2011/06/19

18th Discussion - ඉල්ලනකම් ඉන්න එපා දෙන්න ආදරේ !

සිනහව , සතුට .,ජීවිතය 
ඊයේ  හවස Duty , මගේ ඒකකයේ ඉන්න රෝගීන්ගේ මුළික රාජකාරි කටයුතු ටික කරල ඇවිත් පුටුවෙ ටිකක් ඈදි ගත්තේ Infection control protocol  එක ටිකක් කියවන්න ...මොකද මේ දවස් වල ආසාදන රෝග Infectious conditions  හුඟක් වැඩියි වගේ , පැපොල..කම්මුල් ගාය ... රෝගීන් කිහිපදෙනෙක්ම එක ළග හමුවුනා...පිටුවෙන් පිටුව පෙරළුනා ..Varicella zoster  ගැන ටිකක් කියෙව්වා...විශේෂයෙන්ම අපේ ක්ෂේත්‍රෙ‍යේදි එම තතත්ව ගැන දැනුම නිතරම යාවත්කාලීනව Updated තබා ගන්න ඕනේ .

“ඔබ මා හමුවුන මේ ඉර හඳයට......... කොතැනක හිටියත් මා මළ දවසක .....මගෙ ළඟ තනියට ඉනු මැනවි .....“

හරිම ලස්සන , හදවතට දැනෙන ගීතයක පද , ඇහෙනවා ...පොත පැත්තකින් තියල ටිකක් යොමු වුනා ඒ දිහාවට ...හරි ලස්සනට ගායනා කරනවා .... අපේ ඒකකය ළඟම තියෙන මානසික රෝග ඒකකයේ තරුණ දැරිවියක් තමයි මේ කියන්නේ ...දිවා ආහාරයෙන් පස්සේ විවේක ගන්නවා ඇය මේ ගීය ගයමින්  ,  හරිම සංවේදී සිදුවීමක් ....ඇය ඇත්තටම දක්ෂ ගායිකාවක් ....

ගුවන් විදුලියේදී , රූපවාහිනියේදි තාක්ෂණයත් එක්ක මුසු වෙලා “ලස්සන වෙලා“ ඇහෙන ගීතයක්(හැබැයි මේ ගිය හැබවින්ම ලස්සනයි , අද තිබෙන බොහෝ නව තාක්ෂණික ගීතයනට වඩා)  සජීවීව ඒ තරම් කන්කළුව අසන්නට ලැබුනාම දැනෙන සතුට මට දැනෙත්දි  මේ තරම් හැකියාවක් තියෙන ඇයගේ අනාගතයට මොකක් වේද ? කියන පැනය මගේ හිතට ආව ... මක්නිසාද පවුලේ මානසික රෝගියෙක් සිටීම කියන ගැටළුවෙදි , රෝගියා මෙන්ම පවුලේ සාමාජිකයනුත් යම් පීඩනයක විඳිනව ...

අද මට කතා කරන්න හිතුනේ ඒ ගැන ...ඒ කිව්වේ තමන්ගේ පවුලේ මානසික රෝගියෙක් ඉන්නවා නම් රැක බලා ගන්නේ කොහොමද කියන එක ....පහුගිය ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අකුරැස්ස රෝහලේ තිබුනු වැඩසටනකදි මා විසින් පැවැත්වූ දේශන සටහනක්ම  ඊට පාදක කරගන්නට හිතුවා ......

අපි මුලින්ම බලමු මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා ...මොකද එයින් අපට පුළුවන් මානසික රෝගියා කවුද කියල අඳුනගන්න , “රෝගියා“ බවට පත්වෙන්නේ මෙම තත්ත්වයේ බිඳ වැටීමක් වුනාමනේ ..


