2012/05/11

99) ටෝර්ච් ගහන පූසා ...ඇන්ටි බොඩිය පෑවා ..

පන්දම අල්ලන 
 “ලොකූ ..........කෝ කොහෙද ටෝර්ච් එක....ඔයා නේද ඊයේ ගේ අස් කළේ ...“ අම්මගෙන් ලොකු සද්දයක් ...

“ඔය ඇඳ ගාව ඇත්තේ... “ ලොකු මොකක්දෝ ලිය ලියා උන්නු නිසා ඒ දිහා බලාගෙනම උත්තර බැන්දේ ..“ඒකතමයි අහන්නේ , ඒ තියෙන්න ඕන තැන ඒක නැහැ ...මෙහෙ එන්න ...“ මගේ දිහාත් බලපු ලොකූ පරිස්සමට අඩි තිය තිය ගියා කාමරේට ....

“කෝ ...තියෙන්න ඕන තැන තියෙනවද ?...

“ඉතින් මං මෙතනනේ තිව්වේ ..“

දැන් දෙන්න එක්ක කමරේ පුරා අවුස්සන හඬ මට ඇහුනත් , කරගෙන ගිය වැඩේ ඉවර කරන්න ඕන නිසා ..අනෙක ඉතින් තුන් දෙනක් ඕනයැ ඕක හොයන්න ...මං මගේ පාඩුවේ මගේ වැඩේ කරගෙන ගියා ...


“මේ........තාත්තී....“ 

පොඩ්ඩී ෂේප් එකේ මගේ අස්සට ආවා ..
පොඩ්ඩිගේ වැඩ තමයි 

““මොකද ?....ලෙඩක් දාගත්තද ?....නැත්නං...............“

“නැහැ ..අද මගේ දවසනේ , මං ඉතින් ටෝර්ච් එක වෙන තැනක තිබ්බා ..අම්මට කියමුද ?...“ 

“කොහෙද තිබ්බේ ....ඉතින් ගිහින් පෙන්නන්න ...ඉවරයිනේ ...“ 

“බෑ ..ඒක අම්මට ගන්න බැහැ ..මං අල්මරියේ උඩනේ තිබ්බේ ...අම්මගේ බංඩියේ තුවාල වලට රිදේවි ඒක ගන්න ගියොත් ..“ ...

“හ්ම් යං ....“ 

“මේ තියෙන්නේ ...ෂා ....අළුත් එකක් වගේ දිලිසි දිලිසි .,කොහොමද පොඩ්ඩි මේක clean කළේ....“ 

මං ඇඳට නැගල විදුලි පන්දම අරන් දුන්න ..ඒක අළුත් එකක් වගේ  , මට තේරුනා  , මගේ පරිගණක තිරය පිරිසිදු කරගන්නට ගෙනාපු ස්ක්‍රීන් ක්ලීන්ර්ස් ටික ඉවර වෙනකොට ...

“හරි මෙතන පරිස්සං කියමුකෝ ..හැබැයි හදිස්සියක් උනාම ගන්න පුළුවන් තැනක්ද ? ...අපිට ටෝර්ච් එක ඕන වෙන්නේ රෑට හදිසියට ..ඉතින් ඒක ගන්න ලෙසි තැනක තියන්න ඕන චූටි ..තේරුණාද ? “ ....වෙනද වගේ නෙවි අද ලොකු අක්ක , පොඩ්ඩිට බොහොම ආදරෙන් උපදෙස් දෙනවා ..පොඩිඩිත් බලුපැටිය වගේ අහගෙන ඉන්නවා ..අපි දෙන්නට හිනා හිනා .....

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා ..පොඩ්ඩක් වෙන්න හිනා ...කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා ....මතකද ජිප්සීස් ගායක කණ්ඩායමේ ගීතය ...අද ලෙඩ ගැන කතා කරන්න ඉස්සර වෙලා ඔන්න ඕකත් ටිකක් අහල හිටියනං ......

