2013/10/20

147) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 2

ටිකක් දිගු ලිපි මාලාවක දෙවැන්න ...අපි මේ වෙනකොට කතා කළා , පිළිකාවක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් , පිළිකාවකදී බහුලව දැකිය හැකි  ලක්ෂණ කිහිපයක් . අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ , පොදු නොවන , ඒත් පිළිකාවකදී මතුවිය හැකි ලක්ෂණ කිහිපයක් ගැන කතා කරන්න , හැබැයි ලිපිය පටන් ගන්න ඉස්සර වෙලාම කියන්න ඕන මෙන්න මේ කාරණේ , ඒ තමයි මේ කියන එක ලක්ෂණයක් දෙකක් තිබෙන බව දැනුනු පමණින් , තමන්ම තීරණ අරගෙන , කළබල කරගන්න එපා , මොකද මේ කියන්න හදන ලක්ෂණ වෙනත් සාමාන්‍ය රෝග තත්ත්ව වලදිත් මතුවෙන්න පුළුවන් , ඒ නිසා දැන ගැනීම වැදගත් වගේම , දැන ගත්දේ හරියට ක්‍රියාත්මක කිරීමත් වැදගත් ...


දැන් එතකොට අපි මොකද කරන්න ඕන ...?
ඔව් කරන්න ඕන දේ තමා මේ ලක්ෂණ , ඒවා ඇති වන්නට පුළුවන් අවස්ථා ගැන දැන ගන්න එක , අවශ්‍ය නම් තවදුරටත් නිවැරදි තොරතුරු එක්රැස් කරගන්නා එක , යම් අවස්ථාවක් , ලක්ෂණයක් ගැන සැකයක් , ....තව විදියකින් කීවොත් “මේ කියනව වගේ ලක්ෂණ ටිකක් මටත්  
තියෙනව නේද “ කියන සැකය ඇතිවුනොත් , ඊට හේතුවිය හැකි සාධයක් තේරුම් ගන්නත් බැරි නම් ( ඒ කීවේ ...ඊයේ ලොකු බරක් ඉස්සුව නම් වැරදි විදියට , අද කොන්දේ කැක්කුමක් ආවොත් ..හපොයි පිළිකාවක් කියල හිතන්න එපා කියන එක ) වඩාත්ම හොඳදේ තමා තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන එක ......විශේෂයෙන්ම කියන්න ඕනදේ තමා මේ පවුලේ වෛද්‍යවරයා කියන කෙනා තමයි ඔබ ගැන,  ඔබේ සෞඛ්‍ය ඉතිහාසය ගැන , වටපිටාව ගැන අදහසක් ඇති කෙනා  ..මොකද කාළයක් තිස්සේ ඔබව හඳුනන , සමහර විට ඔබේ ගමේම ඉන්න , නැත්නම් සායනය කරන , එක්තරා විදියකින් ඔබේම මිතුරෙක් වන පවුලේ වෛද්‍යවරයා .

