2011/06/21

19th Discussion- එතන මෝල් මෙතන ඩෝල් අන්තිමටම අපිත් Fall හෙවත් සත පනහේ මාරයා ....

අද උදේ පාන්දරම පොඩි පොද වැස්සක් ගියා...හරිම සනීපයි ...බිරිඳ කුස්සියේ කෑම ලැහැස්ති කරනවා ...දොරත් ඇරගෙන ටිකක් එළියට ආව .. සීතල , අඳුරු නිදහස ටිකක් විඳින්න ...

.ට්‍රීං ....ට්‍රී..... මගේ දුරකථනය දවසේ වැඩ පටන් ගත්තා .....සර් ....මම මේ රශ්මිනී(මගේ සිසුවියකගේ නම)  ගේ අම්ම කතා කරන්නේ ... අනේ සර් අපේ ලොකු දුව , රශ්මිගේ ලොකු අක්කගේ බබාට හොඳටම උණ ඊයේ රෑ ඉඳලම ...මුකුත් කන්නෙත් නැහැ...සහලෝල උණ ...අඩු වෙන්නෙම නැහැ ....කව්දෝ   මැදිවියේ කාන්තාවකගේ දුකත් , බියත්, කළබලයත් මුසු දිග හෑල්ලක් කියාගෙන ගියා....ඒක හොරෙන් අහගෙන හිටපු කැම කන්න ආ , දෙමලිච්චෝ ජෝඩුවක් කීචි බිචිස් ගාගෙන කළබලේටම පියාඹලා ගියා..මගේ හිතෙත් තිබුණු හීතල  අඩුවෙලා , ටිකක් රත් වුනා මොකක්ද මේ ....බලාපොරොත්තු නොවුන වෙලාවක ආපු හඬට..

මිස් ...උණ වැඩිනම් ඉක්මණට දරුවගේ ඇඳුම් බුරුල් ගන්න ..පොඩි බබෙක් නම් ගලවල දාන්න ....ඊට පස්සේ කිහිළි වලටයි ඉකිළි දෙක අතරටයි ...ඇල් වතුර වලින් පොඟවපු කපු රෙදි කෑලි හතරක් තියල ...ටිකක් හුළං වදින්න fan එක දාල තියන්න ...ඒ රෙදි කෑල්ලෙනම ඇඟේ වතුර ටිකක් ගෑවට කමක් නැහැ , හැබැයි වැඩි හොඳට කියල අයිස් වතුර තියන්න නම් එපා ...“   පුරුදු Nursing care එක කියල දුන්නා ...තව එකක් ...ටික වෙලාවකින් උණ අඩුවේවි තියෙනවනම් xxxxඩෝල් (ඖෂධයක වෙළඳ නාමය)  ටිකක් දෙන්න .... දරුවගේ බර කියක් විතර ඇත්ද ? “

බර නම් දන්නේ නැහැ මහත්තයෝ ,එත් xxxxඩෝල් සිරප් පොඩි හැන්දෙන් එකක් වෙනදට දෙනවා ....

අනේ මම ලෙඩ වෙලානේ ....
හොඳයි අර වැඩ ටික කරළා ....xxxxඩෝල් ටිකකුත් දෙන්න , හැබැයි මේ දවස් වල ඩෙංගු වැඩියි ...උණ අඩු වුනාට පස්සේ ...හොඳට බලන්න ඇඟේ කළුපාට , රතුපාට  ලප වගේ තියෙනවාද කියලා ..එහෙම නම් ඉක්මණට අපේ hospital එකට එක්ක එන්න ...., කොහොම උනත් උණ දවසකට වඩා තියෙනව නම් කිට්ටුව ඉන්න දොස්තර මහත්තයෙකුට හරි පෙන්න ගන්න ....පොඩි දරුවෙක්නේ ...හදිසියේ හරි මීමැස්මොර වගේ ගැස්මක් ආවොත් , කළබල කරන්නැතිව දරුව පැත්තට හරවන්න සෙම ටික ගලා ගෙන යන්න ,උඩට නම් හරවන්න එපා සෙම හිර වෙනවා .... ගැස්ම නවතීවි ටිකකින් , ඊට පස්සේ hospital එකට එක්ක එන්න , බය වෙන්න එපා එහෙම වෙන එකක් නැහැ 

