2011/08/04

41) ග්‍රීස් යකා හෙවත් අප්‍රසිද්ධ මානසික රෝගියා. ?



මේ හිතවත් බව හරි වැදගත් ......


අද උදේ Duty පහුගිය දවස් ටිකේ නිවාඩු නිසා ටිකක් නුහුරු බවක් දැනෙනවා , ඒ කිව්වේ සමහර රෝගීන් මට අළුත් පහුගිය දින දෙක තුලදී අපේ ඒකකයට ඇතුලුවූ රෝගීන් තුන්දෙනෙක් විතර ඉන්නව , ටිකක් ගිහින් කතා කරන්න ඕන , මොකද එහෙම අඳුනගන්නේ නැතිව මේ රාජකාරිය හරියට කරන්න අමාරුයි ,අනෙක එතකොට ගොඩනැගෙන හිතවත් බවත් , මිත්‍රශීලී බවත් එක්ක රාජකාරිය කරන්න පහසුයි , ඒ වගේම කරන දේත් හරිම සතුටින් කරන්න පුළුවන් ,

“ කොහොමද  තොරතුරු , ...ඊයෙද මේ වාට්ටවුට ආවේ ?...“ හැඳ ඉහපතෙන් B.H.T තොරතුරු දැන ගෙන හිටියත් සාමාන්‍ය යෙන් අහන ප්‍රශ්නයක් අදත් යොමු කළා ...“ඔව් , ඊයේ හවස තමයි මෙහෙට එව්වේ , ඒ වුනා හොස්පිට්ල් එකට ඇවිත් මාසයක් විතර ...මොකක්ද විෂබීජයක් ගැන කියල මෙහෙට මාරු කළේ ...“ අවුරුදු 25ක විතර තරුණ , කොළු ගැටයෙක් කකුළ පුරා වෙළුමක් දාගෙන ඇඳට වෙලා ඉන්නව , 
යකා (ට) ගහපු කකුළ ....
“මොකද වුනේ , bike එක හැප්පුනාද ? ...නැත්නම් .....? “ තුවාලේ පිහිටීමත් , පැතිරීම සහ වයස ගැන බැළුවම  අපිට ටිකක් හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න ඇත්තේ කියලා ..
“නෑ මහත්තය , මේකත් අර ග්‍රීස් යකාගේ වැඩක්නේ ...“ අපේ මිත්‍රය තවත් මොකක් හරි හිතේ හංගගෙන කීව ..
“ඒ කිව්වේ යකා ගැහැවුවද ....ඒ වුනාට ඒ යකාගෙන් කරදරයි කියන්නේ කාන්තා පාර්ශවේට නේ ....?
“නෑ මහත්තය , මේකයි උනේ ඔය පහුගිය දවසක ග්‍රීස් යකා ආවැයි කියල අපේ අම්මල , නංගිල ගහනකොට මායි , යාළුවො ටිකයි කැළේට පැන්න උන් අල්ලන්න ..යකා දැක්ක ...එළවගෙන ගියා , ඒත් දිවුව ඒකව අල්ල ගන්න බැරි වුනා , කොහෙන් ගියාද නෑ ....ගෙදර ඇවිත් බලනකොට මෙන්න කකුළෙන් ලේ එනවා ...ඒ පාර ඉතින් කෝපි කොළ තලල බැඳල තිබුණා , තුවාලේ හොඳ වුනේ නැහැ , ටික ටික වැඩිවුනා අන්තිමට මෙතන හිලක් වගේ තුවාලයක් ආවා ..බැළුව හරියන්නෑ වගේ ඒ පාර ගමේ ඉස්පිරිතාලෙට ගියාම එහෙ D.M.O. මහත්තය කිව්ව තුවාලේ එච්චර හොඳ නැහැ , කරාපිටි ගිහින් ටිකක් බලව ගන්න කියලා , මෙහෙ ආවම කියාපි , තුවාලේ තත්ත්වෙ නම් හොඳ නැහැ , ඔපරේෂන් කාමරේට ගන්න ඕන කියලා , එදා ආ ගමන තමයි මේ ,“ තරුණයාගේ හිතේ දුකක් පිරිල තියෙනවා වගේ ...එතැනින් එහාට ඒ ගැන කතා කළෙ නැති වුනාට ලෙඩේ තත්ත්වෙ ගැන , පරිස්සම් වෙන්න ඕන විදිය ගැන ටිකක් කතා කරල , ගියා අනෙක් රෝගියාව අඳුනගන්න ...

මේ කතාවත් එක්ක මට හිතුන දෙයක් තමයි අපි මේ ග්‍රීස් යක්කු ගැන කතා කරන්න ඕන කියලා , මොකද අද මේක  රැල්ලක් වගේ මතුවෙනවා , ඒකට එක එක හේතු එනවා , ඒත් මේ තත්ත්වයේ වෛද්‍යවිද්‍යාත්මක පදනම ගැන අපේ සාමාන්‍ය ජනතාවට ඇති තරමට කතා කරන එක හොඳයි කියල හිතුන , මොකද අපි මහා ලොකු වට මේ ග්‍රීස් යකෙක් ගැන කතා කළාට මේ දවස් වල , ඔයිට වැඩිය යක්කු ඉන්නවා බස් වල , නනා තොටේ (හැබැයි කළු කුමාරයා නොවෙයි ) , කාන්තා නේවාසිකාගාර අවට , පාළු මංමාවත් වල , ඒ විතරක්ද ඔය ටෙලිෆෝන් එක ඇතුළේ මේ ජාතියේ යක්කු ඉන්නවා ...එහෙම කියන්න ගියොත් අපි වටේම යක්කු රැලක් ඉන්නවා , ඒ වුනාට අපි ආතුරයො නොවී ඉන්නනම් යකා ගැන ටිකක් කතා කරමු ....ඒ දැන ගැනීමම යකා එලවන්න උදව්වක් වේවි , 


