2011/08/06

42) කකුළු බෙහෙතෙ උකුළු මුකුළු ....

ට්‍රීං ට්‍රීං මේං මේං පණිවිඩයක් 


“ට්‍රීං ට්‍රීං .....ට්‍රිං ට්‍රීං ...“
“හලෝ ..“
“සර් මං අමන්දා ...පොඩි Invitation  කරන්න කතා කළේ ....“
“අහා ...මොකක්ද මේ invitation එක ?.ළඟදී ......?....“
“නෑ සර් ....අපේ ගෙරද අද Dinner එකට සර්ටයි මිස්ටයි බබාලටයි එන්න කියන්න කතා කළේ ...., ඊයෙ හවස ගෙදර ආව ..මට එන්න වුනෙත් නැහැනේ සර්ගේ farewell එකටත් ,......සර් එනවනේ ........“
මේ මගේ දෙදහස් හත සිසු කණ්ඩායමේ සිසුවියකගේ හඬ , මගේ දරුවෙක්ගෙන් උදේ පාන්දරම ලැබුණු මේ ආරාධනාව එකපාරටම බාර නොගෙනත්  බැහැ , ඒත් අද දවසේ රාජකාරි එක්ක සහ මේ දවස් වල කඩා වැටෙන වැහි එක්ක ටිකක් කල්පනා කළා..


“හරි අමන්දා ...අපි එන්නම් ..හැබැයි වැඩි ලොකු දේවල් කරන්න එපා , මොකද එන්න වෙන්නේ මගේ හවස ඩියුටි off වෙලා , අනෙක් හයියෙන් වැස්සොත් නම් එන්න බැරිවේවි දුවේ , දන්නවනේ මගේ යානයේ තත්ත්වේ ....“
“හරි , එහෙනම් අපි බලාගෙන ඉන්නවා , අනෙක අපේ පුංචිත් ඉන්නව ගෙදර , ඊයේ එයාට බෙහෙත් විද්ද , ටිකක් අමාරුයි වගේ , සර් ආවොත් ගොඩක් වටිනවා එයාටත් ....“


මට මතක් වුනා අමන්ද‍ගේ පුංචි අම්ම පිළිකා තත්ත්වයකින් පසුවන බව , අවුරුදු තිහක් විතර වන ඇය ප්‍රාථමික ස්ථානය හඳුනා Course unknown primary (C.U.P) නොගත් පෙනහළු , තයිරොයිඩ් පිළිකාවකින් පෙළුනා , මීට මාස දෙකකට විතර ඉස්සර අපි ඔක්කොම ගිහින් ඇයත් එක්ක කතා කරල ආවත් ඊට පස්සේ තත්ත්වෙ ගැන තවම අවබෝධයක් නැහැ ,


එහෙමනම් අද Dinner එකට අපි යනවා අමන්දලගේ ගෙදර ...


ලිස්සමුද අයියේ ...
කොහොම හරි රෑ අට වෙන්න ඉස්සර වෙලා අපි එතැනට ගියා , “ගියා “ කියනවට වැඩිය යැවුන වගේ , මොකද බයික් එක ආවෙනම් මට ඕන විදියට නෙවි 


..අමන්දයි , අම්මයි , තාත්තයි මගටම ඇවිත් ...
“අපි ඒත් බය වුනා පරක්කු වෙන කොට ...මේ පාරට පස්දාල තියෙන්නේ තලන්න කියලා , එත් වැස්සට මඩ වගුරක් වුනානේ ...මං වැඩිය බය වුනේ බයිසිකලේනේ එන්නේ , “ අමන්දගේ තාත්ත මගේ යතුරු පැදිය අල්ලගත් ගමන්මයි ...එතකොට තමයි මටත් මතක් වුනේ මෙතැනට එනකම්ම ආපු Ice skating ගමන ගැන  , පාරේ මඩ තට්ටුව නිසා බයික් එක ආවෙත් අයිස් උඩ ලිස්සනව වගේම තමයි ,


ටිකක් කතා කර කර හිටියට අමන්දගේ පුංචි අම්ම පේන්න නැහැ ,
“කෝ පුංචි ....ඇඳේ ද? ....“
“නැහැ ..එයා බුදුන් වඳින්න ගිහින් , කොහොමත් පැයක් විතර වැඳල නේ එන්නේ ...“ අමන්දාගේ තාත්ත කීවා.. අපි ටිකක් කතා බහ කළා , පැටවු ටික සෙල්ලම් කළා ...ඇයි දැන් පැටවු හතර දෙනෙක් ඉන්නවනේ  , අපේ දෙන්නට මල්ලියෙකුයි ලොකු අයිය කෙනෙකුයි හම්බ වෙලා ..අපිව මතකත් නෑ වගේ ....


“ආ නිශාන්ත මහත්තයලනේ  ....ඔන්න අපේ දූ උදේ ඉඳළම කියන කියවා හිටිය ...“ තට්ටේ පෑදුනු , ඉදිමුණු ඇඟක් එක්ක පුංචි ආව සාළෙට ...මේ තමයි අමන්දගේ පුංචි අම්මා , 


“ ඊයේ බෙහෙත් විද්ද , ඇඟට ටිකක් අමාරුයි වගේ , ඒ වුනාට වෙනද තරම් අමාරුවක් නැහැ ...මං ඉතිං හොඳට වතුර එහෙම බොනවානේ ...“ ගතින් රෝගී වුනත් ඇගේ හිතේ ශක්තිමත් බවනම් හරිම අපූරුයි , ලස්සන කොළු පැටවු දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්නේ ...


අපි රෑ ආහාරය අරගෙන ටිකක් විවේකයෙන් කතා කර කර හිටිය , මගේ බිරිද පවුලේ අනෙක් සාමාජිකයො එක්ක කතා කරත්දි මම අමන්දගේ පුංචි එක්ක ටිකක් කතා කළා , මොකද ඇයට හුඟක් දේ දැන ගන්න ඕන වග මට හැඟුණා , ..ඒ කතා කළ දේ අතරින් අපේ මිතුරු මිතුරිනට දැන ගන්නට ඕනම වැදගත් කරුණු ටික බ්ලොග් සටහනටත් දාන්න හිතුනේ , මේ තොරතරු නොදැනිමම , පිළිකා ප්‍රතිකාරයේ නිසි ප්‍රයෝජන නොලැබීමට හේතුවක් බව දැනෙන නිසා , මෙතැනදි මගේ වෘත්තීය ජීවිතේ වඩාත්ම කැමැත්තෙන් සේවය කළ පිළිකා ඒකකයේ සේවා කාළයේදි ලත් අත්දැකීම් වගේම එහිදි ලද විශේෂ පුහුණු මගින් ලබා ගත් දැනුමත් , අන්තර්ජාලය මඟින් ලබා ගත් නවතම  දැනුමත් එක් කරන්නට මම උත්සාහ කරනවා ...


