2024/12/08

අළුත් බ්ලොගයකට ගොඩවදින්න එන්න!

අද සෝෂල්මීඩියා නැතිවම බැරි දෙයක් වන තරමට ජීවිත වලට ලංවෙලා. සමහර වෙලාවට ඕනවටත් වඩා ලංවෙලා කියලත් හිතෙනවා. එහෙම නැත්නම්, අපේ නිදහස, මානසික, කායික සුවයට බලපෑමක් කරන තරමට , අපට නොදැනීම ලංකරගෙන. ඒ ඔස්සේම, මෙතෙක් කාළයක් පැවති අපේ කියවීම, ලිවීම සහ ඒ ඔස්සේ ඇති කරගන්නා මැදිහත් විමර්ශණශීලි හැකියාවන් මොට කරගනිමින් තිබෙනවා. එමෙන්ම, මානසික පීඩා සහ රෝග තත්ත්ව වල වැඩිවීමක් මෙන්ම, ඒ සියල්ල ඔස්සේ මතකය, බුද්ධිය සහ තීරණ ගැනීමට සෘජු බාධක ඇතිවන රෝග තත්ත්ව වලට උදාහරණයක් ලෙස ඩිමෙන්ෂියාව වැනි තත්ත්ව වලට ලක්වීමේ හැකියාවත් වැඩිවිය හැකි බව පර්යේෂණ ඔස්සේ හදුනාගනිමින් තිබෙනවා.

මේ කියවූ කෙනෙක් හිතන්නට පුළුවන්, අපි සෝෂල් මීඩියා වලින් කොයිතරම් දේ ඉගෙන ගන්නවද කියලා. ඔව්, එහෙම අවස්ථාවකුත් තිබෙනවා. නමුත් ගැටළුව වෙන්නේ,නිකම්ම( ඒ කිව්වේ, යමක් ඉගෙන ගැනීමේ දැඩි අරමුණක් නැතිව) යූටියුබ් වීඩියෝ එකක් දිහා බලාගෙන ඉඳිත්දි වෙන්නේ passive consumption of information අවස්ථාවක්. ඒ කියන්නේ අපේ මොළය, මොළයේ සෛල වලට ලොකු වැඩක් කරන්න දෙයක් නෑ, වීඩියෝ එක එනවා , මොළයේ සෛල ගාවින් ඔහේ යනවා , එයාලට වැඩක් කරන්න දෙයක් නෑ වගේ. නමුත්, පොතක් කියවනවා , ඒ කියන්නේ ඇත්තටම කියවීමක් කරනවා නම් මොළයේ සෛල, මොළයේ විවිධ කොටස් ගණනාවක් "සක්‍රියව" සහ ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එය වාසියක්. ඒ විතරක් නොවෙයි, සෝෂල් මීඩියා තුල ලියවෙන දේ පවා කියවත්දි අපි බහුතරයක් ඒ ලිපි ගැඹුරු කියවීමක් කරනවාට වඩා උඩින් පල්ලෙන් කියවාගෙන යාමක් සඳහානේ වැඩි කැමැත්ත සහ තාක්ෂණීකව පෙළ‍ඹවෙන්නෙත් එවැනි ස්කිම් කිරීමකටනේ (skim content instead of reading thoroughly). ඒ තුල එම පුද්ගලයාගේ මතකය තුල රඳවා ගැනීමේ හැකියාව, විමර්ශණශීලී හැකියාව දුර්වල වීමක් වන බව හදුනාගන්නවා. සෝෂල් මීඩියා ඔස්සේ ඇතිවන ‍ඩොපැමීන් ඇබ්බැහිය (Dopamine dependency) නිසා බොහෝ වෙලාවට අප කරන්නේ ඒ මත ස්ක්‍රොල් කරමින් උඩ පහල යාමක් නේ. දන්නවද දැනට හදුනාගෙන තියෙන විදියට පුද්ගලයෙක් දවසකට සාමාන්‍යයෙන් අඩි තුන් සීයක විතර දිගක ස්ක්‍රෝල් කිරීමක් කරනවාලු. ඒ කියන්නේ පොල් ගස් පහක් හයක් විතර උඩට අපි නගිනවාලු.

දැන් මේ කතාව තුල සෝෂල් මීඩියා කියන්නේ අපිව විනාශ කරන්න ආ යකෙක් වගේ හදුන්වා දෙන්නට යන්නේ නැහැ. නමුත්, එය නිවැරදි ලෙස, අපට වාසිදායක ලෙස භාවිත කරගන්නා ආකාරය ගැන දැනුම , තවමත් අප අතරේ ප්‍රමාණවත්ව තිබෙනවාද කියන එක ගැටළුවක්. ඒ නිසා, තව දුරටත් මේ ගැන විමර්ශණශීලී ලෙස කතාබහක් ඉදිරියට ගෙන යන අතරේ, ඔබත් එක තවත් අළුත් නිර්මාණයක් ගැන අදහසක් බෙදා ගන්නට හිතුවා. ඒ මේ වෙලාවේ , සෝෂල් මීඩියා නිසා විය හැකි අපහසුතා, පීඩාවන් සීමා කර එය නිවැරදි විදියට භාවිත කරමින් අපට ඵලදායී ලෙස යොදා ගැනීම කළ හැකි (Engaging in mindful technology use) ක්‍රමයක් ගැන කතා කරන්නට. 