මුලින්ම කියන්න ඕන මේ බොහොමයක් ග්‍රීස් යක්කු මානසික රෝග , ගැටළු තත්ත්ව වලින් පෙළෙන්නන් , 

දැන් අපි බලමු මේ මානසික තත්ත්වයන්ට හේතු මොනවාද කියලා , 

යකාගේ බීම  නේ .......
මූලිකවම කියන්න තියෙන්නේ මේ තත්ත්වයට ස්ථිරවම හේතුව මේකයි කියල තවමත් හරියටම හොයාගෙන නැහැ , ඒ කියන්නේ තවමත් මේ රෝග තත්ත්ව ගැන පරියේෂණ කරමින් පවතිනවා , හැබැයි මේ  වන විට කළ පර්යේෂණ සහ හඳුනාගත් සාධක අනුව මේ ග්‍රීස් ලෙඩේ වගේ රෝග වලට බලපෑ හැකියැයි හදුනා ගත් සාධක ගනනාවක් තියෙනවා , සමහර විට මොළයේ හෝ ස්නායු පද්ධතියේ යම් අසාමාන්‍යතාවයක් නිසාත් මෙහෙම වෙන්න පුළුවන් (biological effects) ඒ කිව්වේ මොළයේ හෝ ස්නායු පද්ධතියේ විවිධ රෝග වලදිත් මානසික සුවතාවය වෙනස් වෙන්න පුළුවන් , එවිට මේවගේ ගැටළු ඇති වෙන්නට අවදානමක් තියෙනවා , ඒ වගේම Alcoholism කියන තත්ත්වයේදීත් ,ඒ කියන්නේ මත්පැනට අධිකය ඇබ්බැහි වීම (කාළක් නැතිව ඉන්නම බැරි අය ) මේ රෝග උග්‍ර කරන්න හේතු සාධකයක් වෙනවා, ඒ වගේම දරුවෙක්ගේ වර්ධන අවධි (developmental stages ) වලදි ඔවුන්ට ඇති වන සිදුවීම , උදාහරණයක් කිව්වොත් ළමා වයසට දරා නොගත හැකි තරමේ නීති -රීති දණ්ඩණ වලට යටත්ව , තම අදහස් , හැඟීම් පවා ප්‍රකාශ කරන්නට , කුතුහලය ගැන අවබෝධයක් ගන්නට පවා නොලැබෙන තරම් තද බල පීඩනයක් 
යක් පැටියෙක් හදන “මානසික පීඩනය“
දෙමාපියන් හෝ ගුරුවරුන් විසින් ඇති කරන්නේ නම් , ඒ දරුවා වැඩිහිටියෙක් වුන දවසක මේ වගේ දුර්වල පුද්ගලයෙක් වීමේ අවදානමක් තිබෙනවා , ඒ වගේම ළදරු කාළයේදීම විවිධ ලිංගික අතවර වලට ලක්වීම වගේම වැඩිහිටියන්ගේ ලිංගික ක්‍රියාවන් (සමහර විට දෙමාපියන්ගේ ලිංගික ක්‍රියා) බලා සිටිමට අවස්ථාව ලැබිම වැනි තත්ත්වයන් වලදිත් , මේ දරුවා වැඩිහිටියෙක් වූ දවසට මේ වගේ විකෘති ලිංගික ආශාවන් සහිත දුර්වලයෙක් බවට පත් වෙන්න පුළුවන් බව සොයා ගෙන තිබෙනවා , මීට අමතරව විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම , වගේම දුර්වල පෞරුෂයන්ගෙන් යුක්තවීමත් ( පිරිස සමඟ මිත්‍රශීලීව ගත කළ නොහැකි , හැම විටම ගැටුම්කාරී චරිත පෙන්වන , හෝ සැගවුනු ගුප්ත චරිත ඇති , අපි කියන්නේ උපාසක බලලු කියල නේද ? ) මේ අයත් යම් අවස්ථාවක මේ වගේ ග්‍රීස් යකෙක් වෙන්න පුළුවන් , මීට අමතරව නිසි වයසට විවාපත් වීමට නොහැකිවීම  වගේ සමාජ-ආර්ථික සාධකත් මීට බලපානවා , ඒ වගේම විවිධ සමාජ -ආර්ථික හේතු එක්ක බිඳ වැටුනු පවුල් ඇතිවීම වැඩි වීමත් මීට සෘජුවම බලපානව බව හදුනාගෙන තිබෙනවා , ඒ විතරක් නොවෙයි දිගු කාළීනව , වරින් වර සමාජය පිළිනොගන්නා සතුට ලබන්නට යාමත් මේ වගේ තත්ත්ව වලට පාර කැපීමක් වෙන්න  පුළුවන් , 