මේ අපි හැදී වැඩුනු බෝ මළුවේ සිසිලස 
සභාවෙන් අවසරයි ..අද මගේ කතාව හිනා ගැන නම් නොවෙයි ........ (මේ ටික ලියත්දි මගේ මතකයට එන්නේ මේ වචන ටික කියාගෙන මුලින්ම පිරිසක් ඉස්සරහට ගිය , 1980 වසර ...ඒ අහංගම ශ්‍රී මහින්ද දහම් පාසල ...එදා දෙකේ පන්තියේ කොළු ගැටයෙක් විදියට , එදා හැටියට ලොකු පිරිසක් ඉස්සරහ , ලොකු කතාවක් කරල “ලොකු කමක් කරන්න ගිය මුල්ම දවස ...මොකද හැමෝම එදා කට පාඩමෙන් “සභාවෙන් අවසරයි මෙතැනට පැමිණියේ ...“ ...කියල කියත්දි , මම එදත් පටන් ගත්තේ , සභාවෙන් අවසරයි , අද මගේ කතාව .....“ ...කියලමයි , මේක අහගෙන හිටි අපේ ලොකු හාමුදුරුවෝ ..ගරු පූජ්‍ය රැකව අස්සජි කියන පින්වන්ත හාමුදුරුවෝ , මාව ළඟට අරගෙන කී වදන් තාම මතකේ තියෙනවා “හරිම ලස්සනයි මහේෂ් ..ඊළඟ දවසෙත් තව කතාවක් කියන්න ,“ , ඒ දිරි ගැන්වීමත් එක්ක ඇරඹුණු කතාව තාමත් කරනවාද මන්ද ..........අතීතයට ගියා .............සුන්දර අතීතයක් ...බොහොම සුන්දර සිදුවීම් ගොන්නක් ...මේ සියල්ල මතක් කරන්නට තවත් හේතුවක් වුනේ “මගේ ඥාති දියණියක “ විසින් එවන ලද ඡායාරූප ටිකක් ...
මේ අපේ පින්වන්ත ලොකු හාමුදුරුවෝ 

මේ පින්තූර ටික බ්ලොග් එකට අනවසරයෙන් දැම්මට ‘නිලූ දුව“ මාත් එක්ක අමනාප නොවෙන වග මම හොඳටම දන්නවා ..

කතාව අතීතයටම ගියා ...කමක් නැහැ ආයෙත් එමුකෝ පාරට ....කාටත පුළුවන් හිතන්න අද මාතෘකාව මොකක් වේද කියලා ...........හිනාව ................ආගම .............වියපත්වීම .....................

නෑ ....අද මාතෘකාව ටොර්ච් එක ! .....ඔව් ....ටොර්ච් තමයි ...... හැබැයි ඔය අල්ලන පන්දම නෙවි , පරිස්සමට තියෙන පන්දමක් ගැන තමයි අද කතාව ....ඕන එහෙනං හරි බරි ගැහිලා වාඩි ගත්තනං ...අදත් ලෙඩ කතා පොඩ්ඩක් දාන්න ....

ඔව් ...අද අපි කතා කරන්නේ ලෙඩක් ගැන නම් නෙවි ..හැබැයි ලෙඩ ගණනාවක් ගැන දැනගන්න , එයින් අනාගත පරම්පරාව රැක ගන්න ඕන කරන TORCH එක ගැන ...

