2011/06/15

15th Discussion- පියයුරට අත (නො) තබනු..“පරිස්සමට“

අද පොසොන් පොහොය ...ඊයේ දවසේ හොද පිංකමක් කරගත්ත (ඒ ගැන කතාව)  අපේ කට්ටිය අද වෙනකම් නොඉවසිල්ලෙන් හිටියේ ...සමහරු හීනෙනුත් කියෙව්ව “දන්සල් ගැන කතා....“ ඒ කවුද දන්නවද, අපේ ලොකූ ... දැන් තේරෙනවද අපේ කට්ටියගේ නොඉවසිල්ල මොකටද කියලා ...දන්සල් වදින්න යන්න ......අපි හැම පොසොන් පෝදාකම ලොකු රවුමක් යනවා දන්සල් වැඳගෙන .......

ලංකාවේ අපි ...ලංකාවෙම විතරක් දකින්න තියෙන  දන්සලකට ගොඩ නොවැදි කොහොමද නේද ? උදෙන්ම ගමන පටන් ගත්තා ...කරාපිටිය .......... තලගහ.... යක්කලමුල්ල..... අකුරැස්ස ...ඉමදුව  ....ගාල්ල ....(බස් රියකට සෙනග එකතු කරනවා නොවෙයි , මේ අපේ දන්සල් වන්දනාවේ ගමන් මග)  ,

ඔන්න දැන් අපි ....මුලින්ම පෙර පාසළක දරුවො පිරිසකගේ රස සව් දන්සලට ගොඩවෙලා සව් කෝප්පයක් එහෙම බීලා ...ඒ පැටවුන් එක්ක කතාබහ කරලා..එන ගමනේදි....ඊළඟට බෙලිමල් වතුර ....ඊළඟට බීම දන්සලක් ...."මොනව කරන්නද ".....දන්සල පහුකරල යන්න හිත ෙදන් ෙන් නැහැ ...දන්සලේ  මහන්සි වෙන පුංචි එවුන්ගේ සිත් බිඳෙන නිසා....දන්සලේ  සෙනඟ පිරෙන කොට ඒ හිත්වල දෝරෙ ගලන සතුට ....කම්මුල් පුරා පිරිළ ගිහින් ...“ගොඩාක් පින් මේ පුතාලට....හරිම රසයි ....ඔයාල ගොඩාක් මහන්සි වෙලා තියෙනවා නේද ?...." අපේ මේ වචන ටික ඒ පැටවුන්ට මහමෙරක් වගේ සතුටට.....

“තාත්තී අන්න ....නුඩ්ල්ස් දන්සලක් නවත්තමුද ? ...“ කවදත් අපේ “නැවේ කැප්ටන් “ , චූටි මිතිලිගෙන් දුර තියාම පණිවිඩයක් ....(මොකද එයා ඉස්සරහම ඉන්න නිසා ඈත පේනව වැඩියි වගේලු ) .....
“දැන් නම් ඇත්තටම බඩගිනියි , මොකද ...නවත්තමු නේ ...“ .....

පාර අයිනට වෙන්න පොල් අතු වලින් වහල හදපු ...ලස්සන ශාලාවක දන්සලක් ...ටිකක් ඉඩකඩ මදි වගේ , පාර අයිනෙ නේ .....සංවිධායක දරුවො හරියට මහන්සි වෙනවා .....අපිත් පෝළිමේ ගිහින් බෙදා ගන්න...“මම චූටිටත් එක්ක බෙදා ගෙන කවන්නම් ....“ බිරිද එක අමාරු වැඩක් බාර ගත්ත .....මමයි ලොකුයි ඉස්සරවෙලා බෙදා ගෙන පරිස්සමින් ඇවිත් වාඩි වුනා ...

වෑන් එකක් ඇවිත් නැවැත්වුවා ...තරුණ කොළුපැටවු ටිකකුයි , ගැටිස්සියො ටිකකුයි ....වයසක පහේ කිහිපදෙනෙකුයි බැහැ ගත්ත ....

“පුටු මදි වෙනවා වගේ ...ඉක්මණට පුටු ගේන්න....“ දන්සලේ සංවිධායක කටයුතු කරන වියපත් මහත්තයා ටිකක් හයියෙන් තමන්ගේ පිරිසට අඬගැහුව ....පිරිස ටිකක් වැඩියි වගේ ...වාඩි වෙන්නත් ඉඩ මදි....දැන් ආපු කොලු පැටවු ටිකයි කෙළිච්චියෝ ටිකයි ....එහාට මෙහාට වෙනවා ....කිචි කිචි ගානවා, .....එක යුද්දයයි.....

