2012/02/28

සිහිනයට පෙර සැබෑවූ තවත් සිහිනයක් ...

එදා පෙබරවාරි දහ වන දා ...සීතල හිමිදිරියෙම මනෝජ නැගිටල පටන් ගන්න කුස්සියේ “ජර බරේ “ එක්ක කොහේ නිදා ගන්නද ? ...අද Pizza  හදන්න වගේ ඉස්කොලෙට දාන්න ..මොකද සිකුරාදා “ පීසා ඩේ “ එකනේ ..ඔය සද්ද බද්ද අතරේම ....මම ඉතින් දවසේ වැඩ කටයුතු පටන් ගත්තා , උදේ නැගිට්ට ගමන් ලංකාවේ පත්තර ටිකයි , මෙහේ පත්තර වල අළුත් දේවල් ටිකයි කියවලා ඊට පස්සේ අපේ සිංහල බ්ලොග් අතරේ හිමින් සීරුවෙ සැරි සරන්නට පටන්ගත්තා ...හිනා කතා ..දුක හිතෙන කතා ..දේශපාලන ..ආදරය , විරහව ..මේ හැමදේම මුසු වුනු අපේ බ්ලොග් අතරෙදි කාළය  ගත වෙනව නොදැනෙන තරම් ...



“බීප් .....බීප්“ ....මගේ ඊමේල් ගොනුවට අළුතින් පණිවිඩයක් ...නොවැදගත් බොහෝ පණිවිඩ අවහිර කරල තිබෙන නිසා මේ වගේ ඊමේල් එකක් ආවම මම අනිවාර්යයෙන්ම බලනවා ...


කාගෙන්ද ?.....සුජීව මහත්මයගෙන් ...සාමාන්‍යෙයන් වැඩිය ඊමේල් නොඑවන මගේ හෘදයාංගම මිතුරගෙන් ආ මේ පණිවිඩය හරිම වැදගත් මට ...ඔව් බලමු මොකක්ද මේ කියලා ...attachments කිහිපයක් එක්කම .....ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් වගේ ....ඔව් ...ඇත්තෙන්ම ඔව් ...සංකීර්ණ ගැටළුවක් ....මගේ ජීවිතේ මා වඩාත්ම ආදරය කළ ආයතනය වලින් ඉහළම තැනක තිබෙන ගාල්ල , සමුපකාර හෙද විදුහලේ , මගේම සිසු දරුවෙක් පිළිකා තත්ත්වයකට ලක්වී ඇති බවත් ඊට ප්‍රතිකාර සඳහා මුදල් හිඟකමක් පවතින බවත් එහි කියැවුනා ...මට මේ අදහා ගන්නටත් බැහැ ..මට හොඳට මතකයි මේ කණ්ඩායම ආරම්භ කළ දවසේ පළමු දේශනය කළේ මම , ඉන් පස්සේ  විවේකයෙදි පන්ති නායක නායිකාවන් තෝරත්දි පන්ති නායිකාව ලෙස පත්වුනු ...ඉන් පසු මාස කිහිපය තුල ඉහළ දක්ෂතා  හැකියා පෙන්නපු දරුවෙක් මේ පිළිකාවට ලක්වෙලා හිටියේ ... ..

කතා කරන්න ඕන බලන්න විස්තරයක් දැන ගන්න ...අංකනය කළා දුරකථනය ...මගේ හිතවත් සුජීව මහත්තයට ... ???? ..“..සම්බන්ධ කළ නොහැක ....“ , බලමු ආයෙත් ...... හරි ගියේ නැහැ ...සුජීව මහත්මය සම්බන්ධ කරගන්න බැහැ ., ..මේ ගැන දැනගන්න වෙන කෙනෙක් මතක් වෙන්නෙත් නැහැ..මේ වෙලාවට ලංකවේ වෙලාව හවස , නැත්නම් රෑ නිසා N.T.S එකට කතා කරලත් වැඩක් නැහැ ... .හිත කළබලයි ...මොකක්ද කරන්න පුළුවන් ...මම ගියා එම පාසලේ facebook පිටුව වෙත ...සටහනක් තැබුවා ....“කරුණාකර තිළිණි දියණියගේ සෞඛ්‍ය තත්ත්වය සහ දුරකථන අංකය හැකි ඉක්මණින් ලබා දෙන්න .....මෙය දුටු කෙනෙක් හැකි ඉක්මණින් එම තොරතුරු මට , මගේ email වෙත එවන්න .. “ ....දැන් ඉතින් බලා ඉන්න තමයි වෙන්නේ ........බලා හිටිය ...වැඩේ සාර්ථකයි ..ඊමේල් එකක් ..නාරංගොඩ මහත්මයාගෙන් ..ඔහු තමයි ඒ දවස් වල ජාතික ආධුනිකත්ව සහ කාර්මික  පුහුණූ කිරීමේ අධිකාරියේ (NAITA) ගාල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධිකරණ නිලධාරීවරයා (අද නම් ඊට ඉහල තනතුරක බර දරනවා )  ...අපේ සමුපකාර හෙද විදුහලේ වැඩසටහනේ මෙම පුහුණූ පාඨමාලාවට අදාල අමාත්‍යංශමය වගකීම සහ මුළු බර දරන ,පුදුම කැපවීමක් තිබෙන ඊටත් වඩා මේ පුහුණූ වන අහිංසක දරුවන් ගැන සැබෑ “කැක්කුමක්“ තිබෙන නිලධාරිවරයෙක් ... පණිවිඩේ තිබුණේ මේ මධුෂාණී දුවගේ දුරකථන අංකය ....රටක් රාජ්ජයක් ලැබුණ වගේ ...

