2019/12/20

231) හිල තනා වල ගේන බොත්තම

මේ නත්තල් කාළේ
මේ නත්තල් කාළේ, ඒ වගේම පාසල් නිවාඩුව ඒ කියන්නේ අම්මල තාත්තලගේ වැඩි වැඩිම , හැබැයි පැටවුන්ට සතුට වැඩිම කාළෙ.කොහොම වුනත් මේ සතුට වැඩි කාළෙ සිදුවන්නට පුළුවන් අනතුරක් ගැනයි අද මේ කතා කරන්න හදන්නේ.

අද දවසේ ඕනම නගරයක කඩ සාප්පුවකට ගියොත් නැත්නම් කඩවීදියක ගියත් පැටවුන්ට ගන්න පුළුවන් සෙල්ලම් බඩු අතරේ පුංචි ටෙලිෆෝන් , විවිධ නාද මවන පුංචි සංගීත උපකරණ , කෙටියෙන්ම කිව්වොත් පුංචි බැටරි කෑළී වලින් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු බොහෝමයි. ඇත්ත මේ සෙල්ලම් බඩු ලාබයි, ඒ වගේම ලේසයි නේ? මොකද ඉබේම වැඩ කරනවා අම්මට තාත්තට කරකවන්න , නටවන්න ඕන නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ මේ සෙල්ලම් බඩු වල ක්‍රියාකාරීත්වය යොදා ගන්නා අර බෙහෙත් පෙත්තක් වගේ පැතලි බැටරිය.

මෙන්න මේ අවදානම් පෙත්ත

ඇයි , මේ පුංචි පැතලි බැටරිය , සෙල්ලම් බඩුවේ ඇතුළෙ තියෙන කම් ගැටළුවක් නෑ, නමුත් දන්නවනේ පැංචන් සෙල්ලම් කරත්දි , එහා මෙහා හැපෙත්දි ඒවායේ කෑළී , ගැලවෙන්න , බුරුල් වෙන්න පුළුවන්. එහෙම වෙලා මේ බැටරි එළියට වැටුනොත් , නැත්නම් එළියට පේන්න දැක්කොත් පුංචි පැටවුන් මොකද කරන්නේ ඒවා අදල ගන්න පුළුවන්. හරි ලස්සනට දිස්නෙ ගහන මේ “රස දේ“ කටේ දාගන්න , එහෙම නැත්නම් නාසයේ දාගන්න පැටවු හරි කැමතියි. ඒ විතරක් නෙවි , ටිකක් ලොකු දඟයෝ පවා මේ බැටරි කටේ දාගන්නේ කුතුහලයට වඩා සෙල්ලමට , නමුත් ඒ සෙල්ලම ලෙල්ලම වෙන්නේ ගිලුණම තමයි.
දැන් මේ පෙති බැටරි කෑල්ල ගිළුනොත් , නාසයේ දාගත්තොත් මොකද වෙන්නේ. ඊට ඉස්සර වෙලා , මෙහෙම කටේ නාසයේ දාගන්න හදත්දි ශ්වාස නාලයේ හිරවීමක් වුනොත් ඒක ක්ෂණි අවදානමක් , ඒ වගේ අවස්ථාවක මොකද කරන්නෙ කියල දැන ගන්න පෙර දිග ලිපියක් ඇති එය කියවන්න. (මොකද ඒ පුද්ගලික අත්දැකීම නැවත ලියන්න තබා මතක් කරන්නවත් කැමති නැති නිසා. මෙන්න ඒ ලිපියට ලිංක් එක http://www.nursinglk.com/2011/08/52.html)

හැමදේම කටේ දාන මේ කාළේ තමා වඩා අවදානම්
නමුත් බොහෝ වෙලාවට මේ බැටරි ඒ විදියට හිර වෙනවට වඩා වෙන්නේ , දරුවා එය ගිලින එක, නැත්නම් නාසයේ , කනේ දාගන්න එක. දැන් මොකද වෙන්නේ. බොහෝ වෙලාවට අම්ම තාත්ත ඒ මොහොතේ නොදැක්කා නම් , සැක කරන්නට හේතුවක් නොවුනා නම් , ඒ තමයි වඩාත්ම අවදානම් තත්ත්වය . දැන් මොකද වෙන්නේ ගිල්ල , නැත්නම් ඇතුලට දාගත්ත බැටරිය නිසා ඇති වන විද්‍යුත් සහ රසායනිත් ක්‍රියාවලිය නිසා , දරුවගේ පටක පිළිස්සෙන්ට , පටක මැරෙන්නට පටන් ගන්නවා. සමහර අවස්ථා වල ඒ “පිළිස්සීම“ පැටියගේ ඇඟ ඇතුළේ ලේ නහර , නැත්නම් ශ්වාස නාලයේ නැත්නම් උදරයේ පටක වල කුහරයක් හදල මරණීය විය හැකි අවදානමක් ඇති කරන්නට පුළුවන්.

