2013/10/06

145) “දරු සුව“ විඳවන අම්මාවරුනේ ..

මේ දවස් ටිකේම මේ පැත්තේ හැම චැනලයකම වාගේ කතා වෙන්නේ අමෙරිකානු රජයේ අක්‍රිය කිරීම Government Shutdown එක ගැන . ඒකට පක්ෂ වගේම විපක්ෂවත් කරුණු දක්වන වැඩසටහන් දවස පුරාම , ඒ අස්සේ තවදුරටත් දරුණු විය හැකි මට්ටමේ කුණාටුවක බලපෑමටත් එම ප්‍රෙද්ශය යටත් වුනා . ඔය අස්සේ අමෙරිකානු රජයේ ප්‍රධාන ගොඩනැගිලි  පිහිටන කළාපයකදි , නීති විරෝධී අයුරින් ධාවනය වන සහ පොළීස් අණ නොතැකූ රියකට කරන වෙඩි තැබීමකින් අවුරුදු තිස් හතරක විතර කාන්තාවක් මිය යනවා . එත් වාසනාවට ඇගේ පුංචි දරු පැටියා කිසිම අනතුරක් නැතිව රැක ගන්නට පුළුවන් වුනා . 


කෙසේ වෙතත්  ,මේ සිදුවීම ලොකු කළබැගැනියක් බවට පත්වුනේ , එකක් එම ප්‍රෙද්ශය සුවිශේෂි ආරක්ෂක කළාපයක පිහිටීම , වගේම රජය තාවකාළීක අක්‍රිය වීමක් වූ අවස්ථාවක සිදුවීම වගේම නිරන්තරයෙන් පවතින ත්‍රස්තවාදී පහර දීමක අවදානම කියන කාරනා නිසා . මෙම සිදුවීමෙන් පසුව කළ විපරම් වලදි හඳුනාගන්නවා මෙම කාන්තාව පශ්චාත් ප්‍රසූති මානසික අවපීඩනයෙන් “ (Post Partum Depression ) පෙළුනු බවත් , එහි තීව්‍ර මට්ටමකදි ඇතිවනPost partum Psychosis   පෙළුනු බවත් ,අවාසනාවට , තමාට ලබා දුන්  ප්‍රතිකාර තුල නිසි ලෙස නොරැඳුනු බවත් හඳුනාගැනෙනවා ඒ විතරක් නොවෙයි  එම Post patrum Psychosis වලදී බහුලව ඇතිවන Auditory hallucination හෙවත් ,ශ්‍රවණ භ්‍රාන්තිය තත්ත්වයෙන් පෙළුනු බවට සාක්ෂි සොයා ගන්නවා , ඒ , ඇය නිරන්තරයෙන්ම , තමාට අමෙරිකානු ජනාධීපති , කතා කරන බව ඇයගේ මිතුරන්ට පැවසීම නිසා . (ඇත්තටම එය එසේ නොවනුනත් මෙම තත්ත්වයෙන් පෙළෙන රෝගියා , එය ඇත්තටම සිදුවන බවට වටහා ගන්නවා)  , උග්‍ර මට්ටමේ මානසික රෝග වලදි බහුලව දකින්නට පුළුවන් මෙම Auditory hallucination ගැන http://www.nursinglk.com/2012/01/77.html  ලිපියෙදි කතා කළ නිසා නැවත මෙතැන විස්තර කරන්නට යන්නේ නැහැ , ඔය දෙවිවරුන්ට කතා කරන , රජවරුන්ට කතා කරන අයගේ ඇත්ත තත්ත්වය දැන ගන්නත් එක්ක එම ලිපිය කියවලාම එන්න පුළුවන් නම් තේරුම් ගන්න පහසුවේවි .

පිංතූරය www.soc.ucsb.ed වෙබ් අඩවියෙන් 
 PPD - Post Partum Depression කියන්නේ , දරු ප්‍රසූතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් මානසික අවපීඩන තත්ත්වයන් වලින් මැද මට්ටම වගේ , මොකද , මව්වරුන් වැඩි පිරිසකට ඇති වන්නට පුළුවන් Baby Blues කියන්නේ මෙහි සරළම අවස්ථාව , ප්‍රතිකාර නොගත්තත් , දෛනික කටයුතු එක්කම මගහැරී යන්න පුළුවන් මේ තත්ත්වය බහුලව ඇති වන්නට පුළුවන් , පොදු අවස්ථාවක් කියන එකයි වෛද්‍ය මතය . දින කිහිපයකින් (දින 10කින් විතර) මග හරිලා යන්න පුළුවන් baby blues වලදි ,ඇති වෙන්න පුළුවන් ලක්ෂණ අතරේ  (දරු පැටියා සතුටින් හිටියත් , ) අම්මගේ හිත කියා ගන්න බැරි තේරුම් ගන්න බැරි දුකකින් පිරිල තියෙනවා වගේ දැනෙන එක , වෙලාවකට කිසිම හේතුවක් නැතිව හඬන එක , තනිවුනු හැඟීමක් එක්ක හරිම නොසන්සුන් ගතියක් දැනෙනව වගේ ලක්ෂණ තිබෙන්න පුළුවන් . මේ එක්කම කෑම බීම ගැන උනත් ඒතරම් පිරියක් , කැමැත්තක් නැති වෙන්න ඉඩ තිබෙනවා , නින්ද යාමත් අඩුයි , හිතේ හැම තිස්සේම මොකක්දො දුකක් හිර වෙලා . 