මේං රජ මකුණා ( නැහැ කකුළුවා )
අපි මුලින්ම කතා කරමු මොකක්ද පිළිකාවක් කියන්නේ කියලා , මේ ගැන දීර්ඝ විස්තරයක් “පියයුරු පිළිකාව “ ගැන මගේ ලිපියේ සටහන් කළා , ඒ ගැන කියවන්න  ආයෙත් ඒ ගැන කෙටියෙන් කිව්වොත් පිළිකාවක් කියන්නේ “සාමාන්‍ය දේහ ක්‍රියාකාරීත්වය මඟින් පාළනය කළ නොහැකි , අක්‍රමවත් , නිසි ප්‍රයෝජනයක් නොමැති සෛල ගොණුවක් , ඒ සෛල වලට අපි කියන්නේ පිළිකා සෛල , cancer cells කියලා , ඒකේ චර්යාවන්  , හැඩය වගේ හේතු මත සමහර භාෂාවන් වලදි මෙය “ඇඟ ඇතුලෙ ඉන්න කකුළුවෙක් “ විදියටත් විග්‍රහ කෙරෙනවා , (මේ ගැන වීඩියෝ සටහනක් බලන්න )


දැන් ඔය කකුළුවා ඇඟ ඇතුළේ හැදුනාම වෙන්නේ ඇඟේ අනිත් හොද අවයව පටක  දුර්වල වෙන එක , මොකද මේ නරක කකුළුවා ඇඟට වැටෙන ඔක්කොම කැම බීම ඔක්කොම වගේ කනවනේ , ඉතිං හොඳ කට්ටියට ලැබෙන්නේ අඩුවෙන් , ඕක ඉතිං කොතැනත් ඔහොමමනේ නේද ? කොහොම හරි දැන් ප්‍රතිපලේ අපේ දේහයේ අනෙක් සාමාන්‍ය ක්‍රියාවන් වෙනස් වෙන එක , ඒ නිසා තමයි පිළිකා රෝගියෙක්ගේ විවිධ රෝග , ලක්ෂණ , වේදනාවන් , කරදර මතුවෙන්නේ ,


විසෙන් විස නසන්නා .......
දැන් ඉතිං ප්‍රතිකාරේ පටන් ගත්ත කියමුකෝ , ප්‍රතිකාරෙත් ටිකක් සැරයි , මොකද කතාවක් තියෙනවනේ “විසෙන් විස නැසිය යතුයි“ කියලා , ඒවගේම මේ පිළිකාවට දෙන සමහර ප්‍රතිකාරත් ටිකක් සැර , ප්‍රබලයි , ඒත් ඒවායේ හානිය අඩුකරගන්න පුළුවන් ක්‍රමත් තියෙනවා , අද ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්න හදන්නේ පිළිකා සුව කිරීම හෝ පාළනය සඳහා ලබා දෙන පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය හෙවත් Chemotherapy ලබා ගැනීමේදී ඇති වන අතුරු පල සහ ඒවායෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ., ඒ අපේ අමන්දාගේ පුංචිට කියල දෙන්න ඕන මේ කරුණු ගැන නිසා   ,


හරි දැන් පටන් ගනිමු , ඔය පිළිකානාශක ඖෂධ ප්‍රතිකාරය Chemotherapy drugs ගන්න රෝගීන් මුහුණ දෙන ප්‍රධානතම අතුරු ප්‍රතිපල කිහිපයක් ගැන අපි කතා කරමු , ඔය හැම දේකටම හේතුව මේ ඖෂධ දේහයේ විවිධ පටක මත , විශේෂයෙන්ම සීඝ්‍රයෙන් බෙදෙන , වර්ධනය වන පටක මත බලපැමක් ඇති කරන නිසා , 


මේක නම් දිය ඇල්ලක්.....
මේ ප්‍රතිකාරය ලබන්නන් වැඩියෙන්ම විඳවන ගැටළුව තමයි වමනය සහ ඔක්කාරය ඇතිවීම , සමහර විට ඔබ මේ ප්‍රතිකාර ගන්නා කෙනෙක් නම් CT drugs කිව්වත් ඇති වමනය යන්න එනව වගේ දැනේවි , ඒ තරම්ම වමනය සහ මේ ප්‍රතිකාරය ළඟයි . අපේ අත්දැකීම් විදියට අනෙක් සියළුම ගැටළු වලට වඩා (සමහර විට බෙහෙත් නිසා තට්ටේ පෑදුනත් කමක් නැහැ කියන කාන්තාවන් පවා වමනය සහ ඔක්කාරය ගැන නම් හරිම බයයි ) වැඩියෙන්ම අප්‍රසන්න තත්ත්වය තමයි මේ , මේ ඖෂධ වලින් මොළයේ විශේෂිත කලාපයකට Chemo-receptog trigger zone  හෙවත් CTZ) සහ ස්නායු පද්ධතියට කරන යම් බලපෑමක හේතුවෙන් තමයි මේ වමනය ඇති වෙන්නේ , අපි නිකම්ම වමනය කිව්වට ඒකට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ CINV - Chemotherapy-induced nausea and vomiting කියලා.


වමනෙට...
ඕක CT එක්කම බැඳිච්ච එකක් කිව්වට අද දවසේ බොහොම හොද ඖෂධ තියෙනවා වමනය පාළනය කරන්නට , Anti-emetics (වමනය වලක්වන ඖෂධ) කාණ්ඩයේ විවිධ වෙළඳනාම යටතේ නවීනතම , සමහර විට තරමක් මිල වැඩි ඖෂධ තිබෙනවා මේ ගැටළුව පාළනය කරන්නට පුළුවන් , කළබල වෙන්න එපා රජයේ රෝහල් වලින් නොමිලේම දෙන anti -emetics වලත් හොඳ හැකියාවක් තියෙනවා මේ ගැටළුව පාලනයට , එය ප්‍රමාණවත් නැත්නම් වෛද්‍යවරයා ඊට වඩා ප්‍රබල ඖෂධයක් නියම කරාවි , මේ ඖෂධ හිතුමතේට ගන්න නම් එපා , වෙන කරදර ඇති වෙන්න පුළුවන් , ඒ එක්කම කියන්න.(විශේෂයෙන්ම කියන්න ඕන සමහර Anti emetic වර්ග වලට දිව බර වෙන ගතියක් , බෙල්ලේ පැත්තක් හිර වෙන බවක් , මුහුණ තමන්ට ඕන විදියට පාලනය නොවන බවක් වගේ දැනෙන්න ඉඩ තියෙනවා , එහෙම වුනොත් කළබල වෙන්න එපා , ඔබේ වෛද්‍යවරයාට ඒ ගැන කියන්න , එය පාලනයට වෙනත් ඖෂධයක් දේවි , ටික වෙලාවකින් ඒ ගැටළුව ඇරිලයාවි , )