මොකක්ද මේ TORCH ටෙස්ට් එක ...කෙටියෙන් මෙහෙම කිව්වම මේක දිග ඇරියම නම් කියන්න වෙන්නෙ මෙන්න මෙහෙම ...T-Toxoplasmosis , O-Others (Hepatitis B, Syphilis, Varicella-Zoster Virus, HIV, Parvovirus B19) , R-Rubella , C-Cytomegalovirus , H-Herpes simplex virus ......කියන රෝග කාරක ගණනාවක් ගැන සොයා බලන...එහෙම නැත්නම් මේ රෝග කාරකයන්ගේ විෂබීජ දේහ ගත වෙලාද කියල හොයා බලන පරික්ෂණයක්.....(සමහර අවස්ථාවල ඔය O-other වර්ගයට දාපු ටික වෙන වෙනම කරන්නත් පුළුවන්) ..දැන් ඉතින් කාටද අප්පච්චියේ මෙච්චරක් ලෙඩ ..............කියලා ... මේ කිව්ව රෝග කාරකයන්ගෙන් අපි ඕනම කෙනෙක් ආසාදනය වන්නට පුළුවන් ...

පූස කරපු දේ 
අපි උදාහරණයක් විදියට මුල්ම කෙනා Toxoplasmosis කියන තත්ත්වය ඇති කරන ඇති කරන Toxoplasmossis gondi කියන රෝග කාරක පුංචි පණුවා සතුන්ගේ කුරුල්ලන්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා , එයිනුත් හොඳම කෙනා ඔය ගෙදර ඉන්න , පූස් පැංච ..එයාගේ ඇඟ ඇතුලේ ඉන්න මේ රෝග කාරක පණු පැටවුන් , සතාගේ මළපහත් එක්ක එළියට එනවා , ඇවිත් අපේ ඇඟට ඇතුළු වුනොත් මොකද වෙන්නේ ..මද උණකින් පටන් අරගෙන , බෙල්ලෙ කුද්දැටි ඉදිමිලා , ඇඟ පත වේදනාවක් ඇවිත් නවතින්නත් පුළුවන් මේ විදියට සැරින් සැරේ ඇවිත් යන්න පුළුවන් , ඒ එක්කම මේ පණුවා ඔබේ මොළය අක්මාව පෙනහළු ...වගේ වැදගත් ඉන්ද්‍රියන් වලට ගිහින් ඒවා දුර්වල කරලා .......අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරන්නටත් පුළුවන් .ඔබේ ප්‍රතිශක්තිය දුර්වල නම් තත්ත්වේ තවත් භයානකයි , .................ඕන්න දැන් ආදර පුසට වෛර කරන්න පටන් ගන්න එපා ...මොකද බොහෝ වෙලාවට මුල් අවස්ථාවෙම මේ තත්ත්වය හඳුනගත්තම සුව කර ගන්නට පුළුවන් ලොකු කරදරයක් නැතිව .....................ඒත් මේකේ නරකම දේ , මේ ආසාදනයට ලක්වුනේ ගර්භණී මවක නම් ....මොකද වෙන්නේ ....අම්මට විතරක් නෙවි ..මේ පණු පැටියගේ පහරකෑමට ලක් වෙන ලැබෙන්න ඉන්න පුංචි පැටියත් , ලොකු අනතුරකට පත්වෙන එක. සමහර විට ඒ පැටියගේ මුළු ජීවිතේම අවාසනාවන්ත තත්ත්වයට පත් කරන්නට මේ පුංචි පණු පැටියට පුළුවන් ඒ congenital toxoplasmosis  කියන තත්ත්වයත් එක්ක  ...පේනවනේ අපි මේ එක අකුරක් ගැන විතරයි කතා කළේ ....

අම්මගේයි මල්ලි බබාගෙයි පරිස්සමට
ඔන්න ඔය අවසාන කතාව තමයි අපිට වැදගත් , මේ පරික්ෂණයේදි ප්‍රධාන වශයෙන් ටොක්සොප්ලාස්මොසිස් ගැන හොයල බලන්නේ මේ අපේ දරු පැටවු ගැන හිතල ...ඒ කියන්නේ මේ TORCH පරික්ෂණය මූලිකව කෙරෙන්නේ ගර්භණී කාන්තාවන්ට (වඩාත් සුදුසු ගර්භණීත්වයට සූදානම් වන කාන්තාවන්ට) , එහෙම නැත්නම් අළුත උපන් දරුවන්ගේ. 

