2012/01/24

79) නයන නිවන තිත් කොමාව ...

අද වැස්ස..තද හුළඟත් එක්ක ...ආරංචි විදියට හෙට අනිද්දා ටිකක් දරුණු කාළගුණයක් (Active weather) ඇති වෙන්න පුළුවන්ලු ..සීතල හුළං කපාගෙන පැටවු දෙන්නයි , මනෝජයි ගියා ඉස්කෝළෙට ..මම ගෙදර ..අද ටිකක් විවේක ගන්න පුළුවන් දවස ..කාළගුණේ එච්චර හොඳ නැත්ද කියල හිතුන නිසා ගෙට ඇවිත් රූපවාහිනිය නරඹන්නට හිතාගත්ත ...ක්‍රියාත්මක කළා ...මොන කාළගුණයක්ද කාටුන් චැනල් එකක් , ඊළඟට ..ඒකත් එහෙමමයි ..තව එකකට යමු ....මෙන්න හරිම ලස්සන  චිත්‍රයක් , රිද්මයක් එක්ක  පාඩමක් ...නැවතුනා ..ටිකක් බලන්න ඕන ...


ඔව් , ඒ මේ මාසය අමෙරිකාව විසින් “ජාතික ග්ලුකෝමා මාසය“ ලෙස නම් කිරීම පිළබඳ පොඩි දැන්වීමක් ...රෝගය ගැන , එහි අනතුර ගැන , ඒ වෙනුවෙන් පැවැත්වෙන සායන ගැන , විස්තර දැනගන්න දුරකථන අංක ඔන්න ඔය වගේ කරුණු සමූහයක් අඩංගු විනාඩියක විතර ලස්සන දැන්වීමක් ..(මෙන්න ඒ දැන්වීම) , අමෙරිකාවට විතරක් නොවෙයි මේ රෝගය ගැන දැන ගන්න එක අපේ රටේ අයටත් වැදගත් , විශේෂයෙන්ම අපේ රටේ හුඟ දෙනෙක් “ලෙඩ වුනාම බෙහෙත් ගන්න“ සංකල්පයේ ඉන්න නිසා වඩාත් වැදගත් ..

අද අපි එහෙනම් මේ රෝග තත්ත්වය ගැන කතා කරමු , මේ ගැන කතා කරන්නත් මුලින් “ඉන්න හිටින්න තැනක්“ හදා ගන්න එපායැ , ඒ කිව්වේ මේ රෝගය හා සම්බන්ධ ඉන්ද්‍රයයන් ගැන පොඩි හරි අවබෝධයක් ලබා ගන්න එපායැ , ඒ නිසා අපි ටිකක් “ඇස“ ගැන කතා කරමු.