මෙය ලිවීමක් සහ අවබෝධයෙන් කියවීමක් හෝ විමසිල්ලෙන් ඇසීමක් කළ හැකි ලෙස තාක්ෂණය යොදා ගනිමින්, ඔබේ නිර්මාණශීලීත්වය, බුද්ධිමය හැකියාව වැනි වටිනාකම් වලට තැනක් දෙන්නට, ගන්නට ඔබටම අවස්ථාවක් ලබා දීමක්.

ඒ අළුත් උත්සාහය දැක ගන්නට හෝ විඳින්නට ඔබට එන්නට ආරාධනා කරනවා 4MeBooks වෙතට. ඔබට එතැනදී හමුවේවි විවිධ මාතෘකා ඔස්සේ ‍ලියැවුනු කෙටි eBooks/ Flipbooks  වගේම, Spotify ඔස්සේ එම පොත් ගැන සවන්දිය හැකි කතාබහකටත්. 

දැන් කැමැති කෙනෙක්ට, මෙම විද්‍යූත් පොත් තමන් කැමති ලෙස කියවන්නට පුළුවන්. ඒ වගේම කියවනවාට වඩා අහන්න කැමති නම් සාකච්ඡාවකට සවන් දෙන ලෙස අහන්නටත් අවස්ථාවක් තිබෙනවා. මේ ක්‍රම දෙකම, ඔබේ කැමැත්ත මත, ඔබේ උනන්දුව මත සහ සක්‍රියව කරනවා නම් සාම්ප්‍රදායික සෝෂල් මීඩියා භාවිතයකට වඩා ඔබට වාසියක් වගේම ඔබේ මනසට හොඳ ක්‍රියාකාරකමක් වෙනවා. ඒ, මේ කියවීම සහ ඇසීම තුල මොළයේ නිර්මාණශීලීත්වය, "මවාගැනීමේ හැකියාව", මතකයේ රඳවා ගැනීමේ හැකියාව ඉහළ යාමට වැඩි ඉඩක් තිබෙනවා. (ඔබට මතක ඇති, එදා ගුවන් විදුලි රඟමඩළ අහත්දි, ඒ කතාව, අපේ නිර්මාශීලීත්වය මත මවා ගන්නට අවස්ථාවක් ලැබුණා)

මේ පොත් ලියන්නේ, ඔබ අප අතරේම තවත් මිතුරන් පිරිසක්. එහෙම නැතිව ජනප්‍රිය , ප්‍රසිද්ධ "ලේඛකයන්" හෝ පර්යේෂකයන් ලෙස හදුන්වා ගන්නා අයම පමණක් නොවේ. ඒ අයත් ඉන්න පුළුවන්, ඒ අතරේ එම හදුන්වාගැනීම නොමැති , තම දැනුම , අත්දැකීම, අදහස් සරුවට බෙදාගන්නට පුළුවන් තවත් මිතුරන් ඉන්නවා, මේ ඒ අයටත් අවස්ථාවක් ලැබීමක්.

ඉතින් , ඔබ කැමති නම් එන්න කතා කරන්න, කියවන්න, අදහස් බෙදාගන්නටත්.

එනවා නම් මෙන්න පාර, https://www.4mebooks.ca ඔය උඩ තියෙන ලිංක් එක දිගේත් එන්න පුළුවන්. 


2024/06/09

සිංහල බ්ලොග්කාරියකගේ වතගොත

 සිංහල බ්‍ලොග් පරිශ්‍රය අදටත් වඩා සක්‍රියව තිබූ, ඒ සිංහල බ්ලොග් අවකාශය තුල විවිධ අළුත් අත්හදා බැලීම්, නිර්මාණ සිදුවුනු , ම‍ගේ විශ්වාසයේ හැටියට "සිංහල බ්ලොග් වංශකතාවේ" උච්ඡතම කාළ පරිච්ඡේදයක් වුනු 2011 වගේ කාළයක, "සොඳුරු සුව අසපුව" නමින් මේ බ්ලොග් අඩවිය, පිටු පෙරලත්දි, මගේ පොඩි කෙල්ලන් දෙන්නා "පුංචි හිතට දැනෙන දේ" නමින් තවත් සිංහල බ්ලොග් පිටුවක් පෙරලන්නට පටන් ගත්තා. 

