2011/07/16

33) ඔබේ “ජීවිතය“ සොරා ගන්නා කම්මැලියා - Depression ..

අනේ...මට ජීවිතය දෙන්නකෝ .....
අද උදේ Duty , මේ දවස් ටිකේම වැටෙන කුඩු පොද අතරින් මගේ දඬුමොනරය පැදෙව්වා වාට්ටු අංක 55 ළඟටම .... අද උදේ මමයි , ගීත මිසුයි විතරයි ඉන්නේ .ඉක්මණටම වැඩ පටන් ගන්න ඕන .රාත්‍රී සේවා මුරය නිමා කළ හෙද නිලධාරිනියගෙන් වාට්ටුවේ ඉදිරි වැඩ ටික භාර ගත්ත .


 මම වෙනද වගේම මුලින්ම කළේ කාමරයෙන් කාමරයට ගිහින් අපේ රෝගීන් එක්ක ටිකක් කතා කරන එක . මුලින්ම A  room එක පුංචි කොළු පැටියෙක් අවුරුදු දෙකහමාරයි , කකුළෙ තුවාලයකට M.R.S.A. ගිහින් (මේ අති භයානක තත්ත්වය ගැන දැන ගන්න මෙතැනනින් )   පැටිය උදේ පාන්දරම නැගිටල නාන්න ලේස්තිය .“හලෝ චන්ඩි පැටියා ...දොයිය ගත්තනේ හොඳට .....“ පුංචි එකා හිනාවෙලා මා දිහා අහිංසක , සුන්දර හිනාවක් දැම්ම ..

ඊළඟට B , වයසක අම්ම කෙනෙක් වැටිල කකුළ බිඳිලා ..අවාසනාව කියන්නේ ඒ වයසක මනුස්සයටත් අර M.R.S.A පහරක් දීලා ...“මහත්තයා දැන් නම් අපිට හොඳට නින්ද යනවා ..රෑට පිරිත් දාල තියෙනවානේ ....“ කාමරේට එබෙන කොටම අම්ම කියනවා ...අපි පහුගිය දවසක සියළුම කාමර වලට බොහොම දුප්පත් විදියට ශබ්ද විකාශන පද්ධතියක් හයි කළා (අර ගල් ගුහාවේ යක්ෂයා ගැන ලියූ දවසේ මේ බලන්නකෝ) .අපේම නිර්මාණයක් රුපියල් දෙදාහකින් විතර ඔක්කොම වැඩ ටික කරගත්තා ...අපේම වැඩක්නේ ...හිතට හරිම සතුටුයි එයින් කෙනෙක් සතුට ලබනවා අහන එකත්.

ඊළඟට C කාමරේ . කාමරේට දොර ඇරියත් ඒ රෝගියා නිකමටවත් බැළුවෙ නැහැ . ඇඳේ වැතිරිලා , තවම........ පොඩි වෙනසක් දැනුනා මට. ‘රසික , මොකද තාම ඇඳේ ...නින්ද ගියේ නැත්ද , ? ....“ නිකමට වගේ ඇහැව්ව ..
“ ආ නිශාන්ත මහත්තයා ....අනේ මන්ද මට දැන් එපා වෙලා තියෙන්නේ මහත්තයා .මේ අදට දවස් පනස් එකක්, මම මේ ඇඳේ , තාමත් මේ තුවාලේ හොඳක් නැහැ , ගෙදර අයටත් කරගන්න අමාරුයි වගේ , ඇයි මහත්තයෝ ගමනටම රුපියල් තුන් සීයක් එපායැ ...“ රසික ගේ හිත හොඳටම දුකෙන් වගේ ,
“ඇත්ත තමයි රසික , ඒත් ඔයාගේ මේ තුවාලේ ඉන්න විෂබීජේ මරා ගන්න හරිම අමාරුයිනේ , ඔයා දන්නවනේ ලෙඩේ අමාරුකම ගැන ..“ ,
මේ...කඳුළු බිංදුව මගේ නොවෙයි (ද?)
“අනේ මන්ද මහත්තය , මට මොකක් හරි කරන්න  ගෙදර යාගන්න, මට දැන්නම් ඇති වෙලා තියෙන්නේ , මැරෙන්න තරම් හිතිලා තියෙන්නේ .., එක වෙලාවකට හිතෙනවා මොකක් හරි කර ගන්න , බැහැනේ මහත්තයො මේ විදියට ගෙදර අයට දුක් කරදර දෙන්න , “ ..කතාව නිමා කළත් ඔහුගේ කම්මුල් දිගේ රූටාගෙන යන කඳුළු බින්දු මගේ හිතට ගෙනවා සංවේගයක් ,

අවුරුදු තිස්තුනක තරුණයෙක් මේ විඳියට හඩන්නට හේතුවක් තියෙන්නම ඕනනේ ...“ ...රිය අනතුරකට ලක් වෙලා පාදයේ අස්ථි බිඳිමකට ලක් වුණු ඔහු අපේ ඒකකයට එන්නේ වෙනත් විශේෂිත ඒකකයකින් , මෙම ඒකකයට එවන්න හේතු වුනේ එම තුවාලය තුල M.R.S.A කියන භයානක විෂබීජය තිබීම ..අදට දවස් පහස් එකක් . අපේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍යතුමිය , එම වගකීම දරන අනෙක් වෛද්‍ය නිලධාරින් , ඒකකයේ සියළුම හෙද නිලධාරින් විතරක් නොවෙයි , අපේ කණිෂ්ඨ සේවක මහත්ම මහත්මීන් පවා මේ දවස් පනස් එක පුරාවට මේ විෂබීජය විනාශ කරල රසිකව  බේරා දෙන්න නොගත් උත්සාහයක් නැහැ. ඒත් තවමත් යම් තරමක ගැටළුවක් ඉතිරිව තියෙනවා .ඉතින් මේ තරුණ , ස්වාමි පුරුෂයාට , පියාට තම පවුලෙන් වෙන්වෙලා ගෙවන මේ ජීවිතය හරිම වේදනාකාරී බවක් තිබෙන්නේ , ප්‍රධානතම දේ මෙහෙම කෙනෙක් රෝහල් ගත වුනාම මුළු පවුලේම ආර්ථිකය , සමාජයම බැඳීම් බිඳ වැටෙනවා . ඊටත් වඩා මොහුට වෙලා තියෙන්නේ ලෝකයේ දරුණුම කෙනෙක් එක්ක Super bug සටනක් . මේ තත්ත්වයත් එක්ක මොහු යම් තරමක මානසික අවපීඩන තත්ත්වයක Depression ඉන්න බව අපට දැන් වැටහෙනවා .  අනෙක් කාමරයේ අද කවුරුවත් නැහැ , ඇවිත් වාඩි වුනා අපේ නිරීක්ෂණ කාමරයේ Observation point . මොකද ටිකට් ටික බලලා අද දවසේ වැඩ අඳුනගන්න ඕනනේ ,