නමුත් එසේ දින කිහිපයකින් මේ මානසික වෙනස්වීමෙන්  නොගැලවෙන ඇය පත්වන  අවස්ථාව තමයි PPD .  මුලදි තිබුණු “අහේතුක දුක්බර , තනිවුනු“ ලක්ෂණ තව දුරටත් මාස ගණනාවක් පුරා පවතින මෙහිදි  , මවට , තම දරුවාගේ කටයුතු පවා එපා වෙන , දරුවා පිළිබඳව පවා කළකිරුණු , ප්‍රතික්ෂේප කරන හැඟීම් එන්නට පුළුවන් . දැන් නම් වැඩියම කැමැත්ත , කාගෙනුත් ඈත්වෙලා තනියම ඉන්න , කඳුළු පිරුණූ දෑස් අයාගෙන , අරමුණක් නැතිව බලාගෙන ඉන්න ඇයට , දරුවගේ හැඬීම පවා ඉවසගන්න බැරි තරමේ කරදරයක් විදියට දැනෙන්න පුළුවන් , සමහර විට , සාමාන්‍ය කෙනෙක් නොකරන විදියට මේ අළුත් උපන් දරුපැටියට පහර දෙන්න , වද දෙන්න පවා හිතෙන්නට පුළුවන් මේ අවස්ථාවෙදි. මේ තත්ත්වයේදි නම් සරළ ඖෂධ කිහිපයක් මඟින් ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරයා යොමුවෙනවා , ඒ එක්කම උපදේශනයටත් යොමු කෙරෙනවා  , ඒ  , අම්මගේ මේ වෙනස හරියට හඳුනගෙන “වෛද්‍යවරයා “වෙත යොමු කළොත් .

 මෙතැනදි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් , මේක පිස්සුවක් විදියට සළකල , කොන් කරන්නට , වෙන අත්බෙහෙත් කරන්නට යන්න එපා , මේ තත්ත්වය ඕනම අම්ම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් , දරු ප්‍රසූතියත් එක්ක සිදුවන “හෝමෝන වෙනස් වීම්“ , නින්ද , චර්යාරටාව  වගේ සාධක ගණනාවක වන වෙනස් වීම නිසා විය හැකි තත්ත්වයක් , හැබැයි , මේ අවස්ථාවට නිසි ප්‍රතිකාර නෙකෙරුණොත් , මව් පදවියේ වාසනාව ලැබූ මේ අම්මගේ අනාගතය , අඳුරු වෙන්නට ඉඩ තිබෙනවා . ඒ නිසි ප්‍රතිකාර නොළැබුව හොත් , PPD තත්ත්වය Post partum Psychosis කියන උග්‍ර මානසික රෝග තත්ත්වයට පත්වෙන්න ඉඩ තිබෙන නිසා . 

එහෙම වුනොත් , අර ලක්ෂණ සියල්ල , ඊට වඩා තදින් ඇති වෙනවා , කළබලකාරි චර්යාවත් එක්ක “අසාමාන්‍ය ලෙසින් තරහ යන මේ අම්ම , අනුනට වගේම , තමන්ටත් අනතුරක් කරගන්නට ඇති ඉඩ වැඩියි , කෙටියෙන්ම කීවොත් “සිය දිවි නසා ගැනීමක්“ වුනත් කරගන්නට ඩජ තිබෙනවා, මේ අයට තමා “අමුතු දේවල් පේන්න, ඇහෙන්න ඉඩ තිබෙන්නේ ,“  සමහර විට තනියම කතා කරන , හඬන , එවිටම සිනාසෙන , අසාමාන්‍ය චර්යාවන් දක්වන්නට පුළුවන් .මෙම සයිකෝසිස් තත්ත්වයට නම් රෝහල් ගත කර දිගු කාළීන ප්‍රතිකාර ලබා දීම කරන්නට ඕන. දරු ප්‍රසූතියෙන් මාස තුනක් වගේ කාළයකදි වුනත් PPP තත්ත්වය ඇතිවෙන්න පුළුවන් නිසා , අළුත දරුවෙක් උපන් පවුලක , ස්වාමියා , පවුලේ අනෙක් අය , මේ අළුත් “අම්ම“ ගැන ටිකක් අවධානයෙන් ඉන්න එක වටිනවා . අළුත් අම්ම කීවට , පළමු දරු උපතෙදි විතරක් නොවෙයි ඊට පසු දරු උපත් වලදිත් මේ මානසික බිඳ වැටීම වෙන්නට පුළුවන් . ඒ නිසා අපි කවරුත් මේ ගැන දැනුවත්ව ඉන්න එක වටිනවා . 