අර සංවිධායක මහත්තය ආව ....“පුතාල , ....පුටු ටිකක් මදිවගේ අපි ඉක්මණට ගේනකම් ,  Ladies first  කියල මේ නංගිලා ටිකට තියෙන පුටු ටිකේ වාඩි වෙලා කන්න කියමු ....කමක් නැහැනේ “ ......තරුණ පුතාලා ටික බොහොම ගෞරවයෙන් එකඟ වුනා....දැන්නම් හරිම සන්සුන් .....

අපිත් ඉක්මණට කාළ , මහන්සි වුන හැමෝටම පින් දීල .....පිටත් වුනා අපේ “වන්දනා ගමන යන්න....“ , ඒ අතරේ  මට මතකයට ආවේ" Ladies first " කතාව , 
මේක නාවික ඉතිහාසයට අයත් ප්‍රකාශයක් වුනත් සෞඛ්‍ය තර්ජනයක් විදියට පිළිකාවෙදිත් මේ වෙනකොට Ladies first ......තත්ත්වයේ ඉන්නවා ....
මොකද දන්නවද ලෝකයේ වැඩියෙන්ම තියෙන පිළිකා(Top Ten Cancers) අතරේ  Female Breast cancer  ඒ කියන්නේ කාන්තාවන් ඉක්මණින් අනතුරක් කරා ගෙන යන ප්‍රධානතම පිළිකාව ඉහළින්ම තිබෙනවා.....
තවත් විදියකින් කිව්වොත් කාන්තාවන්ගෙන් අට දෙනෙක්ගෙන් එක් අයෙකුට පියයුරු පිළිකාව ඇතිවීමේ අවදානමක් තිබෙනවා ...ඒ කියන්නේ ....ඔව් ..ඔයාලා අට දෙනෙක් ගත්තොත් ඉන් එක් අයෙක් පියයුරු පිළිකාවට ගොදුරු වේවි ...හැබැයි මේක අවදානමක් ...අවදානමකදි වඩා වැදගත් බයවීම නොවෙයි ....දැන ගත් අවදානමට මුහුණ දීමට සූදානම් විම .....ඒ නිසා මේ අවදානම ගැන අපි කතා කරමු ....මේ කතා කරන දේ තවත් අය අතරේ බෙදා ගන්න පුලුවන්නම් අපට පුලුවන් ඒ අයත් අවදානමෙන් මුදවා ගන්නට..... ඇයිද දන්නවද මුලින්ම හදුන ගත්තොත් පියයුරු පිළිකාවේ අනතුර හුඟක් අඩුකර ගන්න පුලුවන් ...

“ලස්සන පියයුරු පිළිකා සෛලයක්“
පොතේ හැටියටම නොවෙයි ...මගේ පවුලේම අතදැකීමකින් කියන්නේ ...මගේ පොඩි අම්මා ...ඒ කියන්නේ මගේ අම්මගේ නංගි ...දැන් නම් වයස අවුරුදු හැට පහක් විතර ....ඇයට පියයුරු පිළිකාවක් මතුවෙලා මීට වසර විසි තුනකට විතර ඉස්සර ශල්‍යකර්මයක් කරල පියයුරේ කොටසක්  ඉවත් කළා ...ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නා... කොහොම වුනත් අදත් ඇය “නිරෝගී  “ යයි කියන්න පුලුවන් තරමේ සුවදායී ජීවිතයක් ගත කරනවා....

අපි මුලින්ම කෙටියෙන් හදුනගනිමු , කවුද මේ cancer කියලා ...අපි දැනටමත් දන්නව අපේ ඇඟ හැදිල ගියෙන්නේ විවිධ සෛල වර්ග ගණනාවකින් ....අපි නිරෝගි නම් මේ සියලුම සෛල යම් කිසි “නීතියකට“ අනුව තමයි වැඩ කරන්නේ ...කන්නේ බොන්නේ ...පැටවු දාන්නේ ...ඒ තියා ඒ සෛල මිය යන්නේ පවා එක්තරා රටාවකට , පිළිවෙළකට ...

ඒත් පිළිකාවක් කියන්නේ , අර මුලින් කී සෛල වගේ නොවෙයි ...“කියන දෙයක් අහන්නෙ නැති ..කිසි නිතියක් අනුගමනය කරනනේ නැති සෛල රාශියක එකතුවකට “ ....ඒ සෛල වල තිබෙන අක්‍රමවත් , පාළනය නොකළ හැකි බව නිසා එම සෛල ගොනුවකට පුලුවන් මහා විනාශයක් කරන්නට ...අවට තියෙන සෛල විනාශ කරල , ඒ සෛල වලට ලැබෙන්න තියෙන කෑම බීම උදුරගෙන , අපේ සාමාන්‍ය දේහ ක්‍රියාකාරීත්වය බිද දමන්න මේ පිළිකා  සෛල වලට පුලුවන් ...(The name for diseases in which the body's cells become abnormal and divide without control. ) 