කතා කළේ බෙහෙත ගැනනේ , ඊට අමතරව අපි කරන්නට ඕන දේවලුත් රාශියක් තියෙනවා , විශේෂයෙන්ම මේ ගැටළුව තියෙද්දි කෑම බීම ගන්නේ කොහොමද කියල , මොකද අපේ අය හුඟක් අමාරුවේ වැටෙනවා , වමනය යාම නිසා කෑම බීම නොගැනීමත් එක්ක , ඒ නිසා වමනය ගියා කියල නොකා නොබී ඉන්න එපා , ටික ටික කන්න , ටික ටික බොන්න . විශේෂයෙන්ම දවස පුරාම වරින් වර වතුර ටික ටික බොන්න , එකවර හුඟක් බිව්වොත් වමනය යන්න ඉඩ වැඩියි , සමහර විට සීතල කළ වතුර බොන කොට වමනය එන තත්ත්වය ටිකක් අඩු වෙනවා. කෑම වුනත් එහෙමමයි , දවසට වාර 6ක් 7ක් විතර චුට්ට චුට්ට කන්න , හැබැයි හුඟක් තෙල් දාපු , තුනපහ දාපු බර කෑමක් කෑවොත් වැඩේ වරදීවි , ඒ නිසා ටෝස්ට් කළ පාන් පෙත්තක් , කෙසෙල් ගෙඩියක් , බත් එලවළු ටිකක් , එළවළු සුප් ටිකක් වගේ මෘදු කෑමක් ටික බැගින් ගන්න දෙන්න , කිසිම වෙලාවට බඩ පැලෙන්න තරමට පුරවන්න එපා , ඒ වගේම කාපු ගමන් නිදා ගන්න යන්න එපා , ඇඳේම වුනත් කමක් නැහැ ටිකක් වාඩි වෙලා , විනාඩි 30ක් පැයක් විතර පොතක් පත්තරයක් බලන්න පුළුවන් නම් වඩාත් හොඳයි , හොඳට මතක තියා ගන්න , වමනයට බය වෙලා කන්නේ බොන්නේ නැතිව හිටියොත් තියෙන ලෙඩේ මදිවට තවත් කරදර රාශියක් බලෙන් හදා ගන්න වේවි,


ටික..ටික....... ටික.... ටික... කන්න ....
බෙහෙත පටන් අරගෙන දවසක් දෙකක් විතර ගියාම ඔන්න තව ලෙඩක් , කට තොල් තුවාල වෙලා , කිසි දෙයක් කටේ තියන්න බැරි තරම් වේදනාකාරී , අත්දැකීමක් , මේකට හේතුව මේකයි , අපේ තොල් වල කට ඇතුළේ තියෙන සෛලත් හුඟක් වේගෙන් බෙදෙන සෛල , අර පිළිකා සෛලත් හුඟක් වේගෙන් බෙදෙන සෛල , දැන් බෙහෙත ඇඟ ඇතුලට ගියාම පිළිකා සෛලයට පහර දෙන ගමන්ම , ඒ වගේ වැඩ කරන , වේගෙන බෙදෙන අපේ හොඳ සෛල වලටත් පහර දෙනවා , හරියට අර පෙළපාලියට ගහනකොට ඒ ගාවින් ඉක්මණට යන සාමාන්‍ය මිනිස්සුන්ටත් “වැරදිලා“ පහර කන්න වෙනවානේ , අන්න ඒ වගේ ..


ආ....හොඳට කුචු කුචු කරන්න .....
අවාසනාවට මේ ගැටළුව නවත්වන්න අමාරුයි , ඒත් හොඳට වතුර බොනවා නම් (ඉහළ කී විදියට) , හොඳට පෝෂණ තත්ත්වය තියා ගන්නව නම් කරදරේ ටිකක් අඩු කර ගන්න පුළුවන් ,මොකද සම වියළිමත් එක්ක මේ ගැටළුව උග්‍ර වෙන්න පුළුවන් , ඊ ළඟට කරන්න ඕන දේ තමයි කට ඇතුල පුළුවන් තරම් තෙතමනය සහිතව සහ පිරිසිදු තියා ගන්න එක , ඒකට හොද උපක්‍රමයක් තමයි මද උණූසුම් ලුණු වතුරෙන් කට සේදීම , මද උණුසුම වතුර කොප්පයක් අර ගෙන , ඒකට ලුණු කුඩු තේ හැදි තුඩක් විතර දාල (තේ හැන්දෙන් 1/8ක් විතර) හොඳට කලත්තල කට හෝදන්න , වෙනද තරම්ම වේගවත්ව නැතිව ටිකක් මෘදු මේ සේදීම කරන්න , දවසට දෙවතාවක් වත් මෙහෙම කළොත් ඇති වන වේදනාව ටිකක් අඩු වෙනවා, මේ තත්ත්වය ආවට පස්සේ දත් මදින්න ඕන හුඟක් මෘදු දත් බුරුසුවකින් , දන්තාලේපයක් භාවිත කරන්න , හැබැයි තද දැවිල්ලක් එන දන්තාලේපයක් නොවේ නම් වැඩිය හොඳයි , මේ විදයට අඩුම තරමේ දවසට දෙවතාවක් වත් දත් මැදල , මුඛ සෞඛ්‍යය පිරිසිදුව තියා ගන්නම  ඕන , නැත්නම් කට ඇතුලේ , දිවේ සුදු පාටට උල්ලෝගම් කියන තත්ත්වය ඇති වෙලා (මේක දිලීර ආසාදනයක්) නැති කරදර ඇති වෙන්න පුළුවන් ,


සී.....තල කෑම
සීතල දියර වර්ග බොන කොට වේදනාව ටිකක් අඩුයි , කෝප්පෙට තොල් තියන්න බැරි තරම්ම තුවාල වෙලා නම් බිම බටයක් පාවිච්චි කරන්න , හැබැයි එය හොඳ පිරිසිදු , සහ සෝදාගත් එකක් විය යුතුමයි , උණූසුම් කෑම බීම වලට වඩා ටිකක් සීතල දේ ගන්න පහසුවක් දැනේවි , මේ අවස්ථාවේ තදින් හපන්න ඕන කෑම ජාති දෙන්න එපා , බොහොම මෘදු කෑම ජාති තමයි දෙන්න ඕන , බත් දුන්නත් ටිකක් බෙරි කරලා වගේ හදල දෙන්න , බිස්කට් දෙනවා නම් කිරි තේ එකක පොඟවල දුන්නොත් වඩා පහසුයි , කැඳ , සුප් වගේම වෙළඳ පොලේ තියෙන ....පෝෂ වගේ මෘදු ආහාරත් මේ අවස්ථාවේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගන්න හොඳ මාධ්‍යයක් වේවි , මොකද එක දිගටම කැඳ , සුප් විතරක් ගන්න හිතෙන්නෑ , වරින් වර කෑම ජාති මාරු කරන්න , ඒ වගේම කෑම එකේ සුවද , පෙනුමත් හරිම වැදගත් , බත් බෙදනකොට ඔක්කොම එකට දානවට වඩා , එලවළු , හොඳ වෙන වෙනම ගිහින් දෙන්න , රෝගියාට ඕන විදියට බෙදාගන්න , බෙදල දෙනව නම් ඒ කෑම එක දැක්ක ගමන් කන්න හිතෙන තරමට ලස්සනට , පිරිසිදුව දෙන්න , මොකද මේ වෙලාවේ හිත කියන්නේම “කෑම එපා කෑම එපා ....“ කියලා ...


