2011/07/01

25th Discussion -“ගල් ගුහාවේ යක්ෂයා“ ඔබ අසළම...සටනට..... සැරසෙන් ..


හුඟ දවසකින් “සොඳුරු සුව අසපුවට“ එන්න බැරි වුනා වගේ දැනෙනවා...28වනදා උදේ 12.30ට තමයි අන්තිම Post එක කරළ තියෙන්නේ...හැමදාමත් “සොඳුරු සුව අසපුවට“ ගොඩ වදින්නට එන ඔබට යම් අඩුවක් වුනා වගේ දැනෙනවනම් , මම සමාව ඉල්ලා සිටිනවා මගේ ප්‍රමාදයට ...
ඔළුව කැක්කුමයී.......

මොකද මේ දවස් ටික වෙනදට වඩා ටිකක් කළබලකාරී වුනා...CAD , Rs එක්ක වෙනදට වඩා ගනුදෙනු කරන්න සිදුධ වුනා ...ඒ එක්කම තවත් මට අළුත් භාෂාවක හෝඩියක ඉඳල පාඩම් කරන්නත් වෙලා ..මේ දවස් වල හැමතිස්සෙම Bonjour ! තමයි ....ඒකත් මගේ මේ භාවනාවට බාධාවක් වගේ දැනුන..කමක් නැහැ අද හොඳ දවසක් නේ ..අපි කතා කරමු ...


මේ කතාව 29දා  වෙච්ච දෙයක් ...එදා මගේ night shift  එක ...ඒ වගේම වාට්ටුවට තවත් අළුත් වැඩක්  කරන්න සුදානම් කළ දිනයක් (වාට්ටුවේ අපි හැමෝම එකතුවෙලා හැම මාසෙකම මොකක් හරි වැදගත් අළුත් දෙයක් අපේ ඒකකයට එක් කරනවා , හැමදේම රජයෙන්ම එනකම් හිටියොත් ටිකක් කරදරයි.) ...වෙනදට වැඩිය ලට්ට ලොට්ට ගොඩක් ...වයර් , speakers , code switches ....  බඩු ගොඩකුත් අරගෙන ආවා වාට්ටුවට හරියටම හතයි පහට ....

අපේ ඒකකය - ඡායාරූපය http://volunteersrilanka.net
“ආ නිශාන්ත මහත්තය ..අද වැඩේ කරමු නේද ? මාත් අඩුම කුඩුම ටික අරගෙන ආවේ ...? “ ජයන්තගේ හඬ , ඒ මගේ ඒකකයේ කණ්ෂඨ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ නම ..තනතුරෙන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලේ වුනාට වැඩ වලින් නම් ඉහළයි ...ඒකකයේ වයරින් වැඩ , වතුර බට වල නඩත්තු , අපි දෙන්නත් එක්ක එකතු වෙලා කරන කොට ජයන්න තමයි “ලොකු බාස් “ , මම තමයි “පොඩි බාස්“ ,


අද අපි පටන් ගත්තේ වයරින් වැඩක් ..මොකද අපේ ඒකයේ රෝගීන් ඉන්නේ වෙන් වෙන් කාමර වල ...නාන කාමර, රෙදි සේදීමේ යන්ත්‍ර , ඇඳන් පිරිසිදු ඇඳුම් ..විදුලි පංකා .හරියට පුද්ගලික රෝහලක වගේම ..සමහර විට ඊටත් වඩා ...හේතුව ඒ සියළුම රෝගීන් දරුණු විෂබිජ වලින් ආසාදනය වූ අය , එහෙම නැත්නම් ඇඟේ ප්‍රතිශක්තිය හුඟක්ම පහළ වැටුනු අවදානම් අය .. ඒ නිසයි මේ අය වෙන් වෙන් කාමර වල ඉන්නේ , 

