ආදරය සුන්දර වරදක් ද ? |
මේ අනුව යමින් උපත්පාලන පෙති පාසල් යන වයසේ දැරිවියන්ට ලබා නොදිය යුතුය, ඒ දරුවන් වැරදි කරුවන්ය වගේ නානාවිධ මතවාද පළවුනා සමහර පුවත්පතක , ස්ත්‍රී දුෂණයන් කළ දේශපාලකයන් “මහත්වරුන්“ ලෙස තබා ගනිමින් මේ දරුවන් “මිනීමරුවන් වැනි වැරදිකරුවන් සේ හඟවමින්“ සමහර මාධ්‍යයන් ලිපි පලකර තිබුණා , ඒ වගේම තවමත් පළවෙමින් පවතිනබව මේ කියවන ඔබ , මට වඩා දනී යැයි සිතමි . මේ ඔස්සේ යමින් අද මගේ ලිපිය යොමු කරන්නට උත්සාහ කරන්නේ මේ “ පාසල් යන වයසේ දරුවන් උපත්පාලන පෙති භාවිත කිරීම“ , වරදක්ද ? , අපරාධයක්ද , ඔවුන් අපරාධකරුවන්ද කියන කාරණේ වගේම ඊට හේතු සාධක වුනු කරුණූ ගැනත් ටිකක් කතා කරන්න.
අත ගන්නට පෙර ... |
මේ සියල්ල ගැන මීට පෙර ලියා තිබෙන නිසා ආයෙත් එකම දේ ලියන්න යන්නේ නැහැ , නමුත් ඔබට අවශ්‍ය නම් ඒ ලිපි වෙත යන්නට මේ ලිංක් ඒ සඳහා යොදාගන්නට පුළුවන් .
116) සොඳුරු හමුව බිඳ දමනා හොඳම ක්‍රමේ (උපත් පාලන ක්‍රම ගැන)
දැන් ප්‍රශ්නේ මේ පෙති ගැනීම “සමාජ විරෝධි“ තත්ත්වයක්ද කියන එක....මුලින්ම හිතන්න ඕන කාරනේ මේ O.C.P. හරි E.C.P. හරි ගන්න මේ දරුවන් පෙළඹෙන්නට හේතුව කුමක්ද කියන එක . මේ සිදුවීම් වලින් 95%කට වඩා හේතුව අනාරක්ෂිත ලිංගික එක්වීම් වෙන්නට ඉඩ වැඩියි . ( දැන් එතකොට ඉතිරි 5% ? ..ඔව් සාමාන්‍ය උපත්පාලන පෙති තවත් තත්ත්ව වලට දෙනවා , විශේෂයෙන්ම ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය , ඩිම්බකෝෂ ආශ්‍රිත ගැටළු වලදි ඇයගේ ආර්ථව චක්‍රයේ සිදුවන අක්‍රමවත් තත්ත්වයන් සහ අපහසුතාවයන් පාලනයෙදි මාසික උපත්පාලන පෙති (E.C.P. නොවෙයි) වෛද්‍යවරයා විසින් ලබා දෙනවා. එය වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ඖෂධයක් ලෙසටයි එවිට පත්වන්නේ. ඒ නිසා ෆාමසියකින් O.C.P. පැකට්ටුවක් ගත් පමණින් , එය අනාරක්ෂිත ලිංගික එක්වීමක පෙර නිමිත්තක්මැයි කියන්නට බැහැ .
එහෙම නම් දැන් අපි කතා කරන්නට හදන්නේ , මේ කියන විදියට පාසල් වයසේ දරුවන් අනාරක්ෂීත ලිංගික එක්වීම් වලට යොමු වීමේ ප්‍රවණතාවය ගැන. මොකද මේ “අළුත් සොයා ගැනීම්“ වල ඇතුළු පැත්ත තමයි එය. ඇත්තෙන්ම අද පාසල් යන වයසේ තරුණ දරුවන් , දැරිවියන් ලිංගික එක්වීම් වලට යොමුවීමේ ප්‍රවණතාවය , පෙළඹවීඹ වෙනදාට වඩා වැඩි බව නම් හොඳටම දැනෙන තත්ත්වයක් . සංඛ්‍යා ලේඛනමය වශයෙන් කෙසේ වෙතත් , ප්‍රායෝගිකව ලද අත්දැකීම් අනුව එය සත්‍යයක් , මක් නිසාද , මා වසර ගණනාවක් පුරා (1992-2011 දක්වා) , තරුණ දරුවන් විශාල පිරිසක් සමඟ ඉතා ළඟින් ඇසුරු අයෙක් ලෙස පසුගිය දශකයටත් අඩු කාළ සීමාවක් තුල මෙම තත්ත්වයේ දැනෙන වර්ධනයක් වූ බවට හොඳින් දැනේ .විශේෂයෙන්ම මේ තත්ත්වයට පත්වන වයස් සීමාව පවා ක්‍රමයෙන් පහත වැටෙන බව හඳුනාගත හැකියි . නමුත් එම තත්ත්වයට මේ දරුවන් පමණක් වරදකරුවන් නොවෙයි , ඔවුන් ඒ තත්ත්වයට පෙළඹවුයේ කවුරුන්දැයි අපම ටිකක් හිතන්න ඕන. දැන් කළ යුත්තේ ඒ සොයා බැලීම බවය මගේ අදහස , එසේ නොකොට උපත්පාලන පෙති ගන්න එපා , හෝ කාමර වලට යන්න එපා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පමණින්ම මේ “වසංගතය“ නිමා කළ හැකි යැයි මම නොසිතමි .