කෙසේ වෙතත් අද මට ලියන්නට හිතුන මාතෘකාව Depression , එයට එක් හේතුවක් තමයි අද අපේ සමාජයේ බොහෝ අය මේ තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් හඳුනාගන්නට පුළුවන් විමත් .දන්නවද මේ ළඟදි කළ පර්යේෂණයකින් හදුනාගෙන තිබෙනවා වායු දුෂණය මානසික අවපීඩනයට හේතුවක් බවත් , ඒ නිසාද මන්ද අද අපේ සමාජයේ හරිම බහුල දෙයක් වෙලා මෙයි .

හිතේ දුකට..තේ වතුරත් ඇල් වෙනවා ..
ඇත්තටම මේකට කියන්නෙක් ‘මානසික රෝග වල හෙම්බිරිස්සාව‘ කියලනේ , මොකද මානසික රෝග අතරේ වැඩියෙන්ම තියෙන , පොදු ලක්ෂණයක් තරමට මෙම තත්ත්වය පවතිනවා.ඒ වගේම මෙම මානසික අවපීඩනය කියන්නේ වසර 2020 දී රෝග අතරින් (ශල්‍ය නොවන රෝග) දෙවැනි තැනට ඒවිය කියන පෙර අනාවැකියක් විද්‍යාඥයින් දෙනවා .

අපේ ජීවිතයේ ශක්තිය ටිකෙන් ටික උරා බොන මේ මානසික රෝග තත්ත්වයේ ලක්ෂණ මොනවාදැයි බලමු දැන් , මුලින්ම කියන්න ඕන සමහර ලක්ෂණ කියවත්දි අපොයි මටත් Depression කියල කළබල වෙන්න නම් එපා . මොකද  අපේ ජීවිතයේ සමහර අවස්ථා වල විඳින්නට වෙන වේදනාකාරී අත්දැකීම් , දුක්ඛ දෝමනස්සයන් එක්ක යම් තරමක මානසික අවපීඩන තත්ත්වයකට අපි පත් වෙනවා . ඒත් ඒ තත්ත්වය දින කිහිපයකින් සතියකින් විතර අපෙන් ඉවත් වෙලා නැවත යථාතත්ත්වයට එන්නට අපි බොහෝ අයෙකුට පුළුවන්.හැබැයි ඒ දුකින් ඉවත් වන්නට සති කිහිපයකින් හෝ මාසයකින් විතරවත් මේ දුක් මුසු හැඟිම් අපේ හිතෙන් ඉවත් කරන්න බැරිනම් , හිතේ ඇළුනු දුකක් හැම තිස්සෙම රැඳෙනවානම් , ජීවිතයේ සාමාන්‍ය කටයුතු වෙනස් කෙරෙන තරමට එය බලවත් වනවා නම් , පොඩ්ඩක් හිතන්න වෙනවා ඒ තත්ත්වය තමයි අපි සායනික මානසික අවපීඩනය Cinical depression කියල කියන්නේ ,

මට දැන්නම් එපා ා ා ා ා වෙලා ......
කොහොම වුනත් දැන් අපි බලමු මේ රෝග තත්ත්වයේ ලක්ෂණ මොනවාද කියලා .මේ තත්ත්වයේ මුලිකම ලක්ෂණ තමයි දිගු කාළීනවම හිතේ ඇළිල වගේ තියෙන දුක Sadness , කිසිම දේකින් සතුටක් ලබන්නට බැරිව කිසිම හැඟීමක් නැතිව වගේ ඉන්නත් පුළුවන් .
අනෙක ඒ තත්ත්වයේදි හිතෙන්නේම හැම දෙයක්ම වැඩක් නැහැ , බැහැ , ඔන්න ඔය වගේ බැරිකම්ම තමයි , අනාගතය හෙට දවස ගැන කිසිම බලාපොරොත්තුවක් , ආසාවක් ඇත්තේම නැහැ ,
මගේ...............වැරැද්ද ...........
ඒ විතරක් නොවෙයි හුඟ වෙලාවකට ඒ අය හිතනව යම් සිදු වීමක් සම්බන්ධව තමන් තමයි වැරදි කාරයා Guilty feeling  , මම නිසා තමයි ඒ කරදරේ උනේ ..ඕන්න ඔය විදියට හිතමින් විඳවනවා .
වෙනද වගේ ක්‍රියාකාරීව වැඩ කටයුතු කරන්නේ නැහැ , හැමතිස්සේම ඇඟ පත රිදෙන , ඇඟ පණ නැති කම් කියමින් දුක් බර අළසයෙක් බවට පත් වෙනවා .

දුක් කුණාටුවට අහුවුනාදෝ ...
දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙනවා ,එතකොට ඔය කියන ලක්ෂණ වලට අමතරව පාඩම් කරන කිසිම දෙයක් මතක නැහැ එයාලට , ඉස්කෝලෙ යන්නේත් නැහැ මඟ හරින්නමයි උත්සාහය , ඒ විතරක් නොවෙයි හිත එකළස් කරගෙන ඉන්නත් බැහැ , හැම තිස්සේම දුක් moods ම තමයි,

මේ කම්මැලි චරිත ලක්ෂණයත් එක්කම කෙනෙක් කෑම බීම ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් , රෑට හරියට නින්ද යන්නේ නැතිව උදේ  පාන්දරම ඇහැ ඇරෙන  මේ අය සමහර විට දවල් දවස පුරාම නිදා ගන්න තමයි කැමති ,ඔන්න දැන් තමයි අපි කාගෙත් පොදු වගේ ලක්ෂණය කියනනේ ඒතමයි මෙයාලට ඔළුවෙ කැක්කම් , බඩේ අමාරු ..නානා විධ ලෙඩ කියනවා  ,වැඩේ කියන්නේ මොන බෙහෙතකටවත් හොඳ වෙන්නේ නැහැනේ , හැමදාමත් ඒ ලෙඩේ ගැන කියනවා .