අපේ ඇහේ “අක්ෂි ගෝළය “ හැදිල තියෙන්නේ “ලෙලි තුනකින්“ ඒ කිව්වේ තට්ටු තුනකින් . හරියට “පොල් ගෙඩියක් වගේ“ ..ඒකේ එළියෙන්ම තියෙන “ලෙල්ල“ , අපි නම් කරන්නේ “ස්ක්ලෙරා-Sclera“ කියන නමින් එයා තමයි ඇහැ එළීයෙන්ම ආරක්ෂා කරගෙන , ඒ එක්කම ඇහැ චලනය කරවන්නට අවශ්‍ය පේෂි එක්ක සම්බන්ම වෙන්නේ , මේකේ වැඩි හරියක් සුදු පාටයි , අපි ඉස්සරහින් බැලුවම පේන සුදු පාට හරියත් Sclera ගේ කොටසක් , හැබැයි මෙයි ඇස ඉදිරියෙදි හොඳට විනිවිද පේන cornea කොටසක් බවට පත්වෙනව ,ඒ හරහා තමයි අපේ ඇස ඇතුලට ආලෝකය ඇතුළු වෙන්නේ ,
ඊට ඇතුළින් තියෙන තට්ටුව Choroid  , එයා තමයි ඇසට ඔන කරන ලේ සැපයුම කරන්නේ , ඊට අමතරව ඇහැ ඇතුළෙ තියෙන දියර වර්ග හදන්නත් උදව් වෙන්නේ , ඒ choroid ඇහැ ඉදිරිපසදි “ඇහේ බබා“ හදන්න (Iris) උදව්වෙනවා ..ඊට අමතරව අක්ෂි කාචය අල්ල ගන්න , ඒ වගේම ඊට අවශ්‍ය කෑම බීම , දෙන “තරළය“ හදන්න , ඒ විතරද ..වැඩි තරළය අයින් කරලා දාන්නත් මේ තට්ටුවේ දායකත්වය හරිම වැදගත් . ඊට ඇතුලතින් තියෙන්නේ “පොල් මදය“ වගේ retina එක ..මේ රෙටිනාව කියන්නේ තිරයක් වගේ දෙයක් ..ප්‍රධාන වශයෙන්ම ස්නායුව Optic nerve  එක්ක සම්බන්ධ , මොළයට “රූපය ගැන පණිවිඩේ“ හදන තැන ..
තරළය හදන ..ගලන සහ උරා ගන්න හැටි 
ඔය තට්ටු වලින් ආවරණය වුනු ඇස ඇතුළෙ ඉදිරියට වන්නට පිහිටන “කාචය lense “ මගින් ඇහැ ප්‍රධාන කුටීර දෙකක බෙදනවා , ඒවා අපි පෙර කුටීරට (Anterior cavity) සහ පසු කුටීරය posterior cavity කියල නම් කළොත්  ,  කුටීර දෙකම විනිවිද පේන දියර දෙකකින් පිරිල තිබෙන බවත් කියන්න ඕන ..එහෙම නැතුව ඇහැ ඇතුල “හිස්“ එකක් වුනා නම් ඔක්කොම ඉවරයි ..ඉන් අපි අද වඩාත් වැඩියෙන් කතා කරන්නේ ඉදිරිපස කුටීරයේ තරළය ගැන  Aqueous humor (එක්වස් හ්‍යුමර්) දියර හදන්නේ අපි මුලින් කතා කළ choroid තට්ටුවේ ඉදිරිපස කොටසින් , හදනවා වගේම මේ තරලය එක තැන පල් වෙන්න දෙන්න බැහැ , මොකද තරළයේ ස්වභාවයව වෙනස් වුනොත් පෙනීමත් වෙනස් වෙන්න පුළුවන් නිසා ..ඒ නිසා හදනව වගේම , ඒ වේගෙන්ම වැඩිපුර තරළය ඉවත් කිරීමේ කටයුත්තත් (channel of schelmn  / Trabecular meshwork) හරහා .සිද්ධ වෙනවා .. මේ සිදුවිම හරියට වනතාක් ලොකු කරදරයක් නැහැ ..

උරා නොගත්තම පීඩනය පැතිරීම 
හැබැයි මෙහෙම හිතමු , ඒ තරළය හැදුවට , ඉවත් කිරීම හරියට සිදු නොවුනොත් මොකද වෙන්නේ ...දිගටම තරළය එකතු වෙනවා , ඉවත් නොවී ..දැන් නිකං බැලුමකට හුළං පිඹිනව වගේ ..ඇහේ ඉස්සරහ කුටීරය පිම්බෙන්න හදනවා ..මොකද ඇතුළෙ පීඩනය වැඩියි ..ඔන්න ඕක තමයි මේ ලෙඩේ මුල ...දැන් මේ පීඩනය ..කාචයට ..ඉන් ඇතුළෙ තියෙන තරළයට ..ඔන්න ඔහොම ගිහින් අර මුලින් කි “තිරය retina “ ව තුවාල කරනවා ..තවත් පීඩනය Intra ocular pressure වැඩි වුනාම පෙනීම ගැන පනිවිඩේ මොළේට ගෙනියන දෘෂ්ඨී ස්නායුව Optic nerve එක  ටික ටික මරණව ...හරියට ඔය වැස්ස, හළඟ වැඩි දවසට ටෙලිෆෝන් වයර් කැඩෙනව වගේ (දැන් ඉතින් වයර් ටෙලිෆෝන් නැති තරම් නේ ) ..එතකොට මොකද වෙන්නේ “ටිකෙන් ටික පෙනීම නැතිව ගිහින් ස්නායුව අඩපණ වුනාම සම්පුර්ණයෙන්ම අන්ධ වෙනවා “ ....