දැන් අපි තරමක් දුරට සොයා බලමු , මෙසේ මෙම දරුවන් පාසල් යන වයසේදිම හෝ “නුසුදුසු“ වයසකදී ලිංගික එක්වීම් වලට හේතුවන සාධක මොනවාදැයි . මේ කරුණූ දැක්වීමේදී ඉහත දැක්වූ කාළ සීමාව තුල මා දුටු , මා හට එම දරුවන් විසින්ම ප්‍රකාශ කළ අදහස් මූලික කර ගැනීමට අදහස් කරන්නේ මෙය සංකීර්ණ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් ලෙස තොරතුරු ලබා දීමට තරම් මා දැනුවත් නොමැති බැවිනි .
“අනේ සර් , මං ඇත්තම කියන්නම් , මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමයි “ ටික කළක් තිස්සේ අධ්‍යාපන කටයුතු වලින් ඈත්වී යන බවක් පෙන්නුම් කළ එක්තරා දියණියක් සමඟ සිදුවෙමින් යන වෙනසට හේතුව සොයාගන්නට , පුද්ගලිකව කතා බහක් ඇරඹූ අවස්ථාවේ කාටවත් නොකී ලොකු කතාවකට මුල පිරුවේ එලෙසින් ..
“සර් , මට හැම සති අන්තෙම එයා එක්ක හොටෙල් එකේ ඉන්න වෙනව , කොච්චර කීවත් වැඩක් නැහැ සර්, එහෙම නැතොත් එයා මං ගැන ගමේ කතාවක් පතුරවනල මාව දාල යනව කියන නිසා මට බයයි ,ඒ නිසා හැම සෙනසුරාදාම එයා මට කරදර කරනව සර්.........“
මේ කතාව තවත් ඉදිරියට මෙහි සටහන් කරන්නට මම කැමති නැත්තේ එහෙම වුනොත් ‘‘සොඳුරු සුව අසපුවත්“ කුණු රසය වගුරවන තැනක් බවට පත්වෙන නිසා . ඒත් මේ කරුණ හඳුනගන්නට මේ දෙබසම ප්‍රමාණවත් , ඒ තමයි මේ අනාරක්ෂිත ලිංගික එක්වීම් වලට ප්‍රධාන හේතු සාධකයක් “ බලපෑම“ .
මේ බලපෑම් වලට අමතරව තවත් සාධක ගණනාවක් අද මාතෘකාවන කරුණට හේතු සාධක වුනත් ඉන් කිහිපයක් කෙටියෙන් විමසන්නට උත්සාහ කරමි.
දැන් අපි ටිකක් කතා කරමු “මේ ලිහිල් කිරීම“ කළේ කවුරුන්දැයි , මීට දශක තුනකට පෙර පවුලක පැවති බැඳියාව , සහ අද තත්ත්වය සංසන්දනය කිරීමට ඔබට හැකිනම් වරද කාගෙදැයි තරමක් දැනේවි . එදා දරුවන් වෙත තිබූ දෙමාපිය රැකවරණය සහ ආදරය අද දරුවන්ට ලැබේදැයි අවිශ්වාසය , පවතින ආර්ථික තරඟය නිසා දෙමාපියන් සහ දරුවන් අතර දුරස්ථ බවක් ඇති වෙමින් යන බව ඔබේ වට පිටාවේ සිදුවන දෑ නිරික්ෂණය කළ හොත් ඔබටම වැටහේවි . මේ මව් දරු සබඳතා දුර්වල වීම , සමාජ විරෝධී හැසීරීම් ගණනාවකට හේතුවන අතර , අද මේ කියන පාසල්වයසේ දරුවන් අනාරක්ෂීත ලිංගික එක්වීම් වැනි දේටම එය හේතුවන බව වැටහීයන කරුණකි . ජීවිතයක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන “ආදරය“ ගෙදරින් නොලැබෙන කළ , පාසල් වයසේ මේ දරුවා ඒ “ආදරය“ වෙනකෙකු වෙතින් පැතීම අසාධාරණ දැයි සිතන්නට කාළයයි . දම් වැලක පුරුක් ලෙස මේ “ආදරය පැතීම“ , ලිංගික එක්වීමක් ලෙස ක්‍රියාත්මක වන්නට නොදැනුවත් කම , මෙන්ම මේ කියන පෙළඹවීම්ද හේතුව බව ඔබට වැටහේවි.
දැන් වැඩිහිටියන් හුඟ දෙනෙක් කියන දෙයක් , “අපේ කාළෙ ඔහොම නැහැ , දැන් තමයි මේ ඔක්කොම “ ....ඔය කතාවේ ඇත්තකුත් , නැත්තකුත් දෙකම තිබෙන බවයි මගේ හැඟීම. මොකද ඒ කාළෙත් තරුණ වයසේ හිටි අය අතරේ විවාහයෙන් තොර , ලිංගික ඒකවීම් වෙලා ඇති , අද තරම්ම නැති වුනත් , එදත් මේ ලිංගිකව එක්වීමේ සිදුවීම් තිබුණා. ඒ රහසේ , ඒත් අද , සියළු පහසුකම් සපයා ඇති නිසා , එදාට වඩා බැඳීම් ලිහිල්ව ගොස් ඇති නිසා මේ දේවල් වලට ඉඩ කඩ බොහෝමයි
“ලිහිල් කිරීමේ “අනෙක් සාධකය ලෙස අද නගරය පුරා පැතිර ඇති “කාමර ජාලය“ හඳුනාගත යුතුව ඇත. ගාල්ල , මාතර , තංගල්ල ,කතරගම පමණක් නොව බදුල්ල නුවර එළිය වැනි නගර වලදී මා දුටු සත්‍ය නම් සතියේ දින වල කෙසේ වෙතත් , ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් යන පාසල් වයසේ දරුවන් බසයෙන් බැස , ඊළඟට නැග ගන්නා ත්‍රීවීලරය බොහෝ විට නවතින්නේ “කාමර පහසුකම්“ බෝර්ඩ් එක සහිත ලොකු ගේට්ටු ඇති හෝටල් යැයි කියා ගන්නා ගුබ්බෑයම් තුලටයි . දිනකට අය කිරීමක සිට පැය කිහිපයක් දක්වා පමණක් කෙරෙන සුළු අයකිරීමක් සහිතවද (Short time service) “පහසුකම් සපයන මේ කාමර “ අද නගරයේ පමණක් නොව ගම්මාන තුලද බිහිවෙමින් යන බව , 2011 දී ලංකාවේ පිටවන්නට පෙරම දැනුනු තත්ත්වයකි . විශේෂයෙන්ම රජයේ නිවාඩු දින වලදී මේ කාමර පමණක් නොව පිළිගත් හෝටල් වෙතද කඩිමුඩියේ රිංගන පාසල් වයසේ දැරිවියන් ඔබද දැක ඇතැයි සිතමි. මේ සඳහාම සේවය කරන්නට කැපවුනු හෝටල් කාමර ජාලයක් මෙන්ම , ඔවුන්ගෙන් සන්තෝසම් ලබන ත්‍රි රෝද රථ ජාලයකුත් පවතින් බව නගරයේ සෝදිසියෙන් සිටින ඔබට වටහා ගන්නට පුළුවන් වේවි . මම මේ කියන තත්ත්වය ඉහත කී ප්‍රෙද්ශ තුල මගේ විමසුමට හසුවී ඇතත් අනෙක් පෙදෙස් වල එසේ නොවේ යැයි සිතන්නට නොහැකි තරම්ය.