බොන්නද ?  සූප්පු කරන්නද .? ...
මේ කෑම වර්ග සහ ආකාර දෙන්න එපා , තවත් වේදනාව වැඩිවෙන නිසා , ඒ තමයි අධිකව තුනපහ මිශ ආහාර , තද උණුසුම් ආහාර , තද ඇඹුල් ආහාර පාන (උකු දොඩම් යුෂ වැනි) දෙන්නත් එපා , ඒ ආම්ලික ගතියට වේදනාව වැඩි වෙනවා ,මත්පැන් ජාති දුම්වැටි ලං කරන්නවත් එපා , හැබැයි පොඩි අයිස් කැටයත් සූප්පු කරන්න දෙන්න , ඒකෙන් වාසි කිහිපයක් ලැබෙනවා , (හැබැයි අයිස් ඇඟේ ගෑවුනු හැටියේ ලෙස වෙන කෙනෙක් නම් දෙන්න එපා)




ඕං  දැන් අනෙක් ප්‍රශ්නේ , දැං හිතෙන ඇති ප්‍රශ්න පත්තරයක් නේද බොලේ කියලා , ඔව් ගැටළු ගනනාවක් තියෙනවා , එයින් ප්‍රධානතම ගැටළු ටික ගැන හරි අපි කතා කරමු , ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන්ද ?


අනෙක් ප්‍රශ්නේ තමයි කෑම අරුචිය ඇතිවීම , කිසිම කෑමක් ගැස ආසාවක් නැහැ , මේකට හේතු ගණනාවක් තියෙනවා , ඖෂධය මොළය මත කරන බලපෑමත් එක්කම , වමනය , ඔක්කාර තත්ත්වය නිසාත් කටේ ඇතිවල තුවාල නිසාත් මේ හැඟීම ඇති කරන්න පුළුවන් ,  ඒවගේම ඖෂධයේ බලපැම නිසා සුවඳ , රස නොදැනීයාම සහ මානසිකව ඇතිවන අවපීඩන ස්වභාවයත් මේ අරුචියට හේතු වෙනවා , කොහොම ආවත් මේ අරුචිය නිසා රෝගියාගේ තත්ත්වය තවත් උග්‍ර අතට යන්න පුළුවන් , දැන් අපි මොකද කරන්න ඕන , 


කෑම එපා කෑම එපා ..........
වෙනද වගේ කෑම වේල් තුනක් නැතිව පොඩි පොඩි කෑම වෙල් හත අටක් දෙන්න , බඩ පිරෙන්න නොවුනාට කමක් නැහැ , අනික මුලින් කියපු වේදනාව ඇති කරන , වැඩි කැන කෑම ජාති දෙන්න එපා , දෙන කෑම වර්ගත් මාරු කරන්න , එක දිගටම එකම කැම ජාතිය දෙන්න එපා , කෑම එක්කම පළතුරු ටිකක් යෝගට් එකක් වගේ දෙන්න බලන්න , අනෙක් කෑම ගන්න වෙලාවට පවුලේ ඔක්කොම රෝගියාත් එක්ක එකතු වෙන්න , පුළුවන් නම් ටී.වී එක බලන ගමන්ම කෑම ටික කන්න දෙන්න , මොකද එතකොට වැඩිය නොහිතම කෑම කනවා (හැබැයි නිරෝගී ඔබ නම් කිසි විටක රූපවාහිනිය නරඹන ගමන් කෑම ගන්න එපා , විශේෂයෙන්ම මහත වැඩිනම් කිසිම විටක ඒ වැරදි වැඩේ කරන්න එපා , මොකද අපි දන්නේම නැතිව , වැඩි පුර කෑම කැවෙනවා , ප්‍රතිපලේ තරබාරුව ) , අතින් අනාගෙන කන්න අමාරුයි වගේ නම් හැන්දකින් කන්න දෙන්න , straw එකකින් බොන්න දෙන්න , ඒකත් පොඩි උපක්‍රමයක් ...අනෙක් එක දිගටම ඇඳේ ඉන්න එපා , (වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න) , සුදුසු නම් ටිකක් ඇඳෙන් බහින්න , ඇඳ වටේ හරි ටිකක් ඇවිදින්න , නැත්නම් ගෙදර මිදුලේ , වත්තේ ටිකක් ඇවිදින්න , පවුලේ අයගේ උදව්ව , රැකවරණය යටතේ මේ කරන්න , මේ වියට ටිකක් මහන්සි වුනොත් කෑම ගන්න තියෙන අප්පිරිය ගතිය අඩු වෙනවා ,


ඇයි මං කැතද ?.......
කීමොතෙරපි අරගෙන සතියක් විතර යන කොට තමයි තවත් අප්‍රසන්න සුළු ගැටළුවක් මතු වෙන්නේ , මෙහිදී වෙන්නේ කෙස් ගැලවීයාමේ වේගය වැඩි වෙන එක , දැන් මොකද වෙන්නේ කොණ්ඩේ යනවා ,alopecia දවසක් කිහිපයකින් තට්ටෙ පෑදෙන්නත් පුළුවන් , මේ සිද්ධීයට හේතුවත් ඔය කෙස් ගහ ඇති කරන සෛලයේ තියෙන  වේගවත් ක්‍රියාකාරී බව , මෙතැනදිත් බෙහෙත හිතන්නේ මෙයත් පිළිකා සෛලයක් කියලා , දැන් මේ හොඳ කෙස් ගහ හදන සෛල වලටත් පහරදෙනවා , ප්‍රතිපලේ තමයි මේ , 


ලෙඩේ වුනාට හැඩේ කෝමද ?
මේ ගැනත් කියන්නේ තියෙන්නේ මේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙලා , ඒ ගැන හිත හදා ගන්න ඕන කියන එක  . මොකද මේක තාවකාළිකයි ප්‍රතිකාරය නවත්වලා මාස කිහිපයකින් ආයෙත් හොඳට කොණ්ඩෙ හැදෙනවා , සමහර විට තිබුණටත් වඩා හොඳට , අනෙක මේ ගැටළුව සම්පූර්ණයෙන් නවත්වන්න අමාරුයි , කරන්න පුළුවන් දේවල් විදියට , හිස සේදීමේදී මෘදු ෂැම්පු වර්ගයක් පමණක් භාවිත කරන්න , අනෙක තද අවුවේ යන්න එපා , එහෙම යන්න වෙනවා නම් හොඳින් හිස ආවරණය කරගන්න scarf එකක් වගේ උපක්‍රමයකින් , කොන්ඩේ පීරන්න ගන්න පනාව පළල් දැති තියෙන එකක් නම් වඩාත් හොඳයි , ඒ වගේම නිදා ගන්න යොදා ගැනෙන කොට්ටයත් මෘදු එකක්නම් කොණ්ඩේ ගැලවෙන එක ටිකක් අඩු වෙනවා , කොණ්ඩේ කොටට කැපීම හරි , මුලින්ම තට්ටේ ගෑමත් (විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වයට) , මෙහිදී ඇති වන මානසික පීඩනය අඩු කර ගන්නට හොඳ උපක්‍රමයක් , 



මෙහෙම ලියා ගෙන යද්දි නතර කරන්න හිතෙන් නෑ , මොකද තව දේවල් කියන්න ඕන , අනික දැන ගන්න දේ හරියට දැන ගන්නත් එපායෑ , ඒ නිසා මට තව ටිකක් ලියන්න අවසරයි නේ , ...