ඔන්න පාඩම ඉවරයි ..මේ පුළුවන් තරම් කෙටියෙන් කිව්වේ ...(වැඩිදුර පාඩම් කරන්න කැමති අය “සොඳුරු සුව සිප්හලට“ යන්න ..හැබැයි තවම මුල හරියේ ඉන්නේ ..මේ වීඩියෝවත් වැදගත් වේවි.)


දැන් ඔබ මගේන අහවි ,“ ඕක ඔච්චර කළබල වෙන්න ඕන දෙයක්ද ...අපිට හොඳට ඇස් පේනවා“ කියල ..ඔව් මේක “කළබල වෙන්න“ ඕන දෙයක් නොවුනත් දැනුවත් වෙන්න සහ මුල් අවස්ථාවේම ප්‍රතිකාරයට යොමුවන්නට අවශ්‍ය අවස්ථාවක් ..නැත්නම් අනාගතයෙදි ඔබත් තවත් “අන්ධ පුරවැසියෙක්“ බවට පත් වීමේ අවදානමක් නැහැ කියල කියන්න බැහැ ..මොකද ..මේ රෝග තත්ත්වය එකපාරටම මතුවෙන අවස්ථා අඩුයි ..බොහොම අවස්ථාවල මේ පීඩනය වැඩි වීම , ස්නායුව මිය යාම , පෙනීම දුර්වල වීම ටිකෙන් ටික තමයි සිද්ධ වෙන්නේ ..එයට ප්‍රතිකාරයක් නෙලැබුණොත් තමයි “අන්ධභාවයට “ පත් වෙන්නේ ..

ඔබ දන්නවද මේ තත්ත්වය නොදැන , හැංගිලා අපි අතරේ තියෙන්න පුළුවන් ..සිය දෙනෙක්ගෙන් එක් අයෙක්ට මේ විදියට “අන්ධවීමේ අවස්ථාව“ ..ඒ අවස්ථාව වයසත් එක්ක ඉහළ යන්නත් පුළුවන් කියලයි දැන් කියන්නේ ..විශේෂයෙන්ම වයස අවුරුදු 40ට වැඩි (හැබැයි පුංචි දරුවන්ටත් මේ රෝගය ඇති වීමේ - උපතින්ම ඇතිවීමේ අවස්ථාවත් තිබෙන බව ඔබ දැන ගන්න එක වටිනවා) ආසියානු ...අපි වගේ අය වඩාත් අවදානම් තත්ත්වයකයි ඉන්නේ .අනෙක දියවැඩියාව තිබේ නම් අවදානම තවත් වැඩියි ..ඒ වගේම දැනටමත් පෙනීමේ ගැටළු ...ඇස් පෙනීම දුර්වල වීම ..ඇසට අනතුරු වීම වගේ තිබෙන අය මේ ගැන හුඟක් දැනුවත් වෙන්නම ඕන ..ඊට අමතරව Steroid කාණ්ඩයේ බෙහෙත් දිගු කාළිනව ගන්නවා නම් (ඔය හන්දි අමාරු , ඇදුම , වගේ තත්ත්ව වලට) ඒ අයත් ග්ලුකෝමා අනතුරේ ..