අපේ රෝගීන්ට කාළෙකට මෙහෙම ඉන්න බැහැ
මේ මොනව තිබුණත් රෝගියා මේ කාමරේට දමපු ගමන් “තනි වෙන බව“ දැනෙනවා ,හේතුව කිසිම රූපවාහිනියක් හෝ රේඩියෝවක්වත් ඒ කාමර ඇතුලේ නැහැ ...පුළුවන් තරම් හිත හැදෙන්නට කතා කරල ආවත් “Isolation nursing procedure “ වල හැටියට හැම තිස්සෙම මේ කාමර වලට යන්න බැහැ අපිටත් ...(මේ බ්ලොග් සටහන කියවන ඔබට යම් හැකියාවක් තියෙනවා නම් ඔබේ උපන් දිනයට ,ඔබේ දරුවාගේ උපන් දිනයට කරන පිංකමක් විදියට රෝහලකට අවශ්‍ය පරිත්‍යාගයක් කරන්න ...ඒක ඇත්තටම ලොකු පිංකමක් අපි දකිනව ඒවගේ දෙයකින් අනෙක් රෝගීන් ප්‍රයෝජන ගනිත්දි ඒකම මොන තරම් පිණක්ද කියල -ඔබ කැමතිනම් අපේ රෝහලට , අපේ ඒකකයට පරිත්‍යාගයක් කරන්න 
091-2232276 /091-2223341 මගින් රෝහල් අධ්‍යක්ෂකතුමා හෝ ප්‍රධාන හෙද පාළිකාතුමිය අමතන්න පුළුවන් , ඔහු/ඇය අවශ්‍ය කරන නීත්‍යානුකූල පරිසරය සකසා දේවි , අපේ මේ විශේෂ ඒකකය නම් කරන්නේ Isolation care Unit -Ward 55නමින්)  ඔබ මාව වරදවා හඳුනා නොගනි යැයි විශ්වාස කරන්නට තරම් සුහදත්වයක් අප අතර ඇතැයි සිතමි , මෙම ගැටළු පිළිබඳව ඔබට ඉදිරිපත් කළේ එම ගැටළුවේ වේදනාත්මක විඳීම විඳින මගේ රෝගීන් වෙනුවෙන්ම පමණක් වන අතර යම් පරිත්‍යාගයක් කරන්නේ නම් ඔබට එය සෘජුවම රෝහල වෙත නීත්‍යානුකූලවම භාර දිය හැක.

හාච්.......චීස්.....බටර් .......
දැන් ඉතින් අද අපි හැම කාමරයකටම Speaker පද්ධතියක් හයි කරන්නයි යන්නේ ..රෝගීන්ගේ මුලික සත්කාර ටයුතු අවසන් කරල අපි වැඩ පටන් ගත්තා ...බිත්ති කඩනවා , ඇණ ගහනවා ...සද්ද බද්ද ගොඩයි ..කොහොම හරි එළිවෙන දෙක විතර වෙනකොට speaker system එක හරි ..“නිශාන්ත මහත්තය දැන් අපි වයරිං එක හොඳට ක්ලිප් කරමු ...“ මගේ ලොකු බාස්ගෙන් අණක් ...දූවිලි ගස ගසා අපි දැන් වයරින් ක්ලිප් ටික හොඳට තද කරනවා ...“ පොඩ්ඩක් ...පොඩ්ඩක්.....“ ජයන්ත කළබලෙන් ...“ඇයි ඇයි...මොකද ?“ මම බය වුනා ..“හාච්චෝං..........“ , “හාච්චෝං (ඩෝං) “ ....“හාච්........චීස්, “ (බටර් ) සද්ද ගොඩයි ...ජයන්තය බමර චක්‍රෙ වගේ කැරකි කැරකි කිවිසුම් යවනවා....මාත් ටිකක් එහාට මෙහාට වුනා ...නැත්නම් මටත් වෙන්නේ නාන්න තමයි ...
ඔළුව රිදෙනවා , ඇසුත් රිදෙනවා.......යකා වැහෙනවා

“මොකෝ ජයන්න හෙම්බිරිස්සාවද ? ....“
“ඔව් නිශාන්ත මහත්තය , මේ දවස් ටිකේ හෙම්බිරිස්සාවයි , ඔළුවෙ කැක්කුමයි ....ඇසුත් තද වෙලා වගේ ....මේ වැඩේ නැත්නම් අද නයිට් එක මාරු කරගන්න හිටියේ ...එක කරන්නත් බැහැනේ ...හිටියට හරිම අමාරුයි , ඊයේ O.P.D එකෙන් බෙහෙත් ගත්ත , දොස්තර මහත්තය කිව්වේ Sinusitis වගේ කියල..හාච් චොස් ....“ ජයන්තගේ මුහුණේ තිබුණු ප්‍රබෝධමත් බව නැහැ වගේ ....කොහොම හරි වැඩේ නම් ඉවර කළා ..වෙලාව උදේ තුන හමාරයි ...ටිකක් විවේක ගන්න ඕන ..“හෙට ලියන්නේ මොකක්ද ......?“ මම ගිළුනා ..කල්පනා සාගරේ රැල්ලක .....“හරි හෙට ලියමු Sinusitis  ගැන ජයන්ත ගේ ප්‍රශ්නේ ....“ ඔහොම හිතා ගත්තත් අර “හෙට“ දැන් තමයි උදා වුනේ .....

