2013/09/08

143) වඳ දෙන වද මුදු කම්මුල

“මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..අහන්නද ? ...“
“ඔව් අහන්න ...“
“මම මැරි කරන්න ඉන්න අයියට වයස 18 දි කම්මුල් අමාරුව හැදිල තියෙනවා , ඒක බබාලා හදන්න ප්‍රශ්නයක් වේද කියල මගෙන් අහනවා , ඒක බලා ගන්න මොකක් හරි ටෙස්ට් එකක් තියෙනවද ,‘‘


මේ පහුගිය දවසක ෆේස්බුක් චැට් එකක් ඔස්සේ වුනු කතා බහක් , විවේක වෙලාවක ෆෙස්බුක් එක පැත්තේ ඉඳිත්දි මේ වගේ චැටු එකක් දෙකක් සාමාන්‍ය දෙයක් වෙලා , ඒ වුනත් මේ චැට් එකේ අහපු දේ ගැන විස්තර ටිකක් ලීවොත් හොඳයි කියල හිතට වැටුනේ එදාමයි , ඒ වුනාට ලැබෙන විවේකයත් එක්ක , ඒ හිතුවිල්ල සටහනකට පෙරලෙන්නේ අද සති කිහිපයකට පස්සේ ...

එහෙම නම් අද කතා කරන්නේ කම්මුල්ගාය කියන රෝග තත්ත්වය සහ ඊට අදාලව පිරිමි අයට ඇතිවිය හැකි සංකූලතාවයක් ගැන . එහෙම නම් අපි පටන් ගනිමු අද කතාව ..


පිංතූරය ගත්තේ UCLA Faculty Association
Mumps එහෙම නැත්නම් කම්මුල්ගාය කියල කියන්නේ , හෙම්බිරිස්සාව වගේම වයිරසයක් මඟින් බෝවන රෝගයක්.  හෙම්බිරිසාව වගේ කියල කීවේ , බෝකරන රෝගකාරකයා නිසා පමණක් නොවෙයි . ලෙඩේ හැදුනට පස්සේ , ලෙඩේ බෙදා දෙන විදියත් හෙම්බිරිස්සාවට හුඟක් සමානයි , කැස්ස , කිවිසුම් එක්ක වගේම කතා බහකරත්දි පවා රෝගියාගෙන් බාහිරට එන කෙළ බිඳිති තුල මේ රෝග කාරක වයිරසය ඉන්නවා . ඉතින් බොහොම පහසුවෙන් තව කෙනෙකුට රෝගය ඇතුළු වෙන්න පුළුවන් . විශේෂයෙන්ම මේ වයිරස් අඩංගු බිඳිති නොදැනුවත්නම ස්පර්ෂ කරලා ඊට පස්සේ අපේ “ඇඟඇතුලට දාගන්න එක“ තමයි බහුලවම සිදුවන්නේ .  විශේෂයෙන්ම පාසල් දරුවන් අතරේ මේ තත්ත්වය ඉක්මණීන් පැතිර යන ඉඩ වැඩි මේ නිසාමයි .

වයිරසය ඇඟට පස්සේ මොකද වෙන්නේ ? ..දවස් කිහිපයක් , ඒ කීවේ වයිරසය ඇඟට ඇතුළු වෙලා සති දෙක තුනක් කිසිම ලෙඩක් පෙන්වන්නේ නැතිව හැංගිලා වගේ ඉන්නවා  ,ඒ අතරේ එයාලා , එ කීවේ වයිරස් , පැටවු දමමින් තමන්ගේ ජනගහනය වැඩි කරගන්නවා , ඔන්න දවස් 16-20 වගේ වෙනකොටට තමයි හැංගිලා හිටපු කට්ටිය වැඩ පෙන්වන්න පටන් ගන්නේ , දැන් බලමුකො කොහොමද එයාල වැඩ පෙන්වන්නේ කියලා .