මෙන්න මේ වගේ විකෘති  සෛල කාණ්ඩයක් පියයුර තුල හෝ ආශ්‍රිත පටක වල ඇතිවීම තමයි , පියයුරු පිළිකාවක් හෙවත් Breast cancer  කියල කියන්නේ ... අපි දැන් හදුනාගන්න බලමු කවුද මේ තත්ත්වයට අවදානම් කියල ..මොකද අපේ අවදානම් තත්ත්වය අපට “දැනුනොත්“ තමයි අපි සුදානම් වෙන්නේ ...(නේද?) 



ප්‍රධානම අවදානම , කාන්තාවක් වීම , ඒ ගැනත් කියන්න ඕන , ඇයි දන්නවද පිරිමි අය හුග දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ට පියයුරු පිළිකා අවදානමක් නැහැ කියල ...ඒක වැරදිය ...පිරිමි අයටත් අවදානමක් තියෙනවා ..නමුත් කාන්තාවන්ට තරම්ම නැහැ ...මගේ සේවා කාළයේ වඩාත්ම “සතුටින් සේවය කළ“ පිළිකා ඒකකයෙදි මටත් දකින්නට ලැබුනා පියයුරු පිලිකාව සහිත පිරිමි කෙනෙක් .....


අනෙක් පිළිකා බොහොමයක් වගේම , වයස්ගතවිමත් එක්ක පියයුරු පිළිකා අවදානම වැඩි වෙනවා ....විශේෂයෙන් වයස අවුරුදු හතලිස් පහ ආසන්න වන විට නැතිනම් ඊට වැඩි වන විට තවත් වැඩි අවස්ථාවක් තියෙනවා ....


තව හරිම වැදගත් සාධකයක් ...මේක එක්තරා විදියකින් පවුලේ රෝගයක් කියන්නත් පුලුවන් (ටිකක් සැර වැඩිද මන්ද ? සැර නැතුවත් බැහැනේ ...මේක ජාන ඔස්සේ මව්,දරු පිළිවෙලට ගමන් කළ හැකි බවයි මේ කිව්වේ)  , තමන්ගේ ළඟම කාන්තා ඥාතියෙක්ට , තමන්ගේ මවට , පුංචිට , නැත්නම් සහෝදරියට පියයුරු පිළිකාවක් තිබුනොත් සාමාන්‍ය කෙනෙකුට වඩා ඔබ අවදානම් ඒකට හේතුව තමයි මේ පියයුරු පිළිකාවට සම්බන්ධ ජානයක් තියෙනවා BRCA - 1 සහ  BRCA - 2 නමින් ...බය වෙන්න එපා ...ආයෙත් කියනව ඒ වචනය ....අවදානම් ...ඒ කියන්නේ ඔබ සුදානම්වීම සුදුසුයි කියන එක .....


ඒවගේම ආර්තවයත් පිළිබද ඉතිහාසයත් ඔබ හදුනාගන්න ඕන . වැඩිවිය පත්වීම හෙවත් පළමු ආර්තවය හුඟක් අඩු වයසින් , ඒ කිව්වේ...අවුරුදු දොළහ හෝ අඩු ...එ වගේ වයසින් වුනානම් ...ඒ වගේම එම ආර්තව ක්‍රියාව සම්පූර්ණයෙන් නතර වීම “ආර්තවාභාවය“ menopause බොහොම වයසට ගිහින් සිදු වුනා නම් (අවුරුදු 55-57 වගේ ) ඒ අයට වැඩි අවස්ථාවක් තියෙනවා මෙම තත්ත්වය  ඇතිවෙන්න ...මොකද ...පියයුරු පිළිකාවයි ....ඊස්ට්‍රජන්  කියන ස්ත්‍රීත්වය ලබා දෙන හෝමෝනයයි හරිම යාළුයි ....


දරුවන් නොමැති , එහෙම නැතිනම්  තරමක් වයසට ගිහින් , වයස 35-40 දි වගේ දරුවන් ලැබුන මව්වරුන් අවදානම වැඩි කාණ්ඩයට අයත් වුනත් දරුවාට කිරි දිම මගින් යම් තරමකට ආරක්ෂාවක් ලැබෙන බව සොයාගෙන තිබෙනවා....


