එක් කළ , කරාපිටිය පිළිකා එක්කයේ ප්‍රතිකාර ගත් එක්තරා කොළු ගැටයකු සිහිපත් කළ යුතුමයි නැවත උපදින භවයක එවන්  වේදනා නොවේවායී පැතිය යුතුමය. ඒ රෝගීන් ලෙස ඔවුන් ප්‍රතිකාර ගත්තත් , ඒ ප්‍රතිකාර සහ සාත්තුව තුල අප ලද දැනුම සහ අත්දැකීම අද “මිල කළ නොහැකි“ ලෙස දැනෙන බැවිණි. (මේ රටවල උපාධී ලැබූ සමහර සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙවන් සමහර වෘත්තීය අත්දැකීම් ලබන්නට වන්නේ පරිගණක තිරය හෝ ‍ ඩමියක් ඔස්සේ පමණි) . 

වෘෂණ කෝෂ පිළිකාව බෙහෝ විට මුල් අවස්ථාවේ නොසළකා හැරෙන , තත්ත්වය උග්‍රවූ විට ප්‍රතිකාරයට යොමූ වීමක් දකින්නට ලැබෙන තවත් පිළිකා තත්ත්වයකි. පිළිකාවක් තබා ඉහෙන් බහින රෝගයක් ගැන නොහිතෙන වයස අවුරුදු 14-15 සිට අවුරුදු 30 වැනි සීමාව දක්වා මේ රෝගය මතු වීමේ උච්ඡ අවස්ථාව පැවතීම එයට මුල් හේතුවකි. වෘෂණ කෝෂයක ඇති වන “වේදනාවක් නැති ඉදිමීම“ මුල් ලක්ෂණය වුවත්, එය “ගණන් නොගෙන හෝ ලැජ්ජාවට “ සඟවාගෙන අමතක කර දැමෙන තත්ත්වයක් බව සේවා කාළය තුල දුටු රෝගීනේග් අත්දැකීම් මත කිව හැකිය. මේ ඉදිමීමේ තත්ත්වය , වෘෂණ වල ඇති වන නහර ගැට ගැසීම් නිසා ඇති වන  Varicose /Hydrocele වලදි මෙන්ම , ඒ ආශ්‍රතිව  ඇති වන ආසාදන සහ හර්නියා වලදීද දැකිය හැකි වේ . මෙයත් , මෙම පිළිකාවේ මුල් පණිවිඩය මගහැරීමට හේතුවන බව දැන සිටීම වටී.තත්ත්වය තරමක් වැඩි වූ විට , කොන්දේ පහල ප්‍රෙද්ශය , ඉකිළිය යටි බඩ පෙදෙස හරහා විහිද යන තීව්‍ර වේදනාව , වෘෂණ කෝෂය මත “පැහැදිලි ගැටිති“ දකින්නට ලැබීම , මේ සමඟම පියයුරු ආශ්‍රිත වේදනාවක් මෙන්ම කටහඬ වෙනදාට වඩා රළු , බැරැන්ඩි වූ ස්වභාවයක් ඇති වන්නටද පුළුවන. තත්ත්වේ ටිකක් එහාට ගියොත් , වෙන දේහ පද්ධති වලටත් බලපෑම් කරමින් “ලෙඩ අච්චාරුවක්“  වගේ වෙන්නත් ඉඩ තියෙනවා . 

මේ කෙසේ වෙතත් කිවයුතුම දේ මේක , මුලින් හැඳින නිසි ප්‍රතිකාර නොලදොත් , කරදර ගණනාවකට මුහුණ දෙමින් ජීවිතය ගැන පවා ලොකු අවදානමක් ගන්න වෙන මෙම රෝග තත්ත්වය මුලින්ම හඳුනගෙන නිසි ප්‍රතිකාර (ශල්‍ය ප්‍රතිකාර ඔෂධ සහ විකිරණ) කළොත් වෙනත් පිළිකා ප්‍රතිකාර වලට සාපේකෂව කෙටි කළත් තුල රෝග තත්ත්වයෙන් සම්පුර්ණයෙන්ම  මිදෙන්නට හැකියාව වුනත් ලැබෙනවා .