මෙයාල හුඟක් කැමති අපේ ශ්වසන පද්ධතියෙ ඉහළ කොටසේ රැඳලා ඉන්න නිසා , වැඩ පෙන්නත්දි මුලින්ම අපට දැනෙන්නෙත් අර හෙම්බිරිස්සාවක් හැදීගෙන එත්දි එන “පොඩි පොඩි අතේ පයේ අමාරු “ , ඊට දවසකට විතර පස්සේ ඔළුවෙ කැක්කුමත් එක්ක , කණ ආශ්‍රිතව පොඩි වේදනාවක් එන්න පුළුවන් , එයින් පස්සේ තමයි නියම ලක්ෂණ පටන් ගන්නේ , උණ , කම්මුලේ කණ ආශ්‍රිතව ඉදිමුණු , ඒ වගේම ඒ හරියට අත තියන්න බැරි තරම් වේදනාවක් එන්න පුළුවන්. කෑම පිරියක් නැතිව යන එකත් , අමාරුවෙන් හරි කෑමක් ගන්න උත්සාහ කරත්දි කණ පැත්තෙන් පටන් ගන්න තද වේදනාවත් එක්ක ගිලින්න පවා අමාරු තත්ත්වයක් එන්න පුළුවන්.  මෙහෙම වෙන්න හේතුව , අදාල වයිරස් වල බලපෑම නිසා , අපේ මුඛ කුහරය ඇතුලේ කණට පොඩ්ඩක් පහලට වන්නට තිබෙන “පැරොටිඩ් ඛේඨ ග්‍රන්ථිය“ ප්‍රදාහයට පත්විම . මේ ඉදිමිම කම්මුලේ එක පැත්තක හෝ දෙපැත්තේම වෙන්නටත් පුළුවන්.  මේ තද අමාරුකම් , උණ දවස් දෙකක් තුනක් තිබිලා අඩුවෙලා යනවා, ඒත් කම්මුලේ ඉදිමීම තවත් සතියක් විතර තිබෙන්නට පුළුවන් . ඒ කියන්නේ බෙහෙතක් ගත්තත් නොගත්තත් මේ කාළ සීමාව වෙත්දි “ලෙඩේ හොඳ වෙනවා“ ,  හැබැයි මේ ඉදිමීම අඩුවෙලා තවත් දවස් හතරක් පහක් යනකම්ම මෙයාගෙන අනෙක් අයට ලෙඩේ බෝවන්නට පුළුවන් නිසා , ඊට අදාලව පරිස්සම් වෙන එක වටිනවා , ඒ කියන්නේ පාසල් යන වයසේ දරුවෙක් නම්  මේ දවස් ටික දරුව ගෙදර තියා ගන්න එක දරුවට වගේම අනෙක් දරුවන්ටත් ආරක්ෂාවක් , රාජකාරියට යන කෙනෙක් නම් නිවඩුවක් දාල ගෙදර ඉන්න පුළුවන් නම් හොඳයි , එකක් විවේකය  ,අනෙක් වැදගත්ම දේ රෝගය පැතිරයාම අඩු කරගැනීමට . ඒ සඳහා http://www.nursinglk.com/2012/07/110.html ලිපියේ සදහන් උපදෙස් වැදගත් වේවි කියල හිතෙනවා  . ඒ  ගැන මෙන්න මෙතනින් ගිහින් දැන ගන්න පුළුවන් 

 දන්නවනේ හෙම්බිරිසාව , වගේම මේ කම්මුල්ගායත් වයිරස් වර්ගයකින් හැදෙන බව කීවනේ , ඒ නිසා මේකටත් ස්ථිර ඖෂධයක් නැහැ , දෙන්නට ඉඩ තිබෙන එකම දේ , මේ ප්‍රදාහය , උණ , වේදනාව අඩු කිරීමට දෙන ඖෂධයක් පමණයි ,බොහෝ වෙලාවට පැරසිටමෝල් කාණ්ඩායේ ඖෂධ තමයි දෙන්නේ ( මේ පැරසිටමෝල් දෙන හැටි හරියට දැනගන්න ... විස්තර ඕන නම් සොඳුරු සුව අසපුවේ 19 වන ලිපිය බලන්න)  . හැබැයි මේ අවස්ථාවේ වේදනානාශක විදියට ඇස්පිරින් අඩංගු පෙති , සිරප් ලබා නොදීමට වගබලාගන්න ඕන , නැත්නම් බෙහෙත නිසා තවත් ලොකු කරදරයක වැටෙන්නට ඉඩ තිබීම .