විවිධ රෝග තත්ත්ව වලට හෝ උපත්පාලනමය වශයෙන් හෝමෝන ලබා ගන්නා අයටත් වැඩි අවදානමක් තිබෙන බව කීවත් උපත්පාලන පෙති මගින් සිදු කරන්නේ පිළිකාව ඇති කිරීමට වඩා ....පිළිකාවක් මතු වුනොත් ඉක්මණින් වර්ධනය වීමට අවස්ථාව ලබා දීම කියලත් පර්යේෂකයෝ පෙන්වාදීලා තියෙනවා ...ඒ කියන්නේ ඉක්මනින් පැතිරීමට වැඩි අවස්ථාවක් තියෙනවා ....


ඒවගේම මම හුඟ දවසට කතා කරන තරබාරුව , මෙම පිළිකාව ඇති කිරීමට වගේම මුල් අවස්ථාවේ හදුනාගැනීම අපහසු කිරීමටත් දායක වෙනවා , එයටම තවත් හේතුවක් තියෙනවා ඒ තමයි දේහ ක්‍රියා කාරීත්වය අඩු , අළස , එකතැන ඉන්න , කම්මැළි .....තරහ ගන්න එපා .....මේ වගේ ලස්සන වචන වැළක් කීවට ....කොහොම වුනත් ඒ අයටත් මෙම අවදානම වැඩි බවයි හොයාගෙන තියෙන්නේ .....


දැන් අපි දන්නනවා තමන් ඉන්නේ අවදානම් මට්ටමේ කොයි වගේ තැනකද කියලා ...දැන් අපි එමු වැදගත්ම තැනට ... ඒ පියයුරු පිළිකාවක ලක්ෂණ සහ පුර්ව ලක්ෂණ මොනවාද කියල හොයල බලන්න , මුළිකම ලක්ණය පියයුරේ හැඩය , ස්වභාවය වෙනස් වීමක් , සමහර අවස්ථාවට පියයුරේ හෝ ආසන්නව කිහිල්ල හරියේ ඉදිමීමක් හෝ  තද ගැටිත්තක් මතුවෙන්න පුලුවන් ,  ....ඒක වේදනාවක් සහිත හෝ රහිත වෙන්න පුලුවන් ....පියයුරේ සමේ ස්වභාවය රළු ...හරිමට දොඩම් ලෙල්ලක වගේ වුනත් මේකත් අවදානම් ලක්ෂණයක් ....ඒවගේම නිපලයේ හැඩය වෙනස්වෙලා පැත්තකට ඇදිල ගිහින් වගේනම් ටිකක් පරිස්සම් වීම හොදයි ...සමහර විට නිපලයෙන් අසාමාන්‍ය විදියට ලේ හෝ සැරව වගේ දියරයක් ගලන්නත් පුලුවන් .....විශේෂයෙන් කියන්න ඕන , මේ වෙනස්කම් හදුනාගන්න නම් අපේ දියණිවරු , කාන්තාවන් තම පියයුරු ගැන මීට වඩා සැළකිලිමත්වෙන්න ඕන ....ඒ වගේම මව්වරු , සුදුසු කාළයේදි තම දියණිවරුන්ට කියා දෙන්නත් ඕන ....


මැමෝග්‍රෆි සිදුකරන අවස්ථාවක්
අපි කිව්වනේ පිළිකාව ගැන අවදානම් හදුනාගැනීම වැදගත් කියලා ...ඒකට රෝග ලක්ෂණ එනකම්ම ඉන්න එපා ....අනතුරේ මූළික අවස්ථාව හෝ අනතුරක් තිබේද කියල හදුනගන්න වැදගත් පරීක්ෂණ කිහිපයක් තියෙනවා ...අපි ඒගැන දැනගන්නම ඕන....නිකම්ම කියල මදි මට හිතෙනවා ටිකක් තද නීති ටිකකුත් දාලම කියන්න ඕන කියලා....හරි ඔබේ වසය කීයද ?...... කමක් නැහැ හරියටම කියයිද දන්නැහැ ...


කොහොම වුනත් ....ඔබ වයස අවුරුදු 40ට හෝ ඊට වැඩිනම් වාර්ෂිකව මැමෝග්‍රෆි Mammography පරීක්ෂණයක් කරවා ගන්න ....ඒක සාමාන්‍ය Xray එකක් ගන්නවා වගේ මයි ...ඔබේ ඇඳුමේ පියයුරු ප්‍රදේශය යම් උපකරණයකට නිරාවරණය කරලා පියයුර යාන්ත්‍රිකව පුංචි තෙරපීමක් කරමින් Xray ඡායාරූපයක් ගන්නවා , හරිම සරළ , පහසු ඒ වගේම රෝගය පූර්ව හදුනාගැනීමට වැදගත්ම පරික්ෂණයක් ...ලංකාවේ නම් රජයේ ප්‍රධාන රෝහල් වලත් දැන් මෙය සිදු කරනවා ....ඔබ කැමතිනම් පෞද්ගලික රෝහලකින් කරගන්නත් පුළුවන් ...