දුරකථන ඇමතුමකින් ටිකක් අමාරුවෙන් , “මධුෂාණී“ සම්බන්ධ කරගන්නට පුළුවන් වුනා ...ඇයගේ තත්ත්වය වගේම ප්‍රතිකාර පිළිබඳ ඇය දන්නා තොරතුරුත් දැනගත්තා ..මව සමඟක් කතා කළත් ඒ විට ඇයට මේ වෙන්නේ කුමක්දැයි හරි හැටි තේරුමක් තිබුණේ නැහැ වගේ මට දැනුනේ ....තේරුමක් නැති කමද ..මේ වුනු දේ විශ්වාස කරගන්න බැරිව සිටියාද මම හරියටම දන්නේ නැහැ ...කවුද කැමති තමන්ගේ දරුවටට පිළිකාවක් කියල අහන්න ...

ඊළඟ පියවර කතා කළා මගේ ආදරණිය රෝහල් ඒකකය , පිලිකා ඒකකයේ හිතවතෙක්ට ...“ ඔව් මචං ..waiting list එක දිගයි ..අනේ මන්දා ..ඔය ලිස්ට් එක හරියනකොට ලෙඩ්ඩු ඉඳිද දන්නෙත් නැහැ ..“  මේ දරුවාට ඉක්මණින් ප්‍රතිකාරය ලබා ගන්නට හැකියාවක් නැහැ බව ඒ කතාවෙන් වැටහුනා ....ඊළඟට කා ගවටද යන්නේ ....අපේ විජිත හාමුදුරුවෝ ...පිළිකා සංගමයේ සභාපතීත්වය දරමින් රෝගීන්ට ඇත්තටම මහා සේවයක් කරන ගල්වඩුගොඩ පංසලේ විජිත හාමුදුරුවන් ළඟට ...ඇමතුම ටිකක් දිගු කාළයක් වුනත් එහිදි කියැවුනෙත් මීට අදාල අයඩින් කියන ඖෂධය නැති කම නිසා ලොකු කාළයක් බලා සිටින්නට වන බව .....හරි දෙන්නම් බැටේ ...ගත්ත මහරගත පිළිකා රෝහලේ මගේ මිත්‍ර “සූරයාට“ ....“ඔව් අයියා ...ලිස්ට් එක කඩල නමක් දාගන්න නම් අමාරුයි ..මොකද මේ දවස් වල Drugs ටිකක් අඩුයිනේ ......හරියන්නේ නැහැ ඒකත් ....

ජිවිතයක් වෙනුවෙන්.. විස්තර පින්තුරය මත කිල්ක් කිරිමෙන්දැන් මොකද කරන්නේ ...එකම දෙයයි පුළුවන් ..කොහොම හරි මේ ප්‍රතිකාරය පෞද්ගලිකව ගන්නට යන පිරිවැය සොයා දීමම විතරයි කළ යුත්තේ ....“මනෝජා අපි ටිකක් මෙහේ යාළුවොත් එක්ක මේ ගැන කතා කරමුද ...? .. ඇය දුරකථනයේ ...අපේ හිතවන්තම පවුල් කිහිපයක මිතුරියන්ට මේ ගැන ඇයම කතා කළා ..ප්‍රතිචාරයන් හොඳය...ඇඟට ටිකක් ලේ ඉනුව ...ඒකියන්නේ පටන් ගැන්මක්  ....මේ අතරේම  මම මේ දියණිය සහ පත්ව සිටින තත්වය ගැන පුංචි PDF එකක් හදලා දන්න දන්න හැමෝටම යොමු කළා ...ඒකත් මදි වගේ ලියන්න ඕන post එකක් ..පටන් ගත්තා ...“ඇය නමින් මධුෂාණී ....“ ලියන්නට ...ඡේද දෙක තුනක් සටහන් කළා .