කොච්චියක් ගියා වගේ එක දිගට කියාගෙන ගිය මේ කරුණූ ටික දැක්කම හිතේවි ..“අපෝ ..අපි ඕක දන්නවනේ , අපරාදේ මේ පෝස්ට් එකක් කියෙව්වේ“ කියලා .... පොඩ්ඩක් ඉන්න , හොඳහොඳ සෙල්ලම් එළීවෙන ජාමෙට වගේ , මේ කම්මුල්ගායේ  හොඳම ටික එන්නේ දැන්.... ඒ කියන්නේ කම්මුල්ගාය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධා ...ඇත්තටම මුලික ලෙඩේට වඩා අවදානම තියෙන්නේ මෙන්න මේ කොටසේ ..

දැන් අපි බලමු මේ අතුරු ආබාධ මොනවාද කියලා ..

කම්මුල් ඉදිමීමට පටන් අරගෙන දවස් පහකට හතකට විතර පස්සේ  ,ඒ කියන්නේ ඇත්තටම ඛේඨ ග්‍රන්ථියේ ප්‍රදාහය ආරම්භ වෙලා සතියකින් විතර ඇති විය හැකි අවදානම් තත්ත්වයක් ගැනයි මුලින්ම කියන්න හදන්නේ . මේ වෙනකොට උණ හුඟක්ම වැඩිවෙලා , ඒ එක්කම දරුවගේ  , රෝගියාගේ බෙල්ල නමන්න බැරි තරම් තද කැක්කුමක් ( විශේෂයෙන්ම බෙල්ල පිටු පසින් එන ඇද්දුම්කනවා වැනි තද වේදනාවක්)   , එහෙම නැත්නම් බෙල්ල කොහෙත්ම නවන්න බැරි තතත්වයක් එක්ක , තද ඔළුවේ කැක්කුමක් , එහෙම එනවා නම් , ඒ වගේ ලක්ෂණ පෙන්වනවා නම් , ඔබේ අවධානය යොමු විම හරිම වැදගත් , මේ තත්වය එක්ක පොඩි දරුවෙක්නම් සමහර විට වෙනදට වඩා නිදිමත බවක් , පෙන්වන්නට පුළුවන්.  ඒ විතරක් නොවෙයි ටිකක් ඈතට “විදිනව වගේ “ වමනය දාන්නත් ඉඩ තිබෙනවා . දැන් ඉතින් බලාගෙන ඉන්න හොඳතත්ත්වයක් නොවෙයි , එහෙම කියල අනවශ්‍ය විදියට කළබල වෙන්නත් එපා , මොකද සමහර විට මේ අවස්ථාවෙම දරුවට  අපස්මාරය වගේ හැදෙන්නත් ඉඩ තිබෙනවා . ඒ නිසා මේ ලක්ෂණ වැලේ මුලින් කී ලක්ෂණ කිහිපය මතු වුන අවස්ථාවේ ළඟම තිබෙන රජයේ රෝහලට යොමු වෙන එක වටිනවා . මොකද මේ අදාල වයිරසය මොළයට , මොළය අවට තිබෙන පටල වලට පහර දීම නිසා ඇතිවන Encephalitis හෝ Meningitis කියන තත්ත්වය වෙන්න පුළුවන් . මුල් අවස්ථාවෙදිම නියමිත ප්‍රතිකාර ලබා දෙන්නට අවස්ථාව ලැබුණා නම් , මේ අවදානමෙන් සිදුවන ආපදා අඩු කරගන්නට  පුළුවන් .  හැබැයි මොළයට බලපෑමට නිසි ප්‍රතිකාර නොලැබුනොත් බලාපොරොත්තු නොවන අවාසනාවන්ත තත්ත්ව හිමි වන්නටත් පුළුවන් බව මතකයේ තියා ගන්න එක වටිනවා , ඒ කීවේ , සමහර විට කන් ඇසීම නැතිව යාම , ඇස්වල පෙනීම සම්බන්ධ ගැටළු ඇති වීම , නරකම දේ මරණය කියන අවසථාවට වුනත් ගෙන යන්නට මේ අතුරු ආබාධයට පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී මවකට හැදුනොත් , ඉපදෙන්න ඉන්න දරුවටත් කරදර ගණනාවක් ඇති වන්නට පුළුවන්.