ඔබ අවුරුදු 20-30 අතරේනම් අඩුම තරමේ වසර තුනකට වරක් වත් පුහුණු වෛද්‍යවරයෙක් හෝ මෙම පරීක්ෂාව පිළිබද පුහුණු  හෙද නිලධාරිනියක් ලවා ඔබේ පියයුරු පරික්ෂා කරවා ගත යුතුයි ....එහිදී පියයුරු පරික්ෂා කරනාවට අමතරව ඔබත් සමඟ සාකච්ඡා කිරිම් කරමින් පියයුරෙහි අනතුරුදායක වෙනස්කම් හදුනාගන්නට උත්සාහ  දරාවි ...ඒකට අපි කියන්නනේ  Clinical breast exam කියලා ....





අනික් පරීක්ෂණය හරිම සරළයි ...වයස අවුරුදු 20ට වැඩි හැම කාන්තාවක්ම දැන ගෙන ඉන්න ඕන .... මාසිකව කරන්නට ඕන ..මේ පරික්ෂණයට කිසිම මුදලක් නැය වන්නේ නැහැ ...ඒ තමයි ස්වයං පියයුරු පරීක්ෂාව Breast self examination .. අපි ටිකක් කතා කරමු , මේ “නොමිල , අමිල “ පරීක්ෂණය ගැන ..මේ පරීක්ෂණය කරන්නේ තමන්මයි ..මේ සදහා සෑම මාසයකම සුදුසු දිනයක් තෝරා ගන්න ..එහිදී ආර්තවයට දින 5-6කට පසු දිනයක් ගන්නවානම් වඩා සුදුසුයි ....හැබැයි ඒ දිනයත් මතක තියා  ගන්න වෙනවා .....


Breast Self-Exam - Step 1
පළමු පියවර
දැන් මුහුණ බලන කණ්නාඩියක් ඉදිරියට ගිහින් පියයුරු හොදින් නිරාවරණය වන විදියට ඇදුම සකසා ගන්න එහිදී ඔබේ කිහිළි armpit ප්‍රදේශයත් හොදින් නිරීක්ෂණය කරන්නට පුලුවන් වෙන්නට ඕන...දැන් අත් දෙක ඉණට තියාගෙන පියයුරු දිහා හොදට බලන්න , හැඩය ප්‍රමාණය ...වර්ණය ..නිපල් එක තරමක් තෙරපිමක් කර බලන්න යම් දියරයක් එනවාද ,කිසියම්හෝ වෙනසක් තිබේද කියලා ...


දැන් අත්දෙක ඉහළට ඔසවාගෙන නැවත ඉහත පරිදිම රහස් පරීක්ෂණය කරන්න...


Breast Self-Exam - Steps 2 and 3
දෙවන පියවර
දැන් ඇඳක හොඳින් වැතිරිලා වම් අතින් දකුණු පියයුර නිපල් එකේ සිට රවුමට රටාවකට, තෙරපමින් ඉවතට කිහිළි ප්‍රදේශය දක්වා ගෙන යන්න ...


Breast Self-Exam - Step 4
තෙවන පියවර

තෙරපීමෙදි ඇඟිලි මේ විදියට තබා ගන්න
එහිදි යම් ගැටිත්තක් , තද ස්වභාවයක් දැනුනොත් අවධානය යොමු කරන්න ...එකපාරටම බය වෙන්න එපා මොකද , ඔය බොහොමයක් ගැටිති හරි අහිංසකයි ..නමුත් ඒවගේ ගැටිත්තක් පිළිකාවක් ලෙස හදුනාගන්නට 20%ක අවස්ථාවක් තිබෙන බවත් මතක තියාගන්න ....මෙළෙස මෘදු තෙරපුම් කරමින් සම්පුර්ණ පියයුරම පරීක්ෂා කරන්න ..දැන් අනෙක් පියයුර ...
Breast Self-Exam - Step 5
සිව්වන  පියවර



ඊට පස්සේ නැවත සිටගෙන ඉහත අයුරින්ම පියයුර නිපලයේ සිට ඉවතට චක්‍රියව Circular movement මෘදුව තෙරපිම්ක් සහිතව පරීක්ෂා කරගන්න ....යම් සැක සහිත අවස්ථාවක් හදුනාගත්තොත් .......හංගගෙන ඉන්න එපා ....ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවි ඒ බව දන්වන්න ....මේ ගැන තවත් දැන ගන්න මෙතනින් එන්න


එවිට එය සැක සහිත නම් ඔහු එම ස්ථානයෙන් ලේ බිංදු කිහිපයක් හෝ පටක කැබැල්ලක් අරගෙන Fine needle biopsy සිදු කිරීමට කටයුතු කරාවි එමගින් තත්ත්වය  පිළිකාවක්දැයි හදුනාගන්නට පුලුවන් තවදුරටත් අවශ්‍යනම් Scanning ,Mammography  සහ රුධිර පරීක්ෂා කිහිපයකුත් කරාවි .


