2011/11/04

66) ඔන්න මලේ ...සෙංගමලේ ..දැන ගත්තොත් රැකෙයි වගේ ..

මිසිසගාවේ සොබා සුන්දරත්වය ..
අළුත් වට පිටාවේ පොඩි පොඩි වෙනස් විම් නිසා වෙනදා මෙන් ලිපි එක් කරන්නට නොහැකි වුනත් , හැකි හැම අවස්ථාවකම සටහනක් තබන්නට උත්සාහ ගන්නවා . මොකද දැන් අපිට හැමදේම වෙනස් අළුත් අත්දැකීම් ගොන්නයි .. .ඒත් හරිම සුන්දරයි . ඒ වගේම සීතලයි .ටිකක් කල් යාවි මේ වෙනසට හුරු වෙන්න ,එතකොට ආයෙත් පරණ විදියටම සතියකට ලිපි දෙකක් විතර එක් කරන්න උත්සාහ කරමු ..


 මේ දවස් වල ටිකක් ...ටිකක් කිව්වට දැනෙන තරමට සිතලයි ..අද මේ වෙලාවේ වතුර මිදෙන සිතලක් ..සෙල්සියස් 2යි , ඒත් දැනෙන්නේ 0 වගේ ...දැන් මේ පළාත් වල කවුරුත් හිම ගැන වගේම Seasonal flu ගැන ටිකක් අවධානයෙන් ඉන්නේ .ඒ කියන්නේ අපි දන්න උණ හෙම්බිරිස්සාව කැස්ස වගේ පොඩි පොඩි ලෙඩ ඔක්කොම එකට හැදෙන්න අවස්ථාව වැඩියිළු ..ඒ ගැන හොඳට ප්‍රජාව දැන්වත් කරනවා , පාසල් දරුවන් පවා මේ වගේ තොරතුරු ගැන හොඳින් සහ ප්‍රායෝගිකව දැනුවත් කිරීම් කරනවා ...
එනකම් බලාගෙන ඉන්නවා

මේ දැනුවත් කිරීම හොඳ මට්ටමක තිබුණත් අපේ රටේ එය යම් තරම මන්දගාමී බවක් , නැත්නම් ප්‍රජාව තුලට එතරම් නොයනබවක් දැනෙනවා. ඔව් අපි දන්නවා , ඩෙංගු රෝගය ගැන හොඳට දැනුවත් කරනවා , ඒඩ්ස් ගැනත්  ඒවගේම . ඒවගේ යම් සිමාවක හිරවෙලා වගේ මට දැනෙනවා , බොහෝ පුවත්පත් වල , ජනමාධ්‍ය වල සෞඛ්‍ය වැඩසටහන් ඉදිරිපත් කළත් ඒවා ඵලදායී විදියට ප්‍රජාව තුලට යනවාද ? ප්‍රජාව එය නිසි  ලෙසින් ගන්නවාද කියන එක අපිට හිතන්න වෙලා තියෙනවා.

දිවිය රකින පැණි බිංදුව 
පොඩි උදාහරණයක් කියන්නම් , අපි රෝහලේ සේවය කරන කාළේ “අත් සේදිම සහ එහි වැදගත්කම “ ගැන කතා කරන්නට පටන් ගත්තම අපේ වැඩිහිටි අය , “ආ ...ඕක දැන ගන්න දෙයක්ද ..? අපි ඉතින් හැමදාම අත හෝදනවනේ ..“ ඔන්න ඔහොමයි , වැඩසටහන අවසන්  වෙනකොට , ඉන්නේ බොහොම ටික දෙනයි , ඒ වගේම අපේ වාට්ටුවෙදි , රෝගීන්ගේ ඒකකවල ඉඳල එළියට යත්දි හොඳට අත්සෝදගෙන යන්න කිව්වම අපිට ඔරවන පිරිස අපමණයි , ඔවුන් සිතන්නේ එය “පිළි ගැනීම“ ලැජ්ජාවක් විදියට ..ඒත් ..මේ රටට ඇවිත් දින දෙකකට පස්සේ මට ලැජ්ජ හිතුන අපි ගැන ..මේ හැම රජයේ කාර්යාලයකම වගේ කාර්යාලයෙන් පිටවන තැන Hand sanitizer(අත් පිරිසිදු කිරීමට භාවිත කරන දියරයක්)  එකක් රඳවල තියෙනවා , යන එන හැම කෙනෙක්ම ඒ  Hand sanitizer එකෙන් අත පිරිසිදු කරගෙන තමයි,  තම රාජකාරි පටන්ගන්නෙත් අවසන් කරන්නෙත් .දැන් මෙයා වෙන රටකට ගිහින් අපේ රටට අගෞරව කරනවා කියල හිතන්න එපා , කාගෙන් වුනත් කමක් නැහැ හරි දේ ගන්න එපායැ නේද ?.