මීට අමතරව මෙම වයිරසයේ පහරදීමට ලක්වෙන්න පුළුවන් තැන් තමයි අපේ අග්න්‍යාශය , ඒ වගේම අපේ ස්නායු වලට කරදර කරලා , තාවකාළිකව අංශභාගය වගේ , එහෙම නැත්නම් කටේ පැත්තක් පණ තැනිව වගේ (තාවකාළික) අවස්ථා ඇති  කරන්නත් ඉඩක් තිබෙනවා. ඒ විතරද , මේ වයිරසයට පුළුවන් අපේ හෘදයට , හෘදයේ තිබෙන පේෂි වලට , අපේ දණිස් සන්ධිය වගේ තැන්වලට පවා පහර දෙන්න ..දැන් ඉතින් බය වෙන්න එපා මේ , මොකද කම්මුල්ගාය හැදුන හැම කෙනෙක්ටම මේ විදියේ තත්ත්වයන් වෙන්නේ නැහැ , ඒත් කම්මුල්ගායේ අතුරු විපාක වන මේ අවස්ථා , සුළු පිරිසකට හරි වෙන්න පුළුවන්.


semen analysis, azoospermia, oligospermia, acrosome, infertility
Semen analysis කරගන්න
පිංතූරය  http://www.infertilityfocus.com
මේ මොනව කීවත් අප බොහොම දෙනෙක් කළබල වන අනෙක් අතුරු විපාකය තමයි , මේ කම්මුල්ගාය මඟින් පිරිමින් වඳ භාවයට පත්වනවාද කියන කාරනේ . මේකටත් හේතුව , මෙම වයිරසය පුර්ෂයාගේ වෘෂණ කොෂ තුල ප්‍රදාහයක් ඇති කරන එක , අපි ඒකට වෛද්‍යවිද්‍යාත්මකව කියන්නේ Orchitis කියල , සාමාන්‍යෙයන් වැඩිවිය පත්වුනු පිරිමි ( ඔව් එහෙම දෙයක් වෙනවා , කවුරුත් ප්‍රසිද්ධ නොකළට පිරිමි දරුවා ද්වීතික පුරුෂ ලිංගික ලක්ෂණ මතු කරමින් වැඩිවියට පත් වෙනවා වසය අවුරුදු 10-14 වගේ සිමාවකදි) කෙනෙකුට කම්මුල්ගාය වැළඳුනොත් 40% ක විතර අවදානමක් තිබෙනවා මේ Orchitis තත්ත්වය ඇති වන්නට. එතැනදි වෙන්නේ වෘෂණ කෝෂය ( තනි කෝෂයක ඇති වීම තමයි බහුල)  , හෝ දෙපැත්තම  ඉදිමීමක් එක්ක අධික වේදනාවක් ඇතිවෙන එක . මේක මතුවෙන්නෙ ඉඩ තිබෙනවා කම්මුලේ ඉදිමීම ඇති වෙලා දවස් දහයක් වගේ ගියාම . මේ කැක්කුම සමහර වෙලාවට බඩේ ඇතුලින් එන “මිරිකනවා වැනි“ වේදනාවක් වගේ දැනෙන්නත් ඒ නිසාම රෝග නිර්ණයේදි පොඩි පටලැවිල්ලක් වෙන්න වුනත් ඉඩ තිබෙන අවස්ථාවක් . කොහොම වුනත් මේ විදියට ප්‍රදාහයට පත්වුනු වෘෂණ කෝෂයේ ක්‍රියාකාරිත්වය අඩුවන්නට යම් ඉඩක් පවතිනවා , හැමෝටම නොවෙයි , ඒ වගේ අයගෙන් ( වෘෂණ කෝෂ වලට වයිරස් වල බලපෑම ඇතිවුනු) 40-50% ප්‍රමාණයකට , අදාල වෘෂණ කෝෂයේ ව්‍යුහයට වගේම ක්‍රියාකාරීත්වයට බලපෑමක් වන්නට පුළුවන්. බලපෑම , කියල