මේ අනතුර ඉක්මණින් හඳුනා ගන්න 
මේ හැමදේටම වඩා ඔබ අතිශයින් සංවේදී සහ සවන් දිය යුතු හැඟිමක් ප්‍රකාශ කරාවි , “මට දැන් ඇති වෙලා , මට එපා වෙලා , මම මැරෙනනවා , මැරෙන්න හිතිල තියෙන්නේ “ මේ ඔක්කොම එක පාරට යන එකක් නැහැ ,ඒත් මේ වගේ ප්‍රකාශයක් නිකුත් වුනොත් ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න , මේ තමයි මේ රෝග තත්ත්වයේ විනාශකාරීම ලක්ෂණය , සමහර විට සියදිවි නසා ගන්න Suicide උත්සාහ කරන්නටත් පුළුවන් , මේ වෙලාව වෙනකම්ම ඉන්න එපා , ඒත් මේ වෙලාවේ ඔබ කළ යුතු හොඳම දේ ඉක්මණින් මේ පුද්ගලයාම නිසි ප්‍රතිකාර සහ උපදේශනය සඳහා රෝහලකට යොමු කිරීම , නැතිනම් තව දින කිහිපයකින් සුදු කොඩි එල්ලන්නටත් වෙයි ඔබටම ...

වැස්සක් වගේ කඳුලු හෙලන්නට.. (එපා) 
මතක තියා ගන්නම ඕන දෙයක් තියෙනවා , මේ එක දිගට වැල වගේ ගියාගෙන ගියාට මේ ලක්ෂණ ඔක්කොම එකට නොවෙන්නත් පුළුවන් , ඒ වගේම Depression වල තියෙන විවිධ වර්ග එක්ක මේ ලක්ෂණ අඩු වැඩි වෙන්නත් පුළුවන් , (අපි නිකම්ම Depression කිව්වට මේතුල තවත් උප වර්ග ගණනාවක් තියෙනවා , උදාහරණ විදියට Major depression සති දෙකකට වඩා අපි මේ කියන ලක්ෂණ එක දිගටම තිබෙන කෙනෙක් මේ තත්ත්වයේ වෙන්නට පුළුවන් රෝග තත්ත්වය හුඟක් උග්‍රයි කිව්වට වැරදි නැහැ  ,

Dysthymia මේ තත්ත්වයේදි මුලින් කී තරම්ම රෝග ලක්ෂණ උග්‍ර නොවුනත් සෑහෙන කාළයක් මේ සමහර විට අවුරුදු ගණනක් මේ දුක්මුසු , සෘණාත්මක , වැරදිකාර යයි හැඟෙන චරිතයේ ඔහු ජීවත් වෙනවා , මොවුන් අපිත් එක්ක සමාජයේ වැඩකටයුතු කරමින් ජීවත් වෙනවා , හැබැයි හිනාවක් නැහැ , කඳුළු තමයි එයාගේ මූලිකම රසය .

තව වර්ගයක් තියෙනවා Bipolar depression කියලා , එතැනදි මෙයා කාළෙකට මෙහෙම අඬ අඬා Mood ගහගෙන ඉන්නවා , ටික කළෙකට පස්සේ මෙන්න සතුටේ ඉපිළෙනවා , උඩ පනිනවා , වැඩි වැඩියෙන කතා කරනවා හරිම සක්‍රියයි (Mania) , ඔන්න ටික කාළෙකට පස්සේ ආයෙත් අඩනවා , නිදා ගන්නවා , මැරෙන්න හදනවා ආයෙත් අවපීඩනේ .මේක මේ විදියට පැති මාරු වෙමින් විරින් වර අඩු වැඩි වෙමින් ජීවිතේ ගත කරනවා  ,

අනෙක් වර්ගය Seasonal depression මේකත් හරියට අර මෝසම් වැහි වගේ තමයි , හරියටම අවුරුද්දදේ එක කාළෙකට ලෙඩේ හැදෙනවා , ආයෙත් කාළෙකට පස්සේ අඩු වෙනවා . ඔන්න ඔය වගේ වර්ග ගණනාවක් මේ දුකේ තියෙනවා .)

දැන් ආයෙත් මෙහෙම කියන්නම් , මේ එක ලක්ෂණයක් දෙකක් ටික දවසකට තිබුණා කියලා කළබල වෙලා දුවන්න එපා , හැබැයි තමන්ටම හැගෙනවනම් මේ කණගාටුව මුසු හැඟීම අසාමාන්‍යයි, විඳින කාළ සීමාවත් හුඟක් වැඩියි  , ජීවිතේ කටයුතු වලට බාධාවක්, එහෙම නැත්නම් පාලනය කරන්න බැරි විදියේ දුකක් හිතට එනවා වගේ , වඩාත් හොඳ දේ තමයි නිසි ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන එක ,

ඔබේ අත දෙන්න ..මගේ හිත නැගිටවන්නට 
එතැනදි විශේෂයෙන්ම කියන්න ඕන මේ කරුණත් , අපේ හුඟ දෙනෙක් ලැජ්ජයි මානසික රෝග සායනයට ගියා කියන්න , ඒක හරිම නොදැනුවත් කමක් මමනම් හිතන්නේ , හැබැයි මීට කාළෙකට ඉස්සර නම් එහෙම හිතෙන එක සාධාරණයි , මොකද එතකොට කසාදයක්වත් කරගන්න බැරිවෙනවානේ ගමේ පැතුරුණාම , ඒත් අද මේවගේ මානසික රෝග විතරක් නොවෙයි මානසික ගැටළු විසඳා ගැනීම සඳහාත් මෙම සායන කටයුතු කරනවා , උපදේශනය දෙනවා , අනෙක මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නවා කියන්නේ , ඒක හංගගෙන ඉන්නවාට වඩා උගත්කමක් . ඒ වගේම පවුලේ , ඔබේ මිතුරන් අතරේ මේ ගැටළුව තිබේ යැයි හඳුනාගන්නට පුළුවන් නම් උදව් කරන්න , අඩුම තරමේ උපදේශනය සඳහා වත් යොමු කරන්න , ඒ සඳහා රජයේ ආයතන වගේම රජය පිළිගත් උපදේශන ආයතනත් තියෙනවා , හොඳට මතක තියා ගන්න අපිට හමුවී තිබෙනවා මේ රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබමින් තමන්ගේ රාජකාරි කරන ප්‍රසිද්ධ ගුරුවරු , කථිකාචාර්යවරු , දේශපාලන ක්ෂේත්‍ර යේ ප්‍රබලයන් පවා .