.“ ..“ක්ලික්“ ....gtalk පත්තේ පණිවිඩයක් ...“ දේවා මල්ලිගෙන් ..“ ...“අයියා මොකක්ද මේ ළමයගේ ප්‍රශ්නේ ...“ ..chat එකක් ඇරඹුනා ...“අයියා මං මේ ගැන පෝසට් එකක් දාන්නම් ..අපිට පුළුවන් වේවි මොකක් හරි කරන්න ......“  තවත් ඇරඹුමක් ...සුවිශේෂී ඇරඹූමක් ..මමත් පෝස්ට් එකක් දැම්ම ..

.අද පෙබරවාරි දොළහ ...තවත් chat එකක් ...“පොඩි මෑන් “ මල්ලිගෙන් ...“අක්මීමන කියනනේ මේ කිට්ටුවනේ .. ...අපි බලමු ...මේ දවස් ටිකේ කකුලේ තුවාලේ තමයි වැඩේ ..අපි මොකක් හරි කරමු ..“  තවත් සුබ පණිවිඩයක්....පස්සෙන්දා බ්ලොග් ටික බලන කොට බොහොමයක් බ්ලොග් වල “මධුශානි “ ගැන ලියවිලා ..සමහර තැනක උදව් කරන්නට හැකි ආකාරය සටහන් කරලා ..තවත් තැනක මේ තොරතුරු තියෙන පෝස්ට් එකක ලින්ක් දාල ...එක එක විදියෙන් මේ “පිං කමට“ දෑත් එක් කරලා ..

වෙලාව දවල් දෙකට විතර ගෙදර ආව විතරයි වගේ ...Skype call  එකක් ...බත් එකත් අරගෙනම ගත්තා කොල් එක ....“ඕනයා“ මල්ලි ...“ මොකක්ද මහේෂ් අයියා දැන් තත්වේ ....මං නිකං දැනගන්න ඇහැව්වේ ...මොකද අපිට පුළුවන් වේවි අපේ set එක්ක එකතුවෙලා වැඩක් කරන්න ...“ ....මෙතැනින් පටන් අරගෙන මාලදිවයිනේ දේශපාලන කැලඹිල්ල ගැනත් දොඩමළු වෙලා ...තවත් සිතට සතුටුදායක ආරංචියක් අරගෙන ඒ කතාවත් නිමා වුනා ....

දැන් වැඩේ යනවා වගේ ...වෙලාව හවස පහයි ..ලංකාවේ නම් උදේ හතර විතර ...මම බලාගෙන ඉන්නවා skype දිහාව ..මොකද මම දන්නව දැන් සූජිව මහත්මයා මට කතා කරන බව ...හියාරේ මහා විද්‍යාලයේ භාරදුර රාජකාරියක් කරල ...හෙද විදුහලේ එවැනිම බරක් ඇදල ...ගෙදර ඇවිත් බිරිඳත් පැටියත් එක්ක ඉන්න තියෙන වෙලාවේ නිදි මරාගෙන ඉඳළ සුජිව මහත්මයා ගන්න මේ කෝල් එකෙන් තමයි “මධුෂාණීගේ අද දවසේ තත්ත්වය වගේම ගිණුම් වල තත්ත්වයත් දැන ගන්නේ ..“ ....මේ අතරේ මට වාසනාව ලබුණ අපේ සිංහල බ්ලොග් පරිශ්‍රෙය් ඉන්න මිනිසුන් පිරිසක් ඔහුට හඳුන්වා දෙන්නටත් ...