මේ ප්‍රවණතාවන්ට තවත් හේතු සාධකයක් ලෙස “සාරධර්ම නැති සමහර මාධ්‍ය ආයතන“ හඳුනාගත හැක . අද පුවත් පතක මුල් පිටු කිහිපය කියවන ඔබ මේ පිළිබඳව යම් අදහසක් ගත හැකියේ යැයි මම විශ්වාස කරමි . තවත් ලෙසකින් අදාල මාධ්‍ය විකුණවා ගැනීමට ස්ත්‍රි දුෂණය , ලිංගික ප්‍රශ්න වැනි දේ භාවිත කරන අවසථා වැඩි වෙමින් පවතින බව දැනේ . විද්‍යුත් මාධ්‍ය තුල පෙන්වන , සමහර ටෙලි නාටක දරුවාගේ මනස තුලට රිංගවන්නේ “ඒ විදියට මාත් ඉන්න ඕන , ඒක තමයි අද හැමෝම පිළිගන්නේ“ වැනි අදහසක් . මේ රිංගවීමට ලොකු පිටුවහලක් ටෙලි නාටකයට ඇබ්බැහි වී සිටින මව , පියා සහ පවුලේ අය විසින්ම ඇයට දෙන බව තේරුම් ගත යුතු තත්ත්වයක් . මේ මාධ්‍යයන්ට අමතරව ජංගම දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේද මේ දැරිවියන් “ඇය නොදන්නා අනතුරකට“ යොමු කරවමින් තිබෙනවා. විශේෂයෙන්ම එදා හොර රහසේ කොළු පැටවුන් පමණක් නැරඹූ අසභ්‍ය විඩියෝවන් අද ජංගම දුරකථන ඔස්සේ පාසල් දැරිවියන් වැඩි වශයෙන් නරඹන බව කවුරුත් වැඩිය කතා නොකරන සත්‍යයක් , මේ වෙනුවෙන්ම සමහර කාන්තා පාසල් තුල “Video share club“ තිබෙන බව ඔබ දනීදැයි මම නොදනිමි. මේ දර්ශන තුල පෙන්වා දෙන “අසාමාන්‍ය“ තත්ත්වයන් පිළිබඳ හැඟීම , ඒ වයසේ කුතුහලය සහ පෙර කතා කළ “ලිහිල් කිරීම්“ හමුවේ අනතුරකට මඟ පාදන බව තේරුම් ගත හැකි සත්‍යයක්.
නීතියම ප්‍රමාණවත්ද ? |
උපත් පාලන පෙති ඔවුන්ට මිලදි ගැනීමට ඇති හැකියාව වැලැක්වූ පමණින් මේ සියල්ල උඩුගං බලා පීනාවි යැයි සිතීම උගහටය . එසේ වුව හොත් තත්ත්වය තවත් නරක අතට පත්වෙමින් , මීටත් වඩා අනාරක්ෂිත තත්ත්වයන් ඇති වීම විණා යහපතක් වීමට ඇති ඉඩ අඩුය. කළ යුතුව ඇත්තේ සමාජයෙන් , ආගමික පරිසරයෙන් , පවුල් පරිසරයෙන් ඒ දැරිවියට සිදුවූ අඩුපාඩු හඳුනාගනිමින් , ඒ හැකි තරම් වලක්වා ගනිමින් , නිසි ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම යැයි මම සිතමි . පාසල පමණක් නොව යෞවන සමාජ, සමිති , මෙන්ම මාධ්‍යයද නිසි නිවැරදි ප්‍රජනක දැනුමින් මේ දරුවන් පෝෂීත කිරීම අද දවසේ කාර්යය වනු ඇත, එසේ නොකොට මේ දැරිවියන් , දරුවන් සමාජ විරෝධීන් ලෙස පෙන්වා දීමෙන් , පෙති ගැනීම තහනම් කිරීමෙන් හෝ ආදර සහ රාගය අතර වෙනස විස්තර කර දීමෙන්ම පමණක් පවතින තත්ත්වයට ස්ථිර විසඳුමක් ලබා ගැනීම අපහසුවේ යනු මගේ අදහසයි .