කොහොම හරි අපි දැන් පියයුරු පිළිකාව ගැන ටිකක් දැන ගත්තනේ දැන් අපි ටිකක් නරක දෙයක් ගැන හෙමින් කතා කරමු...


“මේකට බෙහෙත් තියෙනවද ? “ ......ඔබ මොකද කියන්නේ ....ඔව් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා ශල්‍යකර්ම  , ඖෂධ ප්‍රතිකාර , විකිරණ ප්‍රතිකාර ....ඒත් හැම ප්‍රතිකාරයකම ඵලදායී බව එක්ක රැඳෙන වැදගත් සාධකය තමයි පිළිකාව හදුනා ගන්නා අවස්ථාව සහ පිළිකා වර්ගය ...කොහාම වුනත් එකක් කියන්නට පුළුවන් පියයුරු පිළිකාව මුලික අවස්ථාවේ හදුනා ගත්තොත් .....ප්‍රතිකාරයෙන් සුව කරන්නට පුලුවන් .....ඒත් ප්‍රමාද වුනොත් ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙන්නත් පුලුවන් ....


හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයිළු නේ .....ඒ අපේ ගම් වල තියෙන කතාවක් ,ඒ වගේ හොඳම සහ තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා කියන්න ...ඒ තමයි මෙම අනතුරෙන් වලකින්නට ගත හැකි උපක්‍රම කිහිපයක් , එය අපට පියයුරු පිළිකාවෙන් සුරැකෙන්නට යහපත් මගක් වේවි...කතාව දිග වැඩි වෙන නිසා කරුණු විදියට කියන්නම් පියවර පහයි හරිම ලේසියි ..කුමකටද  ? ජීවිතය රැකගන්න ...
  1. උසට සරිලන බර පවත්වා ගන්න ...B.M.I. අගය 23ට අඩුවෙන් තබා ගන්න පුලුවන්නම් හුඟක් හොඳයි 
  2. හැකි හැම විටම අළුත් පළතුරු සහ එළවළු අනුභවයට ගන්න ,පිටි සහ සීනිමය ආහාර අඩු කරන්න.
  3. සක්‍රිය ජීවිතයක් ගත කරන්න ....අලස නොවීම හරිම වැදගත් නේද ....? 
  4. රුධිරයේ  කොළෙස්ටරෝල් අධික වන තෙල් , කුකුළු මස් අධිකව ආහාරයට නොගන්න.
  5. වෛද්‍ය අනුමැතියකින් තොරව හෝමෝන ප්‍රතිකාර ලබා නොගන්න.
දැනුයි කතාව ඉවර වුනේ....දන්නවද ...අපි දන්සල් වැඳගෙන ගෙදර එනකොට කීයට විතර ඇත්ද කියල වෙලාව හවස හයත් පහු වෙලා.....කොහොමද අපේ දන්සල් වන්දනාව .....




මගේ අනෙක් ලිපි සඳහා මෙතැනින් යන්න...


මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........

37 comments:

  1. අසපුවට ගොඩ උනා .ඉතාමත් වැදගත් ලිපියක්. නිදහසේ බලන්ට ඕන, කාල වේල මදි උනා. මටත් තියෙනවා මේ පිලිබදව කතාවක් කියන්ට. පසුව එනවා.
    ඔබතුමාට ස්තුති.
    සුභ දවසක්!!!!

    ReplyDelete
  2. ස්තුතියි ....කියවලාම දැනුම ගන්න....හැකි තරමට දැනුම දෙන්න...

    ReplyDelete
  3. බොහොම වටිනවා ලිපිය නම්. ඒත් මම හිතන්නේ මේකට පිරිමි අපේ කමෙන්ට් වලට වඩා ස්ත්‍රී පාර්ශ්වයේ කමෙන්ට්ස් ආවා නම් හොඳයි.. සමහර අය තේරුමක් නැතුව ලජ්ජා වෙනවා. ඒ වගේ කරන්නේ නැතුව ලිපිය කියවලා දැනෙන ඩේ කියලා යන්න..