ලොකු දොස්තරද ? පොඩි දොස්තරද ? පැලැස්තරද ?...
එතකොට , ලොකු දොස්තර මහත්තයා හොඳ නැත්ද ? . ලොකු දොස්තර මහත්තයා , හරියටම කීවොත් විශේෂඥ වෛද්‍යවරයා වෙතින් සිදුවෙන්නට ඕන , සංකීර්ණ අවස්ථාවක රෝග නීර්ණය කිරීමක් , නැත්නම් යම් රෝග කාණ්ඩයක් පිළිබඳව විශේෂඥ ප්‍රතිකාර අවැසි තැනකදි මැදහත් වීමක් . මම මේ කියන්න හදන්නේ ඔහුගේ සමස්ථ කාර්යභාරය නොවෙයි , රෝගියාගේ පැත්තෙන් වෛද්‍යවරයා වෙත යොමු විය යුතු ආකාරය ...මුලින්ම තමන්ට අදාල රෝග ලක්ෂණ ඉදිරිපත් කරන්නට සුදුසුම කෙනා මුලින් කී විදියට පවුලේ වෛද්‍යවරයා , එහෙම නැත්නම් රෝහලක ඕ.පී.ඩී කාමරේ ඉන්න දොස්තර මහත්තයා ,  ඔබේ රෝග ලක්ෂණ අනුව , විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය වේ නම් අදාල විශේෂඥ වෛද්‍යවරයා වෙත ඔබව යොමු කරන එක ඔහුගේ යුතුකම් , සිදුවිය යුත්තේ එයයි , නමුත් අද සිදුවන්නේ , පොඩි උණක් , නාහේ බර වීමක් වුනත් , දවසක් විතර පෝලිමේ ඉඳළ විනාඩි දෙක තුනකට හරි “විශේෂඥ වෛද්‍යවරයා “ හමුවෙන එක , ඒක එක්තරා විදියක “සම්පත් නාස්තියක්“ , රෝගියාගේ පැත්තෙන් වගේම වෛද්‍යවරයාගේ පැත්තෙන් බැලුවත් (මෙතැනදි මම කියන්නේ මුදල ගැන විතරක්ම නොවේ) ... හැබැයි ඉතින් කාටත් කියන්න පුළුවන් නේ ...“අපෝ අපි නම් යන්නේ නැහැ එයා ගාවට ....අපි නම් යන්නේ  ......... හොස්පිටල් එකේ , .... චැනල් කරන්නේත් ......ලොකුම මහත්තයා ..“ ........ඔය ටිකම මදෑ ලෙඩ හොඳ වෙන්න ..නේද ?.... :)

කෙසේ වෙතත් , යම් අසාමාන්‍ය තත්ත්වයක් තමන්ගේ ඇඟේ , හිතේ පවතිනවා නම් , විශේෂයෙන්ම මේ කියන්නට හදල ලක්ෂණ කිහිපයක් , ටිකක් අසාමාන්‍ය කාළයක්  තියෙනවා නම් හොඳමේ “පැලැස්තර“ නොවෙයි ...දොස්තර ...

කතාව ටිකක් පිට පැන්නද මන්ද ? ...ඒත් ඉතිං මේව නොකිය පුළුවනෑ ... 

හරි ඔන්න දැන් තමා අද දවසේ කතාව පටන් ගන්නේ .....

කැස්ස තමා කැස්ස ....
කළබල උනාද ? ....ඔව් මොකද කැස්ස කියන එක ඒතරම්ම පොදුයි නේ , පොඩි හෙම්බිරිස්සාවක් හැදුනම , ගේ දොර අස්කරත්දි දූවිලි ටිකක් සැරට වැදුනම , එහෙම නැත්නම් හතිය තියෙන කෙනෙකුට  ඔය වගේ නානාවිධ අවස්ථා වලඇතිවෙනවා නේ . ඔය කැස්සම පිළිකාවක ලක්ෂණයක් වෙන්නනත් පුළුවන් . බෙහෙත් අරගත්තත් සති හත අටකට වඩා එක දිගටම කැස්සක් තියෙනවා නම් මේක හොයල බලන්න ඕන කාරණයක් , හතිය තියෙන කෙනෙකුට වුනත් බෙහෙත් ගත්තම සති දෙක තුනකදි හති කැස්ස අඩුවෙනවා , එහෙමත් නොවී මාස දෙකක් විතර තියෙන කැස්සක , සැක කළ යුතු හේතු තිබෙන්න පුළුවන් .  පිළිකාවක්ම නොවුනත් ඊට ක්ෂය රෝගය , COPD වැනි කාළීන රෝගයක් විය හැකි අවස්ථාවක් වීමට ඉඩ තිබෙනව .  දැන් කැස්ස කොයි වගේ වෙන්න ඕනද කියල අහවි ....උත්තරේ මේකයි , මොන විදියේ හරි කැස්සක් , සමහර විට සෙම එන කැස්සක් , නැත්නම් වියලි කැස්සක් , ලේ පිට වෙන කැස්සක් ..ඔය මොන විදියේ හරි “කැස්සක් , මාස දෙකකට වඩා තිබේ නම් , පැලැස්තර නොවේ දොස්තර ! .....