මේ ලිපිය තුල මා කතා කළ කරුණූ පිළිබඳ ඔබේ අදහස් මෙන්ම , මේ තත්ත්වය පිළිබඳ ඔබේ විවෘත අදහස් දැන ගැනීමට මා කැමැත්තෙන් සිටින්නේ , ඒ සියලු දේ එක්වු කළ සුළු පිරිසක් හෝ මේ පිළිබඳව කතා කිරීමට පෙළඹවීමක වන හෙයිනි. එම යහපත් පෙළඹවීම් එක්වූ විටෙක “යහපත් ප්‍රතිපලයක්“ ලැබේ යනු මගේ විශ්වාසයි.
එසේනම අදට සමුගනිමි , නැවත හමුවෙමු සතුටු සිතකින් !
ඔබ ප්‍රශ්ණය පිලිබදව ඉතා විවිධ කෝණ වලින් බලා එය දෙස ඉතා ඉහල ගණයේ විචාරාත්මකව විග්‍රහයක් කර තිබෙනවා...මා එය තුලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
ReplyDeleteකෙසේ නමුත් ලිංගිකත්වය වඩ වඩා යට කර තබන්නට එය වතුරේ සැඟවු රබර් බෝලයක් මෙන් නැවත උඩට ඒමේ හැකියාව ඉතා ඉහලයි. මීට වඩා ලිංගික නිදහසක් අචුරුදු 18 වඩා වැඩි තරුණ තරුණියන් සදහා ලැබිය යුතුයි කියන තැන මා සිටිනවා. කෙසේ නමුත් ඉහල ලිංගික නිදහසත් සමග පැනනගින සමාජ හා සංස්කෘතික ගැටලු සංකීර්නයි..මේ සදහා ලිංගික අධ්‍යාපනය මෙන්ම ආරක්ශිතව ( ජීව විද්‍යානූකූලව මෙන්ම් බ්ලැක් මේල් කිරීම වැනි අනෙකුත් කරුනුද) එහි යෙදිය ආකාරයද මීට වාඩා නව යොවුන් වියේ දුවා දරුවන්ට විධිමත්ව ලබා දිය යුතු බව මගේ අදහසයි...
ස්තුතියි මිතුර ! , මම ඔබේ ප්‍රකාශයට ඉහළින්ම එකඟයි , අද ලෝකය ගමන් කරන රටාව තුල ලිංගිකත්ව යනු “අසාමන්‍ය මැජික්“ එකක් බවට පත් කර තැබීම කළ නොහැක්කක් , ඒ නිසා නිසි දැනුවත් කිරීමත් , සාරධර්ම , නීතී රිති තුල මීට වඩා යම් ලිහිල් ආකල්පමය වෙනසකුත් ( විශේෂයෙන්ම වැඩිහිටි සමාජය මේ ගැටළුව දෙස බලන ආකාරයේ පවා ) ඇති විය යුතුයි යන්න මගේත් අදහසයි .
Deleteනැවතත් , මේ කතා බහට එක්වූ ඔබට ස්තුතියි
මොන දේ වුනත් ගැබ් ගැනීම් නිසා ජීවිතය විනාශ කරගන්නවාට වඩා උපත් පාලන පෙති ගන්න තරම් තරුණ පරම්පරාව දැනුවත් වෙලා තිබීම ගැන සතුටුයි.
ReplyDeleteඔබේ විචාරයේ කියන්න ඕනි දේවල් ඔක්කොම කියවිලා තියෙන නිසා අමුතුවෙන් අදහස් දක්වන්න ඕනි නෑ :) :)
ඔබ හරි ප්‍රමුදි , අදාල පුවත්පත් සටහන කියවත්දි මට ආවෙත් ඔය අදහස , ගබ්සාව ඔස්සේ ජීවිත විනාශ කරගන්න යනවාට වඩා ආරක්ෂීතව පවත්නා තත්ත්වය දරා ගන්නට මේ දරුවන් දැනුවත් වීමම සතුටක් , කළයුත්තේ මේ දැනුවත් බව වැඩි කරනවා විනා , මොට කිරීම නොවෙයි .
Deleteස්තුතියි ඔබට .
නිසි ලිංගික අධ්‍යාපනයක් නැති කම ප්‍රධාන හේතුව .ලමා පරපුරට විතරක් නෙමේ වැඩියිටියන්ටත් මේ ගැන අවබොධය අඩුයි කියල මටනම් හිතෙන්නේ .
ReplyDelete…
…
…
ඔව් මෙතැනන නිසි අධ්‍යාපනයක් නැති කම දරුවන්ට වගේම , මේ දිහා බලාන ඉන්න වැඩිහිටියන් සම්බන්ධවත් පොදු සාධකයක් බවට පත්වෙමින් පවතිනවා වගේ . මෙ නිසාමයි මෙම තත්ත්වය අවුල් ජාලයක් කරගන්නා තැනට පත්වෙමින් තිබෙන්නේ.
Deleteස්තුතිය ගිම්හානි
ඉතාමත් අගනා සමාජ විවරණයක් කළ ලිපියක්. කෙටි කාලින උපත් පාලන පෙති( E.C.P) නිරන්තර භාවිතය ට ගැනීම වද භාවයට හේතුවක් යැයි තියන මතය ගැන ඔබේ අදහස කිම.