නොදන්නා මැණිකෙගෙන්  ලැබෙන ....??
මේ සෞඛ්‍ය දැනුවත් කිරීමේ කතාවෙදි මට මතක් වෙන දෙයක් තමයි අද අපේ ප්‍රජාව දැනුවත් විය යුතු තවත් සැඟවුනු අනතුරක් ගැන . ඒ Hepatitis B . අපි දන්නවනේ “සෙංගමාලය“ කියන තත්ත්වය ..අර ඇඟ ටිකක් කහපාට වෙලා , උණ ගැණෙන , කන්න අප්පිරිය වෙන , ඇස් රිදෙන ලෙඩේ ..ඔය සෙංගමාල පවුලේ වර්ග ගණනාවක් තියෙනවා . ඔය අපිට අපිරිසිදු වතුරෙන් හෝ  කෑම වලින් හැදෙන සාමාන්‍ය සෙංගමාලයට කියන්නේ Hepatitis A කියලා , ( හැබැයි දැන් ඔය Hepatitis A හැදිච්ච අය ලැජ්ජ වෙන්න ඕන කතාවක් කියන්නම් , ඒ අය කාගේ හරි අසූචි කාල , බීලා තියෙනවා , ඒකියන්නේ සාමාන්‍ය බෝවන සෙංගමාලය Hepatitis A හැදෙන්නේ Feco-Oral route එකෙන් ,Feco කියන්නේ අසුචි , Oral කියන්නේ කටට , දැන් ඉතින් තවත් ඕන නැහැනේ , )

බඩ ගෙඩිය ..පුහු(ල්) ගෙඩිය 
ඔය කිව්ව බෝවන සෙංගමාලය බොහෝ අවස්ථාවල එතරම් දරුණූ තත්ත්වයට යන්නේ නැහැ , වෛරස් රෝගයක් නිසා සාමාන්‍යෙයන් සති දෙකකින් විතර හොඳ වෙනවා , වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක හොඳයි , මොකද මේ වෛරසයෙන් අක්මාවට පොඩි පොඩි කරදර ඇති කරන නිසා. (Hepatitis හැදෙන්නේ Hepato+itis පද දෙකේ එක්වීමෙන් , Hepato කියන්නේ අක්මාව itis කියන්නේ ප්‍රදාහයක් කියන එක) ,ඊට අමතරව හොඳට දියට ජාති පානය කරලා (හැබැයි අර සැර බීම බිව්වොත් අක්මාව තවත් නරක් වෙනවා) , විවේකව ඉන්න එක හොඳටම ඇති .

හැබැයි මෙයාගේ අනිත් සාමාජිකයා , ඒකිව්වේ Hepatitis B වෛරස් එකෙන් ඇති කරන හෙපටයිටිස් බී කියන රෝගය නම් මීට වඩා හුඟක් දරුණුයි , දරුණුයි කීවේ රෝග ලක්ෂණ නම් ඒ වගේමයි , ඒත් එය සම්පුර්ණයෙන් සුව නොවන තරම් , වරින් වර නැවත නැවත සෙංගමාලය තත්ත්වය ඇති කරමින් ජීවිතේ ටිකෙන් ටික දුර්වල කරනවා හෙපටයිටිස් බී වෛරසය , ඒත් නිසි අවස්ථාවේ හදුනාගෙන ප්‍රතිකාර වලට යොමු වුනොත් වන හානිය යම් තරමකට අඩු කරගන්න පුළුවන් . ඒත් ප්‍රතිකාරය හුඟක් දිගු කාළීන එකක් වේවි , මොකද මින් අක්මාවට වන හානිය වැඩි නිසා ඊට සම්බන්ධ තවත් අවයව , ජෛව ක්‍රියාකාරකම් ගණනාවක් ගැන ප්‍රතිකාරයේදි සිතන්නට වෙනවා.