දැන් අපි කතා කරමු මේ රෝග තත්ත්වයේ ලක්ෂණ මොනවද කියල ..මොකද මේ ලක්ෂණ මුල් අවස්ථාවෙම හඳුනගත්තොත් වෙන්න තියෙන අනතුරෙන් ගැලවෙන්න පුළුවන් ..විශේෂයෙන්ම කියන්න ඕන ලෙඩේ උග්‍ර අතට පත්වෙලා ..optic nerve එක දුර්වල වුනාට පස්සේ ආයෙත් පෙනීම සාමාන්‍ය තත්ත්වයටම ගන්න ප්‍රතිකාර නැහැ ..ඒ අවස්ථාවේ කරන්න පුළුවන් එකම දේ තව දුරටත් පෙනීම අඩුවෙන එක වලක්වා ගන්න එක විතරයි ..


මෙන්න ලක්ෂණ ..මුල් අවස්ථාවේ කිසිම ලක්ෂණයක් නොපෙන්වන තරම් ..ඒ නිසාම තමයි මේ ලෙඩේටි කියන්නේ “ඔබේ පෙනීම සොරා ගන්නා - the sneak thief of sight කියලා ..කොහොම වුනත් අර මුලින් කීවිදියට ඇස ඇතුලේ පීඩනය වැඩි වුනාම ඔළුවේ කැක්කුමක් එන එක තමයි මුල්ම ලක්ෂණේ..මේක සාමාන්‍ය තත්ත්වයේ ඉඳළ ඉවසගන්න බැරි තරමේ තද ඔළුවෙ කැක්කුමක් දක්වා විහිද යන්න පුළුවන් මේ කැක්කුමේදි ඇස් එක්කම රිදෙන්න පටන් ගනිවි , සමහර විට මේ සමඟම වමනය යන්නත් ඉඩ තියෙනවා ..ටිකක් කල්පනාවෙන් ඉන්න මේ වෙලාවේ වමනය දාන්නෙත් ඈතල විදිනව වගේ Projectile vomiting(ඔය වෙලාවට මොන වමනේ බැලිල්ලක්ද නේද ....නෑ වමනේ දාල ඉවර වුනාට ප්සසේ ටිකක් බලන්නකෝ) ..ඒ එක්කම ඇස් ඉස්සරහ පාට පාට බෝල ..ඉරි කෑළි වගේ පාවෙනව පේන්නත් පුළුවන් ..තව ටික දවසක් යනකොට අපිට පේන දේවල් “බොඳ වෙන බවක් , අපහැදිළි ගතියක් “ ඇති වෙන්න පුළුවන් ..දැන් නම් ටිකක් නරක තත්ත්වෙට එන්නේ ..අපිට පේන හරියේ අසාමාන්‍ය කළුවර ගතියක් ..වැහුණු ගතියක් පේන්න පුළුවන් ..අනෙක වෙනද වගේ නෙවි පාරේ යන්නේ , පොත් පත් කියවන්නේ අමුතු විදියට ..බෙල්ල ටිකක් උස්සල , නැත්නම් පැත්තට හරවගෙන වගේ (මොකද එයාට පේන ප්‍රෙද්ශය visual field එක වෙනස් වෙන නිසා) ...






දැන් මේ පේන විදිය , පිංතූර කිහිපයකින් මෙන්න මෙහෙම විස්තර කරන්න පූළුවන් ..මුලින්ම මේ normal vision පිංතුරය බලන්න ..ඔන්න ඔය සිදුවීම ග්ලුකෝමා රෝගියක් දකින්නේ පහත තිබෙන mild to moderate loss හෝ severe visual loss ලෙසින් නම් කළ පිංතූර වල විදියට සමහර විට රෝගයේ උග්‍ර අවස්ථාවක.. ඊටත් දරුණූ අවස්ථාවකදි නම් පේන ප්‍රෙද්ශය තවත් කුඩා වෙන්න පුළුවන් හරියට බටයකින් බලනව වගේ (tunnel vision) ..


