2013/07/07

136) හීන විලේ පීන පීන නාන මෙයාලා

හැමදාමත් වගේ “දවස පටන් ගන්නේ අන්තර්ජාල පත්තර ටික කියවලා“ , එහෙම නැතිව අර “මෝල්ට් එක බීලා‘‘ නොවෙයි . අදත් පටන් ගත්තා , මුලින්ම සිංහල පත්තර ටික , ඊළඟට සිංහල ගොසිප් පත්තර ටික , ඊළඟට දේශපාලනේ ඔස්සේම යමින් මඩ ගහ ගන්නා පත්තර ටික . මේ හැමදේකින්ම යමක් දැන ගන්න පුළුවන් නිසා අදත් වෙනසක් නැතිවම එකින් එක කියවන ගමන් . 

 අපේ ක්‍රීඩකයෙක් ගුවන්යානයක් තුලදී කළා යැයි කියන කළබලකාර හැසිරීමක් ගැන කියන ලිපි හැම පත්තරේකම . ටිකක් කියවාගෙන යත්දි තමා තේරුනේ මේ කතාවට යම් ඇමතිවරයෙක්ගේ නමකුත් ගෑවිලා තිබෙන බව . තව දුරටත් කියවගෙන යත්දි අද ලංකාවේ දේශපාලන බලපෑම් වලදි මතුවෙන “මම මටම ගහගත්තා “ වගේ මේ ලෝකේ කිසිකෙනේ පිළිනොගන්නා “හුරතල්“ කතාවකුත් කියල තිබුණා . මේ “හුරතල්“ කතාව ඔස්සේ මට වැදගත් යමක් ලබා ගන්නට පුළුවන් කියල හිතුන නිසා අද “සොඳුරු සුව අසපුවට“ , ඒ තමයි “නින්දෙන් ඇවිදීම“ කියන අවස්ථාව ගැන . 


මේ කතාව ගැන කියවන්නට ඉස්සර වෙලා , මෙන්න මේ ලිංක් එක පැත්තෙ ගිහින් නින්ද ගැන ටිකක් කියවල ආවොත් ඉදිරියෙදි කියවෙන සමහර වචන , කාරණා තේරුම් ගන්න පහසුවේවි .

මෙන්න ලිංක් එක  http://www.nursinglk.com/2011/06/24th-discussion-importance-of-sleep.html නැත්නම් මෙතැන ක්ලික් කලත් යන්න පුළුවන් 

හරි , මම හිතනවා මේ වෙනකොට නින්ද ගැන , ජෛව විද්‍යාත්මක තත්ත්වය ගැන අපට යම් අවබෝධයක් තිබෙනව බව. එහෙම නම් දැන් කතා කරන්න හදන්නේ මේ “නින්දෙන් ඇවිදීම“ ගැන . 

නින්දෙදි අපි නොදැන කරන වැඩ ගොඩාක් තිබෙනවා , සමහර නින්දෙන් කතා කරනවා , සමහර නින්දෙන් ඇඳට බිත්තියට ගහනවා http://www.nursinglk.com/2012/05/103.html) , ඔය අතරේ සමහර ඇවිදිනවා , දත්මිටි කනවා , නින්දෙන් බය වෙලා කෑමොර දෙනවා ( මේ ගැන ලිපියට යන්න  http://www.nursinglk.com/2011/09/54.html

මේ විතරක් නොවෙයි සමහර ගණිතඥයන් , විද්‍යාඥයන් නින්දෙන් ගණන් හදපු , ඒ වගේම අළුත් විද්‍යාත්මක ගැටළු විසඳපු අවස්ථාත් තිබුණා. මේ නින්ද තුලදි සිදුවන මේ සියළු තත්ත්වයන් වෛද්‍ය විද්‍යාවෙදි “පැරසොම්නියා“ කියන කාණ්ඩයකට වර්ග කරලා තිබෙන්නේ . 