මට කවුරුවත් නැහැ ආදරේ  ....
අපි දැන් හොයල බලමු මේ තත්ත්වයට හේතු මොනවාද කියලා. මේ රෝග තත්ත්වයටත් පරම්පරාගත සම්බන්ධයක් හඳුනාගන්න පුළුවන් , මට හොඳ උදාහරණයක් මතක් වුනා , අපේ ඒකකය ළඟම තියෙන්නේ මානසික රෝග ඒකකය , එහි සිටියා තාත්තයි , පුතයි දෙන්නම Depression සඳහා ප්‍රතිකාර ගන්නවා , මට ඔවුන් මුණ ගැහුණ ගිය සතියේ දවසක , පුතා නම් හොඳම තත්ත්වෙක හිටියා කියන්න පුළුවන් , තාත්ත නම් තවමත් ටිකක් අසනිපයෙන් වගේ , මේ දෙන්නටම උදව් උපකාර කරන්න රෝහලේම නතරවෙලා ඉන්න  ඒ දරුවගේ අම්ම , අපේ ඒකකයත් මානසික ඒකකයත් අතරේ නිතරම සක්මන් කරමින් ඉන්න නිසා , අපි ඔවුන් එක්ක කතාබහ කරනවා , ඒ නිසාම ඔවුනුත් අපේ පවුලේ සාමාජිකයන් තරමටම හිතවත් . විශේෂයෙන්ම මේ වගේ පවුල් බැඳිමක් සහිත රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙන අය දුම්වැටි , හෝ මත්පැනට ඇබ්බැහි වුනොත් , එහෙම නැතිනම් අතිශ්‍යය මානසික වේදනාකාරී සිදුවීම් වලට දිගින් දිගටම ගොදුරුවන්නට වුනොත් ඔහු හෝ ඇය මේ රෝගයට ගොදුරු වීමේ අවස්ථාව ඉහල බව සොයාගෙන තිබෙනවා .

ඊට අමතරව මේ රෝගීන්ගේ මොලේ ඇතුලේ තියෙන ස්නායු සම්ප්‍රේශක Neurotransmitter වල යම් යම් අක්‍රමික තත්ත්ව පවතින  බවත් පර්යේෂකයින් සොයාගත්තා , ඒත් කියන්නම ඕන දෙයක් තියෙනවා , මේ බොහොමයක් මානසික රෝග වලට හේතු ගණනාවක් බලපාන්න පුළුවන් , ඒ ඔක්කොම එකතු කරලා කියනවා Bio-psycho-social model of causation (ජීව-මානසික-සමාජීය හේතුකාරකයන් ) නමින්.

ඒ වගේම ඔබේ පෞරුෂයත් මේ තත්ත්වයට රැකුල් දෙන්නක් විය හැකිය , ඔබ හැම තිස්සේම තවකෙනෙක් මත තදින්ම යැපෙන , එල්ඹගෙන ඉන්න පුද්ගලයෙක් නම් , ඒවගේම හැමැදේම වැරදියට දකින සර්ව අශුභවාදී චරිතයක් නම් , හැමදේම බැරි බැරි යැයි  හැගෙන ඉක්මණින් කළකිරෙන පුද්ගලයෙක් නම් ටිකක් පරිස්සමින් දැනුවත්ව කටයුතු කරන්න , ඒ වගේම ඔබට හුඟාක් දුක හිතෙනවනම් , ඔබ ගැන කිසිම සැලකිල්ලක් හිතෙන්නේ නැත්නම් තවත් පරිස්සම් වෙන්න , ඒවගේම අපි එකට Set එකේ ඉඳලා යළුවෝ මාව කොන්කරනවා වගේ දැනෙනවනම් , ඒ ගැන දුකෙන් නම් , ඔයාට තිබුණු  පිළිගැනීම , ලොකු කම නැති වුනා වගේ දැනෙනවානම් මේ පෞරුෂ ලක්ෂණ වෙනස් කරගන්න පුළුවන්ද බලන්න . මොකද නැත්නම් අනතුරක් විය හැකියි .

මගේ සතුට....කෝ.....
ඒ වගේම ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්විම් වල බලපෑම නිසාත් මේ තත්ත්වය ඇති වන්නට පුළුවන් , හොඳම උදාහරණය තමයි බබලා හම්බවුනාට පස්සේ ඇති වන අවපීඩන තත්ත්වය , අපි ඒකට වෛද්‍යවිද්‍යාවෙදි කියන්නේ postpartum depression කියල , ඒක නිවැරදි කරන්න පුළුවන් තත්ත්වයක් .

ඒ වගේම ආර්තවාභාවය menopause ආශ්‍රිත කාළ සීමාවෙදිත් , පිළිකා හෘදයාබාධ වගේ අවස්ථාවලදීත් මෙම තත්ත්වය මතුවෙන්න පුළුවන් , ඒවගේම අතිශ්‍යය වේදනාකාරී සහ දිගු කාළීනව ප්‍රතිකාර ගන්නට වෙන අවස්ථාවලදීත් , ඒ වගේම දැඩි සත්කාර ඒකක වගේ ඒකක වල කාළයක් ප්‍රතිකාර ගන්න රෝගීන්ටත් මේ depression තත්ත්වය තාවකාළිකව හරි ඇති වන බව හඳුනාගන්න පුළුවන් .

සමහර ඖෂධ දිගු කාළයක් ගන්ත්දිත් මේ තත්ත්වය මතු වෙනවා , හොද උදාහරණය තමයි අපස්මාර ත්ත්වයට ගන්නා ඖෂධ වර්ග කිහිපයකට මේ බලපෑම ඇති කරන්නට පුළුවන් , ඒ විතරක් නොවෙයි Prednisolon , උපත් පාලන පෙති වර්ග , වගේම අධිරුධිර පීඩනයට ගන්නා ඖෂධ , නිදි පෙති නිසාත් මේ තත්ත්වය මතුවෙන්න  පුළුවන් , ඔන්න දැන් ඉතින් බෙහෙත් ඔක්කොම විසි කරළා ඇඳට දුවන්න එපා , ඒ සඳහා තමයි වෛද්‍යවරු ඉන්නේ , ඔය වගේ ඖෂධ ගනිත්දි ඔබට අපි මුලින් කීවා වගේ වෙනසක් දැනෙනවානම් ඒ බව ඔබේ වෛද්‍යවරයාට දන්වන්න , එවිට ඔහු ඒ සඳහා වෙනත් ඖෂධයක් ලබාදීම , තාවකාළිකව අඩු කිරීමක් හෝ වෙනත් සහනකාරක ඖෂධයක් ලබා දීමක් සිදු කරාවි . හිතුමනාපෙට තමන්මට ඕන විදියට බෙහෙත් කරන්න යන්න එපා , ඒ සඳහා විශේෂ පුහුණුවක් සහිත සෞඛ්‍ය කණ්ඩායමක් ඔබ වෙනුවෙන්ම ඉන්නා බව මතකයේ ලබා ගන්න .