මුලින්ම අපිට හුරු ලෙඩ ටිකක් මතක් කරමු ...Gastritis , Sinusitis , Appendicitis....මේ හුඟක් ලෙඩ වල නම ඉවර වෙන්නේ itis වලින් , ලතින් භාෂාවෙන් “Itis“ කියල කියන්නේ “ප්‍රදාහය Inflammation “ කියන එක ..එතකොට ගැස්ට්‍රයිටිස් කියන්නේ Gastro  හෙවත් ආමාශයේ itis  එකක්  ප්‍රදාහයක් ...දැන් හදන්න බලන්න ඇපෙන්ඩික්ස් එකේ ප්‍රදාහය ...ඔව් ඇපෙන්ඩිසයිටිස් ...තව එකක් ඇසි පියේ  ඇතුළු ආවරණයට කියන්නේ Conjunctiva එයාගේ ප්‍රදාහයට (ඇස් අමාරුව) මොකක්ද කියන්නේ ... Conjunctivitis 

අළුත්ම tattoo එකක්ද ? ...නෑ ලස්සන Sinus  ටික
හරි එහෙම නම් අර ජයන්තගේ ලෙඩේ Sinusitis කියන්නේ මොකක්ද බලමු ...Sinus+itis තමයි Sinusitis වෙන්නේ ...මොනවද මේ Sinus ..දේහයේ යම් පටකයක පිහිටන කුහරමය ප්‍රදේශයක් තමයි සයිනස් කියල කියන්නේ ..(a recess, cavity, or channel, as (a) one in bone or (b) a dilated channel for venous blood.) අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම හිස් කබලේ ..එහෙම නැත්නම් මුහුණේ අස්ථිවල තියෙන air SINUS ගැනයි ...ඒවා තමයි අපි කතා කරන ලෙඩේට ප්‍රධාන තැන ...

අපිට මොකටද මේ හිල් ....අපේ අස්ථි පද්ධතියේ හුඟක් අස්ථි හරිම ශක්තිමත් ..ඒවගේම බරයි ..ඉතින් මේ බර සමහර තැන් වලදි අඩු කරගන්නම වෙනවා ...උදාහරණයක් විදියට ඔයාගේ කම්මුලේ “මහා බර අස්ථියක් “ තිබුණනම් කොහොමද ...ඔයා අමුතු හැඩයක් ගනීවි ..ඔළුව පහලට නැමිලා ..කට පහලට ඇදිලා ..(අඩු වෙන් කතා කරළා )  වෙලාවට අපිට එහෙම වෙලා නැහැ ..අපි වඳුරාගේ ඉඳල එනකොට මිනිසාගේ සෘජු කාය විලාශයත් ....රංචු ගැසීමේ සහ පොලොවට බැසීමත් නිසා අපේ ඔළුව හොඳට ඉහළට තියා ගන්න ඕන වුනා ..මොකද එතකොටයි ගොඩාක් ඈත පේන්නේ ..ඒ වගේම හිස , ඇස් හොඳින් චලනය කරන්නට ඕන වුනා ..එතකොටයි පොලොවේ පය ගහපු “මිනිසා කියන වඳුරට තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ ...ඔන්න ඔය  අවශ්‍යතාවයත් එක්ක ..අපේ හිස් කබලේ ..මුහුණේ අස්ථි වල බර අඩු කිරිම සඳහා ඒවා ඇතුලේ කුහර Cavities , Sinus හැදෙන්නේ ..ඒ වගේම අපේ කටහඬේ ස්වභාවය පවත්වා ගන්නත් මේවා උදව් වෙනවා .

දැන් නිකම් Anatomy පාඩමක් වගේද මන්දා ? ...කමක් නැහැ අපි අග මුල දැන ගන්නත් එපායැ නේද ?  දැන් ඔය කියන සයිනස් අපේ මුහුණ ආශ්‍රිතව බහුලව තිබෙනවා ...ඒ හැම එකක් වගේම එකිනෙක පොඩි සම්බන්ධතාවයකුත් තියෙනවා වගේම නාසය සහ කණත් එක්කත් බැඳිලා තියෙන්නේ ...නාසය වටේට වගේම ඇහැට උඩිනුත් ඇහැට ඇතුලතිනුත් මේ Sinus පිහිටල තියෙනවා ...මේවා ඇතුලේ හිස් වුනාට ඒ කුහරෙ බිත්තියේ හොඳ ප්‍රෝටීනමය ආලේපයක් ගෑවිල තමයි තියෙන්නේ ...අපි විද්‍යාත්මකව Mucus කියල කියන්නේ ..මේක තෙත් ඇළෙන සුළු උකු දියරයක් ..ඉතින් මේ සයිනස් ඇතුලේ මේ කියන “හොටු දියරයට“ අමතරව හොඳ රුධිර සැපයුමකුත් තියෙනවා ...ඒ කියන්නේ මේක හොඳ ආරක්ෂිත ගල් ගුහාවක් ...(කෑම බිමත් තියනවානේ , අනික පරිස්සමට වටවෙලා , ආරක්ෂාවත් හොඳයි ) 