කෝච්චිය වගේ ආවට තාම කිව්වේ නැහැනේ මේ අසාමාන්‍යතාවය එහෙම නැත්නම් ලෙඩේ මොකක්ද කියලා ... මේක අපි වෛද්‍යවිද්‍යාත්මකව හදුන්වන්නේ Paraphilia පැරෆීලියා කියලා , ඒකට නියම සිංහල වචනේ මමත් දන්නේ නැහැ , එත් මේකට කියන්න පුළුවන් පැත්තක (para) ඉඳගෙන(philia) ,   love or lust කිරීම කියලා . මේ විදියට කියත්දිම තේරෙනවා ඇති මේක නියුමොනියාව වගේ ලේසියෙන් හඳුනගන්න , ප්‍රතිකාරය සඳහා යොමු කරන්න පුළුවන් වැඩක් නොවෙන වග , මොකද මේ තත්ත්වය ඒ තරම්ම සංකීර්ණයි , ඒත් මේ ගැටළු තත්ත්ව හඳුනාගෙන නිසි ප්‍රතිකාරයකට උදේශනයකට යොමු කරනවා නම් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුළුවන් , ප්‍රශ්නේ තියෙන්නේ මේක ලෙඩක් කියල හඳුනාගන්නේ නැති එකයි , දැනගත්තත් ප්‍රතිකාරයකට යොමු නොවෙන එකයිනේ ...

පොතේ හැටියටම කිව්වොත් මෙහෙමයි යම් උපකරණයක් , ද්‍රව්‍යයක් මගින් , සාමාන්‍ය මිනිස් ලිංගික චර්යාවෙන් තොරව වෙනත් හෝ බලහත්කාරය මත දරුවෙක් හෝ යම් අයෙක්ගෙන් ලිංගික ආශ්වාදයක් ලබා ගන්නවා නම් හෝ ,තමාම හෝ වෙනත් අයෙක් රිදවිම , වේදනාවට පත් කිරීම මගින් ලිංගික සතුටට පත්වීමට උත්සාහ දැරීම  හෝ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීමේ අවශ්‍යතාව තිබීම තමයි මේ රෝග කාණ්ඩයට දෙන පැහැදිළි කිරීම , 

උපදේශනයට යොමු වෙන්න ....
විශේෂ තත්ත්වයක් තියෙනවා මේ ලක්ෂණ හෝ අවශ්‍යතාව (වැරදි චර්යාවන් ) පිළබඳ හැඟීම් නිරන්තරයෙන් ඇති වෙනවා නම් , එම චර්යාවන් වල යෙදුනානම් ඒ වගේම මාස හයකට වඩා පැවතුනානම් ටිකක් පරිස්සම් වෙන්න , යකාගේ ඡායාවක් වෙන්න පුළුවන් , 


තව ටිකකින් නම් එක්කම මේ යක්කු ටික එළියට දාන්නම් (දහ අට සන්නිය නටන්නම් )  , එතැනදි මේක කියවලා අහක දාන්න එපා , තමන් ළඟ මේ කියන ලක්ෂණ එකක් හරි තියෙනවා නම් එය නිවැරදිව හඳුනගන්න උත්සාහ කරන්න  , තේරුම් ගන්න මේ යක්ෂ ඡායාව , අනාගතයේ ඔබට , ඔබේ බිරිඳට , ස්වාමියාට සමස්ථයක් ලෙස පවුලටම ඉන් විය හැකි හානිය , සමාජීය වශයෙන් වගේම සෞඛ්‍යානුකූලව ඔබට විය හැකි හානි සහ පාඩු , ඒ තත්ත්වය හඳුනගත්තා නම් උත්සාහ ගන්න ඇඟට වැටිල තියෙන මේ යක්ෂ ඡායාව ඉන් එලවල ඉවත් කරල දාන්න , ඔබේ විතරක් නොවෙයි ඔබේ දරුවා , පවුලේ සාමාජිකයා හෝ මිතුරා තුල මේ අඳුරු සෙවනැළි තිබේනම් උදව්ව කරන්න ඔවුන්ට එය හඳුන ගන්න , උදව්කරන්න නිවැරදි වෙන්න , ඒ හැකියාව තමන්ට නැත්නම් , අපහසුයි කියල දැනෙනවනම් යන්න ඔබේ රෝහලේ “මානසික රෝග ප්‍රතිකර ඒකකයට හෝ උපදේශ ඒකකයට Counselling unit “ , බය වෙන්න එපා ඔය තැන් වලට යන හැමෝම පිස්සෝ නෙවෙයි , තවත් හේතු ගණනාවකට මෙම සායන , ඒකක වලට පුද්ගල එනවා , අනෙක ඔබේ අසාමාන්‍යතාවය ඔබටම හඳුනගන්න පුළුවන් නම් ඒක කොයි තරම්ම වාසනාවක්ද ? 

දහ අට සන්නියට ඉස්සර වෙලා තවත් වැදගත් කරුණු කිහිපයක් කියන්න තියෙනවා , මේ තත්ත්වය ඇති කිරීමට හේතු සාධක ගණනාවක් අද අපේ සාමජය තුල  තියෙනවා , දරුවන් මත ඇති වන පීඩනය වැඩියි  ඒවගේම  කුඩා කාළයේදීම ලිංගික චර්යාවන් හෝ වැරදි ලිංගික ක්‍රියා දක්නට ලැබෙන අවස්ථාවන් පහසුකම් අද වැඩියි , දැන් මත්ද්‍රව්‍ය වගේම මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන්න පුළුවන් ඖෂධ ඇබ්බැහියත් සිඝ්‍රව වැඩි වෙනවා (මේ ගැන දැන ගන්න “අනිත් කොණ“ බලන්න) ඊටම මේ ආර්ථික - සමාජයීය සාධකත් එක් වුනාම හෙට දවසේ “යක්කු නටන පරිසරයක“ ජීවත් වෙන්න වේද කියල පොඩි බයකුත් ඇති වෙනවා.