“තමාගේ තත්ත්වය සහ හැකියාවන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් දරමින් සමාජ ජීවිතයේ සාමාන්‍ය හැලහැප්පීම් විඳිමින් සහ දරා ගනිමින් සමාජය සමඟ එක්ව ඵලදායී සහ ප්‍රීතිමක් ජිවිතයක් ගත කිරීමේ හැකියාව තමයි යහපත් මානසික සෞඛ්‍යය කියන්නේ ...ඉංග්‍රිසියෙන් කිව්වොත් Mental health is not just the absence of mental disorder. It is defined as a state of well-being in which every individual realizes his or her own potential, can cope with the normal stresses of life, can work productively and fruitfully, and is able to make a contribution to her or his community.

ඉතින් එම තත්ත්වය බිඳ වැටුනම මානසික සෞඛ්‍යය අයහපත් වෙනවා ....“අපිටත් ඔහොම වෙනවානේ ...ඉතින් අපිත් මානසික ලෙඩ්ඩුද “ කියල ඔබ මගෙන් අහවි , එක අතකින් මම කියනවා ඔවි කියලා ඇයි ඒ වෙලාවේ අපේ මානසික තත්ත්වය අයහපත් , ....ඒත් අපිට පුළුවන් නම් ඉක්මණින් අර මුලින් කී තත්ත්වයට නැවත එන්න ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් ....මානසික රෝගියාට අපහසුයි චිකිත්සීය උපකාරයක්   නැවත එම තත්තවයට එන්න , 



දැන් අපි බලමු මේ මානසික රෝග වලට හේතු මොනවාද කියළ ... හැබැයි හුඟක් සරළව .. ඉහළ මට්ටමේ තිබන සාධකයක් තමයි ...ආවේනිය , ඒ කිව්වේ පවුලේ , පරම්පරාවෙන් , ජාන ඔස්සේ ඒමේ හැකියාවක් තිබෙනවා...විශේෂයෙන් මානසික රෝග අතර පිළිකාව කියල විස්තර කරන Schizophrenia කියන තත්ත්වය මෙහිදී හොඳම උදාහරණයක් , ඒත් මේ විදියට ජානමය වශයෙන් එන රෝග අනතුර , මානසික රෝගයක් ලෙස මතු කිරීමට හේතු වන තවත් සාධක ගණනාවක් , ඒ සියල්ල එකතු වුනොත් තමයි රෝග තත්ත්වය ඇති වෙන්නේ , ඒ නිසා බය වෙන්න එපා පවුලේ කෙනෙකුට මානසික ලෙඩක් තිබුණා කියන පමණන්ම තමන්ට එය ඇතිවන්නේ නැහැ ...හැබැයි තමන්ගේ මානසික සුවය හොඳින් තබා ගැනීම හරිම වැදගත් ....මොකද ඒ අයට යම් අවදානමක් තිබෙන නිසා....

ඒ වගේම දරුවා කළලයක් ලෙස මවගේ ගර්භාෂයේ සිටින කාළයේ දී එම දරුවාගේ මොළයට වන හානි (ඒ කිව්වේ , දරුවා ගර්භයේ ඉන්න කාළයේ යම් හේතුවක් නිසා දරුවාට ඔක්සිජන් අඩුවෙන් ලැබුනොත් වගේ ...) වගේම මොළයේ සිදුවන විවිධ බැක්ටීරියා ආසාදන රෝග නිසාත් වැඩිහිටි වියේදි මානසික රෝග ඇති වෙන්න පුළුවන් ..ඒ වගේම කුඩා කාළයේ සිදුවන විවිධ මානසික පීඩනයන් , මවගේ එහෙම නැතිනම් පියාගේ ආදරය අහිමි වීම , තමන්  නොසලකා හැරීමට ලක්වීම වගේ තත්ත්ව වලදිත් මානසික රෝග ඇති වෙන්න හැකියාවක් තියෙනවා..ඒ වගේම දුර්වල පෝෂණය වගේම ඊයම් වැනි රසායනික වලට වැඩි වශයෙන් ගොදුරු වන්නනුත් අවදානමේ .....