කියත්දි , ප්‍රමාණය කුඩා වීම , හැකිළීමක් වගේ ස්වභාවයක් , ඒ එක්කම වෘෂණ කෝෂ්‍ය තුල , සිදුවන ශුක්‍රාණු නිශ්පාදනය වීමේ හැකියාව සුළු වශයෙන් අඩුවීමක් හෝ ඉතාමත් කළාතුරකින් ඒ හැකියාව සම්පුර්ණයෙන්ම අඩාව වීමක් සිදුවන්නට පුළුවන්, මෙන්න මේ තත්ත්වයේදි නම් අනාගතයෙදි දරුවකු පිළිසිඳ ගැන්වීමට යම් බාධාවක් කරන්න ඉඩ තිබෙනවා. ඒත් එහෙම වෙන අවස්ථාවන් ඉතා සීමිතයි , හුඟක් වෙලාවට වෘෂණ මේ බලපෑම නිසා සිදුවන්නේ වෘෂණ කෝෂය තුල නිපදවෙන ශුක්‍රාණූ ප්‍රමාණය අඩුවීමක් , සම්පුර්ණයෙන්ම අඩාල වෙන්නට ඇති අවස්ථාව නම් ඉතාමත්ම අඩුයි , නමුත් අවදානමක් නැතිවා නොවේ. ( මේ කියූ අතුරු අබාධය ගැන යම් සැකයක් ඇති  කෙනෙක්ට පවුලේ වෛද්‍යවරයා මාර්ගයෙන් , Semen analysis පරික්ෂාවක් වෙත යොමු වීමෙන් , තමන්ගේ ශුක්‍රාණූ නිපදවීමේ හැකියාව , ප්‍රමාණය  සහ පිළිසිඳ ගැන්වීමක් සඳහා සුදුසු මට්ටමක පවතීද යන්න පිළිබඳ නිරවද්‍ය අදහසක් ලබා ගන්නට පුළුවන් මේ පරික්ෂණය කොළඹ නාරාහේන්පිට පැත්තේ මේ විෂය පිළිබඳවම කටයුතු කරන පෞද්ගලික රෝහල කෙරෙන බව නම් දන්නවා ) 

හොඳයි , එහෙම නම් දැන් අද කතා කරන්නට ඕන දේවල් ටික ඉක්මණින්ම කියල ඉවර වුනා වගේ දැනෙනවා . ඇත්තටම මට ඕන වුනේ අර මුලින් වුනු චැට් එකට අදාලව කරුණූ ටිකක් ගලපන්නට , 
කෙසේ වෙතත් අවසානයේ කිවයුතු දේ මේ රෝගය හැදුනාට පස්සේ කළබල වෙනවාට වඩා කරන්න පුළුවන් දෙයක් තිබෙනවා , ඒ තමයි වලක්වා ගැනීමට කටයුතු කරන එක .එතැනදි Mumps එන්නත ලබා දීම හුඟක් වැදගත් . MMR හෝ MMRV ලෙසින් තවත් රෝග කිහිපයකට අදාල එන්නත් සමඟ මිශ්‍රව එන මෙම එන්නත (වාර දෙකකදි)  ඔබේ දරුවා ලබා දුන්නාද කියල බලන්න, දරුවගේ වර්ධක සටහනේ පහලින් තිබෙන කොටුවෙන් ඒ ගැන අදහසක් ගන්නට පුළුවන්,  . මෙම හැබැයි මේ වැක්සීන් එක වුනත් යම් අයෙකුට  ප්‍රතිපලදායක නොවන අවස්ථා තිබෙන්නට පුළුවන් .ඒ කීවේ මෙම එන්නත ලබා දී තිබුණත් ඉතාමත් කළාතුරකින් අයෙකුට කම්මුල්ගාය ඇතිවීමේ අවදානමක් තිබෙනවා. හැබැයි ඕනම නම් , තමන්ට ලබා දී තිබෙන Mumps එන්නතෙන් පලදායි තරමක ආරක්ෂාවක් ලැබී තිබෙනවාද කියල බලාගන්නට පුළුවන් රුධිර පරික්ෂණ කරගන්නට අද පහසුකම තිබෙනවා . 