ඕං දැන් අපි දැන ගනිමුකො මේ යක්කු ටික සහ ඒයාල ගැන ටිකක් ....හොඳට දැන ගන්න මේ ඔක්කොම පිරිමි යක්කු  විතරක් නොවයි , යකින්නියොත් ඉන්නවා ඒ කිව්වේ මේ තත්ත්වය පිරිමි සහ කාන්තා අතර අනුපාතය බැළුවොත් එය  20:1  වගේ පවතිනවා , 

අපි දැන් බලමු මේ paraphilia තත්ත්වයේ අවස්ථා කිහිපයක් , 


ඕං පෙන්නුවා......
Exhibitionism , මේ අය හඳුනාගන්න හරිම ලෙසියි , මොවුන් තම ලිංගික ආශ්වාදය සපුරා ගන්නේ තම ලිංගික අවයව හදිසියේම වෙනත් අයෙකුට ප්‍රදර්ශනය කරලා , ඒ හදිසි දර්ශනයෙන් අනෙක් පුද්ගලයා තැති ගැනීම බියවීම සහ කෑගැසීම , අර “රෝගියාට“  ලිංගික වින්දනයක් වෙනවා , බොහොමයක් මේ තත්තවයේ සිටින්නේ පිරිමින් , විශේෂයෙන්ම හුදකලා පාරවල් , නවාතැන් පොළ වල් වැනි තැන් වලින් මතුවෙන , “දර්ශනයක් “ පෙන්වල ක්ෂණිකව අතුරුදහන් වෙන මේ පුද්ගලයා ප්‍රතිකාර ගත යතු අයෙක් , බොහෝ අවස්ථාවල සැඟවුනු චරිතයක් තිබෙන මොහු තනිව සිටීමට හුඟක් කැමතියි , ඒ වගේම ස්වයං වින්දනය මඟින් තම ලිංගික සතුට උපදවා ගන්නා මොහු පවුල් බැඳිමෙන් බිඳුනු අයෙක් වීමේ අවස්ථාව ඉහළයි ..

දැන් අනෙක් එක්කෙනා , Fetishism එයා අර මුලින් කීකෙනා වගේ ඇවිත් පෙන්නලා බය කරන්නේ නැහැ , හොරෙන් ඇවිත් කාන්තා යට ඇඳුම් , කාන්තා සපත්තු අරගෙන ගිහින් ඒ එක්ක ලිංගික චර්යාවන් කරන , එයින් සතුටු වන පුද්ගලයෙක් , මොහු “සාමාන්‍ය ,ස්වභාවික ලිංගික චර්යාවන්ගෙන් සතුටක් ලබන්නට බැහැ කියන මතයේ ඉන්නේ “ , මේ අය ඔබටත් සමහර විට හඳුනගන්න පුළුවන් වේවි , ඔබේ නේවාසිකාගාරයේ ඉන්න මිත්‍රයා අනවශ්‍ය විදියට මෙවැනි දෑ රැස් කරන්නෙක් නම් (හොර කම් නොකළත් ) ටිකක් හොයල 
ආදරණිය සපත්තු ......
බලන්න , උදව් කරන්න මෙයින් ගැලවෙන්න , මේ තත්ත්වයේම තවත් අවස්ථාවක් තියෙනවා , ඒ දේහයේ සාමාන්‍ය ලිංගික ක්‍රියාවට භාවිත නොවන කොටස් සමඟ ලිංගික චර්යාවන් කරමින් සතුටට පත් වීම , බොහෝ වෙලාවට පාදයෙ පතුල , පියයුරු , තට්ටම් වගේ ප්‍රදේශ එක්ක එක්වන මේ පුද්ගලයා ප්‍රධානවම ලිංගික සතුටට පත් වෙන්නේ එමගින් . මේ තත්ත්ව විවාහක පුද්ගලයින් අතරේ පවා තිබෙන්නට පුළුවන් , අවාසනාව මෙය යම් මානසික ගැටළුවක් බව නොහඳුනා ගැනීම , ඒ වගේම තම පාර්ශවකරුගේ සතුට සහ ගෞරවය වෙනුවෙන් මේ සියළු මානසික ආබාධිත ක්‍රියා ඉවසා දරා සිටින කාන්තාවන් අපේ සමාජයේ අදටත් ඉන්නවා .

බස් එකේ වින්දනේ ......
ඔබ සෙනග වැඩි , තද බදයක් සහිත බස් එකක , දුම්රියක ගියොත් තවත් මෙබඳුම මානසික ගැටළුවක් සහිත කාණ්ඩයක් හඳුනා ගන්න පුළුවන් , අපි සාමාන්‍යෙයන් කියන්නේ “ජැක් කාරයා “ කියලා , ඒ වගේ පොදු , තදබදයක් සහිත තැනකදි වෙනත් අයෙක්ගේ ඇඟේ ඇතිල්ලෙන , ලිංගික උත්තේජනයන් ලැබෙන ප්‍ර දේශ වලට (තට්ටම , පියයුරු, මුහුණ ) තෙරපීම් දෙන මොවුන් හඳුන්වන්නේ Frotteurism ෆ්‍රොටෙයුරිසම් කියන නමින් , මේ අයටත් බෙහෙත් දෙන්න ඕන  , නිසි ප්‍රතිකාරයක් කරන්නට උපදේශනයක් දෙන්නට ඕන . දැන් අපි ගැන කතා කරමු , පුද්ගලිකව තමන්ට මේ වගේ විකෘති හැඟීමක් නිරන්තරයෙන් , ඇති වෙනවා නම් , එයින් සතුටක් ලැබෙන බවක් දැනෙනවානම් ඔන්න අනතුරක් , නිසි තැනකට යොමු වෙන්න  , නැත්නම් ඔබේ අනාගතය අඳුරේ ....