මට දුකයි මගේ අම්මේ .....
ඒ වගේම වෙනස් කරන්නට අමාරු හේතු කිහිපයකුත් තියෙනවා , සත්‍රීත්වය , වයස්ගතවීම , ආතතිය වැඩි රාජකාරී හෝ පරිසරය , හුදකළාවීම වගේම පවුලේ ළඟම අයෙකුගේ වෙන්වීමත් සාධක වෙන්න පුළුවන් , ඒ වගේම දරුවන්ට පාසලින් හෝ නිවසෙන් කෙරෙන තදබල පීඩනයන් මේ සඳහා ඉහළ සාධකයක් වෙනවා , ඒ ගැන කියන්නම ඕන නැහැනේ හැම වසරකම සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුනාට පස්සේ සිදුවන තරුණ සියදිවි නසා ගැනීම් ගැන කියවත්දි , (විශේෂයෙන්ම මෙය කියනව දෙමාපියන්ට කිවයුතුම දෙයක් තියෙනවා , දරුවා අධ්‍යාපනය කෙරෙහි සතුටින් උනන්දු කරන්න, දුක සතුට දරාගැනීමට හුරු කරවන්න , ඒත් මස් කඩයට දක්කන හරකෙක් කරමින් බලහත්කාර බුද්ධිමත් බවක් ආරෝපණය කරන්නට උත්සාහ දරන්න එපා ඔබේ දරුවාට ,  එය යම් දවසක ඔබේ ජීවිතයේ අවාසනාවන්තම සිදුවීමට හේතුකවත් වේවි .) ඒ වගේම දරුවා A.D.H.D. වගේ තත්ත්වයකින් පෙළෙනවානම් (එන්න මෙතැනින් ඒ ගැන දැන ගන්න ) , අනේ ඔබේ දරුවා පරිස්සම් කරගන්න , ඔබේ ආදරය පිරී ඉතිරී යන විදියට දරුවට දෙන්න , ඒ තරම් සතුටක් ලොවේ තියෙනවද මට නම් හිතා ගන්නට බැහැ .

දැන් මොකද කරන්නට ඕන , ඔබට , ඔබේ හිතවතාට මේ වගේ ගැටළුකාරී හෝ සැක සහිත ලක්ෂණ තිබේ නම් ඉක්මණින් ඔබේ පවුලේ වෛද්‍යවරයාට හෝ මානසික රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත වෛදළුවරයෙක්ට පෙන්වන්න , ඔහු එවිට සාකච්ඡා කරමින් , චර්යාවන් අධ්‍යයනය කරමින් සමහර විට රැධිර පරීක්ෂණ කිහිපයකුත් කරමින් රෝග විනිශ්චයකට ඒවි , හොඳට මතක තියා ගන්න මේ රෝග වලදී පවුලේ අයගෙන් , ළඟම හිතුවතුන්ගෙන් ලැබෙන සත්‍ය තොරතුරු වලත් ලොකු වැදගත්තමක් වෛද්‍යවරයාට ලැබෙනවා රෝග නිර්ණයේදි , ඒනිසා ඔබත් කතා කරන්න .

ඉන් පසසේ ඔහු ඔබේ රෝගියාට උපදේශනය Counselling  , වගේම විවිධ චර්යාත්මක ප්‍රතිකාරත් behavioral therapy නියම කරාවි . ප්‍රති අවපීඩක Anti depressive medicines ඖෂධත් ලබා දෙන්නට අවස්ථාවක් තියෙනවා , සමහර විට විද්‍යුත් කම්පන ප්‍රතිකාරය E.C.T කියන ප්‍රතිකාර ක්‍රමයටත් යොමු කරන්නට පුළුවන් , මේ ප්‍රතිකාර ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා , ඒ සෑම ප්‍රතිකාරයක්ම කෙරෙන්නේ විශේෂ පුහුණු සේඛ්‍ය කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් , අධීක්ෂණයෙන් . ඊට අමතරව ඔබටත් දැන්වත් කිරීමක් කරාවි නිවසේදි රැක බලා ගන්නේ කොහොමද කියලා (මේ ගැන මගේ ලිපියකට මෙතැනින් යන්න පුළුවන්)  , හොඳින් මතක තියා ගන්න  ඔබේ රෝගියාට එකවරක් ප්‍රතිකාර කළ පමණින්ම සුව වෙන්නට තිබෙන අවස්ථාව අඩුයි , ඔබේ උදව්ව ඕනෑ , වෛද්‍ය උපදෙස් මත වරින් වර ඔහුගේ තත්ත්වය අගැයුම් කරන්නට සායනයට එක්ක යන්න වේවි , අනේ කරදයක් කියල අතැරල දාන්න එපා , ඒ වටින ජීවිතයක් , ඔබේ ආදරේ බැඳිම වෙනදාට වඩා දැන් ඕන නේ .
පෙතී ...ඇතී ....කියන්න නම් එපා ....