මේ ලක්ෂණ වගේම රෝගය සඳහා අවදානම් තත්ත්ව මොනවද කියල දැනගන්න එකත් වටිනවා , මේ අවදානම් අතරින් ඉහළින් ඉන්නෙ , උපතේදි වෘෂණ , අදාල කෝෂ තුල තැන්පත් නොවීම සිදුවූ අය , මෙවන් අයගේ වෘෂණ කෝෂ දෙක වෙනුවට පැහැදිලිව හඳුනාගත හැකිවන්නෙ එක් වෘෂණයක් පමණයි . අනෙක තවමත් උදර කුහරය තුල රැඳී තිබෙන්නෙ . මෙවන් අයට යම් අවදානමක් ඇති බව දැන සිටීම වැදගත්. ඒ වගේම උපතින්ම ඇති වුනු වෘෂණ කෝෂ අක්‍රමතා , විකෘතිතා සහිත අයත් ටිකක් විමසිළිමත්වීම අවදානමකින් ගැලවෙන්නට හේතු වන්න පුළුවන්.ඒ වගේම මරිජුවානා මත්ද්‍රව්‍ය මෙන්ම කෘෂි රසායනික භාවිත කරන්නටත් අවදානම් විය හැකි වගේම , මේ පිරිමි දරුවා වැඩිවිය පත්වුනේ (කඩහඬ රළු වෙලා දැළි රැවුල් ආවේ ) හුඟක්ම අඩු වයසින් නම් තවත් විය හැකි අවදානමක්. මීට අමතරව විවාහක , නමුත් මදසරු බවින් පෙළෙන තරුණ මහත්මයෙකුත් වෙන අයට වඩා දැන පරිස්සම් වීම වැදගත්.ඔය වගේ විය හැකි අවදානම් ගණනාවක් තිබුණත් , මේ කිසිම අවදානමක් නැති කෙනෙකෙුට වුනත් වෘෂණකෝෂ පිළිකාව ඇති වන්නට පුළුවන් , ඒ නිසා වඩාත්ම වැදගත් දේ  “සැකකටයුතු“ ලක්ෂණ ඇත්ද කියල “මාසික ස්වයං වෘෂණ පරික්ෂාව “ කරගැනීම සාමාන්‍ය පුරුද්දක් කරගන්න එක. එවිට  යම් අවස්ථාවක පෙර කී “ලක්ෂණ“ මතුවුනොත් “ගූගල් එකෙන් “ ෆෙස්බුක් එකෙන් බෙහෙත් නොසොයා ළඟම ඉන්න පවුලේ වෛදවරයා හමුවෙලා තත්ත්වය පිළිබඳ පරික්ෂා කරවා ගන්න . මෙවන් තත්ත්වයක් පිළිබඳ “සැක ලක්ෂණ“ හඳුනාගන්නට ඔබේ ගමේ ඉන්න පවුලේ වෛද්‍යවරයාට පුළුවන් , ලොකු වියදම් කරමින් “ලොකු මහත්තයාම“ හමුවෙන්න ඕන වෙන එකක් නැහැ. මුල්  පරික්ෂා වලින්  සැකයක් ඇත්නම් , පිළිකා හඳුනාගැනීමේ (Tumor markers)  රැධීර පරික්ෂා කිහිපයක් සහ ස්කෑනීන් පරික්ෂාවන් සමඟින් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නට පුළුවන් . වැදගත්ම දේ ප්‍රමාද නොවීම සහ නිසි යොමු වීමයි.