දැන් ඔන්න ග්‍රීස් යකා ගාවට ආව , Masochism මේ තත්ත්වයේදී අදාල පුද්ගලයා සතුටට පත් වෙනනේ තව පුද්ගලයෙක්ට රිද්දලා , ලේ හලලා , කපල සමහර විට සැපීම් කරළා , මේ විකෘති ආශාව මගින් සතුට ලබන්නා මැසොකිසම් කියන මානසික අසාමාන්‍යතාවයට ලක් වුවෙක් , මෙහි උග්‍රම අවස්ථාවට ආවට පස්සේ විරුද්ධ පාර්ශවයේ පුද්ගලයා ගෙල සිර කර ඒ දෙස බලා , ඔහු හෝ ඇය විදින මරණයේ වේදනාව ලිංගික සතුටක් විදියට දකින්න තරම් විකෘති තත්ත්වයකට මොවන් පත් වෙනවා ,  
රිඳවා විඳවීම.....
සමහර විට මේ ග්‍රීස් යකාත් ඒ ජාතියෙ ලෙඩෙක් වෙන්න ඇති , මේ එක්කම යන තවත් තත්ත්වයත් තමයි sadism මෙහිදී තම ලිංගික සහකරු හෝ සහකාරිය වේදනාවට පත් කිරීමේ ලිංගික චර්යා මගින් සතුටට පත් වීමක් සිදුකරනවා , එය සමහර විට ලිංගික චර්යාවක් පමණක් නොවී තදබල සිත් වේදනාවක් හෝ ලැජ්ජාවකට පත් කිරිම් වෙන්නත් පුළුවන් , මේ හැම ක්‍රියාවෙන්ම රෝගියා “සතුටක්“ ලබනවා , (සතුටක් කිව්වාට එය අවාසනාවන්ත සහ අමානුෂීක සතුටක්) , බොහෝ වෙලාවට මේ දෙකම එකට අරගෙන sadomasochism නමින් තමයි හදුන්වන්නේ 

මේං ටොමියා...
අනෙක් කට්ටිය ගැන අහන්න හොඳම අය තමයි කාන්තා නේවාසිකාගාර වල ඉන්න අය , නෑ නෑ මම කීවේ එයාල ලෙඩ්ඩු කියල නෙවී , ඔය කාන්තා නේවාසිකාගාර වල ජනෙල් වලින් , නාන කාමර වලින් එබෙන , සමහර විට වැසිකිළයට පවා එබෙන රෝගීන් කාණ්ඩයක් ඉන්නවා , ලොකු කරදරයක් නොකළත් මේ දර්ශනය දැකීමෙන් , ඒ ගැන සිතීමෙන් තමා ඔවුන් Voyeurism හෙවත් peeping tom ලා සතුටට පත් වෙන්නේ , 


තව කරදරකාරයෙක් ....
දන්නවනේ කරදරකාර ඇමතුම් , විශේෂයෙන්ම අසභ්‍ය අදහස් , ප්‍රකාශන වරින් වර යොමු කරමින් අනෙක් පාර්ශවය අපහසුතාවයට පත් කරන්නෙත් මේ මගේම මානසික ව්‍යාධියකට ලක්වූ පිරිසක් ,එම තත්ත්වය scatolophilia කියලයි හඳුන්වන්නේ .

ඔය වගේ කිව්වොත් ලෙඩ පනහක් හැටක්  කියන්න පුළුවන් , නමුත් ඒ සියල්ල මෙතැන කියවීමේ ප්‍රයෝජනයක් ලැබෙන එකක් නැහැ , අඩුම තරමේ  මේ කතා කළ තත්ත්ව ගැන හරි දැන ගෙන එයින් ගැලවෙන්නට  යමක් කළ හැකිනම් එයයි වැදගත් ...

එහෙනම් අදත් තොවිලේ ඉවරයි , යන්නම් ...පරිස්සමින් ඉන්න , යක්කු වැහි වැහැල , දැන් අහන්න එපා කෝ යකා කියලා , ටිකක් බලන්න සමාජය , ඔබේ වටපිටාව ඔබටම හඳුනගන්න පුළුවන් වේවි ....




අපේ සොඳුරු සුව මිතුරු හවුලට ඇවිත් මේ වගේ දේ ගැන තවත් දැනුවත් වෙන්න , කැමතිනම් එන්න මෙතැනින් ..

36 comments:

  1. මටත් මානසික රෝගයක් තියෙනව වගේ...

    තනියම ඉන්න කැමති එක, අනිත් මිනිස්සු මත ඩිපෙන්ඩ් නොවී ඉන්න උත්සහ කරන එක, ලේසියෙන් මිනිස්සු එක්ක හිතවත් කම් ඇති කරනොගන්න එක, අඩුවෙන් කතා කරල වැඩිපුර අහන් ඉන්න කැමති වීම, කියන ඒවත් මොකක හරි රෝග ලක්ෂණයක්ද දන්නෙ නෑ...