ඔබ මොකද දැන් කරන්නේ ..මේ ලක්ෂණ ..නැත්නම් මුල් අවස්ථාවන් ඔබට දැනෙනවානම් හොඳම දේ තමයි රජයේ රෝහලකට , නැත්නම් පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වන එක ..මෙතැනදි ඔබ රෝහලේ අක්ෂි සායනයට යොමු කරාවි ..එහිදි ඇහැට බෙහෙත් බිංදුවක් දෙකක් දාල තියල ඇහේ පීඩනනය මනීවි ..බය වෙන්න එපා වේදනාකාරී පරීක්ෂණයක් නෙවි ..හරිම සරළ පහසු පරීක්ෂණයක් , ඔබට කරන්න තියෙන්නේ වෛද්‍යවරයා කියන විදියට ඒ උපකරණයට හිස රදවගෙන ඉන්න එක විතරයි ..ඊට අමතරව visual field test වගේ පරික්ෂණත් කරාවි . ..ඒ පරික්ෂණ වලින් හඳුනා ගත්තොත් ඔබේ ඇස ඇතුල් පීඩනය ඉහළ ගිහින් කියල ..එම පීඩනය සාමාන්‍ය තත්ත්වයට ගන්නට අවශ්‍ය ඖෂධ , බොන බෙහෙත් සහ ඇසට දාන බිංදු වශයෙන් ලබා දේවි ..දවසක් දෙකක් බෙහෙත් ගන්නකොට වේදනාවන් අඩු වේවි ..දැන් හිතන්න එපා ඔක්කොම හරි ලෙඩේ හොඳයි කියල ..හොඳට මතක තියා ගන්න මේ ලෙඩේදිත් වෛද්‍ය උපදෙස් මත සායනයට යන්නට නිසි කාළ සීමාව දක්වාම ..සමහර විට තත්ත්වය ශල්‍යකර්මයකින් පාළනය කළ හැකි මට්ටමක නම් එයටත් දැන් අවස්තාව තියෙනව ..එහිදි ලේසර් කිරණ භාවිතයෙන් හරි ..සාමාන්‍ය ශල්‍යකර්මයක් විදියට හරි එය කරන්නට පුළුවන් ..ඒ ශල්‍යකර්මයක් කළොත් ඊට පස්සේ ඔබ වැඩකටයුතු කළ යුතු ආකාරය ගැන ඔබේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් හරියට අසා දැන ගන්න ..මොකද බර එසවීම , නෑම , පොඩි දරුවන් එක්ක කටයුතු කිරීම මේ දවස් වට හරිම උපදෙස් වලට අනුකූලව කරන්න ඕන ..මොකද නැවතත් ඇසට අනතුරක් වුනොත් ටිකක් කරදර වැඩිවේවි ..


මේ නිසා ඔබ අඩුම තරමේ වසර දෙකකට වතාවක්වත් ඔබේ ඇස් , සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙක් මඟින් පරික්ෂා කරවා ගැනීම හරිම වැදගත් ..අර මුලීන් කී අනතුරුදායක සාධක ඇත්නම් ඊට ඉස්සර වෙලා “ඇස් බලවගන්න“ ..නැත්නම් තව ටික කාළෙකිනන් ජීවිතේ අඳුරට ගෙනියන්න වේවි ..


මෙන්න ග්ලුකොමා ගැන වීඩියෝ කිහිපයක් , ඒවත් බලන්න මෙන්න මෙතැනින් ..

අර පෙනීම වෙනස් වන හැටි මෙතැනින් බලන්න පුළුවන්


දැන් ඉතින් අද වැඩට යන්න වෙලාව හරි ..මොකද අද ටිකක් වේලාසන යන්න වෙයි වගේ කාළගුණේ ඒතරම් හොඳ නැති නිසා ..එහෙම නම් “ඇස් දෙක වගේ .......ඇස් දෙක පරිස්සම් කරගන්න“ ...









11 comments:

  1. මම දවසට අඩුම ගානේ පැය 8ක් 10ක් පරිගණකයත් එක්ක වැඩ කරන් කෙනෙක්..මම ඇස් කණ්නාඩි පාවිච්චි කරන්නේ නෑ.