ඔන්න දැන් තමයි ප්‍රශ්නෙට එන්නේ ...ඔය ගල් ගුහාව ඇතුලට බැක්ටිරියා යකෙක් ගියොත් කොහොමද ?...හරිම සනීපයි (ඈ ....කාටද සනීප !....ඔයාට නෙවි අර කිවු යකාට ) මොකද හොඳට කෑම බිම , හොටු දියරයෙන් ලැබෙන තෙතමනය , ලේ නහර වලින් ඇති තරමට උණුසුම ...වටේට හුණු ගල් වලින්( අස්ථි පටකයෙන් bony tissue ) නිසා හොඳ ආරක්ෂාව ...වෙන මොනවද ඕනේ ...කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් අපිට ...මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ කිය කියා ..මේ බැක්ටීරියාවෝ ටික ජොලි කරනවා ...(එයාලට ජොලි එතකොට අපිට ...ඔළුවේ කැක්කුම ) ...දැන් ටික ටික බැක්ටීරියාවන් ප්‍රමාණය වැඩි වෙනවා ...දැන් සයිනස් එක ඇතුලේ ප්‍රදාහයක් ....තුවාලයක් වගේ ..ඔන්න දැන් අපි කියනවා එයාට Sinusitis කියලා , මෙතැනට එන්නේ බැක්ටීරියා යක්කු විතරක් නොවෙයි ...වෛරස වගේ පොඩි පොඩි පෙරේතයොත් , Fungal වගේ කුම්භාණ්ඩයොත් එන්න පුළුවන් ..අපි පහසුවට “හැමදාම එන යකා “ ගැනම කතා කරමු...
බලාගෙනයි මලේ නටුවෙ කටු ..නැහැ මලේ රේණු ඇතී 

ඇත්තටම කොහොමද මේ විදියට Sinus ඇතුලට විෂබීජ යන්නේ ..? මෙහෙමයි ...ඔය හුඟක් සයිනස් තියෙන්නේ නාසයත් එක්කම බැඳිලා ...ඉතින් දවසකට ඔය නාසය හරහා ලීටර් පහලොස් දාහක් විතර වාතය ගමන් කරනවා ..ඔය වාතයේ ඕන තරම් බැක්ටීරියා , වෛරස් ඉන්නවා ..වාසනාවට හැම වෙලාවෙම සයිනස් ඇතුලට එයාල යන්නේ නැහැ ..ගියත් අපේ ඇඟේ ඉන්න යුධ හමුදාව White blood cells ඇවිත් එයාලව විනාශ කරනවා ...ඒත් සෙම්ප්‍රතිශ්‍යාව , Influenza,allergies(කියවන්න මගේ ඉස්සා ගැන)  වගේ තත්ත්වයක් ,හරි නාසයේ ඇතුලත ගෙඩිති වගේ ඇවිත් නාසය ආශ්‍රිත ප්‍රදේශය ඉදිමිලා ප්‍රදාහයට පත්වුනාම වගේම Smoking (අක්‍රිය දුම්පානය හෙවත් අනුන්ගේ දුම් තමන්ගේ වගේ බිම) නිසාත් මේ Sinus ඇතුලේ තියෙන ආරක්ෂාව (අපේ ආරක්ෂාව ) ටිකක් අඩු වෙනවා ...ඔන්න ඔය වෙලාවට ..අපේ වැරදි හොටු හීරීමේ ක්‍රමත් (Wrong nasal blowing methods) එක්ක , අර විෂබීජ අපේ සයිනස් ඇතුලට රිංගනවා ...ඔය හොටු හූරන විදිය වැරදි වුනාම වගේම සාමාන්‍ය ආකාරයටත් විෂබිජ  මේතුලට ඇතුළු වෙන්න පුළුවන්...විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිය අඩුවුනු වෙලාවක නම් තතත්වය දරුණූ වෙන්න පුළුවන් ...

මේක නම් එපා ...සිගරට් එක ..... 