මානසික රෝගියෙක් ගේ මොළයේ ක්‍රියාව
“ඔබ සිත මා සිත හමුවූ දා සිට මා ලය පීදී පරවූ පෙම්මල  ....,“ 


තවමත් ඈ ගීතය ගායනා කරනවා......මම , මගේ ඒකකයෙන් ටිකක් ඉවතට ඇවිත් බැලුව ... අවුරුදු 16ක 18 ක විතර කෙළි පොඩ්ඩියක් .....හිතට හරිම දුකයි.....ඒත් කොහොම හරි මේ ගැන ඔබ දැනුවත් කරන්නට ඕන....හේතුව ..මේ වගේ තත්ත්වයකදි රෝහලේ දි ලැබෙන ප්‍රතිකාර විතරක් මදි ...පවුලේ අය මේ ගැන හොඳින් දැනුවත් නොවුනොත් ඔහු හෝ ඇය පවුලට අනවශ්‍ය බරක් බව හැඟුනොත් ...සමහර විටක ඒ තවත් මරණයක පෙරවදනක් විය හැකියි ......

දැන් පේනව‍නේ අපි මෙහෙම ඉන්න එකත් කොච්චර දෙයක්ද කියලා....ඒත් අපි ගාවත් යම් යම් සුළු මානසික රෝග තත්ත්ව තියෙන්නට පුළුවන් ...අපි පසුව ඒ ගැන කතා කරමු ....

අපි දැන් කතා කරමු මෙවන් වූ රෝගියා පවුලේ කෙනෙක් හැටියට අපෙන් මොනවද බලාපොරොත්තු වන්නේ කියලා....පළමු වැදගත්ම දේ තමයි “ඔබේ ආදරය සහ රැකවරණය“ , මේක හරිම සංවේදී කරුණක් ....මොවුන්ගේ මනස තුවාලවෙලා වගේ තියෙන්නේ ඒ නිසා හරි ඉක්මණට සුලු දේකින් වුනත් රිදෙනවා ....මතකයිනේ කකුළෙ තුවාලයක් වුනාම .... මේසෙ වදින්නේ නැති වෙන්න අපි ඒක පරිස්සම් කරන හැටි (ඒත් වදින්නේම ඒ තුවාලෙමයි නේද ? ....)  විශේෂයෙන්ම ඔවුන්ට කතා කරද්දි , කෑම බීම , බෙහෙත් ලබා දෙත්දි , ඔබේ කාරුණික බව ඒ සියළු කටයුතු පහසු කරාවි.....බණින්න එපා ....ඒ තුවාල වූ හිත හරියට රිදෙනවා .....තරහ ගන්න එපා ...කොහොම හරි ඔහුට , ඇයට ඔබේ ආදරය , ලෙන්ගතු බව දැනෙන්න දෙන්න නොඉල්ලුවත් ඒ ආදරය දෙන්න , ඉල්ලන්න තරම් හයියක් නෑ නේ ....ඔබට හුඟක් ඉවසන්නට වෙනවා .... ඔබ නිරෝගියි ..

ඒ වගේම රෝගී තත්තවයේදී ඔහුගේ මත , පිළිගැනීම් ගැන දැන ගෙන කටයුතු කරන්න ,...Paranoid schizophrenia වලදි හරිම සැකයි හැමදේම ....කන්නේ නැහැ වස දාල කියල හිතෙනව රෝගියාට ...ඒ වගේ වෙලාවක ඔබ උපක්‍රමශිලී වෙන්න ...කෑම ටිකක් කාළ පෙන්නන්න ....ඔහුත් එක්කම කෑම ගන්න ඔබත් ...එවිට අර වැරදි සැකය තරමක් හෝ අඩු වුනාම “මානසික රෝගී වූ ඔහු හෝ ඇය  ඔබට කරදරයක් වන්නේ නැහැ.. 