    දැනට මාස 6කට කලින් විතර ඉඳන් මගේ දකුණු ඇහේ යම් රිදීමක් තියෙනවා..

    මුලින්ම optician කෙනෙකුට පෙන්නුවාම කිව්වෙ ඇහේ නම් අවුලක් නෑ..පෙනීමෙ අවුලකුත් නෑ..සෙම් ගතියක් වෙන්න පුලුවන් උණුවතුරෙන් තවන්න කිව්වා..

    ටික කලකින් අඩු නොවුණු නිසා විශේඥ් වෛද්‍යවරුන් දෙදෙනෙකුටත් පෙන්නුවා ඔවුනුත් පරීක්ශා කර එතරම් ලෙඩක් ඇති බවක් කිව්වෙ නෑ..

    නියම කරේ "PRED FORTE" කියලා බෙහෙතක්.. යම් කාලයක් ගියත් තාමත් ඇහේ සුලු අපහසුතාවක් තියෙනවා..

    ස්තුතියි!

    ReplyDelete
  2. -king Ramsis.
    ස්තුතියි පැමිණීමට ,

    -හරී ,
    ස්තුතියි පැමිණිම සහ අදහස් දැක්වීම ගැන ..ඔබේ ගැටළුවේ හැටියට විය හැකි සාධක කිහිපයක් තිබෙනවා , ඔබ වැඩ කරන පරිසරය වායුසමනය කළ පරිසරයක් නම් , එම සීතල / වියළි තත්ත්වයට ඔබේ ඇඟ අසාත්මික වන්නට පුළුවන් , එහෙම වුනොත් හැමදාමත් සොටු බේරෙන ගතියක් , ඇතිවෙන්න පුළුවන් ..ඒ විදියට දිගින් දිගටම ඇතිවිමෙන් මතුවන sinusitis වැනි අවස්ථාවකත් මේ වගේ වෙන්න පුළුවන් . එයට නම් කී ප්‍රතිකාරය වගේම හුමාලය ආශ්වාස කිරීම - steam inhalation කරන එකත් හොඳ වේවි ...කොහොම වුනත් විශේෂඥ වෛද්‍යවරයා විසින් ලබා දී තිබෙන්නේ එක්තරා steroid වර්ගයක් , එය අසාත්මික තත්ත්වයකට වගේම ඇසේ යම් ප්‍රදාහයකටත් ප්‍රතිපලදායකයි ...ඒත් තවමත් ඇසේ අපහසුතාවක් පවතී නම් , ඒ වෛද්‍යවරයා වෙතම නැවත යොමු වීම වඩාත් සුදුසුයි ..මොකද ඇසේ ප්‍රශ්න කල් දදා ඉන්න එක අනතුරක් ...ස්තුතියි ඔබට

    ReplyDelete
  3. ලොකු ස්තුතියක් වෙනදා වගේම...ග්ලූකෝමා තත්වයට ජානමය බලපෑමක් තියනවද? ඒ කියන්නනෙ මව්පියන්ගෙන් එන්න පුළුවන් රෝගයක්ද?

    ප/ලි
    හැමදාම වගේ හිත ඇදගන්න මාතෘකාවක්..මම හැමදාම පෝස්ටුව කියවලා ඉවරවෙලා තමයි මාතෘකාව කියවන්නේ..මොකද මගේ ටියුබ් ලයිට් එක පත්තුවෙන්න වෙලා යන නිසා..හික්ස්..