මේ පැරසොම්නියාව තුල මේ කියපු විදියේ අනතුරක් නැති තත්ත්ව වගේම , මිනී මැරුම් ,සියදිවි නසා ගැනීම් , ස්ත්‍රී දුෂණයන් කිරීම් වැනි හානිකර අවස්ථාවන් දක්වාම පැතිර යන්න පුළුවන් ලොකු කාණ්ඩයක් . (දැන් සමහර විට , ස්ත්‍රි දුෂණ කරල නීතියට අහුවුනු අයත් කියාවිද දන්නේ නැහැ , අනේ මේ නින්දෙන් මේක වුනේ කියල :)  , දැන් ඉතින් අහන්න ලැබෙන්නේ මේ වගේ “හුරතල් කතා“ නිසා මේකත් නොවේවි කියන්න බැහැ )

මේ පැරසොම්නියා තත්ත්වයේ එක් මට්ටමක් තමයි Sleepwalking හෙවත් Somnambulism (සොම්නම්බුලිසම්) . ඇත්තටම මොකක්ද මෙතැනදි වෙන්නේ ? ...මේ අවස්ථාවට පත්වෙන පුද්ගලයා ඇවිදිනවා , දොරගුළු බුරුල් කරනවා , සමහර විට ගේ ඇතුලේ කාමර වලට යනවා ඒත් ජෛව විද්‍යාත්මකව ඔහු ඉන්නේ නින්දේ ,තවත් විස්තර කළොත් NREM stage 3-4 අතර නින්දක ( මේ මොකක්ද කීවේ කියල බලන්න නම් ඉස්සර වෙලා කියපු පරණ ලිපි වලට යන්නම වේවි ) , 

මේ ඇවිදිල්ල  වුනේ නිදාගෙන පැය කිහිපයකින් නම් , නැත්නම් රැ මැද්දෑවෙ  නම් හුඟක් දුරට NREM තුල සිදුවුවක් එය . නමුත් මේ ඇවිදිල්ල වුනේ එළිවෙන යාමෙට නම් (REM stage) නම් මේ නින්දෙන් ඇවිදිල්ල තවත් ටිකක් සංකීර්ණ ගැටළු වැලක එකක් වෙන්න පුළුවන් . ඒ කීවේ එය REM behavior disorder කියන අසාමාන්‍යතාවයේ එක් අවස්ථාවක්. 

ටිකක් සංකීර්ණ වුනාද මන්දා සටහන , ඒත් හැමදාම වගේ සොදුරු සුව අසපුවේ සටහන තුල ජීවි විද්‍යාත්මක කාරණා ටිකකුත් එකතු වෙනවම නේ , කොහොම වුනත් මේ ‘‘නින්දෙන් ඇවිදීම“ තත්ත්වය වැඩි වශයෙන් තිබෙන්නට පුළුවන් ප්‍රාථමික පාසල් වයසේ දරුවන් අතරේ . ඒ කීවේ වයස අවුරුදු පහේ ඉඳළා අවුරුදු දොළහක් විතර වන සීමාව දක්වා Sleeping walk ඇතිවෙන්නට පුළුවන් , ඒ වගේම පවුලේ තවත් කෙනෙකුට තිබෙනවා නම් අනෙක් සහෝදරයට , සහෝදරියට මේ ගැටළුව ඇතිවෙන්නට ලොකු ඉඩක් තිබෙනවා. ( බය වෙන්න එපා , දැන් අපි මේ කතා කරන්නේ “ඇවිදගෙන ගිහින් ලොකු අනතුරු “ කරන තත්ත්වය ගැන විතරක් නොවෙයි , බහුලව සිදුවන නින්ද අතරේ ඇඳන් නැගිටල ඇවිදින , නැත්නම් ඇවිදින්න උත්සාහ කරන තත්තවය ගැන) .  