ඒ වගේම ඔබ මේ කරුණු පිළිබඳවත් නිසි දැනුමක් ඔබ ලබා ගන්න ඕන ...ඒතමයි ...එම රෝගී තත්ත්වය ගැන ..විශේෂයෙන්ම රෝග ලක්ෂණ , චර්යාවන් , උග්‍රවීමේ පෙර ලක්ෂණ , සුව වීමේ හැකියාව සහ ස්වභාවය ....මේ සියල්ලම ඔබේ වෛද්‍යවරයාගෙන් , හෙදියගෙන් විමසා දැන ගැනිමේ අයිතියක් ඔබට තිබෙනවා ....අහන්න ...දැන ගන්න ...

බෙහෙත් ගැන දැන ගන්න
ඒ වගේම ඖෂධ ගැන ...නම , මිළ , ගන්නා ආකාරය , ඒ සමඟ  නොගත යුතු ආහාර...ගබඩා කර ගබා ගත යුයු අයුරු වගේම ..ඒ ඖෂධ වලින් වන හානි කර තත්ත්ව ගැනත් (හැම ඖෂධයකින්ම යම් toxic effect  එකකුත් තිබෙනවා ....උදාහරණයක් ගත්තොත් අපි නිතරම ගන්න Paracetamol  මඟින් අක්මාවේ පටක වලට හානි වෙනවා , ඒ වගේම මානසික රෝග වලට ඖෂධයක් ලෙස දෙන ලිතියම් කාබනේට් ඉතාම සුළු ප්‍රමාණයක් වැඩි වුනොත් සිදුවන්නේ මරණයක්  .....)  දැගන්න ... මෙහිදී ඉහත කණ්ඩායම් වලට අමතරව ඔබේ ඖෂධවේදියාගේ මැදිහත් වීම හරිම  වැදගත් ....එයට ඔබට අයිතියක් තිබෙනවා , අදාල නිලධාරියාට එම වගකිම තිබෙනවා....



තවත් වැදගත් දෙයක් කියන්න ඕන ... මේ මානසික රෝග දිනකින් දෙකකින් හොඳ වන්නේ නැහැ , ඔබට සිදුවේවි මාස කිහිපයක් , සමහර විට වසර කිහිපයක් නිරන්තරයෙන් සායන Clinics වලට රැගෙන යන්න ..ඒ නිසා   එම සායන ගැන ...අදාල නියමිත දින ගැන දැන ගන්න...

කොහොම වුනත් රෝගය සම්පුර්ණයෙන් සුව හෝ පාළනය වනතුරු රෝගියාගේ වගකීම ඔබත් පවුලේ අනෙක් අයත් බෙදා ගන්න ...නැත්නම් ඔබට හිතේවි “මොන කරදරයක්ද මේ “ කියලා....ඒ අතරේ ඔබ හුඟක් අවදානයෙන් ඉන්න ..රෝගියාගේ ඖෂධ නියමිත වෙලාවට ලබා දීම , පවිත්‍රතාව , පෝෂණය ගැන , ඒ වගේ ම ඔහුගේ ඇයගේ සිදුවන චර්යාතමක වෙනස් කම් පිළිබද අවදානයෙන් සිටීමත් වැදගත්...ඒ කිව්වේ නිතර නිතර “මැරෙන එක ගැන , කළකිරීම ගැන“ කියන්න පටන් ගත්තොත් මෙන්න අවදානම් අවස්ථාවක් කියල හඳුනගෙන ඉක්මණින් නිසි ප්‍රතිකාරයට යොමු කරන්න ...