මෙහෙම ඇරඹුන Skype කතා බහ , Gtalk කතා බහ ..email හුවමාරුවන් දිගින් දිගටම ගියා "හැමදාමත් වගේ දේවා මල්ලි ..පොඩිමෑන් මල්ලි වගේම ඕනයා මලයත් මේ කතාබහට එකතු වුනා ......මේ අතරේ “ලොවෙත් නෑ“ facebook පිටුවත් “පොඩි මෑන් “ මල්ලිගේ හිතවන්ත කමත් එක්කම මේ වැඩේට එකතු වුනා ...මධුෂාණි ගැන ලොව පුරා පැතිරුණා ...හැම ප්‍රෙද්ශයකින්ම ඇයගේ ගිණුමට මුදල් ගලා ආව ..සමහර පරිත්‍යාගශිලීන් කිහිපවරක් මුදල් පරිත්‍යාග කරලා තිබුණා .., සමහර මිතුරන් තමන්ගේ රැකියා ස්ථාන වල මුදල් එක් රැස් කරමින් ඒ සියල්ල ගිණූමට එව්වා ..සමහර මිතුරියන් පන්සලේ , දහම් පාසලේ තැනින් තැනි ඇවිදිමින් මුදල් එක් රැස් කරමින් ,මීට දායක වුනා ....දවසෙන් දවස ගිණුමේ ශේෂය ඉහල ගියා ..අවශ්‍ය වන රුපියල් 220,000.00 ටිකෙන් ටික ලංවුනා ..සති දෙකක් ඇතුලත අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් එක රැස් වුනා ...දැන් ඇයට ප්‍රතිකාරය ලබා දීම ගැන කිසිම බයක් නැහැ ....ඒ විතරක් නොවෙයි ඊට පසු සිදු කරන පරික්ෂණ සහ අතිරේක ඖෂධ ලබා ගන්නටත් අවශ්‍ය තරමට දැන් මුදල් ලැබිලා තිබෙනවා ...මේ ලියන අවස්ථාව වන විටත් මුදල් ලැබෙමින් පවතින බවත් දැන ගන්නට ලැබුණා , සම්පුර්ණ මුදල් තත්වය ගැන  මේ සටහනේ අවසානයට ලියන්නම් , මොකද මේ සටහන ලියන දැන් වෙලාව ලංකවේ වෙලාවෙන් නම් උදේ 11යි ...අද හවස හතරට තමයි මුළු එකතුව ලබා ගන්නට හැකිවන්නේ ...

ඔව් මේ දියණිය වෙනුවෙන් , මේ සොයුරිය වෙනුවෙන් මිනිසත්කම් ඇති මිනිසුන්ගේ සිත් සංවේදී වුනා ....එයට ජාති භේද , ආගම් බේද තිබුණේ නැහැ ...සමහර පරිත්‍යාග කළේ කවුද කියල නමවත් හරියට දන්නේ නැහැ ...කෙසේ වෙතත් මනුස්සකම උතුරා ගිය දින කිහිපයක් මතකයේ රඳවමින් අද ඇයට “පිළිකාව පරදවමින් මිනිස්කමේ මහිමයේ බලය “ ලබා දේවි ...මාර්තු මස පළමු වනදා ඇය ප්‍රතිකාරය සඳහා දිනය වෙන් කරගනිවී , මාර්තු මාසේ විසි හතර වනදා ඇය ඒ සඳහා රෝහල් ගත වනවා ...ඇයට ලබා දෙන විකිරණශීලී අයඩින් ප්‍රබල කිරණ මුදහරිමින් ලේ නහර පුරා දිව යාවි ...ඒ අයඩින් හරිම කැමැත්තෙන් තයිරොයිඩ් සෛල වලට ..නැත්නම් ඊට සම්බන්ධ පිළිකා සෛල තුලට රිංගාවි ...(මොකද අයඩින් තමන් තුලට කැන්දා ගන්නා මේ සෛල ආසාවෙන් ඉන්නේ ...) ...එහෙම ඇතුළු වන විකිරණශීලී අයඩින් එම තයිරොයිඩ් සෛල විනාශ කරාවි ..එදා ඒ තයිරොයිඩ් පිළිකා සෛලවලට තේරේවි ...මගේ යාළුව වන අයඩින් කියල ගේ ඇතුලට දාගත්තට මේ කෙනානම් මගේ යාළුව වගේම ඉන්න හතුරෙක් කියල ..ඕව කොහේ හිතන්නද ..විකිරණශිලී අයිඩින් ඒ සියළු පිළිකා සෛල , තයිරොයිඩ් සෛල විනාශ කරනවා ....ඇය සුවපත් වෙනවා , ඇය සුවපත් වෙනවාමයි ....හැබැයි ඇයට ජීවිත කාළෙම තයිරොක්සින් පෙති ගන්නට වෙනවා ...ඉතින් මොකද ?....සති කිහිපයකින් ඇය ආයෙත් සිනාසෙනවා ...යෞව්වනයේ සොඳුරු හැඟීම් පුරවාගෙන ඇය සිනාසේවි සතුටින් ...ඉපිලේවි සතුටින් ..පිළිකාව පරදා මිනිස්කමට ජය ගෙන දුන්නාට ...ඒ ඉපිලෙන සතුට ඔබේ සිත් පහන් කරනා බව මට විශ්වාසයි ...ඒ කෙළි පොඩ්ඩිට ජීවිතය දෙන්නට ..දිරිය දෙන්නට එක්වුනු සැම පිං පුදනවා ...

