2013/09/26

144) මැරෙන්නට නිදහසක් ! මරන්නට නිදහසක් !

“අපි .......බැඳලා ...........දැනට .........අවුරුදු තිහක් !......“ ...
“නෑ නෑ අවුරුදු හතලිස් හතක් ....බ්‍රයන්ටත් වයස හතලිස් දෙකක් නේ ...! ,..“
“ම්හ් ..මට ගණන් වරදිනවා ,........හැ..ම ....දා ..ම....“  කැස්සක් ඔහුගේ කතාවට බාධ කළා ...
“ඔයාට මතකද ...... බ්‍රයන්  ...පොඩි ....කාලේ ..අර දරමඩුවෙ.............“ ..
‘‘ හ්ම් ...දර මඩුවෙ හැංගිලා හිටපු හැටි .......මේ කියන්නේ අපේ ලොකු පුතා අවුරුදු හයේදි විතර .....“ .......... 



පිංතූරය dancurtis.ca
මේ කතාව දිගින් දිගටම කෙරුනු කතාවක කොටසක් විතරයි .....වයස අවුරුදු අනූ හයක් වන ක්ලිෆර්ඩ් (අන්වර්ථ නාමයකි) මහත්මයා , සහ එම බිරිඳ අතරේ මේ කතා බහට මම මැදිහත් වෙන්නේ Palliative care (අවසායී සාත්තුව) සපයන්නෙක් විදියට , මේ රෝගී සාත්තුවේ තවත් එක්තරා , අපහසු පියවරක්  ...ජීවිතයේ අවසාන කාළ සීමාවෙදි , ඇතිවුනු පිළීකාවක් නිසා වේදනාවෙන් සිටි ක්ලිෆර්ඩ් මහත්තයා , දවල් කෑමෙන් පස්සේ මේ වගේ කතා බහකට මාවත් එක් කරගත්තා ...ඉගෙන ගත්තු Thanatalogy විෂය බර පැත්තක දාලා , ඊට අදාල ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනිම කියන කාරණේ අමතක කරලා , මේ ආදර තාත්තගෙත් අම්මගේත් කතාවට සවන් දෙන එක ඒ දින කිහිපය පුරා මගේ රාජකාරියේ කොටසක් වුනා ....



“මයික් .....අද...... මට හරි අමාරුයි මගේ පුතා ....දෙවියන්ගේ නාමෙන් ....මට වෙඩි තියන්න පුතා ....ඩොක්ටර්ට කියන්න ...ඔය පේන් කිලර් වලින් ........මගේ වේදනාව අඩුවෙන්නේ නෑ ...මට වෙඩි තියන්න ....“....( මගේ නම “ මහේෂ් “කියලා උච්ඡාරණය කරගන්න බැරි නිසා , කටට හුරු මයික් කියන අන්වර්ථ නාමය ඔවුන් දෙදෙනාම මා වෙත යොද ගත්තේ ) ..... 

ක්ලිෆර්ඩ් මහත්මිය , කඳුළු පිරි දෙනෙතින් මා දිහා බලාන හිටියේ , තමන්ගේ ආදරණීයාගේ වේදනාවත් දරාගෙන ....

“ක්ලිෆර්ඩ් මහත්මයා , බෙහෙත් දුන්න විතරයිනේ තවම , ටික වෙලාවක් යනවා ඇක්ෂණ් එක එන්න ...අපි එතකන් .....මට කියන්නකෝ , අර වින්ටර් එකේ ......දොරට වෙච්ච දේ .....“ ....
ආදරය අවශ්‍යම ...ඒත් ?........
“.....දෙයියන්ගේ නාමෙන් .....මට හිනා යනවා ඒක මතක් ....වෙනකොටත් ......., අපි දෙන්න ..........මුළු ලෝකෙන්ම තනිවෙලා................... හිටිය නොවැ දවස් දෙකක් .......මේ බැඳපු අළුත ..........“ ක්ලිෆර්ඩ් මහත්තයා හැමදාමත් වගේ සතුටින් කියන “සුන්දර අතීත කතාවක්“ ඇදල ගත්තේ , ඒ කතාව කියන හැමදාකම ඔවුන් දෙදෙනාගෙ සිත් සතුටින් පිනා යන බව දන්න නිසාමයි ..
.....
......“මයික් ...මගේ පුතා ...අද අපිත් එක්ක ඉන්න පුළුවන්ද පුතා ....මම අද රෑට මගේ දෙවියන් ළඟට යාවි නේද ...? .නැත්නම් දෙවියන්ගේ නාමෙන් මට වෙඩි තියන්න පුතා ...මේ ඇති මට ....“ ....හැමාදමත් සේවාමුරය අවසන් වෙලා එන්න හදත්දි , තමන්ගේ සුදු මැළී , අතින් මගේ අතක් අල්ලගෙන කියනව මන්තරයක් වුනා එය.....