අපිටත් ගහනවෝ ........
අනෙක් ගැටළුව ඒ තමයි ඇඟේ රතු රුධිරාණු (Red blood cells) අඩුවිම නිසා ඇති වෙන නිරක්තිය anemia තත්ත්වය , සාමාන්‍යෙයන් ප්‍රතිකාරයෙන් සතියක් දෙකක් අතර ඇති වෙන්න  පුළුවන් මේ තත්ත්වයේදි ඇඟ ටිකක් සුදු මැළිවෙලි වෙනවා , විශේෂයෙන්ම ඇස් යට , දිව වගේ තැන්වල මේ සුදු මැළි බව හඳුනගන්න ලෙහෙසියි , ඒ එක්කම ඇඟ පත රිදෙනවා වගේ සමහර විට කලන්තේ වගේ හැදෙන්නත් පුළුවන් , නැත්නම් පොඩි ඔළුවෙ බර ගතියක් , නිදිමතක් වගේ එන්නත් පුළුවන් , අනික හුස්ම ගත්තට නිකං මදි වගේ , හුස්ම පිරන්නේ නැහැ වගේ දැනෙන්න පුළුවන් , මේ තත්ත්ව තිබේ නම් අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න , මේ වන විටත් F.B.C. Full  blood count කරන්න කියල තියෙනව නම් ඒ පරීක්ෂණයේ වාර්තාවත් අරගෙනම වෛද්‍යවරයා හමුවෙන්න , මොකද  එවිට පහසුවක් මේ ඇනීමියා තත්ත්වය නිගමනය කරන්න , මේකටත් හේතුව අර පොදු වැරදීම , ඒ කිව්වේ මේ රැධිර සෛල හදල මව් සෛලත් හරිම ඉක්මණට බෙදෙන , වර්ධනය වන සෛල කාණ්ඩයක් හරියටම පිළිකා සෛල වගේම , බෙහෙත් ගත්තම පිළිකාවට පහර දෙන කොටම , මේ හොඳ සෛල වලටත් වැරදිලා පහර දෙනවා , දැන් ඉතින් අපේ ඇඟේ තියෙන්න ඕන හොඳ සෛල ඒ කිව්වේ රතු රුධිරාණු , සුදු රැධිරාණූ White bool cells සහ ලේ කැටි ගැසිමට අවශ්‍යම පට්ටිකාත් විනාශ වෙනවා , නිශ්පාදනය අඩු වෙනවා , 


අපි දෙන්නටත් කරදරයි නේද  ........සුදූ ........
මේ විදියට ඇනීමියා තත්ත්වය ආවොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්න , හැබැයි මේ තත්ත්වය තරමක් හරි වලක්වා ගන්න  නම් , දී ඇති උපදෙස් වලට අනුකූලව හොඳ පෝෂණ තත්ත්වයක් තියා ගන්නම ඕන , ඒ කිව්වේ හොඳට කන්න බොන්න ඕන, විශේෂයෙන්ම ප්‍රෝටීන සහිත ආහාර ගන්න ඕන ඊට අමතරව බිත්තර මස් මිශ්‍ර සුප් වගේ දේවල් ගන්න එකත් වැදගත් , දවසට ටික දුරක් ඇවිදිම වගේ ටිකක් මහන්සි වෙන දෙයක් කරන්න , අනෙක දවසකට අඩුම තරමේ පැය අටක් වත් හොඳට නිදා ගන්න , ඒ වගේම දවල් කාළෙත් පැයක දෙකක පොඩි නින්දක් දාන්න දෙන්න , ඒකත් හරිම වැදගත් , 


දැන් ඕකෙම අනිත් සහෝදර ප්‍රශ්නේ infections-ආසාදන ඇතිවීම , ඒ කිව්වේ මුලින් කී විදයට අපේ ඇඟේ ඉන්න හොඳ සුදු රැධිරාණු W.B.C. විනාශවීම නිසා මොකද අපිට වෙන්නේ ? ....ඔය සුදු රැධිරාණු කියන්නේ හරියට රටේ ආරක්ෂණ හමුදාව වගේ , ඉතින් එයාල අඩු වනොත් , දුර්වල වුනොත් මොකද වෙන්නේ  රට ඇතුලේ වෙනත් කණ්ඩායම් වර්ධනය වෙමින් රටට කරදර , විනාශ කරනවා , ඔන්න ඔය වගේ W.B.C අඩු විම නිසා මේ රෝගීන්ට නිතර උණ හෙම්බිරිස්සාව වගේ පොඩි පොඩි ආසාදන වරින් වර ඇති වෙන්න පුළුවන් , පොඩි ඒව විතරක් නොවෙයි සමහර විට නියුමෝනියාව වගේ බොහොම උග්‍ර මරණිය තත්ත්වයට වුනත් පත්වෙන්න පුළුවන් රෝග ඇති වෙන්නත් පුළුවන් ,


හොඳටම උණ නේ ..?
දැන් බලමු කොහාමද මේ අනතුරින් වලකින්නේ කියලා , මුලින්ම කියන්න ඕන , පිළිකා නාශක ඖෂධ ගන්නා කෙනෙක්ට ප්‍රතිකාරයෙන් සතියකට දෙකකට  පස්සේ වේව්ලල තද උණක් (ෆැරන්හයිට් 100 හෝ වැඩි) හැදුනොත් , කණ් කැක්කුමක් හරි කනෙන් සැරව ගැනීමක් වගේ උගුරේ අමාරුවක් , ඔළුව එක්කම බෙල්ලෙ- කොන්දේ තද කැක්කුමක් ආවොත් (ඒ එකකම උණත්) දිවේ , කටේ පැසවපු වගේ තුවාල ආවොත් කහ පාට සැරව එක්ක , ගෙදර තියගෙන ඉන්න එපා , ඉක්මණට රෝහලට ගෙනයන්න , මතක ඇතිව රෝගියාගේ රෝග විනිශ්චය කාඩ් පත Diagnosis card සහ ප්‍රතිකාරය පිළිබඳ යම් සටහනක් තිබේ නම් එයත් අරගෙන යන්න , ඉක්මණින් නිසි ප්‍රතිකර නොගත්තොත් නරක දෙයක් වෙන්නත් පුළුවන් ,