නම් ගම් වශයෙන් , බ්ලොග් ලිපි වශයෙන් , facebook පිටු වශයෙන් , වෙබ් පිටු ලෙසින් නම් කරන්නට ගියොත් හරිම අපහසුයි ..උපකාරයන් ඒ තරම් ...අඩුම තරමේ අදාල පිටුවල ලිපිනයන් සටහන් කරන්නට හැදුවත් ..ඒකත් ලෙහෙසි නැහැ ..බලන්න ඔබ කොතරම් මේ වෙනුවෙන් වෙහෙසිලාද කියන එක ..ගිණූමෙන් විතරක් නොවෙයි ...Google මතදි “මධුෂාණී“ ලෙසින් යෙදුමක් කරල.....කෙතරම් පිරිසක් මේ වෙනුවෙන් දැනුවත් කරන්නට වෙහෙසිලා  තිබෙනවාද ? .....ඒසැමට මම මගේ හෘදයාංගම ගෞරවය , එක්කම පින් පුදනවා ...මටත් අයිතියක් ඊට තිබෙනවා .මේ මගේ “සිසු දරුවෙක්“ ...ඒ එක්කම මේ කටයුත්තෙදි මා අතින් , සුජිව මහතා වෙතින් හෝ යම් ගැටළුවක් අපහසුතාවයක් වුනා නම් ...(විශේෂයෙන් දුරකථන සම්බන්ධතා පිළිබඳ ගැටළු තිබුණා) ...ඊට හේතු සාධක බොහොමයි ...එබඳු යම් හේතුවක් නිසාවෙන් අපේ හිතවතෙකුගේ හෝ හිතවතියකගේ සිත් රිදවීමක් වුනානම් ...සමාවන්න ...පැවති තත්ත්වය , විවිධ දුෂ්කරතා අපි හැමෝගෙම කාර්ය බහුලත්වය සහ විවිධ තාක්ෂණික ගැටලුත් මීට හේතු වන්නට ඇති

...ඒ වගේම මේ කටයුත්තට මහන්සි වෙත්දි සමහර හිතවතුන්ට වෙනත් “නොමිනිස් හිත් ඇති මනු+සත්තු“  කිහිපදෙනෙක් ගෙන් සිත් රිදවීම් වලට ලක්වුන බවත් මට දැන ගන්නට ලැබුණා ..ඒ රිඳවුම් , ඔබේ මිනිස්කම ඉදිරියේ දූවිලිව , ඔබේ පයට පැගෙන බව ඔබට වගේම මටත් දැනෙනවා .. 

සුජීව ...මා  සහෘද මිතුරාණන් 
මේ කටයුත්තෙදි මේ සියළු මුදල් කටයුතු හැකි තරම් උපරිමයෙන් නිවැරදිව සහ පාරදෘශ්‍යව කරන්නට මීට දායක වූ සැවොම කටයුතු කළා ..විශේෂයෙන්ම මේ කටයුත්තේදි  සුජීව මහත්මයා ...දිනපතා මධුෂාණි ගේ තත්ත්වය පිළිබඳ සොයා බලමින් , මේ බැංකු ගිණුම් ගැන සොයා බලමින් , ඉඩ ලද හැම විටම අපේ මිතුරන්ට ප්‍රතිචාර දක්වමින් (ඒ අතරතුර පාසල් ගුරුවරයෙක් ලෙස , හියාරේ මහා විද්‍යලයේ අහිංසක දරුවන්ටත් අසාධාරණයක් නොවන අයුරින් තමාගේ රාකාරියත් නොපිරිහෙලා කරමින් ) කළ කාර්ය අතිශ්‍ය දුෂ්කර කටයුත්තක් ..විශේෂයෙන්ම හෙද පුහුණු ආයතනයක් නිසා පිරිමි දරුවන්ගේ හිඟකම නිසාවෙන් හැම කටයුත්තටම දුවන්නේ ඔහුමයි , බැංකුවට , තැපැල් කාර්යාලයට , සටහන් කොපි කරගන්නට ...මට මේ නොකිව්වත් මම දන්නවා ඒ වෙහෙස ... මේ කටයුතු අතරේ ඔබේ දරුවාත් රෝගීව ඇති බව මට අසන්නට ලැබුණා ...ඔබේ පුංචි පැටියාට ඉක්මණින් සුවය ලැබෙන්නට මාත් එක්ක , මේ සයිබර් අවකාශයේ හැමෝම හොඳ හිතින්ම පතනවා .. ...දැන් ඔබත් මේ සයිබර් අවකාශයේ නිත්‍ය හෘදයාංගම මිතුරෙක් වී අවසානයි ...ඉතින් සටහන අවසානයේ මෙවන් සටහනක් නොතැබුවානම් මගේ හිතට මම වැරද්දක් කරා වගේ දැනෙන නිසා මේ ලීවේ ..ඔබ ගැන මෙහි සටහන් කළා කියල කිසිදා උරණ නොවන ඔබ අදත් මාත් එක්ක උරණ නොවන බව මට විශ්වාසයි ....