    ReplyDelete
  4. දැනටමත් මේ අවසනාවන්ත රෝගයට ගොදුරු වු තරුණ මවක් ඉන්නවා මා දන්නා. දරු දෙ දෙනකුගේ මවක් 35 වියෑති.
    දැනට පිලිකා රොහලෙන් ප්‍රතිකාර ගන්නවා.
    පිලිකා සදහා දෙන එන්නත ගසපු දවසට මා දැක තියෙනෙව ඇය විදින දුක. මුලු ඇගම දනවලු. නලියනව වගේලු. අනිත් එක වමනය ආහාර ගන්න බැරි වීම.
    දින 3 පමන ඔලුව උස්සගන්න බැරිව ඇඳේ දගල දගල ඉන්නව.

    මා දන්න අයට මම ඔබේ බ්ලොග් ලිපිනය දුන්නා අද. බලන ගාන වැඩි වේවි...දැනුවත් කලාට පිං..

    ReplyDelete
  5. ස්තුතියි , රවීන් ...මේ පණිවිඩය හැකිතරම් බෙදා හරින්න ....ඇත්තටම මේ අනතුර , විනාශයක් කරගන්නට බොහෝ අවස්ථා වල හේතු වනනේ “අනවශ්‍ය ලැජ්ජාව“ කියල මටත් හිතනවා...

    ReplyDelete
  6. @Gimhani ,
    ස්තුතියි ....ඉදිරියේදී පීළිකාඖෂධ ගැනත් ලියන්න හිතාගෙන ඉන්නවා...ප්‍රතිකාරය , අනතුරු , වලක්වාගැනීම වගේ

    ReplyDelete
  7. රවීන් අය්යගේ කතාව මාත් අනුමත කරනවා. මේවා ලැජ්ජාවට කාරණාවල් නෙමේ. අපිට නොමිලේ මේ ලැබෙන අවස්තාවෙන් ප්‍රයොජන ගත යුතයි.

    පීළිකාඖෂධ ,...ප්‍රතිකාරය , අනතුරු , වලක්වාගැනීම
    මේ ලිපියත් ගොඩාක් වැදගත් වෙයි.

    ReplyDelete
  8. ස්තුතියි ඔබ සැමටම...

    ReplyDelete
  9. සම්පූර්න ලිපිය පසුව නිවාඩු පාඩුවේ කියවන්නම් . . . බොහෝ අයට ප්‍රයෝජනවත් ලීයක් නිසා මුලින්ම ෆේස්බුක් එකේයි ගූගල් බz එකේයි ශෙයාර් කරලා ඉන්නම් . ..

    ReplyDelete
  10. කොහොමත් හොද කතාවක්..... පියයුරු පිළිකා ගැන දැනගෙන හිටියට අද තමයි සරලව සුගමව දැනගත්තේ... ස්තූතියි ඔබ තුමාට... අපි මේ ගැන පොඩි ප්‍රසිද්ධියක් දෙමු තව....

    ප.ලි. අර පරීක්ෂා කරන ක්‍රමය දුන්න එක හොඳයි... දැන් කට්ටිය දිනපතාම පරීක්ෂා කරයිද මන්දා.... (හෙද මහත්තයෝ... තරහා ගන්නවා නෙවෙයි..... :D)

    ReplyDelete
  11. අගනා ලිපියට ස්තුතියි...

    ReplyDelete
  12. මේක මම තදින්ම වෛර ක‍රන රෝගයක්. මොකද මගේ නැන්දා මිය යන්න හේතුව මේ කාලකන්නි රෝගය නිසා.
    http://ananthayata.blogspot.com/2010/12/blog-post_24.html

    මේ වගේ පැහැදිලි කිරීමක් කල එක බොහොම වටින දෙයක්. මන් ඒකට හිස නවා ස්තූතියි පුද ක‍රනවා.
    මමත් මට හැකි උප‍රිම අන්දමට මේ පෝස්ට් එක පබ්ලිශ් ක‍රනවා. මොකද මේ කාලකන්නි ලෙඩේ තුරන් ක‍රන්න පුලුවන් ඕනම දෙයක් මම ක‍රනවා.

    ReplyDelete
  13. @chathura .... ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට......

    ReplyDelete
  14. ගොඩක් වටින ලිපියක්.

    ReplyDelete
  15. @දුකා...ගොඩාක් ස්තුතියි , ඔව් අපි එකතුවෙලා මේ බ්ලොග් අවකාශය වර්ණවත් කරමු ....දැනුවත් කරමු....

    ReplyDelete
  16. @අභිත , අනේ නැහැ කිසි තරහක් ...අපි සතුටින් ....මේ දැනුම බෙදා දෙමු .......

    ReplyDelete
  17. @අනුරාධ , ඒ සිදුවීම නැවතත් නොවන්නට දැනුවත් වන්නට හැකිනම් .....තවෙකෙක් දැනුවත් කරන්නට හැකිනම් .....එයයි වටිනාකම ස්තුතියි

    ReplyDelete
  18. බොහොමත්ම ස්තූතියි දැනුවත් කිරීමට.. ඉතාමත් වටිනා ලිපියක්..