හැදුනත් නොහැදුනත් , ලෙඩ රෝග ගැන , අවදානම් තත්ත්ව ගැන දැන ගෙන ඉන්න එක පරිස්සම් , ඒ වගේම දැනුමට යමක් එක් කරගන්න එකත් හොඳ විනෝදාංශයක් මට නම් ...ඔබටත් එහෙම හිතෙනවා ඇති ....( ඒ නිසානේ මේ පැත්තේ එන්නේ ..නේද ? ....) 


එහෙමනම් ......අදට සමුගන්නම් සුව සතුට පිරි දිනයක් පතමින් .

යන්න ඉස්සරවෙලා පොඩි ඇඩ් එකක් ...මේ දවස් වල කැනඩාවට රැකියාවන් වලට , ස්ථීර පදිංචියට යවන බව කියමින් මහා පරිමාණ ලෙසින් මුදල් ගරා ගන්නා රැල්ලක් සමහර ප්‍රදේශවල හමා යන බවට ආරංචියක් ලැබුණා . මේ රැළි වලට කැමැත්තෙන්ම අහුවෙලා කාළය වගේම මුදල් නාස්ති කරගත් පිරිසක් දැනටමත් ඇති , හැබැයි මේ කැනඩාවට පැමිණීමේ ඇත්ත තත්ත්වය , එන විදිය , ඒ සඳහා යන ඇත්තම වියදම් වගේ මුලික අවස්ථාවේ වැදගත් කරුණූ රැසක් “කැනඩාවට එන්නට මග“ බ්ලොග් එකේ සටහන් වෙලා තිබෙනවා .ඒ නිසා මේ කරුණූ දැන ගන්නට කැමති කෙනෙක්ට ඒ පැත්තට යන්න පුළුවන් මෙතැනින්  ඒ වගේම තමන්ගේ මිතුරෙක් “කැනඩා උගුළකට“ අහුවෙන්න යනවා වගේ දැනෙනවා නම් , ඒ හිතවතාව දැනුවත් කිරීමේ අරමුණින් අදාල පිටුව ගැන තොරතුරක් බෙදා දෙන්න පුළුවන් නම් වටිනවා . මේ තොරතුරු බෙදා දීම මගින් මට කිසිම ආර්ථික වාසියක් නැහැ , වෙළඳ දැන්වීම් නැහැ , නමුත් , දැනගත් දේ බෙදා දෙන්නට ලැබෙන අවස්ථාවක් විදියටය මට දැනෙන්නේ . ඒ නිසා මේ පැත්තට එන්නට කැමති අයට “හරි පාර“පෙන්වන්න ඔබ උදව්වක් වේවි කියල හිතනව . 


මෙන්න ලිංක් එක http://sincanada.blogspot.ca/

ස්තුතියි 

4 comments:

  1. //හැදුනත් නොහැදුනත් , ලෙඩ රෝග ගැන , අවදානම් තත්ත්ව ගැන දැන ගෙන ඉන්න එක පරිස්සම් , ඒ වගේම දැනුමට යමක් එක් කරගන්න එකත් හොඳ විනෝදාංශයක් මට නම් ..//

    අපිටත් එහෙම තමා...දැන් නම් කම්මුල්ගාය එතරම් ප්‍රචලිත රෝගයක් නෙවි..මේ එන්නත නිසා වෙන්න ඇති..

    ස්තුතියි මහේෂ්..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ ...මේ එන්නත් භාවිතය නිසි ලෙසින් සිදුවන නිසා , මේ රෝග තත්ත්වය අද අඩුවෙමින් යනවා , ඒත් තවමත් යම් අවදානමක් පවතින නිසා දැනුවත් වීමයි වැදගත් .