මූලිකවම පුර්ව ගර්භණී සායන වල , (Antenatal clinic ) මේ පරික්ෂණය සඳහා සාම්පල ලබා ගන්නවා. මොකද මේ වගේ දරුණූ රෝග කාරක මවගේ ඇඟ ඇතුලේ තිබුණොත් ලැබෙන්න ඉන්න දරුවටත් මේ රෝග තත්ත්ව ඇති වෙන්නත් පුළුවන් ,ඊටත් වඩා ලැබෙන දරුවා කායිකව වගේම මානසිකවත් සාමාන්‍ය නොවූ දරුවෙක් වෙන්නත් පුළුවන් , සමහර විට දරුවෙකු නොලැබෙන්නට හේතු වෙන්නත් පුළුවන් ...ඒ නිසා තමයි මේ පරික්ෂණය ගැන මේ තරම් වැදගත් විදියට සොයා බලන්නේ..

දරුව බිහිවුනාට පස්සේ , ඒදරුව තුල කන් ඇසීම අඩුවීම , ඇසේ සුද වගේ මතුව තිබීම , හෘදයේ යම් ආබාධ තත්ත්ව තිබේයැයි හදුනා ගැනීම වගේ අවස්ථා වලදි දරුවගෙත් මේ පරික්ෂණය කෙරෙනවා .(ඒ තව දුරටත් විය හැකි ආපදාවන් වලක්වා ගන්නට විතරයි , මොකද සමහර විට මේ වෙනකොටත් අනතුර වෙලා අවසන් ) ඒ එක්කම දිගින් දිගටම ගබ්සාවීම් (ගබ්සා කර ගැනීම් නෙවි) , සිදුවූ අවස්ථා වලදිත් මේ TORCH එක බලා ගන්නට වේවි...

මේ පරික්ෂණයට රෝගියාගෙන් විශේෂ සූදානම් වීම් ඕන නැහැ , සාමාන්‍ය පරික්ෂණයකට වගේම , අතේ ශිරා වකින්  ,පැටියගේ නම් කකුලේ පතුලෙන් ලේ ටිකක් ගනීවි , වැඩිහිටියෙක්ගෙන් නම් ලේ මිලි ලීටර් 3-7ක් අතර වගේ ගන්න ඉඩ තියෙනවා , මොකද සමහර අවස්ථා වල මේ පරික්ෂණ කිහිපයක් වෙන වෙනමත් කරන්න වෙන නිසා .

දැන් පරියේෂණාගාරයෙදි මේ ලේ වල , තිබෙන ඉහත කී රෝග කාරකයන්ට අදාල ප්‍රතිදේහ වර්ග ගැන සොයල බලාවි , සමහර විට පරික්ෂණයට සති කිහිපයක් යන්නත් පුළුවන් , මොකද මේ රෝග කාරක වල antibodies  සියල්ල වෙන් වෙන්ව සංසන්දනය කිරීමක් කරන්නට වෙනවා , ඒ සඳහා භාවිත කරන රසායනික යන්හි මිල අධික විමත් එක්ක , මේ පරික්ෂණය සඳහා යන පිරිවැයත් පෞද්ගලික අංශයේදි නම් ටිකක් ඉහළ අගයක් ගන්න පුළුවන්  , 

මේ පරික්ෂණේ ප්‍රතිපල එන්නේත් ඔව් , නෑ කියන විදියට නෙවි , යම් පරාසයක් දක්වමින් , ඉතින් ඒ දක්වන සීමාවන් වයස , ගර්භණී තත්ත්වය වගේ සාධක එක්ක ගැලපුවම ඔබේ වෛද්‍යවරයාට පුළුවන්  , “මේ රිපෝර්ට් එක හොඳ ද , නැත්ද “ කියල කියන්න ...හැබැයි හොද නැහැ කියල කිව්වොත් ඔබට තවත් යම් ප්‍රතිකාර කිහිපයකට , ඒ වගේම පරික්ෂණ කිහිපයකට යන්නත් වේවි , විශේෂයෙන්ම ඔබේ ලැබෙන්න ඉන්න දරුව රැක ගන්න ඕන නිසාම ..මොකද මේ ලෝකේ සුන්දරම , ආදරණීමය වස්තුව මේ දරු පැටවුන් වන නිසා ..