“ක්ලිෆර්ඩ් , දැන් රෑවෙලා නේ , මයික් යන්න ඕන ,එයාගේ ....හෙට උදේම ආයෙත් එයා ඒවි .....මං ඔයා ළඟ ඉන්නවා ක්ලිෆර්ඩ් ........ඔයා යන්න පුතා ..මේ සෙක්ෂන් එකේ ඩොක්ටර්ට පොඩ්ඩක් කියාගෙන යන්න , රෑවෙන්න ඇවිත් මෙයාව බලල යන්න කියල .......දෙවි පිහිටයි ......“ මේ වෙලාවට මගේ ගැළවුම්කාරිය වුනේ ක්ලිෆර්ඩ් මහත්මිය ., ඇයත් වයස අවුරුදු අනූවක් විතර වුනත් , තරමක හොඳ ශරීර සෞඛ්‍යෙයන් හිටියා ..

මේ තුල විදියට දින සති ගෙවිලා ගියා .....එක් සඳුදාවක රාත්‍රියේ ඔහු යන්නම ගියා .....හැමදාමත් මන්තරයක් වගේ කියවන , අවුරුදු පනහක විතර ආදර කතාව නිමා කරමින් යන්නම ගිහින් ...අපි කාගෙත් නෙත් වලට කඳුලක් එක් කරමින් ක්ලිෆර්ඩ් මහත්මිය , කාමරයේ තනිවෙලා හිටියා ...

මේ මගේ වෘත්තීය ජීවිතයේ මුහුණ දුන් , සිදුවීම් අතරේ තවත් එක් සිදුවීමක් පමණක් වුනත් එය විශේෂයි ....ඒ , මේ ආදර කතාව නිසාම නොවෙයි , ...ඔහු , තමන් විඳින වේදනාව නිමා කරගන්නට උත්සාහ කළ ආකාරය නිසා .... “දෙවියන්ගේ නාමෙන් මට වෙඩි තියන්න මගේ පුතා .......මට වෙඩි තියන්න ...මේ වේදනාව හොඳටම ඇති ...මට වෙඩි තියන්න මගේ පුතා ......“ ... මේ සිදුවීම අවසන් වෙලා කාළයක් යනතුරු , එම ඒකකය පැත්තෙන් යත්දි මට ඇහෙනවා වගේ දැනුනා ....