දැන් අන්තිමටම අද “ස්වයං වෘෂණ කෝෂ පරික්ෂාව“ ගැන කතා කරමු. මේ පරික්ෂාව අර පියයුරු පරික්ෂාවට වඩා සරළයි , බලන්න , අල්ලන්න , තෙරපන්න , විඳින්න 
 .
දැන් පටන් ගන්නේ මෙහෙමයි , රැඳී ඇති මුත්‍රා පහකර ,  ඇඟළුම් වලින් නිදහස්ව වෘෂණ කෝෂ වලට නිදහසේ  රැදෙන්නට විනාඩි කිහිපයක් දෙන්න , ස්නානයෙන් පසුව නම් වඩාත් සාර්ථකයි , දැන් තම වාෂණ සහ අවට ප්‍රෙද්ශය පැහැදිව පෙනෙන සේ කණ්නාඩියක් ඉදිරිපසින් තබන්න . තිබේනම් පුටුවක් හෝ කණ්ඩියක් දකුණු පාදය ඒ මත ටිකක් එසවෙන සේ තබන්න . දැන් කණ්නාඩිය භාවිත කරමින් දකුණු  වෘෂණ කෝෂයේ  යම් “පෙනෙන වෙනසක් “ , ඇත්දැයි බලන්න. අසාමාන්‍ය ඉදිමීම් , ගැටිති ඇත්දැයි බලන්න . ( සාමාන්‍යෙයන් එක් වෘෂණ කෝෂයක්  අනෙකට වඩා තරමක් විශාලව සහ  පහලට පැවතීම පොදු ලක්ෂණයකි) . ඒ නිරික්ෂණයෙන් පසුව දකුණූ වෘෂණ කෝෂය අතැඟිලි මඟින් මෘදුව තෙරපමින් වෘෂණය ස්පර්ෂවන ස්වභාවය හඳුනාගන්න . ක්‍රමයෙන් වෘෂණ කෝෂය වටා තෙරපමින් යමින් , (වෘෂණ කෝෂය යනු පිටතින්ම ඇති මල්ලයි  , වෘෂණය යනු එහි ඇතුලත ඇති තරමක් තද කොටසයි) , එහි ස්වභාවය ස්ඵර්ෂ කරමින් හඳුනාගන්න . එය මෘදු , වෘෂණය , කෝෂය තුල පහසුවෙන් එහා මෙහා වන ස්වභාවයක් විය යුතු අතර  තද වේදනාවක් ඇති නොවිය යුතුය . එහි ගැටිතිමයි , රළු සහ වේදනාකාරී තත්ත්වයක් දැනේ නම් සැළකිළිමත් වීමට අවස්ථාවක් ලෙස හඳුනා ගන්න. දැන් මුළු වෘෂණ කෝෂයම අතැඟිලි වලින් තෙරපමින් ආවරණය කළ පහු කෝෂය පසුපසින් ඇති කොටසද එළෙසම තෙරපමින් ගැටිතිමය , රළු වේදනාකාරී ලක්ෂණ ඇත්දැයි විමසන්න.  දකුණූ වෘෂණ කෝෂය , වෘෂණය සහ වෘෂණ්යට පසුපසින් ඇති පටක කොටස පරික්ෂා කිරීමෙන් පසු , දකුණු පාදය පහලින් තබා වම් පාදය ඉහළට එසවෙන සේ තබා , වම් වෘෂණ කෝෂය , වෘෂණය සහ ආශ්‍රිත ප්‍රෙද්ශය පෙර පරිදිම පරික්ෂා කරන්න. යම් අවස්ථාවක කෝෂය තුල , වෘෂණය මත “පරිප්පු ඇට“ , “කඩල ඇට“ වැනි ස්වභාවයක් , වෘෂණ කෝෂය පිටුපස පරික්ෂා කිරීමේදි “නොතැම්බුනු නූඩ්ල්ස්“ වැනි ස්වභාවයක් , තද වේදනාවක් මතුවේ නම් එය සැළකිළිමත් විය යුතු අවස්ථාවක් නිසා පමා නොකර වෛද්‍යවරයකු හමුව උපදෙස් ගන්න. වඩාත් වැදගත් මේ කියූ ලක්ෂණයක් මතුවූ පමණින් එය පිළිකාවකැයි වරදවා වටහා ගන්න එපා , වෙනත් රෝග ගණනාවක් නිසා මෙවන් ලක්ෂණ ඇති වන්න පුළුවන් . (උදාහරණයක් ලෙස වෘෂණ කෝෂ වල ලේ නාල වල ගැටළු) . නමුත් ඒ හැම අවස්ථාවක්ම  නොසලකා නොහැරිය යුතු අවස්ථා බව පමණක් මතකයේ තබා ගන්න.