ලොකු වෙන ගැට ...
.....ආයෙත් ගැට කතාවක්ද ? ......නැහැ , ආයෙත් මීට පෙර ලිපියේ ලියූ ගැට කතාව නොවෙයි , මේ කූද්දැටි ගැන ..අපි දන්නවනේ අපේ ඇඟේ තිබෙන ආරක්ෂක පද්ධති වලින් ප්‍රධාන එකක් තමයි මේ කුද්දැටි කියල ව්‍යවහාරයේ තිබෙන වසා ගැටිති . ඒව හරියට හමුදා මධ්‍යස්ථාන වගේ ...අපේ ඇඟට විෂබීයක් ඇතුලු වෙලා කරදර කරත්දි ,ලෙඩ හදත්දි ,මේ මධස්ථානේ වැඩ ප්‍රමාණය වැඩි කරමින් , ලොකු සටනක් දෙනවා අදාල රෝග කාරකයාත් එක්ක .  ඒ නිසා තමයි ඔබ උණ , හෙම්බිරිස්සාව , පැසවපු තුවාලයක් වගේ අවස්ථාවක ඒ අවට තිබෙන කුද්දැටි ඉදිමෙන්නේ . ඒක සාමාන්‍යයි .. හැබැයි මේ කිසිම දැනෙන ලෙඩක් නැතිව , බෙල්ලේ දෙපැත්තේ , කිහිලිවල , නැත්නම් ඉකිළියේ තිබෙන කුද්දැටි එළියට මතුවෙලා පෙනෙන තරමට , වෙනදාට වඩා ලොකු වෙලා නම් , ලොකු  වෙනවා නම් පොඩ්ඩක් හොයල බලන්න වේවි , ඒ වගේම , උණ හෙම්බිරිස්සාව  හොඳ වෙලා ගිහින් සති හතරක් පහක් ගියත් තාම කුද්දැටි ලොකු වෙලා නම් , අඩු වීමක් නැත්තන්ම මේකත් සැක කර කර ඉන්න නොවෙයි , හරියටම දැන ගත යුතු තත්ත්වයක් , මොකද සමහර පිළිකාවලදි බොහෝ විට ආරම්භක අවස්ථාවෙදිම කුද්දටි ඉදිමීමක් එන්න පුළුවන් . 


ඇස් රතු වෙන රතු ...
අපේ ඇඟෙන් ලේ පිට වෙන්න පුළුවන් කොහෙන්ද? ...දැන් ඉතින් එක එක උත්තර දේවි ...කොහොම වුනත් සාමාන්‍යෙයන් ලේ පිටවීමක් වෙන්නේ “තුවාල වීමකින් “ ....ඒ කියන්නේ වැටිල අතපය හීරුනාම , නැත්නම් කටුවක් ඇනුනම , කාන්තාවකගේ නම් මාසිකව සිදුවන ගර්භාෂ ඇතුළු බිත්ති බිඳ වැටීමක් වුනාම ....ලේ පිට වෙන එක සාමාන්‍ය දෙයක් ..හැබැයි ඒ විදියට අපට තේරුම් ගන්න බැරි අවස්ථාවක අසාමාන්‍ය ලේ පිටවීමක් වුනොත් ! ....මෙන්න මේ වගේ අවස්ථා ගැන ටිකක් හිතමු , කැස්ස එක ලේ පිට වෙනවා නම් , ආර්තව කාළය නොවීත් වරින් වර යොනි මාර්ගයෙන් ලේ පිටවීමක් වෙනවා නම් , එහෙම නැත්නම් මළ පහ එක්ක , නැත්නම් මළ පහ කළාට පස්සේ ලේ පිට වෙනවා නම් ටිකක් අසාමාන්‍යයි තවත් , මුත්‍රා කරත්දි ඒ එක්ක ලේ පිට වුනා නම් , විශේෂයෙන්ම පිරිමි කෙනෙක්ගේ මේව හංගන් ඉන්න හොඳ අවස්ථා නෙවෙයි  .   හ්ම් දැනුමැත්තෝ  දැන් කියාවි අපෝ ඕක අර්ශස් වල ලක්ෂණයක් නේ ගණන් ගන්න ඕනද කියලා ...?  ගණන් නොගත්තත් , දැනුම් දෙන එක හොඳයි දොස්තර මහත්තයට , 