 තැනේ හැටියට මතුවන  රෝග ලක්ෂණ වෙනස් වෙනවා වගේම , ඒ රෝග ලක්ෂණවලට හේතුව මේ බැටරි ගිලීම කියල හදුන ගනිත්දි සෑහෙන හානියක් වෙලා. කෙසේ වෙතත්, හේතුවක් හඳුනාගත නොහැකි හැඩිල්ලත් සමඟ බඩේ , නැත්නම් කණේ කැක්කුමක් පෙන්වීම , හුස්ම ගැනීම අපහසුබවක් පෙන්වීම, හුස්ම ගන්නා විට වෙනස් ශබ්දයක් ඇසීම, මල පහ සමඟ කළ පැහැ ලේ පිටවීම , ලේ සහිතව වමණය දැමීම වගේ ලක්ෂණ පමාවීමත් එක්ක මතුවන්නට පුළුවන්.

ඊළඟ මොහොතේ උගුරේ “සිදුරක්“ හදන්නත් පුළුවන්
දෙමාපියන් දැන ගත යුතු වැදගත්ම දේ මේක. මේ බැටරියක් ගිලීම , දෙහි ඇටයක් , නැත්නම් ඉරේසර් කෑල්ලක කොටසක් ගිලීයාමට වඩා අවදානම් , මොකද බැටරි කෑල්ල ගිළුනු අවස්ථාවේ ඉඳන් එය සක්‍රියවෙලා , දරුවගේ පටක මරාදාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ  පමාවෙන්න පමා වෙන්න දරුවට වෙන හානිය වැඩියි , සමහර විට නැවත නිවැරදි කරගන්න බැරි වෙන්න පුළුවන් හානියක් වෙන්නත් පුළුවන්.
එහෙම නම්, මොනවාද කළ යුත්තේ,