මේ පරික්ෂාව “මාසිකව“ කරගන්න පුරුද්දක් ඇති කරගන්නවා නම් එයින් යම් වෙනසක් මුලින්ම හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා. පුරුද්ද ඇති කරගන්න අමාරු නම් ඔන්න දැන් ඒ වෙනුවෙන් app එකකුත් තියෙනවා , ඔක්කොම උපදෙස් , දින වකවානු එක්කම උදව් කරන්නට . App එකේ නම Ball Checker  උත්සාහ කරල බලන්න වටීවි.

ඔන්න එහෙමනම් “හැම මාසෙම අතගාන්ට කොල්ලන්ගේ කඩල ඇටේ“ කියපු මාතෘකාව ඇතුළේ සියළු දේ ඇති. මාතෘකාව වරදවා වටහා ගන්න එපා . ඒ හැම වචනයක මාතෘකාවට අදාල “ඇත්තක් “ තියෙන්නෙ ඒකයි එහෙම කීවේ.හැබැයි ඉතින් මේ ලිපිය “කොල්ලන්ට“ පමණක් සීමා වෙන්නෙ නැහැ , කෙල්ලනුත් , නෝනලාත් දැනගන්න එක ලොකු වැදගත්කමක් එක් කරාවි.

එහෙම නම් ආයෙ දවසක හමුවෙමු ,සැමට සුව සතුට පිරි දිනයක් ! 

යන්න ඉස්සර මේ වීඩියෝවත් බලාගෙන ගියොත් වටී


මේ ලිංක් එකත් වැදගත් වෙන්න පුළුවන්. http://www.testicularcancercanada.ca/

11 comments:

  1. මෙතෙක් කල් මෙවැනි පරීක්ෂාවක් කරතිබුනේ නැහැ. කරලා බලන්නම්. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. දැනුවත් වී නම් සතුටක් මට එය ! ස්තුතියි ඔබටත්

      Delete
  2. පියයුරු පරීක්ෂාව ගැන අහල තිබුණට මේ ගැන මෙතෙක් දැනුවත් වෙලා තිබුනෙ නෑ. ස්තුතියි දැනුවත් කිරීම ගැන.

    ගොඩ වෙද්දුන්ගෙන් උපදෙස් අරන් ඒව හිස් මුදුනෙන් පිළිගන්න එකනං ලංකාවෙ බොහෝ දෙනෙක් කරන දෙයක්. ඒ විතරක් නෙමෙයි ඔය කට්ටඩියො පස්සෙ ගිහිල්ල කී දෙනෙක් අනාත වෙලා ‍වගෙම ජීවිතෙත් නැති කරගෙන තියෙනවද. අන්තිමට ඉස්පිරිතාලෙ මතක් වෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. සතුටක් දැනුවත් වුනානම් මේ ගැන , දැනුවත් කරන්න තවකෙනෙක් එය පිනක් !

      දෙවන කතාව නම් හරියටම හරි , පුදුමෙ කියන්නේ වැඩිය ප්‍රචාරය වන්නේත් මේ “බොරු වෙද්දුම“ නේ .

      ස්තුතිිය ප්‍රසන්න !

      Delete
  3. කරලා බලන්න ඕන.වටිනා දැනුවත් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , මේ කරුණු පිළිබඳ තවෙකෙක් දැනුවත් කරන්නට පුළුවන් නම් එයයි සතුට

      Delete
  4. අදම බලන්න ඕන. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ,දැනුවත්වීම , සහ ක්‍රියාත්මක වීම කියන දෙකම වැදගත් .
      ස්තුතියි ඔබට

      Delete
  5. වටිනා දැනුවත් කිරීමත්

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)