කතාව එතැනින් ඉවරයි ....මේ අතරේ මගේ පොඩ්ඩො දෙන්නා ලැහැස්ති වෙලා ඉස්කොළෙ යන්න ..., දූල දෙන්න පාසලටත් , බිරින්දෑ රෝහලටත් එක්කරගෙන ගිය මගේ දඬුමොනරෙට විවේකයක් දීල , මමත් විවේකයක් ගන්න හිතාගෙන ටිකක් හාන්සි වුනා ....ඒත් මගේ හිතේ මොකක්දෝ තියෙනවා .... ආ අද තවම post එකක් කළේ නැහැනේ ....මට මතක් වුනා අර අම්ම කිව්ව කතාවක් “ බර නම් දන්නේ නැහැ මහත්තයෝ ,එත් xxxxඩෝල් සිරප් පොඩි හැන්දෙන් එකක් වෙනදට දෙනවා “ , ඒකත් එක්ක මම හිතුවා අද මේ පැරසිටමෝල් නිවැරදිව භාවිත කරන විදියත් එසේ නොකිරිමෙන් සිදුවිය හැකි මරණිය අනතුරත් ගැන කතා කරන්නට ....

පැරසිටමෝල් පෙති 
ඇත්තටම මොනවද මේ Paracetamol කියන්නේ . 

පැරසිටමොල් කියන්නේ වේදනාව , උණ වගේ තත්ත්ව වලින් තාවකාලිකව මිදීම සඳහා ලෝකය පුරාම භාවිත වන වේදනානාශයක් එහෙම නැත්නම් ප්‍රතිජ්වරක ඖෂධයක් ....මේකට පුළුවන් අපේ ඇඟේ වේදනාවක් උණක් ඇති කිරීමට හේතුවෙන prostaglandin  කියන රසායනිකය නිශ්පාදනය වීම වලක්වන්න ..එතකොට අර වේදනාව , උණ අඩුවෙලා යනවා , ඇත්තටම උණ අඩු වෙනවා නොවෙයි , අර මුලින් කී රසායනිකය අඩු වුනාම මොළය රැවටෙනවා ඇඟෙ මුකුත් කරදරයක්  නැහැ කියල , එහෙම රැවටෙන මොළයේ හයිපොතැලමසය කියන කොටසේ දායකත්වයෙන් තමයි උණ අඩුවෙන්නේ ..

මම දන්නවා මේක කියවන බව එන්ගලන්තේ මගේ මිතුරනුත් , අපි මෙහේදි පැරසිටමෝල් කියල කිව්වට ඒක සමහර රටවලදි නම් කරන්නේ Acetaminophen කියන නමින් හැබැයි වෙළඳනාම නම් බොහෝයි .විනෝදෙටත් එක්ක list එකම දාන්නද ? Aceta, Actimin, Anacin-3, Apacet, Aspirin Free Anacin, Atasol, Banesin, Ben-u-ron, Biogesic, Crocin, Dafalgan, Dapa, Dolo, Datril, Extra-Strength, Efferalgan, DayQuil, Depon & Depon Maximum, Feverall, Few Drops, Fibi, Fibi plus, Genapap, Genebs, Lekadol, LemSip, Liquiprin, Lupocet, Milidon, Neopap, Ny-Quil, Oraphen-PD, Panado, Panadol, Panadrex, Panamax, Paracet, Parol, Panodil, Paratabs, Paralen, Phenaphen, Plicet, PyongSu Cetamol, Redutemp, Snaplets-FR, Suppap, Tachipirina, Tamen, Tapanol, Tempra, Tylenol, Uphamol, Valorin, Xcel. මේ තරම් නම් වෙන කාටවත් නැතුව ඇති ...

ඉන්න බෑ...ඔළුවෙ කැක්කුමයී.......
ඇයි මේක මේතරම් ජනප්‍රිය?  හේතු කිහිපයක් ඔය උණ , පොඩි පොඩි වේදනාවන් අපේ ජීවිතේ කොටසක්ම වෙලානේ ...ඉතින් ඒ වෙලාවට අපේ “මිතුරා“ වෙන්නේ මේ ඖෂධය , අනෙක වෙනත් වේදනා නාශක Apsirin , Ibuporfen වල තියෙන බඩේ කරදර , Gastritis  ඇති කරන ස්වභාවය අඩුයි මේ Paracetamol වල , අනික පොඩි දරුවගේ ඉඳල වියපත් මහල්ලා දක්වාම ගන්න පුළුවන් ඖෂධයක් (හැබැයි අක්මාව හොඳනම් විතරයි ) , 