      ස්තුතියි

      Delete
  2. ඔය ලෙඩේ ඉස්සර හැදුනම අපේ ගම්වල ඇත්තො අලි හක්ක උරච්චි කරලා ගානවා. මං දන්නෙ නැහැ ඒකට ලෙඩේ හොද වෙනවාද කියලා නමුත් එහෙම සිරිතක් තිබුනා...
    ඔබට ලිංක් ඇතුලත් කරන්න පුලුවන් ඒ වචනයටම බ්ලොගර් වල ඒක පහසුවෙන්ම කරන්න පුලුවනි.

    අද නම් සරලව සහ කෙටියෙන් තියෙන නිසා කියෙව්වා.. දිගට දිගේ මාගල් වගේ තියෙන කොට කියවන රුචිය අඩුවෙනවා. අවශ්‍ය කෙනෙක්ට යමක් විස්තර දැනගන්න ලිංක් එක දාන එකත් හොද වැඩක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අමිල , ඉස්සර ඒ ප්‍රතිකාරය කෙරුණා , එය කළත් නොකළත් වයිරස් රෝග අපේ ප්‍රතිශක්තිය මඟින්ම ඉබේම සුව වීමේ හැකියාවක් තිබෙනවා.

      අවශ්‍ය හැම අවස්ථාවකම , විශේෂයෙන්ම වැඩි දුර විස්තර කිරීම් කළ යුතු අවස්ථාව ලිංක් එකතු කිරීම කරනවා , නමුත් බාහිර ලිංක් එක් කිරීමක් කරන්නේ , ඒ පිළිබඳව පර්යේෂණ ලිපියකට පමණයි , හේතුව අන්තරජාලයේ ඕනෑ තරම් සෞඛ්‍ය පිළිබඳ වෙබ් අඩවි තිබුණත් එයින් නිවැරදි දේ දෙන්නේ කිහිපයක් , ඒ වෙනුවෙන් මම යොදා ගන්නා අඩවි පිළීබඳව “මගේ අරමුණ‘ පිටුවේ සටහන් කර ඇති නිසා නැවත නැවත ඒවා එක් කරන්නට යන්නේ නැහැ .

      ඇත්ත , මේ ලිපි “මාගල්“ වන බව මම දන්නවා , එයට හේතුව , මගේ අත්දැකීම සහ විශ්වාසය අනුව සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේදී ලෙඩේ නම සහ ලක්ෂණ විතරක් කියා දීම , ඵලදායී නොවන බව හඳුනාගෙන ඇති නිසා , එය තමාට දැනෙනන්න නම් ඊට අදාල ජීව විද්‍යාත්මක ඇත්ත , තමාගේ ඇඟට මේ රෝගය , ගැටළුව බද්ධ වන ආකාරය සරළව පැහැදිලි කළ යුතුය යන්න මගේ හැඟීම. ඒ නිසා මගේ හැම ලිපියකම වාගේ එම ජීවි විද්‍යාක්මක සාධකත් එක් කෙරෙනවා . එයයි “මාගලට“ හේතුව .

      කෙසේ වෙතත් හැකි තරම් සරළව මේ කාරණා සටහන් කරන්නයි හැම විටම උත්සාහ කරන්නේ . ඒ වගේම මේ හැම ලිපියක්ම , අමු අමුවේ ලෙඩ ගැනම කතා නොකර , වෙනස් ආරම්භයක් , කතාවක් එක්ක ලියන්නේ නම් , හුදෙක් මේක මගේ ජීවිතයේ එක් “විනෝදාංශයක් බවට“ පත්වී ඇති නිසාමයි .

      ********* ස්තුතියි මිතුර , මෙවන් සරු අදහස් වලින් නිසාමයි , සොඳුරු සුව අසපුව නමින් සිංහල බ්ලොග් සටහනක් පවතින්නෙ ..ඔබේ විචාරය වෙනුවෙන් මගේ ගෞරවය පිළිගන්න .

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)