නටවන බඩ ගෙඩිය 
ගර්භණි කාළයේ ඉන්න මව්වරු විඳවන ලොකු ගැටළුවක් තමයි කෑම අරුචිය , කෑවත් ඔක්කාරෙට එනවා , උගුරට එනවා , බඩේ දැවිල්ල  .....දැන් කළබල වෙන්න එපා මාතෘකාව වෙනස් කළා නෙවි , මේ බඩේ ඇති වන අපහසුතා ගර්භනී කාළයේ විය හැකි දෙයක් , ඒ වගේ සාධකයක් නැතිව දිගින් දිගටම ඇතිවන අජීරණ තත්ත්වයන් , බඩ පුරවා දැමීම් , අඩු වීමක් නැති බඩේ දැවිල්ල ... , බඩ පිපුණූ ස්වභාවයක් සති කිහිපයක් පුරා තිබෙනවා නම් , ........ මේකට ඈදන්න පුළුවන් තවත් දෙයක් තමයි මළපහ රටාව වෙනස් වීම , ඒ කීවේ මළ පහ වල ස්වභාවය , වාර ගණන , ඔය වගේ සාධකත් ටික කළත් තිස්සේ වෙනස් වෙනවා නම් සති තුන හතරකදි බෙහෙත් ගත්තත් අඩුවක් නැත්නම් තවත් වැඩිදුර හොයන්න ඕන අවස්ථාවක් ,  හේතුව මේ ලක්ෂණ ඇතුලේ ලෙඩ ගණනාවක අංකුර හැංගිලා තිබෙන්න පුළුවන් , පොඩි උදාරණයක් කීවොත් අපට හමුවුනු බොහොමයක් ඩිම්බ කෝෂ පිළිකා තිබුණූ කාන්තාවන් කීව කතාවක් තමයි “ ...හැමදාම බඩ පුරවල දාල වගේ තිබුණා ...ඉතින් ගණන් ගත්තේ නැහැ ....අර පෙත්තක් හපල කාළ නිදා ගත්ත මොකද මට ගෑස්නේ ...“ ......ඔන්න ඔය වගේ අපි හිතන්නේ නැති අවස්ථාත් වෙන්න පුළුවන් ....හැබැයි බඩ පිම්බුණු පළියට ...දුවන්න එපා ලෝකෙ පෙරළගෙන ....

සම අසම වෙන තැන 
අපි අපේ හම ගැන අවදානයක් තිබෙනව නේ . ටීවී එකේ යන වෙළඳ දැන්වීම් වල තරමටම නැතත් , හමේ පාට , රළු සුමට බව , ලප කැළැල් , ඔය වගේ දේවල ගැන දැනුවත් . හැබැයි සමහර පිළිකා වලදි මේ සමේ විවිධ වෙනස් කම් ඇති කරනවා , එක කොටසක පාට , රළු බව වෙනස් වීමක් වෙන්න පුළුවන් , නැත්නම් ඇතුලට ගිලා බැහැල වගේ අසාමාන්‍ය ගිලීමක් , එහෙම නැත්නම් පොඩියට හිටපු උපන් ලපයක් , ඉන්නෙක් දවස් කිහිපයක් ඇතුලත ලොකු වෙලා , පැතිරිලා වෙන්නත් පුළුවන් . මේ විදියට සම , අසම වීමක් වෙනවා දැනෙනවා නම් හොයල බලන්න මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියල ? ...