  1. අවුරුදු පහට අඩු දරුවෙක්ට මෙබඳු බැටරි සහිත සෙල්ලම් බඩු ලබා නොදෙන්න. 
  2. අවුරුදු පහට වැඩි  නමුත් මේ අවදානම පිළිබඳව තේරුම් කර දිය නොහැකි වයස් මට්ටමේ දරුවෙක්ට මෙවන් “පැතලි බැටරි“ සහිත සෙල්ලම් බඩු ලබා දීමෙන් හැකි තරම් වලකින්න.
  3. ලබා දිය යුතුම නම් , සෙල්ලම බඩුවේ බැටරි යොදන ස්ථානයේ ඇති ආවරණය අතින් තද කර ඉවත් කරන එකකට වඩා , වෙනත් ආරක්ෂක ක්‍රමයක් සහිත ආවරණයක් ( ඉස්කුරුප්පු ඇණයක් මගින් තද වන, තද කර කරකවා ගැලවිය යුතු , වැනි) සෙල්ලම් බඩුවක් දෙන්න.
  4. දණ ගාණ වයසේ  දරුවන් නිවසේ සිටී නම් මේ වර්ගයේ සෙල්ලම් බඩු එම කුඩා දරුවන් ගැවසෙන ප්‍රෙද්ශයේ නොතබන්න. ඔවුන්ගේ ඇස ගැටෙන ලෙස මේවායේ බැටරි ගැලවිම මාරු කිරීම වැනි කටයුතු නොකරන්න.
  5. ශ්‍රවණාධාර හෝ වෙනත් අත්‍යවශ්‍ය උපකරණ වල මෙම බැටරි භාවිත කිරීමට සිදුවේ නම් කුඩා දරුවන් සමඟ සිටිනා විට ඒවායේ බැටරි මාරු කිරීම් සිදු නොකරන්න.
  6. භාවිත කළ බැටරි නිසි ලෙස බැහැරලන්න, ඒවා නිවසේ එක් රැස් කරතැබීමෙන් වළකින්න. භාවිත කිරීමට ගෙනා අළුත් බැටරි වේ නම් ඒවා ආරක්ෂාකාරීව තැන්පත් කරන්න.
  7. කිසිදු විටෙක ඖෂධ තැන්පත් කර ඇති ස්ථාන වල මෙම බැටරි තැන්පත් නොකරන්න.
වැදගත්ම දේ , මේ ලිපියේ අපි දරුවන් ගැන කතා කළාට යම් හේතුවක් නිසා මේවා වැඩිහිටි කෙනෙක්ට ගිළුනත් ප්‍රතිපලේ එකමයි . ඒ නිසා එවන් අවස්ථාවකට මුහුණ දුන්නා නම් , නැත්නම් දරුවා එවන් අවදානමක බව දැන ගත්තා නම් , සැකකළ යුතු වේ නම් ,
  1. විවිධ දියර වර්ග පොවමින් බලෙන් වමනය කරවන්නට උත්සාහ කරන්න එපා, ( බැටරි ගිළුණු අවස්ථාවක රෝහලට රැගෙන යන තුරු වරින් වර පැණි හැන්දක් දෙකක් ලබා දීම අවදානම යම් තරමකට අඩුකරවිය හැකි බව සතුන් යොදා කළ පරික්ෂණ වලිදි හඳුනාගෙන තිබුණත්, මේ  සඳහා ගත කරන කාළය තුල දරුවා අවදානම් තත්ත්වයට පත් විය හැකි සහ ගැටළුව තවත් නරක තත්ත්වයට පත්වීමේ හැකියාව නිසා වඩාත් වැදගත් හැකි ඉක්මණින් දරුවා රෝහලට රැගෙන යාමයි)
  2. කනේ හෝ නාසයේ සිරවී නම් ඒවා පිටතට ගැනීමට කිිසිවක් නාසයට , කණට ඇතුළු කර තෙරපන්නට එපා.
  3. හැකි ඉක්මණින් , ළඟම තිබෙන පහසුකම් සහිත රෝහලකට යන්න. පමා වීම අවදානම වැඩි කරන බව හොඳින් මතකයේ තබා ගන්න.
  4. රෝහල් ගත කළ අවස්ථාවේ , අදාල සෞඛ්‍ය කණ්ඩායම වෙත සිදුවීමේ තත්ත්වය සමඟ දරුවා ගිලදැමූ හෝ සිර කරගත්  , හෝ සැක කරන පැතලි බැටරිය පිළිබඳ ඔබ දන්නා දේ දැනුම් දෙන්න. අමතර බැටරියක් තිබේ නම් එය දරුවා රෝහලට රැගෙන යන අවස්ථාවේම රැගෙන යන්න.
ඉක්මණින් නිසි ප්‍රතිකාරය ලද හොත් ලොකු කරදරයක් නොමැතිව දරුවා බේරා ගත හැකි වුවත් , මේ අවදානම ඇති කරදීමේ ඔබේ වගකීම පිළිබඳව හොඳින් දැනුවත් වීම ඉතා වැදගත් බව සිතට ගන්න.

එහෙම නම් මේ නත්තල් නිවාඩු සමයේ දරුවාට සෙල්ලම් බඩුවක් ගනිත්දි ටිකක් හොයල බලන්න. එය ඔබේ දරුවා ලොකු අවදානමකින් බේරා ගැනීමක් වන්නට පුළුවන්.

අදට කතාව නිමයි , අවස්ථාවක් ලැබෙන තැනකදි නැවතත් යමක් එක් කරන්නම්.

ලබන්නා වූ නත්තල , සුබ , සතුට පිරි සුන්දර නත්තලක් වේවායි මෙන්ම , ලබන්නා වූ 2020 නව වසර ඔබේ පැතුම් සඵල ගන්වන සුබ නව වසරක් වේවායි පතමි.


3 comments:

  1. ඉතා හොඳ ලිපියක් පුංචි නොසැලකිල්ල මහා ඛේදවාචකයක් වෙන්න ඉඩතියනවා. මමත් පෙඩිකාලේ සත 25ක් ගිලලා තියනවා. හොඳ වෙලාවට මටම වමනෙ ගිහිල්ලා තියනවා .
    විචාරක දියණිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් ,

      Delete
    2. අපරාදෙ සත විසිපහ!

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)