ඇත්තම කිව්වොත් මේ හෙපටයිටිස් බී වරින් වර ඇති වීම නිසා අක්මාව ඉක්මණින් දුර්වල වීමේ අවදානමක් තියෙනවා . ඒ වගේම Hepatocelluler carcinoma කියන අක්මා සෛල වල පිළිකා තත්ත්වය ඇති වීමේ ලොකු හැකියාවක් තියෙනවා.  ටිකක් කල් යත්දි අක්මාව දුර්වල වෙලා , බඩේ වතුර පිරිල කියන තත්ත්වය (Ascites ) ඇති වෙනවා , ඒ එක්කම ඇඟේ ප්‍රතිශක්තික හැකියාව අඩු වෙන නිසා වෙන ලෙඩ එකතුවෙන අවස්ථාවක් ඇති වෙනවා ..ඔය විදියට කාළයක් තිස්සේ කරදර එක් කරන ලෙඩක් විදියටයි මේ Hepatitis B දක්න්නේ .

ඔච්චර කරදර දෙන මේ ලෙඩේ බෝවෙන්නේ කොහොම කියන ඇහැව්වොත් , හරිම ලෙහෙසි උත්තරයක් දෙන්න පුළුවන් , මොකද සෞඛ්‍ය දැනුවත් කිරීම වලින් වඩාත් ප්‍රජාව තුල රැඳුනු අවස්ථාවක්නේ AIDS . අපි කව්රුත් ඒඩ්ස් හැදෙන හැටි දන්නවා , එන්න ඒ කාරණා සියල්ල මේ රෝගයටත් එකඟයි. ඒ කිව්වේ වෛරසය අඩංගු ලේ , ශුක්‍ර තරළය සහ යෝනි මාර්ලයේ තරල වෙනත් අයෙක්ගේ තුවාලයක් , සීරුමක් හෝ තුනි පටල හරහා දේහයට ඇතුළු වුනොත් එයාටත් Hepatitis B ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා , (දැන් ලේ දන් දෙන්න , නැත්නම් රෝහලෙන් ලේ ගන්න බය වෙන්න එපා , ඒ ලේ වල මෙම විෂබීජ තිබේදැයි පරික්ෂණ කරල තමයි රෝගියාට දෙන්නේ , ඒ නිසා එලෙසින් හෙපටයිටිස් බී බෝ වීමේ අවදානම ඉතාමත් අඩුයි.)ඒ වගේම දැන් ඔය අළුත් මෝස්තරේ පච්ච කෙටිල්ලත් භයානකයි , මොකද එක් අයෙක්ගේ සම තුවාල කරන කටුවේ වෛරස් රැඳිල තිබුනොත් ඒ උපකරණයෙන් පච්ච කෙටෙන දෙවැන්නා ලෙඩේ නොමිලේම ලැබෙනවා , කොන්ඩේ කපන තැනදිත් දැළි පිහියට යොදන තලය මාරු කරාද කියල හොඳට බලන්න , නැත්නම් කාගේ මොන ලෙඩක් දේද දන්නේ නැහැ.

හෙපටයිටිස් බී මෙච්චර දරුණු වුනාට එයින් වලකින්න හරිස පහසුයි , ඒ අනාරක්ෂීත ලිංගික එක් වීම් සිදු නොකිරීම , ඒ වගේම ඒ අවස්ථාවන් සඳහා නිසි ආරක්ෂක උපකරණ (කොන්ඩම) භාවිත කිරීම , කැපුම් තල සහිත උපකරණ තනි පාවිච්චියට පමණක් භාවිත කිරීම ...ඔය වගේ ඔයාල දන්න කරුණු ගොඩාක් කියන්න පුළුවන් , ඊට වඩා වැදගත් දෙයක් දැන් තියෙනවා , ඒ තමයි Hepatitis B Vaccine එක . අද පොඩි දරුවන් සඳහා නම් ඕනම රජයේ රෝහලකින් , ඕනෑම අයෙක්ට පෞද්ගලකි රෝහලකින් ලබා ගන්නට පුළුවන් , සාපේක්ෂව මිල අඩු , වටින එන්නතක් , හොදට මත කියා ගන්න , මේ එන්නතේ නිසි ඵල ලබන්නට නම් එහි නියමිත වාර ගණන නියමිත කාළ අන්තර වලදීම ගන්න ඕන , නැති වුනොත් ප්‍රයෝජනයක් නැහැ