මෙන්න මේ කියන දේවල් පුළුවන් තරම් ඈත් කරන්න , 
1.මානසික පීඩනය ඇති කරවන සිදුවීම් , ගැටුම් හෝ දර්ශන 
2.අනතුරු ඇති කර ගත හැකි උපකරණ , ආයුධ , විෂද්‍රව්‍ය හෝ මත්පැන් 

හහ් හහ් හා ා ා ා ා ....සතුටුයි නේද ? 
දැන් ඔබට තිබෙන්නේ තවත් වගකීමක් ...රෝගී පුද්ගලයාට තම අදහස් ප්‍රකාශ කරන්නට දෙන්න..හරි හෝ වැරදි වුවත් එයට සක්‍රියව සවන් දෙන්න (ඒ පිළිබදව තවදුරටත් කියවීමට මෙතැන ක්ලික් කරන්න)  ...හැකි තරම් ස්වාධිනව කටයුතු කරගන්න දෙන්න , ඒත් ඔබේ සෙවිල්ල සහ උදව්ව නොදී ඉන්න එපා...ඔහුගේ පරණ මිතුරු මිතුරින් සමඟ කතා කරන්න කැමතිනම් හොද අවස්ථාවක් ලෙස බාර ගෙන ඒ සඳහා කටයුතු කරන්න ...මේවා බෙහෙත් වගේම වටින දේ 


....හැකියාවක් තිබේ නම් යම් ජීවනෝපායකට පුහුණු කරවන්න , මේ සඳහා ඔබට ප්‍ර දේශයේ , රෝහලේ සමාජ සේවා නිලධාරියාගෙන් උපදෙසක් ගන්න පුළුවන් , මේ මොනවා කරත් රෑට හොඳට නිදා ගන්න සුදුසු පරිසරයක් ලබා දෙන්නම ඕන ....

“සිතින් දරා ගෙන මා මළ දවසක මගෙ ළඟ තනියට ඉනු මැනවි ...මැගෙ ළඟ තනියට ඉනු මැනවි “  , ඒ කෙල්ල සිංදුවත් කියාගෙනම ආයෙත් වාට්ටුව ඇතුලට ගියා....

මේ කරුණු ඔබ දැනගත්තා නම් අනෙක් අයත් දැනුවත් කළානම් ...ඒ ඇති ....එහෙම වුනොත් මෙබදු දහස් ගණනකගේ ජීවිත වලට යම් යහපතක්ම වේවි ... 

අපි තවත් හෙටත් හමු වෙමු ......



7 comments:

  1. වැදගත් ලිපියක්.
    සමහරු උගත් කම වැඩි උනාමත් මානසික ලෙඩ්ඩු වෙනව නේද?
    ..
    සියලු දෙනාගෙම කරුනාව ආදරය මෙවෑනි අයට ලබිය යුතු වුවත් ඒ දේ අද සමාජයෙන් වෙන්නෙ නෑ.ගොඩාක් වෙලාවට මෙවනි අය අනුන්ගේ සමච්චලයට ලක්වෙනව. හරිම කනගාටුදායකයි.

    ReplyDelete
  2. ….බෝ මළුවෙ කෙලවෙරෙක
    තිබුණු තෙල් පහනකට
    ටිකෙන්ටික තෙල් දැම්මෙ
    තෙල් පහන නිවෙන්නට
    නෙමෙයි නේ................

    ReplyDelete
  3. @Gimhani ඇත්තටම මමත් දැකළ තියෙනවා ඒවගේ අය ....ස්තුතිය
    @සුභා.....ලස්සන නිසඳැසක් ...ඒත් එය සහ මේ අතර සම්බන්ධය ටිකක් හිතා ගන්න අමාරුයි වගේ

    ReplyDelete
  4. ඔබට පුලුවන්නම් කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරුවන ඔස්ටියෝපොරෝසිස් රෝගය ගැන දැනුවත් කිරීමක් කරන්න.

    එය අපිට ප්‍රයෝඡනවත් වෙයි.
    තුති.

    ReplyDelete
  5. ඔව් අපි ඉදිරි දිනයකදි ..ඒ ගැනත් ලියන්නම් , ස්තුතියි කළ යෝජනාවට

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)