මේ ගැටළුවෙන් ගැලවෙන්න නම් මූලිකවම රෝගියාගේ පවිත්‍රතාව හොඳින් තියා ගන්න ඕන , පිරිසිදුව ඉන්න ඕන , නිවැරදිව අත් සේදීම වැනිදේ හරම වැදගත් , ඒ වගේම රෝගියා ඉන්න ඇඳ , කාමරය දිනපතා පිරිසිදු කරල තියන්න ඕන , මොකද මේ වෙලාවේ මකුණෙක් කාළ ඇති වුන තුවාලයක් වුනත් ලොකු කරදරයක් ඇති කරන්න පුළුවන් , අමු එළවළු , පළතුරු නොකා හොදින් පිස ගත් ආහාර , පිරිසිදුව ආහාරයට ගන්න , ඇවුල බාද්දි තුවාල විම් සිදුවිම පුළුවන් තරම් අඩු කර ගන්න , හදිසියේ හරි තුවාලයක් වුනොත් ඉකමණින් යම් ඖෂධිය ප්ලාස්ටරයක් මගින් එතැන ආවරණය කරගන්න , මොකද ඔතන ඇති මරණයකට දොර හරින්න වුනත් , කුරුලෑ තිබේනම් ඒවා මිරිකළ කඩල බලෙන් දොර ඇර ගන්න එපා ... මළපහ කළාම හෝ මුත්‍රා කළාට පස්සේ හොඳින් පිරිසිදු කරගන්න , නැත්නම් මුත්‍රා ආසාදන Urinary tract infections U.T.I.ඇති වෙන්න පුළුවන්,


 තව සහෝදරයෙක් ඉන්නවනේ පට්ටිකා කියලා platelet මුලින් කීහේතුවක් එක්ක මෙ කට්ටියතු අඩු වෙනවා , ඔය පට්ටිකා සාමාන්‍යෙයන් රුධිරය මයික්‍රො ලීටරයක 150000-450000 අතරේ තියෙන්න ඕන , එතකොට තමයි එයාලා එකතු වෙලා රුධිර වහනය වීම් , ඒ කිව්වේ ලේ ගැලීම් නවත් වන්නේ , ඒත් පට්ටිකා ප්‍රමාණය අඩු වුනාම මොකද වෙන්නේ , අපේ ඇඟෙන් යම් ලේ වැගිරීමක් නුනොත් ඒක නවත්ව ගන්න බැරිව යනවා , දිගටම ලේ යන්න ඉඩ තියෙනවා , අනතුරක් නේද මේක ? ...විශේෂයෙන්ම ඔය පට්ටිකා අගය 20000ට වඩා පහල ගියොත් බාහිරින් තුවාලයක් නොවී උනත් ලේ ගැලිමක් වෙන්න පුළුවන් , විශේෂයෙන්ම මොළය ඇතුලට වගේ තැන්වලට පවා , එය මරණිය අනතුරක් වෙන්න පුළුවන් ,


මේ පට්ටිකා අඩු වීම වලක්වනවාට වඩා කළ හැක්කේ එය අඩු වීමේ ලක්ෂණ හඳුනා ගැනීමත් , ලේ වැගිරීම්  තුවාලවීම් අවස්ථා හැකි තරම් අඩු කර ගැනීමත් පමණයි , 


අපි දැන් බලමු මේ පට්ටිකා අඩු වීමේ ලක්ෂණ මොනවාද කියලා  , ඩෙංගු වලදි වගේම මෙහිදීත් සමේ පුංචි පුංචි රතු - කළු පාට ලප මු වෙන්න පුළුවන් , (මොකද ඩෙංගු වලදි වෙන්නෙත් මේ පට්ටිකා අඩු වීම) සමහර විට හම යට හීරිලා තුවාල වෙලා වගේ දැනෙන්න පුළුවන් , ඊට අමතරව හුඟක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි විදුරු මස් වලින් ලේ ගලන එක , මොකද මේ වෙන කොට තොල් එහෙමත් තුවාල වෙලානේ තියෙන්නේ  , දත් මැදල ඉවර වුනාම නිකම්ම ලේ එන්න පටන් ගන්නවා , ටික වෙලාවකින් අඩු වේවි , ඒත් මෙය platelet අඩුවීමේ ලක්ෂණයක් , ඒ වගේම කිවසීමක් එක්ක ලේ යන්න පුළුවන් , ඔය තමයි ප්‍රසිද්ධ ලක්ෂණ ඊට  අමතරව පොඩි තුවාලයක් වුනොත් හරි ආර්තවයේ රුධිර වහනයෙදි හරි බලාපොරොත්තු වනවාට වඩා ලේ යන්න පුළුවන් , ඒ වගේම කාන්තාවන්ගේ සාමාන්‍ය ආර්තව කාළයට ඉස්සර වෙලා රුධිරය පිටවීම් වෙන්න පුළුවන් , මළපහ කරල ඉවර වුනාම ටිකක් බලන්න මලපහ වල වර්ණය ගැන , සාමාන්‍යෙයන් කහ පැහැයක් ගන්න මළපහ , රතු හෝ කළු (චොකලට් පාට) වගේ වෙලා නම් හෝ මුත්‍රා රතු පැහැයක් ගන්නව නම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබැ ගැනීමයි සුදුසුම , මේ එක්කම ඔළුවේ කැක්කුමක් , පෙනීමේ වෙනසක් තියෙනවා නම් කළබල නොවී සහ වෙහෙස නොවී රෝහලට යනවා නම් වඩා සුදුසුයි ,


රෝස කඳුළු ද  ......
මේ කියපු දේවල් වලට අමතරව හමේ , නිය වල වර්ණය වෙනස් වීමක් , තද පාට වීමක් , මානසිකව අවපීඩන Depression ස්වභාවයක් අමතකවීමේ ස්වභාවයක්  , මළපහ රටාවේ වෙනස්කම් ඇතිවීම් වගේ වෙන්න පුළුවන් , ඒ වගේම මේ බෙහෙත් ගනිත්දි ඇඟ ඉදිමිලා වගේ ස්වරුපයක් ඇති වෙනවා , ඒ එක්තරා ඖෂධ කාණ්ඩයකින් (steroids) කරන ඇඟේ වතුර බලෙන් රඳවා ගැනීමේ තත්ත්වයක් නිසා (Fluid retention) , ඒ එක්කම ලිංගිකව දුර්වලතාවයන් ඇති වෙන්නත් පුළුවන් හැබැයි මේ බොහොමයක් තාවකාළිකයි , නිවැරදිව ප්‍රතිකාරය ගන්නවානම් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරනවා නම් , හුඟක් ඉක්මණින් සතුටුදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් ,


මුලින්ම මහා ලොකු බරකින් වගේ හිටිය අමන්දාගේ පුංචි සුසුමක් හෙළුවා ....


කොහොම හරි මේ ටික කතා කරල ඉවර වෙනකොට රෑ දහය විතර ඇති , “එහෙම නම් ඉතිං අපි යමු නේද .....“ නිදමතේ ඉන්න ලොක්කිගෙයි පොඩ්ඩිගෙයි බර දරා ගෙන  මගේ බිරිඳ ඉවත් වීමේ යතුර Ejection button ක්‍රියාත්මක කළා ...