සාරාංශය , ............දරු උපතකදි මවගේ සිදුවන හෝමෝනමය වෙනස්වීම , සහ අනෙකුත් වෙනස්වීම් එක්ක , මවගේ මානසික තත්ත්වයේ සිදුවන තාවකාළික බිඳි වැටීම් අවස්ථා තුනකින් වෙන් කර හඳුනගන්නට පුළුවන් , Baby Blues , Post Partum Depression , Post Partum Psychosis තමයි මේ අවස්ථා , මීට පෙර මෙම තත්ත්වයට පත්වූ මවක වැඩි අවදානම් වුවත් , දරු ප්‍රසූතියක් කළ ඕනම මවකට විය හැකි තත්ත්වයක් . මුල් අවස්ථාව බහුලයි , ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙනවා , නමුත් දෙවන අවස්ථාවට ප්‍රතිකාර සහ උපදේශනය අවශ්‍ය වෙනවා , තුන්වන අවස්ථාව රෝහල් ගත කර ප්‍රතිකාර කළ යුතු උග්‍ර අවස්ථාවක් .


අපේ කතාවට මුලික වුනු , මවගේ මරණය වුනු ආකාරය ..

මේ වගේ මානසික ගැටළු ගැන ලියැවුනු ලිපි කියන්න කැමැති ඔබට , සොඳුරු සුව අසපුව ලිපි වර්ගීකරණය තුල “මානසික රෝග“ කියන යොමුව ක්ලික් කරලා එම ලිපි කියවන්නට පුළුවන් .

4 comments:

  1. වෙනදා වගේම ගොඩක් ස්තුතියි මහේෂ්..
    මේ විදිහට ආතතිය හැදෙන්නේ හෝමෝන බලපෑම නිසා විතරද? පවුලේ අයට මේ තත්වය වලක්වා ගන්න කරන්න පුළුවන් මොනවාද?

    ReplyDelete
  2. මේ සඳහා “හෝමෝන වෙනස් වීම්“ , නින්ද , චර්යාරටාව වගේ සාධක ගණනාවක බලපෑ හැකි බවයි වෛදය මතය. කළ හැක්කේ ආදරය , සෙනෙහෙස වෙනදාටත් වඩා ලබා දීම වගේම , ඇයගේ අළුත් ජීවන රටාවට හුරුවීමට උපකාර කිරීම . මේ සියල්ල කළත් , මෙම තත්ත්වයන් මතුවීමේ අවදානම ඕනම මවකට තිබෙන්නට පුළුවන් .
    ස්තුතියි රූ

    ReplyDelete
  3. ඉතාම වටින ලිපියක් වෙනද වගේම.මෙවැනි ලිපි තරුණ පරම්පරාව කියෙව්වත් අත්දැකීම් නොමැති නිසා ඒ අයට යමක් පැවසිය නොහැකි බවයි මගේ හැගීම.
    අත්දැකීම් බහුල අප වන් වැඩිහිටියන් තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තොත් හරි වටිනව කියල හිතනවා.
    මම නම් පළමු දරුවා ලැබෙන්න සිටින විට අප දෙදෙනා තනිව වාසය කලා.
    උදේ සිට රාත්‍රිය දක්වා කෑම (කොල කැද/තැම්බූ,පිලිස්සු මාළු/පලතුරු/එළවලු සුප්)මගේ අතින් බිරිදගේ කැමැත්ත මත සුදානම් කලා.
    දරුවන් දෙදෙනාටම එකසේ මයි.
    දරුවන් බඩේ දගලන්න පටන් ගත්ත කාලේ ඉදල,මගේ සොදුරියගේ උදරය පිරිමදිමින් නැළවිලි ගී සහ එක එක කතා කියවද්දී ඇයගේ පිමබුන මුහුණ සමග එන සිනාව අද දැරුවෝ දෙන්නගෙ ක්‍රියාකාර කම් දකිද්දී මැවිලා පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස මම පිළිගන්නවා , ඇත්තෙන්ම අද “වෙන වින්නැහි“ වලට එක හේතුවක් , අත්දැකීම් නොමැති කම සහ , අත්දැකීම් පිළිගන්නට ඇති නොකැමැත්ත . ඒ වගේම විශේෂයෙන්ම මේවගේ තත්ත්ව “අපට වෙන්නේ නැහැ ,උපේ පවුල්වල කාටවත් නැහැ“ කියන , අද්භූත සංකල්ප , එයට හේතුවම සමාජය මෙම රෝග කෙරේ ලබා දී ඇති කැළැල Stigma .
      ඔබේ සටහන කියවත්දි , මම අවුරුදු එකොළහක් පිටු පස්සට ගිහින් ඒ සුන්දරා කාළේ ආයෙත් රසවින්ඳ වගේ දැනුනා , 
      ස්තුතියි ඔබට , 

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)