රෝගියාට පාචිච්චි කිරීම සඳහා විවිධ ඖෂධ කාණ්ඩවල බෙහෙත් වර්ග තිබෙනවා , රෝග තත්ත්වයේ ස්වභාවය , වයස වගේ තවත් කරුණු ගණනාවක් ගැන සලකා බලලා , වෛදවරයා යම් ඖෂධ කිහිපයක් නියම කරාවි , හොඳට මතක තියාගන්න මේ බොහොමයක් ඖෂධ වලට නිදිබර ගතියක් , හිසේ තරමක බර ගතියක් කථා කරත්දි දිව බරයි වගේ දැනීමක් ඇති වෙන්න පුළුවන් තොළකට වේළිලා වගේ දැනේවි , මළපහ පිටකිරීමේදි මලබද්ධය constipation  වගේ ඇති වන්නටත් පුළුවන්  , ඒකට හේතුව ඖෂධය මොළයේ යම් බලපෑමක් කරනවා කියන එකයි , ඒ ගැන කළබල වෙන්න එපා ,වැඩිපුර වතුර , දියර වර්ග බොන්න (අර සැර මෝඩ බීම නොවෙයි ) ,  හැබැයි මේ බෙහෙත් කාළයක් තිස්සේ ගන්නකොට ඇඟ සුදුමැළි වෙනවා වගේ දැනෙනවා නම් , වෙනදට වඩා මහන්සි බවක් පෙනෙනවානම් ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න , සමහර ඖෂධ වලට පුළුවන් ලේ නිශ්පාදනය තාවකාළිකව අඩු කරන්නත් , ඒක වෙන්න පුළුවන් අර වගේ ලක්ෂණ ඇති කරන්නේ , ඒ වගේම ඖෂධ ගනිත්දි වෛද්‍යවරයාගෙන් අහන්න ඕනම දෙයක් තියෙනවා , ඒතමයි අපත්‍ය ආහාර මොනවාද කියල , සෙම වැඩි වෙන නිසා නොවෙයි , චීස් , චොකලට් , සමහර මස් වර්ග වගේම මධ්‍යසාර භාවිතයත් අනතුරුදායක වෙන්න  පුළුවන් ,

බෙහෙත් ගැන අනෙක් වැදගත්ම දේ , මේ බෙහෙත් දවසක් දෙකක් ගත්තා කියලා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ , සමහර විට ඕවගේ දැනෙන්න පුළුවන් , එත් වෛද්‍ය උපදෙස් වලට  අනුව නියමිත කාළයම බොහෝ විට සති හයක් විතර අඛණ්ඩව නිසි අයුරින් ගන්නට වේවි  , ඒ වගේම බොහෝ අවස්ථාවල එය තව දුරටත් ඉදිරියට නියම කරන්නට ඉඩ තියෙනවා (ඔබේ වෛද්‍යවරයා විසින් ) හොඳින් මතක තියා ගන්න නිසි වෛද්‍ය උපදෙස් මතම ඖෂධ ලබා දෙන්නට , වරින් වර ඖෂධ ප්‍රමාණයන් , මාත්‍රාවන් වෙනස් කරන්නට ඉඩ තිබෙන නිසා “පරණ චිට් එකට“ හැමදාම බෙහෙත් අරන් බොන්න හෝ දෙන්න එපා . විශේෂයෙන්ම  කිවයුත්තක් තියෙනවා , depression පාලනය හෝ සුව නොකර ගත්තොත් අනාගතයේදී හෘදයාබාධ , දියවැඩියාව වගේ තවත් අතුරු රෝග තත්ත්ව ඇති වෙලා වැඩේ තවත් කරදර වෙන්නටත් පුළුවන් .

ලිපිය දිග වැඩිවුනාද මන්ද , අපොයි මේ කෝච්චියට අහුවුනා වගේ කියල දැන් ඔබට හිතේවි . ඒ එක්කම මතක තියා ගන්න , මේ රෝගීන්ට නිසි රැකවරණය ,ආදරය සහ ප්‍රතිකාරය නොලැබුණොත් කෝච්චියට පනින්ත් පුළුවන් , එතකන් ඉන්න එපා ආදරෙන් රැක බලා ගන්න   මිනිස්කමට ආදරය කරමින්.

සතුට ...එළිය ...
දැන් මගේ ලිපිය ඉවරයි , දැන් අපේ කතාවේ රසිකට මොකද වුනේ කියන්න එපායැ , උදේ අටට විතර රසායනාගාරයට ගිය ජයන්ත මලය සුභ ආංචියක් අරගෙන ආව , එයාගේ Culture reports , normal ඒ කියන්නේ රසිකගේ තුවාලේ හිටිය අර දරුණු M.R.S.A විෂබීජ විනාශ කර දාන්න පුළුවන් වෙලා . රිපෝට් එක අතට ගත්ත ගමන් පියාඹලා වගේ ගියේ C room එකට , “රසික හොඳ ආරංචියක් .රිපෝට් නෝමල් , ඒකියන්නේ අපිට ලබන සතියෙ විතර ගෙදර යන්න පුළුවන් වේවි “ . රසිකගේ හිතේ  පුපුරා ගිය සතුට , රසිකගේ මුහුණ පුරාවට වැදිලා , මගේ ඇඟටත් වැදුනා වගේ මට දැනුනා.

මේ තත්ත්වයආශ්‍රිතව ඇතිවිය හැකි අවාසනාවන්ත තත්ත්වයක් ගැන  තවත් ලස්සන කතා කිහිපයක් “දුකා“ගේ බ්ලොග් සටහනින් ඔබට කියවන්නට පුළුවන් , (මෙතැනින් ඇතුළුවන්න) , ඒ වගේම “අනිත් කොණ “ සටහනට ගිහින්  තවත් දේ දැන ගන්න. මෙන්න දැං දැක්කා Gold fish ගේ මාළු ටැංකියෙත් මේ ගැන “කතාවක් “ තිබුණා

******* මේ ලිපිය ලියන්නට ගත්තතේ ඊයේ හවස , ඒත් ටිකක් කලබලකාරී වුන නිසා , ඒනිසාම මෙය සම්පුර්ණයෙන් සකසන්නට පෙර මගේ අතින් වරින් වර  වැරදිමකින් publish වුනා  , ආයෙත් ඒ post එක delete කරන්නට වුනා . ඒ නිසා සමහර විට ඔබ අපහසුතාවයකට පත්වුනා නම් මම සමාව ඉල්ලා සිටිනවා , එය මගේ අතපසුවීමක් ...හේතුව තමයි මම සේවය කළ වෘත්තීය පුහුණු ආයතනයේ මගේ සිසු  සිසුවියන්  , අපිට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරල තිබුණා , ඒක දැනගත්ත වෙලාවේ සිටම හිතේ පිරිළ තිබුණ ආදරණිය සතුටට ටිකක් අවිවේකී වුනා වගේ දැනුනා .

රසම රස කෑම වේලක් , පුංචි පැටික්කියන්ගේ අතින් උයපු රතු හාලේ බතකට , රසට රස පොල් සම්බල් , වම්බටු මෝජු , ඇඹරැල්ලා වැංජන , අළුත්ම අළුත් පළා මැල්ලුමක් (ඒ පැටවු ගොඩාක් එළවළු පළ වර්ග වවනවා ) , පරිප්පු , මාළු මිශ්‍ර කරපු මාළු මිරිස් වැංජනයක් ...සතුටට කියා ගෙන ගියාට දැන් මට ආයෙත් බඩගිනනක් එනවා , මොකද දැන් වෙලාව උදේ නමයහමාරයි , මේ වැඩේ අවසානයක් කරලම පාතරසය වළදන්න ඕන , මේ අතරේ අපේ දිනිති අක්ක , මිතිලි නංගිට කෑම කවනව , හරි ආසාවෙන් ඒ කතා අහගෙන තමයි මේ වැඩේ දැන් අවසන් කරන්නේ .