“අනේ පුතේ මං දන්න පිළිකාවක් නෑ ...මං ඉතිං මගේ රස්සාව කොර ගෙන ගියා , ඔය පුරුද්දට වගේ කරත්තේ රෝදේ ඇතිල්ලෙන මේ කකුලේ , ඔය තුවාලේ තිබුණේ දැන් අවුරුද්දක විතර ඉඳළ ....මං ඉතින් ඔය කොළ බෙහෙත් ටිකක් තියා ගන්නවා ,  මට ඉතිං රිදෙන එකක්යැ ....ම්හ් ...වැඩක් නෑ , බැරිම තැන කරාපිටි ආවම ඕපීඩී එකේ ඉන්න මහත්තයා ,අපේ ලොකු මහත්තයට ලිව්ව මයේ හිතේ ...“ .....මේ කතාව කියපු , අවුරුදු හැට පහක් විතර වුනු , බොහොම අහිංසක හිනාවකින් හැමවෙලාවෙම පිරිලි හිටපු සීයා , අද අපේ අතර නැහැ , ඔහු අපේ ඒකකයේ තිබුණු Death  report එකට තවත් අංකයක් එක් කරළා හැමොගෙන්ම සමු අරගෙන ගියේ මීට අවුරුදු දොළහකට ඉස්සර , හැබැයි ඒ ලොකු පණිවිඩයක් දීලා , ඒ තමයි  කාළයක් තිස්සේ සුව නොවන තුවාලයක් , නොසළකා නොහැරිය යුතු තත්ත්වයක් බව .  
ඔය හමේ වෙනසටම අදාලයි , කටේ ඇතුලෙ තිබෙන ස්ථරයේ , ශ්ලේශ්මලයේ පාට , ඝණකම , සුදුපාට නැත්නම් රතුපාට වගේ අළුත් ලප මතු විමක් දැක්කොත් අවදානය යොමු කරන එක වටිනවා , පිළිකාවක්ම නොවනුත් , ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් විය යුතුයි මේ .

හැංගුණු තැන් දෙක  
අද සමාජයෙ හුඟ දෙනෙක් පියයුරු පිළිකාව ගැන දන්නවා , ඒ  මුලදි හදුනගන්න පුළුවන් , පියයුරු වල වෙන වෙනස්කම් , හැඩය , නිපලයේ පිහිටීම වෙනස්වීම , අසාමන්‍ය ස්‍රාවීන් ගලා ඒම , පියයුරු සම දෙහි ලෙල්ලක් වගේ වීම  , ඔය වගේ ලිස්ට් එකක් කටපාඩම් ඇති.  හැබැයි අපි හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ “පියයුරු පිළිකාව හැදෙන්නේ කාන්තාවන්ට විතරයි “ කියලනේ ...ඒක ඇත්ත නොවෙයි , මගේ වෘත්තීය ජීවිතේ කාළෙදි , පියයුරු පිළිකාව වැළඳුණු අවුරුදු හතලිහක විතර රෝගියෙක්  පිළිබඳ මතකය තවම තිබෙනවා , අපේ ඒකකයේ ඉඩ මදිකම නිසාම කොරිඩෝවේ තිබුණු ඇඳ හිටපු “ජයරත්න“ ( නියම නම නොවෙයි) අපට විශේෂ පුද්ගලයෙක් වුනේ ඔහුව බලන්න ආපු රජයේ ආයතනයේ පිරිස නිසාම නොවෙයි , ඔහු හරිම ඉක්මණීන් තව කෙනෙක් මිතුරු කර ගැනීමේ හැකියාව තිබුණු , සුන්දර මිනිසෙක් නිසා , වාසනාවට ඔහුගේ පියයුරු පිළිකාව මුල් අවධීයේ තිබුණු නිසා , ප්‍රතිකාර වලින් සුවය ලබා තිබුණා , මේ රටට එන්නට ඕන කරන ලිපි එක්කාසු කරන දවස් වල , දරුවන්ගේ උප්පැන්න සහතික ලබා ගන්න ගිය වෙලාවේ මට ඔහු හමුවුනා , “ ..... ආ ....කොහොමද ....., ගිය සතියේ ඉඳල මම වැඩට ආව ..නිවාඩුත් ඉවරයි , ඔක්කොටම වඩා , ගෙදර ඉන්නකොට ලෙඩ ! .... දන්නවනේ ඉතින් නීතී සීයයි , ඔක්කොටම වඩා ගෙදරට එනවුන් ඔක්කොම එන්නේ මගේ තංදෙක බලන්නමනේ  ,ඊට සැපයි ඔපීසිය ........කෝ දෙන්න ඔය ෆෝර්ම් එක , මම ඕක ඉක්මණට කරල දෙන්නම් " ...