තවත් විශේෂ දෙයක් ...ගර්භනී අම්මලගේ ඇති වන වේදනාවන් වලට වෙනත් වේදනානාශක Ibuprofen , Aspirin වගේ ගත්තොත් දරුවාට ලොකු අනතුරක් , හෝ ගබ්සාවක් වීමට පවා ඉඩ තිබුනත් ...පැරසිටමෝල වලින් ඒතරම් හානියක් කරන්නේ නැතත් යම් තරමක හානියක් විය හැකි බව පර්යේෂණ මඟින් සොයාගෙන තියෙනවා ...මේ ගැන ඖෂධ පිළිබඳ අපේ රෝහල් වල ඉහලින්ම භාවිත කරන පොතේ අළුත්ම සංස්කරණයක (2011 මාර්තු) තියෙන්නේ මෙහෙමයි , ඒ උත්තරේ උනත් කෙළින්ම හොඳයි හෝ නරකයි කියල නෙවි ,(ඒ නිසා මම මේ කියන්නේ ගර්භනී අම්මලට ඕන තරම් පැරසිටමෝල් ගත්තට කමක් නැහැ කියල නොවෙයි  ඔවුන් අනිවාර්යෙන්ම ඖෂධයක් ගන්නට ඕන , දෛව්‍යවරයාගේ උපදෙස් මතම පමණයි , නැත්නම් විඳවන්නේ උපදින දරුවෝ ) ......දැන් ඔබ බලනව ඇති අනතුරක් ගැන කියන්න ඇවිත් Pharmaceutics Business එකක් කරනවාද කියල  , අපොයි නැහැ ..මේ කතාව පටන් ගන්න විතරයි , මුල ඉඳලම බය කරන්න හොඳ නැහැනේ නේද ? .....

ආ....එහෙනම් පටන් ගමු...
දැන් තොවිලේ ...බය කරන්න හදන්නේ ...... මේච්චර වෙලා හොඳ කතා කරපු Paracetamol ගේ නරක ගැන හොයල බලමු , ඒත් විශේෂයෙන්ම කියන්න ඕන , මෙයාගේ නරක ගති වලින් අපිට පාඩුවක් වෙන්නේ ඒ පිළිබඳ නොදුනුවත් කමත් එක්ක , දන්නවනම් “ඕන යකෙක් මෙල්ල කර ගන්න “ අපේ ශ්‍රී ලාංකියන්ට පුළුවන් නේද ? 

Paracetamol වල ප්‍රධානම හානිය ඇති කෙරෙන්නේ අපේ වැදගත්ම ඉන්ද්‍රයකට “අක්මාව“ , ජීවිතය පවත්වා ගන්නට අත්‍යවශ්‍යතම ඉන්ද්‍රිය ..අනෙක නරක් වුනොත් කරන්නට දෙයක් නැති තරම් ., යන්ත්‍රයකින් ලේ ටික පෙරෙමින් ., සුද්ද කරමින් (Dialysis) ඉන්නවා හැරෙන්නට .(බද්ධකරනවා නම් තමයි ලෝකයේම ඉතා සුළු සංඛ්‍යාවක් ඒත් , එහි ප්‍රත්ඵලත් සම්පූර්ණ සාර්ථක නැහැ , අනෙක් අපිට ඒ වියදම දරන්නත් බැහැ , හොඳම දේ තමයි අපිට නොමිලේ හම්බවුණු , අක්මාව පරිස්සම් කරගන්න එක ..ඒත් නොමිළෙ ලැබුණාම වටින කමක් නැහැ වගේ නේද ?) 

වටිනම තැන....
පැරසිටමෝල් අක්මාවේ පටක විනාශ කරනවා Hepatototxic ...ඒ වගේම වකුගඩු වලටත් හානිකරයි ...ඒක ඇත්තටම වෙන්නේ මෙම ඖෂධයේ පරිවෘත්තීය , ඒ කියන්නේ බෙහෙතේ තියෙන රසායනිකයන් බිඳ හෙළිමේ ක්‍රියාවකදි ...කොහොම වුනත් ඒක අක්මාවට , වකුගඩු වලට හානිකරයි ඒ වගේම 2008දි කළ පර්යේෂණයකින් සොයගෙන තියෙනවා දරුවන්ට  හතිය Asthma ඇති කිරීමේ හැකියාවකුත් මෙම ඖෂධයට තියෙනවා කියලා.. ....ඒ නිසා අනවශ්‍ය විදියට ,අනවශ්‍ය ප්‍රමාණයට  Paracetamol ගන්න එපා ...ඔබේ වයස , බරට අනුකූල ප්‍රමාණය විතරක් නියමිත කාල අන්තරයකට අනුව ගන්න ඕන , එතකොට වෙන හානිය අඩු කර ගන්න පුළුවන් ...