මොනවද මේ Sinusitis වල රෝග ලක්ෂණ  ...තද ඔළුවේ කැක්කුම , නාහේ තද වෙච්ච ගතිය , හොටු ගැලිම , ඇස් යට , ඇස වටා තද වේදනාව ( කහින කොට මේ වේදනාව උග්‍ර වෙනවා ) , තද දත් කැක්කුමක් , උණ වගේ තත්ත්වත්  ඇති වෙන්න පුළුවන් ..සමහර විට පෙනිමේ දුර්වලතා ...බොඳවෙලා වගේ පෙනීම , එක දෙක වෙලා වගේ පේන එක , ඒවගේම හුස්ම ගනිත්දි තද ගඳක් ඇති වෙන්නත් පුළුවන් ...

දැන් ඉතින් “ ආ ඕකද  ඕක සුළු දෙයක්නේ “කියල අහක බලා ගන්න එපා...ඉතිරි ටිකත් කියවන්න ...

දැන් අපි බලමු මේ Sinusitis වලට නිසි ලෙස ප්‍රතිකාර නොගත්තොත් වෙන්න පුළුවන් දේවල්.....එතකොට ටිකක් බය හිතේවි ...වෙන්න ඕන බයට වැඩිය දැන්වත් බව සහ අවශ්‍ය අවස්ථාවේ ක්‍රියාත්මක වීම ...

මරණීය සැරව ගුල...(CT scan එකක්)
මේ Sinus  ඇතුලේ ඉන්න බැක්ටීරියාවන්ට පුළුවන් , අල්ලපු ගෙදර , ඒ කිව්වේ මොළය ...ට යන්න ..ගිහින් එහි පටක ප්‍රදාහයට පත් කරල Meningitis (තව අයිටිස් එකක් ) හදන්න ..එතැනින් Cerebral abscess කියල මොළය ඇතුලේ සැරව ගෙඩි හදන්නත් පුළුවන් ...ඉතිරි ටික කියන්න ඕන නැහැනේ ...අවසානය හදිසි මරණයක් හෝ ජීවිතය ඉතා අවදානම් සහ අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා ... 

ඒ වගේම ඇස ගාව ඉන්න සයිනස් වල අයට පුළුවන් අර විදියටම ඇස් ඇතුලේ , ඇස් කුහරයේ ආසාදන Infections ඇති කරල ඇස් අන්ධවීම දක්වා ගෙනයන්නත් ...ඔළුව පත්ලේ තියෙන සයිනස් වල ඉන්න අයට පුළුවන් මොළය ආශ්‍රිත රුධිර වාහිනි බිඳල  මොළය ඇතුලට ලේ වැගිරීමක් කරන්න Intra cranial hemorrhagic conditions එහෙම නැත්නම් ඒ නහර වල ලේ කැටි ගස්සල මොළය මරන්නත් මේ විෂබීජ වලට , ප්‍රධානවම මේ බැක්ටීරියාවන්ට පුළුවන් ...ඉන්න තව ඉවර නැහැ .......දිගු කාළින වශයෙන්  “හතිය“ වගේ තත්ත්ව ඇති කරන්නත් අපේ ගඳ සුවඳ සහ රස දැනීමේ වාසනාවන්ත හැකියාව සදාකාළිකව නැති කරන්නත් මෙයාලට පාළනය නොකළ Sinusitis පුළුවන් ...ඒ විතරක් නොවෙයි ..අර බැක්ටීරියාවන් අස්ථියේ සාමාන්‍ය කොටස්වලට ඇතුළුවෙලා Chronic osteomyelitis කියන අවාසනාවන්ත , දිගු කාළීන වේදනාව අධික රෝගය ඇති වන්නටත් පුළුවන් ...

දැන් ඉතිං අපි මොකෑ කොරන්ට ඕනැ...වාසනාවට මේකටම කියල තවම එන්නතක් වත් විශේෂ බෙහෙතක් වත් නැහැ ...තත්ත්වෙ හැටියට රෝග කාරකයාගේ හැටියට තමයි ඖෂධ ලබා දෙන්නේ ...බොහෝ වෙලාවට antibiotics දෙනවා , ඒවා නියමිත කාළයම , සමහර විට සති දෙක තුනක් මාස හයක් විතර වුනත් ගන්න වේවි (ඒව හරියට පාචිච්චි කරන විදිය සහ එසේ නොකිරිමේ අනතුරු මෙතනින් ගිහින් දැන ගන්න )   ඊට අමතරව නාසයේ හිරවුනු ගතිය අඩු කරන්න Nasal decongestions වර්ගයක් , පැරසිටමෝල් (හරියට පාවිච්චිය  ගැන දැන ගන්න )  දෙන්න පුළුවන් ....මේ හැමදේ එක්කම වැදගත් දෙයක් තියෙනවා ගෙදරදි කරන්න ...ඔයාට පුළුවන් ගෙදරදි හොඳට Steam  කරගන්න , ප්‍රතිකාරයක් වියට අපි කියනවා steam inhalation කියලා ..නටන වතුර ටිකක් භාජනේකට දාල හොඳට හුමාලේ අල්ලන්න , පුළුවන් නම් මේ උණුවතුරට මෙන්තොල් කැට දෙකු තුනක් (වැඩිය එපා) දාලම හුමාලෙ අල්ලන්න , 
අල්ලගන්න හුමාලේ ...බේරගන්න සයිනසේ 