    ReplyDelete
  4. මහත්මයා, මගේ වයස අවුරුදු 38.මීට මාස 3 ක පමණ සිට මගේ වම් ඇසේ පෙනීමේ ගැටලුවක් ඇති වුණා සරල රේඛාවක් වැනි දෙයක් දෙස බැලුවිට එහි යම් ඇදවීමක් නැතිනම් නැවී ඇති සේ පෙනෙන්නට වුණා.මා මහනුවර මහා රෝහලේ අක්ෂි සායනයට ගියා.පරීක්ෂණ කීපයක්ම කලා ඒ අතරේ o .c .t නම් එකකුත් කලා.මගේ ඇසට සිදුවී ඇති රෝගී තත්වය ගැන මට පැහැදිලි කිරීමක් සිදුකලේ නැහැ.හෙද නිලදාරිනියක් යන්තමින් පැහැදිලි කලේ ඇසේ දියර කාන්දුවක් වැන්නක් ඇති බවයි.මේසඳහා ඇසට යොදන බෙහෙතක් නිර්දේශ කලා එහි වෙළඳ නම nevanak ලෙසයි මට මතක.මෙම ප්‍රතිකාරය නිසා මගේ ඇසේ අසනීපය දැනට සුව වී තිබේ.මේ රෝගී තත්වය ගැන යම් පැහැදිලි කිරීමක් කල හැකිද?

    ReplyDelete
  5. පොන්ටියාJanuary 25, 2012 at 3:55 AM

    මේක පොඩි ළමයින්ටත් හැදෙනවද????
    අවුරුදු(වයස) පරතරය මොකක්ද???

    ReplyDelete
  6. -රූ....
    මෙහෙමයි , ස්ථීරවම ජානමය සම්බන්ධයක් ගැන පැහැදිලි කිරිමක් නැතත් , පවුලේ ඥාතියෙක්ම තත්ත්වය තිබුණා නම් අවදානම් සාධකයක් බවයි දැනට හඳුනාගෙන තිබෙන්නේ ..
    ස්තුතියි

    -Anonymous,
    මේ තත්ත්වයේදි වෙන්නට ඉඩ ඇත්තේ , ඇසේ පසු කුටීරයේ (posterior chamber එකේ) ඇති දියරය යම් හේතුවක් නිසා අඩුවීමක් , එවිට අපි කතා කළ retina හෙවත් ඇහැ ඇතුලේ තියෙන තිරය බුරුල් වෙනවා ..ඒ නිසයි ඔබට අර විදියට ඉර ඇදට පේනන ඇත්තේ ..ඔබ නම් කළ පරීක්ෂණයේදි කෙරෙන්නේ රෙටිනාව පිළිබඳ සොයා බැලීමක් .Optical Coherence Tomography ,
    මේ තත්ත්වය අපි කතා කරන ග්ලුකෝමාවට සෘජු බලපෑමක් නැතත් , දිගින් දිගටම මෙබදු ගැටළුවක් වේ නම් නිසි ප්‍රතිකාරයකට යොමු වන එකයි සුදුසුම ..
    ස්තුතියි ඔබට ..


    -පොන්ටියා,
    ඔව් මේ තත්ත්වය පොඩි දරුවන්ටත් හැදෙනවා , එය උපතේ සිට ඕනැම වයසක් දක්වා විහිය හැකි රෝගයක් , හැබැයි පොඩි දරුවන්ට නම් මේ සඳහා ශල්‍යකර්මයක් කිරීම පොදුවේ කෙරෙන්නක් ..ස්තුතියි ඔබටත්

    ReplyDelete
  7. හ්ම්ම් ගොඩාක් දේවල් දැනගත්තා

    ReplyDelete
  8. ග්ලූකෝමා ගැන කියවද්දි අයිය කියල තිබුන පේලි කීපයක් දකිද්දි ඇස් වගේම හිතත් නතරවුනා . . . .
    //සාමාන්‍ය තත්ත්වයේ ඉඳළ ඉවසගන්න බැරි තරමේ තද ඔළුවෙ කැක්කුමක් දක්වා විහිද යන්න පුළුවන් මේ කැක්කුමේදි ඇස් එක්කම රිදෙන්න පටන් ගනිවි , සමහර විට මේ සමඟම වමනය යන්නත් ඉඩ තියෙනවා ..//

