2016/12/23

208) අඩුුවට රිදෙන්න පොඩ්ඩක් දාගන්න හැටි


“සුබ නත්තලක් මයික් , පවුලේ හැමෝටම සුබ අළුත් අවුරුද්දක් !  නම් අපි ලබන අවුරුද්දේ ආයෙ හමුවෙමුකෝ ! “ දවසේ වැඩ කටයුතු නිමා වෙන්න සුළු මොහොතක් තියල අපෙ සේවාලාභීයෙකුගේ පවුලේ අයගේ “නත්තල් සුබ පැතුම“ බාර ගත්තා. අද ඉක්මණට ගෙදර යන්න ඕන , මොකද පොඩ්ඩන්ට හෙට ඉස්කොළෙට තෑගි හොයන්න “සාප්පු චාරිකාවේ “ යන්න තියෙනවා.


“ට්‍රිං ට්‍රිං..“ කාර්යාලයේ දුරකථනය , නරකම වෙලාවක‍

“හේයි මයික් , අද අපි ඇඩ්මින් එකේ පොඩ්ඩක් සෙට් වෙනවා , වැඩ ඇරුනු ගමන් මේ පැත්තට එන්න, විනාඩි පහයි , ඕකේයි “ මොනව කරන්නද ? “ඕකේ“ කියන්නත් ඉස්සර වෙලා ඒක අරගෙනම ඇමතුම විසන්ධි වුනා. 

දවසේ රාජකාරිමය කටයුතු සියල්ල නිමා කරල , අඩුම කුඩුම ටිකත් ලේස්ති කරගෙන ගියා ඇඩ්මින් එකට , රෝහලේ ඒකක කිහිපයක “මිත්‍රයෝ ටික“ , ක්ෂණික පාටියක් ලේස්ති කරල , පීසා , පැණි බීම ජාති ,බියර් , වයින් එක්ක.
"විනාඩි පහේ කතාව" කැළේ , පාටිය ඉවර වෙත්දි හයයි .  දැන් ඉතින් මගේ ‘‘දුර ගමන “ පටන් ගන්න එපායැ.කිලෝමීටර් 135ක් විනාඩි විස්සකින් :)  ලේවල ඇල්කොහොල් ගැන බයක් නැති නිසා හිත නිදහසේ ගමන ගියෑකි. ( මේ “මැජික් ගමන“ ගැන  මීට පෙර ලිපියේ කතා කළා ).

ගෙදර එන ගමනේ හිතට යමක් මතක් වුනා ලියන්න , ඒ “හරියට බොන හැටි“ මීට මාස කිහිපයකට පෙර තිබුණූ වැඩමුළුවකදි දැනගත් , විඳගත් දේ ඔබ වෙතට ලියා දක්වන එක වැදගත් වේවි කියල හිතෙනවා . විශේෂයෙන්ම මේ “උත්සව සමයෙදි“ . 


“බොන්න එපා කියන්නෙ නැහැ ?“ 

මුලින්ම කියන්නට වෙන්නේ කෙනෙක්ට මේ ලිපිය “වැරදි දෙයක් ගැන“ කතා කරන එකක් කියල හිතන්න පුළුවන්. මොකද මෙහිදි අපි කතා කරන්න හදන්නේ “මත්පැන් භාවිත කිරීම ගැන“ , හැබැයි  කිසිම විටෙක “බොන්න එපා“ කියන පද යුගල යොදාගන්නේ නැහැ. ඇයි , මත්පැන් පාවිච්චියට ඇබ්බැහිවුනු කෙනෙක්ට “බොන්න එපා “ කියනවට වඩා , එහි අවදානම හදුනාදීම සහ අවදානම අවම කරගන්නට ගත හැකි උපක්‍රම කියාදීම වැදගත් වන නිසා. 

ඔහොම ලියන්නේ එයත් හොඳට බොනව ඇති ඒකයි! 