එතකොට රස්නෙට සහ තෙතමනයට අර සයිනස් රත්වෙලා , හිරවුනු සෙම Mucus දියවෙලා බැක්ටීරියාවොනුත් එක්කම ඉවත් වෙනවා ...අනික ඒ ආසන්නවේ තියෙන ලේ නහර පළල් වෙලා වැඩි පුර යුධ හමුදාව හෙවත් සුදු රුධිරාණු අර සයිනස් වලට යවනවා , එතකොට ඇතුලේ තියෙන ආසාදනේ Infection එක යුද්ධ කරල ඉවර කරනවා ..ඒ එක්කම හොඳට වතුර බොන්න ඕන , ටිකක් රස්නේ වතුර නම් වැඩිය  හොඳයි ...ඒ වගේම හොටු ඝණ කෙරෙන සාධක Piriton වගේම ඖෂධ වායුසමීකරණ පරිසරය වැනි දෙයින් මේ අවස්ථාවේ මඟ හැරෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි , ඔය නාහේ හොඳටම තද වෙලා නම් ඒ සඳහා ගැලපෙන Decongestion spray (හැබැයි හොඳට බලන්න ඒ බෙහෙත් එකේ Phenylpropanolamine කියන සංයෝගය තිබේ නම් පාවිච්චි කරන්න එපා , දැනටමත් මෙය භාවිතයෙන් ඉවත් කරල තියෙන්නේ ..ඒත් ඉතින්............කෝකටත් හොඳයිනේ නම බලලයි ගන්න ඕන ) එකක් වෛද්‍යවරයාගෙන් අසා , ගන්නට පුළුවන් ...හැබැයි මතක තියා ගන්න ඒවත් වැඩි කාළයක් භාවිත කිරීම තවත් ලෙඩ කිහිපයකට අත වැනීමක් ....ඊට හොඳයි ඒ තද වෙච්ච නාස් විවරයට Normal saline බිංදු දෙකක් තුනක් දාන්න ...ඒ සඳහාම නිශ්පාදිත සේලයින් මිලි ලිටර් 5-10 පැකට් අද ෆාමසි වල තියෙනවා , එහි කිසිම අහිතකර ප්‍රතිපලයක් නැහැ ...දැන් ඉතින් Normal saline බෝතලයක් ගෙනත් , බෝතලේම නාහෙට හලා ගන්න එපා හොඳේ .....

මේ ප්‍රතිකාරය සඳහා ඔබ , ඔබේ වෛද්‍යවරයාට දැනෙන රෝග ලක්ෂණ ඔක්කොම කියන්න ඕන ..එතකොට තමයි ඔහුට පුළුවන් වෙන්නේ මොන ප්‍රදේශයේ තියෙන Sinus එකේ දි ගැටළුව තියෙන්නේ කියල හොයා ගන්න , ඒ අනුවත් ප්‍රතිකාරයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්..සමහර විට X ray , CT scan වගේ පරීක්ෂණත් කරන්න වේවි ...