ReplyDeleteස්තුතියි මිතුර ! E.C.P සංයුතිය සකසා තිබෙන්නේ නිරන්තර භාවිතයට නොවන අතර එය හදිසි අවස්ථාවක් සඳහා පමණක් වන බව මුලින්ම අපේ තරුණ පරපුර දැනුවත් කළ යුතුමයි , එහි අන්තර්තය සාමාන්‍ය උපත්පාලන පෙත්තකට වඩා තීව්‍ර නිසා එයින් ලැබෙන අහිතකර බලපෑම් සාමන්‍ය උපත්පාලන පෙත්තකට වඩා වැඩි වෙන්න පුළුවන් . වමනය , උදරයේ වරිනවර කිහිප වරක් ක්ෂණිකව ඇති විය හැක වේදනාව හැරැණු කොට වෙනත් ක්ෂණික ආපදාවක් නැතැ , හේතුව මේ තුල ඇති රසායනිකයන් දින කිහිපයක් තුලදි ශරීරයෙන් බැහැර වන නිසා , නමුත් හැම ඖෂධවක් වගේම මෙහිත් අහිතරකර ප්‍රතිපල කිබෙනවා , අපි ඒ ගැන පෙර ලිපියක කතා කළා , කෙසේවෙතත් E.C.P. නිරන්තර භාවිතය සුදුසු නොවන අතර දිගු කාළීන භාවිතය සඳහා සුදුසු සාමාන්‍ය O.C.P. හෝ අනෙක් “බාධක ක්‍රම“ පමණයි . කෙසේ වෙතත් E.C.P දිගු කාළීන භාවිතය මඟින් වඳභාවය ඇතිවනවා යැයි පිළිගන්නා ක්‍රමවේදයන් අනුව පර්යේෂණාතමකව ඔප්පු කොට නැහැ , ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදිම ඒ කතාව ජනමාධ්‍ය මඟින් පතුරුවා හැරි “ඔපාදූපයක්“ පමණයි , කෙසේ වෙතත් මෙයින් මා කිය්නනේ නැහැ හදිසි උපත්පාලන පෙති දිනපතා ගත හැකි තත්ත්වයක් ඇතැයි , එය හදිසි අවස්ථාවන්ට පමණත් යොදා ගන්නේ නම් විය හැකි ආපදා අවමයි .
Deleteස්තුතියි ඔබෙ මේ පැනයට , මක් නිසාද මේ ගැටළුව අද තරුණ පරපුර තුල මහත් කුකුසක් ඇතිකර ඇති බව මට එවා ඇති ඊ පණිවිඩ තුලින්ම දැනෙනවා .
nහොඳ විග්‍රහයක්.සමාජ කතිකාවක් ඇති වෙන්න ඔන කලීන මාතෘකාවක්.
ReplyDeleteපොඩි ගැටළුවක් මට ඇති වුනේ අර එදා රහසේ වෙච්ච දේවල් අඩුවෙන් වුනේ අද එළිපිට වැඩිපුර වෙන්න ඉඩ තියනවා කියන තැන. එදා පඳුරකට මුවා වුන එකෙයි අද කාමර වලට යන එකෙයි ප්‍රමානේ වෙනසක් නම් තියෙන්න විදිහක් නැහැ.(වයස වැරැද්දට එදා අද කියලා වෙනසක් නැහැ .)
හැබැයි ගිහින් කරන කියන දේවල් වලනම් වෙනසක් තියෙන්න පුළුවන් වාගේම ඒ වෙනසට මාධය කරන බලපෑමත් වැඩියි .
හැබැයි ගැටළුව අපි මාධයෙන් බලාපොරොත්තු වෙන වගකීම මොකක්ද කියන එක? මාධ්ය කාර්යය විය යුත්තේ අනාරක්ෂිත ලිංගික එක්වීම් ආරක්ෂිතව සිදුකරගන්නා ආකාරය පිලිබඬ දැනුවත් කිරීමද? නැත්නම් එවැනි එක්වීම් සඳහා තිබෙන ඉඩ( හැගීම් අවුස්සන වැඩසටහන්, තැන නොතැන(?) නැතිව ඉදිවෙන කාමර පහසුකම් වයාපාර අඩපණ කිරීමට කතිකාවක් ගොඩ නැගීම වාගේ දේවල්) නැති කරන එකද?
දෙමාපිය ආදරය අඩු වුනා
නිස ඒ ආදරය වෙන කෙනෙක්ගෙන් හොයන්න යන කතාව නම් වැඩේ ගැස්සුනාම කියන කතාවකට
වැඩි දෙයක් නෙමෙයි නෙද? ඔය වයසට හොයන්නේ දෙමාපිය ආදරේ නෙමෙයිනේ...
ඇත්තෙන්ම මේ පිළිබඳව හරවත් සමාජ කතිකාවතක් විය යුතු බවයි මගේ හැඟීම , මක් නිසාද අද සිදුවන්නේ මේ මාතෘකාව “රසවත්“ මාතෘකාවක් බවට පත්වෙමින් පැවතීමක්.
Deleteඔබ කියන කාරනේ යම් සත්‍යතාවයක් නැතිව නොවේ , ඒත් සංඛ්‍යාත්මකව බලන විට ඒදාට වඩා අද පුර්ව ව්‍යෛවාහක ලිංගික එක්වීම වැඩි බව විද්වත් මතය. යුනිසෙෆ් සංවිධානය වෙත , ඉදිරිපත් කර ඇති අපේ රටේ පර්යේෂකයන් සිදු කළ මේ වාර්තාව ඊට සංඛ්‍යාත්මක උදාහරණ සපයනවා . (http://www.unicef.org/srilanka/Full_Report.pdf) . ඇත්ත ඔබ කියන දේ අද සිදුවන දේ වගේම මාධ්‍ය මඟින් ලබා දෙන ප්‍රචාරය සෑහෙන බලපෑමක් කෙරන බව මගෙත් මතය .
ඇත්තෙන්ම මාධ්‍ය මඟින් අද බලාපොරොත්තු විය යුත්තේ , කුණූ වුනු මළ සිරුරු භෝජනය කරන වැනි හිරිකිත සංදර්ශනයක් නොවේ , විය යුත්තේ මේ මරණය වීම වලක්වා ගත හැකිව තිබුණේ කෙසේද යන්න , ඒ වෙනුවෙන් සමාජය කටයුතු කළ යුතු ආකාරය පිළීබඳව දැනුවත් කිරීම .