 උත්තරේ , මීට අවුරුදු විස්සකට විතර ඉස්සර නම් ගෙදරට හොරෙන් බ්‍රැන්ඩි බෙහෙතක් කරගෙන  තිබුණා , ඊට පස්සේ මිතුරු හමුවකදි බීර වීදුරුවක් ගිල දමන්නට පටන් ගත්තා , ඒත් ලොකු දුව අපේ පවුලට එකතු වුනා පස්සේ එයත් නතර කළා , කෙල්ලො දෙන්න අපෙ ජීවිත වලට දෙන සතුට අපමණ වෙත්දි මත්වතුරකින් සතුටු වන්නට මට අවශ්‍යතාවයක් අද නැහැ. එ් නිසා අද මම හොඳට බොන්නේ පැණිබීමත් , වතුරත් විතරයි කිසිදු මත්ද්‍රව්‍යයක් මගේ සිරුරට ඇතුළු  කරගන්නේ නැහැ. එහෙම වුනා කියල මිතුරු ඇසුරෙදි , රාජකාරියෙදි මට කිසිම අඩුපාඩුවක් වෙලා නම් නැහැ , ජිවිතේ විඳින සතුටෙ කිසිම අඩුවක් නැහැ“ 

හැබැයි යම් අයෙක් මත්පැන් පානයට යොමු වෙනවා නම් එය ඔහුගේ නැත්නම් ඇයගේ කැමැත්ත . විශේෂයෙන්ම මත්පැන් වලට ඇබ්බැහිවුනු කෙනෙක් ඉන් මුදා ගන්න නම් ඔහුගේ හෝ ඇයගේ ස්වකැමැත්ත හුඟක් වැදගත් , දැනුවත් බව වැදගත් . නමුත් එසේ හෝ මුදාගත නොහැක්කේ නම් , මත්පැන් පානය මගින් වන අවදානම යම් තරමකට හෝ අඩු කරගත හැකි උපක්‍රම ගැන දැනුවත් කිරීමවත් වටීවි කියන එකයි මෙ පිළිබඳ අවධානය යොමු කරන ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන වල අදහස.

දැන් වැදගත්ම කතාව පටන් ගනිමු.

මුල්න්ම කියන්න ඕන , මත්පැන් භාවිතයෙන් වැලකෙන්නට පුළුවන් නම් එයයි “සෞඛ්‍යමත් ජීවිතයකට වැදගත්“  ඒ නිසා මෙතැන් සිට ලියැවෙන දේ “මත්පැනට නැතිවම බැරි වන“ අයෙක්ට පමණක් අදාල වන බව විශේෂයෙන්ම කියන්න ඕන . වරදවා වටහාගෙන “වරදින වාසි ගන්න එපා මේ ලිපියෙන්“ .


ලිමිට් එක මොකක්ද ?

මත්පැන් වලට ඇබ්බැහිවූ ඔබේ අවදානම යම් තරමකටහෝ අඩු කරගන්නට නම් , “සීමාව“ දැන ගන්න ඕන , මොකක්ද ඔබේ සීමාව ? මේ සීමාව ගැන කතා කරත්දි යම් එ්කකයක් හඳුන්වා දෙන්නට වෙනවා .ඒ මත්පැන් පාන ඒකකයක් කියන්නෙ 
  • 5% ඇල්කොහොල් ප්‍රතිශතය ඇති මත්පැන් (බීර වැනි) වල නම් මිලි ලීටර් 341 
  • 12% ඇල්කොහොල් ප්‍රතිශතය ඇති පානයක් නම් මිලි ලීටර් 142ක් 
  • 40% ක ඇල්කොහොල් ප්‍රතිශතය ඇති මත්වතුරක් නම් මිලි ලීටර් 43ක් 
ඔන්න එය “ඒකක“ සැලකිල්ලට ගත්තොත් , 
  • පිරිමි කෙනෙක් සතියකට “ මත්පැන් පාන ඒකක“ 15 නොඉක්මවා යායුතු අතරේ  , එක දවසකට “ඒකක“ තුනකට වඩා නොගත යුතුමයි.
  • කාන්තාවක් නම් ( දැන් කියන්න එපා අපේ රටේ කාන්තාවො “බොන්නේ“ නැහැනේ ? කියල  , ඒත් ඇත්ත ටිකක් වෙනස්) , සතියකට ඒකක 10ට වඩා යන්න එපා , දවසකට ඒකක් දෙකයි උපරිම සීමාව.
  • මේ දෙගොල්ලටම වැදගත් ඒකකයක්වත් නොගන්නා දවසක් වත් සතිය තුල පවත්වා ගන්න පුළුවන්. 

ඉතින් පාටියක් නම් ! 

විශේෂ අවස්ථාවකදි වුනත් “ඒකක“ හතරකට“ වඩා නොගෙන ඉන්න උත්සාහ කරනවා නම් ඒයයි “ඇඟට අඟුණ අඩු“ 

ලිමිට් එක බිංදුව වෙන්නේ?