ඔය පියයුරු දෙක වගේම වෙනස්වීම ගැන හොයල බලන්න ඕන තැනක් තමා , වෘෂණ කෝෂ ...මේ ගැනත් අර මාසිකව කරන ස්වයං පියයුරු පරික්ෂාව වගේම පරික්ෂා කරමින් , ගැටිති , හැඩය , ස්වභාවය , ප්‍රමාණය වගේ වෙනස්විම් ඇත්ද කියල හොයන එක වැදගත් , වෙනසක් ඇත්නම්  පරක්කු නොකර , ලැජ්ජ නොවී පෙන්න ගන්න , කෝකටත් හොඳයි නේ ...

මේ විදියට කියාගෙන යත්දි තවත් ලක්ෂණ ගණනාවක් කියන්න පුළුවන් වේවි , හේතුව පිළිකාව කියන දේ අපේ ඇඟේ සෛල තිබෙන ඕනම තැනක හැදෙන්න පුළුවන් පොදු රෝග කාණ්ඩයක් නිසා .  කෙසේ වුනත් , මේ ප්‍රධාන අවදානම් ලක්ෂණ ටිකවත් හඳුනගත්තොත් ලොකු දෙයක් , 

එහෙම නම් අදත් , එදා වෙලාවටම වගේ පෝස්ට් එක නිමා කරන්න පුළුවන් වුනා ...ඉවරයි කිව්වට ඉවරම නෑ .......මොකද මේ ලිපි මාලාවෙ තුන්වන ලිපිය ......ළඟදීම .......

පිළිකා පිළිබඳ සහ පිළිකා වර්ග කිහිපයක් පිළිබඳ තව දැන ගන්නට අවශ්‍ය නම් , සොඳුරු සුව අසපුව පිටුවේ දකුණු පැත්තේ තියෙන “මෙතෙක් ලියූ දේ “ තීරුවේ “පිළිකා“ කියන තැන ක්ලික් කරන්න ....

එහෙම නම් බොහොම ස්තුතියි මේ පැත්තේ පැමිණීයාට , පුළුවන් කම් ඇත්නම් ඔබේ තවත් මිතුරෙක් දැනුවත් කරන්න , මේ ලක්ෂණ , අවදානම ගැන ...ඒ එක්කම “සොඳුරු සුව අසපුව“ පිටුව , තවත් අයෙක්ට ප්‍රයෝජනයක් ගත හැකි තැනක් කියල හිතෙනවා නම් , බෙදා දෙන්න මේ පිටුව , මේ ලිපි . ....

සුව සතුට පිරි දිනයක් ඔබට ! 

4 comments:

  1. බොහෝම අගේ කර සිටිනවා ඔබතුමාගේ මේ කාර්යභාර්යය.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඔබේ අගය කිරීමට , උත්සාහ කරනවා ඉදිරියටත් මේ කටයුත්ත කරගෙන යන්නට , ඔබවන් අයගේ දිරි ගැන්වීම් නිසාම !.

      Delete
  2. මේ ළඟදි මං කීප දෙනෙක්ටම මේ ලින්ක් එක දුන්න කම්මැලි නැතුව මේ වගේ මාතෘකා ලියන්නෙ කොහොමද කියල දැනගන්න... නැත්තං ප්‍රොෆෙෂනල් පැත්තක් ලියනවා කිව්වම ගොඩක් අය මහ කම්මැලියිනේ කියවන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ , ඇත්තටම මේ වගේ විෂයානුබද්ධ දේ ලියන එක වගේම කියවන එකත් ටිකක් අපහසු කටයුත්තක් . විශේෂයෙන්ම ජීව විද්‍යාත්මක තොරතුරු අපේ බාසාවෙන් දෙන එක , අනෙක මේ වගේ තොරතුරු ගැන හොයන්න හුඟ දෙනෙක් පෙළඹෙන්නේ “වැරදුනාට“ පස්සෙ නොවැ , ඒත් වරදින්න ඉස්සරවෙලා දැන ගන්න එක වටින බව , දැනෙන නිසා , පුළුවන් තරම් කළක් මේක ලියනවා , නැවතත් ස්තුතියි ඔබට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)