වෙනද වගේම , සොඳුරු සුව අසපුව තුල අදත් කතා කරන්න හදන්නෙ , තවත් වෛද්‍ය විද්‍යාත්මක කරුණක්  , හැබැයි ලෙඩක් ගැන නම් නොවෙයි ..., ඒ වගේම ලංකාවේ ඉන්න අපට නම් ටිකක් අළුත් , සමහර විට “නරක “දෙයක් විදියට දකින්නට ඉඩ තිබෙන දෙයක් .. .ඒ නිසා හුඟක් සංවේදී සිත් ඇත්තෝ මේ කතාවේ මේ සීමාවෙන් එහාට නොගියත් කමක් නැහැ , මොකද අපි කතා කරන්න හදන්නේ “මැරීමක් “ ගැන ..හැබැයි “ කාරුණීක මිනී මැරීමක්“ Mercy Killing ගැන . මේ ගැන කතා කරන්නට හේතු වුනේ , සුවිශේෂී පුද්ගලයෙක්ගේ මරණයක් මේ සතියේ සිදුවුනු නිසා , ඔහු 2003 සාර්ස් වසංගතය වෙලාවේ කැනඩාවේ ජනතාව වෙනුවෙන් ලොකු සේවාවක් කළ (විශේෂයෙන්ම මේ පළාතට , ටොරොන්ටෝවට ) ආසාදන රෝග විශේෂඥ වෛද්‍ය ඩොනල්ඩ් ලෝ ...ගේ මරණය ....වයස අවුරුදු 68ක් වුනු ඔහු පහුගිය දිනෙක මොළයේ පිළීකාවකින් පෙළෙන බවට තහවුරු කෙරුණා , එතැන් සිට ඔහු තමන්ට ඉදිරි දින කිහිපය තුල සිදුවන දේ ගැන සිතන්නට පටන් ගත්තා , මෙම පිළිකා තත්ත්වය කිසිදු ලෙසකින් සුව නොකළ හැකි බව වගේම , එය වර්ධනය වීමත් එක්ක තමන්ට සිදුවන අපහසුතා , වේදනාවන් , පිළිබඳ ඔහු දැන සිටියේ ඒ පිළීබඳව විෂයකරුණූ හදාරා තිබෙන නිසාමයි . මේ තත්ත්වය මත ඔහුට ඕන වුනේ , මේ වේදනාවන්ට පත්නොවී , සාමකාමී මරණයකට පත්වීම , ඇත්තම කීවොත් , මරණයට පත්කරවා ගැනීමට ...ඔහුට වුවමනා වුනේ , Physician Assited Suicicde හෙවත් වෛද්‍ය ආධාර මත මරණයට පත්කරවා ගැනීමක් කරගන්නට , ඒත් දැනට කැනඩාව තුල මේ තත්ත්වය නීතිගත කොට නැති නිසා ඔහුට එම අවස්ථා නොලැබීම නිසාවෙන් , ඒ පිළිබඳව වීඩියෝවක් කරන්නට ඔහු පෙළඹෙනවා . ...ඒත් .........වීඩියෝවෙන් දින අටකට පස්සේ ඔහු මිය ගියා ....නමුත් කැනඩා වෛද්‍ය ක්ෂේත්‍රයට , දේශපාලන අධිකාරියට , මාධ්‍යයට , ප්‍රජාවට සිතන්නට යමක් එකතු කරලා , .....පහතින් තිබෙන්නේ ඒ වීඩියෝව ..හැකියාවක් ඇත්නම් මෙය නම් බැලුවට කමක් නැහැ ....




එහෙම නම් අද අපි කතා කරන්න හදන්නේ , Euthanasia (සහ Physician Assisted Suicide ) කියන අවස්ථා ගැන ...

මොකක්ද මේ ඉයුතිනේසියාව .....කෙටියෙන්ම කීවොත්  , මෙතැනදි සිදුවන්නේ මරණට පත් කිරීමක් , හැබැයි , මෙන්න මේ වගේ සාධක මත, රෝගියා තමන්ට දැරිය නොහැකි තරමේ වේදනාවකින් පෙළීම , ඖෂධ හෝ තිබෙන ප්‍රතිකාර මත රෝගියාගේ තත්ත්වය යහපත් තත්ත්වයට ගැනිමට නොහැකි වීම , නමුත් රෝගියාගේ සුවය වෙනුවන් ගත හැකි සියළුම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාත්මක කර තිබීම , නමුත් ඉදිරි දින කිහිපය තුල මරණයට පත්වීම වලක්වා ගත නොහැකි බව තහවුරු වීම , සහ පවතින තත්ත්වය මත වේදනාව විඳනවාට වඩා , සුවදායී මරණයක් ලබා ගැනීමට රෝගියා ( හෝ නීත්‍යානූකල භාරකාරත්වය) පැහැදිලි සිහි තත්ත්වය මත ප්‍රකාශ කර , ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටීම ...ඔන්න ඔය කාරණා සියල්ල ඒක්ක , තවත් නීතියට අදාල කරුණූ සම්පුර්ණ වුනාට පස්සේ , තමන්ට අයිතිවාසිකම ලැබෙනවා මේ ආකාරයෙන් මරණයකට පත්විමට ...හැබැයි මේ හැකියාව තිබෙන්නේ මෙම නීතිය පිළිගත් , නිති පරිසරයක් තිබෙන රටක විතරයි , තවමත් ශ්‍රි ලංකාව තුල මෙය පරිපුර්ණ නීත්‍යානූකූල පිළිගැනීමක් ලබා දීලා නැහැ. 