    1998 ජූලි 15වෙනි බදාද මගෙ අම්මට එක පාරටම දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් ආව. ඔලුවෙ කැක්කුම ඉවසගන්න බැරිවෙච්චි අම්ම අන්තිමටම රෙදි පටියකින් පුලුවන් තරම් ඇදල තද කරල ඔලුව ගැටගහගත්ත. දොස්තර මහත්තය දුන්න බෙහෙත් වලින් කිසිම වැඩක් උනේ නෑ. 16 වෙනිද ආයිත් දොස්තර මහත්තය ලඟට යද්දි අම්මට නවත්තන්න බැරි තරමට වමනෙ යන්න පටන් ආගෙන තිබුනෙ . . . එදා දවල්ම අම්ම ඉස්පිරිතාලෙ නැවැත්තුව. 17වෙනි බ්‍රහස්පතින්ද උදේ වෙද්දි තමයි අම්මගෙ රෝගය හොයාගත්තෙ . . . . මෙනින්ජයිටිස් . . . . නමුත් ඒ වෙද්දි කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ කියල තමයි කීවෙ . . . අම්මව ඇඳට තියල ගැට ගහල හිටියෙ. බ්‍රහස්පතින්ද උදේ ඉවසගන්න බැරි වේදනාවෙන් ඇස් ලොකු කරගෙන කෑ ගහන්න පටන් ගත්ත මගෙ අම්ම ආයි ඇස් පියාගත්තෙ 18 වෙනිද පාන්දර1ට විතර . . . ඒ හැමදාටම . . . . .

    මේ කතාව අයියගෙ පෝස්ට් එකට අදාල නොවෙන්න පුලුවන් . . . ඒත් නොසලකා හැරපු "ඔලුවෙ කැක්කුමක්" නිසා මට මගෙ අම්මව නැති වෙන්න ගතවුනේ හරියටම දවස් 4යි . . . . .

    ප.ලි.
    සමාවෙන්න මම පෝස්ට් එකට අදාල නොවන විස්තරයක් දැම්මට . . . ඒත් ඔලුවෙ කැක්කුම කියන්නෙ අද දවසෙ පැරසිටමෝල් පෙත්තකින් ගොඩදාගන්න පුලුවන් දෙයක් විදියට අපි දකින්න පුරුදු වෙලා තියෙන්නෙ . . . මම ඒ නිසයි මේ විස්තරේ ලිවුවෙ . . .

    ReplyDelete
  9. -වර්ණා ,
    ස්තුතියි ..ඔබේ පැමිණිම සතුටක් ..

    -ඕනයා ,
    ඔව් මල්ලී , ඔබේ මේ තොරතුර අදල නොවන්නක් නොවෙයි , මොකද ඔළුවේ කැක්කුම සහ වමනය එක්ව එන එක සැළකිල්ලෙන් හොයල බලන්න ඕන දෙයක් , මොකද මොළයේ ඇතු‍ළෙ පීඩනය වැඩි වන අවස්ථාවක මේ විදියට ඔළුවෙ කැක්කුම සහ Projectile vomiting ඇතිවෙනවා , ඒ කිව්වේ ඔබේ මවට වගේ මොළය ඇතුලේ ආසාදනයක් , ලේ ගැලීමක් හෝ ගෙඩියක් වැනි පීඩනය වැඩි වන හේතු සාධකයක් ඇත්නම් මේ headache+projectile vomiting ඇති වෙනවා ..ස්තුතියි සරු කරුනක් එක් කළාට ..

    ReplyDelete
  10. මාත් පරිගණකය ඉස්සරහ දවසේ වැඩිහරියක් ඉන්න කෙනෙක්. මීට අවුරුදු දෙකකට පමණ පෙර මටත් තිබුනා ඇස් රෝගයක්. ඇස්වල වේදනාව්ත් සමග
    ආලෝකය බලන්න අපහසු වීම. සුමානයක් විතර කාමරේමයි හිටියේ.
    ප්‍රථිකාර සඳහා යොමු උනාට පසු දැන්නම් සුවයි.

    හොඳ ලිපියක්. ස්තූතියි

    ඕනයාගේ මව ගැන කනගා‍ටු වෙනවා. ඇයට නිවන් සුව පතනවා!

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)