    ReplyDelete
  2. මට පේන විදිහට රටෙන් භාගෙකට බේත් දෙන්න වෙනවා....අනිත් බාගෙට බේත් ගන්න වෙනවා..........දැනුවත් කිරීමට ස්තුතියි ..

    ReplyDelete
  3. ගොඩක් මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න උනන්දු නෙවන එක ඒවා උත්සන්න වෙන්න ලොකු හේතුවක්.මේ වගේ රෝග තියෙන අයව සමාජයෙන් කොන්කරන්නේ නැතුව උපදේශනයට යොමු කරන්න පුළුවන්නම් ඒක ලොකු උපකාරයක් :)

    ReplyDelete
  4. කාලයක් අපේ පැත්තෙත් ඔය විදිහේ ග්‍රීස් යකෙක් ආවා. ඒ මනුස්සයා වතු වලට පැනලා වලවල් වල තියෙන ගෑනු යට ඇඳුම් උස්සනවා. අයියා කිව්වත් වගේ ඒ මනුස්සයාට තියෙන්නේ අර කියන මානසික ලෙඩේ වෙන්ටෑ. ඒ වගේ එවුන්ව අල්ලලා හිරේ දානවට වඩා ප්‍රතිකාර වලට යොදවන එක තමයි කරන්න ඕනේ.

    අර බස් වල අරම ඉන්න කට්ටිය නම් මම් අනන්තවත් දැකලා තියෙනවා. ඒ වෙලාවට ගෑනු කට්ටිය නම් කරන්නේ දෙපිටින් යන්න බනින එක. එතකොට ඒ මනුස්සයා ශේප් එකේ බැහැලා යනවා. ඒකත් ලෙඩක් කියලා දැන ගත්තේ අයියගේ මේ ලිපියෙන්.

    ප.ලි. - අයියට වෙලාවක් තිබ්බොත් Bi-polar Affective Disorder කියන මානසික ලෙඩේ ගනත් ලිපියක් දාන්න. අපේ බැච් එකේ කොල්ලෙක්ට ඔය ලෙඩේ හැදුනා. ඒ ගන දැනගන්න කැමතියි.

    ReplyDelete
  5. සෑහෙන්න වැදගත් ලිපියක් ..........
    නොදන්න කරුනු ගොඩක් දැන ගත්තා ...
    බොහොම ස්තුතියි .....

    ReplyDelete
  6. සාතන් , මට හිතෙන විදියට නම් ඔබට කිසිම ගැටළුවක් නැහැ  , ඒ ඔබේ පෞරුෂය , මේව රෝග තත්ත්වයක් බවට හැඳින්වෙන්නේ එම ක්‍රියා මගින් පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිත ක්‍රියාවට බාධාවක් වන තරමටම බලපෑමක් කරනව නම් විතරයි , ඔබ අඩු වෙන් කතා කළාට අන්තර්ජාලය තුල මිතුරන් විශාල පිරිසක් හදාගෙනනේ ඉන්නේ, මමත් ඔබේ හිතවත් මිතුරෙක් වන්නට නිඹඳව උත්සාහ කරනවා ....ස්තුතයි

    ReplyDelete
  7. sameera ,
    ඔව් සමීර ඒකත් ඇත්ත තමා , කොහොම වෙතත් පෘතග්ජන අපි හැමෝම ගාවම යම් තරමින් මානසික ගැටළු තියෙන්න පුළුවන් , ඒත් ඒව අපේ සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවන මට්ටමින් තියා ගන්න අපිට පුළුවන් නම් ඒකයි දිනුම ..ස්තුතියි සමීර ...

    ReplyDelete
  8. ChammA ,
    ඇත්තෙනම් ChammA විය යුතුදේ එයයි , නමුත් අවාසනාවට වඩා නොදැනුවත් කම නිසා සිදු වන්නේ එහි පරස්පරය ....ස්තුතියි එක්වූවාට

    ReplyDelete
  9. මධුරංග,
    ඇත්තටම මධුරංග අපි මේ තත්ත්ව දැන ගන්නවානම් අපේ මානසික සෞඛ්‍යයටත් හොඳයි , නැත්නම් අපිට මේ සමාජයේ ඉන්න වෙන්නේ තරහ , ආවේගය හිතේ පුරවගෙන ,
    අනිවාර්යයෙන්ම Bi-polar Affective Disorder ගැන ඉදිරියෙදි කතා කරන්නම් , දැන් කෙටියෙන් කියන්නම් , මෙතැනදි සිදුවන්නේ ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවය යම් කාළ සීමාවකට වතාවක් පරස්පර තත්ත්ව වලට පත්වීම , කෙටියෙන් කිව්වොත් එක කාළෙකට හරිම සතුටින් හැමෝ එක්කම එකතු වෙලා , විනෝදෙන් ඉන්න කෙනා ආයෙත් කාළෙකදී බොහොම දුක්බවර , කඳුළු පෙරපෙර , කාගෙනුත් අයින් වෙලා තනියම ඉන්න බලනවා , මේ අවස්ථාවේ සියදිවි නසා ගන්න වුනත් පෙළඹෙන්න පුළුවන් , අපි හමෝගෙම සහයෝගය ලැබිය යුතු තත්ත්වයක් මේක ...ඉදිරියේදි වඩාත් විස්තර එක්ක කතාවක් කියන්නම් . බොහොම ස්තුතියි මධුරංග ...