ආදරය වෙන කෙනෙක්ගෙන් සොයන්න යාම ප්‍රායෝගිකව බලත්දී ඔබ කියන ආකාරයේ වුවත් , එහි මනෝ විද්‍යාත්මක පදනම එයයි , මස්ලෝ න්‍යායටම අනුව “ආදරය“ , ජීවිතයට අත්‍යව්‍යම දෙයක් , කුසට ආහාර , පිපාසයට දිය වගේම මනසට “ආදරය“රැකවරණය අවශ්‍යයි, අද බොහෝ විට දෙමාපියන්ගේ කළබලකාරී ජීවන රටාවත් එක්ක “දෙමාපිය ආදරය“ වීදුරු කබඩ් එකේ දමා පරිස්සම් කරන පිරිසිදු බෝතල් කළ වතුර වගේ , ඇත්තටම ආදරය තිබෙනවා , ඒත් එය දරුවාට දැනෙන විදියේ අඩුවක් , දරුවාට ලැබෙන විදියේ අඩුවක් පවතිනවා , ප්‍රතිපලය දරුවා පිපාසයට පත්වෙන එක , එහි ප්‍රතිපලය කොහෙන් හෝ ජලය අපේකෂා කිරීම , අවාසනාව වන්නෙ මෙතැනදි පිපාසය සංසිඳවා ලීමට ඇයට ලැබෙන්නේ මඩ වතුරක් නම් “බඩේ අමාරුව“ හැදුනාම වරද දෙමාපියන්ටම පමණක් පැවරිය යුතුද කියන එක පැනයක් .මක්නිසාද ඇත්තටම ඔය වයසට හොයන දේත් ආදරය සහ රැකවරණයේ තවත් එක් ආකාරයක් විතරයි. (https://en.wikipedia.org/wiki/Maslow's_hierarchy_of_needs)
කෙසේ වෙතත් මේ සටහනට පන දෙන්නට එක්වූ ඔබට ස්තුතිය මිතුර
වැඩිහිටියන්ට අවබොධය නැති කම නෙමේ අද ආර්ථිකයක් එක්ක දෙමව්පියන්ට තම කුසින් වැදු දරුවන් අමතකවෙලා ගිහින්. දෙමව්පියන් දරුවන් ගැන වඩාත් සැළකිල්ලෙන් පසුවෙනවනම් තමන්ගෙ දරුවන් මීට වඩා හොද සමාජ පුරවැසියන් බවට පත් කරන්නට හැකිවේවි. අන්තිමේට දෙමව්පියන්ට දරුවන් පවා අහිමිවෙන තත්වයක් උද්ගත වෙනවා.
ReplyDelete“ අද ආර්ථිකයක් එක්ක දෙමව්පියන්ට තම කුසින් වැදු දරුවන් අමතකවෙලා ගිහින්“ ,
Deleteඅද බොහෝ විට දෙමාපියන්ගේ කළබලකාරී ජීවන රටාවත් එක්ක “දෙමාපිය ආදරය“ වීදුරු කබඩ් එකේ දමා පරිස්සම් කරන පිරිසිදු බෝතල් කළ වතුර වගේ , ඇත්තටම ආදරය තිබෙනවා , ඒත් එය දරුවාට දැනෙන විදියේ අඩුවක් , දරුවාට ලැබෙන විදියේ අඩුවක් පවතිනවා , ප්‍රතිපලය දරුවා පිපාසයට පත්වෙන එක , එහි ප්‍රතිපලය කොහෙන් හෝ ජලය අපේකෂා කිරීම , අවාසනාව වන්නෙ මෙතැනදි පිපාසය සංසිඳවා ලීමට ඇයට ලැබෙන්නේ මඩ වතුරක් නම් හැදෙන්නේ “බඩේ අමාරුව“ නොවැ .
අද වෙමින් යන්නේ මේ තත්ත්වය නොවේදැයි මට හිතෙනවා .
ස්තුතියි මිතුර ! තවෙකක් , ඔබේ බ්ලොග් සටහන අනර්ගයි , විශේෂයෙන්ම සිංහල බ්ලොග් පරිශ්‍රය තුල විශේෂ සළකුණක් ලබන බව ස්ථිරයි , ඒ වෙනුවෙන් සුබ පැතුම්!
උපත් පාලන පෙති ගැනීම අපරාධයක් විදියට දකින දෙමවුපියෝ දෙන්නෙක්ගේ දරුවෙක්ට ඔසප් අපහසුතා වලක්වන්න ඒ පෙති නියම කරපු වෙලාවක වෙච්ච සිද්ධියක් මට මතක් උනේ.. හඩා වැටි වැටි ඇවිල්ලා අපේ අම්මට කියද්දි අම්මා පැහැදිලි කරලා දීලා, ආයිමත් ඩොක්ට ගාවට ඇරලා තවත් පැහැදිලි කරලා දුන්නා... මේකෙන් ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ කියලා...
ReplyDeleteඇත්ත.. මට නම් ගොඩක් දුරට පේන්න තියෙන්නෙ පවුලෙන් දරුවන් ඈත් වීම මේ තත්ව වලට බලපානවා කියලා... පවුලේ බැඳීම අඩු වෙන්න අඩුවෙන්න මිනිස් ජීවිතයක වටිනාකම් දැනෙන එකත් අඩුවෙනවා කියලා මට දැනිල තියෙනවා.. එතකොට තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තියෙන තැකීම විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතය ගැන තියෙන තැකීම පවා නැති වෙනවා... අනිත් එක ඔය වයසේ ළමයි පුදුමාකාර මානසික පීඩාවකින් දැන් ඉන්නේ... සපුරාගත යුතු ඉලක්ක ප්‍රමාණයත් වැඩියි... පස්සෙන් ඇවිත් මානසිකව සපෝට් කරන්න කෙනෙකුත් නෑ... එයාලා එයාලට තේරෙන විදියට ලොකු මිනිස්සු වෙන්න බලනවා ඉතිං...