“හොඳමයි , එහෙනම් ගෙහුං එන්නකෝ ...යන්න ඉස්සර ආයෙත් මෙහෙ එන්න ඕන .. “...අමන්දාගේ අම්ම ආදරෙන් ඉල්ලීමක් කළා ...


“ඔව් අපි බලමු ...නේද ...?“
ආපු පාර ...මාර පාර ......නෑ ...මඩ පාර ......
‘ඔන්න දැන් අපි හදන්නේ Bike skating පටන් ගන්න , හොඳට අල්ල ගන්න දෙන්නම .....“ දැන් ඔබ බලාවි දෙන්න වුනේ කොහොමද කියලා , ඇයි තුන් දෙනෙක් වෙන්න එපායැ ....මොකද දන්නවද skating කරන්න බය නිසා මගේ බිරිඳ ඔන්න පයින්ම එනව මඩ පාරේ එරි එරී ....

ගෙරද එනකොට රෑ එකොළහයි , හරිම සනීපයි ....නැහැ නිදි මතයි ....



19 comments:

  1. ලිපිය ගැන පසුව ලියන්නම්. නිශාන්ත මහත්තයා ඔය දරු දෙන්නත් දාගෙන යතුරු පැදියේ ලිස්සන පාරවල් වල යන එකනම් අනතුරුදායකයි නේද?..

    vedeo පටයත් නැරබුවා.ඒක දැක්කම නම් බයත් හිතුනා..

    මාත් දන්න ඔය වගේම තරුන මවක් ඉන්නවා. ඔබ තුමාට මේගැන මම කලිනුත් සදහනක් කලා.ඇයත් හරිම අකමැතියි ඒ එන්නත ගන්න .ඒතරම් අමරුයිලු ඒක ගත්තම. සෙම ගතියත් වැඩි එයාට. නිව්මෝනියා තත්වෙකුත් තිබ්බා. කොන්ඩෙත් ගියා. විග් එකක් පවිච්චි කරනවා. ඒත් පසුව ආපු කොන්ඩේ ඉස්සර තිබ්බටත් වඩා ලස්සනයි...
    අනිත් කරුන තමයි ඇයට මාසික ඔසප් වීමක් සිදු වෙන්නේ නෑ.
    හේතුව ඔබ කිව් ආකාරයට නීරක්තය වෙන්න ඇති. ඇය vegetarian කෙනෙක්.

    මේ ලිපිය මම ඇයට යොමු කරන්නම්.
    බොහොම පින්.

    ReplyDelete
  2. හම්මෝ..... ඊටවඩා හොඳයි තියනව කියල දැනගත්තම කෝච්චියට පනිනව.

    ReplyDelete
  3. ජිවිතේ නොදැන්න පැත්තක් ගැනයි අය්යේ ඔයා අදත් කතා කරලා තියෙන්නේ... ඇත්තමයි මේ දේවල් මෙහෙම දැනගන්න අපිට ඉඩ ලබලා දෙනවට ඔයාට ගොඩාක් පින්.... දිගටම මේ වගේ ලිපි ලියන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා

    ReplyDelete
  4. Gimhani ,
    ඒක නම් ඇත්ත ගිම්හානි , මොනවා කරන්නද තියෙන්නේ මේ රෝද දෙකනේ , කොහොමත් බොහොම පරිස්සමින් යන්න බලනවා හැමදාමත් , බොහොම ස්තුතියි ඔබට හැමදාමත් ඇවිත් අදහස් දක්වනවාට , මේ ලිපිය ලියත්දි මට මතක් වුනා ඔබ මේ මව ගැන මට කී වගත් ,

    ReplyDelete
  5. සහන් ,
    හපොයි එහෙම කොච්චියට පනින්නනම් එපා ,මේ ප්‍රතිකාරය ටිකක් අප්‍රසන්න බව නම් කියන්න ඕන , ඒත් මුල් අවස්ථාවේ හඳුන ගත්තොත් මේ ප්‍රතිකාරය නිවැරදිව ලබා ගත්තොත් රෝගය සුව කර ගන්න හෝ පාළනය කරගන්න පුළුවන් ,
    , ස්තුතියි සහන් ..

    ReplyDelete
  6. දේවා ගේ අඩවිය,
    ඇත්තෙන්ම මටත් එය සතුටක් , ඔව් අපි ලියමු ඉදිරිටත් ...අපි වෙනුවෙන්ම ....

    ReplyDelete
  7. ඉතා වටින ලිපියක්‌..පිලිකාවක්‌ කිය අසා තිබුනත් එය මොනවගේ හනියක්‌ද අපිට කරන්නේ කියල දැන ගතේ අද.
    මාගේ යහුලුවෙකුටත් ගෙටුලුවක්‌ මතුවෙල තුයෙනවා,මිත්‍රයාගේ අතේ අල්ලේ තිබුන ගෙදියක්‌ වෙනි දෙයක්‌ බොහොම වෙදනකාරී.
    නිවඩුවට ලංකවට කියා විටකදී වෛදය වරු කියනවාලු මෙය පිලිකාවක්‌ලු,සමහරු කියනවාලු සාමන්‍ය ගෙඩියක්‌ සුව කිරීමට ලක්‍ෂ 6ක්‌ පමණ ඕනාකිය..
    මේ දෙයට ඔබේ අදහස කුමක්‌ද?
    ස්‌තූතී....

    ReplyDelete
  8. සොදුරු මිනිසා ,
    සාමාන්‍යෙයන් මේ වැනි ස්ථාන වල තෙල් පටක මඟින් ඇති කරන Lypoma කියන පිළිකාමය නොවන ගෙඩි වර්ගත් තිබෙනවා , ඒවා නම් සමහර අවස්ථාවල බොහොම සුළු ශල්‍යකර්මයකින් ඉවත් කරනවා , ඒත් එය පිළිකාවක් යැයි Biopsy හෙවත් පටක පරික්ෂාවකින් හඳුනාගෙන ඇත්නම් ශල්‍යකර්මය සඳහා යොමු කිරීම වඩාත් සුදුසුයි ප්‍රමාද නොකර , නමුත් රජයේ පිළිකායතනය-මහරගම හෝ බොහෝ ශික්ෂණ රෝහල වල පිළිකා ශල්‍ය කර්ම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා Oncosurgeons එවැන්නෙක් මගින් අදාල ශල්‍යකර්මය කර ගැනීමයි වඩාත් සුදුසු , මොකද පිළිකා ශල්‍ය කර්ම පිළිබඳ විශේෂඥ පුහුණූවක් ලබා සිටින්නේ ඔවුන් ,
    ස්තුතියි ඔබට .

    ReplyDelete
  9. ස්‌තූතී ඔබට
    ඔබේ මේ ක්‌රියව ඉතා අගය කොට සලකනවා..අද කාලින මතෘකා ගැන බෙද ගෙනිම ලොකු සෙවාවක්‌...
    ඔබව වැදූ දෙමාපියන්ට දෙව අශිර්වදය ලැබේව !