අද නම් ඉර එළිය තියෙන වෙලාවක පෝස්ට් එක දාන්න පුළුවන් වේවි වගේ , මොකද හැමදාමත් පෝස්ට් එකක් ලියන්නනේ රැ මැදියමේ , අද නම් ඉස්කෝලෙ නිවාඩු වුනාට පොඩ්ඩො දෙන්නම යාළුවො කට්ටියත් එක්ක සෙල්ලම, මොකද හොඳට ඉර එළිය වැටිලා , ගස් වල මල් පිරිලා , ඔක්කොටම වඩා ඉතින් අද හැම ඉස්කෝලයක්ම වගේ නිවාඩුනේ , ......හැමෝම පැටවු ගෙවල් වලින් එළියට පැනල “යුද්දේ“ ....අපි නම් සාමදානේන මේ වැඩේ ඉවර කළා එහෙනම් ...


9 comments:

  1. වෙනදා වගේම වැදගත් ලිපියක් මහේෂ්..
    අනිත් රෝග ගැනත් පොඩි විස්තරයක් ලියනවද?

    ReplyDelete
  2. කොහොමත් බල්ලො පූසො වගෙ සත්තුනම් මට පේන්න බෑ

    ReplyDelete
  3. -රූ.... ,
    ස්තුතියි රූ.... ,
    අපි ඒ ගැනත් ඉදිරියෙදි කතා කරමු.

    -Loku John,
    ඔව් Loku John ,පරිස්සම් වෙන එක හොඳයිනේ ..ස්තුතියි

    ReplyDelete
  4. ඇත්තටම අදත් වැදගත් ලිපියක්.අපි සමාජයේ හිතන්නේ නැති ලෙඩ රෝග ගැන ඔබ දැනුවත් කරනවා.ඒ ගැන නම් කොච්චර ස්තුති වන්ත වුනත් මදි.

    ReplyDelete
  5. ඔබේ 100 වෙනි පෝස්ටුවටත් මගෙන් උණුසුම් සුබ පැතුම් මහත්මයා.

    ReplyDelete
  6. mahesh write about std you can aware of ur young friends who know half way.
    good post.
    great work.

    ReplyDelete
  7. ඇහැත් උලුක් වුනා මේ පොස්ට් එකේ තියෙන සමහර වචන වලට. {:-))

    ඩොක්ටර් කමලානි ???????

    ReplyDelete
  8. -මඩිස්සලේ නිශාන්,
    ඔබ වැනි සරු මිනිසුන් හිතවන්ත කම් නොවන්නට සොඳුරු සුව අසපුව වල් වදින්නට ඉඩ තිබුණා ..ඒ නිසා මේ තුලින් යමක් සිදුවේ නම් එහි ගෞරවය ඔබටමයි ....ඒ සතුටේ මුල්ම හිමි කරුනම් මම මයි ..
    ස්තුතියි

    -dr kamalani ,
    Thank you dr kamalani , I've already wrote some STD related posts , but I agree with you , So , I will write STD related few posts in future ..Thank you very much for your valuable comment and suggestion.

    ReplyDelete
  9. -Observer,
    කොච්චර පරිස්සමෙන් ලිව්වත් මේ සමහර උලුක්වෙන ඒවට හොඳ සිංහල වචන හොයන්න ගිහින් මාත් උළුක්කු වුනා , අනේ ඒ නිසා ඔන්න ඔහේ දන්න සිංගිරිසියෙන්ම දැම්මා ...බොහොම ස්තුතියි ඔබතුමාට , මේ පැත්තේ ඇවිත් හිත සතුට යමක් කියල යනවට ...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)