දැනට ඉයුතිනේසියාව නිත්‍යානුකූල රටවල පිළිබඳව මෙම පිටුවෙන් වැඩි විස්තර දැන ගන්නට පුළුවන් ( http://en.wikipedia.org/wiki/Legality_of_euthanasia)

දැන් අපි ඉයුතනීසියාව ගැන ටිකක් පොතේ විදියටම කතා කරන්නයි හදන්නේ , ...මුලින්ම අපට පුළුවන් මේ ඉයුතනීසියාව මුලික වර්ග තුනකට බෙදන්නට  ,ඒ තමන්ගේ මරණය පිළිබඳව තීරණය ලබා දෙන්නා , ලබා දෙන ආකාරය අනුව , මුලින්ම , පවතින තත්ත්වය මත තමන්ට ඉයුතනේසියා ක්‍රමයෙන් මරණය ලබා දෙන ලෙස රෝගියා , නිසි සිහි කල්පනාව සහිතව , වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටීම, Voluntary Euthanasia කියන්නේ මේ ක්‍රමයට , දැන් අදාල නීත්‍යානුකූළ තත්ත්වය වෛද්‍ය ආචාරධර්මානුකූල කරුණූ , නියමිත තත්ත්වයේ නම් ක්‍රම කිහිපයක්  ඔස්සේ අදාල ඉල්ලීම ලබා දෙන්නට පුළුවන් , ඒ , මරණය ඇති කරන ඖෂධයක් , ඉන්ජෙක්ෂන් එකක් , රෝගියාට දේහ ගත කිරීම (Active) , එහෙම නැත්නම් අදාල ඖෂධය සහ එය  දේහ ගත කළ ගත යුතු ආකාරය , එහි ප්‍රතිපල සියල්ල රෝගයාට පහදා දීලා , ඔහුටම එම ඖෂධය දේහ ගත කරගන්නට අවස්ථාව සලසමින් උදව් කරන එක. එය Physician Assisted Suicide (PAS) ලෙසයි නම් කරන්නේ .. රෝගියාගේ ඉල්ලීම පරිදි කෙරෙන සියළු ප්‍රතිකාර පහසුකම් ඉවත් කරලා මරණයට පත්වීමට ඉඩ හැරීමත් (Passive) කෙරෙන්නට පුළුවන් .මේ අවස්ථා දෙකේදිම වැදගත් දේ  තම මරණය පිළිබඳ වගකීම , ඉල්ලීමක් ලෙසින් රෝගියා විසින්ම භාර ගැනීම . මේ මරණයට පතිවීම , පත් කිරීම සෑහෙන නීති රිති පද්ධතියක් තුල අධීක්ෂණය යටත් කෙරෙන නිසා , සෑහෙන ලේඛණ ප්‍රමාණයන්  , උපදේශන වැඩසටහන් , වගේම සමස්ථ ක්‍රියාවලිය වීඩියෝගත කරමින් , අදාල මරණයේ නීත්‍යානූකුළ වගකීම පිළිබඳව සටහන් තබනවා. මරණයට පත්වූ පසුවත් , සාමාන්‍ය හදිසි මරණයක් ලෙසින්ම මරණ පරික්ෂණ කටයුතු කෙරෙනවා , නිති සටහන් වෛද්‍ය සටහන් තබනවා .

ඔව් ඔය කියවල ඉවර වුනේ Voluntary Euthanasia ගැන , අනෙක් ක්‍රමය තමා Non-Voluntary Euthanasia ගැන ...මෙතැනදි මරණය පිළිබඳ කැමැත්ත ලබා දෙන්නට රෝගියාට බැහැ , හේතුව ඔහු / ඇය මේ වන විටත් ඉන්නේ අසිහි තත්ත්වයේ , මොළය මිය ගිය , යාන්ත්‍රිකය පමණක් ජීවත් වන නැවත “පණ ගැන්විය “ නොහැකි අවස්ථාවක සිටින රෝගියා , තව දුරටත් කෘතිමව පවත්වා ගන්නවාද , නැත්නම් මරණයට පත්කරනවාද , මරණයට පත්වන්නට හරිනවාද කියන දේ තීරණය කරන්නට රෝගයාගේ භාරකාරත්වයට , හෝ නිත්‍යානුකූල ලියවිල්ලක් සහිත නිත්‍යානුකූළ භාරකාරිත්වයට පුළුවන්. මෙතැනදිත් එම තීරණය ක්‍රියාත්මක කෙරෙන්නේ මුලින් කී කාරණා සියල්ල සම්පුර්ණ නම් පමණයි . නමුත් මෙතැනදි රෝගියා , තම මරණය පිළිබඳව අපේක්ෂාවක් ප්‍රකාශ කරන්නේ නැහැ .