21 comments:

  1. පසුගිය කාලයේ අපේ ගොඩාක් බ්ලොග් වල මාතෘකාව උනේ සියදිවි නසාගනීම. එකට හොද පිලිතුරක් මේ ලිපිය. තවත් මේ depression තත්වය ඇති උන කෙනෙක්ට හොදම
    දෙයක් තමා තමන් අදහන ආගම . ඒ තුලිනුත් ලොකුම පිහිටක් ලැබෙනෙව. මේ depression ඇති අය නිතරම බලන්නේ හුදකලා වීමට නේද? මෙවනි අය ගෑන ගොඩාක් සැලකිලිමත්විය යුතුයි . එවනි අයට නිතරම සිතෙන්නේ තමාව කාටවත් උවමනාවක් නැති කෙනෙක් විදියටයි. ඉතින් දිගින් දිගට එහෙම සිතීම නිසා සිය දිවි හානි කරගනීම දක්වා දුර යනවා.
    ස්තුතියි . හොද ලිපියක්.

    ReplyDelete
  2. ස්තුතියි ගිම්හානි, ඔබේ කරුණුත් මේ ලිපියට වැදගත් කරුනක් එක් කළා

    ReplyDelete
  3. වැදගත් බ්ලොග් ලිපි ටිකක්.මට නිවී සැනසිල්ලේ කියවන්න ඕනේ.ස්තූතියි මේවා අපිත් එක්ක බෙදා හදාගන්නවට.

    ReplyDelete
  4. ගලා යන ජීවිතය , සතුටුයි ඔබ ආවාට ...

    ReplyDelete
  5. ඇත්තටම මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් හරහා ආවේ මම දුන්නු ඒ ගැජට් එක දාගෙනද බලන්න...
    එත් උනේ මොකක්ද??? මම කැමතිම සබ්ජෙක්ට් එකක් යටතේ ඔයා ලිපි ලියන්නේ...

    මට පුලුවන් නම් මේල් ඇඩ් එක දෙනවද???
    sadaru.world@gmail.com

    ReplyDelete
  6. ඔව් දේවා ..ඔබ ලබා දුන් gadget එක තමයි මේ සටහනේ ඉහළින්ම කොළ පැහැයෙන් තියෙන්නේ .
    ස්තුතියි පැමිණියාට

    ReplyDelete
  7. ඔබ තුමා දන්නවාද වැඩිම මානසික රෝගීන් සංබ්‍යවක් ඉන්න ප්‍රදේශය කොහේද කියලා. අම්පාර ප්‍රදේශයේලු. හේතුව අම්පාර රෝහලට මේ සදහා වෙද්‍යවරුන් නොමති කමයි. ඉතින්
    මේවා කාට කියන්නද?

    ReplyDelete
  8. ගිම්හානි,මම මේ පිළිබඳව නිවැරදිව දැන නොසිටියත් ඔබේ සරු දැනුම සහ දිරි ගැන්විමට තුති පුදමි.

    ReplyDelete
  9. තවත් අනර්ඝ ලිපියක්. අද අපට හමුවෙන හැම කෙනෙකුටම වගේ depression අඩු වැඩි පමණින් තියෙනව. ඒ මේ සමාජ ක්‍රමය තුලින් ජීවන රටාව තුලින් ඇතිවන ආතතිය හෝ ස්ට්‍රෙස් එක නිසා. ඉතා වැදගත් ලිපියක් බොහෝ අය මේ තත්වය හංගාගෙන ඉන්නවා. අන්තිමේ දිවි නසා ගන්න පෙළඹෙනවා. අපිට හමුවූ බොහෝ රෝගීන්ගේ තත්වය මෙයයි. මානසික රෝග වලට සමාජය දක්වන බිය නිසාත් මෙවැනි රෝගාබාද වලින් තමන් පෙලෙන බව කියන්න උදව් ඉල්ලන්න අපේ මිනිස්සු බයයි. රෝහලේ ඇතැම් වාට්ටුවල ප්‍රතිකාර ගන්න පැමිණෙන රෝගීන් මානසික සායනයටද යොමු කර්‍රන විට ඔවුන් ඔවුන්ට කිසිම මානසික අසහන කාරී බවක් නැති බව පෙන්වන්නටත් තරහ ගන්නටත් පෙළඹෙනවා. එලෙස උපකාර , ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කල එක් රෝගියෙක් මසකට පමණ පසු දිවි නසා ගත්තා. එය එවකට ඔහුට ප්‍රතිකාර කළ කායික රෝග වාට්ටුවේ අපට ගෙන ආවේ දැඩි දුකක්.

    ReplyDelete
  10. @Anithkona , ස්තුතියි ඔබේ පැහැදිලි කිරීහට සහ දිරි ගැන්විමට

    ReplyDelete
  11. ඉතා වටිනා ලිපියක් පල කලාට බොහො පින්. මගෙ ප්‍රශ්නය මානසික රොග සැදී සුවවු අයට විපස්සන භාවනා වැනි ජීවිතය කලකිරෙන භාවනා සුදුසුද??

    ReplyDelete
  12. Anonymous . මෙම කටයුත්තේ ආගමානුකූල පල- අපල කෙසේ වෙතත් මානසික රෝගයකින්(අවපීඩනය වැනි) සුව වූ විගස විපස්සනා භාවනාව වැනි සංකීර්ණ ක්‍රියාවකට යාම එතරම් සුදුසු නොවන බවයි අපේ අත්දැකීමෙන් කියන්නට හැක්කේ , සුව වූ පසු නැවත යථා තත්ත්වයට එන්නට යම් කළක් ඔහු සරළව දෛනික කටයුතු වල යෙදීමයි වඩා සුදුසු ,

    විශේෂයෙන්ම මෙහිදි රෝගයේ තත්ත්වය , වර්ගය , සුව වනවිට ස්වභාවය , නැවත මතුවීමේ හැකියාව , මෙන්ම මනසට දැරිය හැකි සීමාව වැනි කරුණු බොහොමයක් පිළිබඳව දැනගෙන ලබා ගත යුතු තීරණයක් , වඩාත් සුදුසු ඔබ ප්‍රතිකාරයෙන් නිමවන අවස්ථාවේ ඔබට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් ද මේ පිළිබඳ විමසීමයි , හේතුව ඉහත කරුණු අයෙකුගෙන් අයෙකුට වෙනස් විය හැකි නිසා . ස්තුතියි

    ReplyDelete
  13. hand phone ekenuyi me paththata awe, e nisayi singlish walin liwwe. warthamaanaye minissu kaalayth samaga karana tharagaya, arthika yuddaya jayaganna karana satana me thathwaya wadiwenna oku hethuwak. aduma gaane sathiyakata sarayakwath pansalakata gihin bodi poojawak thiyalaa payak k inna puluwannam hitha godak niwenawaa. e wagema mona wada thibunath maasekata sarayakwath ape sameepathma aya ekka nidahas thanakata gihin inna puluwannam eka godak hoda deyak.