    ReplyDelete
  10. ඉතාම හොඳ ලිපියක්. මේවා සාමාන්‍ය ජනයා දැනගත යුතුයි. ඒ නිසා අපි වචන හදලා හරි ටිකක් සරල කරමු. මම බලන්නම් ආයුර්වේදෙ මේවට කියන වචන මොනවද කියලා. එහෙම තිබුනොත් අපි ඒවත් අරගෙන තව සරලව කියමු. මොකද මේවා ජනයා අතර ඉතාම වේගයෙන් ප්‍රචාරය වෙන්න ඕනෙ. නැත්නම් ග්‍රීස් යක්කු විතරක් නෙමේ තව තව මොන මොන යක්කු අපේ අහිංසක මිනිස්සුන්ට වින කරයිද දන්නේ නැහැ.

    ReplyDelete
  11. පන්සල් හංදිය,
    බොහොම ස්තුතියි ඔබට ,

    ReplyDelete
  12. වෙද ගෙදර මහ වෙදනා ,
    ඇත්තෙන්ම ඔබ හරි , මේ සමහර මාතෘකා මහජනතාව අතරට ගෙන යත්දි පවතින එක ගැටළුවක් තමයි මේ වචන යුද්දය ..අනිවාර්යයෙන්ම අපි යමක් කරමු , නැත්නම් ඔබ කියනව වගේම මොන මොන යක්කු මතුවේද දන්නෑ ..ස්තුතියි

    ReplyDelete
  13. අදත් මේවගේ සිද්ධියක් වෙබ් අඩවියක තියෙනවා ගිහින් බලන්න ,
    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=6499:2011-08-04-10-57-05&catid=1:2010-11-08-15-13-52&Itemid=50
    August 4, 2011 6:53 PM

    ReplyDelete
  14. ඔබගේ ලිපිය මම කලින් බැලුවත් comment කලේ නැත්තේ මටත් යමක් කියන්න තිබුන නිසා. මේ කතාව මාව කම්පනයට පත් කල එකක්. මම තාමත් මේ ගැන හිතනවා.

    මා ඒ කාලේ නුගේගොඩ ප්‍රදෙශයේ නේවාසිකව හිටියා.පන්තියට ගිහින් හවස එනකොට අතුරු පාරක් දිගේ ආපු කාරයක් මා අසල නවත්වා මගෙන් පාරක් ගැන ඇසුවා. ඒ කාරයේ ආවේ කඩවසම් ටිකක් මැදි වයසේ මහත්තයෙක්.. ඒ දුටුව දර්ශනයෙන් මට සිහි එලවාගන්න බැරි උනා. ඒ තැනත්තා හිටියේ නිරුවතින්. උඩ කමීසයක් ඇදලා සිටියා. ඔහුගේ ලගම හිටියා හුරුබුහුටි වයස අවුරුදු 3 පමන කුඩා දැරියක්.. ඒ දැරිය ඉතා අසබ්ය දෙයක් කරමින් හිටියේ.
    මට සිහි එලවගන්න බැරි උනා මේ දර්ශනයෙන්. මම තාමත් හිතන්නේ ඒ දැරිය කාගේ හරි දරුවෙක්. පොඩි රව්මක් එක්ක යන්න කියලා එක්කන් එනවා ඇති.. ඉතින් මෙවනි අයට මොනාද දෙන දඩුවම???

    ReplyDelete
  15. වෙනදා වගේම වටිනා දැනුවත් කිරීමක්. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  16. ගිම්හානී
    මේ බොහෝවිට Pedophilia කියන මානසික රොගී අවස්ථාවේ පසු වෙන අයෙක් වෙන්න පුළුවන් , ඔවුන් එම සතුට ලබන්නේ කුඩා දරුවන් සමඟ ලිංගිකව එක් වීමෙන් පමණයි ,
    මේ වගේ අවස්ථාවක රටේ සාමාන්‍ය නිතිය යටතේ ක්‍රියාත්මකව යම් දඬුවම් ලබා දීමක් කළ හැකි නමුත් නිසි ප්‍රතිකාරයකට යොමු කළ යුතුම වෙනවා නැත්නම් වෙන්නේ දඬුවමින් පසු නැවතත් මේ වැඩේ දිගටම කිරීම.
    ස්තුතියි වැදගත් කරුණක් ඉස්මතු කළාට

    ReplyDelete
  17. චතුරංග පෙරේරා,
    බොහොම ස්තුතියි එක්වූවාට

    ReplyDelete
  18. හරිම කාලීන මාතෘකාවක්.. මේ ලිපිය හරහා අපි පුවත්පත් වල දකින මතුපිට ප්‍රතිඵලය කියවල රෝගින්ට බැනල ඒක අමතක කරල දමන මානය බිඳ දමල තියෙනව..එහෙන් මෙහෙන් ටිකක් කියවල හිස්තැන් ගොඩාක් එක්ක තිබුනු දැනුම සෑහෙන්න පිරුනා ඔබගෙ මහඟු ලිපිය තුලින්.." අපි හැමෝම ගාවම යම් තරමින් මානසික ගැටළු තියෙන්න පුළුවන්.ඒත් ඒවා අපේ සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවන මට්ටමින් තියා ගන්න අපිට පුළුවන් නම් ඒකයි දිනුම" වටිනා උපදෙසක් !