මේ "පුංචි හිතට දැනෙන දේ" තුල තම නිර්මාණ, අත්දැකීම් ඔවුන්ගේම ශෛලියකින් බෙදා ගනිත්දි, "සිංහල බ්ලොග් පරිශ්‍රය" තුල සිටි ,ඔවුනට අය්යලා, අක්කලා, නැන්දලා , මාමලා වගේම සමහර විට සීයලා , ආච්චිලා ලෙස නම් කරන්නට හැකිවූ, බොහොම සුන්දර ඥාතීන් පිරිසක්, ඔවුන් දිරිමත් කරමින්, තව දුරටත් ලිවීමට, ඔවුන්ගේ අදහස් පිරිසක් ඉදිරියේ තබමින්, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මෙන්ම, පෞරුෂය වර්ධනය කරගන්නටද උදව් වුනා. අද මේ ලිපිය ලියවෙන්නේ, අන්න ඒ විදියට එදා, ඒ කෙලි පොඩ්ඩන් දෙන්නාට වචනයකින්, කොමෙන්ටුවකින් දිරි ගැන්වූ, උදව් කළ එහෙම නැත්නම් ඔවුනගේ බ්ලොග් සටහන්, ලිපි බෙදා ගනිමින් උදව් වූ අන්න ඒ සහෘදයන් වෙත ස්තුතියක් පුදකරන්නට. ඒ සුවිශේෂී හේතුවක් නිසාවෙන්. 

ඒ තමයි, 

"පුංචි හිතට දැනෙන දේ"  තුල ඔබත් සමඟ , පුංචි සිංහල බ්ලොග්කාරියන් ලෙස එක්වූ, දිනිති, මිතිලි ගෙන් දිනිති , කැනඩාවේ විශ්ව විද්‍යාලයකින්, ලබා ගත හැකි ඉහළම පදක්කම් කිහිපයක්ද සහිතව තම පළමු උපාධිය , ස්නායු විද්‍යාව පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් ලෙස සම්පුර්ණ කරමින්, ස්නායු විශේෂඥ වෛද්‍යවරියක බවට පත්වීම සඳහා කැනඩාවේ තවත් සුන්දර පළාතක තිබෙන වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වන්නේ, ඒ වෙත්දි ලොව පුරා සෞඛ්‍යය ආයතන ගණනාවක, වෛද්‍ය පර්යේෂණ ආයතන කිහිපයක භාවිතයට ගන්නා, වෛද්‍ය පර්යේෂණ වාර්තා (ඩිමෙන්ෂියාව පිළිබඳව) කිහිපයක මුල් කතුවරියද ලෙස. 

මේ පසුගිය සති අන්තයේ පැවති ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයේ කෙටි වීඩි‍යෝවක්. 

අද මේ සටහන ලියවෙන්නේ, ඇගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට අවශ්‍යම වූ ඉදිරිපත් කිරීමේ හැකියාව, ලේඛණ හැකියාව , අදහස් පැහැදිලිව පිරිසක් ඉදිරියේ තැබීම හැකියාව වර්ධණය කරගන්නට, එහෙම නැත්නම් එම හැකියාව ගැන ඇයට විශ්වාසයක් ඇති කරගන්නට, එදා "සිංහල බ්ලොග් පරිශ්‍රය" තුල සිට උදව් වුනු ,දිරිමත් කළ ඔබ හැමට ස්තුතියක් ලෙසයි. 

එහෙම නම්, සිංහල බ්ලොග් පරිශ්‍රයෙන්, පිරිසක් ඉදිරියේ තව නිර්මාණශීලීත්වය ප්‍රදර්ශණය කරමින්, ලැබෙන අදහස් ප්‍රතිචාර ඔස්සේ දිරිමත් වෙමින්, වෙනස් වෙමින් ඇරඹූ එම ගමන, ලෝකයේ වෙනත් රටක වුවත්, ශ්‍රි ලාංකික සම්භවයක් ඇති කෙල්ලක ලෙස ජයග්‍රාහී පියවරකින්, තවත් ජයග්‍රාහී කරගන්නා පියවරකට පා තබනවා. ඒ සතුට ඔබටත් දැනුනා නම්, ඔබත් ඔවුන් වෙනුවෙන් එදා අදහස් දැක්වූ, දිරි ගැන්වූ බ්ලොග් මිතුරෙක් නම්, නැවතත් , ඔබට ස්තුතියි!!

(දිනිති, මිතිලි යුගලයේ , මිතිලි මේ වන විට එම විශ්ව විද්‍යාලයේම සෞඛ්‍යය විද්‍යා උපාධි පාඨමාලාවක තෙවන වසර ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබමින්, ළමා, ස්වයං ප්‍රතිශක්තික රෝග පිළිබඳව, ගෝලීය පර්යේෂණයක කොටස්කාරියක් ලෙස රැකියාව කරමින් අක්කාගේ පියවර ඔස්සේම ඉදිරියට එමින් ඉන්නවා. )

එහෙම නම්...

අද මේ ස්තුතිය ඇතුළු පුංචි කතාව මෙතැනින් නිමයි. ඉස්සර නම් නැවත ලිපියකින් හසුවෙමු කිව්වත්, අද දවසේ බ්ලොග් ලියවිල්ල ඒ තරම්ම නොවන නිසා, ඉඩක් ලැබුණොත් නැවත හමුවෙමු කියමින් නිමා කරනවා. (ඇත්තටම ආසයි , ආයෙත් එදා වගේ හැමෝම සිංහල බ්ලොග් පරිශ්‍රය තුල සක්‍රිය එකතු වෙනවා දකින්නට) 

ඔබ සැමට ජය, සුව, සතුට වේවා!  

- මම මහේෂ්