    ReplyDelete
  19. හැමදාමත් මාදිරි ගන්වන ඔබටත් බොහොම ස්තුතියි...

    ReplyDelete
  20. ටටික ටික දන්න දේවල් ගැන ගැඹුරින් සරලව කරුණු එකතු කරන මේ බොලොග් අඩවිට හරිම වැදගත්, අන්තර් ජාලයේ එබ්බට ගිහිල්ල පොතක් විදියට අනාගත පරම්පරිවටම මේක දායාද කරන්න පුළුවනි. ඒ එක්කම සිංහල විකිපීඩියාවට මේ දැනුම එකතු කරන්න පුළුවනි නම් අගෙයි. ඔබේ උත්සාහ හරිම සුන්දරයි. ස්තුතියි කියන වචනෙට ලඝු කරන්න බැරි තරම්.

    ReplyDelete
  21. ලිපිය බොහොම වැදගත් එකක් වගේ පේනවා දැන් වෙලාවක් නැහැ පසුව කියවන්නම් ........
    ස්තුතියි .......

    ReplyDelete
  22. @පන්සල් හන්දිය , ගොඩාක් ස්තුතියි ...මම මේ බ්ලොග් කළාවට ආධුනිකයෙක් , නමුත් උත්සාහ කරනවා යම් අරුත් බර දෙයක් කරන්නට..ඔබේ පන්සල් හන්දිය හරිම ලස්සනයි ...රසවත් ...

    ReplyDelete
  23. @ලිහිණී ,ඔබේ අදහසට මෙන්ම වැදගත් යෝජනාවටත් මම ගරු කරමි ..බලමු..අපි ඉදිරියට තවත් සුන්දර පියවරක් තබන්නට....

    ReplyDelete
  24. වැදගත් ලිපියක්

    ReplyDelete
  25. ඊයේ මේකේ ලින්ක් එක තැන් කිහිපයකදීම දැක්කත් කියවන්න එන්න තරං වෙලාවක් තිබ්නේ නැහැ..දැන් තමයි කියවන්න උනේ..වැදගත් ලිපියක් පහු වෙලා උනත් කමක් නැහැ මාත් දැන්ම මේක ෂෙයාර් කරන්නම්...

    ReplyDelete
  26. බොහොම ස්තුතියි ....ඒ වගේම හරිම සතුටුයි ..සිංහල බ්ලොග් කළාවේ මූලිකයෙක් ගෙන් ලැබුණු දිරි ගැන්වීමට ....

    ReplyDelete
  27. meeka nam harima wadagath lipiyak.lankawe kanthawan me parikshana nithare kare nathi unata wenath ratawal wala awrudu 20ta wadi hama kenekma wage lady doctors la meet wenawa ne maasa 3kata wage sarayak aniwaryenma.ethakota me parikshanath karanawa.mee gana godak dewal dana gaththa meeka kiyawala.godak sthuthiy !!!!!!!

    ReplyDelete
  28. @Anonymous,
    thank you very much for your kind support :-)

    ReplyDelete
  29. මාරයාගේ දැන්වීමකින් ආවේ...ඉතාම වැදගත් ලිපියක්... මාතෘකාව ගැන පොඩි අපැහැදිලිකමක් තියෙනවා... ලිපිය මූණු පොතේ ප්‍රසිද්ධ කරන්නම්....

    ReplyDelete
  30. ස්තුතියි , මාතෘකාව , අපහැදිලි කළේ ...ඔබට මේ කුමක්දැයි සොයන්නට පෙළඹවීමටයි ....

    ReplyDelete
  31. I highly appreciate your much valued article.i think this is a social work indeed.My humble suggestion is that these articles should be published in newspapers so that most number of people could see them.

    ReplyDelete
  32. I respect about your suggestion and thank you , I will try to do it as soon as possible ,

    ReplyDelete
  33. 7 wenida lakbima paththare manyokka walata cancer cell vinasa karannapuluwan kiyala thiyenawa oya mokada a gena hithanne...

    ReplyDelete
  34. sunday lakbima paththtare article ekaka thiyenawa myyokka walata cancer cell vinasa karanna puluwan kiyala..did you read??

    ReplyDelete
  35. anura ,Anonymous
    ඔව් මාත් කියවූවා ,එය සමහර විට විය හැකිය , ඒත් තවමත් නිසි විද්‍යාත්මක පර්යේෂණයක්(research) සිදු නොවීම කණගාටුවට කරුණක් , ස්තුතියි

    ReplyDelete
  36. ethamathma wadagath lipiyak.bohoma sthuthi

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)