පොඩි අය  අතරේ බහුල වුනාට වැඩිහිටියන් අතරේත් නින්දෙන් ඇවිදීම සහ ඊට සම්බන්ධ ගැටළු තිබෙන්න පුළුවන් . විශේෂයෙන්ම වැඩිහිටි අය අතරේ Somnambulism තත්ත්වයට මොළය හා සම්බන්ධ තවත් රෝග තත්ත්ව හේතු වෙන්න පුළුවන් බව පර්යේෂකයන්ගේ මතය . . කොහෙම වුනත් ලොක ජනගහනයෙන් 10-15% විතර පෙළෙන මේ තත්ත්වයට මූලිකව හේතුව මේකමයි කියල නොකීවත් නින්ද ප්‍රමාණවත්ව නොලැබීම , භාවිත කරන සමහර ඖෂධවල බලපෑම් විශේෂයෙන්ම නින්ද ඇති කරවන ඖෂධ , වගේම ආරයෙන් එන බලපෑමත් , මානසික ආතතිය වගේම අධික උණ  තත්ත්වයනුත් බලපාන්නට පුළුවන් . වැඩිහිටියන්ට නම් මත්පැන් භාවිතය නිසාත් Sleep walking තත්ත්වය ඇති වෙන්නට පුළුවන් . ඒ වගේම මේක සෘජුවම මානසික රෝගයක් නොවුනත් , පවතින වෙනත් මානසික රෝගයක හෝ ඊට ලබා දෙන ඖෂධයක බලපෑම වගේම , අපස්මාරය වැනි තත්ත්වයක අතුරු පලයක් විදියටත් සිදුවෙන්නට පුළුවන් අසාමාන්‍යතාවයක් .


මේ තත්ත්වයේ ලක්ෂණ ගැන කියත්දි , අපි පොදුවේ හිතන ඇවිදිම විතරක්ම නොවෙයි ඒ , පුළුවන් නම් සොදුරු සුව අසපුවේ ලියැවුනු ‘‘Night terror“ ලිපියේ  (http://www.nursinglk.com/2011/09/54.html) තිබෙන වීඩියෝව බැලුවොත් තවත් මීට අදාල ලක්ෂණ ගණනාවක් හඳුනගන්න පුළුවන් .  ඒ ලක්ෂණ අතරේ නින්දෙන්ම ඇඳේ මුත්‍රා පිටවීම , නින්දෙන් කතා කිරීම , නින්ද අතර මැද අවදි වෙලා කල්පනාවක් නැතිව වගේ දැනෙන එක , එහෙම නැත්නම් නින්දෙන් නැගිටවන්නට උත්සාහ කිරීමෙදි පහර දීම (කල්පනාවක්නැතිව )  වගේ තවත් මීට අනුබද්ධ ලක්ෂණ ගනනාවක් තිබෙනවා.

දැන් මේ ලිස්ට් එක කියවගෙන ගිය ඔබට හරි ඔබේ පවුලේ කෙනෙක්ට හරි මේ කියන ලක්ෂණ තිබුණොත් ඊළඟ ප්‍රශ්නේ , කොහොමද මේ ගැටළුවට ප්‍රතිකාර කරන්නේ කියන එක .  ප්‍රතිකාර කරන්නට තීරණයට පෙර වෛද්‍යවරයාට වැදගත් දෙයක් තිබෙනවා , ඒ තමයි මේ තත්ත්වයට පත්වු පුද්ගලයා පිළිබඳව පවුලේ අය , ලබා දෙන තොරතුරු , ගැටළුව ඇතිවුනු කාළ සීමාව , ස්වභාවය , ඒ අවස්ථාවේ හැසිරුණු ආකාරය වගේම තත්ත්වයෙන් මිදුනු පසු අදාල පුද්ගලයාගේ වෙනස්වීම ගැනත් වෛද්‍යවරයාට දැන ගන්නට ඕන වේවි , ඒ සියල්ලෙන් පසුව , අවශ්‍ය නම් තවත් පරික්ෂාවන් කිහිපයක් කරාවි , අපස්මාර තත්ත්වයක් වගේ කියල සැකනම් E.E.G. වගේ විශේෂ පරික්ෂණත් , සාමාන්‍ය දේහ පරික්ෂාවක් සමහර විට රැධීර පරික්ෂාවන් කිහිපයකුත් කරන්නට ඉඩ තිබෙනවා , එහෙම කරන්නට හේතුව Sleep walkning තත්ත්වයට බලපෑ හැකි ස්ථිර සාධකයක් නැති නිසා විය හැකි සාධක සියල්ල තහවුරු කරගත්යුතු වෙනවා , හැබැයි මේ තරම් දුරට යන්නේ අදාල තත්ත්වය හුඟක් නරක මට්ටමට ආවොත් තමයි , නැත්නම් ගැටළුවට පත්වූ කෙනා එක්ක කතා කරමින් උපදෙස් දෙමින්  , ඔහුගේ චර්යාමය රටාවේ හදුනාගත් තත්ත්වයන් වෙනස් කිරීමෙන්ම මේ ගැටළුව මඟ හරවා ගන්නට පුළුවන් . ඉතාමත් කළාතුරකින් ඖෂධ ප්‍රතිකාර වලට යා යුතු වුවත් වැඩි අවස්ථාවකම ඖෂධ ප්‍රතිකාර නොමැතිව මෙය මඟ හරවා ගන්නට පුළුවන් .