සනීපෙට හූරන්න 
ඒ වගේම ඔබත් හොඳ සෞඛ්‍ය පුරුදු භාවිත කිරීම හරිම වැදගත් ...ඔය හොටු හීරීම ගැන හරියට දැන ගන්න ඕන ...මෙන්න මෙහෙමයි ...මේ වැඩේට යොදා ගන්න හොඳම දේ තමයි ඉවතලෑ හැකි තුනි කඩදාසියක් Paper tissue ..නැත්නම් ඉතින් අපි කරන්නේ බැක්ටීරියා තියෙන හොටු ටික ලේන්සුවේ ඔතාගෙන ගිහින් ආයේ මූණේ ගාගන්න එකනේ ..එතකොට ලෙඩේ හැමදාම , අතකින් එක් නාස විවරයක් මෘදුව තද කරගන්න , දැන් සෙමින් හොටු හූරන්න ..ලොකු පිඩනයක් දෙන්න එපා ...එතකොට සිද්ධවෙනනේ අර pressure එකට එම හොටු වලින් කොටසක් Sinus ඇතුලට රිංගන එක ..සමහර විට කණ ඇතුලටත් ගිහින් කණ් පැසවීම් ඇතිවන්නට පුළුවන් ..පොඩි දරුවන්ට මේ අවදානම බහුලයි , දැන් අනිත් නාස් විවරය වසාගෙන (නාසය මත මෘදුව තෙරපීමෙන්) ආයෙත් විරුද්ධ පසින් මෘදුව හොටු සූරන්න ....හොටු යන්නේ නැත්නම් තටමල , ගිරිය පුප්පල , උඩ  පැනල නාසය පිරිසිදු කරන්න යන්න එපා ..අර අවදානම වැඩි වෙනවා , විතරක් නොවෙයි , නාස් කුහරය ආශ්‍රිත පුංචි රුධීර නාල කැඩිල ලේ යන්නත් පුළුවන් , කිසිම වෙලාවක නාස් පුඩු දෙකම ආවරණය කරගෙන මේ වැඩේ කරන්න එපා .....විශේෂයෙන්ම් කිවිසීමේදි නාස් විවර තදින් වසන්නම එපා ... ...දැන් අවසන් පියවර ...හොඳට අත් සෝදගන්න ...

සුවඳ බලනවා නොවෙයි මේ ප්‍රතිකාරයක් 
වලක්වා ගන්න තියෙන්නේ අපි මුලින් කී තත්ත්ව (සෙම්ප්‍රතිශ්‍යාව , Influenza,allergies(කියවන්න මගේ ඉස්සා ගැන)  වගේ තත්ත්වයක් ,හරි නාසයේ ඇතුලත ගෙඩිති) වලින් වලකින්න  ...විශේෂයෙන්ම යහපත් Nasal health නාසා සෞඛ්‍යයක් පවත්වා ගන්න , දරුවන්ට Hib vaccine දෙන එක හරිම වැදගත් මොකද ඒකට පුළුවන් , ඔය Influenza තත්තවය හැදෙන එක අඩු කරන්න  , දුම්පානයෙන් ඉවත් වන්න (මොකද ඒක වානර ලක්ෂණයක් ....තමන් පිරිමි වඳුරෙක් බව පෙන්වන්නළු සිගරට් එක උරන්නේ ...හේතුව මගෙන් අහනවාට වඩා හොඳයි Desmond Morris ගේ The Human zoo  පොත කියවන්න ...) , දිගින් දිටමට මෙම තත්ත්වය තිබේ නම් උගුර කණ නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න ...සමහර විට පුංචි Surgery එකක් කරන්නත් ඉඩ තියෙනවා ....සමහර විට නාසයේ ඇතුලින්  සිදුරක් හදල හිරවෙච්ච හොටු එළියට ගන්නත් ඉඩ තියෙනවා ..ටිකක් වේදනාකාරී වැඩක් ...

අනේ මන්ද අද මගේ කතාව දිග වැඩියිද කියල ..අනේ මේක කියවල ඔළුවෙ කැක්කුම හදා ගන්න නම් එපා ...ආයෙත් දවසක එන්නම් ..ඔබේ යෝජනා වගේම චෝදනාත් මම ගෞරවයෙන් භාර ගන්නට අපේකෂාවෙන් ඉන්නව.....

12 comments:

  1. මගේ යෙහෙලියකගේ කුඩා පුතු අසනීපව ලඟදී ENT කෙනෙක් ලගට අරගෙන ගියා. එයාට හුස්ම ගැනීමේ අපහසු තාවයක් . කොහොමත් කුඩා කල සිටන්ම කතා කරනවිට ටිකක් නහයෙන් කතා කරනව වගේ. ඉතින් දොස්තර මහතා බෙහෙත් දීල කිව්වාලු ඒකෙන් සුව නොවුනොත් සුලු ඔපරේශන් එකක් කරන්න වේවි කියලා. මට ඔබතුමාගේ ලිපිය කියෙව්වාම හිතෙනෙවා එයාටත් මේ රෝගය වෙන්න ඕන. අනිත් එක ඒ දරුවා කුඩා කල සිටම AC දාගෙන රෑට නිදාගන්නට පුරුදු වූ ලමයෙක්.
    ස්තූතියි දැනුවත් කලාට

    ReplyDelete
  2. ස්තුතියි එය සමහර විට මේ තත්ත්වය වන්නට පුළුවන් නැතිනම් Nasal polyps හෝ Adenoid නම් වසා ග්‍රන්ථියක් ඉදිමීමේ ගැටළුව වන්නටත් පුළුවන් ...ඔබේ දිරිමත් එක්වීමට ස්තුතියි