ඇත්තෙන්ම හිරු ඔබ කීදේ ඇත්ත , OCP කියන්නේ මහ ජරාවක් , අපරාධකාරයන්ගේ ආයුධයක් වගේ අදහසක් තවමත් සමාජය තුල තිබෙනවා. ඒකනේ ෆාමසියකින් ගිහින් උපත්පාලන පැකට්ටුවක් , කොන්ඩමයක් ඉල්ලන්නට “ලැජ්ජවෙන්නේ“
Delete“ අනිත් එක ඔය වයසේ ළමයි පුදුමාකාර මානසික පීඩාවකින් දැන් ඉන්නේ... සපුරාගත යුතු ඉලක්ක ප්‍රමාණයත් වැඩියි... පස්සෙන් ඇවිත් මානසිකව සපෝට් කරන්න කෙනෙකුත් නෑ... එයාලා එයාලට තේරෙන විදියට ලොකු මිනිස්සු වෙන්න බලනවා ඉතිං...“ - මේ ඇත්ත සමාජය තේරුම් ගන්නවා නම් !
දෙව්මව්පියෝ රේස් එකක් දුවනවා හුස්ම ගන්නේ නැතුව. දරුවන්වත් ඒ රේස් එකේ ඇදගෙන යනවා ලනුවකින් ගැට ගහගෙන. අන්තීමට දුවපු රේස් එකකුත් නෑ, ගැටගහගෙන දුවපු දරුවෝ වැටිලා තුවාලවෙලා. බෙහත් දාලා සුව කලත් වැඩක් නෑ. ආයෙත් පිස්සො වගේ දුවනවා තව එකෙක් සොයාගෙන... මේක නම් පිස්සුවක්...
ReplyDeleteබ්ලොග් ළෝකේ ගැන මට ආඩම්බර. පත්තර කාරයෝ කුණුහබ්බ ලියද්දි. මේ වගේ ළිපියක් බ්ලොග් එකක් තුලින් හමුවීම ගැන..
ඇත්තෙන්ම මාතලන් ඔබ කියන දේ තමා අද සිදුවෙන්නේ. මේ චක්කරෙන් මිදෙන්න කෙසේ වෙතත් අපි මේ චක්කරේ ඇතුලේ හිර වෙලා බව හිතන්න වත් අද සමාජයට වෙලාවක් නැති තරම් .
Deleteඔබට ස්තුතියි මේ දිරි ගැන්වීම වෙනුවෙන් .
මගේ කමෙනට් එක ස්පැම් වලද බලන්න
ReplyDeleteඔව් නලීන් ස්පෑම් වෙලා තිබුණේ , දැන් පබ්ලිෂ් වුනේ. සමාවන්න පමාව පිළීබඳව
Deleteනූතන සමාජ පසුබිම තුළ මෙවන් අත්‍යවශ්‍ය දැනුවත් කිරීම් ඉතාමත් වැදගත්. විශේෂයෙන් ලංකාව වැනි රටක මේ පිළිබඳව විවෘතව කතාකරන්නට දක්වන බිය සහ ලැජ්ජාව. ඒ නිසා නූතන තාක්ෂණ ක්‍රම වලින් හෝ නිවැරදි ලංගික අධ්‍යාපනයක් ලබාදිම කාලීනව වැදගත්.
ReplyDeleteඇත්තෙන්ම ඔබේ අදහසට මම ගරු කරනවා , විය යුත්තේ එයයි , ශ්‍රී ලාංකීය සමාජයේ සමහරු විශ්වාස කරන විදියට ලිංගික අධ්‍යාපනය ලබා දීම “සාරධර්ම සොදා පාළුවට ලක්වීමක් “ නොවෙයි , මම නම් දකින විදියට එම අධ්‍යාපනය නිසි ලෙස ලබා දීමෙන් සාරධර්ම වර්ධනය වීමක් , කෙනෙක් අනෙකාට සාමාන්‍ය මනුශ්‍ය ජීවියෙක් විදියට කරන සැලකිල්ල (අද බොහෝ වෙලාවට කාන්තා ජීවියාව දකින්නේ සෙක්ස් මැජික් එකක් , නැත්නම් සෙක්ස් ෆන් එක් හංග ගත්තා නිධානයක් විදියට නේ ) වැඩි වන්නට එමඟින් සත්‍ය ලෙස වූ සාර්ධර්ම වර්ධනයක් වේයැයි මම විශ්වාස කරනවා .
Deleteස්තුතියි මිතුර ඔබේ පැමිණීම මට සතුටක් !
මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
මලයෝ , මම නම් ඔයාගේ බ්ලොග් එකට මුල්ම පෝස්ට් එකේ ඉඳළ ආව කෙනෙක්.ඒ වගේම ඉඩ ලැබෙන අයුරින් ආයෙත් එනවා , මම දන්න විදියට නම් සින්ඩිකේටරස් හත අටක් විතර තිබෙනවා , එකින් එක නම් කරනවා වාට වඩා පහසුයි Google කරන්න ,
Delete*ඒ උපදෙස් අනුව ඒ වායේ ලියාපදිංචි වීම වගේම ,
*අනෙක් බ්ලොග් සටහන් තුල සැරිසැරීමත් ,
*ඒ ලිපි සමඟින් එක් වීමත් ( මගේ අතිනුත් අඩුවෙන් සිදුවන දෙයක් මේ , මක් නිසාද මේ කාළ සීමාවේ පවතින අවිවේකි බව නිසාවෙන්),
*ඒ ලිපිවල අන්තර්ගතයට අනුව අගය කිරීම් හෝ අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන් සමඟින් සක්‍රියව සම්බන්ධ වීමත් ,(සමහරු කරනවා වගේ එකම දේ හැම බ්ලොග් එකටම කොපි කරමින් නොයා)
*ෆේස්බුක් පිටුවක් , ෆේස්බුක් ගෘප් එකක් ස්ථාපනය කර මිතුරන්ට ඒ වෙත යොමු වන්නට අවස්ථාව ලබා දීමත්
වගේ ක්‍රම මඟින් “සොන්කෝලයට“ පැමෙණන්නන් ප්‍රමාණය වැඩි කරගන්නට පුළුවන්.