මේ මම සටහන් කළේ මේ කටයුත්තෙදි මා අත්විඳි , මට දැන ගන්නට ලැබුණු දේ පමණයි ..මේ තුල මා නොදත් මහා වෙහෙසක් ඇති බව කියන්නට කාරණාවක් නොවේ ..විශේෂයෙන්ම මෙතරම් කෙටි කාළ සීමාවක් තුල ආසන්නව ලක්ෂ තුනක පමණ මුදලක් එක් රැස් කරගන්නට සයිබර් අවකාශයේ මේ සොඳුරු මිතුරු මිතුරියන් කළ කැපවීම් අපමණ ඇති ...දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදලක් ...මේ කිසිදා  නොදැක්ක ..දරුවෙක් වෙත පූජා කරන්නට හිත්වීමම කොතරම් අපූරුද ? රුපියල් දහයේ විස්සේ සිය සිය දහස් ගණනින් විතරක් නොවයි රුපියල් දස දහස් ගණනින් මුදල් පරිත්‍යාග කරන්න ඔබ පෙළඹුනා , ඩොලර් ගණනාවකුත් රුපියල් වලට මාරු වුනා ....සමහර අවස්ථාවල කිහිපවතාවක් මුදල් පරිත්‍යාග කරන්නට තරම් හිත බැතිමත් වුනු සයිබර් මිතුරන් හිටිය ..ඒ කිසිකෙනෙක්ගේ නම් වෙන් වෙන්ව සටහන් කරමින් මෙය “මාගලක් “ වැනි සටහනක් කරන්නට ඕන නැති බව ඔබම කියනව මට විශ්වාසයි .ඔබට ඕන වුනේ “ඇය කෙසේ හෝ සුවපත් කරගැනීම පමණයි .“

..ඒ අතරේ මේ කතාව තමන්ගේ මිතුරන් අතරේ පතුරවමින් , මේ කටයුත්ත තමන්ගේ වැඩක් වගේම කරන්නට කරගහපු “දේවා ...ඕනයා ..පොඩිමෑන්“  කියන මල්ලිලා “ත්‍රිත්වය “ ගැන නොකියම බැහැ ...මේ දවස් ටිකේම මම පරිගණකය ක්‍රියාත්මක කරන හැම මොහොතකම .....මාව අල්ල ගන්නම බලාගෙන නිදිවරාගෙන ඉන්නව වගේ මට හැඟුනේ .“අයියා දැන් කොහොමද තත්ත්වේ ... අපිට පුළුවන් වෙයි ...., “ කොහොම හරි මේ වැඩේ සාර්ථක කරගන්නට මේ ත්‍රිත්වය ලොකු වෙහෙසක් ගත් බව මම දන්නවා ..වෙහෙස කෙසේ ද කීවොත් , අද සවස මේ මුදල් භාර දීමේ කටයුත්තට , ලෙඩ වෙලා සිටිත්දිම වැස්සේ තෙමි තෙමී සහභාගී වන්නටත් තම මිතුරු පිරිස එකතු කළ තවත් රුපියල් හතලිස් පන්දහසක මුදල පිරිනමන්නටත් ... ගිය මේ ත්‍රිත්වයේ කාටදෝ දැන් උණ ගැනිලා කියලත් ආරංචියක් ආව , දැන් උණ ගැනුනත් හිතේ සතුටින් ඉන්නවා ඔබ ... ඔබ සුව පතන්නම් ඔබට ...ඔබ සැමට ...