අනතුරෙන් ගලවා ගන්නට
කෙසේ වෙතත් , මේ තත්ත්වයෙන් පෙළෙන අයෙක්ගේ වටපිටාව ආරක්ෂාකාරී කිරීම හරිම වැදගත් , හැමෝම දන්න විදියට ඇඳ පාමුලට වතුර පොඟවපු ඇතිරිලලක් දාල එකේ ඉඳළා , දොර අඟුළු වලට විශේෂ උපක්‍රම යෙදීම , විදුලි කේබල් , උපකරණ වලට ළඟා වීම පාලනය කළ හැකි උපක්‍රම යෙදීම , අනතුරු විය හැකි ආයුධ , උපකරණ වලට ළඟා වීම වැලැක්වෙන උපක්‍රම යෙදීම වගේ දේ අත්‍යවශ්‍යම කරුණක්.
දන්නවද ? සමහර නින්දෙන් ඇවිදින්නන් , නින්දෙන්ම වාහන පදවාගෙන යන බව ......

ඔබට නින්දෙන් ඇවිදිම තත්ත්වයක් පවතින බවට සැකයක් ඇතිනම් , ඒ පිළීබඳ ඔබේ පවුලේ අය , හිතවතුන් පවසනවා නම් , හොඳම දේ මේ තත්ත්වයට පත්විමට අදාල , නින්ද සාමාන්‍ය ප්‍රමාණයට නොලැබීම , මානසික ආතතිය , අධීක වෙහෙස වගේ සාධක පාලනය කරගන්නට බලන්න , ළඟට වැදගත්ම දේ මත්පැන් , හෝ මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් එය නවත්වන්නට , පාලනය කරන්නට කටයුතු කරන්න , ඒ වගෙම වරින් වර මේ තත්ත්වය එනවා නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙලා නිසි උපදෙසක් ගන්න , එහෙම නැතිව මේක මහා ලොකු ලෙඩක් , මානසික රෝගයක් ලෙස සිතමින් ජීවිතේ විඳවන්නට එපා , සතුටින් ජීවිතය විඳින්න ...

එහෙම නම් අදත් මේ ලිපියේ අවසානය , තවත් දවසක නැවත හමුවනතුරු ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !

ලස්සන වැඩේ කියන්නේ Sleep walking පිංතූර ටිකක් ගන්න Google image ගියාම අපේ ලංකාවේ ප්‍රසිද්ධ ඇමතිතුමෙක්ගේ පිංතූරකුත් තියෙනවානේ  ...අනේ මන්දා එතුමන්ලත් “හීනෙන්ම ඇවිදිනවද“ කියල මේ කාළේ .. :)



යන්න ඉස්සර වෙලා Bryan Adams Clementeගේ මේ වීඩියෝව බලන්න .


මේ තවත් කතාවක්