මෙන්න මේ අවස්ථා වල නම් ඉන්නේ මත්පැන් ඒකක “බින්දුවයි“ , ඒ කියන්නේ මත්පැන් නොගත යුතු අවස්ථාවන් ,
  • ගර්භනී හෝ ගර්භණී වන්නට සූදානම් තත්ත්වයේ ඉන්නවා නම් 
  • දරුවාට මව්කිරි දෙන මවක නම් 
  • මානසික හෝ ප්‍රතිකාර ලබන කායික රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් , (මෙම අවස්ථාවේ වෛද්‍ය උපදෙස් ඉතා වටී) 
  • යම් රෝග තත්වයකට ඖෂධ ලබා ගන්නවා නම් ,(මෙම අවස්ථාවේ වෛද්‍ය උපදෙස් ඉතා වටී) 
  • රිය පදවන්නට හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න සූදානම් හෝ ඒ සමඟ කටයුතු කරනවා නම් 
  • ඉතා වැදගත් තීරණයක් ගන්නට පෙර 
  • ගෙදර අනෙක් කෙනා “බීමට ඇබ්බැහි“ වුනු , නමුත් පුරුද්ද නතර කර ගන්නට උත්සාහ කරන්නෙ නම් ඔබ ටිකක් උදව් කළ යුතු වෙනවා.
මෙන්න මේ වගේ අවස්ථා ගණනාවක් කියන්න පුළුවන් වගේම සාමාන්‍ය දැනුම අනුව ඔබට එවන් අවස්ථා හඳුනාගන්නටත් පුළුවන්.

බොන්නම ඕනම නම් !

හරි මේ ඔක්කොම කීවත් බොන්නම ඕන නම්,
දැන ගන්න රැදෙන්න ලිමිට් එකේ -  විටම ඔබේ “නියමිත මත්පැන් ඒකක සීමාව“ තුල රැදෙන්න උත්සාහ කරන්න. 
තුනේ දෙක රඳවන්න- සෙමින් පානය කරන්න , එක උගුරට හලා ගන්න එපා , පොතේ කියන විදියටම කිව්වොත් පැය තුනකට “මත්පැන් ඒකක“ දෙකකට වඩා බොන එක සුබ නැහැ. 
සැර  එකට ලා එක බොන්න - හැම  “මත්පැන් ඒකක“ එකකටම “ මත්පැන් නොවන පාන සමාන ප්‍රමාණයක්“ ගන්න . 
බීමට පෙර කෑමයි ඕනේ - බීමට පෙර කන්න , ඒ වගේම බොන අතරෙත් යමක් කෑමට ගන්න .
  • බොන්නට පෙර තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය , වගකීම් සහ ඉන් පසු ඇතිවිය හැකි තත්ත්ව ගැන හිතා බලා බොන්න පටන් ගන්න.
කතාව ඉවර කරන්න ඉස්සර වෙලා ආයෙත් කියන්න ඕන මෙන්න මේ දේ, මෙ කියාගෙන ගියේ “මත්පැන් වලට හුරු වෙලා එය අත්‍යවශ්‍ය දෙයක් “ වන තරමට හුරු කරගත් අයට , තමන්ට වන ආපදාව ටිකක් හෝ අඩු කරගන්නට පිළිපැදිය හැකි උපදෙස් ටිකක් විතරයි , වඩාත් සුදුසු “මත්පැනින්“ වෙන්ව ජීවත් වන්නට හිත හදාගන්නට හැකි නම් . මොකද “පොඩ්ඩක් ගත්තට කමක් නැහැ“ , “රෙඩ් වයින් ඇඟට“ හොඳයි වගේ කතාවල “විය හැකි “පොඩි ඇත්තක වැහුනු ලොකු අවදානමක් තිබෙන නිසා. ඒ වගේම ඔය කියන “හොඳ“ට වඩා සෞඛ්‍යමත් හොඳක් ලබා ගන්නට වෙනත් ක්‍රම තිබෙන නිසා.