    ReplyDelete
  19. වටිනා ලිපියක්
    ඇත්තටම වටිනා ලිපියක්

    ReplyDelete
  20. Weni , nila,
    බොහොම ස්තුතියි පැමිණියාට , කියවූවාට , අදහස් දැක්වූවාට , ඉදිරියේදීත් තවත් ලිපියකදී හමුවෙමු ,

    ReplyDelete
  21. මට හිතෙන විදියට අපි හැමෝටම මේ ආශාවල් තියෙනවා.මේ ලක්ෂණ උත්සන්න වීම නිසා සමාජයට ගැටළු ඇතිවෙනවා ඇති.

    ReplyDelete
  22. Anonymous,
    ඇත්තටම ඔබ හරි , ස්තුතියි

    ReplyDelete
  23. //තවත් තත්ත්වයත් තමයි sadism මෙහිදී තම ලිංගික සහකරු හෝ සහකාරිය වේදනාවට පත් කිරීමේ ලිංගික චර්යා මගින් සතුටට පත් වීමක් සිදුකරනවා//

    මෙය අනිත් පැත්තටත් සිදුවෙන්න පුලුවන් නේද . . . ???
    මගෙ මිතුරියක් ඉන්නව . . . විවාහ වෙලා දරුවෙකුත් ඉන්න. ඇයට ඕනෙ කරන්නෙ ලිංගික එකතුවීමකදි ඇගේ සහකරුවා විසින් ඇයව ඉතා දරුනු ලෙස ශාරීරික වේදනා වලට ලක් කිරීම. එයා කියන්නෙ අදාල කටයුත්ත ඉවරවෙද්දි එයාට කෙලින් හිටගන්න පුලුවන් නම් "ගතියක් නෑ" කියලයි.

    හොඳම දේ මේ දේවල් ඇගේ විවාහක ස්වාමිපුරුෂයා නොදැන සිටීමයි.

    ReplyDelete
  24. ඕනයා ,
    ඔව් මෙයත් අපි කතා කළ sadism තත්ත්වයේම එක් ආකෘතියක් විය හැකියි , නමුත් මේ // ඇයව ඉතා දරුනු ලෙස ශාරීරික වේදනා වලට ලක් කිරීම// කියන ස්වභාවය අනුවයි නිවැරදි වර්ගීකරණයක් කෙරෙන්නේ , උදාහරණයක් විදියට Phalloorchoalgolagnia කියන අවස්ථාවෙදි කාන්තාව සතුටට පත් වෙන්නේ පුරුෂ ලිංගික අවයව ඇතුළු විමේදි ඇයට අධික වේදනාවක් දැනුනොත් පමණයි ..
    ස්තුතියි වැදගත් කරුණක් ඉස්මතු කළාට...

    ReplyDelete
  25. වටිනා ලිපියක්‌....
    මෙවෙනිම පුද්ගලයෙක්‌ අප ප්‍රදෙශයෙන් හමුවුනා...කිඋවට ඇල්ලුවා..
    ඔහුව පොලිසියට බරදුන්නත් ඉන් එහට ගන්නා ක්‍රියාමාර්ග ලංකවේ පොලීසියවත් දන්නැ නැ මගේ හිතේ....
    මගේ අදහසනම් එවැනි පුද්ගලයන්ව ඔබ කියු පරිදි නිසි ප්‍රතිකරම වලට යොමු කල යුතුමයි...නැතිනම් වැන්නේ හෝද හෝද මඩේ දාන එක පමනයි.
    ස්‌තුතී....

    ReplyDelete
  26. හොඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් . ස්තුතියි .

    ReplyDelete
  27. සොදුරු මිනිසා,
    ඇත්තෙන්ම ඔබ නිවැරදියි , විය යුත්තේ මෙයයි .ස්තුතියි

    ReplyDelete
  28. Bindi .
    ස්තුතියි බින්දි ...

    ReplyDelete
  29. අදයි මට මේ ලිපිය කියවන්න පුලුවන් උනේ.ගොඩක් දේවල් ඉගන ගත්ත ඔබේ ලිපියෙන්.අදත් රේඩියෝ එකේ වැඩසටහනක් ගියා ඔය ග්‍රීස් යක්කු ගැන.උන්ව අල්ලලා පොලිසියට භාර දුන්නත් සති දෙකකින් විතර ඇප දීලා එවනවලු.වියයුත්ත වෙද‍‍ය්‍ය උපදේශ වෙත යොමුකිරීම.නැත්තම් මේ යක්කු ගැටලුව ඉවරයක් වෙන එකක් නෑ.

    ReplyDelete
  30. නදී,
    ඇත්තෙන්ම ඔබ නිවැරදියි , විය යුත්තේ මෙයයි .ස්තුතියි

    ReplyDelete
  31. bohoma sathutui oba weni ayek me wage wisheshanga idiripath kara apiwa denuwath karanawata..

    Obata hekinam "Vishadaya" yana manasika rogaya pilibada lipiyak pala karanna yei mama oben karunikawa illa sitinawa. Mada ema rogayen pasu wu ayek namuth prathikara genimen ma dan suwaya laba ethi namuth a pilibadawa wedi wisthara dena genimata balaporoththu wemi..

    Sthuthi..

    ReplyDelete
  32. Anonymous,
    බොහොම ස්තුතියි , මේ ගැන දැනටමත් ලිපියක් තියෙනවා
    http://nursinglanka.blogspot.com/2011/07/33-depression_17.html ඇවිත් කියවන්න ,
    බොහොම ස්තුතියි

    ReplyDelete
  33. මේ දැනුවත් කිරීමට ස්තුතියි මහේෂ්

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)