සයිබරයේ සහෘදයිනි ...සිහින උළෙලට තව ටික දිනයි ..ඒත් ඒ සිහින උළෙල අරඹන්නටත් පෙර ...ජීවිතය කඳුළු සිහිනයක් වුනාදෝ සිතමින් සිටි ඔබේ සොයුරියගේ , ඔබේ මිතුරියගේ  ...ඒ කඳුළු සිහිනය ....සැබෑ සුන්දර සිහිනයක් ලෙසට පත්කරමින් “ජීවිතය දෙන්නට ...“ හැකි වූ සතුට ඔබ සැමට “ජීවිතය එළිය කරන .....සතුටක්ම වනු ඇති...“ .   “මධුෂාණී “ ......සයිබර් සෙනෙහසේ සොයුරියයි ...

ඉතින් සතුට සිතේ පුරවා සමුගන්නට අවසරයි .......සොඳුරු සුව අසපුවට ලිපියක් එක් කළාම ..එය ඔබ රසවිඳි බව මට දැනුනම හැඟෙන සතුට හරිම ඉහළයි .. ...අද ඊටත් වඩා සතුටුයි ...ඒ හැමදේම විකිණෙන ලෝකෙක ..සිංහල බ්ලොග් සටහනක අප තබන අකුරු පෙළින් අපේ හිත් හඳුනාගන්නට ඔබ සමත් වූ නිසා .... . සැමට නිරෝගී සුව සතුට .....
මේ කටයුත්තට  දායකත්වයක් දුන්  සයිබර් හිතවතෙක් සමඟ කළ කතාබහ.. 

දැන් මෙන්න සියළු මුදල් තොරතුරු ...මේ සටහන් සියල්ල ලැබුනේ දැන් මොහොතකට ඉස්සර වෙලා ..තවමත් මේ මුදල් ලබා දුන් අවස්ථාවේ ගත් ඡායාරූප නම් ලැබුණේ නැහැ , දැනගන්න ලැබුණ විදියට එතැනට සහභාගී වූ අපේ බ්ලොග් මිතුරෙක් ඡායාරූප ලබා ගත් බවක් කීව ..තිබේ නම් මටත් එවන්න , එවිට එම ඡායාරූපත් මේ ලිපියට එක්වේවි ..



-----------------------------------

මුදල් භාර ගැනීම වෙනුවෙන් ඇය තම විදුහල්පතිනිය වෙත ඇය තම අත්අකුරින් යොමු කළ ලිපිය
 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණූමෙහි මුදල් එක් රැස් වූ අයුරු ..






 මහජන බැංකුවේ කරාපිටිය ශාඛාව තුල ආරම්භ ගිණුම (දැනට ඉතිරි මුදල මෙහි තැන්පත් කර ඇත.)


ලැබී තිබූ Money transfers - Western Union සහ  Moneygrams





දැන් නම්  හිත නිදහස් ...එහෙත් මේ පරිත්‍යාගයන් හෝ මධුෂාණී පිළිබඳව ඇගේ තත්ත්වය පිළිබඳව ඔබට තවත් දැනගත යුතු නම් කරුණාකර https://www.facebook.com/cooperative.nts මගින් එම පිටුවට ගොඩවදින්නට ආරාධනා කරනවා ...එසේ නම් ආයෙත් දවසක “ලෙඩක් දාන්න “ එන්නම් ...


පසුව එක් කළෙමි .....

මේ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් “පොඩි මෑන්“ මල්ලී මේ දැන් මට එවා තිබුනා ...මේන්න ඒ කාළය “නැවැත්වූ“ සටහන් ......
හිතවන්තකම් වල ශක්තිය නම් “පොඩි “ නෑ මල්ලි ...

සමුපකාර හෙද විදුහල්පතිතුමිය විසින් ඔබ සැමගේ පරිත්‍යාග ඇයට ලබා දුන් මොහාත..

20 comments:

  1. නිරෝගී සුවය පතනවා ඉක්මණින්ම ඇයට....

    ReplyDelete
  2. අරක්කුවලට දියකරන සල්ලි මේවගේ දේකට යෙදවීම පවක් නෙමේනෙ . . .

    ReplyDelete
  3. ඇයට නීරෝගී සුවය ලැබේවා කියන්නැ මොකද ඒක ටිකක් අවිනීෂ්චිත නිසා
    ඇයට නිරෝගී සුව ලැබෙනවාමයි.....