තවත් ක්‍රමයක් Involuntary euthanasia නමින් තිබුණත් , එය කතා කරන්නට සූදානම් නැත්තේ එහිදි සිදුවන්නේ අදාල පුද්ගලයා කැමැත්ත ප්‍රකාශ කළ හැකි අවස්ථාවක හිටියත් , එම කැමැත්ත ලබා ගැනීමකින් තොරව මරණයට පත්කිරීමක්  සිදුවන නිසා , එය නම් ඇත්තටම මිණීමැරුමක් . මේ ගැන විස්තර කියවන්නට පුළුවන් http://en.wikipedia.org/wiki/Involuntary_euthanasia  තුලින් 

එහෙම නම් අද කතා කළේ , නීතිය ආගම්, වගේම ආචාර ධර්මානුකූලවත් සෑහෙන වාද විවාද වලට ලක්වෙමින් පවතින මාතෘකාවක් . ඒ වගේම සෑහෙන ගැඹූරට කතා කළ යුතු ( විශේෂයෙන්ම  Thanatalogy විෂය හදාරන අයට නම් බර විෂයක්) දෙයක් , නමුත් සොදුරු සුව අසපුවට ගොඩ වදින ඔබත් එක්ක කතා කරන්නට ඕන වුනේ ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක පරිසරය තුල මෙවන් ක්‍රමත් භාවිත කරන බව සහ එහි අවස්ථා කිහිපයක් ඔබත් එක්ක කතා කරන්න විතරයි . 

දැන් කතාව ......දරා ගැනීමේ හැකියාවක් ඇති ඔබට පමණයි ... මෙතැනින් එහාට එකතු කෙරෙන වීඩියෝ පහ බලනවා නම් පොඩි දෙයක් කියන්න තියෙනවා , ඔබ හුඟක් සංවේදී නම් නොබැළුවන් කමක් නැහැ , බය වෙන්න එපා මේවායේ කොතැනකවත් ලේ , ආයුධ , සාමාන්‍ය මිණී මරුම් සටහන් වෙලා නැහැ , නමුත් ඔබ ඒ කතාවත් එක්ක හොදින් බැදුනොත්  අන්තිමට හිතට පොඩි දුකක් , සංවේගයක් එන එක වලක්වන්නට බැහැ , සෞඛ්‍ය සේවයේ ඉන්න අපට මේවන් අවස්ථා වලට මුහුණ දෙන්න වුනත් ( ඒ කීවේ ඉයුතිනේසියාම නොවෙයි , හිතවතුන්ගේ / රෝගීන්ගේ මරණයට පත්වන අවස්ථාව එක්ක එක්වීමට ) , සාමාන්‍ය ප්‍රජාවට එය සමහර විට දරා ගන්නට අමාරු මොහොතක් වේවි  .  







ඔක්කොම බලන්න Data මදිනම් මේ අන්තිම එක විතරක් බලන්න . පොඩි අදහසක් ගන්න පුළුවන්.


සාමාන්‍ය මරණයක් සිදුවන ආකාරය ගැන කතා කළ ලිපිය http://www.nursinglk.com/2012/09/119.html

මෙවන් අකල් මරණයක වේදනාව ගැන කතා කළ ලිපිය  http://www.nursinglk.com/2011/06/12th-discussion.html

මේ පිළිබඳව ලංකාවේ තත්ත්වය ගැන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා  විසින් පළ කළ ලිපිය http://www.sundaytimes.lk/111127/Plus/plus_17.html

උපකාර කරගත් පොත්  - Essential In Hospice palliative Care - Katherine Murry - Second Edition

10 comments:

  1. ස්වේච්ජාවෙන්ම මරණය ට හිමිකම් කියන්න කැමති වෙනව කියන්නේ ඒ පුද්ගලයට හොඳ වැටහීමක් තියෙන්න ඕනෙ නෙවද තමන්ගේ ජීවිතය පවතින්නේ නැ කියන එක සම්බන්ධ කරුණු කාරණා. ඒ වගේ මරණයක් අධීක්ෂණයක් තුලින් කරනව ඇත්තේ වෙනත් කෙනෙකුට චෝදනාවක් එල්ල නොවීමේ තැනට පත්වීම සඳහා. මගෙත් අදහස නම් මම වුනත් මරණය ලියවිලාම ඇවිත් තියෙනව නම් ආයෙත් සනීප කරන්න බැරි ලෙඩක් හරහා , ඒ වගේම ඒකෙන් දෙමව්පියන් ඇතුලු සමීපතමයින් ඔවුන් නොකියා සිටියා වුනත් ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනව නම් ඔවුන්ටත් (ඇත්තෙන්ම ඔවුන්ට කරදරයක් නොවේ යන්න කිවත්) මම නිසා මමත් මරණයට කැමති වෙනවා. ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම සංවේදි ලිපියක්. ඔබ වෙනද වගේම කාරණාවට බහින්න කලියෙන් ලස්සනම විදිහට, කාටත් කියවන්න ආසා හිතෙන විදිහට කතාවට එන්ටර් වෙලා තියෙන එක නම් බොහොම අගය කල යුතු කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් වලට , විශේෂයෙන්ම Voluntary Euthanasia අවස්ථාවෙදි , රෝගියා , තමන්ගේ ඉදිරි කාළය , තත්ත්වය මොනවගේ වෙනවා දැයි , නිසි ලෙස දැන ගෙන තමයි තීරණය ගන්නේ