සහන් සහ හිරු දෙදෙනාම මේ පෝස්ට් එක තුල ඔවුන්ගේ අදහස් දක්වා ඇති නිසා ඔවුනගේ ප්‍රොෆයිල් ඔස්සේ ගොස් හමුව උපදෙස් ගන්නටත් ඔබට පුළුවන් වේවි .
ස්තුතියි ඔබේ පැමිණීම සතුටක්!
බොහොම වැදගත් සටහනක් මහේෂ් මහත්මයා..කියන්න ඕනේ සියලු දේම ලිපියේ ඇතුළත් නිසා වෙන කියන්න දෙයක් අපිට ඉතුරු නැහැ.. දිගටම මෙවැනි ලිපි ලියන්න... අපි දෙන්නම් ප්‍රචාරය...
ReplyDeleteස්තුතියි සහන් ඔබේ අදහසට , දැනුන දේ , දැනෙන දේ ලීවා මිසක ලොකු සමාජ විද්‍යාත්මක සංකල්ප ඔබන්නට ගියේ නැහැ , හැමදාම ලංකාවේ පුවත්පත් කියවත්ත්දි දකින සමහර ජනප්‍රිය පුද්ගලයන් , දේශපාලන ව්‍යාපාරයේ යෙදෙන දේශපාලන ව්‍යාපාරිකයන් ගේ ප්‍රකාශ දුටු විට හිතේ ඇතිවන ආවේගයන් මේ විදියට හරි ලියන්නට බ්ලොග් තිබීම ගැන සතුටක් , ඒ ලියන දේ බෙදා ගන්නට ඔබවන් මිතුරු කැලක් සිටිනා බව දැනීම ඊටත් ඉහල සතුටක් ,
Deleteනැවතත් , ස්තුතියි ඔබට “සොදුරු සුව අසපුවට“ බෙදා ගන්නට ලබා දුන් සහයෝගයට මෙන්ම මේ දිරි ගැන්වීම් වලට ...
ගොඩක් වටින ලිපියක් දැනුමට එකතු වු දේ බොහොමයි ඔබට පින්!
ReplyDeleteබොහොම ස්තුතියි දුවේ , සොඳුරු සුව අසපුව ඇරඹෙන්නට මුලිකම හේතුව ඔයාලා , ඒ ඔබ සැමගෙන් වෙන්වීමෙන් හිතට දැනෙන වේදනාව ටිකක් හරි අඩු කරගෙන , තව දුරටත් ඔයාලට යමක් ඈත ඉඳගෙන හරි කියල දෙන්න හිතාගෙන , අද ඒ අරමුණ ඊට වඩා දුර ගියත් , හැමදාමත් මේ පිටුවේ ආරම්භක පෙළඹුම්කාරයන් , කාරියන් මගේ දරුවනේ ඔයාලා ,ඒ ගෞරවය ඔබටයි , ඔබේ මිතුරු 2007/2009/2010/2011 කණ්ඩායම් වල මගේ දරුවන්ටයි ....
Deleteහ්ම්ම්ම්ම්... ලංකාව හා බටහිර රටවල දැං වෙනසක් නෑ..
ReplyDeleteආදරය == ලිංගිකත්වය
වෙලා
ඔව් , දැන් ලංකාව කියල වෙන් කරන්න පුළුවන් භූගෝලීයව විතරයි , අනෙක් සියල්ල කවලංවුනු තත්ත්වයක් .
Deleteස්තුතියි ඔබේ පැමිණීම සතුටක් .
ඔබේ ලිපිය මේ ප්‍රශ්නය දිහා හැම කෝණයකින්ම බලන නිසා අලුතින් කියන්න දෙයක් නැ වගේ. මවුපියන් හා දරුවන් අතර කෙමෙන් ඇතිවේගෙන යන දුරස්ථභාවය මූලික හේතුවක් කියල මං හිතනවා. අම්ම තාත්ත ගෙදර එනකොට ලමයි එක්කෝ නිදි එහෙම නැත්නම් පාඩමේ. සෙනසුරාදා ඉරිදට පංති. අන්තිමට ලමයි අම්ම තාත්තාගෙන දුරයි.. හොඳම ලඟම මිතුරන් වියයුතු දෙමාපියන් ඈත්වීමෙන් ඔවුන් පිටස්තර විරුද්ධ ලිංගිකයන්ට ආසන්න වීම තවත් වැඩිකරනවා.
ReplyDeleteස්තුතියි ඔබේ අදහස් එක්කිරීමට , ඇත්තටම සිදුවන දේ තමයි එය , ඒ නිසාවෙන් අපම ඇති කරගන්නා ආපදාවක් විදියටයි මමත් මේ තත්ත්වය දකින්නේ
Deleteනැවතත් ඔබේ පැමිණීම සතුටක්
බොහොම වටිනා කරුණු රැසක්.. මේ කරන දැනුවත් කිරීම් වෙනුවෙන් බොහොම ස්තුතියි ඔබට..!
ReplyDeleteස්තුතිය ඔබටත් , ඔබේ අදහස් දැක්වීම මට දිරියක් .
Deleteමේ ප්‍රවනතාව එක අතකින් අගය කල යුතුයි වීදුරුවේ කිඹුලන් දකිනවට වඩා..
ReplyDeleteස්තුතියි රූ ....
Delete