එන්නත සුරකින සීත දම් වැල 
(පෞද්ගලික රෝහලකින් එන්නත් ගන්නවා නම් , ඒ ආයතනයේ තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් විය හැකි මට්ටමේ විය යුතුමයි , මොකද මේ එන්නත් ගබඩා කිරීමේදී එකම අවම උශ්නත්වයක (cold chain management ) පවත්වා ගැනීම හරිම වැදගත් , ඒ සඳහා සුදුසු ශිතකරණ පහසුකම් ඇති පිළිගත් ආයතනයක් ඒ සඳහා තෝර ගන්න එකයි හොඳ . (මොකද අපි දන්නවා සමහර ඔසු සැල් , පෞද්ගිලක ආයතන රාත්‍රි කාළයට ශීතකරණ ක්‍රියාවිරහිත කරල කරන්ට් එක පරිස්සම් කරන හැටි ..එහෙම තැනකින් මේ එන්නත් ගත්තොත් “දෙයියන්ගෙ පිහිට තමයි) , ඔන්න තව දෙයක් මතක් වුනා , ඔය තුවාල වලට බෙහෙත් දාන්න එහෙම ගියොත් හොඳට බලන්න ඒ වෙනුවෙන් පාවිච්චි කරන අඩු කතුරු වගේ උපකරණ ඔබ වෙනුවෙන් වෙන්ව ගත්තාද කියලා (සාමාන්‍යෙයන් බොහෝ රෝහල් වල එම උපකරණ අධී පීඩනය සහ අධි උශ්නත්වය යටතේ විෂබීජ විනාශ කර තමයි නැවත භාවිත කරන්නේ)  , මොකද වෙනත් අයෙක්ගේ තුවාලයක ගෑවුනු උපකරණයක් ඔබේ තුවාලයේ ගෑවුනත් , ඒකත් අර  අනාරක්ෂිත ලිංගික එක්වීමක් වගේම අනතුරුදායකයි , මේ ලෙඩේ බෝවෙන්න පුළුවන් ඒ විදියටත්.


එහෙමනම් “අතෙන්“ පටන් අරගෙන “එන්න+අතෙන්“ කතාව ඉවර කළා .ආයෙත් දවසක එන්නම් තවත් කතාවක් අරගෙනම ...

5 comments:

  1. අපිව දැනුවත් කරන මේ ලිපි අපිට හරි වටිනවා. ඔබතුමා ඔතරම් වැඩ රාජකාරී අතර සිටත් අපගේ දැනුම වෙනුවෙන් මේ කරන සේවයට අපි ණය ගැතියි. දරුවන්ටත් නැවත ලියන්න පටන් ගන්න කියන්න . ආසයි ඔය රටේ තොරතුරු එයාලගෙන්ම දැනගන්න ...ඉද ලද විටක ලියන්න කියන්න.. ස්තුතියි...

    ReplyDelete
  2. ලිපියට ස්තුතියි . මෙගැන කියන්න මගෙ දැනුම මදි. ඒ හන්දා මෙ ලිපිය මගෙ දැනුමට එකතු කර ගත්ත.

    ReplyDelete
  3. එතකොට සෙංගමාලය (හෙපටයිටිස් බී) කියන්නෙ STD ගනයට වැටෙන රෝගයක්ද ???

    ප.ලි.
    රෝගයක් කියන්නෙයි සහ ලක්ෂන කියන්නෙයි දෙකක්ද ????

    ReplyDelete
  4. -Gimhani ,
    බොහොම ස්තුතියි ඔබට , ඔව් දෙන්න එක්ක ලියන්න පටන් ගත්තා ඊයේ , හැබැයි තවම ඉවර කළේ නැහැ ,

    -ලොකු ඡෝන්,
    ස්තුතියි , මටත් හරිම සතුටක් මේ දැනුම ඔබ සැම එක් කරගන්නවා නම් ,

    -ඕනයා,
    ඔව් සම්ප්‍රේෂණ විදියත් එක්ක මේක STD ගණයේ තියන්න පුළුවන් , රෝගයකට මුලික රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා ,මුලික රෝග ඇති කරන හේතුවක් තියෙනවා ඒ වගේම හේතුවට අනුකූල පටක වෙනස් වීම් සිදු වෙනවා , උදාහරණයක් මැලේරියාව කිව්වොත් ,ගැහිල උණ ගන්න එක , නියමිත කාළ අන්තරයකට වතාවක් උණ ගැණෙන එක ,
    ඒත් සහලක්ෂණයක් කියන්නේ රෝග ලක්ෂණ ගණනාවක එකතුවක් තව විදියකින් කිව්වොත් ලෙඩ ගොඩක එකතුවක් ...මේ පොඩි විස්තරයක් , ඉදිරියේදි මේ ගැන විස්තර එක්ක කියන්නම් ...ස්තුතියි මල්ලී

    ReplyDelete
  5. ගොඩක් වටින ලිපියක් !!
    කහ දාපු කෑම කෑවම සෙංගමාලේ හැදෙනවා කියලා කියන්නේ ඇත්තක් ද ?

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)