      Delete
  2. සමහරු හදිසි තීරණ, අවස්ථා මත පදනම් වෙලා සිය දිවි නසා ගන්නවා..

    තවත් සමහරු කරුණු කරණා හොදට විමසලා බලලා සිය දිවි නසා ගැනිම කල යුතු යැයි තීරණය කරනවා.....

    මට තේරෙන විදිහට මේක හිතේ හයිය...තනිකම, කලකිරීමත් එක්ක හිත හදා ගන්න බැරි වීම ආදිය ප්‍රශ්ණයක්......
    කොච්චර හිත හයිය කෙනෙකුට උනත් මේක වෙන්න පුළුවන් කියත් තේරෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ සිය දිවි නසා ගැනීම කියන කාරණේදි අපි දකින්නේම එක් පැත්තක් විතරයි , නමුත් ඉයුතිනේසියාව කියන්නේ එහිම තවත් පැත්තක් විදියටයි මම දකින්නේ , නමුත් වෙනස මෙහි “යම් අර්ථයක් ඇති බව “ පමණයි
      ස්තුතියි ඔබට

      Delete
  3. හැබැයි ලංකාවෙත් 1996 විත‍ර ලංකාවෙ ඔවැනි ලෙඩෙක් ඉදල එයාගෙ පුතාගෙ වෙඩින් එක පෙන්වන්න ගෙදරට ගෙනත් පසුව ප්‍රතිකාර නවත්වා මිය යන්නට ඉඩ හැරපු අහපු කතාවක් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , මේ ගැන නම් දැන ගෙන හිටියේ නැහැ , ඔව් , නීත්‍යානුකූලව නැති වුනත් , යම් අවස්ථාවල , මෙය වක්‍රානුකූලව , ක්‍රියාත්මක වන බවනම් පිළිගන්න වෙනවා .

      Delete
  4. වේදනාවෙන් සහ සුවකල නොහැකි තත්වයක සිටීනම් PAS ක්‍රමය සුදුසු බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. මගෙත් පිළිගැනීම , එයයි . නමුත්  මෙය ක්‍රියාත්මක රටවල පවා ආගමික , සමාජයීය මතවාද ගණනාවක් පැවතිනවා .
      ස්තුතියි ඔබට ,

      Delete
  5. But according to the Lord Buddha's teaching, when you get suicide you will never get a human life again. Also we get painful death because of 'karma' we have collected. If you skip it in this life you will definitely get it in another life. So no use of this kind of things. Also the doctors and relations collect Akusal by killing a man.

    ReplyDelete
    Replies
    1. බුදු දහම වගේම තවත් ආගමික සංකල්ප , දර්ශනයන්ට සහ ධර්මානුකූලව ඔබේ කතාව සම්පුර්ණ ඇත්ත , ඒකයි මේ ක්‍රියාවලිය තවමත් බොහෝ රටවල කතිකාවකට බඳුන්වෙමින් පවතින බව කීවේ . ඔබෙ කරුණ නිවැරදි වුනත් , සුව කළ නොහැකි තත්ත්වයේ පිළිකාවකින් දුක් විඳින රෝගියෙක්ගේ පාර්ශවයෙන් හිතුවොත් මෙය සාධෘරණයි , ඒ නිසාමයි මුල්ම වීඩියෝවෙ එම වෛද්‍යවරයා පවසන්නේ , මෙම නීති තනන්නන් පැය විසි හතරක් තමන්ගේ ඇඟ තුල ජීවත් වුනොත් ඉයුතිනේසියාව නීති ගත කරන්නට සිතන බව .
      කෙසේ වෙතත් , ස්තුතියි ඔබේ අදහස සටහන් කළාට ,

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)