    ReplyDelete
  4. මධුෂානි සොහොයුරියට නිරෝගී සුවය පතන අතර , මේ සදහා වෙහෙස වූ ඔබ , සුජීව මහතා ඇතුළු සියලුම දෙනාට ස්තුතිය පුද කරමි .
    සොදුරු සුව අසපුව සොදුරුම අසපුවක් බව දනිමි .

    ReplyDelete
  5. අම්මෝ මම නම් මාර බයෙන් හිටියේ .. ඇයි දෙයියනේ රෝහල් ගත වෙන්න දවස් හතරක් තියෙද්දි දැනට එකතුව 113000 යි කියලා බුකියේ පිටුවේ දාලා තිබුනනේ.. මම ශෙයා කෙරුවත් එක්ක..

    කොහොම හරි කමක් නෑ දැන් වැඩේ ගොඩනම්..

    තොරතුරු නිවැරදිව ලබා දුන්නට ස්තූතියි ඔබට..

    මේ කටයුත්තට සම්මාදන් වුන සියළු මිනිසුන්ගේ සිත්වල තිබූ "මනුස්සකමේ" බල මහිමයෙන්වත් මධුෂානි සොහොයුරියට නිට්ටාවටම සුවය ලැබේවා කියලා පතන්න කැමතියි..

    ReplyDelete
  6. ඔබගේ සත්කාර්යයට හද පිරි ගෞරවය..
    ඇය සුවවෙන බව ඇසීමත් සතුටක්..

    ReplyDelete
  7. ඇය සමහර විට සයිබර් සිහින උලලට ඒවි... එහෙදී හමුවෙමු කට්ටියම... :)

    ReplyDelete
  8. me wade sadaha samage akamuthukamata hari sathutui..

    ReplyDelete
  9. ඉක්මනින්ම සුව වේවි.. ඇයගේ ජීවිතය සාර්ථක වේවි ....

    ReplyDelete
  10. ඔබතුමනුත් සුජීව මහතාත් ඇතුලු සයිබර් අවකාශයේ මිතුරු කැල ,සයිබරය යනු සොඳුරු මිනිසුන් සිටින තැනක් බවට නැවතත් පසක් කලා....

    ඇයට නිරෝගි සුවය ලැබේවා..

    ReplyDelete
  11. පුදුම සතුටක් දැනෙනවා... ඇයට ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
  12. ඉක්මන් සුවය පතනවා ඇයට. ඇත්තටම මට ගොඩාක් සතුටුයි

    ReplyDelete
  13. ඇත්තමයි මගේ දෑසේ කදුළු බිදු කිහිපයක් රෑටා ගෙන බිමට ඇද වැටුනා මේ කතාව කියවද්දී
    මට හිතා ගන්න සන්තෝෂ වෙන්න පුළුවන් මම වගේම යාළුවො ලංකාවේ මට තව ඉන්නවා කියලා
    මම තනි වෙලා නෑ කියලා මමත් මේ වගේ දේවල් ගොඩාක් කරපු කෙනෙක් මම දන්නවා මේ වගේ දෙයක් අවංකවම කළාම සිතේ උපදින සන්තෝෂය ඒක වෙන කිසිම දෙයකින් ලබන්න බෑ
    මම ආපදා කළමණාකරණ අමාත්‍යංශ සේවකයෙක්(කළමණාකාර සහකාර)ප්‍රියංක උදය කුමාර
    071-8084937
    මෙය මම දුටුවේ අද නිසා මම දුක්වෙමි.

    ReplyDelete
  14. මම මෙම පෝස්ට් එක කොපි කර ගන්නවා එපා කියන්න එපා මහත්මයා

    ReplyDelete
  15. පැමිණි ...මධුෂාණී වෙනුවෙන් වූ මේ සුන්දර ඉසව්ව සිත පුරා රස විඳි, මිනිස් හදවත් ඇති ඔබ සැමට තුති ...ඔබ සැමගේ මේ දිරි ගැන්වීම් නොවන්නට මේ කිසිත් නොවන්නටත් තිබුණා ...මේ සතුට , මේ පින ..සයිබරයේ සියළු හිතමිතුරන් තුල පැතිරේවා යන්න මගේ පැතුමයි .

    ReplyDelete
  16. වැඩේ සාර්ථක වීම ගැන ගොඩක් සතුටුයි.. අර චැට් එකේ කියල තිබුණ වගේම ඔබතුමාට ගොඩක් ස්තූතියි. ඒ වගේම ගොඩක් පිං !!

    ReplyDelete
  17. -රවින්,
    ස්තුතියි ඔබට

    ReplyDelete
  18. -ඔබ නොදු‍ටු ලොවක් ,
    ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)