Paracetamol ගන්න ඕන කොහොම ද , කොච්චර ප්‍රමාණයක්ද ? ....අපි කතා දැන් මේ ගැන කතා කරමු ...මුලින්ම කියන්නට ඕන නියමිත ඖෂධ මාත්‍රාව පිළිබඳ මුල්ම වගකීම දරන්නේ වෛද්‍යවරයෙක් , ඒත් අපි දළ වශයෙන් කතා කරමු ...(මොකද යකාගෙන් පරිස්සම් වෙන්න අඩු ගානේ හැටිවත් දැගන්න එපායැ ..නැත්නම් ඉතින් හැමදාමත් කට්ටඩියාගේ පිහිටමයි ...) .

වැඩිහිටියෙක් නම් මිලි ග්‍රම් 500 පෙති දෙකක් එකවරකට හොඳටෝම ඇති ...කැක්කුම වැඩියි කියල පෙති 4ක් බොන්න එපා ...හරිම අනතුරු දායකයි ...ආයේ ගන්න ඕන වුනොත් පැය 4කින් හෝ 6කට  පස්සේ ආයෙත් tablets දෙකක් ගන්න පුළුවන් ...මේ විදියට පැය විසි හතර පුරා පෙති අටකට වඩා ගන්න නම් එපා ....ඒ වගේම සති , මාස ගණනාවක් එක දිගට බොන්නත් එපා ...ඔබේ වේදනාව , ගැටළුව දිගටම තිබෙනවානම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න  උපදෙස් ගන්න , ....ඩෝල් ගහ ගහ ඉන්නේ නැතිව ...

මෙන්න අපි ගණන් හදනවා ...
දරුවන්ට නම් හරිම පරිස්සමින් ..ඔවුනගේ බර අනුව තමයි මාත්‍රාව සැකසෙන්නේ ...ඒ කියන්නේ දරුවගේ බර ගැන අපි අවධානයේ ඉන්නම ඕන ... දරුවගේ බර කිලෝග්‍රෑම් එකකට පැරසිටමෝල් මිලිග්‍රෑම් 10ක් විදියට හදා ගන්න, හුඟක්ම උණ වැඩිනම් මේ අගය මිලිග්‍රෑම් 15 දක්වා ගෙනියන්න පුළුවන්  , හැබැයි දරුව කහපාට වෙලා වගේනම්  කිසිවෙලාවක 10 mg වලින් ඉහලට එන්න එපා ...වඩා හොඳයි වෛද්‍ය උපදෙසක් , මොකද ඇඟ කහපාට වෙන්න පුළුවන් අක්මාවේ ගැටළුවකදිත් ...ඒ වෙලාවට අපි පැරසිටමෝලුත් වැඩිපුර දුන්නොත් මහ විනාසයයි ..! දැන් අපි පොඩි ගානක් හදමු ...අපි හිතමු දරුවගේ බර කිලෝග්‍රෑම් 12යි කියල ...එතකොට අපි කොහොමද අවශ්‍ය මාත්‍රාව හදාගන්නේ ....

දේහ බර කිලේග්‍රෑම් එකකට අවශ්‍ය පැරසිටමෝල් ප්‍රමාණය = 10mg
එම නිසා දේහ බව කිලෝග්‍රෑම් 12ට අවශ්‍ය පැරසිටමෝල්    = 10X12
                                                                                        = 120 mg 

පැණි වැනි පැණි ....ලොකු වුනාම වැනි වැනී ..
ඒ කියන්නේ අපිට පුළුවන් දරුවට පැරසිටමෝල මිලිග්‍රැම් 120ක් දෙන්න , සිරප් එකක් නම් එහි එක මිලි ලීටරයක කොච්චර Paracetamol තියෙනවාද කියල හොඳට බලන්න ...හුඟක් වෙලාවට ඒ සිරප් වල එක මිලිලීටර පහක paracetamol  120 mg තියෙනවා  , එහෙම වුනොත් මේ බබාට දෙන්න ඕන සිරප් මිලිලීටර් 5ක් ...ආයෙත් පැය4කින් 6කින් විතර නැවත දෙන්න පුළුවන් , කොහොම වුනත් පැය විසි හතර ඇතුලත වාර හතරකට වඩා දෙන්න එපා ....