මේ දවස් වල පාර පුරාම “රථවාහන“ පොලීසිය , ලංකාවේ වගේ තැන් තැන්වල හිටගෙන ගොරහැඩි පෙනුමක් දාගෙන “වේගමාපක රේඩාර“  මානගෙන ඉන්නේ නැහැ. කිසි පෙනුමක් නැති පරණ කාර් එකක ඉඳගෙන , වාහනේ පස්සෙන්ම ඇවිත්  “ලයිට්“ දාල සිග්නල් එක දෙනකම් කවුරුත් දන්නෙ නැහැ.  හැබැයි නැවැත්තුවත් ,  සුබ පතල , වැරැද්ද පැහැදිලි කරල දඩ කොලේ අතට දීල පරිස්සමින් යන්න කියන කියන පොලිස් මහත්තුරු තමයි ඉන්නෙ. 

කොහොම හරි හයයි විස්ස වෙත්දි ගෙදර , දැන් ඉතින් “කඩ වන්දනාවේ “ යන්නයි සූදානම , මොකද හෙටයි පොඩ්ඩන්ගේ ඉස්කෝලෙ නිවාඩුව පටන් ගන්නේ , ඊට පස්සෙ තමා “යුද්දෙ“ :) 

එහෙම නම් ලබන්නාවූ නත්තල කිතුණු බැතිමතුනටත් ඔබ සැමටත් සාමය සතුට පිරි නත්තලක් වේවා “ එමෙන්ම ලබන්නා වූ 2017 නව වසර , හිතේ කරදර අඩු , හිතේ සතුට වැඩි වන “සුබ නව වසරක් “ වේවා ඔබ සැමට . 

නැවත හමුවෙමු , සුව සතුට පතමි.


මේ ලිංකු වලින් ලිපියට සම්බන්ධ වැදගත් දේ සොයාගත හැකි වේවි 

http://www.ccsa.ca/Eng/Pages/default.aspx

http://www.euro.who.int/en/health-topics/disease-prevention/alcohol-use/data-and-statistics/q-and-a-how-can-i-drink-alcohol-safely

https://www.rethinkingdrinking.niaaa.nih.gov/tools/calculators/drink-size-calculator.aspx

https://pubs.niaaa.nih.gov/publications/RethinkingDrinking/Rethinking_Drinking.pdf

http://www.pamf.org/southasian/risk/concerns/alcohol.html

8 comments:

  1. බොන එක ගැන සෑහෙන්න හිතන්න ඕන වගේ. ඒත් ඉතිං පලවෙනි ෂොට් එක ගත්තට පස්සෙ ලිමිට් එක හොයන්න යන එක තමයි අමාරු.

    මහේෂ්ටත් පවුලේ සැමටත් සුබ නව වසරක් පතනව !

    ReplyDelete
    Replies
    1. ප්‍රාෙයා්ගික ඇත්ත කතාවක් ! :) ඔබටත් පවුලේ සැමටත් සුව සතුට පිරි නැවුම් වසරකට පැතුම් ! 

      Delete
  2. මම දැන් බීම නතර කරන්න පටන් අරගෙන තියෙන්නේ...
    මුලික පියවර වශයෙන් උපරිමය සතියට දින එකක් හෝ දෙකක් දක්වා අඩු කරගන්න පටන් අරගෙන තියෙන්නේ...

    ඔබ සැමට සුබ නත්තලක් වේවා...!

    ReplyDelete
    Replies
    1. වැදගත් අරමුණකට ආරම්භයක් වගේ ! ස්තුතියි ඔබටත්
      ඔබටත් පවුලේ සැමටත් පින්බර නත්තලක් වේවා ! 

      Delete
  3. දැන්නම් තිත තැබීමට ආසන්න මට්ටමට පාලනය කර සිටින්නෙමි. ළඟදීම තිත තැබීමට හැකිවනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. පාලනය කරගැනීමට හිත හදාගන්න පුළුවන් වුනා කියන්නෙම පළමු ජයග්‍රහණය විචාරක මහත්මයා ,
      ඔබටත්සු පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

      Delete
  4. හැම පියෙක්ම ඔබ වගේ සිතනවනම් කියලා හිතුනා ලිපිය කියෙව්වම .තමන්ගෙ දරුවන්ගෙන් අප්‍රමාණ සතුටක් ලබනවනම් මත් වතුරෙන් මොන සතුටක්ද.වෙනදා වගේම වටිනා ලිපියක්.
    ඔබ ඇතුලු පවුලේ සැමට ලබන්නාවූ නව වසර වාසනාවන්ත වසරක් වේවා!!කියා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , ඔබ සැමටත් සුව සතුට පිරි සුබ නව වසරක්ම වේවා !

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)