    ReplyDelete
  10. සොදුරු මිනිසා ,
    ස්තුතියි ඔබට ..

    ReplyDelete
  11. පිලිකා ගැන විතරක් නෙමේ . . . පිලිකා රෝගියෙකු වෙනුවෙන් නිවසේදී අපිට කරන්න පුලුවන් දේ මොකද්ද කියල දැනගන්න එක තමා මූලිකවම වැදගත් කියල මට හිතෙන්නෙ . . . . .
    ස්තුතියි ඔබට . . . . දැනුවත් කලාට අපව . . . .

    ReplyDelete
  12. ඕනයා,
    මම හිතනවා යම් තරමක හෝ දැනුමක් බෙදා දෙන්නට හැකි වුනාය කියා , ස්තුතියි අදහස් දැක්වුවාට

    ReplyDelete
  13. බොහොම වැදගත් ලිපියක්. මේ ලිපිය මීට කලින් ලියවුනානම් මට හුඟාක් වැදගත් වෙන්න තිබුනා. මොකද අපේ තාත්තත් පිළිකා රෝගුයෙක් වී සිටිය නිසා. දැන් නම් හොඳටම හොඳයි.

    ReplyDelete
  14. Nisupa,
    පළමුවෙන්ම සතුටුයි ඔබේ පියා සුවයෙන් සිටින බව අසන්නට ලැබීම ගැන , බොහොම ස්තුතියි ඔබේ අදහසට , ඔව් අපි මේ දැනුම ඔබ දන්නා හැම අතරේ බෙදා දෙන්න , එවිට ඒ අවස්ථාවේ ඔබට මේ දැනුම වෙනත් අයෙකුට අවශ්‍ය අවස්ථාවේ ලබා දෙන්නට හැකි වේවි .

    ReplyDelete
  15. දැන් පිළිකා රෝග ගොඩක් සුලභ වෙලා.අපේ අප්පච්චිගෙ අය්යල දෙන්නම නැතිවුනේ පිළිකා තත්වයකින්.පිළිකා රෝග පරම්පරාවට යනවද?

    ReplyDelete
  16. නදී,
    ඔව් සමහර පිළිකා වල ජානමය සම්බන්ධයක් තිබෙනවා , උදාහරණ විදියට පියයුරු පිළිකාව , මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකා , රැධීරය ආශ්‍රිත පිළිකා තත්ත්ව , මින් බොහොමයක් නිවැරදිව දැනුවත් වුනොත් මුල් අවස්ථාවේම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගත්තොත් සුව කරන්න හෝ පාළනය කරන්න පුළුවන් , විශේෂයෙන්ම පවුලේ පිළීකා තත්ත්වයක් තිබුනොත් දැනුවත් වීම හරිම වැදගත් ,
    ස්තුතියි නදී පැමිණියාට

    ReplyDelete
  17. Obage me samaja sathkarayat bohomath sthuthii.
    Mata capillary carcinoma thyroid cancer ekak thiynwa.fully thyrodectomy ekk kra October maasaye.eken thyroid gland ekta amathrawa lymph nodes 6k ain kra.next month radioactive treatment ek kranna tiyenne.treatment ek gen mm obe lipiyakin kiywa dena gaththa.mt dena gnna oni mehi thibena dirakaalina athuru aabadha genath me cancer eka penahalu ha asthi welata pethirilaad kiyla den ganne kohomda kiylath.

    ReplyDelete
    Replies
    1. පළමුව සමාවන්න පිළිතුර පමාවීම වෙනුවෙන්.
      මුලින්ම ඔබට සතුටු වන්නට පුළුවන් මක් නිසාද ප්‍රතිකාරයේ වැදගත්ම පළමු පියවර දැනටමත් අවසන් නිසා. ඊළඟ ප්‍රතිකාර මාලාවට පස්සේ ඔබට තියිරොක්සීන් ඇතුළු ඖෂධ කිහිපයක් දිගු කාළීනව ගන්නට වේවි.
      විකිරණ ප්‍රතිකාරයේ දිගු කාළීන ප්‍රතිපල වල තත්ත්වය සහ , ප්‍රමාණය , ඔබට ලබා දෙන විකිරණශීලීතාවය මත රඳා පවතිනවා. කෙසේ වෙතත් මා මෙහි සඳහන් කරන්නෙ බහුලව දැකිය හැකි ගැටළු කිහිපයක් , විශේෂයෙන්ම ප්‍රතිකාරයෙන් මාස කිහිපයක් ගියාට පස්සේ මතුවිය හැකි. 1) ඛේඨ ග්‍රන්ථි ආශ්‍රිත ගැටළු 2) ඇස්වල ඇති විය හැකි වියළි බව 3) පෙනහළු ආශ්‍රිතව ගැටළු 4) ආර්තව චක්‍රෙය් විය හැකි වෙනස්කසම්.
      කෙසේ වෙතත් මේ අතුර ආබාධ බොහොමයකට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි අතර , අයඩින් ප්‍රතිකාරය ලබන හැමටම මේ අතුරු ආබාධ එකසේ ඇති වේයැයි කියන්නටත් බැහැ. කෙසේ වෙතත් ඔබ දැන් ඉන්නේ නිවැරදි ප්‍රතිකාරය දිගේ , ඒ නිසා වෛද්‍ය උපදේස මත නිසි ප්‍රතිකාරයේ රැඳෙන්න. මේ වෙලාවේ අත් බෙහෙත් කරන්නට යන්න එපා. තයිරොයිඩ් පිළිකා තත්ත්වයට නිසි ප්‍රතිකාර ලැබූ බොහෝ රෝගීන් මගේ වෘත්තීය කාළය තුල හමුවුනා, ඒ වගේම මගේ වෘත්තීය සගයන් පවා ඒ අතර වුනා , ඔවුන්ට තිබුණු ගැටළු දෙක නම් දිනපතා තයිරොක්සින් පෙත්ත ගැනීම සහ ගෙළෙහි ඇතිවූ සුළු කැළල. වෙන කිසිඳු ගැටළුවක් නැතිව ඔවුන් සාමාන්‍ය ජීවිතය ගත කරනවා. ඔබ සොඳුරු සුව අසපුව තුල පෙර ලිපි වලට ගියොත් එවන් දරුවකුට මේ කියවන හැමෝම ලොකු උපකාරයක් කළබව දැන ගන්නට පුළුවන් වේවි. දැන් ඇය ඉතා සතුටින් රජයෙ සෞඛ්‍යය සේවාවේ රාජකාරි කරනවා.
      පැතිරීම පිළිබඳව දැන ගන්නට එක්සෙ , ස්කෑනින් පරික්ෂණ තිබෙන නිසා අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා ඒ වෙත යොමු වේවි, කළබල නොවී , දැනුවත්ව ප්‍රතිකාරය මත රැදෙන්න. ස්තුතියි

      Delete
    2. ස්තුතියි ඔබගේ පිලිතුරු ලිපියට. ගාෙඩක් වැදගත්

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)