අර මුලින්ම තොවිලෙ කිව්වට දැන්තමයි ..දහ අට සන්නිය ..දැන් බලමු  , මෙම ඖෂධය ගැනීමෙන් වන හානි මොනවාද කියලා ...
  1. දවසකට 2g වලට වඩා ගන්නා අවස්ථාවකදි ආමාශයේ ලේ වහනය වීම් , වෙන්න පුළුවන් ...අමතක කරන්න එපා ඒක ලොකු අවදානමක් ...
  2. අවුරුද්දකට 300g ට වඩා පාවිච්චි කළොත් ඔබේ වකුගඩුවත් ඉවරයි ....මෙන්න මෙහෙම  ලෙඩක් හැදෙනවා , වකුගඩු දුර්වල කරමින් Small Indented and Calcified Kidneys
  3. කුඩා අවදියේදි , ඒ කිව්වේ දරුවාට අවුරුද්දක් විතර හෝ ඊට ඉස්සර මෙම ඖෂධය අනවශ්‍ය විදියට භාවිත කළොත් , දරුවට අවුරුදු 5 , 7 වෙත්දි හතිය Asthma  , Rash වගේ හැදෙන්නට පුළුවන් 
  4. දිගු කාළිනව නිර්දේශයකින් සීමාවකින් තොරව භාවිතා කළොත් අක්මාව මිය ගිහින් Hepatic failure , අර මත්පැන් කාළයක් පාවිච්චි කළාම හැදෙන , සිරෝසිස් ලෙඩෙක් මැරෙන විදියට විඳවලා මැරෙන්නයි වෙන්නේ ...
නිසි වෛද්‍ය උපදෙස් ගන්න ...ජීවිතයේ පරිස්සමට
ආයෙත් මම කියනවා මෙහෙම මේ හැම දෙයක්ම කියන්නේ ...අනවශය විදියට කලබළ වෙන්න නොවෙයි ..අපිට මෙම ඖෂධය අවශ්‍යයි ,ඒත් ඒක ගන්න ඕන නියමිත ප්‍රමිතියක් , ප්‍රමාණයක් තිබෙනවා , එලෙස වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධය ගන්නට ඔබව පෙළඹවීමයි මගේ අරමුණ වුනේ ....

...අදට තොවිලේ ඉවරයි ,ටිකක් මහන්සියි නේද  ... දැන් ඉතින් දැනේ වලඳන්න ඕන  , මොකද මම හවස duty යන්න තියෙනවා ...

මගේ අනෙක් ලිපි වලට මෙතැනින් එන්න ...




5 comments:

  1. අපේ ගෙදර ඔගමන්ටින් වැහි වැහැලා
    කැස්සට සෙමට දුන්නෙමි තේ හැඳි මැනලා
    වකුගඩු දෙකේ තත්වය ගැන දුක හිතලා
    දෙන්නකෝ අසපුවෙන් තොරතුරැ ගැටගහලා

    ReplyDelete
  2. දෙන කොට ඕගමෙන්ටින් බඩ යන්න හැකි ...
    බඩ පිපිලා කන්නත් බැරි වෙන්න හැකි ....
    බර මැනලා , පැණී මැනලා කොහොම හරි ...
    දවස් හතක් විතරක් දුන්නොත්ම ඇතී

    ස්තිතියි සුභා...

    ReplyDelete
  3. ඔබේ කොමෙන්‍ටුව ඔස්සේ ආවේ!මං දැනගෙන් හිටියේ නෑ මේ ගැන ලිපියක් ලියවිලා තියන වග!මගේ එකට වැඩිය සවිස්තරාත්මකව ලියවිලා තියනවා..බොහොම ස්තුතියි බෙදා ගත්තට!

    ReplyDelete
  4. ස්තුතියි සබිත් , ඔව් අපි දවස ගනනේ අළුත් වන අපේ විෂය ගැන සමාජය දැන ගත යුතු දේ ගැන දැනුවත් කරම් , ඔබේ එක්වීමත් මේ කටයුතුත්තට ලොකු ශක්තියක් , මම ඔයාට ලින්ක් එකකුත් ඇඩ් කළා ....

    ReplyDelete
  5. Hi there, Ι wish for to suƄscribe for this ᴡebpage tߋ
    obtain mⲟst recent updates, thuѕ where caan i do it please help out.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)