    ReplyDelete
  14. ඇත්තටම ගුරැපියාණනි කවුද ඔබට ඔය හොද හිත දුන්නෙ?.......... සර් දුකින් ඉන්න හැමෝටම උන්මාදය හැදෙනවද? මේනියා තත්වයත් මේකට බලපනවාද?

    ReplyDelete
  15. ඇත්තටම ගුරැපියාණනි කවුද ඔබට ඔය හොද හිත දුන්නෙ?.......... සර් දුකින් ඉන්න හැමෝටම උන්මාදය හැදෙනවද? මේනියා තත්වය මේකට බලපානවද?

    ReplyDelete
  16. @nadeesha ,
    දරුවෝ , ඔබේ හිත නිවැරදි කරගන්නේ ඔබ විසින්මයි , පරිසරයෙන් බලපෑම් ඇති කළත් අවේණීයෙන් යම් බලපෑමක් ඇති කළත් , නිවැරදිව සිත මෙහෙයවන හැටි , පාලනය කරන හැටි තේරුම් ගත යුත්තේ ඔබ විසින්මයි ,
    ඒක අතකින් ඔව් කියන්න පුළුවන් , සබ්බේ පුතග්ජනා උම්මත්තකා නේ ..නමුත් මෙය රෝගී තත්ත්වයක් බවට පත්වීම සියල්ලන්ටම සිදුවන්නේ නැහැ , අපි හමෝම ජීවිතයේ යම් අවස්ථාවන්හිදි දුකින් වේදනාවෙන් ඉන්නව , ඒ වෙලාවට තාවකාළිකව අවපීඩන තත්ත්වයක් ඇති වුනත් එය ඉක්මණින් නිවැරදි , යථා තත්ත්වයට පත් කරගන්නට අපිට පුළුවන් , හිතන්න අපේ ළඟම ඥාතියෙක් මිය යාම වගේ අවස්ථාවක ...නමුත් මේ දුක සිතේ ඇළිලම තියෙනවා නම් සති ගානක් පුරාවට ටිකක් සොයා බලන එක හොඳයි ...

    ස්තුතියි නදීශා ..ඔබේ අනෙක් මිතුරු මිතුරියනුත් අන්තර්ජාලයෙන් සරු රසයන් වෙත යොමු කරවන්න උත්සාහ ගන්න

    ReplyDelete
  17. All in one ,
    ඇත්තෙන්ම ඔබට එකඟ වෙනවා මම ඉහළින්ම , මමත් මේ උපක්‍රම ක්‍රියාත්මක කරමින් , ජීවිතයේ සියළු කළබල , ආවේග , තරඟ මනස තුවාල නොකරගෙන කරන්නට උත්සාහ කරන්නෙක් ,

    ස්තුතියි මේ ලිපියට වැදගත් ඌනපූර්ණයක් සැපයූවාට

    ReplyDelete
  18. සර්ගේ ඉල්ලිම ඉටුකරන්න උපරිම උත්සහ කරන්නම්. පොඩි ගැටලු ටිකක් තියනවා. ඒවා පුලුවන් ඉකමනින් විසදා ගෙන යාලුවොත් එක්ක යම් දිනක එන්නම් සර්

    ReplyDelete
  19. nadeesha ස්තුතියි දුව ,

    ReplyDelete
  20. Oba thumata behewin sthuthi mawa mema lipiyata yomu kalata.. Eththwashayenma mama mema rogayen suwa athata pathwu namuth mata lagadi sita newathath ema awapidanayen pelena bawata hegenawa.. Mata dukath samaga palanaya karaganna beri kenthiyak saha tharahath yanawa. A welawata kiyanne monawada karanne monada kiyala matawath therenne ne.. Me hethuwa nisa man hemogenma kon wela kiyala mata hithenawa..

    Mein mata hekithak ikmanata midimata awashyai. Kumana heinda meeta ihathadi mema rogayen peli darunu wu wita jiwithaya ahimi karagenimata pawa giya awastha bohomaya. Newathath eya weema welekweemata katayuthu karagenimata awashya wuwath mage pawule aya eya wihiluwakata ganna nisa mama nihada wunemi.

    Mata Pihita wanna mahathmayanani!!

    ReplyDelete
  21. Anonymous ,
    ඔබතුමාගේ / ඔබතුමියගේ ගැටළුව කරුණාකර මගේ email එකට එවන්න. නැත්නම් මගේ දුරකථනය 0712004793 ට ඕනම වෙලාවක කතා කරන්න , මට පුළුවන් උපරිමයෙන් උදව් කරන්නට මම සූදානම් , එන්න කතා කරන්න , හිතේ තියෙන දුක , ගැටළුව , දැනෙනදේ මට/අපට කියන්න , ඉන් ඉදිරියට යන යමක් කළ යුතු නම් අදාල උපදේශනයකට හෝ මනෝ චිකිත්සීය ප්‍රතිකාරයකට යොමු වෙමු , එයටත් හැකි උදව්වක් කරන්නට පුළුවන් වේවි , ඔබ වෙනුවෙන් ඕනම වෙලාවක මමත් මගේ බිරිඳත් ඉන්නවා , අපිට කතා කරන්න , නැත්නම් maheshnishantha@live.com වෙත ලියන්න .මතක තියා ගන්න , ඔබේ හොඳම මිතුරෙක් සහ මිතුරියක් ඔබට සවන් දෙන්නට මග බලාගෙන ඉන්නා වග ....ස්තුතියි , පිළිතුරු බලාපොරොත්තු වෙමි .

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)