    ReplyDelete
  3. (වාට්ටුවේ අපි හැමෝම එකතුවෙලා හැම මාසෙකම මොකක් හරි වැදගත් අළුත් දෙයක් අපේ ඒකකයට එක් කරනවා , හැමදේම රජයෙන්ම එනකම් හිටියොත් ටිකක් කරදරයි.)
    මෙහෙම කතාවක්නම් මම ඇහුවමයි.මෙහෙම නිලධාරින්නම් හරිම අඩුයි මම හිතන්නෙ. හොද ක්‍රියාවක්.

    බොහෝ දෙනා බලන්නේ රෝහලේ තියෙන දෙයක් ගෙදර ගෙනියන්න. බෙහෙත්, සේලයින්, පුලුන් ගෙවල් වලට ගෙනියනව.
    මේ බ්ලොග් සටහන් බලනව ගොඩක් පිටරටවල ඉන්න අය.
    යමක් කරන්න පුලුවන් අය මේ අතර ඉන්නවා. උත්සාහ ගමු මේ අසරණ ලෙඩුන් වෙනුවෙන් යමක් කරන්නට.

    ජය!!

    ReplyDelete
  4. ස්තුතියි ...කළ හැකි නම් යමක් , එය අසරණ රෝගීන් දහස් ගනනකගේ සතුට වෙනුවෙනි ...විශේෂයෙන්ම මෙහිදී රෝගියා වෙන් කිරීමේදි , එළෙස සති කිහිපයක් , මාස කිහිපයක් සමහර අවස්ථා වල අවුරුද්දක් ඔහුට එම හුදකළාවේ ගත කරන්නට වෙනවා ..තවත් විශේෂත්වයක් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තරුණ , රිය අනතුරු වලට බඳුන් වූවන් හිතන්නට පුළුවන් , ඉතින් හිතන්න ඒ හිත් වල කොයි තරමි වේදනාවක් ඇත්ද තියල ..අපේ උත්සාය ඒ වේදනාව මදකට හරි අමතක කරල දාන්න උදව් කරන්ටයි ...(ඇත්තම කිව්වොත් අපේ ඒකකයට දැනටත් එන්නේ අඬ අඬ ..ඇයි වෙන් කිරීමේ ඒකකය නේ හැබැයි ටික දවසක් ගියාට පස්සේ යන්න කැමති නෑ...- මේක ඇත්තම ඇත්ත කතාවක් ඔබ ගාල්ල අවට නම් රෝහලට ආ වෙලාවක එන්න අපේ ඒකකයට ,එවිට පුළුවන් මෙහි ඇත්ත බලා ගන්නට
    ස්තුතියි නැවතත්

    ReplyDelete
  5. වටිනා බ්ලොග් එකක්, දිග ලිපි පල නොකර කෙටි ලිපි කිහිපයක් පල කරනවානම් කියවන්න ගොඩක් ලේසියි

    ReplyDelete
  6. ස්තුතියි ඔබට , හැකි තරම් උත්සාහ කරන්නම් සාධාරණ තරමට ලිපිය කෙටි කරන්නට , එහෙත් මෙය තරමක් වෙනස් විෂයයක් නිසා පැහැදිලි කිරීම් ටිකක් වැඩි පුර කරන්න උනා ...

    ReplyDelete
  7. Though it's a lengthy article it's very important. I learnt itis suffix and some diseases. Thank you.

    ReplyDelete
  8. Another excellent article mahesh. මේ ලිපි අනර්ග්ඝයි. මමත් මේ කරදරයෙන් බොහෝ පීඩා විඳිනවා fexofenidine හරි cetrizine හරි නිසා තමයි ගැල විලා ඉන්නේ. ලිපි එකින් එක කියවනවා. සිංහලෙන් ලෙඩක් විස්තර කරදෙන්න ඔබට අපූර්ව හැකියාවක් තියෙනවා දිගටම මේ සත් කාර්‍යය ඉටු කරන්න

    ReplyDelete
  9. @Anithkona ,
    අතිශ්‍යයින්ම සතුටට පත් වෙනවා ඔබ වැන්නෙකුගෙන් ලැබෙන දිරි ගැන්වීමට , ස්තුතියි

    ReplyDelete
  10. Really informative and fun to read.

    අවිසමි blog post ඒක.

    ස්තුතියි!

    ReplyDelete
  11. -Anonymous,
    Thank you Anonymous , I appreciate your comment.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)